Jun 8, 2016

බෞද්ධ දේව සංකල්පය (පළමුවැනි කොටස) - බෞද්ධ දේව සංකල්පයේ පසුතලය


විවිධ වූ බාහිර බලවේග පිළිබඳ විශ්වාස සෑම රටක ම ඉතා ඈත යුගයේ මිනිසුන් අතර ද විද්‍යමාන විය. බුදුසමයෙහි මාතෘ භූමිය වූ ඉන්දියාව ද අනාදිමත් කාලයේ පටන් එබඳු අදහස්වලට සරු කෙතක් විය. ආගමික සාහිත්‍යයන් අතර ඉපැරණි තත්ත්වයක් උසුලන ඍග්වේද කාලයේ පටන් මෙ බඳු විශ්වාසයන් විකාශනය වූ අයුරු භාරතීය සාමයික හා දාර්ශනික ඉතිහාසය පිරික්සන විට පැහැදිලි වෙයි.

මිනිසාගේ ජීවිතය කෙරෙහි බල පෑ අහස - පොළොව - ඉර - සඳ - සුළඟ - වැසි සහ වෙනත් සවාභාවික වස්තූන් දේවත්වයෙන් සැලකීමට ඍග්වේදීය  ජනතාව පළමු ව පුරුදු වූ හ. දේවත්වය ආරෝපණය කොට වඳිනු පුදනු ලැබූ ස්වාභාවික වස්තූන්ගේ ස්වරූපය හා පැවැත්ම අනුව ම ජනතාවගේ භාග්‍යය හෝ අභාග්‍යය රඳා පැවති නිසා, එකී ස්වාභාවික වස්තූන්ගෙන් හානියක් නො වී යහපතක් ම සිදුවන පරිදි එම වස්තූන් පවත්වා ගැනීම සඳහා ඒවාට නිතර පූජෝපහාර පැවැත්වීම කළ යුතු ම වූ දෙයක් ලෙස ඔව්හු සිතූ හ. මේ හැර ගස් ගල් පර්වත ගංගා ඇළ දොළ කෙත්වතු යනාදි වස්තූන්ට අධිගෘහිත දෙවිදේවතාවුන් ඇතැ යි යන මතය ද පුරාණයේ පටන් ම දඹදිව දක්නට තිබිණ. මොවුනට පූජෝපහාර පැවැත්වීමෙන් තමන්ගේ බලාපොරොත්තු සඵල කර ගත හැකි යයි මිනිස්සු විශ්වාස කළ හ. කෙත්වතුවල සශ්‍රීකභාවය, පුතුන්, ගමන්බිමන්වලින් ජය යනාදි නොයෙකුත් දේ ප්‍රාර්ථනය කොට බාරහාර වී එම දේවල් සඵල වූ විට එකී දේවලට සම්බන්ධ යයි ඇදහූ දෙවිදේවතාවුන්ට බාර ඔප්පු කිරීම මිනිස්සු පුරුද්දක් කොට ගත්හ. සුජාතා සිටු දුව දරුවකු පතා ඇසටු ගසෙහි දෙවියාට බාරය ඔප්පු කරන්නට සූදානම් වූ දිනයේ ය, බුද්ධත්වයට පත්වීම සඳහා ගෞතම බෝසතුන් එම රුක මුල අසුන්ගෙන සිටියේ. බාරය ඔප්පු කරන්නට ගිය සිටුදුව සිතුවේ තම බාරය පිළිගැනීමට ඇසටු ගසෙහි දෙවියා දෘශ්‍යමාන වේශයකින් ගස මුලට පැමිණ සිටිතැ යි කියා ය. (ජා. 1, පිට 68)

මේ අයුරින් දෘෂ්‍යමාන දෙවියන් වන්දනාවට පුරුදු වූ භාරතීයයන් අතර කල්යාමේ දී ස්වාභාවික වස්තූන් ආශ්‍රයෙන් නිර්මාණය කර ගන්නා ලද කුදුමහත් දෙවිවරු රාශියක් ම විද්‍යමාන වූ හ. ‘ද්‍යවුස් නොහොත් අසහට අධිපති දෙවි, ‘පෘථිවි’ නොහොත් පොළොවට අධිපති දෙවි, ‘සූර්ය’ නොහොත් හිරුදෙවි, ‘උෂස්’ නොහොත් හිමිදිරියට අධිපති දෙවි, ‘අග්නි’ නොහොත් ගිනි දෙවි, ‘සෝම’ නම් එම පානයට අධිපති දෙවි, ‘මරුත්ස්’ නම් සුළඟට අධිපති දෙවි සහ ‘වරුණ’, ‘ඉන්ද්‍ර’, ‘රුද්‍ර’, ‘මිත්‍ර’, ‘ආදිත්‍ය’, ‘සවිතෘ’, ‘පුෂාන්’, ‘අශ්වින්’ යනාදි වෙනත් දෙවිවරු ද භාරතීයයන් අතර විද්‍යමාන වූ හ. මේ දෙවිවරුන්ගේ ගුණ ගායනය පිණිස ස්තෝත්‍ර සකසා ගෙන කියමින් ඔවුනට නොයෙකුත් අන්දමේ පූජා පවත්වමින් තමතමන්ගේ අභිමතාර්ථයන් ළඟා කර ගැනීම පිණිස මිනිස්සු දැඩි වෙහෙසක් දැරූ හ.

