Nov 1, 2016

දසබෝධිසත්තුප්පත්තිකථා හෙවත් දස බෝසත් කථා පුවත




දසබෝධිසත්තුප්පත්තිකථා නම් පාලි ප්‍රබන්ධය ත්‍රිපිටකයට අයත් නැති එහෙත් සුත්තන්ත පිටකාගත සූත්‍රයක ශෛලිය අනුගමනය කරමින් ලියන ලද පශ්චාත් කාලීන නිර්මාණයකි. අනාගත කාලයෙහි පහළ වන බුදුරජාණන් වහන්සේලා විසින් අතීත භවයන්හි දී සපුරන ලද උත්කෘෂ්ට පාරමිතාවන්ගෙන් වඩාත් ම වැදගත් වූ පාරමිතාවන් ආශ්‍රයෙන් උන්වහන්සේලාගේ බෝධිසත්ත්ව ජීවිතය හඳුන්වා දීම මෙම කෘතියෙහි පරමාර්ථය යි. එබැවින් දසබෝධිසත්තුප්පත්තිකථා යන නාමයෙන් මෙම ග්‍රන්ථය හඳුන්වා ඇත. මෙම කෘතිය වැදගත් වන්නේ ථෙරවාදී සම්ප්‍රදාය තුළ ප්‍රචලිත වී ඇති අනාගතයෙහි බුදුවන මෛත්‍රේය බුදුරදුන්ට පසු ව ලෝකයේ පහළ වන බුදුවරුන් දස දෙනෙකුගේ විස්තර ඉදිරිපත් වන එක ම ථෙරවාදී කෘතිය මෙය වන බැවිනි.

බෝධිසත්ත්ව සංකල්පය

බෝධිසත්ත්ව සංකල්පය බෞද්ධ සම්ප්‍රදාය තුළ වඩා ප්‍රචලිත සංකල්පයකි. බෝධිසත්ත යන පාලි වචනයෙහි සංස්කෘත ස්වරූපය බෝධිසත්ත්ව යනු යි. අප අතර වඩා ප්‍රචලිත ව ඇත්තේ ද එය යි. ඊ.ජේ.තෝමස්ගේ අදහස බෝධිසත්ත ශබ්දය ඇසුරෙන් බෝධිසත්ත්ව ශබ්දය තැනී ඇති බව යි. ථෙරවාදී සම්ප්‍රදාය තුළ බෝධිසත්ත ශබ්දය විවරණය වී ඇත්තේ "බෝධි" හා "සත්ත" යන ශබ්ද දෙක වෙන් ව ගැනීමෙනි. ඒ අනුව බෝධි යන්නෙන් ආර්ය සත්‍ය පිළිබඳ ඥානය ගණනය කෙරෙයි. (බෝධි වුච්චති චතුසු මග්ගෙසු ඤාණං) ප්‍රාණිවාචී සත්ත ශබ්දයක් හා සක්ත (ඇලුණු) යන අර්ථ ඇති සක්ත ශබ්දයක් පාලියෙහි විද්‍යමාන වේ. "සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා" යන අරියපරියේසන සූත්‍ර පාඨයෙහි ඇත්තේ ප්‍රාණිවාචක සත්ත ශබ්දය යි. "රූපාදිසු ඛන්ධෙසු ඡන්දරාගෙන සත්තා විසත්තා ආසත්තා ලග්ගා ලසිතා පත්තා සම්පත්තාති පාණිනොති වුච්චන්ති" යන බුද්ධවංසට්ඨකථා පාඨයෙහි ඇත්තේ සක්තාර්ථය හඟවන සත්ත ශබ්දය යි. එහෙයින් බෝධියෙහි ඇලුණු යන අර්ථයෙන් බෝධිසත්ත ශබ්දය විග්‍රහ කරන්නට බුද්ධඝෝෂ මාහිමියෝ පෙළැඹුණහ. පාඨයෙහි ඇත්තේ සක්තාර්ථය හඟවන සත්ත ශබ්දය යි. එහෙයින් බෝධියෙහි ඇලුණු යන අර්ථයෙන් බෝධිසත්ත ශබ්දය විග්‍රහ කරන්නට බුද්ධඝෝෂ මාහිමියෝ පෙළැඹුණහ.

