Jun 30, 2016

සිංහල ග්‍රන්ථ වංසය හා "හෙළටුවා" (පර්යේෂණාත්මක යි)


සිංහල ග්‍රන්ථ වංශය පිළිබඳ ව කෙරෙන විමර්ශනයක දී අපගේ විශේෂ අවධානයට ලක්විය යුතු මැයකි, හෙළටුවා නම්. දීර්ඝ ඉතිහාසයක් ඇති පැරණි සිංහල ග්‍රන්ථ වංශය ආරම්භ වනුයේ හෙළටුවා නමින් හැඳින්වෙන ග්‍රන්ථ සමුදායෙනි. මෙම පොත් පෙළ පිළිබඳ ව අපට ලැබී ඇති තොරතුරු මුල් කොට ගෙන ක්‍රිස්තු පූර්ව තෙවන සියවස තරම් ඈත යුගයක පවා සිංහලයන් ග්‍රන්ථකරණය සිදු කළ බව නිගමනය කළ හැකි වන අතර, එවක සිංහලය බෞද්ධ ධර්මයේ ගැඹුරු ධර්ම කොටස් පැහැදිලි කිරීමට තරම් සමත් වූ වැඩුණු බසක් ව පැවැති බව ද තීරණය කළ හැකි වෙයි. එබැවින් භාෂාවේ මෙන් ම සාහිත්‍යයේ ද ඓතිහාසික තත්ත්වය පිළිබඳ ව කෙරෙන කවර ගවේෂණයක දී වුව ද හෙළටුවා අරභයා දැනගන්නට ලැබෙන තොරතුරු කෙරෙන් ලැබෙනුයේ මහත් ආලෝකයකි.

භාෂා ශාස්ත්‍ර ගවේෂකයින්ගේ මහත් අවාසනාවකට මෙන් අද මේ හෙළටුවා ග්‍රන්ථ කිසිවක් විද්‍යමාන නො වේ. එමතු නො ව, ක්‍රිස්තු අබ්දයෙන් තෙළෙස්වන සියවසින් මොබ විද්‍යමාන වූ බවට සාධකයෝ ද විරලයහ. අවසාන වරට මේ පොත් ගැන අසන්නට ලැබෙනුයේ පොළොන්නරු යුගයේ දී ලියැවුණු සාරත්ථදීපනී නම් ටීකා ග්‍රන්ථයෙනි. එබැවින් එම සියවස හා ආසන්න වකවානුවක දී හෙළටුවා නෂ්ටප්‍රාය වූ සේ සිතිය හැකි වෙයි. එසේ නම් හෙළටුවා ගැන අප තොරතුරු ලබා ගන්නේ කෙසේ ද? තෙළෙස්වන සියවසට පෙර ලියැවුණු පාලි හා සිංහල ග්‍රන්ථ කිහිපයක විශේෂයෙන් අර්ථකථාකාචාර්ය බුද්ධඝෝෂ ස්ථවිරයන්ගේ අටුවා පොත්වල මේ හෙළටුවා ගැන තන්හි තන්හි සඳහන් වෙයි. ඒවායින් අදහස් උපුටා දැක්වෙයි. එම ග්‍රන්ථ සමුදාය ගැන දැනගන්නට ලැබෙන තොරතුරු මෙසේ අන්‍යතර ග්‍රන්ථවල ඒවා ගැන සඳහන් කෙරී ඇති තැන්වලට පමණක් සීමා වෙයි.

