Nov 16, 2016

පාලි භාෂාව හා වාග්විද්‍යාව (තුන්වැනි කොටස) භාෂාවේ පරිණාමය හා අර්ථ විපර්යාසය




තුන් කාලයට ම පොදු සත්‍යයක් වන අනිත්‍යතා සිද්ධාන්තයට අනුව ලොව කිසිවක් සදාතනික නැත; ස්ථිර නැත. භාෂා පරිණාමය යනුවෙන් ඉහත සාකච්ඡා කරන්නට යෙදුණෙන් භාෂාව සම්බන්ධයෙන් ද ඒ තත්ත්වය සාධාරණ වූ බව පිළිගන්නට සිදු වේ. සාමාන්‍යයෙන් මළ භාෂාවකට වඩා ජීව භාෂාවක විපරිණාමය ඉක්මන් බව කීම යුක්ති සහගත ය. එයිනුත්, දියුණු සාහිත්‍යයකට උරුමකම් නො කියන, ලේඛන ව්‍යවහාරයක් නැති, හුදු කථිත ව්‍යවහාරයට ම පමණක් සීමා වූ භාෂාවන්ගේ පරිණාමීය ශීඝ්‍රතාව ඉතා ඉහළ ය. යම් භාෂා ව්‍යවහාරයක් සාහිත්‍යයක් විසින් මැනැවින් සුරක්ෂා කෙරේ නම් පරම්පරා දෙක තුනක් හෝ සියවසක් කිහිපයක් ගත වුවත් එහි වෙනස්වීමකුත් නො පෙනෙන තරම් ය. එහෙත් වරිගයෙන් ඈත් ව දුර පෙදෙස්හි දඩයමේ ගොස් වසර ගණනකට පසු ආපසු තම ගෝත්‍රය වෙත එන ඇතැම් වනචාරීනට නම් බාගවිට තම මව් බස අමතක වන්නටත් පිළිවන. සමූහ වශයෙන් මතු නො ව, ඒකල වශයෙනුත් පුද්ගලයෙකුගේ භාෂා ව්‍යවහාරයේ විශාල විපර්යාස ඇති විය හැක. එසේ නම්, මෙම භාෂා විපර්යාසය හෙවත්, භාෂා පරිණාමය පිණිස බලපවත්වන්නා වූ හේතු සාධක කවරේ ද යන වග ත්, වාග් විද්‍යාවේ දී විමසා බැලේ. ඒ අනුව, භාෂා පරිණාමයට තුඩු දෙන හේතු සාධක සියල්ල ප්‍රධාන ප්‍රාන්තර පහක් ඔස්සේ සාකච්ඡා කළ හැක.

01. රටක පිහිටීම, භූමි නිර්මාණය හා දේශගුණය ආදී භූගෝල ශාස්ත්‍රීය බලපෑම්.

02. දේශපාලන, ආර්ථික, ආගමික, සාමාජික හා වෙනත් හේතූන් නිසා ජාතීන් අතර ඇති වන සම්බන්ධතාව හෝ බලපෑම උඩ ඇති වන භාෂා ඝට්ටන හා මිශ්‍රණ.

03. සමාජ තත්ත්වය, කුල භේදය, පන්ති භේදය, උගත්නූගත්කම්, රැකීරක්ෂාවන්ගේ විවිධත්වය, නව නිර්මාණ හා අනාවරණ ආදී සාමාජික බලපෑම්.

04. උච්චාරණ හා ශ්‍රවණේන්ද්‍රිය පන්තිවල ඇති දුර්වලතා, පෞද්ගලිකත්වයට ඇති ලැදියාව, අනුකරණය කිරීමේ ආශාව, සමාජ රුචිය ආදී නොයෙක් කායික - මානසික බලපෑම්.

05. ආගම, සාහිත්‍යය, ඉතිහාසය, ලලිත කලා, ශිල්ප ශාස්ත්‍ර ආදී සංස්කෘතික බලපෑම්.