බෝධිසත්ත ශබ්දයෙන් වාච්‍යවන අර්ථය පිළිබඳ ව විමසන විට බෝධිය හෙවත් චතුරාර්ය සත්‍ය ඥානය ලබා ගැනීමට දැඩි අධිෂ්ඨානයකින් යුතු ව කටයුතු කරන කවර පුද්ගලයෙකු වුව ද බෝධිසත්ත නමින් හැඳින්විය හැකි වේ. එහෙයින් සම්මා සම්බුද්ධ, පච්චේක බුද්ධ, අරහන්ත බුද්ධ යන ත්‍රිවිධ බෝධියෙන් කුමක් හෝ ප්‍රාර්ථනා කරන ඒ සඳහා වීර්යය වඩන තැනැත්තා බෝධිසත්ත යන නමින් හැඳින්වීමේ වරදක් නැත. එහෙත් ථෙරවාදය ප්‍රමුඛ සෑම බෞද්ධ සම්ප්‍රදායයක් ම සම්මා සම්බුද්ධත්වය ප්‍රාර්ථනා කරන තැනැත්තා ම බෝධිසත්ත යන නමින් හැඳින්විමට පෙළැඹී තිබේ.

සුත්තන්ත පිටකාගත පාලි සූත්‍රයන්හි බෝධිසත්ත යන වචනය යොදා ඇත්තේ පශ්චිමභවික බුද්ධාංකුරයන් හැඳින්වීම සඳහා ය. එනම්, බුද්ධත්වයට පත්වීම සඳහා පාරමිතා සපුරමින් අවසාන ආත්මභාවය ගත කරන පුද්ගලයන් හැඳින්වීම සඳහා ය. මජ්ඣිම නිකායේ අරියපරියෙසන, භයභෙරව සූත්‍රයන්හි දී හා සුත්තනිපාතයේ නාලක සූත්‍රයේ දී සිද්ධාර්ථ තාපසයාණන් වෙනුවෙන් මෙම වචනය භාවිත වී තිබේ. දීඝනිකායේ මහාපදාන සූත්‍රයේ දී විපස්සී බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පූර්වයෙන් ගත කළ පැවිදි ජීවිත කාලය ප්‍රකාශ කිරීම සඳහා බෝධිසත්ත ශබ්දය යොදා ඇත. සංයුත්ත නිකායේ ධාතු සංයුක්තයේ පුබ්බ සූත්‍රයෙහි විපස්සී, සිඛී, වෙස්සභු, කකුසන්ධ, කෝණාගමන, කස්සප, ගෞතම යන බුදුරජාණන් වහන්සේලා සත් දෙනාගේ ම බුද්ධත්වයට පූර්ව පැවිදි ජීවිතය හැඟවීම සඳහා බෝධිසත්ත යන නාමය භාවිත කර තිබේ. එයින් පැහැදිලි වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධත්වයට පූර්ව පැවිදි ජීවිතය හැඟවීම සඳහා සුත්තන්ත පිටකාගත පාලි සූත්‍රවල දී බෝධිසත්ත ශබ්දය යෙදී ඇති බව යි.

අභිධර්ම පිටකාගත කථාවත්ථුප්පකරණයෙහි ලක්ඛණ කථාවේ දී ත් නියාමොක්කන්ති කථාවේ දී ත් බෝධිසත්ත ශබ්දයේ විසිතුරු යෙදීමක් දක්නට ඇත. සූත්‍රාන්ත පිටකයට වඩා දියුණු වූ බෝධිසත්ව සංකල්පයක ගතිලක්ෂණ කථාවත්ථුප්පකරණයෙහි ඇතුළත් වේ.

