Nov 3, 2016

බුදු දහමේ ඉගැන්වෙන චක්‍රවර්ති රාජ්‍ය සංකල්පය පාලක-පාලිත දෙපක්ෂයේ ම ශුභසිද්ධිය පිණිස ඉවහල් වන අයුරු









බුදු දහමින් චක්‍රවර්ති රාජ්‍ය සංකල්පය ඉදිරිපත් කිරීමෙහි ලා බලපෑ සාධක

මහාභිනිෂ්ක්‍රමණයට පෙර පුරා දහතුන් වසරක් යුවරජ තනතුරේ වගකීම් දරමින් රාජ්‍ය පාලනයේ යෙදුණු ගෞතම බුදුරජාණන් වහනසේට රාජ්‍ය පාලනය පිළිබඳ ප්‍රා‍යෝගිකව ම අද්දැකීම් තිබූ බව පැහැදිලි ය. උන්වහන්සේ විසූ යුගය, එනම් ක්‍රි.පූ. හය වන සියවස වන විට භාරත දේශය තුළ දේශපාලනික වසයෙන් සිදුවෙමින් පවතින විවිධ වෙනස්කම් මගින් සිදුවන සමාජ පරිහානිය තත්වාකාරයෙන් අවබෝධ කර ගැනීමට උන්වහන්සේ සතු වූ එම පළපුරුද්ද ද හේතු වූවා නිසැක ය.

ක්‍රි.පූ. හය වන සියවසේ මෙලෙස භාරතීය දේශපාලනික ව්‍යුහය වෙනස්කම්වලට භාජනය වීමේ මූලාරම්භය ඇතිවූයේ ක්‍රි. පූ. අට වන සියවසේ යැයි සැළකේ. එනම්, ගංගානම්ගඟ අසබඩ පෞරව නමින් මහා අධිරාජයක් ගොඞනගාගෙන සිටි නිචක්ෂු අධිරාජ්‍යයා තම රාජ්‍ය ස්වභාවික විපත්වලින් ගලවා ගැනීමේ අටියෙන් කොසඹෑ නුවර වෙත සංක්‍රමණය වීමට ගත් තීරණය යි. මේ අවස්තාව ප්‍රයෝජනයට ගත් ප්‍රාදේශීය පාලකයන් පෞරව අධිරාජ්‍යෙයන් මිදී වහ වහා ස්වාධීන වීමට උත්සුක වූහ. එම ක්‍රියාවලිය භාරතීය දේශපාලන ව්‍යුහයේ මහත් වෙනස්කම් රාශියක් ඇතිකරීමට සේම අර්බුදකාරී සංකීර්ණ සමාජ ගැටලු රාශියක් ඇතිකරවීමට හේතු වූ බව ඒ.කේ. වෝඩර් පඬිවරයාගේ මතය යි.[i] මේ අනුව බුද්ධ කාලය වනවිට විවිධ ස්වරූපයේ ජනපද 16 ක් බිහිවී තිබූ බව අං.නි. අනුව පෙනීය යි.
අංග - මගධ - කාසි - කෝසල - වජ්ජි - මල්ල - චේදි - වත්ස - මත්ස - පංචාල - කුරු - සූරසේන - අස්මක - අවන්ති - ගන්ධාර - කාම්බෝජ වශයෙන් සඳහන් වන එම ජනපද භූගෝලීය සාධකවලට වඩා ජාති - කුල - ගෝත්‍ර වශයෙන් බෙදී වෙන් වී සිටි බව පැහැදිලි වේ. පොදුවේ මේ ජනපද සියල්ල සොළොස් මහා ජනපද යනුවෙන් හඳුන්වන ලදි.
මෙම ජනපද සොළොස තුළ රාජාණ්ඩු පාලනය මෙන් ම, සමූහාණ්ඩු පාලන ක්‍රමය ද ක්‍රියාත්මක වී ය. මෙයින් දේශපාලන තන්ත්‍රයෙහි ප්‍රමුඛතා ව ඉසිලූයේ මගධ - කෝසල - වත්ස - අවන්ති යන රාජාණ්ඩු හතර යි. ජල දුර්ග, ගිරි දුර්ග ආදියෙන් ස්වභාවයෙන් ම ආරක්ෂා වූ ද, යපස් - රත්‍රං ආදියෙන් පොහොසත් වූ ද මගධය, ඒ අතුරින් ද ප්‍රධාන වී ය. මෙම රාජාණ්ඩු පාලකයින්ගේ ප්‍රමුඛ අභිලාෂය වූයේ කුඩා කුඩා ජනපද තමන් වෙත ඈඳා ගනිමින් සිය රාජ්‍යය තව තවත් වර්ධනය කර ගැනීම යි. බුදුන් වහන්සේට සමකාලීන ව විසූ බිම්බිසාර රජු ද එම ප්‍රතිප්තියෙන් බැහැර වූවකු නො වී ය. ගන්ධාර රාජ්‍යයේ පුක්කුසාති රජු, අවන්තියේ පජ්ජෝත රජු, වයඹ දිග ඉන්දීය තක්ෂිලා රාජ්‍යය ආදී රාජ්‍යයන් විවිධ ස්වරූපයේ තානාපති සබඳතා මඟින් ද කෝසල - වේසාලි - විදේහ - මධූ - ගන්ධාර - ලිච්ඡවි ආදි රාජ්‍යයන් විවාහ සබඳතා මඟින් ද, (මෙතුමාගේ අන්තඃපුරයේ විවිධ රාජ්‍යයන්ගෙන් විවාහ කර ගත් බිසෝවරු පන්සියයක් සිටි බව වාර්තා වේ.) අංග ජනපදය යුදමය ප්‍රතිපත්තිය තුළින් ද (මෙය ජයගත් පසු සිය පුත් අජාසත්තට එහි පාලනය  භාර දෙන ලදි.) තමන්ට අවනත කර ගත් බව ඉන්දීය ඉතිහාසය විමසා බැලීමේ දී පෙනී යයි. මෙයින් ගම්‍යමාන වන ප්‍රධාන කාරණය වන්නේ පොදුවේ සියලු රාජාණ්ඩු පාලකයින් සිය රාජ්‍යය වර්ධනය කර ගැනීමේ බලවත් ප්‍රයත්නයක යෙදී සිටි බව යි. එය මත්ස්‍යය නයාය යනුවෙන් හඳුන්වන අතර, එමඟින් බුදුන්ට සමකාලීන භාරතීය දේශපාලනය, මරමින් - මරවමින්, නසමින් - නස්වමින්, ශෝක කරමින් - කවරමින් ක්‍රියාත්මක වන ස්වරූපයට පත් වී ය.
රාජාණ්ඩු පාලකයින්ගේ මෙම බල තණ්හාවේ අති බිහිසුණු ම ප්‍රතිඵලය වූයේ පීතෘ ඝාතක රාජවංශ බිහි වීම යි. අජාසත්ත, උදායිභද්ද, අනුරුද්ධ, මුණ්ඩක, නාගදාස යනුවෙන් මගධයේ පීතෘ ඝාතක රජ පෙළපතක් ම බිහි වී ය.[ii] මහා ප්‍රභලයෙකු වූ කොසොල් රජුගෙන් බලය පැහැර ගැනීමට ඔහුගේ පුත් විඩූඪභ කටයුතු කළේ ය. නොයෙක් ආකාරයෙන් ඤාති මිත්‍ර සම්බන්ධතා පැවැති මෙකී ප්‍රබල රාජාණ්ඩු අතර බලය අරමුණු කොට ගෙන නොයෙක් වර ගැටුම් ද ඇති වුණි. කොසොල් රජු විසින් බිම්බිසාර රජුට සිය සහෝදරිය විවාහ කර දීමේ දී දෑවැදි වශයෙන් ලබා දුන් කාසි රාජ්‍යය අරභයා අජාසත්ත රජු හා කොසොල් රජු අතර යුද්ධයක් පැන නැඟුණි.
සැප සම්පතින් ආඪ්‍ය වීම නිසා මෙම රාජ්‍යයන්හි පාලකයන් විවිධාකාරයේ පරිහානිකර ගති ලක්ෂණවලින් ද යුතු වූ බව බෞද්ධ සාහිත්‍යයට අනුව පෙනී යයි. වරක් බුදුරදුන් සෝපාහාසයෙන් මෙන් පසේනදී කොසොල් රජතුමාගෙන් අසන්නේ උපභෝග, පරිභෝග සම්පත් ඇති දරු බරින් මිරිකුණු බරණැස සඳුන්වලට ඇලුණු, මල්දම් සුවඳ සුණු දරන, රන් රිදී පළඳින ඔබ වැනි ගිහියෙකුට රහතුන් හෝ රහත් මඟට පිළිපන් අය අතිශයින් දුෂ්කර නො වේ ද?[iii] එසේ ම, කෙතරම් ප්‍රබල රාජ්‍යයක් පාලනය කළ ද, බොහෝ පෞරුෂ දුර්වලතා කොසොල් රජු තුළ වී ය. තමා විනිශ්චයාසනයේ සිටිය දී පිරිස නිශ්ශබ්ද කර ගැනීමට හෝ නො හැකි බව ඔහු බුදුන් ඉදිරියේ කියා පෑවේ ය.[iv] සෑම රාජ්‍යයක ම පාහේ අන්තඃපුර පැවැති අතර ඒවායේ විශාල සංඛ්‍යාවක් බිසෝවරු රඳවා සිටින ලදි. විශාල වශයෙන් සේනා එක්රැස් කිරීම ද මොවුන්ගේ ස්වරූපය වී ය. බිම්බිසාර රජුට අභිධානයක් වශයෙන් යෙදෙන සේනිය යන්නෙන් ගම්‍යමාන වන්නේ එතුමා සතු ව ප්‍රබල බල සේනාවක් සිටි බව යි. මේ හේතුව නිසා සිය අභිමානය රැක ගැනීම ආදී කාරණා සඳහා ද රාජාණ්ඩු පාලකයින් බිහිසුණු යුද්ධවලට පෙළැඹුණු අවස්ථා දක්නට ලැබේ. විඩූඪභ විසින් ශාක්‍යයන් සමූලඝාතනය කිරීම ඊට නිදසුනකි. තමන්ට අවැසි කාන්තාව පාවා ගැනීම සඳහා සමහර පාලකයින් කුමන්ත්‍රණ මඟින් මිනිසුන් මරා දැමීම, ශාක්‍ය වැනි සමහර රාජවංශිකයන් සිය පෙළපත පිළිබඳ මාන්නයකින් කටයුතු කිරීම, අතිසුඛෝපභෝගී දිවියක් ගෙවූ රජවරු කාමයේ ඇලී ගැලී වාසය කිරීම, ආහාරයේ පවා ප්‍රමාණය නො දැනීම ආදී විවිධාකාරයේ පරිහානිකර තත්ත්වයන් මෙකල දේශපාලන තත්ත්වය තුළින් උද්ගත වී ය. එසේ ම මේ රාජ්‍යයන්වල බොහෝ සුප්‍රසිද්ධ ගණිකාවන් වාසය කිරීමෙන් පෙනී යන්නේ රජුන් සමඟ සමස්ත රටවැසියා ම පරිහානියට ගමන් කරමින් තිබූ බව යි.
මෙම රාජාණ්ඩු පාලකයින්ගෙන් වරද කළවුන්ට ලැබුණේ ක්‍රෑරතර දඬුවම් ය. අපරාධකරුට කසයෙන් හෝ වේවැලෙන් සහ පොල්ලෙන් පහර දෙනු ලැබේ. ඔහුගේ අත් හෝ පා හෝ අත් පා දෙක ම හෝ කපනු ලැබේ. කණ හෝ නාසය හෝ ඒ දෙක ම හෝ සිඳනු ලැබේ. ඔළු කටුව ගලවා ඇණ ගසා රත් කරන ලද යගුලියක් හිසට දමා මොළය කකාරවනු ලැබේ....[v] ආදී වශයෙන් ඉතා අමානුෂික වධ බන්ධන දඬුවම් ලෙස පමුණුවන ලදි. සමහර වැරදිවලට වරදකරු වන්නේ නිදොස් පුද්ගලයන් ය. රජුට පක්ෂපාතී අයට වැරදි කළ ද වෙනකෙකු පාවා දී නිදහස් වීමට අවස්ථාව තිබුණි. පසමිතුරන්ගේ භාර්යාවන් සමඟ මෛථූනයේ යෙදී හසු වූ අයට සමහර රජවරු වරදාන පිරිනැමූ හ.[vi] ඒ අනුව ඉහත කී දඬුවම් හිමි වූයේ සැබෑ ලෙස ම වරද කළවුන්ට දැ යි සැකයක් ද හට ගනී.
මෙකී සියලු සාධක විමසා බැලීමේ දී පැහැදිලි වන්නේ ක්‍රි. පූ. හය වැනි සියවසේ භාරතීය දේශපාලන තත්ත්වය සමස්ත රට වැසියා වඩවඩා පීඩාවට පත් කරන අති බිහිසුණු විනාශකාරී ස්වරූපයකට පත් ව තිබූ බව යි. බුදුරජාණන් වහන්සේ චක්කවත්ති රාජ්‍යය සංකල්පය පිළිබඳ දේශනා කොට වදාළේ එකී පිරිහෙමින් පැවැති රාජාණ්ඩු පාලනය තුළින් සමස්ත ලෝකයා සනසවන, සුඛිත මුදිත කරවන ධාර්මික පාලනයක් බිහි කර ගැනීම උදෙසා බව ඒ අනුව තහවුරු වේ.