මෙබඳු ප්‍රත්‍යෙක දෙවිවරුන් පිළිබඳ අදහස් වර්ධනය වීමත් සමඟ ම දෙවියන් පිළිබඳ තවත් අදහසක් ද එම වකවානුවේ මිනිසුන් අතර ඇතිවිය. යම්කිසි වැඩක් කරන කෙනෙකු, කර්තෘවරයෙකු විය යුතුවාක් මෙන් ම, ලෝකයෙහි හැමදෙයක් ම මෙහෙයවන, හැම දෙයක් ම පාලනය කරන, සෑම දෙයකට ම අධිපති මැවුම්කාර එක් දෙවි කෙනෙකු විය යුතු ය යන්න එම අදහසයි. මෙම මැවුම්කාර දෙවියා වෛදික සමයේ දී ‘විශ්වකර්මන්’ (ලෝකය මවන තැනැත්තා) සහ ‘ප්‍රජාපතී’ (ප්‍රජාවට අධිපති) යන නම්වලින් හඳුන්වන ලදි. ලෝකයෙහි සිදුවන සෑම දෙයක් ම එම දෙවිඳුන්ගේ කැමැත්ත හෝ අකැමැත්ත පරිදි සිදු වන්නේ ය යන අදහස මැවුම්කාර දෙවියෙකු පිළිබඳ අදහසෙහි ස්වාභාවික නිගමනය විය.

වෛදික යුගයට පසු ව බ්‍රාහ්මණ යුගය උදාවීමත් සමඟ දෙවියන් පිළිබඳ අදහස් සංස්ථාගත වූ තත්ත්වයක් ඇති විය. පූජක පක්ෂයක් වශයෙන් බමුණන් සමාජයේ සංවිධානය වූ අයුරු බ්‍රාහ්මණ ග්‍රන්ථවලින් විද්‍යමාන වෙයි. නොයෙකුත් දෙවිවරුන් පිළිබඳ ව සවිස්තර පුවත් සකස් කළ බමුණෝ එම දෙවිවරුන් පුදනු පිණිස සූක්ෂ්ම පූජාවිධි ද සකස් කොට ග්‍රන්ථ සම්පාදනය කළහ. එම දෙවිවරුන්ගේ පිහිටාධාර ලබා ගැනීමට නම් බ්‍රාහ්මණ ග්‍රන්ථවල එන පරිදි ක්‍රමවත් ව එකී පූජා පැවැත්විය යුතු බව ඔව්හු සමාජයට ඒත්තු ගැන්වූහ. මේ නිසා සිදු වූයේ සාමාන්‍ය මිනිසුන්ට පෙර මෙන් සරල ස්තොත්‍ර ගයමින් ආහාර පානාදිය පූජා කිරීමෙන් පමණක් දේව ප්‍රසාදය ලබා ගැනීමට නො හැකි තත්ත්වයක් උදා වීම යි. දෙවියන් සහ සාමාන්‍ය මිනිසුන් අතර සම්බන්ධතාව තබන පුරුක බවට බමුණෝ පත්වූහ. මේ නිසා වූයේ දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූ සාමාන්‍ය ජනතාව පෙළීමට පූජක පක්ෂයට අවස්ථාව පැමිණීම යි. පූජක පක්ෂයට වැඩි ප්‍රයෝජන සැලසෙන පරිදි මේ නිසා මේ කාලයේ දී යාගහෝම ක්‍රම සකස්වුණි. සාමාන්‍යයෙන් මල්-  පහන් - ගිතෙල් වැනි දේ පූජා කිරීමෙන් දෙවියන් පිදීමට පටන්ගත් භාරතීය ජනයා කල්යෑමේ දී එළුවන්, කුකුළන්, ගවයන්, අශ්වයන් වැනි සතුන් මරා බිලි පූජා පවත්වන්නටත්, පසු ව මිනිසුන් බිලි කොට යාග කිරීමටත් පටන් ගත්හ. (අංනි. 4, පිට 151; සුනි. පිට 53)