ආදී වශයෙනි. මෙසේ ඇති වන භාෂා පරිණාමය කිසිවෙකුටත් වැළැක්විය නො හැක. එහෙත්, ඒ සමඟ ම පැන නඟින ගැටලුවක් නම් අර්ථ විපර්යාසය යි. භාෂා පරිණාමයට අනුව වචනවල අදහස් නන් අයුරින් වෙනස් වන බව අර්ථ විපර්යාසය ඔස්සේ සාකච්ඡා කෙරේ. අර්ථ විචාරය පිළිබඳ පැරණි නිරුක්ති ශාස්ත්‍රාදියෙහි තොරතුරු ඇතුළත් වෙතත්, අර්ථ විපර්යාසය ගැන සැලකිල්ලක් දක්වා නො මැත. උපමා - රූපක - ධ්වනි - වක්‍රොක්ති - ව්‍යංග - අන්‍යාලාප ආදියෙන් වචනාර්ථ විපර්යාසයේ විවිධ අවස්ථා හා විවිධ ක්‍රම විස්තර කෙරෙන මුත් එයිනුත් අර්ථ විපර්යාසයෙහි ලා එතරම් දායකත්වයක් ලැබෙතැයි කිව නො හැක. අපරදිග ව්‍යාකරණයේ පියා නමින් හැඳින්වෙන ඇරිස්ටෝටල් ද අර්ථ විපර්යාස ක්‍රම පිළිබඳ එක්තරා ක්‍රමයක වර්ග කිරීමක් කර තිබුණත්, එය ද පෙරදිග මෙන් උපමා රූපකාදී සාහිත්‍යාලංකාර ක්‍රමවලට සීමා විය.

නමුත්, ඒ අඩුව පිරිමසාලමින් වාග් විද්‍යාව අර්ථ විපර්යාසය ගැන විශේෂ අවධානයක් මෑතක සිට යොමු කරමින් සිටී. ප්‍රංස වාග් විද්‍යාඥයෙකු වන බ්‍රියෙල්ගේ "එසේ දෙ සෙමැන්ටික්" ග්‍රන්ථය මෙහි ලා ප්‍රවේශය ලබා දුන්නේ ය. පසු ව අර්ථ විපර්යාසය පිළිබඳ වාග් විද්‍යාත්මක අධ්‍යයන කටයුතු පුළුල් කෙරිණ. වචන විපර්යාසය නොයෙක් කායික හේතු නිසා ත්, මානසික හේතු නිසා ත් සිදු වේ. එහෙයින්, වචන විපර්යාසයට හේතු සෙවීම පහසු ය. එහෙත්, අර්ථ විපර්යාස ඊට හාත්පසින් ම වෙනස් ය.

අදහස් නිපදවීමත්, ගැළපීමත්, පාලනය කිරීමත් මනසට ම අයත් කාර්යයක් වන හෙයින් අර්ථ විපර්යාසය හුදු මානසික සම්බන්ධතාව මත ම සිදු වෙයි. එයින් අදහස් වන්නේ අර්ථ පරිණාමයේ මූලධර්ම සියල්ල ම මනෝ විද්‍යාත්මක හේතු මත රඳා පවතින බව යි.

මේ නිසා අර්ථ විපර්යාසය පිළිබඳ නිශ්චිත ස්ථාවරයක් ප්‍රකාශ කිරීම අපහසු ය. කෙසේ වෙතත්, අර්ථ විපර්යාසයට බලපාන හේතු සාධක කිහිපයක් පහත පරිදි හඳුනා ගත හැක.

