Nov 11, 2016

ෂට් ශාස්තෘවරුන් හා ඔවුන්ගේ ඉගැන්වීම් (දීඝනිකායේ සාමඤ්ඤඵල සූත්‍රාන්තය ඇසුරිනි)




ගෞතම බුදුරජාණන් වහන්සේගේ සමකාලීන ශ්‍රමණ ශාස්තෘවරු ස'දෙනෙක් පිළිබඳ ත්‍රිපිටක පාළියේ නොයෙක් තැන සඳහන් වෙයි. දීඝනිකායේ සාමඤ්ඤඵල සූත්‍රාන්තය ඒ අතරින් ප්‍රධාන වන්නේ එකී ෂට් ශාස්තෘන්ගේ ඉගැන්වීම් පිළිබඳ දත හැකි ප්‍රමුඛ ථෙරවාදී මූලාශ්‍රය එය වන බැවිනි. "සඞ්ඝී චෙව ගණී ච ගණාචරියො ච ඤාතො යසස්සී තිත්ථංකරො සාධුසම්මතො බහුජනස්ස රත්තඤ්ඤු චිරපබ්බජිතො අද්ධගතො වයොඅනුප්පත්තො" ආදි වචන සමුදායකින් මේ ෂට්ශාස්තෘන්ගේ ප්‍රකටභාවය විස්තර කොට තිබේ. පැවිදි සමූහය යයි කියන ලද සඞ්ඝයා ඇත්තේනු යි සඞ්ඝී. එම ගණය ම ඇත්තේනු යි ගණී. ආචාරසික්ඛාපන වශයෙන් ඒ ගණයාට ආචාර්යයානු යි ගණාචරියො. ඤාතො යනු ප්‍රසිද්ධ, ප්‍රකට, අල්පේච්ඡ, ලද දැයින් සතුටු වන්නේ ය, අල්පේච්ඡතාව නිසා වස්ත්‍රයක්වත් නො හඳිති යි නැඟුණු යසසක් ඇත්තේනු යි යසස්සී. ලද්ධි ඇති කරන්නේ තිත්ථංකරො නමි. මොහු සාධු සුන්දර (යහපත් සොඳුරු) සත්පුරුෂයෙකැ යි මෙසේ සම්මත වූයේ සාධුසම්මතො. බහුජනස්ස අශ්‍රැතවත් අඳබාල පෘථග්ජනයන්ගේ. පැවිද්දෙහි පටන් අතික්කන්ත වූ බොහෝ රාත්‍රීන් දත්තේනු යි රත්තඤ්ඤු. පැවිදි ව බොහෝ කල් ඇත්තේනු යි චිරපබ්බජිතො. මෙසේ දිගුකල් ගියේ යයි අද්ධගතො යි. පශ්චිම වයසට පැමිණ සිටි හෙයින් වයො අනුප්පත්තො. ඒ ෂට්ශාස්තෘහු නම් 1. පූරණකස්සප 2. මක්ඛලීගෝසාල 3. අජිතකේසකම්බල 4. පකුධකච්චායන 5. නිගණ්ඨනාතපුත්ත 6. සඤ්ජයබෙළට්ඨිපුත්ත යනු මොවුහු ස'දෙන ය.

පංචන ජයසිංහ
පාලි හා බෞද්ධ අධ්‍ය්‍යනාංශය,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.



No comments:

Post a Comment