බුද්ධ සංකල්පය

ආධ්‍යාත්මික සංවර්ධනය පිළිබඳ ඉන්දීය පරිශ්‍රමයෙහි උපරිම අවස්ථාව බුද්ධ සංකල්පයෙන් නිරූපණය වේ. අග්‍රගණ්‍ය මානසික සංවර්ධනයකින් හා කායික පරිපූර්ණත්වයකින් යුක්ත වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා බුද්ධ යන නාමයෙන් වෙසෙසනු ලැබේ. බුද්ධ යන වචනයෙහි පදගත අර්ථය වන්නේ අවබෝධ කරගත් යනු යි. ආගමික අර්ථයෙන් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත් තැනැත්තා යනු යි. (චතුසච්චේ භුජ්ඣතීති බුද්ධො) එනම් බුදුරජාණන් වහන්සේ ය. බුදුවරයෙක් යනු කවරෙක් ද යන ප්‍රශ්නයට පාලි සූත්‍රාශ්‍රයෙන් එළවිය හැකි කෙටි ම පිළිතුර නම් සංසාර විමුක්තිය තමන් විසින් ම සොයා දැනගෙන එය තවත් බොහෝ දෙනාට ප්‍රකාශ කරන ශාස්තෘවරයා ය යන්න යි. බුදුවරුන් පිළිබඳ සංකල්පය ඉන්දීය සමාජයෙහි පැතිර පැවැති බවට සාධක සුත්තනිපාතයේ පාරායන වග්ගය, මජ්ඣිමනිකායේ සේල සූත්‍රය වැනි මූලාශ්‍රයන්හි ඇතුළත් වී තිබේ. මෙයින් 2600 වසරකට පෙර සම්බුද්ධත්වය ලැබූ ගෝතම නම් බුදුරජාණන් වහන්සේගේ චරිත කථාව ගොඩනගා ගැනීමට අවශ්‍යය තොරතුරු රාශියක් පාලි සූත්‍රයන්හි ද විනය පිටකාගත ග්‍රන්ථවල ද ඇතුළත් ව තිබේ. එහෙත් ඒවායේ ආධාරය මත අවිච්ඡින්න ගොතම බුද්ධ චරිතයක් ගොඩනගා ගන්නට හැකියාවක් නැත. පසුකාලීන ව ථෙරවාදීන් විසින් මෙන් ම ථෙරවාදීන්ගෙන් පරිබාහිර බෞද්ධ සම්ප්‍රදායයන් විසින් ද බුද්ධචරිතය ආශ්චර්යාත්මක ව හා අද්භූත ජනක ව ඉදිරිපත් කර තිබේ.

මහාසමය සූත්‍රයෙහි අතීත වර්තමාන අනාගත යන කාල තුන හා සම්බන්ධ කරමින් ව්‍යාප්තියට පත් බුද්ධ සංකල්පයක තොරතුරු දක්නට ලැබේ. එහි සඳහන් පරිදි අතීත හා අනාගත කාලද්වයය හා සම්බන්ධ ව බුදුරජාණන් වහන්සේලා රාශියකි. පාලි පෙළෙහි බහුවචන යෝජනය ඊට සාධක සපයයි. එහෙත් වර්තමානය සම්බන්ධ ව එක් බුදුවරයෙක් පමණි. ඒ සඳහා ඒකවචන පදයක් භාවිත වී ඇත්තේ එහෙයිනි. ඒ වර්තමාන බුදුරජාණන් වහන්සේ යනු අප ගෞතම බුදුරජාණන් වහන්සේ ය. අතීත බුදුවරුන් අතර විපස්සී, සිඛී, වෙස්සභු, කකුසන්ධ, කෝණාගමන, කස්සප යන බුදුරජාණන් වහන්සේලා සය නම පිළිබඳ තොරතුරු දීඝනිකායෙහි මහාපදාන, ආටානාටිය යන සූත්‍රයන්හි ඇතුළත් වී ඇත. අතීත බුදුවරුන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යන ආකාරය බුද්ධවංසය වැනි මූලාශ්‍රයයන්ගෙන් දැකගත හැකි ය.

අනාගත බුදුවරුන් පිළිබඳ පාලි මූලාශ්‍රයයන් ද අප සතු ය. අනාගත කාලයෙහි පහළ වන මෙත්තෙය්‍ය හෙවත් මෛත්‍රේය බුදුරදුන් පිළිබඳ අදහස දීඝනිකායෙහි චක්කවත්තිසීහනාද සූත්‍රයෙහි ද, බුද්ධවංස, අනාගතවංස, සීහළවත්ථු, මහාවංස ආදී ග්‍රන්ථයන්හි ද ඇතුළත් ව ඇත. මෛත්‍රේය බුදුරජාණන් වහන්සේගෙන් පසු ව බුද්ධත්වයට පත්වන බුදුරජාණන් වහන්සේලා නව දෙනෙකු පිළිබඳ විස්තර ඇතුළත් ඉතා දුර්ලභ වූ ත්, වැදගත් වූ ත් පාලි කෘතියක් ද අප සතු වේ. එය "දසබෝධිසත්තුප්පත්තිකථා" නමින් හැඳින්වේ.

