Jan 23, 2017

ත්‍රිවිධ රත්නය නිවැරදි ව දැන හඳුනා ගනිමු







"සද්ධම්මෝ ලෝකනාථෙන
අක්ඛතෝ අමතං දදෝ
දුජ්ජනේ සුජනේ කුබ්බං
චිරං ලෝකේ පවත්තතු."

ලෝකයේ වාසය කරන්නා වූ මනුෂ්‍යයන් සම්බන්ධයෙන් නුවණැතියන්ගේ කල්පනාවට භාජන විය යුතු ප්‍රධාන කරුණු දෙකක් වේ. ඉන් පළමුවැන්න දුක් කරදරවලින් මිදී මෙලොව සැප සේ ජීවත් වීම ය. දෙවැන්න මරණින් මතු අපාගත නො වී සුගතියෙහි ඉපිද සුව සේ කල් යැවීම ය. මේ කරුණු දෙක ඉබේ ම සිදු වන දේ නො වන බැවින් ඒවාට යම්කිසි පිහිටක් සොයා ගත යුතු ය. මනුෂ්‍යයෝ ගොවිකම් අත්කම් වෙළඳාම් ආදිය මෙලොව සැපයට පිහිට කර ගනිති. තමා විසින් සොයා ගන්නා ලද ඒ පිහිටවල හොඳ නරක දෙකේ සැටියට ඔවුන්ට නොයෙක් තරාතිරම්වල සැප දුක් ලැබේ.


මනුෂ්‍යයෝ පරලොව යහපත - පරලොව සැපය සඳහා ආගම් පිහිට කර ගනිති. මෙලොවට ද ආගම්වල පිහිට ඇතත්, ඇත්තේ ස්වල්ප වශයෙනි. මනුෂ්‍යයකු මේ ලොව ජීවත් වන කාලය අවුරුදු සියයකට අඩු ස්වල්ප කාලයකි. ඉන් ඔබ්බෙහි ඇති පරලොව පිළිබඳ වූ කාලය කල්ප ගණනින් ද ප්‍රමාණ කළ නොහෙන දීර්ඝ කාලයෙකි. එ බැවින් නුවණැත්තෝ මෙලොව ගැන කල්පනා කරනවාට වඩා පරලොව ගැන කල්පනා කරති. මෙලොව කොපමණ ලාභයක් ලැබෙන සැපයක් ලැබෙන කරුණක් වුවත් එය මරණින් මතු දුර්ගතියෙහි යෑමට කරුණක් වේ නම් එබඳු වැඩවලින් වැළකෙති. ඔවුහු ජීවිතාරක්ෂාව නිසා ද පාපයක් නො කරති. එහෙයින් :-

"ජීවිතඤ්ච අධම්මේන
ධම්මේන මරණඤ්ච යං
මරණං ධම්මිකං සෙය්‍යෝ
යං චෙ ජීවේ අධම්මිකං."

යනු වදාරන ලදි. "අධර්මයෙන් ජීවත් වීම ය, ධර්මයෙන් මරණය ය යන දෙකින් ධර්මයෙන් වන මරණය ම උතුම් ය." යනු එහි අදහසයි.

මෙසේ නුවණැතියන් විසින් ඉතා මහත් කොට සලකන ලද පරලොව සැපය ලබනු කැමතියන් විසින් ඒ සඳහා පිහිට කර ගැනීමට සත්‍යාගමක් සොයා ගත යුතු ය. ලෝකයෙහි එකිනෙකට වෙනස් බොහෝ ආගම් ඇති බැවින් ආගමක් තෝරා ගැනීම පරෙස්සමින් කළ යුත්තකි. සෑම ආගමකට ම මනුෂ්‍ය වූ හෝ දෙවි වූ හෝ ප්‍රධාන ශාස්තෘවරයෙක් ඇත්තේ ය. එතුමාගේ ධර්මයක් ද ඇත්තේ ය. එතුමාගේ ශ්‍රාවක පිරිසක් ද වෙති. යම් ආගමක ප්‍රධාන ශාස්තෘවරයා යහපත් වේ නම් ධර්මය යහපත් වේ නම් ශ්‍රාවක සමූහය යහපත් වේ නම් ඒ ආගම පරලොව පිහිට කර ගත හැකි යහපත් ආගම ය. ලෝකයෙහි ඇත්තා වූ ආගම් අතුරෙන් බුද්ධාගම යහපත් ශාස්තෘවරයෙක් ඇත්තා වූ ද, යහපත් ධර්මයක් ඇත්තා වූ ද, යහපත් ශ්‍රාවක පිරිසක් ඇත්තා වූ ද ආගම ය. බුද්ධාගම පිළිබඳ ව ඒ ප්‍රධානාංශ තුනට රත්නත්‍රය යයි කියනු ලැබේ. තෙරුවන යනු ද එයට නමකි.