චක්‍රවර්ති රාජ්‍ය සංකල්පය යනු කුමක් ද?

අංගුත්තර නිකායේ දුක නිපාතයේ ලෝකයට හිත සුව පිණිස පහළ වන දෙ දෙනෙක් පිළිබඳ සඳහන් වේ. ඒ බුදුන් වහන්සේ හා සක්විති රජු ය. මෙම රජු යන්නට භාවිත කරන පද දෙකක් පාලි ත්‍රිපිටකයේ යෙදේ. එනම්, ඛත්තිය හා රාජ යන්න යි.
ඛෙත්තානං අධිපතී ති ඛො වාසෙට්ඨා ඛත්තියො, ඛත්තියොත්වෙ ච දුතීයං අක්ඛරං උපනිබ්බත්තං[vii] වාසිස්ඨයෙනි, කෙත්නට අධිපති වනුයි ක්ෂත්‍රිය, ක්ෂත්‍රිය යැයි ම දෙ වැනි නම් වහර ඇති වී ය යනුවෙන් ඛත්තිය යන වචනය පාලකයා හැඳින්වීම සඳහා යෙදුණු බව අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් වේ. මෙහි දෙ වෙනි වර යනුවෙන් ගැනෙන්නේ මුලින් ම පාලකයා හැඳින්වීම සඳහා මහාසම්මත යන වහර යොදා ගැනීම නිසා ය.[viii]
ධම්මේන පරෙ රඤ්ජෙතී ති ඛො වාසෙට්ඨා රාජා රාජා ත්වෙව ච තතියං අක්ඛරං උපනිබ්බත්තං[ix] දැහැමින් මෙරමා සුවපත් කෙරෙනුයි රජය, රජ යැයි කියා ම තෙ වැනි නම් වහර ඇති වී ය. මේ ආකාරයට මහාසම්මත > ඛත්තිය > රජ යනුවෙන් පාලකයා හැඳින්වීම විකාශය වූ අතර, ඉන් පසු ව රජ යන නාමය දිගින් දිගට ම පවත්වා ගෙන එනු ලැබුණි.
මෙම රජු හා රාජ්‍ය යන සංකල්පය ක්‍රමයෙන් ජනතාව පීඩාවට පත් කරන ස්වරූපයට පත් වූ ආකාරය අපි ඉහත දී සාකච්ඡා කළෙමු. එබැවින් කොසොල් දනව්වෙහි හිමවත් පෙදෙසෙහි වන අරණක විවේකයෙන් වැඩ වාසය කරන බුදුරදුන්ට සමකාලීන දේශපාලන ස්වරූපය පිළිබඳ මෙබඳු අදහසක් පහළ වී ය. එනම්, නො නස්මින්, නො නස්වමින්, පරස්වහරණය නො කරමින්, නො කරවමින්, ශෝක නො කරමින්, නො කරවමින්, දැහැමින් රජය කරන්නට හැක්කේ ද?[x] එවිට මාරයා උන්වහන්සේ වෙත එළැඹ ඍද්ධිපාදයෝ වඩන ලද්දා වූ භාග්‍යවතුන් වහන්සේට ඒ ආකාරයෙන් රාජ්‍යය කළ හැකි යැ යි සහතික කොට කීයේ ය.[xi] භාග්‍යවතුන් වහන්සේ ගිහි ගෙන් නික්මෙන මොහොතේ ද, මා නික්ඛම මහාවීර....[xii] යනුවෙන් සක්විති රජකම උදෙසා ගිහි ගෙයි රැදෙන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා සේ ම, මේ ඉල්ලීම ද උන්වහන්සේ ප්‍රතික්ෂේප කළ නමුදු සක්විති රජෙකු මනුෂ්‍යය ප්‍රජාව අතරින් ම බිහි කරවා ලීම උදෙසා චක්කවත්ති සීහනාද සූත්‍රය දේශනා කළ සේක.
චක්කවත්ති සීහනාද සූත්‍රය බුදුරජාණන් වහන්සේ මගධ රට මාතුලා නුවර වැඩ වසන කල්හි භික්ෂූන් වහන්සේලා උදෙසා අත්තදීපා භික්ඛවේ විහරථ, අත්ත සරණා අනඤ්ඤ සරණා, ධම්මදීපා ධම්මසරණා අනඤ්ඤසරණා....[xiii] යන්න තේමා කොට ගෙන දේශනා කරන ලද්දකි. එහි සඳහන් චක්කවත්ති රාජ්‍යය පිළිබඳ කථා ප්‍රවෘත්තිය මෙසේ ය.
පෙර දැහැමි වූ දැහැමින් රජය කරන්නා වූ මුළු පොළොවට අධිපත් දළ්හනේමි නම් සක්විති රජෙක් වී ය. සප්ත රත්නයන් ද, දහසකට වැඩි මනා පුතුන් ද සමඟ ධර්මයෙන් ම එතුමා රාජ්‍යය කරවී ය. අවුරුදු දහස් ගණනක් ඇවෑමෙන් එතුමා සිය අතවැසියෙකුට සප්ත රත්නයන්ගෙන් එකක් වූ චක්‍ර රත්නය තිබූ තැනින් ඉවත් වී තිබෙනු දුටු විගස තමාට දන්වන ලෙස පවසන ලදි. ඔහු ද, අවුරුදු දහස් ගණනකට පසු චක්‍ර රත්නය තිබූ තැනින් ඉවත් වී තිබෙනු දැක රජතුමාට දැනුම් දුන්නේ ය. එවිට රජතුමා සිය ජ්‍යෙෂ්ඨ පුත්‍රයා කැඳවා රාජ්‍යය ඔහුට භාර දී පැවැදි වීම සඳහා ගිහිගෙන් නික්මුණි. එතුමා ගිහිගෙයින් නික්මී සත් දිනක් ගිය කල චක්‍ර රත්නය තිබූ තැනින් අතුරුදන් වී ය. එක්තරා මිනිසෙක් අභිෂේක ලත් රජුට ඒ බව දැනුම් දුන් කල්හි රාජර්ෂීන් කරා එළැඹියේ ය. දෙව් සක් රුවන තට පියාගෙන් ලැබෙන දෑවැද්දක් නො වේ...[xiv] යැ යි පැවැසූ රාජර්ෂීහු නව රජුට දස සක්විති පිරිය යුතු ආකාරය පැහැදිලි කොට දුන් හ.
...ධර්මය ම ඇසුරු කොට, ධර්මයට සත්කාර කරමින්, ධර්මයට ම ගරු කරමින්, ධර්මයට ම බුහුමන් කරමින්, ධර්මය ම පුදමින්, ධර්මයට ම යටත් පැවැත්ම දක්වමින්, ධර්මය ම ධ්වජයක් සේ පෙරටු කැර ගත්තෙක් වැ, ධර්මය ම කුන්තයක් සේ ඔසොවා ගත්තෙක් වැ, ධර්මය ම ආධිපත්‍යය කොට ඇත්තෙක් වැ...[xv] ආදී වශයෙන් පළමු ව තමා මුළුමනින් ම ධාර්මික වී පිරිය යුතු පිළිවෙත් දහයක් මෙසේ ඉදිරිපත් කළේ ය.
1. අන්තෝජනයා කෙරෙහි ධාර්මික රක්ෂාවරණගුප්තිය සැලසීම.
2. බලසෙන් කෙරෙහි ධාර්මික රක්ෂාවරණගුප්තිය සැලසීම.
3. ක්ෂත්‍රියයන් කෙරෙහි ධාර්මික රක්ෂාවරණගුප්තිය සැලසීම.
4. බමුණන් කෙරෙහි ද, ගැහැවියන් කෙරෙහි ද...
5. නියම් ගම් වැසි, දනව් වැසි ජනයා කෙරෙහි ද...
6. මහණුන් කෙරෙහි ද, බමුණන් කෙරෙහි ද...
7. මෘග පක්ෂීන් කෙරෙහි ධාර්මික රක්ෂාවරණගුප්තිය සැලසීම.
8. රටෙහි අධාර්මික ක්‍රියා නො පවත්නා ලෙසට කටයුතු සැලසීම.
9. රටෙහි ධනය නැති අයෙක් වෙත් නම් ඔවුනට ධනය දීම.
10. මදයෙන්, ප්‍රමාදයෙන් වැළකුණා වූ මහණ බමුණන් වෙත එළැඹ කුසල් කවර ද? අකුසල් කවර ද? වරද කුමක් ද? නිවරද කුමක් ද? සෙවිය යුත්තේ කුමක් ද? නො සෙවිය යුත්තේ කුමක් ද? මා කරනා කුමක් නම් බොහෝ කල් අවැඩ, දුක් පිණිස පවතී ද? කුමක් නම් බොහෝ කල් වැඩ පිණිස, සුව පිණිස පවතී දැ?යි නැවත නැවත අසා දැන ගෙන ඔවුන් කී දේ අසා අකුසල් වන යමෙක් වේ ද, එය බැහැර කර කුසල් වන දේ සමාදන් වීම.[xvi]