දසබෝධිසත්තුප්පත්තිකථා

පෙර සඳහන් කළ පරිදි දසබෝධිසත්තුප්පත්තිකථාව සූත්‍ර ශෛලිය අනුගමනය කළ පශ්චාත් කාලීන පාලි නිර්මාණයකි. පරණවිතාන කියන පරිදි මෙය ත්‍රිපිටකයට ඇතුළත් වී නැතත් බුදුමුවට නංවන ලද්දක් සේ ම, ඒ තුළ දක්නට ඇත්තේ මහායාන බලපෑම යි. ග්‍රන්ථ කතුවරයා හෝ කාලය පිළිබඳ නිශ්චිත සටහන් ග්‍රන්ථාරම්භයේ හෝ ග්‍රන්ථාවසානයේ දක්නට නැත. එහෙයින් කවර කලෙක කවරෙකු විසින් මෙය සම්පාදිත දැ යි කිව නො හැකි ය. මේ පිළිබඳ ව කෙටි විමසුමක් කළ පරණවිතානයන්ගේ අදහස අනුව මෙය ථෙරවාදියෙකු අතින් ලියැවුණක් නො වේ. එහෙත් එහි දී ඔහු පවසන්නේ මහායාන අදහස් පොදු ජනතාව අතර ප්‍රචලිත වූ පසු ඊට ප්‍රතිපක්ෂ ව ථෙරවාදීන් සිය සතුරන්ගේ අවිය ම භාවිත කළ අවස්ථාවක් මෙම කෘතියෙන් නිරූපණය වන බව යි. එහෙත්, හම්මලව සද්ධාතිස්ස හිමියෝ 14 වැනි සියවසේ අගභාගයේ දී මෙම ග්‍රන්ථය ලියන්නට ඇතැ යි අනුමාන කරති. මෙය සම්පූර්ණ ගද්‍ය කෘතියක් වන අතර ග්‍රන්ථාවසානයේ පමණක් පද්‍ය දෙකක් දක්නට ලැබේ. ග්‍රන්ථ ප්‍රමාණය උද්දේස හෙවත් පරිච්ඡේද දහයකි.

1. මෙත්තෙය්‍යස්ස සම්මාසම්බුද්ධස්ස උද්දෙසො
2. රාම සම්මාසම්බුද්ධස්ස උද්දෙසො
3. ධම්මරාජ සම්මාසම්බුද්ධස්ස උද්දෙසො
4. ධම්මස්සාමි සම්මාසම්බුද්ධස්ස උද්දෙසො
5. නාරද සම්මාසම්බුද්ධස්ස උද්දෙසො
6. රංසිමුනිනො සම්මාසම්බුද්ධස්ස උද්දෙසො
7. දෙවදෙවස්ස සම්මාසම්බුද්ධස්ස උද්දෙසො
8. නරසීහස්ස සම්මාසම්බුද්ධස්ස උද්දෙසො
9. තිස්ස සම්මාසම්බුද්ධස්ස උද්දෙසො
10. සුමංගල සම්මාසම්බුද්ධස්ස උද්දෙසො

දසබෝධිසත්තුප්පත්තිකථාවේ සාරාංශය

දස බෝසතුන් පිළිබඳ කථා ප්‍රවෘත්තිය ඇතුළත් මෙම දසබෝධිසත්තුප්පත්ති කථාව ආරම්භ වන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර විශාඛා උපාසිකාව විසින් කරවන ලද පූර්වාරාමයෙහි වාසය කරන අවස්ථාවක අජිත නම් තෙරුන් මුල් කර ගෙන ප්‍රශ්න කළ සැරියුත් තෙරුන් වහන්සේට දේශනා කරන ලද ආකාරයෙනි. එක් දිනක් සැරියුත් තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ හමුවට පැමිණ උන්වහන්සේට වැඳ එකත් පසෙක සිට මෙසේ ප්‍රකාශ කළහ. "ස්වාමීනි, අජිත තෙරුන් වහන්සේ මෙම භද්‍ර කල්පයෙහි ම මෙත්තෙය්‍ය නමින් බුදු වෙතැ යි ඔබ වහන්සේ දන්වන ලදි. ස්වාමීනි අනාගත කල්පයන්හි අන්‍ය වූ බොහෝ බුදුවරයන් වහන්සේලා පහළ වෙත් ද?" යනුවෙනි. එවිට බුදුරජාණන් වහන්සේ වදාළේ අනාගතයෙහි ද අනන්ත අප්‍රමාණ බුදුවරු ලොව පහළ වන බව යි. තමන් වහන්සේ අනාගත බුදුවරුන්ගේ ගණන ප්‍රමාණාත්මක ව නො ගන්නා නමුත් බුදුවරුන් දස දෙනෙකු අනුක්‍රමයෙන් පහළ වන බව එහි දී ම වදාළ උන්වහන්සේ නිශ්ශබ්ද වූහ.

අනතුරු ව නැගී සිටි සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට ඇඳිලි බැඳ දස බුදුවරුන් අරබයා සිව් පිරිසට දහම් දෙසන ලෙස අයැද සිටියහ. එහි ලා භාග්‍යවතුන් වහන්සේ මේ මහා භද්‍ර කල්පයෙහි ම බුද්ධත්වයට පත්වන මෙත්තෙය්‍ය සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳ විස්තර විවරණ ඉදිරිපත් කළහ. එම මෙත්තෙය්‍ය බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඉකුත් ව ගිය කල්හි දිගු කල් ඇවෑමෙන් මේ මහා පෘථිවිය කල්ප විනාශ ගින්නෙන් දැවී ගොස් භද්‍ර කල්පය අවසන් වූ විට බුද්ධ ශූන්‍ය එක් අසංඛ්‍ය කල්පයක් උදා වන බවත්, ඉන් අනතුරු ව එළැඹෙන මණ්ඩ නම් කල්පයෙහි රාම හා ධම්මරාජ නමින් බුදුවරු දෙදෙනෙක් පහළ වන බවත් පෙන්වා වදාළ බුදුරජාණන් වහන්සේ එහි දී එම බුදුවරුන් දෙදෙනා පිළිබඳ විස්තර විවරණ දක්වාලූහ. උක්ත රාම හා ධම්මරාජ යන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වන මණ්ඩ කල්පය ගින්නෙන් දැවී අවසන් වූ කල්හි උදාවන සාර නම් කල්පයෙහි ධම්මස්සාමි නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන අයුරු ඊළඟට විස්තර කළහ.

අනතුරු ව කරුණු දක්වන බුදුරජාණන් වහන්සේ එම සාර කල්පය ගෙවී ගිය කල්හි උදා වන ලක්ඛණ කල්පයෙහි බුදුවරුන් පහළ නො වන බව වදාරා ඊළඟට එළැඹෙන මණ්ඩ කල්පයෙහි නාරද හා රංසිමුනි යන සම්බුදුවරුන් උපදින බව පෙන්වා දෙමින් උන්වහන්සේලා පිළිබඳ විවරණ ඉදිරිපත් කළහ. එකී මණ්ඩ කල්පය ගෙවී ගිය විට නැවතත් එක් මණ්ඩ කල්පයක් උදා වන බවත්, එම කල්පයෙහි දෙවදෙව හා නරසීහ යන බුදුවරුන් දෙනම පහළ වන බවත් ඉනික්බිති ව දක්වා උන්වහන්සේලාගේ චරිත විස්තරය ද දක්වාලූහ. එම බුදුවරුන් දෙනම පහළ වන මණ්ඩ කල්පයෙන් පසු උදාවන කල්පයෙහි බුදුවරුන් නූපදින බවත් ඊළඟට එළැඹෙන මණ්ඩ කල්පයෙහි තිස්ස හා සුමංගල යන බුදුවරු දෙනම පහළ වන බවත් වදාරමින් ඒ බුදුවරුන් පිළිබඳ විවරණ ද ගෙනහැර පා වදාළහ.

දස බුදුවරුන් පිළිබඳ විස්තර

අනාගතයෙහි පහළ වන සම්මා සම්බුදුවරුන් දස දෙනාගේ විස්තර විවරණ ගෞතම බුදුරදුන්ගේ මුවින් පිටවන වදන් සේ දසබෝධිසත්තුප්පත්ති කථාවෙහි ඇතුළත් ව ඇත. ඒ අතර මෙත්තෙය්‍ය බුදුරදුන් පිළිබඳ විස්තරය අනෙක් බුදුවරුන්ගේ විස්තරවලට වඩා වැඩි කැමැත්තකින් හා උද්‍යොගයකින් ඉදිරිපත් කර තිබේ. උන්වහන්සේගේ ශරීර වර්ණනාව හා අනෙක් බුදුවරුන්ගේ ශරීර වර්ණනා සසