May 2, 2020

නිරබ්බුද ශාසනයෙහි අර්බුද ඇති කළ වීතික්කම දෝෂ - සතර ආසවට්ඨානීය ධර්ම



ආසවට්ඨානීය ධර්ම යනු සසුන පිරිහෙන කරුණු ය. දොළොස්වන වස් කාලය වේරඤ්ජාවෙහි වැඩ වසන භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණෙන සැරියුත් මහරහතන් වහන්සේ මෙබඳු පැනයක් විමසන ලදි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, කවර බුදුවරුන්ගේ ශාසනය චිරස්ථායී වී ද, කවර බුදුවරුන්ගේ ශාසනය චිරස්ථායී නො වී ද? සැරියුත් තෙරුන්ගේ ප්‍රශ්නයට භාග්‍යවතුන් වහන්සේගේ පිළිතුර වූයේ විපස්සී, සිඛී, වෙස්සභු යන බුදුවරයන් වහන්සේලාගේ ශාසනය බොහෝ කල් නො පැවතුණු බවත්, කකුසඳ, කෝණාගමන, කාශ්‍යප යන බුදුවරයන් වහන්සේලාගේ ශාසනය බොහෝ කල් පැවතුණු බවත් ය. එසේ වන්නට හේතු කාරණා කවරේ දැ'යි විමසා සිටින සැරියුත් තෙරණුවන් හට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.



විපස්සී, සිඛී, වෙස්සභු බුදුවරයන් වහන්සේලාගේ ශාසනය
චිරස්ථායී නො වීමට හේතු :

  • ඕවාද ප්‍රාතිමෝක්ෂය පමණක් දේශනා කිරීම.
  • ශ්‍රාවකයන්ට ශික්ෂාපද නො පැනවීම.
  • ආණාප්‍රාතිමෝක්ෂය නො ම උදෙසීම.
  • ශ්‍රාවකයන්ට විස්තර වශයෙන් ධර්මය දේශනා කරන්නට උත්සාහ රහිත වීම.
  • සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භුතධම්ම, වේදල්ල යන නවාංග ශාස්තෘ ශාසනය ස්වල්ප වීම.
යම් සේ හුයෙන් මොනොවට නො ගොතන ලද නන් වැදෑරුම් පුෂ්ප ජාතීහු මලස්නේ තැන්පත් කළ කල සුළඟින් ඒ මේ අත විසිරෙමින් වැනසී යේ ද, එපරිද්දෙන් යථෝක්ත හේතු කරණ කොටගෙන ඒ බුදුවරයන් වහන්සේලාත්, උන්වහන්සේලාගේ සම්මුඛ ශ්‍රාවකයන් වහන්සේලාත් පිරිනිවි කල්හි නා නා නම් ගොත් ජාති කුල ඇති පශ්චිම ශ්‍රාවකයෝ ඒ බුදු සස්න වහා ම අන්තර්ධාන කළෝ ය.

කකුසඳ, කෝණාගමන, කාශ්‍යප බුදුවරයන් වහන්සේලාගේ ශාසනය
චිරස්ථාය වීමට හේතු :

  • ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම.
  • ශ්‍රාවකයන්ට ශික්ෂාපද පැනවීම.
  • ආණාප්‍රාතිමෝක්ෂය උදෙසීම.
  • ශ්‍රාවකයන්ට විස්තර වශයෙන් ධර්මය දේශනා කිරීම.
  • සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භුතධම්ම, වේදල්ල යන නවාංග ශාස්තෘ ශාසනය බහුල වීම.
යම් සේ හුයෙන් මොනොවට ගොතන ලද නන් වැදෑරුම් පුෂ්ප ජාතීහු මලස්නේ තැන්පත් කළ කල සුළඟින් ඒ මේ අත විසිරෙමින් වැනසී නො යේ ද, එපරිද්දෙන් යථෝක්ත හේතු කරණ කොටගෙන ඒ බුදුවරයන් වහන්සේලාත්, උන්වහන්සේලාගේ සම්මුඛ ශ්‍රාවකයන් වහන්සේලාත් පිරිනිවි කල්හි නා නා නම් ගොත් ජාති කුල ඇති පශ්චිම ශ්‍රාවකයෝ ඒ බුදු සස්න චිරස්ථායී කළෝ ය.

භාග්‍යවතුන් වහන්සේ විසින් හෙළි කරන ලද මේ කරුණු අසා සැරියුත් මහරහතන් වහන්සේ ඇයද සිටියේ 'ස්වාමීනි, යම් හෙයකින් ඔබවහන්සේගේ ශාසනය දිගු කල් පවතින්නක්, බොහෝ කල් පවත්නක් වේ ද, එසේ පවතිනු පිණිස ඔබවහන්සේ ද ශ්‍රාවකයනට ශික්ෂාපද පනවන ලෙසඉයි; ආණා ප්‍රාතිමෝක්ෂය උදෙසන ලෙස යි." එවිට භාග්‍යවතුන් වහන්සේ සැරියුත් තෙරුන් වහන්සේට වදාළේ මේ අවස්ථාව එයට සුදුසු කාලය නො වන බව යි. යම් කලෙක මේ ශාසනයෙහි සඞ්ඝයා කෙරෙහි ආසවට්ඨානීය ධර්මයන් පහළ වන්නේ ද, ඒ ආසවට්ඨානීය ධර්මයන් නැසීම පිණිස භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන්ට සිකපද පනවා ආණා ප්‍රාතිමෝක්ෂය උදෙසන බව යි.