01. වෙන බසකින් වචන, අදහස් ආදිය ගැනීම.
02. භාෂා සමාජයක් ශාඛා ප්‍රශාඛාවලට බෙදී යාම.
03. පරිසරය වෙනස් වීම. භූගෝල ශාස්ත්‍රීය පරිසරයත්, සමාජයීය පරිසරයත්, භෞතික පරිසරයත් මෙහි පරිසරය වශයෙන් අදහස් කෙරෙයි.
04. වඩා පැහැදිලි ලෙසත්, විස්තරාත්මක වත්, වර්ණනාත්මක ව ත් අදහස් ප්‍රකාශ කිරීමට උත්සාහ දැරීම.
05. අලංකාර ලෙස හා රසවත් ලෙස අදහස් ප්‍රකාශ කිරීමට ඇති ආශාව.
06. ශිෂ්ට සම්මත ලෙස හා උසස් ලෙස කථා කිරීමට ඇති කැමැත්ත.
07. බියකරු, පිළිකුල් කටයුතු, පහත් හැඟීම් උපදවන අදහස් වුව ප්‍රියමනාප ලෙස ප්‍රකාශ කිරීමට උත්සාහ කිරීම.
08. මිථ්‍යා විශ්වාස හා ඇතැම් සමාජ සිරිත් විරිත්.
09. ආදරය, ලැදි බව හා සමීප බව පෙන්වීමට ඇති ආශාව.
10. වචනවල අදහස් නො දැනීම, පැහැදිලි ස්ථිර නිගමනයක් නො මැති බව හෝ නො සැලකිල්ල නිසා වැරදි වචන භාවිත කිරීම.
11. ස්ථිර අර්ථයෙන් තොර වචන භාවිතය.
12. පිරිමැස්ම, පහසුව, ඉක්මන හා වේගවත් බව නිසා වචන නිසි ලෙස ශබ්ද නො කිරීම.
13. අමුතු වචන නිෂ්පාදනය කිරීම.
14. අතිශයෝක්තියෙන් හා අවධාරණයෙන් යුතු ව අභ්‍යන්තර හැඟීම් ප්‍රකාශ කිරීම.
මේ ආදී හේතුසාධක කරණ කොට ගෙන අර්ථ විපර්යාසට තුඩු දෙන ක්‍රම කිහිපයක් වාග්විද්‍යනුකූල ව වර්ග කර ගැනීමට වාග්වේදීන් සමත් ව ඇත. ඒ මෙසේ ය.

01. අර්ථ විස්තාරය හෙවත් අදහස් පුළුල් වීම.
            
මුල දී සීමාන්තික අදහසක් දුන් වචනයක්, පසු ව ඊට වඩා වීස්තීර්ණ අදහසක් හෝ අදහස් කීපයක් ප්‍රකට කරයි නම් එය අර්ථ විස්තාරය යි.

02. අර්ථ සංකෝචනය හෙවත් අදහස් හැකිළීම.

මුල දී විස්තීර්ණ අදහසක් හෝ අදහස් කිහිපයක් දුන් වචනයක්, පසු ව ඊට වඩා පටු, ලඝු අදහසක් ප්‍රකාශ කරමින් අර්ථය සංකෝචනය කරන බව මෙයින් කියැවේ.

03. අර්ථ පරිවර්තනය හෙවත් අදහස් හුවමාරු වීම හෝ වෙනස් වීම.

සමීප සම්බන්ධත්වය හෝ සමානතාව වැනි හේතු මත උපචාර වශයෙන් හෝ වෙනත් ක්‍රමවලින් වචනයක අදහස වෙනත් අදහසක් සමඟ ගැටීමත්, ඒ ගැටීමේ ප්‍රතිඵලයක් වශයෙන් අදහස් මාරු වීමක් හෝ වෙනස් වීමක් සිදු වේ නම් එය අර්ථ පරිවර්තනය යි.

04. අර්ථෝන්නතිය හෙවත් අදහස් උසස් වීම.

යම් වචනයක පෙර පැවැති අදහස, තත්ත්වයෙන් උසස් කෙරේ නම් එය අර්ථෝන්තිය යි.

05. අර්ථාවනතිය හෙවත් අදහස් පහත් වීම.

අර්ථොන්තියේ ප්‍රතිපක්ෂය යි. පෙර පැවැති උසස් හෝ සාමාන්‍යය අදහසක්, එම තත්ත්වයෙන් පහත් කෙරේ නම් එය අර්ථාවනතිය යි.

06. අර්ථ විරෝධය හෙවත් විරුද්ධ අදහස් දීම.

පෙර තිබූ අදහසට හාත්පසින් ම විරුද්ධ අදහසක් ගෙන දීම අර්ථ විරෝධය යි.

07. අර්ථ පරිහානිය හෙවත් අදහස් පිරිහීම හෝ නැති වීම‍.

වචනයක අදහස ක්‍රමයෙන් පිරිහී යෑම හෝ සම්පූර්ණයෙන් ම අභාවයට ගොස් ශූන්‍යය තත්ත්වයට පත් වීම මෙයින් අදහස් කෙරේ.



No comments:

Post a Comment