මෙසේ පිළිවෙත් පිරූ කල්හි නැවත දෙව්සක්රුවන පහළ වී ය. ඉන් පසු තමා සක්විති රජ බවට පත් බව දැන චක්‍ර රත්නයට දිය ඉස්සේ ය. එවිට චක්‍රරත්නය පෙරැළී සිව් දෙසට ම ගමන් කොට, සිව් දෙස ම අවනතභාවය සක්විති රජුට හිමි කර දුනි. සක්විති රජු ඒ සිව් දෙස ම රජවරුන්ට ප්‍රාණවධ නො කට යුතු; අයිනාදන් නො කට යුතු; කාමයන්හි වරදවා නො හැසිරිය යුතු; මුසා වා නො බිණිය යුතු; මත්පැන් නො පියැ යුතු යැ යි[xvii] අවවාද කොට තම රටට ම ගොස් ධර්මයෙන් රාජ්‍යය කරවී ය. මේ අයුරින් සත් වැනි සක්විති රජු දක්වා අවුරුදු දස දහස් ගණනක් කල් චක්‍රවර්ති රාජ්‍යය මෙලොව පැවැතිණි. සත්වැනි සක්විති රජු ද පෙර දළ්හනේමි රජු සේ ම චක්‍ර රත්නය තිබූ තැනින් ඉවතට ගිය කල්හි රාජ්‍යය ජ්‍යෙෂ්ඨ පුතුට පවරා පැවිදි බිමට වන්හ. එම පුත්‍රයා රජ වූ කල්හි ද පෙර සේ ම චක්‍ර රත්නය තුබූ තැනින් ඉවත් වූ නමුදු ඔහු රාජර්ෂී හමුවට ගොස් සක්විති වත් නො විචාළේ ය. තම මතයෙන් ම රාජ්‍යය පාලනය ගෙන ගියේ ය. එවිට රාජ්‍යයේ ඇමතිවරු ආදී නිලධාරීහු ද, දොරටුපාලයන් ආදීහු ද රජු කරා එළැඹ සක්විතිවත් නො පිරීම නිසා රාජ්‍යය ක්‍රමයෙන් පිරිහෙමින් පවතිනායුරු රජුට පෙන්වා දුන් හ. එසේ ම, ඒ පිරිසගෙන් ම සක්විති වත් විචාරා දැන ගෙන දැහැමි රැකවල යෙදූ නමුදු දිළින්දන්ට ධනය දීම අතපසු කළේ ය. දිළින්දන්ට ධනය නො දෙන කල්හි දිළිඳු බව වැඩි වී ය. එකල්හි එක්තරා මිනිසෙක් පළමු වරට සොරකමක යෙදුණි. පිරිස ඔහු අල්ලා රජු කරා පැමිණ වූ කල්හි තමා දිවි රැක ගැනීම උදෙසා සොරකමේ යෙදුණු බව ඔහු රජුට ප්‍රකාශ කළේ ය. රජු ඔහුට ධනය දී මා පියන්, අඹු දරුවන් පෝෂණය කරමින් කර්මාන්තයක ද යොදවා, යුතුකම් ද ඉටු කරමින් සුගතිගාමී වීමට මේ ධනය උපකාරී කර ගන්නැ යි අවවාද කළේ ය. මේ සිද්ධිය ම දෙ වන වරට ද සිදු වූ කල්හි රජුගෙන් ධනය ලබා ගැනීමේ අටියෙන් සොරකමේ යෙදෙන පිරිස් බහුල වී ය. ඉන් පසු සොරකම් නැවැත්වීමට උපායයක් ලෙස රජු ප්‍රසිද්ධියේ සොරුන්ගේ හිස සිඳලන්නට වී ය. මේ බැව් දුටු සොරු ද, තියුණු ආයුධ කරවා, ගම් නියම්ගම් නුවරවල් කොල්ල කෑමට ද, මං පහරන්නට ද වූ අතර, එහි දී මිනිසුන් මරා ඔවුන් සතු දෑ පැහැර ගන්නට වී ය. මෙමඟින් ප්‍රාණඝාතය වැඩි වූ අතර, ප්‍රාණඝාතය නිසා මිනිසුන්ගේ ආයුෂ ද, වර්ණය ද පිරිහුණි. අවුරුදු අසූ දාහක් වයසැති මිනිසුන්ගේ දරුවෝ අවුරුදු හතළිස් දාහක් උපරිමායුෂ විඳින තත්ත්වයට පත් වූ හ. හතළිස් දාහක් අවුරුදු ආයුෂ ඇති මිනිසුන් අතර ද, සොරකම වර්ධනය වී ය. ඔවුන් සොරකම් කර අසු වූ කල්හි රජු වෙත පැමිණ වූ නමුත්, තමා සොරකම් නො කළේ යැ යි බොරු කියන්නට වී ය. මෙසේ බොරුව වර්ධනය වීමෙන් තවදුරටත් ආයුෂ හා වර්ණය පිරිහුණි. සතළිස් දහසක් ආයුෂ ඇති මිනිසුන්ගේ දරුවන්ගේ ආයුෂ අවුරුදු විසිදහස දක්වා අඩු වී ය. මෙයින් පසු කේළම, කාමමිත්‍යාචාරය, පරුෂ වචනය, සම්පප්‍රලාපය, ව්‍යාපාදය, මිත්‍යාදෘෂ්ටිය, අධර්මරාගය, විෂමලෝභය, මිත්‍යාධර්මය, මවට පියාට සත්කාර නො කිරීම, මහණුන්ට බමණන්ට ගරු නො කිරීම, වැඩිහිටියන්ට යටත් පැවැතුම් නො දැක්වීම ආදී අධාර්මික ක්‍රියා මිනිසුන් තුළ ඇති වී ක්‍රමයෙන් අවුරුදු සියය දක්වා ආයුෂ පිරිහුණි. මෙසේ මිනිසුන්ගේ උපරිමායුෂ අවුරුදු දහයක් වන කාලයක් එළැඹෙන්නේ ය. එකල්හි පස් වියැති කුමරියෝ පතිකුලයට යාමට සුදුසු වන්නා හ. ආහාරයේ රස අතුරුදන් වී හමු මිනිසුන්ගේ අග්‍ර භෝජනය වන්නේ ය. දස අකුසලය ම වර්ධනය වන අතර, කුල සිරිත් නො සලකා කාමයේ යෙදෙන්නා හ. මව, පුතු, පියා ආදිය නො තකා එකිනෙකා කෙරෙහි දැඩි වධක චිත්තයක් ඇති කර ගන්නා හ. මෙකල්හි සත් දවසක් ශස්ත්‍රාන්තඃකල්පය වන්නේ ය. මිනිසුන් අත තියුණු ආයුධ පහළ වී එකිනෙකා මේ මුවෙක, මේ මුවෙක යන හැඟීමෙන් ඔවුනොවුන් දිවි තොර කරන්නේ ය.
සමාජය කෙමෙන් අගාධයට ම යද්දී ඒ පිළිබඳ කළකිරුණු කිහිප දෙනෙක් දුර්ගයන්ගෙන් ආරක්ෂා වූ තැනකට එළැඹ දශ පාප ක්‍රියාවන්ගෙන් වැළකී සිටිය හ. පෙර කී සතිය ඉක්මවා එළිමහනට ආ ඔවුන් ඤාතීන්ගේ විනාශය දැක කුසල් කිරීමෙහි අප්‍රමාදී වූ හ. ප්‍රාණඝාතයෙන් වැළකීමේ පටන් වැඩිහිටියන්ට ගරු කිරීම දක්වා වූ සියලු කුසල කර්මයන් වර්ධනය කර ගත් ඒ පිරිසගේ දරු පරම්පරාවෝ නැවතත් අවුරුදු අසූ දහස දක්වා උපරිමායුෂ වර්ධනය කර ගැනීමට සමත් වූ හ. එකල්හි බරණැස් නුවර කේතුමතී නම් රාජධානිය පහළ වේ. එහි ශංක නම් වූ සක්විති රජෙක් පහළ ව, නැවතත් මුහුද සීමා කොට ඇති සියලු රාජ්‍යයෙහි ධාර්මික පාලනයක් ගෙන යන කල්හි මෛත්‍රීය නම් බුදුරජාණන් වහන්සේනමක ද ලොව පහළ වේ. මේ චක්කවත්ති සීහනාද සූත්‍රයේ එන චක්කවත්ති රාජ්‍යය සංකල්පයේ සංක්ෂිප්තය යි.
දීඝ නිකායේ ලක්ඛණ සූත්‍රයට අනුව දෙ තිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හෙබි බෝසතුන් ගිහි ගෙයි වසන්නේ නම් ඒකාන්තයෙන් ම සක්විති රජ බවට පැමිණේ. පැවිදි වන්නේ නම් ඒකාන්තයෙන් ම ලොව්තුරා බුද්ධත්වයට පත් වේ.[xviii] එනම්, චක්කවත්තී රජෙකු යනු බෝධිසත්ත්වයෙකු වන බව යි. එම බෝධිසත්ත්ව චක්කවත්ති රජුගේ මූලික අනුශාසනය නම් පන්සිල් සුරැකීම යි. එසේ ම,
හේතු සංඛ්‍යාත අර්ථය දැනීම.
ප්‍රවේණි ධර්මය දැනීම.
දඬුවම් ආදියෙහි මාත්‍රා දැනීම.
රාජ්‍යසුඛානුභාවය, විනිශ්චයාකරණ, චාරිකා ආදියෙහි කාලය දැනීම.
ක්ෂත්‍රිය - බ්‍රාහ්මණ - වෛශ්‍යය - ශුද්‍ර හා ශ්‍රමණ ආදි පර්ෂද් දැනීම යන ලක්ෂණවලින් ද එතුමා සමන්විත වේ.[xix]
දානය, සීලය, පරිත්‍යාගය, ඍජු බව, මෘදු බව, තපස, අක්‍රෝධය, අවිහිංසාව, ඉවසීම, නො ගැටීම යන දස රාජ ධර්මයන් ද සක්විති පාලකයෙකු තුළින් දැක ගත හැකි වේ. ඡන්දදෝසභයමෝහාදියෙන් එතුමා කිසි කලෙක අගතියට නො යන අතර, දානය - ප්‍රියවචන - සමානාත්මතාව - අර්ථචර්යාව යන සතර සංග්‍රහ වස්තුවෙන් ස්වකීය ජනයාට නිරතුරු සංග්‍රහ කෙරෙයි. මෙසේ වූ පාලකයෙකු විසින් ගෙන යන්නා වූ පාලන ක්‍රමය චක්කවත්ති රාජ්‍ය සංකල්පය යනුවෙන් හැඳින්වේ.