ආසට්ඨානීය ධර්ම යනු මෙලොව වශයෙන් ගර්හාවට, වධබන්ධනයට හා පසුතැවිල්ලට හේතුවන, පරලොව වශයෙන් අපාය දුක්ඛයට ගොදුරු වන වීතික්කම දෝෂ යි. එනම්, ශාස්තෘත්වය ඉක්ම යන ක්ලේශ ධර්මයන්ගේ පහළ වීම යි.

එබඳු කෙලෙස් පහළ වීමට හේතු හතරකි.
  1. රත්තඤ්ඤු මහත්තතා
  2. වෙපුල්ල මහත්තතා
  3. ලාභග්ග මහත්තතා
  4. බාහුසච්ච මහත්තතා

මෙහි `මහත්තතා' යනු මහත් බව යි. ඒවා එකිනෙක විස්තර වශයෙන් දැන් විමසා බලමු.
  1. රත්තඤ්ඤු මහත්තතා : එනම්, චිරරාත්‍රඥ බවින් මහත් බවට පැමිණීම යි. පැවිද්දෙන් බොහෝ කල් ඉක්ම යාම යි.
  2. වෙපුල්ල මහත්තතා : එනම්, ස්ථවිර, මධ්‍යම, නවක වශයෙන් සඞ්ඝයා විපුල බවට, පැවිද්දන්ගේ බහුලභාවයට, මහත් බවට පැමිණීම යි.
  3. ලාභග්ග මහත්තතා : චීවරාදී ප්‍රත්‍යලාභයන්ගේ අග්‍රමහත්වය යි. ලාභය පිළිබඳ අග්‍ර බවක්, උත්තම බවක්, මහත් බවක් සලකා එයට පැමිණීම යි. ලාභයෙන් වැඩීයාම යි.
  4. බාහුසච්ච මහත්තතා : බහුශ්‍රැතභාවයෙහි මහත් බව යි. බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තවුන්ගේ බහුල බව යි. බහුශ්‍රැත බව බුදු දහමේ අගය කරන්නකි. අල්පශ්‍රැතත්ත්වය ම ගර්හාවට හේතු වෙයි. නමුත්, තමන් කෙතරම් බහුශ්‍රැතයෙකු වුවත් කීටාගිරි සූත්‍රාන්තයෙහි වදාළ පරිදි තථාගතයන් වහන්සේගේ ධර්මස්වාමීත්වය පිළිගෙන තථාගතයන් වහන්සේ ම ශාස්තෘවරයා ය, තමා ශ්‍රාවකයා පමණ යි; තථාගතයන් වහන්සේ පමණක් ම දන්නා සේක; තමා නො දනී යන නිහතමානී ගුණයෙන් කටයුතු කළ යුතු ය. මෙහි දී බහුශ්‍රැතයන් වැඩි වීම සසුන පිරිහෙන්නට හේතුවක් හැටියට දක්වන්නේ නිකාය පස ම උගත්තත්, ඒවායෙහි නො හික්මෙමින්, අඥාන බවින් ඉල්පෙමින් ශාස්තෘශාසනය ධර්මවිනයෙන් පහ වූවක් කොට සැලකීම යි.

ඉහත දක්වන ලද්දේ විනය පිටකයේ පාරාජිකපාළියේ වේරඤ්ජකාණ්ඩයේ දී සැරියුත් තෙරුන් හට වදාළ ආසවට්ඨානීය ධර්ම සතර යි. මේ පිළිවෙළ හා අන්තර්ගතය මඳක් වෙනස් ව මජ්ඣිමනිකායේ භද්දාලි සූත්‍රයේ දී ආසවට්ඨානීය ධර්ම පහක් වශයෙන් වදාරා තිබේ.
  1. මහත්තං : වෙපුල්ල මහත්තතා යනු මෙය ම ය.
  2. ලාභග්ගං : ලාභග්ග මහත්තතා යනු ද මෙය ම ය.
  3. යසග්ගං : යසසින් අග්‍ර බවට පැමිණීම යි.
  4. බාහුසච්චං : බාහුසච්ච මහත්තතා යටතේ කළ විග්‍රහය යි.
  5. රත්තඤ්ඤුං : රත්තඤ්ඤු මහත්තතා යනු ද මෙය ම ය.
ඉහත කරුණු හේතුයෙන් මේ ශාසනය තුළ මෙලොව වශයෙන් ගර්හාවට, වධබන්ධනයට හා පසුතැවිල්ලට හේතුවන, පරලොව වශයෙන් අපාය දුක්ඛයට ගොදුරු වන වීතික්කම දෝෂ පහළ වන්නට පටන් ගනී. ආසවට්ඨානීය ධර්ම යනු ඒවා ය. එවිට නිරබ්බුද ශාසනයෙහි අර්බුද හටගන්නට පටන් ගනී. භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන්ට ශික්ෂා පද පනවා ආණා ප්‍රාතිමෝක්ෂය උදෙසනු ලබන්නේ එසේ ආසවට්ඨානීය ධර්මයන්ගේ පහළ වීමෙන්, සසුනෙහි අර්බුද හටගත් විට ය. එම අවස්ථාව උදා වූයේ සැරියුත් තෙරණුවන්ට ඉහත දේශනාව පවත්වා වසර අටක් ඉක්ම ගිය තැන ය. එනම්, බුද්ධත්වයෙන් මුල් ම වසර විස්ස ඉක්ම ගිය තැන ය. එතෙක් සඞ්ඝයාට සසර කතරින් එතෙර වීමට "මහෙණනි, මෙසේ නෙක්ඛම්මාදී විතර්ක කරවු! කාමාදී විතර්ක නො කරවු! මෙසේ අනිත්‍යාදි වශයෙන් මෙනෙහි කරවු! නිත්‍යාදී වශයෙන් මෙනෙහි නො කරවු! මේ මේ අකුසල් දුරු කරවු! මේ මේ කුසල් කෙරේ පැමිණ වාසය කරවු!" යනාදි වශයෙන් අනුශාසනා කිරීම පමණක් ප්‍රමාණවත් විය. "සබ්බ පාපස්ස අකරණං" යනාදි සියලු බුදුවරයන්ගේ අනුශාසනා ගාථාවන්ගෙන් ප්‍රකට වන්නේ ද එම ඕවාද ප්‍රාතිමෝක්ෂය යි.

ගෞතම බුදු සසුනට ඕවාද ප්‍රාතිමෝක්ෂය පමණක් ප්‍රමාණවත් වූ බුද්ධත්වයෙන් මුල් විසි වසර පඨම සම්බෝධි සමය ලෙස හඳුන්වයි. එකල භික්ෂු සඞ්ඝයා අර්බුද රහිත ය; නිදොස් ය; දුසිල් මහණුන්ගෙන් තොර ය; පිරිසිදු ය; සීලයෙහි පිහිටියේ ය; සෝවාන් ආදි අධිගමලාභයන්ට පැමිණියේ ය; අපායෙහි නො වැටෙන සුළු ය; නිවනට නියත ය; සම්බෝධිය ම පිහිට කොට සිටියේ ය. එහෙත්, උපසම්පදාවෙන් අටවස් ඇති, ශ්‍රද්ධාසීල සම්පන්න වූ සුදින්න තෙරණුවන් මවුපියන්ගේ මෙහෙයැවීමෙන් කුලවංශය පවත්වනු පිණිස ගිහිකල භාර්යාවට පුතෙකු බිහි කරනු පිණිස දරු බීජයක් දීමට මෛථූනසම්භෝගයෙහි යෙදීම හේතු කොට ගෙන මෙතෙක් නිර්මල ව පැවති සර්වඥතා ශාසනයෙහි මහා අර්බුදයක් හටගත්තේ ය. දිව්‍ය බ්‍රහ්මාදීන් පවා ඝෝෂා කළෝ ය. මෛථූනවිරතිය සඳහා ප්‍රථම ගරු සිකපදය පනවන ලදි.

අප ගෞතම සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය,
  • ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම.
  • ශ්‍රාවකයන්ට ශික්ෂාපද පැනවීම.
  • ආණාප්‍රාතිමෝක්ෂය උදෙසීම.
  • ශ්‍රාවකයන්ට විස්තර වශයෙන් ධර්මය දේශනා කිරීම.
  • සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භුතධම්ම, වේදල්ල යන නවාංග ශාස්තෘ ශාසනය බහුල වීම.
යන මේ චිරස්ථායී කරුණු සියල්ල විද්‍යමාන වීම හේතුයෙන් බොහෝ කල් පවතින්නකි. මෙය සෑම බුදු සස්නක ම පශ්චිම ශ්‍රාවකයන්ට නො ලැබෙන පරම භාග්‍යයකි. ආසවට්ඨානීය ධර්ම දැන ඒවා දුරු කිරීමට වෑයම් කිරීම සුගතවිනයෙහි හික්මෙන ශ්‍රාවකයන්ගේ පරම වගකීමකි. එය ශ්‍රේෂ්ඨ වූ ධර්මදායාදය රැකීම යි.

දිලාන් පංචන ජයසිංහ

No comments:

Post a Comment