Jun 8, 2016

බෞද්ධ දේව සංකල්පය (දෙවැනි කොටස) - මැවුම්කාර දෙවියා



මැවුම්කාර දෙවියෙකු පිළිබඳ අදහස බුදුසමය ඇති වූ වකවානුවේ දී භාරතීය සමාජයෙහි සාමාන්‍ය ජනයා අතර තදින් ම මුල් බැස ගෙන තිබූ එකක් බව ඉහතින් දැක්විණ. මුල් ම කාලයේ දී මෙම දෙවියා හඳුන්වනු ලැබූයේ ‘විශ්වකර්මන් සහ ‘ප්‍රජාපතී’ යන නම්වලිනි. බ්‍රාහ්මණ යුගය වන විට ‘මහාබ්‍රහ්ම’ යන නාමය ව්‍යවහාරයට ආවේ ය. මෙම ලෝකමාපක දෙවියා බමුණන් විස්තර කළ අයුරු ‘කේවට්ඨ සූත්‍රයෙහි’ත් (දීනි. 1, පිට 220) ‘බ්‍රහ්මජාල සූත්‍රයෙහි’ත් (දීනි. 1, පිට 18) තවත් සූත්‍ර කිහිපයකත් මෙසේ දැක්වෙයි.

“අපට වඩා පැහැසපුව ඇති, අපට වඩා උතුම් වූ, මහා බ්‍රහ්ම වූ, සියල්ල මැඩපවත්නා, කිසිවකු විසින් මො මඬනා ලද, ඒකාන්තයෙන් සියල්ල දක්නා, සියල්ල තමා වශයෙහි පවත්වන, සියල්ලට ම ඊශ්වර වූ, සියල්ලෙහි කර්තෘ වූ, සියල්ලෙහි මැවුම්කරු වූ, සියල්ලනට ශ්‍රේෂ්ට වූ, සියල්ල සකස් කරන, පුරුදු කළ වශිතා ඇති, උපන් ද උපදනා ද සත්හට ප්‍රිය වූ බ්‍රහ්මයෙක් ඇත.” (බ්‍රහ්මා, මහාබ්‍රහ්මා, අභිභූ, අනභිභූතො, අඤ්ඤත්ථු දසො, වසවත්තී, ඉස්සරො, කත්තා, නිම්මාතා, සෙට්ඨො, සඤ්ජිතා, වසී, පිතා, භූතභව්‍යානං, අම්හෙහි අභික්කන්තතරො ච පණීතරො ච) ලෝකයෙහි නිර්මාතෘවරයා මොහු වූ අතර, ලොව පැවැත්ම සම්පූර්ණයෙන් ම මේ දෙවියාගේ අදහස අනුව ම සිදුවන බව බ්‍රාහ්මණයෝ කියා සිටියහ. ඔවුන්ගේ අදහස අනුව මේ දෙවියා සර්වබලධාරී ය; අත්‍යන්ත කාරුණික ය; සර්වඥ ය; සර්වතොභද්‍ර ය.

‘තේවිජ්ජ සූත්‍රයෙහි’ (දීනි. 1, පිට 238-52) මේ දෙවියා ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරේ. මැවුම්කාර දෙවියකු ගැන තදින් විශ්වාස කළ බමුණෝ පුදපූජා පැවැත්වීමෙහි අවසාන අරමුණ මේ මැවුම්කාර දෙවියන් හා එක්වීම (බ්‍රහ්ම සහව්‍යතා) වශයෙන් උගැන්වූහ. ක්‍රමවත් ව පුදපූජා පැවැත්වීමෙන් මරණින් පසු මැවුම්කාර දෙවියන් හා එක්විය හැකි බව බ්‍රාහ්මණ උගැන්වීමෙහි ප්‍රධාන ම තැනක් ගත්තේ ය. මේ අදහස ඉදිරිපත් කළ බමුණන්ගෙන් බුදුහු විචාළේ ඔවුන්වත්, ඔවුන්ගේ ගුරුවරයෙකුවත්, එම ගුරුවරුන්ගේ ගුරුවරයෙකුවත් බ්‍රහ්මයා දැක තිබේ ද, එසේ නැතිනම් ඒ බ්‍රහ්මයාගේ ස්වරූපය මෙසේ යයි කීමට තරම් දැනීමක් තිබේ ද යන්න යි. ඊට බමුණන්ගේ පිළිතුර වූයේ මෙතෙක් බ්‍රහ්මයා පිළිබඳ ව පුද්ගලික ව අද්දැකීමක් ලත් කෙනෙකු නැති බව යි; එය එසේ නම් තමන් නො දන්නා බ්‍රහ්මයකු සමඟ එක්වීම සඳහා පුද පූජා පැවැත්වීම විහිළුවක් නො වන්නේ දැ යි ඇසූ බුදුහු, බමුණන්ගේ එම වෑයම තමා නුදුටු, කොහි සිටී දැ යි නො දත්, වගක් තුගක් කිසිත් නො දන්නා හිතින් මවාගත් ජනපද කල්‍යාණියක විවාහ කර ගන්නට තීරණය කරගත් මිනිසකුගේ තත්ත්වයට නො දෙවෙනි නො වන්නේ දැ යි ප්‍රශ්න කළ හ.

තමතමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට නියම පිළිවෙතක් අනුගමනය නොකොට බ්‍රහ්මයාටත් දෙවිවරුන්ටත් කන්නලව් කිරීම ගඟින් එතෙර වීමට අවශ්‍යතාවයක් ඇති මිනිසකු ගඟින් එතෙර වන නියම ක්‍රමය අනුගමනය නො කොට ගඟ ඉවුරට ගොස් එහා ඉවුර තමා ළඟට එන ලෙස කන්නලව් කිරීම වැනි යයි බුදුරජහු ප්‍රකාශ කළහ.

බමුණන් කියන විධියේ දෙවියෙකු විසින් ලෝකය මවන ලදැ යි යන අදහස නො පිළිගන්නට තවත් සාධක ඇති බව බුදු රජහු පෙන්නුම් කළහ. බමුණන්ගේ මැවුම්වාදය පිළිගතහොත් අකිරියවාදය තහවුරු වන බවත්, එහෙත් සත්ත්වයන්ගේ උත්සාහය - පරාක්‍රමය - ධෛර්යය - ඉදිරිපත් වී වැඩ කිරීම යනාදි ධර්මයන්ගේ ඵලවිපාක ඉතා ම පැහැදිලි ව පෙනෙද්දී අකිරියවාදය නො පිළිගැනෙන බවත් බුදු හිමියෝ අංගුත්තර නිකායෙහි තික නිපාතයෙහි (1, පිට 173) පෙන්වා දෙති. තව ද, ලෝකය මවන ලද්දේ අත්‍යන්ත කාරුණික දෙවිකෙනෙකු විසින් නම් ලොව මෙතෙක් දුක් නො තිබිය හැකි බවත්, දෙවියන්ගේ අත්‍යන්ත කාරුණිකභාවය පිළිගතහොත් ඒ අනුව ඔහුගේ සර්වබලධාරීභාවය ගිලිහී යන බවත්, සර්වබලධාරීභාවය පිළිගතහොත් හැකිකම තිබිය දී ලෝකයෙහි දුක් සහිත තත්ත්වය නැති නො කිරීම නිසා ඔහුගේ අත්‍යන්ත කාරුණිකභාවය අහෝසි වන බවත්, මැවීමේ දී අනාගයේ දී වන දෙය ඔහු නො දුටුවේ නම් ඔහුගේ සර්වඥගුණය අහෝසි වන බවත් කියා බමුණන්ගේ තර්කවලින් ම මැවුම්කාර දෙවියෙකු පිළිබඳ අදහස බුදුහිමියෝ ඛණ්ඩනය කළහ. මජ්ඣිමනිකායෙහි ‘දේවදහ සූත්‍රයෙහි’ (2‍්, පිට 222) පෙනෙන පරිදි නිගණ්ඨන් ඇමතු බුදුහිමියන් ඔවුන්ට සමච්චල් කලේ නිගණ්ඨයන් දුක් විඳින්නේ ඊශ්වරයෙකු මැවූ හේතුවෙන් නම්, ඒකාන්තයෙන් ම දුෂ්ට වූ ඊශ්වරයෙකු විසින් ම නිගණ්ඨයන් මවන ලද්දන් විය යුතු ය යනුවෙනි. මෙම අදහස ම ‘භූරිදත්ත ජාතකයෙහි’ (ජා. 6, පිට 208) මෙසේ දැක්වෙයි; ලෝකයෙහි සෑම තැන ම විද්‍යමාන දුක ඇති සේ සියල්ලන්ට ම පෙනෙයි. ලෝකමාපක බ්‍රහ්මයාට සීමා නො දකින බලවක් ඇති නම් ඇයි ඔහුට සියල්ලන්ට ම සැප ම දිය නො හැකි? ලෝකයේ ගුණදම් පිරිහෙමින් දුශ්චරිතය වර්ධනය වන්නේ ඇයි? බමුණන්ගේ අදහස්වලින් ම බමුණු තර්කය බිඳ හෙලූ බුදුහු සාමාන්‍ය ලෝකයේ කාටත් පෙනෙන සිද්ධියක් ද මැවීමේ මතයට විරුද්ධ ව ඉදිරිපත් කළහ. එනම්, බැමිණියන් ඍතුවෙමින්, ගර්භනී ව සිට ගැබ් මේරූ විට යෝනිමාර්ගයෙන් ම දරුවන් බිහි කරනු පෙනි පෙනී බ්‍රාහ්මණයින් මහබඹුගේ මුවින් උපන් බව කීම හාස්‍යයට කරුණක් බව යි. (දීනි. 3, පිට 82)