චක්‍රවර්ති රාජ්‍ය සංකල්පය හා පාලක අභිවෘද්ධිය

බුදුරජාණන් වහන්සේ වරක් සක්විති රජෙකුගේ පහළ වීම පිළිබඳ ව මෙසේ දේශනා කරයි. මහණෙනි, යම් හෙයකින් එක් ලෝක ධාතුවෙක්හි සක්විති රජවරු දෙදෙනෙක් එක වට උපදනාහු හ යන තෙල කරුණ විද්‍යමාන නො වේ. තෙල හේතු රහිතයෙකි. අවකාශ රහිතයෙකි. මහණෙනි, යම් හෙයකින් එක් ලෝක ධාතුවෙකින් එක් සක්විති රජෙක් උපදනේ ය යන යමෙක් වේ ද තෙල කරුණ විද්‍යමාන වේ. තෙල හේතු ඇත.[xx] මෙයින් පෙනී යන්නේ චක්කවත්තී හෙවත් සක්විති රජ යනු එක් භූමියකට, එක් දේශයකට පමණක් සීමා වූවකු නො වන බව යි. එනම්, චක්කවත්ති රාජ සංකල්පය සමස්ත ලෝකයට ම සාධාරණ සංකල්පයක් වන බව යි. අතීත සහ වර්තමාන බොහෝ පාලකයන් සිය රාජ්‍යය වර්ධනය කර ගැනීමේ රිසියෙන් යුද වදිමින් බොහෝ වෙහෙසන නමුත්, සක්විති රජුගේ සමස්ත ලෝකයාට ම අණසක පැතිර වීම ධර්මයෙන් ම සිදු වන්නකි. සක්විති රජෙකුට පහළ වන්නා වූ සප්ත රත්නයන් අතරින් එකක් වන චක්‍ර රත්නය යම් දෙසකට පෙරැළී නවතින්නේ ද, ඒ ප්‍රදේශයේ පාලකයා නිසඟයෙන් ම සක්විති රජුට අවනත වන බව චක්කවත්ති සීහනාද සූත්‍රයේ සඳහන් වේ. ඒ ආකාරයෙන් මුහුද සීමා කොට ඇති සමස්ත භූමිය ම සක්විති රජුගේ ධර්මය පිළිපදින යටත් රාජ්‍යයක් වන ආකාරය එහි තවදුරටත් සඳහන් වේ. මෙය සක්විති රජ කෙනෙකුට ම ලැබෙන්නා වූ අති සුවිශේෂී වරප්‍රසාදයක් ලෙස පෙන්වා දිය හැක.
කෙතරම් උත්සාහයකින් පාලන බලය ලබා ගත්ත ද, සිය බල ප්‍රදේශය වර්ධනය කර ගත්ත ද කොයි මොහොතක හෝ ඊට අභියෝගයක් එල්ල වේ යැ යි නිරන්තර බියකින් වාසය කිරීමට සිදු වීම සෑම පාලකයෙකුට ම පොදු වූ ධර්මතාවකි. එහෙත්, සක්විති රජෙකුට එවන් බියක් කිසි කලෙකත් ඇති නො වේ. චක්‍ර රත්නයෙන් සංකේතවත් වනුයේ සක්විති රජුගේ රාජ්‍ය බලය යි[xxi]. යුක්ති සහගත හා අපක්ෂපාතී ලෙස රට පාලනය කරන ධම්මරාජ වූ සක්විති රජුගේ රාජ්‍ය බලය කිසි ලෙසකින් හෝ බිඳ නො වැටේ.[xxii]
සක්විති රජෙකු බවට පත් වීමෙන් එම රජුගේ ද, රාජ්‍යයේ ද අභිවෘද්ධිය පතා එතුමාට සුවිශේෂී සප්ත රත්නයක් පහළ වේ.
1. චක්‍ර රත්නය
2. හත්ථි රත්නය
3. අස්ස රත්නය
4. මණි රත්නය
5. ඉත්ථි රත්නය
6. ගහපති රත්නය
7. පරිනායක රත්නය[xxiii]
යනු එම සත් වැදෑරුම් සම්පත යි. සක්විති රජෙකු පරිපූර්ණ වන්නේ මෙම සම්පත් සියල්ලෙන් යුතු වූ විට ය. පෙර ද සඳහන් කළ පරිදි චක්‍ර රත්නයෙන් ගම්‍යමාන වන්නේ සක්විති රජුගේ සිව් දෙසට ම පැතිරෙන්නා වූ පරමාධිපත්‍යය බලය යි. චක්‍ර රත්නයේ සුවිශේෂීත්වය පිළිබඳ අවබෝධ කර ගැනීම සඳහා ඒ පිළිබඳ උපුටා ගැනීමක් මෙසේ සඳහන් කරමි.
මෙම සප්තවිධ රත්න කිසියම් ගූඪ ස්වරූපයක් ගන්නා බව පවසන මහාචාර්ය කඹුරුපිටියේ අරියසේන හිමි මෙම සංකල්පයෙහි වැදගත් ම වචනය චක්‍ර බවත්, මෙයින් අදහස් කරනු ලබන්නේ සංවිධානය හෙවත් දේශපාලන අධිකාරිය වසයෙන් අනුමාන කළ හැකි බව සඳහන් කරයි. උන්වහන්සේ මෙම අනුමානය ඉදිරිපත් කරන්නේ චක්කං හින්දෙය්‍ය සංඝං හින්දෙය්‍ය යන පෙළ පාඨය ගෙන අර්ථය අනුසාරයෙනි.[xxiv] දෙ වනුවට සඳහන් වන හත්ථි සහ අස්ස රත්නයන්ගෙන් ප්‍රකට කරනුයේ සක්විති රජුගේ සේනා බලය පිළිබඳ ව යි. බෞද්ධ සාහිත්‍යයේ ද නිරන්තරයෙන් රජෙකුට අයත් වූ මඟුල් ඇතෙකු පිළිබඳ සඳහන් වනු දක්නට ලැබේ. රාජ්‍යයට යම් අභියෝගයක් එල්ල වේ නම්, එය මැඬ පවත්වා ආරක්ෂා වීමට ද, රාජ්‍යයේ ඓශ්වර්යය පෙන්වාලීම සඳහා ද මෙම හත්ථි සහ අස්ස රතනයන් උපකාරී වේ.
චක්කවත්ති සීහනාද සූත්‍රයේ අවසානයට කේතුමතී නම් රාජ්‍යයක පහළ වීම පිළිබඳ සඳහන් කරන ආකාරයට අනුව සක්විති රජෙකුගේ පාලනය පවත්නා කල්හි එම රාජ්‍යය යස ඉසුරින් පිරී යන බව පෙනී යයි. සිව් වැනි වූ මණි රත්නයෙන් පෙන්වා දෙනුයේ එසේ ධන ධාන්‍යයෙන් ආඪ්‍ය වීම පිළිබඳ ව යි. කූටදන්ත සූත්‍රයෙහි ද රජෙකුගේ ශ්‍රේෂ්ඨත්වය විදහා පාන ලක්ෂණ අට අතර ආඪ්‍යය ය, මහධන ඇත්තේ ය, මහා භෝග ඇත්තේ ය, බොහෝ රන් රිදී ඇත්තේ ය, වස්තූපකරණ ඇත්තේ ය, බොහෝ ධන ධාන්‍යය ඇත්තේ ය, පිරිපුන් ගබඩා කොටාර ඇත්තේ ය...[xxv] යනුවෙන් සඳහන් වේ.
පස්වනුවට සඳහන් වන ස්ත්‍රී රත්නය නම් ස්ත්‍රියට සමාන අයිතිවාසිකම් ලබා දීම, හොඳින් සැලකීම ආදී වශයෙන් පෙන්වා දී තිබේ.[xxvi] භරියා පරමා සකා, මාතා මිත්තා සකෙ ඝරෙ ආදී වශයෙන් භාර්යාව, මව පරම මිතුරිය යැ යි සලකන බුදු දහමට අනුව සක්විති රජුට ද තමා හා සමාන ධාර්මික තන්වැසි නුවණ ඇති මෙහෙසියක් හිමි වීම සම්පතක් ලෙස සැලකූ බව ද මෙයින් අදහස් වේ.
සැඟැවුනු මැණික් පෙනෙන සුළු ශ්‍රේෂ්ඨ ගෘහපතියා ගහපති රත්න යැ යි[xxvii] සැලකේ. යම් රාජ්‍යයක ඉසුරුමත් බව රඳා පැවතීමට මෙම ගෘහපති හෙවත් ධනවතුන්ගේ පැවැත්ම අත්‍යවශ්‍යය වේ. රජුගේ දේශපාලන, ආර්ථික, ආගමික හා සමාජයීය යන ඕනෑ ම කටයුත්තක දී මෙම ගෘහපතියන්ගේ සහයෝගය ලැබිය යුතු වේ. එසේ ම, ගෘහපති රත්නය පිළිබඳ මහාචාර්ය ඔලිවර් අබේනායක මහතාගේ මතය වන්නේ භාණ්ඩාගාරය භාර තැනැත්තා ගහපති රත්නයෙන් අදහස් කරන බව යි.[xxviii] චක්කවත්ති සීහනාද සූත්‍රයේ දැක්වෙන ආකාරයට සක්විති රජු වරින් වර මහණ බමුණන් කරා එළැඹ අනුශාසනා ලබා ගත යුතු ය. සත්වැනි ව දැක්වුණු පරිනායක රත්නය යනු එසේ උපදෙස් - අනුශාසනා ලබා දීමට සුදුසු වූ වියත්, සිල්වත් උපදේශක මණ්ඩලයක් සිටීම යි. ආචාර්ය ධර්මසේන හෙට්ටිආරච්චි මහතා පෙන්වා දෙන්නේ පුරෝහිත බ්‍රාහ්මණයා රජුගේ හිත සුව පිණිස නොව, මහජන හිත සුව පිණිස ම වන සාකච්ඡා කෙරෙහි අවධානය යොමු කළ යුතු බව යි.[xxix]