භාරතීය ශාස්ත්‍රාධ්‍යයනයේ එක් විශේෂ ලක්ෂණයක් නම් ව්‍යාඛ්‍යාකරණය යි. ස්මෘති මාර්ගයෙන් පවත්වා ගෙන එනු ලබන සූත්‍රාත්මක ශාස්ත්‍ර ක්‍රමයට ව්‍යාඛ්‍යානය අත්‍යවශ්‍යය වෙයි. මතක තබා ගැන්මේ පහසුව සඳහා කිසියම් අදහසක සාරය උකහා ගෙන එය වචන කිහිපයකින් සූත්‍රයකට නැංවේ. සූත්‍රයෙන් ඉතා සැකෙවින් පැවසෙන දේ විස්තරයෙන් අවබෝධ කරවීම සඳහා වෘත්ති සැපැයීම අවශ්‍යය වේ. වෘත්තිය ද ප්‍රමාණවත් නො වුණු කල්හි එයට ටීකාවක් ද සපයනු ලැබේ. තවත් දුරවබෝධ වූ පදාදියෙහි අරුත් පැහැදිලි කරනු පිණිස ටිප්පණි ද සැපැයීම සිරිත වෙයි. මේ හැරුණු විට මුල් ග්‍රන්ථයෙහි සූත්‍රගත වූ ඇතැම් කරුණක් නන් අයුරින් විවරණය කිරීමට අවකාශ ඇති කල්හි වෙන් වෙන් ගුරුකුලයන් මඟින් ඒ අරභයා වෙනස් මතාන්තර රැගත් විවරණ ග්‍රන්ථ රාශියක් බිහිවීමට ද ප්‍රස්තාව සැලසේ. මෙපරිද්දෙන් එක් ප්‍රධාන ග්‍රන්ථයක් පදනම් කොට ගෙන ව්‍යාඛ්‍යාන ග්‍රන්ථ පරම්පරාවක් සමුද්භව වීම භාරතීය ශාස්ත්‍රයෙහි සුනිර්දිෂ්ට ය.

මිහිඳු මහතෙරුන් වහන්සේ බුදුසමය ලක්දිවට ගෙන එන වේලෙහි බුද්ධ ධර්මය සම්බන්ධ වූ පෙළ පොත් හා ඒවා සඳහා භාරතයෙහි පැවැති අටුවා කථා ද රැගෙන ආහ. මෙවකට මේ ග්‍රන්ථ සියල්ලක් හුදෙක් වාචනා මාර්ගයෙන් පැවැතිණැ යි සිතන්නට පිළිවන. අනතුරු ව උන්වහන්සේලා ප්‍රමුඛ ලාංකික තෙරුන් වහන්සේලා විසින්, භාරතයෙන් ගෙන ආ අටුවා ග්‍රන්ථ ද ආශ්‍රය කොටගෙන එම පෙළපොත්වලට එවකට භාවිත වූ සිංහල භාෂාවෙන් අර්ථකථා සපයන ලදි.[1] ‘හෙළටුවා යනුවෙන් ව්‍යවහාර වනුයේ මෙම පැරණි සිංහල අර්ථකථා ග්‍රන්ථ සමුදාය යි. ආරම්භයේ දී මේ ග්‍රන්ථ හුදෙක් වාචනාමාර්ගයෙන් පැවැතී, පසු ව ලේඛ්‍යාරූඪ වූ බව පෙනී යයි. මෙම හෙළටුවා බුදුසමයේ පිටකත්‍රය සඳහා ම ලියැවී තිබිණැ යි සිතීමට ඉඩ ඇති අතර, පෙළ පොත්වල දුරවබෝධ පදයන්ට සිංහලයෙන් අරත් බිණීමත්, දුරවබෝධ ධර්ම කොටස් පැහැදිලි කරදීමත් මේවායේ අභිප්‍රාය වූ බව පෙනේ. භාරතීය අටුවාවලින් ලබාගත් අදහස් මෙන් ම මිහිඳු මහතෙරුන් ප්‍රමුඛ අවශේෂ තෙරුන් වහන්සේලාගේ බුද්ධි ප්‍රභාව ද මෙහි ලා ගැබ් වී තිබීම නිසා මෙම හෙළටුවා ථෙරවාදී බෞද්ධ දර්ශනය පිළිබඳ සාරගර්භ ග්‍රන්ථාවලියක් වූවාට කිසිඳු සැකයක් නැත. මෙසේ හෙළටුවා රචිත වූයේ මිහිඳු මාහිමියන් ලක්දිවට බුදුසමය ගෙන ආ අවධියේ දී ය. එනම්, ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ අපරාර්ධයෙහි දී ය.

මෙයින් ශතවර්ෂ කිහිපයකට පසු ව, එනම් ක්‍රිස්තු අබ්දයෙන් පස්වන සියවසේ මුල් භාගයේ පමණ අටුවාචාරී බුද්ධඝොෂ මාහිමියන් අතින් ත්‍රිපිටකයට සැපැයුණු පාලි අටුවා ග්‍රන්ථ ලියැවුණේ මෙම හෙළටුවා පාලියට පරිවර්තනය කිරීමෙනි. මිහිඳු මාහිමියන් ලක්දිවට වැඩම කරන සමයේ දී භාරතයේ පැවැති අටුවා කථා සමුදාය මේ වනවිට අභාවයට ගොස් තිබුණා වන්නට පිළිවන. නො එසේ නම් නොයෙකුත් දුර්මතයන් හා ගැටීමෙන් කලුෂිත ව තිබුණා වන්නට පිළිවන. එසේත් නැතිනම් ස්වභාවික භාෂා පරිණාමය නිසා මේ වනවිට ඒ ග්‍රන්ථ පහසුවෙන් කියවා වටහා ගැන්ම සුකර නො වුණා ද විය හැකි යි.

කවර හේතුවක් නිසා හෝ වේවා බුද්ධඝෝෂ හිමියන් ලක්දිවට පැමිණියේ ලක්දිව පැවැති සිංහල අටුවා ග්‍රන්ථ මැනැවින් හදාරා අවබෝධ කොට ගෙන ඒවායේ ඇතුළත් ධර්මය කාටත් තේරෙන ජාත්‍යන්තර භාෂාවක් වූ පාලි භාෂාවට පරිවර්තනය කිරීම පිණිස ය. හෙළ අටුවා පොත්වල රැකී තිබුණු නිර්මල බුද්ධ ධර්මය පාලියට නගා යළිත් බොහෝ දෙන අතට පත්කරනු පිණිස ය.

හෙළටුවා පොත් ගැන වඩාත් ම වාර ගණනක් සඳහන් වන්නේ ද ඒ පිළිබඳ වඩාත් තොරතුරු සපයන ආකයරක් වන්නේ ද බුද්ධඝෝෂ හිමියන් අතින් ලියැවුණු මේ පාලි අටුවා සමුදාය යි. ඒ අතුරින් ද සමන්තපාසාදිකා නමින් විනය පිටකයට ලියැවුණු අටුවා ග්‍රන්ථයෙහි මෙම හෙළටුවා ගැන වැඩියෙන් ම සඳහන් වී ඇත[2]. මින් අනතුරු ව දසවන සියවසේ පමණ, පාලි ධම්මපදට්ඨකථාවට ව්‍යාඛ්‍යාන වශයෙන් ලියැවුණු ධම්පියා අටුවා ගැටපදය නම් ග්‍රන්ථයෙහි හෙළ අටුවා ගැන සඳහන් වන අතර ඒ ග්‍රන්ථවලින් උපුටා ගන්නා ලද පාඨ කිහිපයක් ද ඇතුළත් කොට ඇත. ඉහත දී ද සඳහන් කෙරුණු පරිදි හෙළටුවා ගැන අපට අවසාන වරට අසන්නට ලැබෙන්නේ පොළොන්නරු යුගයේ ලියැවුණු සාරත්ථදීපනී නම් ව්‍යාඛ්‍යාන ග්‍රන්ථයෙනි.

හෙළටුවා යනුනේ හැඳින්වෙනුයේ ග්‍රන්ථ සමූහයකි. මෙම සමූහය කවර කවර පොත්වලින් සමන්විත වී ද? බුද්ධඝෝෂ හිමියන් ප්‍රමුඛ පාලි අටුවාචාරීන් විසින් පාලි අට්ඨකථාවන් සම්පාදනය කිරීමේ දී ගුරුකොට ගන්නා ලද මූලාශ්‍රයන් වශයෙන් එම අටුවාවන්හි සඳහන් වී ඇති ව්‍යාඛ්‍යාන ග්‍රන්ථ ආචාර්ය නාමාදිය මෙසේ යි.[3]

01. මහාඅට්ඨකථා හෙවත් මූලට්ඨකථා
02. මහාපච්චරිය අට්ඨකථා
03. කුරුන්දි අට්ඨකථා
04. අන්ධකට්ඨකථා
05. සංඛෙපට්ඨකථා
06. විනයට්ඨකථා
07. සුත්තන්තට්ඨකථා
08. ආගමට්ඨකථා
09. දීඝට්ඨකථා
10. මජ්ඣිමට්ඨකථා
11. සංයුත්තට්ඨකථා
12. අංගුත්තරට්ඨකථා
13. අභිධම්මට්ඨකථා
14. සීහළට්ඨකථා
15. අට්ඨකථා (ඒකවචන)
16. අට්ඨකථා (බහුවචන)
17. අට්ඨකථාචරියා
18. ආචරියා
19. ආචරියවාද
20. ආචරියමත
21. ථෙරසල්ලාප
22. පරසමුද්දවාසීථෙරා
23. විතණ්ඩවාදී
24. පොරාණා
25. පොරාණකත්ථෙර
26. පොරාණචාරියා
27. පොරාණට්ඨකථා
28. භාණකා

යනුවෙනි. මේ සියල්ල වෙන වෙන ම පැවැති ග්‍රන්ථවල නාම නො වේ. මෙයින් ඇතැම් නම් වෙනත් ඒවා සඳහා පර්යාය වශයෙන් යෙදුණු ඒවා වන අතර, සීහලට්ඨකථා වැනි නමකින් කෘතීන් සමුදායක් ම හැඳින්වුණි. එසේ ම මේවායින් අංගුතරට්ඨකථා වැනි සමහරක් අන්‍යතර විශාල ග්‍රන්ථයක කොටස් වූ බව ද සිතිය හැකි ය. මේ හේතු නිසා පූර්වෝක්ත නාම මාලාව අතුරින් ප්‍රධාන ග්‍රන්ථ වශයෙන් හැඳින්විය යුතු වන්නේ පහක් පමණක් බව විද්වතුන්ගේ මතය යි. එනම්,

01. මහා අට්ඨකථා හෙවත් මූලට්ඨකථා (මහඅටුවාව)
02. මහාපච්චරිය අට්ඨකථා (මහපසුරුඅටුවාව)
03. කුරුන්දි අට්ඨකථා නොහොත් කුරුන්දිවෙල්ලී අට්ඨකථා
04. අන්ධකට්ඨකථා සහ
05. සංඛෙපට්ඨකථා

යන මේ පස යි. මේ අතුරින් කවරක් හෙළටුවා වශයෙන් ගිණිය යුතු ද? මෙයින් මහා අට්ඨකථා, මහාපච්චරිය අට්ඨකථා හා කුරුන්දි අට්ඨකථා යන ග්‍රන්ථ තුන හෙළටුවා ගණයට අයත් වන බව සියලු විද්වතුන් විසින් අවිවාදයෙන් පිළිගැනේ. අනෙක් ග්‍රන්ථ දෙක ද හෙළටුවා ගණයෙහි ලා සැලකීම ඇතැම් විද්වතුනට අභිමත ය.[4] අන්ධකට්ඨකථා යනු හෙළබසින් ලියැවුණු පොතකැයි ද යනුවෙන් සැලකේ. බුද්ධඝෝෂ මාහිමියන් ද මෙම අටුවාවේ සඳහන් අදහස් ප්‍රමාණ වශයෙන් නො පිළිගන්නා බවක් ද දක්නට ලැබේ. අනෙක් අතට සංඛෙපට්ඨකථා යනු මහාපච්චරී අට්ඨකථාව ම සංක්ෂේපයෙන් හකුළා දැක්වුණු ග්‍රන්ථයකැ යි සිතීමට සාධක දක්නට ලැබේ. මෙහෙයින් එය වෙන ම ප්‍රධාන හෙළටුවාවක් වශයෙන් සැලකීම නුසුදුසු සේ පෙනී යයි. මෙසේ හෙළටුවා වශයෙන් සැලකිය යුත්තේ (01) මහාඅට්ඨකථා, (02) මහාපච්චරී අට්ඨකථා හා (03) කුරුන්දි අට්ඨකථා යන මේ ග්‍රන්ථත්‍රය පමණකැ යි යනු මහාචාර්ය හෙට්ටිආරච්චි ප්‍රමුඛ විද්වතුන්ගේ පිළිගැනීම වන බව පෙනේ.[5] මේ අදහස තහවුරු කරන පුංචිබණ්ඩාර සන්නස්ගල මහතා පාලි අටුවාවල හෙළටුවා ගැන සඳහන් කරන බොහෝ තැන්වල දී හෙළටුවා ගණනින් තුනකැ යි සඳහන් කර තිබීම ද ඒ සඳහා සාධක වශයෙන් එළවයි.[6]

මේ හෙළටුවා පොත් තුන අතුරින් මහ අටුවාව ම ප්‍රධාන වේ. එය සමස්ත පිටකත්‍රයට ම කෙරුණු ව්‍යාඛ්‍යානයක් වශයෙන් සම්පාදනය වූවකි. එබැවින් එය අනෙකුත් අටුවාවනට වඩා පරිපූර්ණ ග්‍රන්ථයක් විය. අනෙක් ග්‍රන්ථවල වියකැන් නො කෙරුණු අරුත් මෙහි ලා වියකැන් කෙරිණ. එසේ ම බුද්ධඝෝෂ මාහිමියන් ස්වකීය අට්ඨකථාකරණය සඳහා බොහෝ සෙයින් කරුණු උපුටා ගත්තේ ද මෙම ග්‍රන්ථයෙනි. එමෙන් ම, අනෙක් ග්‍රන්ථද්වයෙහි ඇතුළත් දේ ම බුද්ධඝෝෂ මාහිමියන්ගේ සම්භාවනාවට පාත්‍ර වූ බවක් ද පෙනී යයි. මහාපච්චරී අට්ඨකථාව ලක්දිවෙහි දී පහුකර සිට ලියන ලද හෙයින් එනමින් ප්‍රකට වුණා සේ සැලකේ. තුන්වැනි වූ කුරුන්දි අට්ඨකථාව ද ලක්දිව ‘කුරුන්දිවෙලි නම් විහාරයක දී රචනා කරන ලද හෙයින් එම නමින් ප්‍රකට විය. මේ අටුවා ග්‍රන්ථ දෙක පිළිබඳ ව දැනගන්නට ඇති කරුණු අතිශයින් අල්ප ය.

මේ ග්‍රන්ථ හැරුණු විට අදිකාරම් මහතා විසින් දක්වන ලද පූර්වෝක්ත ලේඛනයෙහි සඳහන් විනයට්ඨකථා, සුත්තන්තට්ඨකථා, ආගමට්ඨකථා, දීඝට්ඨකථා, මජ්ඣිමට්ඨකථා, සංයුත්තට්ඨකථා, අංගුත්තරට්ඨකථා, අභිධම්මට්ඨකථා ආදි ග්‍රන්ථ ද සිංහලයෙන් ලියැවුණු පෘථක්භූත හෙළටුවා ග්‍රන්ථ දෝ හෝ යි සැක ඉපදවිය හැකි නමුදු, ඒ ගැන කිසිදු නිගමනයකට එළැඹීමට තරම් ප්‍රමාණවත් සාධක නොමැති යි. ඇතැම් විට මේවායින් සමහරක් සිංහලයට නො පෙරලන ලදු ව මිහිඳු මාහිමියන් ලක්දිවට ගෙන ඒමේ දී පැවැති මුල් ස්වරූපයෙන් ම තිබුණා වන්නට ද පිළිවන. මේ එක ද ග්‍රන්ථයක් හෝ හෙළටුවා ශයෙන් සැලකීම වර්තමාන විද්වතුන්ට අනභිමත වේ.

හෙළටුවාචාරීන්ගෙන් උපුටා ධම්පියා අටුවා ගැටපදයෙහි දක්වා ඇති පාඨ කිහිපය කෙරෙහි මීළඟට අපගේ අවධානය යොමු විය යුතු වේ. ලේඛන දෝෂ හා ලිපිභ්‍රමාදිය නිසා දූෂිත ව, අර්ථරහිත ව පැවැති මෙම පාඨ යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම ස්ථවිරපාදයන් වහන්සේ විසින් 1946 දී විද්‍යාලංකාර පිරුවන මඟින් සංශෝධනය කරන ලද මජ්ඣිම නිකායේ පළමුවන කාණ්ඩයට සපයන ලද ‘සමන්නෙසනා’ ලිපියකින් ශාස්ත්‍ර නිගමනයන් අනුව බුද්ධිමත් ව සංශෝධනය කොට ඉදිරිපත් කරනු ලැබ ඇත. මෙම ප්‍රශස්ත ශාස්ත්‍රීය ව්‍යාපාරය නිසා අද එම හෙළටුවා පාඨ මඟින් හෙළටුවාවන්හි භාෂා තත්ත්වය හා වස්තු ස්වභාවය පිළිබඳ ව යම්තම් අවබෝධයක් ලැබිය හැකි ව පවතී. ප්‍රඥාරාම ස්වාමීන් වහන්සේ විසින් ශෝධනය කොට දක්වා ඇති පරිදි, ධම්පියා අටුවා ගැටපදයෙ‘ අන්තර්ගත වූ එකී හෙළටුවා පාඨ මෙසේ ය.[7] (ධම්පියා අටුවා ගැටපදයේ වචන ද ඇතුළත් සම්පූර්ණ වාක්‍යය ම උපුටා දක්වමු.)

(01) හෙළටුවායෙහි “අප්පමාදහි පණ්ඩිතහ ජෙනෙ” කියුහු. (ධඅගැ.79 පිට) (අර්ථය : හෙළටුවායෙහි “අප්‍රමාදයෙහි පණ්ඩිත වූ ජනයා”යි කී හ.)

(02) “යොගෙ වදානකි, උපද්දාවහි නමි” ම අටුවාහි කී බැවින් (79 පිට) (අර්ථය : යොග යන වචනය උපද්‍රවයට නම් වේ. - යොග ශබ්දයේ අර්ථය උපද්‍රව යනු යි - මහඅටුවාහි කී බැවින්.)

(03) “සාමාවතියා වත්ථු නාම පඨමකි”යි මහ අටුවාහි ආ බැවින් (80 පිට) (අර්ථය : සාමාවතියගේ වස්තුව පළමුවැන්න යයි මහ අටුවාවේ ආ බැවින්.)

(04) හෙළටුවායෙහි............“මාරස්ස පුප්ඵෙ වදානකි පුප්ඵ අකුසල”යි පුප්ඵ ශබ්දයෙන් අකුසල් කියුහු (105 පිට) (අර්ථය : හෙළටුවායෙහි “පුප්ඵ යනු මාරයාට යෙදෙන වචනයකි. පුප්ඵ නම් : අකුසල” යයි පුප්ඵ ශබ්දයෙන් අකුසල් කී හ.)

(05) “සාලිත්ථක සිප්පෙ, යත් හකුරු ලන සිප්හි, හෙළටුවායෙහි, යන්ත හක්කාරක ලනක සිපැයි” යෙත් (136 පිට) (අර්ථය : ............හෙළටුවායෙහි “යන්ත්‍රයෙන් ගල් කැට විදින ශිල්පය”ය යි කියත්.)

(06) “ලකුණ්ටකො වදානකි, රස්ස නැමි” යනු හෙළටුවා යි. (148 පිට) (අර්ථය : රහදො වචනය ආවාට නම් අරුතෙහි වේ”ය යි හෙළටුවා යි.)

පූර්වෝක්ත පාඨයන්හි භාෂා ලක්ෂණ පිරිස්කා බලන විට හෙළටුවාහි ආ බස, ක්‍රිස්තු පූර්ව සියවස්වලට අයත් සෙල්ලිපිවලින් ද මැනැවින් පෙනී යන පරිදි ප්‍රාකෘත ලක්ෂණයන්ගෙන් සමන්විත වූ සිංහලයක් බව පැහැදිලි ය. වචනවල ස්වරූපය අතින් එම බස පාලියට ළඟ නෑමක් කියන්නක් බව ද පවසන්නට පිළිවන. අප්පමාද, උපද්දාව, වත්ථු, පුප්ඵ, මාරස්ස, ආවාට ආදි ශබ්දවලින් මේ බව පෙනෙයි. නාමපද වරනැගීමේ දී ප්‍රාකෘත භාෂා ලක්ෂණ බොහොමයක් දක්නට ලැබෙයි. අප්පමාදහි, උපද්දාවහි, ආවාටහි ආදියේ පැනෙන ආධාර විභක්ති ප්‍රත්‍යය ද, ජෙනෙ යන්නෙහි පැනෙන ප්‍රථමා විභක්ති ප්‍රත්‍යය ද මෙයට නිදසුන් හැටියට සැලකිය හැකි ය. වදානකි, පඨමකි, හක්කරක, ලනක ආදි ශබ්දවල පෙනෙන අවසාන ‘ක’ ශබ්දය ද ප්‍රාකෘත සිංහලයේ ලක්ෂණයක් බව පෙන්වා දී ඇත.[8] ක්‍රි.ව.-4 වන සියවසට අයත් තෝණිගල ශිලා ලිපියෙහි ද භාරතීය ප්‍රාකෘත භාෂාවල ද මේ ලක්ෂණය දක්නට ලැබේ. නමි, පඨමකි ආදි පදයන්හි කෙළවර පැනෙන ‘ඉ’කාරය වාක්‍යාන්ත සූචක ශබ්දයක් බව පෙන්වා දී ඇත. හෙළටුවාවන්ගෙන් උපුටා දක්වා ඇති එක ද පාඨයකවත් ආඛ්‍යාන පද දක්නට නො ලැබීම මහත් පාඩුවකි.

පැරණි සිංහල සෙල්ලිපි බසෙහි දීර්ඝ ස්වර දක්නට නො ලැබේ. කිසියම් වචනයක මාතෘභාෂාගත රූපය අනුව සලක කල්හි සිංහල සෙල්ලිපිවල ද දීර්ඝ ස්වරයක් බලාපොරොත්තු විය හැකි තැන්වල පවා ඒවායේ සලකුණු කොට ඇත්තේ හ්‍රස්ව ස්වරය යි. නිදසුනක් වශයෙන් වාපී ශබ්දය සෙල්ලිපිවල ගැනෙන්නේ ‘වවි’ යනුවෙනි. මේ හේතුයෙන් මාතෘ භාෂාගත සියලු දීර්ඝාක්ෂර හ්‍රස්ව වීම සිංහල ප්‍රාකෘතයේ ලක්ෂණයකැ යි ඇතැම් භාෂා විද්‍යාඥයෝ සිතූහ. මෙම හ්‍රස්වය හුදෙක් සෙල්ලිපි අක්ෂර ක්‍රමයේ දීර්ඝයක් පෙන්වීමේ සංකේතයක් භාවිත නො වීමක් නිසා පැනෙන්නක් බව ද, හ්‍රස්වය ලියන නමුත් දීර්ඝය ම උච්චාරණය කෙරෙන්නට ඇති බව ද වෙනත් ශාස්ත්‍රඥයන්ගේ අදහස විය. ඇත්ත වශයෙන් ම සිංහල ප්‍රාකෘතයේ දීර්ඝාක්ෂර පැවැති බව පූර්වෝක්ති හෙළටුවා පාඨවලින් මැනැවින් පෙනී යයි. එසේ නම්, සෙල්ලිපිවල දීර්ඝයක් දක්නට නො ලැබීම හුදෙක් ලේඛන සම්ප්‍රදායයේ ම විශේෂතාවක් විය යුතු බව ඒ අයුරින් නිගමනය කළ හැකි ය. මෙපරිද්දෙන් සිංහල භාෂාවේ ඉතිහාසය සොයන වාග් විද්‍යාඥයාට මෙම හෙළටුවා පාඨ කිහිපය අගය කළ නො හැකි වටිනා වස්තුවකි.

හෙළටුවාවන්හි අර්ථ වර්ණනා ස්වරූපය කෙබඳු විය හැකි ද? පෙළ පොත්වල එන යම් යම් ධර්ම කොටස් විස්තාරණයෙන් ව්‍යාඛ්‍යා කොට තිබීම මෙහි ලක්ෂණය වී යයි සිතන්නට පිළිවන. පාළි අටුවා පොත්වලට කරුණු උකහා ගන්නා ලද්දේ මේ හෙළටුවා කෙරෙන් බැවිනි. පරිකථා මුඛයෙන් ලියැවුණු මෙබඳු ව්‍යාඛ්‍යානයන් හැරුණු විට, පාළි ග්‍රන්ථවල එන යම් යම් දුරවබොධ පදයනට අරුත් බිණීම ද හෙළටුවාවල සිරිත වූ බව පෙනේ. ධම්පියා අටුවා ගැටපදයෙහි උපුටා දක්වන ලද හෙළටුවා පාඨ සියල්ලක් ම පාහේ කිසියම් පාලි ශබ්දයකට අරුත් පවසන පරිද්දෙන් ලියැවුණු ඒවා යි. ඒ සඳහා ආදාත මාර්ගය නම් දුරවබොධ පදයට පර්යාය වූ වෙනත් පාලි වචනයක් හෝ සිංහල වචනයක් සඳහන් කිරීම යි. ලකුණ්ටකො වදානකි රස්ස නැමි” යි කී තන්හි ලකුණ්ටක ශබ්දයට අරුත් පවසා තිබෙනුයේ පර්යාය පාලි පදයකින් ම බව කිව හැකි ය. අනෙක් අතට “යොගෙවදානකි උපද්දාවහි නමි”යි කී තැන සිංහලයෙන් ම අරුත් බිණූ බවක් පෙනේ. “වදානකි” යනු මෙසේ පර්යාය ශබ්ද හඳුන්වා දෙන පදය යි. මෙසේ හෙළටුවාහි ඇතැම් තැනක ග්‍රන්ථිපද විවරණය කිරීම ද කෙරුණු බව පෙනී යයි.

තව ද, පාලි අටුවා ග්‍රන්ථවල ස්වරූප අනුව සලකන විට හෙළටුවාවන්හි ද සාහිත්‍යමය වටිනාකමකින් යුත් වර්ණනා පාඨ ද තිබිණැ යි අනුමාන කරන්නට අවකාශ ඇති මුත්, ඒ කිසිවක් අද අප අතට පත් වී නොමැත.

මෙසේ අද්‍යතන යුගයෙහි අවිද්‍යමාන වුව ද, සිංහල ග්‍රන්ථ වංශය පිළිබඳවත්, එසේ ම සිංහල භාෂාවේ ඉතිහාසය පිළිබඳවත් කෙරෙන විමර්ශනයක දී හෙළටුවා කෙරෙහි සැලකිල්ල යොමු වීම අවශ්‍යයෙන් සිදුවිය යුත්තකි. වර්තමාන ඉන්දු ආර්ය භාෂා අතුරින් ක්‍රිස්තු පූර්ව 03 වන සියවස තරම් ඇති අවධියක දක්වා දිවෙන අඛණ්ඩ ඉතිහාසයක් ඇති සිංහල බසෙහි අතීත තත්ත්වය පිළිබඳ යම් අවබෝධයක් එයින් ලැබිය හැකි වේ.

ආචාර්ය ජී.ඩී.විජයවර්ධන





ආන්තික සටහන්

[1]. මහාචාර්ය ඩී.ඊ.හෙට්ටිආරච්චි, වෙසතුරු දා සන්නෙ ප්‍රස්තාවනා, 06 පිට.

[2]. ඊ.ඩබ්ලිව්.අදිකාරම්, Early History of Buddhism in Ceylon, 11 වන පිට.

[3]. ඊ.ඩබ්ලිව්.අදිකාරම්, Early History of Buddhism in Ceylon, 10 වන පිට.

[4]. ආනන්ද කුලසූරිය, සිංහල සාහිත්‍යය, 42 වන පිට සහ මොරටුවේ ධම්මාධාරතිස්ස හිමි, විමතිවිනොදනී සංස්කරණයේ ප්‍රස්තාවනාවේ iii පිට.

[5]. වෙසතුරු දා සන්නෙ, ප්‍රස්තාවනා, 9, 11 පිටු.

[6]. ඊ.ඩබ්ලිව්.අදිකාරම්, Early History of Buddhism in Ceylon, 11 වන පිට.

[7]. මජ්ඣිමනිකාය, පඨමො භාගො, සමන්නෙසනා, 21 පිට.

[8]. මජ්ඣිමනිකාය, පඨමො භාගො, සමන්නෙසනා, 25-26 පිටු.

No comments:

Post a Comment