නොයෙක් තරාතිරමේ දෙවිදේවතාවුන් ගැන ජනතාව විශ්වාස කිරීමේ ප්‍රතිඵලයක් වූයේ මිනිස් උත්සාහය, පරාක්‍රමය හීන වී බෙලහීන තත්ත්වයකට ඔවුන් පත්වීම ය. බුදුරදුන් ඉන්දියාවෙහි පහළ වූ සමය වන විට ඉන්දියාවේ වූයේ මෙබඳු තත්ත්වයකි. සාමාන්‍ය ජනතාව දෙවියන්ගේ අධිපතිභාවය ගැන වඩවඩා තදින් විශ්වාස කරන්නට පුරුදුවීමත් සමඟ ම ඔවුන්ගේ ආත්ම ශක්තිය හීනවීමත්, ආත්මශක්තිය හීන වූ ජනතාවක් පහසුවෙන් ඕනෑ ම අතකට නැඹුරු කරගැනීම කළ හැකි වූ නිසා ආත්මාර්ථකාමී පූජක පක්ෂය සාමාන්‍ය ජනතාවගේ ගැලවුම්කරුවන් වශයෙන් ඉදිරිපත් වී ආර්ථික අංශයෙන් ප්‍රබල තත්ත්වයකට පත්වූවා පමණක් නො ව, සාමාජික වශයෙන් ද සමාජයේ විශිෂ්ට තැනක් හිමිකර ගත්හ.

දෙවියන් පිළිබඳ විශ්වාසය තහවුරු වීම නිසා තවත් ප්‍රතිඵලයක් ද ඇති විය. සමාජයේ ප්‍රබල වූ පිරිසට තමන්ගේ වරප්‍රසාද තත්ත්වය එලෙස ම ආරක්ෂා කරගෙන සාමාන්‍ය පිරිස නිවට නියාලු තත්ත්වයෙන් ම කරදරයක් නොමැති ව රඳවා ගැනීමට මේ විශ්වාසය උපකාරී විය. භාරතීය සමාජයේ එවකට වූ කුල හා වර්ණ පිළිබඳ බෙදීම තහවුරු කිරීමට බමුණෝ මැවුම්කාර දෙවියා පිළිබඳ අදහස උපයෝගී කරගත්හ. බ්‍රාහ්මණ - ක්ෂත්‍රීය - වෛශ්‍ය සහ ශුද්‍ර වශයෙන් ජනයා බෙදීම මැවුම්කාර දෙවියන්ගේ වැඩක් බව ඔව්හු කී හ. ඔවුන්ගේ අදහසට අනුව බ්‍රාහ්මණ පිරිස ලෝකමාපක දෙවියන්ගේ මුවින් උපන් අයවෙති. මේ නිසා ඔව්හු සමාජයේ උසස් ම පිරිස වෙති. දෙවැනි තැනට ගැනෙන ක්ෂත්‍රියයෝ බ්‍රහ්මයාගේ බාහු යුග්මයෙන් උපන් අය වෙති. ඔවුනට මේ නිසා සහජයෙන් ම අයත්වන කර්තව්‍යය නම් රට රැකීමේ කටයුතු යි. වෛශ්‍යයෝ බ්‍රහ්මයාගේ කලවා වලින් උපන් අය වෙති. ඒ අනුව සමාජයේ වැඩි බර ඉසිලීම ඔවුන්ගේ වගකීම වේ. සමාජයේ පැවැත්මට අවශ්‍යය ධන ධාන්‍යය නිපදවීම, ව්‍යාපාරික කටයුතු කිරීම යනාදිය ඔවුන් වෙත මේ නිසා පැවරෙන කටයුතු වේ. ශුද්‍ර යන පිරිස බ්‍රහ්මයාගේ යටිපතුල්වලින් උපන් අයවෙත්. මේ අනුව සමාජයේ පහත් ම කොටස ඔව්හු වෙති. උපතින් ම ඔවුනට අයත්වන කාර්යයන් නම් අනික් සමාජ කොටස් තුනට බැල මෙහෙකිරීමත්, සමාජයේ ඉතා පහත් යයි සම්මත වැඩපලවල නිරත වීමත් ය. සමාජයේ එදා තිබූ ඉහත සඳහන් බෙදීම් මහාබ්‍රහ්මයාගේ ම වැඩක් යයි මිනිසුන් හිතන්නට පුරුදු වූ නිසා තමන්ට අයත් ව තිබූ දුක්ඛදායක තත්ත්වයට එරෙහි ව මිනිසුන් නැගී සිටීමක් සිදු නො වී ය. මේ බෙදීම් ක්‍රමය ඒ අයුරින් ම පිළිගෙන ඊට අනුකූල ව ජීවත්වීම මහා බ්‍රහ්මයා සතුටු කිරීමක් බවත්, එම තත්ත්වයට විරුද්ධ වීම මහා බ්‍රහ්මයාට විරුද්ධවීමක් බවත් කල්පනා කිරීමට එදා මිනිස්සු හැඩ ගැසී සිටියෝ ය. මේ උගැන්වීමේ සාමාජික ප්‍රතිඵලය වූයේ නිදහස් ව කල්පනා කිරීමට සමත් පිරිස විරල වීමත්, සමාජයේ බලවත් තත්ත්වයක් දැරූ අයට ම සමාජයේ සියලු වරප්‍රසාදයන් හිමි වීමත්, වැඩි පිරිස අන්ත දුප්පත් නිවටුන්ගේ තත්ත්වයෙන් ජීවත් වී මැරී යාමත් ය.