මේ ආකාරයට බැලූ විට සප්ත රත්නය යනු සක්විති රජෙකුගේ අභිවෘද්ධිය පිණිස හේතු වන සුවිශේෂී වරප්‍රසාද රාශියක් බව පැහැදිලි වේ. එමඟින් පාලකයාට කිසිඳු අවහිරයකින් තොර ව, ජනතාවගේ සිත් දිනා පාලනය ගෙන යාමට අවකාශය සැලසේ.
මහාපරිනිබ්බාන සූත්‍රයේ දැක්වෙන ආකාරයට ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කෙරෙහි දක්නට ලැබෙන ලක්ෂණ සක්විති රජෙකු කෙරෙහි ද දක්නට ලැබේ. එනම්, ඉඳින් කැත් පිරිසෙක් සක්විති රජහු දක්නට එළැඹෙයි ද, ඒ පිරිස ඔහු දැක්මෙන් ම සතුටු වෙයි. එහි ඉඳින් සක්විති රජ කථා කෙරෙයි නම් ඔහු කථායෙනුදු ඒ පිරිස සතුටු වෙයි. මහණෙනි, කැත් පිරිස එයින් අතෘප්ත ම වෙයි. එකල්හි සක්විති රජ නිහඬ වෙයි....[xxx] මේ ආකාරයට බමුණු - ගැහැවි - මහණ ආදී ඕනෑ ම පිරිසක් ආ විට සක්විති රජු දකීමේ, කථා කරනු ඇසීමේ ආශාවෙන් තෘප්ත නො වන බව පෙන්වා දෙයි.
පාලකයා මෙතරම් ජනප්‍රසාදයට ලක්වීම, ඔහුගේ ධාර්මික වචන ජනයා පිළිගැනීම ඒ පාලකයාගේ අභිවෘද්ධිය පිණිස ම හේතු වන බව නො කිව මනා ය. එසේ ම, බුදු - පසේ බුදු - මහරහත් යන උතුමන් සේ ම, සක්විති රජෙකුගේ දේහය ද ස්ථූපයකින් පුදනු ලැබීමට සුදුසු බවත්[xxxi], ඒ සෑය වඳින්නාට පවා මෙලෙස සෙත සැලසෙන බවත්, එම සූත්‍රයේ ම සඳහන් වේ. මේ දැහැමි වූ දස රජ දහමින් දනන් රැඳ වූ සක්විති රජුගේ ස්ථූප යැ යි බොහෝ දෙනා සිත පහදයි. ඔහු එහි සිත පහදා කාබුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට පැමිණෙත්.... [xxxii]
සක්විති රජු දස සක්විති වත් පිරීම ජනතාවගේ හිත සුව පිණිස පමණක් හේතු නො වේ. සක්විති රජකු වීමේ ප්‍රධාන සුදුසුකම මෙම දස සක්විතිවත් පූරණය කිරීම යි. සක්විති රාජ පදවිය පියාගෙන් පුතුට ලැබෙන දෑවැද්දක් නො ව, දස සක්විතිවත් පූරණය කිරීමෙන් ම හිමි වන්නකි.[xxxiii] එසේ ම, එමඟින් රජුට ද ධාර්මික රැකවරණය හිමි වේ. බුදු හිමිගේ ඉගැන්වීම ධර්මයෙහි යෙදෙන්නා ධර්මයෙන් ම ආරක්ෂා වන බව යි. ඒ අනුව ධර්මය ඇසුරු කොට, ධර්මයට සත්කාර කරමින්, ගරු කරමින්, ධර්මය ම පුදමින්, ධර්මය ධ්වජයක්, කුන්තයක් සේ ඔසවා ගත්[xxxiv] සක්විති රජුගේ ආරක්ෂාව ධර්මයෙන් ම සැලසෙන බව පැහැදිලි ය. එසේ ම, මෙම සක්විති වත් පූරණයේ දී රජුගේ ඤාති පිරිස, බල සේනාව, ක්ෂත්‍රියයන්, බමුණන්, ගැහැවියන් රජුට බොහෝ හිත පක්ෂපාතී වේ. එහි වැදගත්කම අප විසින් ම අද්දකිනු ලැබ ඇත්තෙමු. අප රටේ තිස් වසරක යුද්ධය අතීත කිසිඳු පාලකයෙකුට අවසන් කර ගත නො හැකි වූයේ ඉහත කී පිරිසගේ මනා සහයෝගය පාලකයින්ට නො ලැබී යාම හේතුවෙනි. එහෙත්, වර්තමාන පාලකයා ඒ පිරිස මනා ව හසුරුවා ගැනීම නිසා යුද්ධය ජයග්‍රහණය කිරීමට වඩාත් සමත් වූ බව පෙනී යයි. (මෙයින් වත්මන් පාලකයා සක්විති රජෙකු යැ යි වරදවා වටහා නො ගත යුතු ය) මේ පිරිස රජුට අවනත නො වන කල්හි විනාශකාරී කුමන්ත්‍රණ ඇති කොට බලයෙන් පහ කර දැමීමට පවා අවස්ථාව තිබෙන බැවින් එම සක්විති වත් පූරණය රජුගේ ද අභිවෘද්ධිය සලසන බව පැහැදිලි වේ.
එසේ ම, ගම් නියම්ගම් වාසී ජනයා ද ඔවුන් සමඟ සමීප මහණ බමුණන්ට ද ධාර්මික රැකවරණය සැලසීමෙන් සමස්ත රට ම රජුගේ බලය පිළිගන්නා පිරිසක් බවට ධාර්මික ව ම පත් කර ගැනීමට අවස්ථාව සැලසේ. ආගමික නායකයන් විරුද්ධ වූ කල්හි නිතැතින් ම ජනතාව ද එම පාලකයාට විරුද්ධ ව නැඟී සිටීම ඕනෑ ම රාජ්‍යයකට සාධාරණ ලක්ෂණයකි. මෙයින් නො නැවතී රජු මෘග පක්ෂීන් කෙරෙහි ද ධාර්මික රැකවරණය සැලසීමෙන් රජුගේ රාජ්‍යය බියෙන් සැකෙන් තොර ව වාසය කළ හැකි අභය රාජ්‍යයක් බවට පත් කරවයි. මෙයින් සෑම දෙනා කෙරෙහි ම මෛත්‍රී සහගත වීමෙන් රජුට දෙවියන්ගේ පවා ආශිර්වාදය, ආරක්ෂාව නිතැතින් ම සැලසෙනු ඇත.
සක්විති රජෙකුගේ ආයුෂ ද බොහෝ ය. අභීත, මනා කොට ශෝභන වූ, සතුරන් මර්දනයෙහි සමර්ථ වූ, දරුවෝ ද දහසක් පමණ ඔහුට වේ. රජු රාජ්‍යයෙන් නික්මෙන්නේ තපසෙහි යෙදෙන්නට හැකි පරිදි පඤ්චේන්ද්‍රියයන් මනා ව පවත්නා කාලයේ දී ම ය. තමා මරණින් මතු සුගතිගාමී වන බව ද රජු නිශ්චය වශයෙන් ම දනී.[xxxv]
අප බොහෝ දෙනා සාම්ප්‍රදායික ව පිළිගන්නේ බුදුරදුන්ගේ වඩාත් පැසසුමට ලක්වූයේ සමූහාණ්ඩු පාලනය වන බව යි. නමුත්, වඩා විමර්ශනශිලී ව බලන විට පැහැදිලි වන්නේ එම අදහස මහාපරිනිබ්බාන සූත්‍රයේ එන වජ්ජි සප්ත අපරිහානිය ධර්ම පිළිබඳ විස්තරය වරදවා වටහා ගැනීමෙන් ඇති කර ගත් එකක් බව යි.
මහාචාර්ය ඔලිවර් අබේනායකයෝ හේතු සාධක දක්වමින් චක්කවත්ති රාජ්‍යය ම බුදුන්ගේ වඩාත් ම පැසසුමට ලක් වූ බව පෙන්වා දෙති. ....ක්‍රි.පූ.හය වන සියවසට පෙර මේ සා පරිමාණයක රජකු ගැන සිතීමට භාරතීය ඉතිහාසය තුළ අවකාශයක් නො වී ය. ක්‍රි.පූ.හය වන සියවස දක්වා ඉන්දියාවේ රාජ්‍යත්වය වැඩී ගිය ආකාරය සැලකිල්ලට ගත් බුදුරදුන් වැනි නිරීක්ෂකයෙකු තුළ උද්ගත වූ චින්තනයේ ස්වභාවික ප්‍රතිඵලයක් ලෙස පාලි ත්‍රිපිටකයේ සටහන් වී ඇති චක්‍රවර්ති රාජ්‍යය සංකල්පය හැඳින්විය හැක. බුදු දහම ඉදිරිපත් කරන පරමාදර්ශී පාලකයා බවට සක්විති රජතුමා නම් කරනු පිණිස බෞද්ධ ආචාර විද්‍යාත්මක සහ දේශපාලනික සාරධර්ම එතුමාට ආරෝපණය කිරීමට බුදුරජාණන් වහන්සේ වග බලා ගත් සේක.[xxxvi]