රත්න යනු සත්ත්වයන් විසින් බොහෝ උසස් කොට සලකන්නා වූ ද, බොහෝ ප්‍රයෝජනවත් වූ ද, එහෙයින් ම බොහෝ වටිනාකම ඇත්තා වූ ද, දුර්ලභ වූ ද, කලාතුරකින් ම දක්නට ලැබෙන්නා වූ ද, උසස් පුද්ගලයන් පරිභෝග කරන්නා වූ ද, රන් රිදී මුතු මැණික් ආදියට ව්‍යවහාර කරන නමෙකි. තථාගතයන් වහන්සේ ය, උන්වහන්සේගේ ධර්මය ය, උන්වහන්සේගේ ශ්‍රාවක සමූහය ය යන මේ වස්තු තුනට වඩා සත්ත්වයනට පිහිට වන්නා වූ ප්‍රයෝජනවත් වූ වස්තුවක් හෝ පුද්ගලයෙක් හෝ ලෝකයේ කොතැනකවත් නැත්තේය. එ බැවින් බුද්ධාදී උත්තම වස්තු තුනට රත්න යයි කීම අතිශයින් ම යුක්ති යුක්ත ය.

බුද්ධාගම්කාරයන් විසින් ඒ රත්නත්‍රය මනා කොට නො හැඳින ගතහොත් තමන් අදහන ආගම සත්‍ය වශයෙන් ම පරලොවට පිහිට කර ගත හැකි ආගමක් ද යන බව ඔවුනට නො දත හැකි ය. වන්දනාමානාදී ඔවුන් කරන පින්කම් ද මහත්ඵල වන සැටියට නො කළ හැකි ය. රත්නත්‍රය හැඳින ගැනීම බුද්ධාගම ඇදහීමේ අත්තිවාරම ය. රත්නත්‍රය නො හඳුනන තැනැත්තා කරන පින්කම් අත්තිවාරමක් නැති ව තැනූ ගොඩනැගිල්ලක් සේ දුබල ය. එබැවින් පරලොව සැප පතන හැම දෙනා විසින් ම රත්නත්‍රය හැඳින ගත යුතු ය.

බුද්ධ රත්නය

ඉතා දීර්ඝ කාලයක් මුළුල්ලෙහි රැස් කළ පින් බෙලෙන් සියලු පව් නසා සියල්ල දැන වදාළා වූ කපක් මුළුල්ලෙහි කීව ද ඉවර නො වන ගුණ ඇත්තා වූ මහෝත්තමයන් වහන්සේ බුද්ධ නම් වන සේක.

ලෝකයෙහි ඇත්තා වූ පදවි අතුරෙන් සියල්ලට ම උසස් පදවිය බුද්ධ පදවිය යි. එය ලැබීමට යටත් පිරිසෙයින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි ධන පරිත්‍යාග, පුත්‍ර පරිත්‍යාග, භාර්යා පරිත්‍යාග, අංග පරිත්‍යාග, ජීවිත පරිත්‍යාග යන මේවා කරමින් පැරුම් පිරිය යුතු ය. එය ඉතා උදාර අදහස් ඇති මහා වීරයෙකුට මිස සැමට ම කළ හැකි වැඩක් නො වන බැවින් ලෝකයෙහි බුදු කෙනෙකුන් පහළ වන්නේ ඉතා දීර්ඝ කාලයකිනි.