එදා භාරතීය සමාජයේ වූ මෙම තත්ත්වය යුක්ති සහගත නො වූ බව බුදුරජාණන් වහන්සේ දුටහ. නිවට නියාලු තත්ත්වයෙන් කල් ගෙවූ වැඩි පිරිස නගා සිටුවීමට නම් ඔවුන් එම තත්ත්වයට පත් කොට එම තත්ත්වයෙහි ම බැඳ තැබූ මැවුම්කාර දෙවියා පිළිබඳ අදහස මූලිකවත්, අනිකුත් මහේශාක්‍ය දෙවිවරුන් පිළිබඳ අදහස් දෙවැනිවටත් සිඳ බිඳ දමා, දෙවියන් පිළිබඳ ව ජනතාවගේ සිත් තුළ වූ ආකල්පය මුළුමනින් ම වෙනස් කළ යුතු විය. එහෙත් අවුරුදු දහස් ගණනක් මුළුල්ලේ ජනතාවගේ සිත් තුළට කිඳා බැස තිබූ දෙවියන් පිළිබඳ අදහස් නිරවශේෂ ව අත්හැරවීම ද එතරම් ම පහසු දෙයක් නො වන බව බුදුරජහු වටහා ගත්හ. සූක්ෂ්ම උපායමාර්ගයන්ගෙන් ම පමණක් එහි සාර්ථක ප්‍රතිඵල නෙලාගත යුතු බව බුදුන් වහන්සේ ඉතා ම අනිටු සමාජ ප්‍රතිඵලවලට තුඩුදුන් මැවුම්කාර දෙවි කෙනෙකු පිළිබඳ අදහස එක එල්ලේ ම ඉවත දමා, ජනතාව අතර ප්‍රචලිත ව තිබූ අනික් දෙවිවරුන්ගේ ස්වරූපය වෙනස් කරන අන්දමේ අදහස් ජනතාව ඉදිරියේ තැබූහ. මේ අනුව බුදු දහමේ උගැන්වෙන දෙවිවරුන් ජනතාව විසින් බියෙන් යුක්ත ව වැඳුම් පිදුම් කළ යුතු, සදාකාලික ව ජීවත්වන, අපමණ බලතල ඇති පිරිසක් නො ව, ගුණධර්ම පුරන මිනිසාට දෙවැනි තැනක් සැමවිට ම උසුලන, ලෝකයෙහි කාටත් සාධාරණ ‘අනිච්ච, ‘දුක්ඛ’, ‘අනාත්ම’ යන ලෝක ස්වභාවයන් නො ඉක්මවූ, පූර්වයෙහි දී කරන ලද පින්කම්වල ප්‍රතිඵලයක් වශයෙන් තාවකාලික ව මිනිසුන්ට වඩා සැපයක් විඳින, අන් සත්ත්වයන් පරිද්දෙන් ම සංසාරයෙහි සැරිසරන සත්ත්වකොට්ඨාසයක් වශයෙන් හඳුන්වාදිය හැකි ය. බෞද්ධ සාහිත්‍යයෙහි දේවකථා බහුල ව උපයෝගී කොට ගෙන ඇත්තේ මිනිසුන් පවින් වළකා ගුණධර්මයන්හි යෙදවීමට උපායමාර්ගයක් වශයෙන් පමණි.

“බෞද්ධ දේව සංකල්පය
බෞද්ධ විශ්ව කෝෂයේ ප්‍රධාන සංස්කාරක
ඩබ්ලිව්.ජී.වීරරත්න (ඇම්.ඒ; පී.එච්.ඩී.) විසිනි.


1 comment:

  1. මෙය බ්‍රහ්මජාල සූත්‍රයේ එන පරිදි හිස් බ්‍රහ්ම විමානයක අතීතාවර්ජනයෙහිදි අවබෝධ කළ සත්‍යතාවය මත නිගමනය කළ අර්ධ සත්‍ය එනම් ලෝකය ශාස්වෘත බව දෑක්වෙන නිකාය ගත් විස්තරයට පටහෑනි ලෙස යොදා ගත් ප්‍රවාදයක් පමණක් නොවේද දශක ගණනාවක්ම කට පාඩමින් ගෙන ගිය

    ReplyDelete