මෙසේ මැවුම්කාර දෙවියෙකු පිළිබඳ අදහස ඉවත ලූ බුදුහු බමුණන් එබඳු අදහස් ඇති කරගන්නා පිළිවෙල කීප තැනක ම පෙන්නුම් කළහ. ‘බ්‍රහ්මජාල සූත්‍රයෙහි’ත් (දීනි. 1, පිට 18) ‘පාටික සූත්‍රයෙහි’ත් (දීනි 3, පිට 29) මේ අදහස මෙසේ දැක්වෙයි. දීර්ඝකාලයක ඇවැමෙන් කිසි දිනෙක ලෝකය විනාශ වී යයි. ලෝකය විනාශ වීමේ දී බොහෝ සෙයින් සත්ත්වයෝ ආභස්සර දේව තත්ත්වයට පත්වෙති. නැවත ලෝකය ඇති වීමේ දී පළමු ව ම හිස් වූ බ්‍රහ්මවිමානය පහළ වෙයි. මෙසේ හිස් වූ බ්‍රහ්මවිමානය පහළ වූ පසු, ආභස්සර දේවතත්ත්වයට පත් වූ කෙනෙකු පින් ගෙවී යෑම නිසා හෝ ආයුෂය ගෙවී යෑම නිසා හෝ එයින් චුත ව, හිස් වූ බ්‍රහ්මවිමානයෙහි උපදියි; එහි උපදින ඔහු මනෝමය වූ කයකින් යුතු ව, ප්‍රීතිය අහර කොට ගෙන, තමාගේ ප්‍රභාවෙන් ම ආලෝකය ලබමින්, අහසින් යමින් සැප ම විඳිමින් දිගු කලක් වෙසෙයි. මෙසේ දිගුකලක් හුදෙකලා ව ම ජීවත් වන ඔහුට අනේ තවත් අය සිටිත් නම් කොතෙක් අගී දැ යි සිතේ. ආභස්සර දේවලෝකයෙන් පින් ගෙවීයාමෙන් හෝ ආයුෂය ගෙවීයෑමෙන් හෝ පසු ව චුතවන තවත් අය බ්‍රහ්මවිමානයෙහි උපදිති. එවිට පළමු උපන් පුද්ගලයා මෙසේ සිතයි. “මම මුල් ම පුද්ගලයා වෙමි. බ්‍රහ්මයා වෙමි. මගේ සිතිවිලි අනුව අනික් අය පහළ වූ හ. එම නිසා ඔවුන්ගේ මැවුම්කරු මම වෙමි. සියල්ලන්ට ම අධිපති වෙමි.” පසු ව උපන් අය ද මෙසේ සිතති. “අප බ්‍රහ්මවිමානයෙහි උපදින විට එහි වූ මොහු මුල් ම පුරුෂයා විය යුතු ය. අප මවන ලද්දේ ඔහු විසින් විය යුතු ය. ඔහු අප සියල්ලන්ගේ ම පීතෘවරයා ය. ඔහු අපේ මැවුම්කරු ය.”