බුදුරජාණන් වහන්සේ ආශ්චර්ය පුද්ගලයෙකි. උන්වහන්සේගේ ගුණ තබා ශරීරය ද ප්‍රමාණ කළ නොහේ. කොපමණ උස කෙනෙකුට වුව ද උන්වහන්සේගේ හිස් මුදුන නො බැලිය හැකි ය.
ලෝකයෙහි සැමට ම වඩා ශෝභන තැනැත්තා ද උන්වහන්සේය. මිනිස් ලොව තබා දෙව්ලොව බඹලොව ද රූප ශෝභාවෙන් උන්වහන්සේට වැඩි කෙනෙකු තබා සම කෙනෙක් ද නැත. උන්වහන්සේගේ ශරීරය රන්වන් ය. ඔප නැඟූ රන් කඳක් සේ දිලිසෙන්නේය. එයින් නිල් කහ රතු සුදු රැස් විහිදෙන්නේ ය. මදට පැහැය ඇත්තා වූ ද කලවම් පැහැය ඇත්තා වූ ද රැස් විහිදෙන්නේ ය.

සියලු කෙලෙසුන් නැසූ බැවින් උන්වහන්සේගේ සිත අතිපරිශුද්ධ ය. කරුණාවෙන් තෙත් ය. තමන්වහන්සේගේ පුත්‍ර වූ රහල් කුමරුවන් කෙරෙහි මෙන් ම දේවදත්ත ආදි සතුරන් කෙරෙහි ද උන්වහන්සේගේ මහාකරුණාව නො වෙනස් ව පවත්නේ ය. කිසි වස්තුවක් කෙරෙහි හා කිසි ම පුද්ගලයෙකු කෙරෙහි ද උන්වහන්සේගේ ඇල්මක් නැත. දේවදත්තාදී සතුරන් කෙරෙහි ද උන්වහන්සේගේ වෛරයක් නැත. උන්වහන්සේ සතුරු මිතුරු සැම දෙනාට ම යහපතක් කරන සේක.

උන්වහන්සේ අතීතානාගත වර්තමාන යන කාලත්‍රයට අයත් වූ ද කාලමුක්ත වූ ද සියල්ල දත් සේක. උන්වහන්සේගේ දිවැසට කොතරම් දුර තිබෙන දෙයක් වුව ද කොතරම් සියුම් දෙයක් වුව ද පෙනෙන්නේ ය. උන්වහන්සේගේ දිවකනට ඉතා දුර ශබ්ද හා පියවි කනට නො ඇසෙන ශබ්ද ද මැනවින් ඇසෙන්නේය. උන්වහන්සේට අනුන්ගේ සිත් අනුන්ගේ අදහස් අනුන්ගේ ගති ගුණ ද පෙනෙන්නේ ය. මැරෙන්නන් උපදින තැන් පෙනෙන්නේ ය. ඒ ඉපදීම්වලට හේතු වන පින් පව් පෙනෙන්නේ ය.

උන්වහන්සේගේ ඍද්ධිය ඉතා ආශ්චර්යවත් ය. උන්වහන්සේට දිය ගිනි සුළං ආදි ඕනෑ ම දෙයක් සිතින් ම මැවිය හැකි ය. කැමති වෙසක් මවා ගත හැකි ය. පොළොවෙහි මෙන් ම අහස්හි ද සියලු ඉරියව් පැවැත්විය හැකි ය. ජලයෙහි ද පොළොවෙහි මෙන් සියලු ඉරියව් පැවැත්විය හැකි ය. වක් කළ අතක් දිගු කරන්නාක් මෙන් සැණෙකින් ලෝකයේ ඕනෑ ම තැනකට යා හැකි ය. නො පෙනී ද විසිය හැකි ය.

උන්වහන්සේගේ ධර්ම දේශනය ඉතා ආශ්චර්යවත්ය. දහම් දෙසන්නා වූ උන්වහන්සේගේ මුහුණ සතර දිශාවෙහි ම සිට දහම් අසන සෑම දෙනාට ම නො වෙනස් ව පෙනෙන්නේ ය. උන්වහන්සේ විසින් එක ම භාෂාවකින් කරන දේශනය සැම දෙනාට ම තම තමන්ගේ භාෂාවෙන් තේරෙන්නේ ය. උන්වහන්සේගේ හඬ ඉතා මිහිරි ය. මිනිස් හඬට බිය වී පලා යන වන සත්තු ද උන්වහන්සේගේ මිහිරි හඬ සතුටින් අසා ගෙන සිටිති. උන්වහන්සේගේ හඬ සේ මිහිරි කටහඬක් තබා තූර්යනාදයකුදු නැත. උන්වහන්සේගේ මේ මධුර ස්වරය බණ අසන පිරිසෙන් පිටතට ද නො පැතිරෙන්නේ ය. බණ අසන්නවුන් ලොව පුරා සිටියත් සැමට ම ඇසෙන්නේ ය. උන්වහන්සේ යමක් ප්‍රකාශ කෙළේ නම් එය එසේ ම ය. උන්වහන්සේට වැරදීම් නැත.

නිහතමානී වූ ඒ භාග්‍යවතුන් වහන්සේ මිනිසුන්ගේ උසස් පහත් පොහොසත් දුප්පත්කම් ගැන නො සලකන සේක. උන්වහන්සේ කෝසලාදී නරේන්ද්‍රයන්ගේ මාළිගාවන්ට මෙන් ම කරුණක් ඇති වී නම් රොඩී කුප්පායමට ද වඩනා සේක. උන්වහන්සේ වැදුම් පිදුම් කළ යුත්තන් අතුරෙන් අග්‍ර වූ සේක.

ධර්ම රත්නය

සතර මාර්ගය, සතර ඵලය, නිර්වාණය යන නව ලෝකෝත්තර ධර්ම හා තථාගතයන් වහන්සේ විසින් පන්සාළිස් වසක් මුළුල්ලෙහි දෙව් මිනිසුන්ට දේශනය කළ ධර්ම සමූහය වූ පිටකත්‍රය ද යන මේ දස වැදෑරුම් ධර්මය ධර්ම රත්නය යි.

එහි සතර මාර්ගය යනු සෝවාන් මාර්ගය, සකෘදාගාමී මාර්ගය, අනාගාමී මාර්ගය, අර්හත් මාර්ගය යන සතර ය. සතර ඵලය යනු සෝවාන් ඵලය, සකෘදාගාමී ඵලය, අනාගාමී ඵලය, අර්හත් ඵලය යන සතර ය. මේ ලෝකෝත්තර මාර්ග ඵල ධර්මයෝ යම් කිසි තැනක ඇති වස්තු කොටසක් නො ව, තම තමා විසින් ම වීර්ය කොට, තම තමා තුළ උපදවා ගත යුතු ධර්මයෝ ය. නිර්වාණය යනු ඒ ලෝකෝත්තර මාර්ගයන් ලැබීමෙන් ලැබෙන උසස් සුවය ය.
පිටකත්‍රය යනු විනය පිටකය, සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය යන තුන ය.

එහි විනය පිටකය යනු තථාගතයන් වහන්සේ විසින් තමන් වහන්සේගේ ශ්‍රාවකයනට පැන වූ නීති සමූහය අන්තර්ගත දේශනා සමූහය ය. එය 1.පාරාජික පාළිය ය, 2.පාචිත්තිය පාළිය ය, 3.මහාවග්ගපාළිය ය, 4.චූලවග්ගපාළිය ය, 5.පරිවාරපාළිය යයි ප්‍රකරණ වශයෙන් පසෙක් වන්නේ ය. ධර්මස්කන්ධ විසි එක් දහසෙකි.

සූත්‍ර පිටකය යනු තථාගතයන් වහන්සේ විසින් ඒ ඒ ස්ථානයන්හි ඒ ඒ පුද්ගලයන්ට දේශනය කළා වූ සාමාන්‍ය දේශනා සමූහය ය. ඒ සූත්‍ර පිටකය 1.දීඝ නිකාය ය, 2.මජ්ඣිම නිකාය ය, 3.සංයුත්ත නිකාය ය, 4.අඞ්ගුත්තර නිකාය ය, 5.ඛුද්දක නිකාය ය යි නිකාය පසකට බෙදා තිබේ.

එහි දීඝ නිකාය සූත්‍ර සූතිසකින් හා බණවර සිවු සැටකින් යුක්තය. මජ්ඣිම නිකාය සූත්‍ර එක්සිය දෙපනසකින් හා බණවර අසූවකින් යුක්තය. සංයුක්ත නිකාය සූත්‍ර සත් දහස් සත් සිය සැට දෙකකින් හා බණවර සියයකින් යුක්ත ය. අඞ්ගුත්තර නිකාය සූත්‍ර නව දහස් සත්සිය සත් පනසකින් හා බණවර එක් සිය විස්සකින් යුක්ත ය. ඛුද්දක නිකාය කුඩා ග්‍රන්ථ සමූහයකි. 1.ඛුද්දකපාඨය, 2.ධම්මපදය, 3.උදානය, 4.ඉතිවුත්තකය, 5.සුත්තනිපාතය, 6.විමානවත්ථුපාළිය, 7.පේතවත්ථුපාළිය, 8.ථෙරගාථාපාළිය, 9.ථෙරීගාථාපාළිය, 10.ජාතකපාළිය, 11.නිද්දේසපාළිය, 12.පටිසම්භිදාමග්ගය, 13.අපදානය, 14.බුද්ධවංසය 15.චරියාපිටකය යන මේ ප්‍රකරණ පසළොස ඛුද්දක නිකාය ය. සූත්‍ර පිටකයෙහි ධර්මස්කන්ධ විසි එක් දහසෙකි.

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණීමෙන් සවන වසරෙහි තව්තිසා දෙව් ලොව වස් තුන් මස මුළුල්ලෙහි දේශනය කළ පරම ගම්භීර පරමාර්ථ දේශනය, අභිධර්ම පිටකය ය. 1.ධම්මසඞ්ගණීප්‍රකරණය, 2.විභඞ්ගප්‍රකරණය 3.ධාතුකථාප්‍රකරණය, 4.පුග්ගලපඤ්ඤත්තිප්‍රකරණය, 5.කථාවත්ථුප්‍රකරණය, 6.යමකප්‍රකරණය, 7.පට්ඨානප්‍රකරණය යයි අභිධර්ම පිටකයෙහි ප්‍රකරණ සතෙකි. එහි ධර්මස්කන්ධ සතළින් දෙදහසකි.

සංඝ රත්නය

නව දහස් එක් සිය අසූ කෝටි පනස් ලක්ෂ සතිස් දහසක් සංවර ඇත්තා වූ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් හා මාර්ග සම්‍යක් දෘෂ්ටියෙන් ද ඔවුනොවුන් හා සමාන වූ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක වූ, ශාරිපුත්‍ර - මෞද්ගල්‍යාන - ආනන්ද - රාහුල ආදි පුද්ගල සමූහය ආර්ය සඞ්ඝරත්නය ය. පුද්ගලයන් අට දෙනෙකු ඇති බැවින් එයට අෂ්ටාර්යපුද්ගල මහා සංඝරත්නය යයි කියනු ලැබේ. ඒ සංඝරත්නයට අයත් ආර්ය පුද්ගලයෝ අට දෙන නම්-

1. සෝවාන් මාර්ගස්ථ පුද්ගලයා ය.
2. සෝවාන් ඵලස්ථ පුද්ගලයා ය.
3. සකෘදාගාමී මාර්ගස්ථ පුද්ගලයා ය.
4. සකෘදාගාමී ඵලස්ථ පුද්ගලයා ය.
5. අනාගාමී මාර්ගස්ථ පුද්ගලයා ය.
6. අනාගාමී ඵලස්ථ පුද්ගලයා ය.
7. අර්හත් මාර්ගස්ථ පුද්ගලයා ය.
8. අර්හත් ඵලස්ථ පුද්ගලයා ය.