චක්‍රවර්ති රාජ්‍ය සංකල්පය හා පාලිත අභිවෘද්ධිය

දේවෝ වස්සතු කාලේන - සස්ස සම්පත්ති හෝතු ච
ඵීතෝ භවතු ලෝකෝ ච - රාජා භවතු ධම්මිකෝ

යනු සියලු ජනතාව ප්‍රාර්ථනා කරන්නා වූ එක ම ප්‍රාර්ථනය යි. මෙහි දී රජු දැහැමි වේවා හෙවත් ධාර්මික චක්‍රවර්ති රජෙක් පහළ වේවා යැ යි ඔවුන් ප්‍රාර්ථනා කරන්නේ රටේ සශ්‍රීකත්වය පාලකයා මත තීරණය වන්නක් වන බැවිනි. ඒ බැව් ගණ්ඩතීන්දු ජාතකයේ දී මඬුවකු විසින් පඤ්චාල රජුගේ පුරෝහිතයාට මෙසේ පවසයි. ....මේ රජ දස රාජ ධර්මයෙන් රාජ්‍යය කරන්නේ වී නම්, මේ රාජ්‍යය වස්ත්‍රාභරණ ධන ධාන්‍යයෙන් සමෘද්ධ වන්නේ ය. නිසි කලට වැසි වැස සමෘද්ධ ව සස්‍යයෙන් යුක්ත වන්නේ ය. සියලු වැව් - පොකුණු හෝ කඳුරැළි ආදිය ප්‍රසන්න ව ජලයෙන් පිරී සිටින්නේ ය....[xxxvii]
චක්‍රවර්ති සීහනාද සූත්‍රයට අනුව පාලකයා සිය දස සක්විතිවත් නො පිරිහෙලා ඉටු කරන තුරු ජනතාවගේ ආයුෂ සුරැකේ; වර්ණය වැඩේ; ජනතාව අතර දස කුසල කර්මයන් ම බහුල වේ. තමන්ගේ ජීවිතය පිළිබඳ කිසිඳු බියක් චක්‍රවර්ති රාජ්‍යයක වෙසෙන ජනතාවට ඇති නො වේ රජුගේ පවුලේ පිරිසට සලසන්නා වූ ධාර්මික රක්ඛාවරණගුත්තිය ගම් නියම් ගම් වාසීන් කරා ද පමිණ, ඉන් නො නැවතී මෘග පක්ෂීන්ට ද හිමි වන බවට රජු සහතික වේ. මෙහි රක්ඛා, ආවරණ, ගුත්ති යනුවෙන් රජුගේ වගකීම තුන් ආකාරයකින් ඉටු වේ. රක්ඛා යනු ඉවසීම, අවිහිංසාව, ආදිය ජනතාවට පුරුදු පුහුණු කොට ඔවුනොවුන් ආරක්ෂා වීමට පෙළැඹවීම යි. ආවරණ යනු වැසීම යි. ඒ වැසීම දෙයාකාරවේ. හිස වසා ගැනීමට සක්විති රජු‍ ගෙවල් සාදා දෙයි. කය වසා ගැනීමට රෙදි පිළි සපයයි. මෙයින් රජු ජනතාවට ජීවනෝපාය මාර්ග සකසා ගැනීමට උපකාරී වීම පෙන්වා දෙයි. ගුත්ති යනු සොර සතුරු උවදුරුවලින් ජනයා ආරක්ෂා කර ගැනීම යි.[xxxviii] රජු සිය අන්තෝජනයාගේ පටන් ගම් නියම්ගම් වාසීන් කරා රක්ඛාවරණගුත්තීන් සපයන ආකාරය මෙබඳු වේ. මෙබඳු පාලකයෙකු යටතේ සිටින ජනතාව සැබැවින් ම භාග්‍යවන්තයෝ ය.
ඕනෑ ම රටක ඉතිහාසය ගත් කල්හි පාලකයින්ගේ අත්තනෝමතික තීරණය මත නිවැරදි මිනිසුන් දංගෙඩිය කරා යැවූ අවස්ථා අප්‍රමාණ ව දැක ගත හැකි වේ. රූබර දූවරු සිටින දෙමාපියන්, රූබර බිරින්දෑවරු සිටින ස්වාමිපුරුෂයන් ඒ පිළිබඳ සතුටු වීම නො ව, බියෙන් පසු වීමට සිදු වූ අවස්ථා එමට ය. පන්සිය පණස් ජාතක පොතේ උම්මාදන්ති ජාතකය ඊට කදිම නිදසුනකි.[xxxix] එහෙත්, චක්‍රවර්ති පාලනය පවතින රාජ්‍යයක ජනතාවට පාලකයා කෙරෙහි බියෙන් පසු වීමට සිදු නො වේ. තම පාලකයා ධර්මය ම ධ්වජයක් කොට සලකන්නෙක් නිසා තමන්ට කිසිඳු අසාධාරණයක් නො වන බව තහවුරු කොට දන්නා ජනතාව ඒ රාජ්‍යයේ සුවසේ සිත් සේ වාසය කරයි. මෙය චක්‍රවර්ති පාලනයෙන් ජනතාව ලබන්නා වූ මහත් ආනිසංසයකි.
සක්විති රජතුමා ජනතාව අතර පූජනීයත්වයට පත් වූ, මදයෙන් - ප්‍රමාදයෙන් වැළකුණු, සුචරිතවත් මහණ බමුණන් කරා එළැඹ කුසල් -  අකුසල් මෙන් ම තමාගේ ක්‍රියාවන්හි හොඳ - නරක පුනපුරා විචාරයි.[xl] මෙයින් නො දැනුවත් ව ම ජනතාවට සිදු වන යම් අපහසුවක් වේ නම් එය ද වළක්වා ගැනීමට ජනතාවට අවකාශ සැලසෙයි. ආගමික නායකයන් මඟින් සිය අවශ්‍යතා හෝ රජයෙන් පවත්වා ගෙන යන වැඩ පිළිවෙලක හොඳ - නරක පිළිබඳ පාලකයා දැනුවත් කිරීමට ඔවුන්ට අවකාශ සැලසේ. එසේ ම, රජු එක් ආගමකට පමණක් සීමා නො වී ශ්‍රමණ බ්‍රාහ්මණාදී සෑම ආගමකට ම එක සේ සැලකීම ද සුවිශේෂ ය. රජතුමා මෙසේ ශ්‍රමණබ්‍රාහ්මණාදීන් වෙත එළැඹ අවවාද අනුශාසනා ලැබීමෙන් ම පමණක් සෑහීමට පත් නො වේ. ඒවායේ කුසල් - අකුසල් විනිශ්චය කොට බොහෝ දෙනාට හිතසුව ඇතිවන අයුරින් ක්‍රියාවට නැංවීම රජු විසින් සිදු කරයි.
චක්කවත්ති සීහනාද සූත්‍රයේ එන විස්තරයට අනුව එම රාජ්‍යයේ සොරකම් වළක්වාලීම සඳහා අනුගමනය කරන්නේ ඉතා දූරදර්ශී වැඩපිළිවෙලකි. පළමු ව, යම් ධනය නැති අයෙක්වේ නම් ඔහුට ධනය දේ. එසේත් කර රටේ අධාර්මික ක්‍රියා සිදු වේ නම් එය වළක්වාලීමට ද රජු ක්‍රියා කරයි. ඒ පිළිබඳ මනා විස්තරයක් කූටදන්ත සූත්‍රයේ සඳහන් වේ. එහි මහාවිජිත රජුගේ පුරෝහිතයා රජුට උපදෙස් දෙන්නේ මෙසේ ය. සොරසතුරු උවදුරින් පීඩාවට පත් ජනයාගෙන් බදු අය නො කළ යුතු අතර, දඬුවමින් පමණක් සොරකම නවතාලීමට ද නො හැක. එමඟින් කෘෂිකර්මාන්තයේ යෙදෙන්නන්ට ධාන්‍ය - බිජුවට - බත් ආදිය සැපැයිය යුතු වේ. වෙළඳාමේ යෙදෙන්නන්ට ඒ සඳහා මූල්‍යමය උපකාර කළ යුතු වේ. රාජ සේවයේ යෙදෙන්නන්ට බත් වැටුප් සැපැයිය යුතු වේ. මෙසේ ඒ ඒ මිනිසුන්ට තමතමන්ගේ ජීවනෝපාය පවත්වා ගෙන යාමට උපකාර කළ කල්හි ඔවුන් නො ලස් ව සිය ආදායම් ඉපැයීමේ යෙදේ. එවිට ඉබේ ම සොරකම ද තුරන් වේ. මිනිසුන් ඔවුනොවුන් කෙරෙහි විශ්වාසයෙන් ප්‍රීතියෙන් වසන්නේ තමන්ගේ අඹුදරුවන් සමඟ ලොවි ලොව්තුරා සැප උදෙසා කටයුතු සිදු කර ගන්නේ ය.[xli] මේ අයුරින් බැලූ විට චක්කවත්ති රාජ්‍යය සමස්ත ජනතාවට මහත් අභිවෘද්ධියක් උදා කරන්නක් බව පැහැදිලි වේ. සෑම දෙනාට ම ආදායම් ඉපැයීමට මඟක් සේ ම තමතමන් උපයා ගත් වස්තුව කිසිඳු බිය සැකයකින් තොර ව නිදහසේ පරිභෝජනය කිරීමට අවස්ථාව ලැබීම සැබැවින් ම වාසනාවකි.
රජු සහ ජනතාව අතර අන්‍යොන්‍ය සම්බන්ධයක් චක්‍රවර්ති සීහනාද සූත්‍රයේ දී දැක ගත හැකි වේ. රජු දස සක්විතිවත් පූරණය කරන තුරා ව ට රටවැසියා දස කුසලයෙන් බැහැර වීමට අවකාශ නො ලබයි. එසේ ම, රට වැසියා දස කුසලයේ යෙදෙන කල්හි චක්‍රවර්ති රජෙකු බිහි වීමට මෙන් ම, ලොව්තුරා බුදුවරයෙකු පහළ වීමට සුදුසු පසුබිම සැකසෙයි. ඒ අනුව මේ දෙ පිරිස ම එක සේ සිල්වත් වීම දෙ පිරිසගේ ම පැවැත්ම තහවුරු කරන බව පෙනී යයි. එබැවින් රජු පළමු ව තමා ධර්මයෙහි පිහිටා රට වැසියාට ධර්මයෙන් අනුශාසනා කළ යුතු ය. සිව්දිග ම වසන්නා වූ ජනතාවට රජුගේ අනුශාසනාව වන්නේ පන්සිල් සුරැකීම යි.[xlii] ජනතාව ද දස අකුසලෙන් වැළකීමට නිරන්තර ව උත්සාහ ගැනීමත්, දස කුසල් වැඩීමට වෙහෙසීමත් මඟින් චක්කවත්ති රාජ්‍යය පවත්වා ගෙන යාමට දායක විය යුතු ය[xliii]. මෙසේ චක්‍රවර්ති රාජ්‍යය සංකල්පය තුළින් බිහි වනුයේ ධර්ම රාජ්‍යයකි. එය ජනතාවගේත්, පාලකයින්ගේත් මහත් වූ අභිවෘද්ධිය පිණිස ම හේතු වන්නකි.