මැවුම්කාර දෙවිකෙනෙකු පිළිබඳ අදහස් ඉවත ලූ බුදුහිමියෝ ලෝකයහි නොයෙකුත් දේ සිදුවන අයුරු විස්තර කිරීමට පටිච්ච සමුප්පාද ධර්මයත්, නියාම ධර්ම පහත් උපයෝගී කරගත්හ.

ලෝකයෙහි කිසි ම දෙයක් ඊශ්වර නිර්මාණයකින් ඇති නො වේ. එමෙන් ම කිසිවක පැවැත්ම හෝ නැතිවීමත් ඊශ්වරනිර්මාණයක් නිසා සිදු නො වේ. කිසිවක් ඇතිවීමත්, කිසිවක පැවැත්ම හෝ නැතිවීමත් අහේතුවක-හේතුවක් නො මැතිවත් සිදු නො වේ. හැම දෙයක ම ඇති වීම, පැවැත්ම හා නැතිවීම හේතු සාධක ඇති ව ම සිදු වේ. ලෝකයෙහි බලපවත්වන, ක්‍රියාත්මක වන මූලික ධර්මතාව ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මතාව යි. එම ධර්මතාව ලෝකයෙහි කවදත් පවතින ස්වාභාවික ධර්මතාවක් මිස කිසිවෙකුගේ නිර්මාණයක් නො වේ. සංයුක්තනිකායෙහි නිදාන සංයුක්තයෙහි (2, පිට 78) මෙම ධර්මතාව දීර්ඝ වශයෙන් විස්තර වෙයි. මෙම ධර්මතාව එහි ඉදිරිපත් කෙරෙනුයේ මෙසේ ය. ‘මෙය ඇති විට මේ දෙය විද්‍යමාන වූ කල්හි (ඉමස්මිං සති) මේ දේ ඇති වෙයි (ඉදං හොති). මේ දෙයෙහි ඇතිවීම හේතුවෙන් (ඉමස්සුප්පාදා) මේ දෙය හටගනියි (ඉදං උප්පජ්ජති), මෙය නැතිවිට (ඉමස්මිං අසති) මේ දෙය ඇති නො වෙයි (ඉදං න හොති). මේ දෙයෙහි නිරුද්ධ වීම නිසා (ඉමස්ස නිරෝධා) මේ දෙය අභාවයට යයි (ඉදං නිරුජ්ඣති). මෙම විග්‍රහයට අනුව සියලු ම දේ හේතු ප්‍රත්‍යයන්ගේ ක්‍රියාදාමයෙකි. හේතූන් කීපයක් එක්වීමෙන් ඇති වූ ඵලය ම පසු ව ඇතිවන ඵලයකට හේතු වෙයි. උදාහරණයක් මඟින් මෙය විස්තර කරත හොත් පැසුණු වී ඇටයක් සුදුසු කෙතක අවශ්‍යය රැකවරණ සහිත ව වපුරා සුදුසු කාලයේ දී එහි ප්‍රතිඵලය නමැති වී නෙලාගත හැකි ය. වැඩපලවල නියුක්ත වීමට අවශ්‍යය ශරිර ශක්තිය ඇති කර ගැනීමට වීයෙන් තනාගත් ආහාරය උපකාරී වෙයි. මෙහි දී ශරීර ශක්තිය නමැති ප්‍රතිඵලය ඇතිවීමට වී ඇටයෙන් ඇති වූ ප්‍රතිඵලය නමැති වී හේතුව වෙයි. මේ අනුව විග්‍රහ කර බැලීමේ දී ලොව විද්‍යමාන හැම දෙයක් ම හේතු ප්‍රත්‍යයන්ගේ සංඝට්ටනයක් පමණි. එක්තැන් වන හේතූන්ගේ ප්‍රබලතාව හෝ දුර්වලකම අනුව ප්‍රතිඵලයෙහි ද නොයෙකුත් තත්ත්වයන් හා වෙනස්කම් ඇති වේ. ලෝකයෙහි නොයෙකුත් දේ සිදුවන අයුරු පැහැදිලි කරන්නට බුදුසමය තවත් ධර්මතාවයන් පහක් උපයෝගී කර ගනියි. 1.බීජ නියාමය, 2.උතුනියාමය, 3.කර්ම නියාමය, 4.ධර්ම නියාමය සහ 5.චිත්තනියාමය වශයෙන් මේ ධර්මතාවන් පහ හැඳින්වෙයි. වී ඇටයකින් වී ගසක් පමණක් ම ඇති වීම, අඹ ඇටයකින් අඹගසක් පමණක් ම ඇති වීම වැනි දේ බීජ නියාමය යි. ගස්වැල්වල සමහර කාලවල දී පමණක් මල්ඵල හට ගැනීම, කොළ හැලීම වැනි දේ උතුනියාමය යි. සත්ත්වයන් නොයෙකුත් ගතීන්හි (ජාතීන්හි) නොයෙකුත් අන්දමට උපත ලැබිමත්, ජීවත්විමත්, අභාවයට යෑමත් වැනි දේ කර්ම නියාමය යි. බෝසත් කෙනෙකුගේ අවසන් ජන්මයේ දී ස්වකීය මව්තුමිය දින හතක් තුළ දී මිය යෑම වැනි දේ ධර්ම නියාමය යි. පසු පසු ව ඇතිවන සිත් පෙර ඇති වූ සිත්වලට සම්බන්ධ ව ඇතිවීම චිත්ත නියාමය යි. (දීනිඅ. 2, පිට 432)

ප්‍රතීත්‍යසමුත්පාද ධර්මතාව අනුව සියලු දේ පිළිබඳ ව පැමිණිය හැකි නිගමනයක් වෙයි. එනම්, සියලු දේ අනිත්‍ය බව ය. ඇති වී නැති වී යන සුලු බව ය. වෙනස්වන සුලු බව ය. සත්ත්ව සමාජය අතින් බලන විට මෙම වෙනස් වීමෙහි ස්වභාවයන් දෙකක් පෙනෙන්නට තිබේ. එනම්, සත්ත්වසමූහයාගේ යහපත පිණිස වෙනස් වීමත්, අයහපත පිණිස වෙනස්වීමත් ය. වෙනස්වීම යහපත පිණිස යොදා ගත හැක්කේ ලෝකයෙහි බලපාන ප්‍රතීත්‍යසමුප්පාද ධර්මතාව නියම අයුරු තේරුම්ගත් අයට පමණි. බුදු දහම මිනිසාට මුල්තැන දෙන්නේ එය තේරුම් ගැනීමේ ශක්තිය ඔහු තුළ ඇති නිසා ය. සෑම මිනිසෙකුගේ ම අභ්‍යන්තරයෙහි ඇති කල්පනා කිරීමේ ශක්තිය දියුණු කරගත් විට මෙකී ප්‍රතීත්‍යසමුත්පාද ධර්මතාව තේරුම් ගත හැකි ය. එසේ තේරුම් ගත් විට ලෝකයෙහි ඇති වෙනස්වන සුලු ගතිය තමාගේ දියුණුවට උපයෝගී කර ගැනීම හැම කෙනෙකුට ම කරගත හැකි වේ. මේ නිසා ය බුදුහිමියන් සඳහන් කළේ “අත්තාහි අත්තනො නාථො කොහි නාථො පරො සියා” යනුවෙන්. මේ වැඩ පිළිවෙලට අනුව මිනිසාගේ නිර්මාතෘවරයාත්, මාර්ගෝපදේශකයාත් මිනිසා ම ය. මිනිසාට ඉහළින් වෙනත් අදෘශ්‍යමාන බලවේගයක් නොමැත.

“බෞද්ධ දේව සංකල්පය
බෞද්ධ විශ්ව කෝෂයේ ප්‍රධාන සංස්කාරක
ඩබ්ලිව්.ජී.වීරරත්න (ඇම්.ඒ; පී.එච්.ඩී.) විසිනි.

No comments:

Post a Comment