යන මොවුහු ය.

ආර්ය පුද්ගලයන් අට දෙනා අතුරෙන් සෝවාන් පුද්ගලයා හට සක්කායදිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස යන සංයෝජන තුන නැත්තේ ය. ඔහුට කාමරාගාදි අවශේෂ සංයෝජන ඇත ද, ඒවා ඇත්තේ පෘථග්ජනයන්ට මෙන් ඖදාරික පරිද්දෙන් නො ව, සියුම් ලෙසිනි. ස්වල්ප වශයෙනි. එබැවින් සෝවාන් වූ ආර්යශ්‍රාවකයන් වහන්සේ අපායෝත්පත්තියට හේතු වන තරම් ඖදාරික පාපයන් නො කරන්නාහ. එබැවින් උන්වහන්සේ අපායෙහි නූපදනාහ. ඒ ජාතියේ දී ම රහත් නො වී සසර උපදිතත් උපදින්නේ සුගතිභවයෙහි සත්වරක් පමණකි.

සෝවාන් ඵලයෙහි සිටි භික්ෂූන් වහන්සේ ඒ තත්ත්වයෙහි සිට නැවත ත්‍රිලක්ෂණ භාවනාවෙහි යෙදෙනුවෝ සකෘදාගාමී මාර්ගඥානයට පැමිණ කාමරාග සංයෝජනය හා ව්‍යාපාද සංයෝජනය තවත් තුනී කොට සකෘදාගාමී ඵලයට පැමිණෙන්නාහ.

සකෘදාගාමී ඵලයෙහි පිහිටි භික්ෂූන් වහන්සේ නැවත ද විදර්ශනා කරන සේක් අනාගාමී මාර්ගය ලබා කාමරාග සංයෝජනය හා ව්‍යාපාද සංයෝජනය නිරවශේෂයෙන් (ඉතිරි නැති ව ම) ප්‍රහාණය කොට අනාගාමී ඵලයට පැමිණෙන සේක.

අනාගාමී භික්ෂූන් වහන්සේ නැවත භාවනාවෙහි යෙදෙනුවෝ අර්හත් මාර්ගයට පැමිණ ඉතිරි සියලු කෙලෙසුන් නසා අර්හත් ඵලයට පැමිණෙන සේක. ඉන් පසු උන්වහන්සේ සංසාරයේ නැවත නූපදනා සේක.

ගෘහස්ථ භූමියෙහි සිටින බොහෝ මනුෂ්‍ය දේව බ්‍රහ්ම ආර්ය පුද්ගලයන් ඇත ද, ඔවුහු අධිශීල සඞ්ඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටියවුන් නො වන බැවින් සඞ්ඝරත්නයට අයත් වෙති. මෙකල වෙසෙන පෘථග්ජන භික්ෂූන් වහන්සේ ආර්යයන් නො වන නමුත් නව දහස් එක් සිය අසූ කෝටි පනස් ලක්ෂ සතිස් දහසක් සංවර ඇත්තා වූ ප්‍රාතිමෝක්ෂ සංවර ශීල සංඛ්‍යාත ආර්ය ශීලස්කන්ධයෙන් යුක්ත ව, ආර්යයන් වහන්සේලා අනුව පිළිපදනා බැවින් සංඝරත්නයට අයත් වන සේක. පරිජි ඇවතට පැමිණියෝ ද, උපසම්පදාව පිහිටිය හැකි සේ විනයාගත පරිද්දෙන් උපසම්පදාව නො ලබා, උසම්පන්නයන් සැටියට පෙනී සිටින්නෝ ද සංඝරත්නයට ඇතුළත් නො වෙති.

අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මාහිමිපාණන් වහන්සේගේ බෞද්ධයාගේ අත්පොත ධර්ම ග්‍රන්ථයෙනි.


No comments:

Post a Comment