චක්‍රවර්ති රාජ ධර්මය හා අශෝක ධර්මය

භාරතයේ දේශපාලන පසුබිම පිළිබඳ සාකච්ඡා කළ මුල් ම පරිච්ඡේදයේ දී නිචක්ෂු නම් අධිරාජයාගේ පෞරව අධිරාජ්‍යය බිඳ වැටීමත්, කුඩා කුඩා ජනපද ස්වාධීන වීමත් සමඟ දේශපාලන තන්ත්‍රය බොහෝ අවුල් සහගත වූ බව සඳහන් කළෙමි. එබැවින් බුදුරජාණන් වහන්සේගේ පවා අවධානය යොමු වූයේ සමස්ත ඉන්දියානු අර්ධද්වීපය ම පාලනය කළ හැකි චක්‍රවර්ති පාලකයෙකු පිළිබඳ ව ය. භාරතය බඳු විවිධ වූ ත්, විචිත්‍ර වූ ත් මහා භූමියකට සුදුසුතම පාලන ක්‍රමය එය බව බුදුරදුන්ගේ අදහස වී ය.[xliv] එම ස්වරූපය බොහෝ සෙයින් ක්‍රියාත්මක කිරීමට උත්සුක වූ ජීවමාන ප්‍රතිරූපයක් ලෙස ධර්මාශෝක අධිරාජ්‍යයා පෙන්වා දිය හැක. මෙහි දී දීර්ඝ වශයෙන් ඒ පිළිබඳ සාකච්ඡා නො කෙරෙන අතර අශෝක ධර්මය නමින් එතුමා ඉදිරිපත් කළ බෞද්ධ රාජ ධර්මය පමණක් සංක්ෂිප්ත ව ඉදිරිපත් වේ. අශෝක ධර්මය පිළිබඳ උගතුන් අතර ද විවිධ මත පවතී. එය දේශපාලන හා සදාචාර ප්‍රතිපත්ති අන්තර්ගත රාජධර්මයක් ය යනුවෙන් ප්ලීට් හා බියුලර් යන යුරෝපීය පඬිවරු පවසා ඇත. වින්සන්ට් ස්මිත් මහතාගේ අදහස වන්නේ අශෝක ධර්මය සෑම ඉන්දියානු ආගමකට ම පොදු වූ ධර්මයක් බව යි. එය බුදු දහමේ යම් යම් කොටස් උපුටා ගෙන සැකසුණු ධර්මයක් බව සේනාර් සහප හුල්ට්ස් පඬිවරු විසින් ද, එය බුදු දහමේ ගිහියන් සඳහා අභිප්‍රේත වූ ධර්ම කොටස් ඇතුළත් කොට සැකසුණු ධර්මයක් බව භණ්ඩර්කාර් පෙන්වා දී ඇත. කෙසේ වුවද, මෙකී නිර්වචනත් අශෝක ධර්මයත් විමසීමේ දී අපට පෙනී යන්නේ එය බෞද්ධ රාජ ධර්මය ඇසුරින් ඉදිරිපත් කරන ලද්දක් බව යි. තමා ධර්මාශෝක යන තත්ත්වයට පත්වීම පිළිබඳ අශෝක රජුගේ සෙල්ලිපි පාඨ විමසා බැලූ රීස් ඩේවිඩ්ස් පඬිතුමා ද අශෝක රජු තමාගේ ම ධර්මය ලෙස ඉදිරිපත් කරන්නේ බෞද්ධ ඉගැන්වීම් බව මෙසේ පවසයි.
භාරතයේ හෝ යුරෝපයේ රජ කෙනෙකු ශ්‍රේෂ්ඨ ජීවිතයක් ගත කිරීමට කැප වීම අස්වාභාවික එකකි. එය ද ආත්මය පිළිබඳ විශ්වාසයෙන් තොර, ආත්ම දමනයෙන් ලබා ගත යුතු වූ විමුක්ති මාර්ගයක් තෝරා ගැනීම වඩාත් අස්වාභාවික එකකි. සාමාන්‍යය මිනිසෙකු මෙසේ කරන්නේ නැත. මේ ප්‍රතිඵලය එතුමාගේ චරිතයත්, ස්ථිර අධිෂ්ඨානයත්, ප්‍රබල පෞරුෂයත් විය හැක. එහෙත්, එම ක්‍රම එතුමාට නිපදවා ගත නො හැක්කකි. එය බොහෝ කලක පටන් පැවැති බව අපි දනිමු. ඒ මාර්ගයෙහි ගමන් කළ අයගේ ආදර්ශය එතුමාට නො ලැබුණේ යැ යි නො සිතිය හැක.... [xlv]
මෙයින් එතුමා පෙන්වා දෙන්නේ අශෝක රජු ඍජු ව ම තමා බෞද්ධයෙකු බව නො පිළිගත්ත ද බෞද්ධ ඉගැන්වීම් (චක්‍රවර්ති රාජ්‍යය සංකල්පය) මත කටයුතු කළ බව යි. චක්‍රවර්ති රජු ශ්‍රමණ බ්‍රාහ්මණ යැ යි වෙනසක් නො කොට සියලු ආගමිකයන් කෙරෙහි එළැඹුණු බව සූත්‍රයේ සඳහන් වේ. එබැවින් අශෝක රජු ද තමා බෞද්ධයෙකු යැ යි ප්‍රසිද්ධියේ නො පවසන්නට ඇත. දිල්ලි - ත්‍රෝප්‍රා ටැම් ලිපියෙහි ධර්මය යනු කුමක් ද? යන ප්‍රශ්නය නගා ඊට පිළිතුරු අශෝක රජු විසින් ම මෙසේ සපයා ඇත.
එහි යහපත් දෑ බොහෝ ය. කරුණාව, දන් දීම, සත්‍යවාදී බව, පිරිසිඳු බව හෙවත් චරිත ශුද්ධිය යන මේවා ය. බහුවිධ වූ චක්ෂු දානය මවිසින් දෙන ලදි. දෙපා සිව්පා සතුන් කෙරෙහි ද, පක්ෂීන්, මත්ස්‍යයන් කෙරෙහි ද ප්‍රාණ දානය හෙවත් අභය දානය දක්වා වූ විවිධ අනුග්‍රහ කැරිණි. වෙනස් බොහෝ යහපත් දෑ මවිසින් කරන ලදි. මෙසේ ජනයෝ පිළිපදිත්වා.
අශෝක රජුගේ ධර්මය රීස් ඩේවිඩ්ස් පඬිතුමා මෙසේ පෙළ ගස්වා ඇත.[xlvi]
01. බිලි පූජාව සඳහා සතුන් නො මැරිය යුතු ය.
02. උසස් අය අතර වංශික භෝජන සංග්‍රහ පැවැත්විය යුතු නො වේ.
03. දෙමව්පියන්ට කීකරු වීම යහපති.
04. හිතමිතුරන්ට, ඤාතීන්ට හා ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ත්‍යාගවත් වීම යහපති.
05. ප්‍රාණවධ නො කිරීම යහපති.
06. පමණ දැන වියදම් කිරීම හා කලහයන්ගෙන් ඈත් වීම යහපති
07. ආත්ම දමනය.
08. හිත පිරිසිඳු කර ගැනීම.
09. කෘතඥතාව.
10. අවංක බව.
11. ලෙඩ රෝග, විවාහ, දරු උපත්, ගමන් ආදී අවස්ථාවල දී වාසනාව ළඟා කර ගැනීම සඳහා මහජනයා දූෂිත නිෂ්ප්‍රයෝජන පූජා හා උත්සව පවත්වති. කළ හැකි වාසනාව ළඟා කරන උත්සවයක් තිබේ. එය අනික්වා මෙන් නිෂ්ප්‍රයෝජන එකක් නො ව, බොහෝ ප්‍රයෝජන ඇති එකකි. එය ධර්මය නමැති වාසනාවත් උත්සවය යි. දාසකර්මාකාරාදීන් කෙරෙහි ධාර්මික ව හැසිරීම, ආචාර්යවරුන්ට ගරු කිරීම, ප්‍රාණීන් කෙරෙහි සංයත වීම, ශ්‍රමණ බ්‍රාහ්මණාදීන් කෙරෙහි ත්‍යාගවත් වීම යනාදිය මීට ඇතුළත් වේ.
12. අනෙක් ආගම්වලට අයිති ගිහි පැවිදි සියල්ලන්ට ම ගෞරව කළ යුතු ය. තමන්ගේ ඇදහීම් හුවා දැක්වීම පිණිස අන්‍යයන්ගේ ඇදහීම් පහත් කොට දැක්විය යුතු නො වේ. වචනයේ හික්මවීම යහපති. තමන්ගේ ලබ්ධියේ සාරය බලාපොරොත්තු විය යුතු ය.
13. ධර්මය යහපති. එහෙත්, ධර්මය යනු කිම? සිත මදයන්ගෙන් තොර වීම, අන්‍යයන් යහපත් කිරීම, කරුණාව, ත්‍යාගවත්භාවය, සත්‍යය හා පවිත්‍රතාව ධර්මය යි.
14. මනුෂ්‍යයා තමාගේ යහපත් ක්‍රියා පමණක් මෙසේ බලයි. මේ යහපත් ක්‍රියාව මවිසින් කරන ලදි. ඒ නරක ක්‍රියාව මම කළෙමි. ඒ ක්‍රියාව නරක එකකි. මෙසේ මනුෂ්‍යයා තමාගේ නරක ක්‍රියා කිසි සේත් නො බලයි. එවැනි ආත්ම පරීක්ෂණය දුෂ්කර දෙයකි. එහෙත්, මනුෂ්‍යයෙකු විසින් මෙසේ තමා පරීක්ෂාවට ලක් කළ යුතු ය. තිරශ්චීනකම, ක්‍රෑරකම, ක්‍රෝධය හා ගර්වය වැනි දේ අයහපතට හේතු වෙයි. මම ඊර්ෂ්‍යයා - ක්‍රෝධය - කේළාම් නො කීමට අධිෂ්ඨාන කර ගතිමි. එය මට මෙලොව පරලොව දෙකේහි ම හිත පිණිස වේ.

සමාලෝචනය

ආර්ය ජන කණ්ඩායම් ගෝත්‍ර වශයෙන් පැමිණ උත්තර භාරතය ජනාවාස කර ගැනීමෙන් පසු කාලයත් සමඟ විකාශයට පත් වූ භාරතීය දේශපාලනය ක්‍රි.පූ.හයවන සියවසේ දී ඉතා සංකීර්ණ තත්ත්වයකට පත් වී ය. එකල පැවැති පාලන ක්‍රම දෙකෙන් වඩාත් ප්‍රබල ව නැගී ආයේ රාජාණ්ඩු පාලනය යි. රාජාණ්ඩු පාලකයින්ගේ සුඛෝපභෝගී දිවි පෙවෙත හා බල තණ්හාව නිසා ඔවුන් භාරතීය දේශපාලනය ඉතා අවදානම් තත්ත්වයකට පත් කළේ ය. නොයෙක් වර රජුන්ගේ හිතුවක්කාරී ක්‍රියා විවිධ ලෙස සමනය කිරීමට බුදුරජාණන් වහන්සේට මැදිහත් වීමට සිදු විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් උන්වහන්සේ භාරතයට ඉතා ම සුදුසු වූ පාලන ක්‍රමවේදයක් පිළිබඳ අදහස් ඉදිරිපත් කළේ ය. එය චක්‍රවර්ති රාජ්‍ය සංකල්පය යි.
චක්‍රවර්ති රාජ්‍ය සංකල්පයේ දී රජුට රජකම හිමි වන්නේ ද, රජකම පවතින්නේ ද අතිශය ධාර්මික වූ පිළිවෙත් දහයක් නො පිරිහෙළා ඉටු කිරීම මත ය. එහි දී සමස්ත භාරතය ම එක් රජෙකු යටතට පැමිණේ. අන් රජවරු සිටිය ද ඔවුන් ධාර්මික සක්විති රජුට අවනත බව දක්වයි. මේ පාලනය තුළ ක්‍රියාත්මක සියල්ල මුළුමනින් ම ජනතා ශුභසිද්ධිය උදෙසා ම ක්‍රියාත්මක වේ. චක්‍රවර්ති රාජ්‍යයේ පැවැත්ම ජනතාව හා පාලකයා යන දෙ පිරිසේ ම ධාර්මික පැවැත්ම මත තීරණය වන අතර, ඒ දෙ පිරිසට ම මහත් අභිවෘද්ධියක් උදා කරලීමට එය සමත් වේ.
බුද්ධකාලීන ව මෙම චක්‍රවර්ති පාලනය සැබැවින් ම ක්‍රියාවට නැංවූ පාලකයෙක් පිළිබඳ උගහට ය. එහෙත්, බුද්ධ පරිනිර්වාණයෙන් වසර සියයකට ආසන්න කාලයේ දී පහළ වූ ධර්මාශෝක අධිරාජ්‍යයා දස සක්විතිවත් උපරිමයෙන් ම ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරූවෙක් වූ අතර, දකුණු ඉන්දියාවේ සුළු ප්‍රදේශයක හැර ඉතිරි සියල්ලෙහි පාලනාධිකාරිය එතුමා සතු වී ය. ධර්මප්‍රචාරය මඟින් පෙරදිග හා බටහිර ප්‍රදේශ නිහිපයක ද අවනතභාවය ලබා ගැනීමට එතුමා සමත් වී ය. ඒ අනුව එළැඹිය හැකි නිගමනය නම්, අද දවසේ වුව ද යම් පාලකයෙක් දස සක්විතිවත්හි යෙදී, සිය ජනතාව ද පඤ්චශීලයෙහි පිහිටුවා, ධාර්මික රක්ෂාවරණගුත්තිය සලසන්නේ නම් බුදුන් දෙසූ පරිදි චක්‍රවර්ති රාජ්‍යයක් බිහි කර ගත හැකි බව යි.

දීපිකා චාන්දනී කුමාරි
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය





ආන්තික සටහන්

[i] වාචිස්සර හිමි, කොටගම, රජකම හා දේශපාලනය පිළිබඳ බුදුරදුන්ගේ උපදේශනය, ධම්මරාජ, මහමිතව පඤ්ඤාරතන හිමි ආදීහූ සංස්. , ධර්මරාජ ආදි ශිෂ්‍ය සංගමය, කුලියාපිටිය, 2007, පි: 180.

[ii] සිංහල මහාවංශය, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය (සංස්.), අජිත් ප්‍රින්ටර්ස් - නුගේගොඩ, 2003, 11 පිට.

[iii] මහාචාර්ය අබේනායක ඔලිවර්, බුදු දහම සහ සමූහාණ්ඩු (ගණතන්ත්‍ර) මිථ්‍යාව, බෞද්ධ අධ්‍යයන විමර්ශන, මහමිතව පඤ්ඤාරතන හිමි ආදීහු (සංස්.), විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය, 2009, 347 පිට.

[iv] මහාචාර්ය අබේනායක ඔලිවර්, බුදු දහම සහ සමූහාණ්ඩු (ගණතන්ත්‍ර) මිථ්‍යාව, බෞද්ධ අධ්‍යයන විමර්ශන, මහමිතව පඤ්ඤාරතන හිමි ආදීහු (සංස්.), විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය, 2009, 336 පිට.

[v]  එම, 333 පිට.

[vi]  එම, 334 පිට.

[vii] දී.නි.3, පාථිකවග. : අග්ගඤ්ඤ සූත්‍රය, බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහානායක ස්ථවිර (පරි.), ලබුගම ලංකානන්ද ස්ථවිර ආදීහු (සංස්.), බු.ජ.මු., 1976, 159 පිට.

[viii] එම, 158 පිට.

[ix] එම.

[x]  සංනි.1, සගාථවග : මාරසං. : රජ්ජ සූත්‍රය, පරවාහැර වජිරඤාණ ස්ථවිර ආදීහු (සංස්.), බු.ජ.මු., 1960, 212 පිට.

[xi] එම.

[xii] සද්ධර්මරත්නාවලිය, ඤාණවිමල හිමි කිරිඇල්ලේ (සංස්.) එම්.ඩී.ගුණසේන සහ සමාගම - කොළඹ 11, 2010, 26 පිට.

[xiii]  දී.නි.3, පාථිකවග. : චක්කවත්තිසීහනාද සූත්‍රය, බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහානායක ස්ථවිර (පරි.), ලබුගම ලංකානන්ද ස්ථවිර ආදීහු (සංස්.), බු.ජ.මු., 1976, 96 පිට.

[xiv]  දී.නි.3, පාථිකවග. : චක්කවත්තිසීහනාද සූත්‍රය, බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහානායක ස්ථවිර (පරි.), ලබුගම ලංකානන්ද ස්ථවිර ආදීහු (සංස්.), බු.ජ.මු., 1976, 101 පිට.

[xv] එම.

[xvi] එම, 101 103 දක්වා පිටු.

[xvii]  දී.නි.3, පාථිකවග. : චක්කවත්තිසීහනාද සූත්‍රය, බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහානායක ස්ථවිර (පරි.), ලබුගම ලංකානන්ද ස්ථවිර ආදීහු (සංස්.), බු.ජ.මු., 1976, 105 පිට.
[xviii]  දී.නි.3, පාථිකවග. : ලක්ඛණ සූත්‍රය, බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහානායක ස්ථවිර (පරි.), ලබුගම ලංකානන්ද ස්ථවිර ආදීහු (සංස්.), බු.ජ.මු., 1976, 237 පිට.

[xix] අං.නි.03, පඤ්චකනි., තතියපණ්ණා., රාජවග., පරවාහැර වජිරඤාණ ස්ථවිර ආදීහු (සංස්.), බු.ජ.මු., 1968, 243 පිට.
[xx] අං.නි.1, ඒකකනි. : ඒකාදසම සූත්‍රය, පරවාහැර වජිරඤාණ ස්ථවිර ආදීහු (සංස්.), බු.ජ.මු., 1960, 56 පිට.

[xxi] ධම්මතිලක හිමි පැලැන්වත්තේ, ධම්ම සංකල්පයේ දේශපාලන - ආර්ථික - සමාජ භාවිතය, ඇස්.ගොඩගේ - කොළඹ, 2003, 63 පිට.

[xxii] එම, 60 පිට.

[xxiii]  දී.නි.3, පාථිකවග. : චක්කවත්තිසීහනාද සූත්‍රය, බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහානායක ස්ථවිර (පරි.), ලබුගම ලංකානන්ද ස්ථවිර ආදීහු (සංස්.), බු.ජ.මු., 1976, 99 පිට.

[xxiv] ධම්මතිලක හිමි පැලැන්වත්තේ, ධම්ම සංකල්පයේ දේශපාලන - ආර්ථික - සමාජ භාවිතය, ඇස්.ගොඩගේ - කොළඹ, 2003, 64 පිට.

[xxv] දීඝනි.1, සීලවග : කූටදන්තසූත්‍රය, බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහානායක ස්ථවිර (පරි.), ලබුගම ලංකානන්ද ස්ථවිර ආදීහු (සංස්.), බු.ජ.මු., 1956.
 බු.ජ.මු., 264 266 පිටු.

[xxvi] ධම්මතිලක හිමි පැලැන්වත්තේ, ධම්ම සංකල්පයේ දේශපාලන - ආර්ථික - සමාජ භාවිතය, ඇස්.ගොඩගේ - කොළඹ, 2003, 67 පිට.

[xxvii] එම.

[xxviii] මහාචාර්ය අබේනායක ඔලිවර්, ධම්මිකෝ ධම්මරාජා, බෞද්ධ අධ්‍යයන විමර්ශන, මහමිතව පඤ්ඤාරතන හිමි ආදීහු (සංස්.), විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය, 2009, 219 පිට.

[xxix] ආචාර්ය හෙට්ටිආරච්චි ධර්මසේන, මුල් බුදු සමයෙන් හෙළි වන බෞද්ධ ආර්ථික දර්ශනය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තුමේන්තුව, 1991, 181 පිට.

[xxx] දීඝනි.2, මහවග : මහාපරිනිබ්බාන සූත්‍රය, බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහානායක ස්ථවිර (පරි.), ලබුගම ලංකානන්ද ස්ථවිර ආදීහු (සංස්.), බු.ජ.මු., 1976, බු.ජ.මු., 229 පිට 

[xxxi] එම, 223 පිට.

[xxxii] එම, 225 පිට.

[xxxiii]  දී.නි.3, පාථිකවග. : චක්කවත්තිසීහනාද සූත්‍රය, බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහානායක ස්ථවිර (පරි.), ලබුගම ලංකානන්ද ස්ථවිර ආදීහු (සංස්.), බු.ජ.මු., 1976,  101 පිට.

[xxxiv] එම.

[xxxv]  දී.නි.3, පාථිකවග. : චක්කවත්තිසීහනාද සූත්‍රය, බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහානායක ස්ථවිර (පරි.), ලබුගම ලංකානන්ද ස්ථවිර ආදීහු (සංස්.), බු.ජ.මු., 1976,  99 පිට.

[xxxvi] මහාචාර්ය අබේනායක ඔලිවර්, බුදු දහම සහ සමූහාණ්ඩු (ගණතන්ත්‍ර) මිථ්‍යාව, බෞද්ධ අධ්‍යයන විමර්ශන, මහමිතව පඤ්ඤාරතන හිමි ආදීහු (සංස්.), විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය, 2009, 352 පිට.
[xxxvii]  සිතුවම් සහිත පන්සිය පණස් ජාතක පොත් වහන්සේ, අට වන කාණ්ඩය, ඇම්.ඩී.ගුණසේන - කොළඹ 11, 2008, 31 පිට.

[xxxviii] මහාචාර්ය අබේනායක ඔලිවර්, ධම්මිකෝ ධම්මරාජා, බෞද්ධ අධ්‍යයන විමර්ශන, මහමිතව පඤ්ඤාරතන හිමි ආදීහු (සංස්.), විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය, 2009, 222 පිට.

[xxxix] සිතුවම් සහිත පන්සිය පණස් ජාතක පොත් වහන්සේ, අට වන කාණ්ඩය, ඇම්.ඩී.ගුණසේන - කොළඹ 11, 2008, 128 පිට.

[xl]  දී.නි.3, පාථිකවග. : චක්කවත්තිසීහනාද සූත්‍රය, බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහානායක ස්ථවිර (පරි.), ලබුගම ලංකානන්ද ස්ථවිර ආදීහු (සංස්.), බු.ජ.මු., 1976, 103 පිට.

[xli]  දීඝනි.1, සීලවග : කූටදන්තසූත්‍රය, බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහානායක ස්ථවිර (පරි.), ලබුගම ලංකානන්ද ස්ථවිර ආදීහු (සංස්.), බු.ජ.මු., 263 පිටු.

[xlii]   දී.නි.3, පාථිකවග. : චක්කවත්තිසීහනාද සූත්‍රය, බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහානායක ස්ථවිර (පරි.), ලබුගම ලංකානන්ද ස්ථවිර ආදීහු (සංස්.), බු.ජ.මු., 1976, 103 පිට.

[xliii]  එම, 121 පිට.
[xliv] මහාචාර්ය අබේනායක ඔලිවර්, බෞද්ධ රාජ්‍ය න්‍යාය, බෞද්ධ අධ්‍යයන විමර්ශන, මහමිතව පඤ්ඤාරතන හිමි ආදීහු (සංස්.), විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය, 2009, 257 පිට.

[xlv] රීස් ඩේවිඩ්ස්, බෞද්ධ භාරතය, ධම්මජෝති හිමි උදම්මිට (අනුවාදක), බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, 2009, 188 පිට.

[xlvi] රීස් ඩේවිඩ්ස්, බෞද්ධ භාරතය, ධම්මජෝති හිමි උදම්මිට (අනුවාදක), බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, 2009, 192 193 පිටු.


No comments:

Post a Comment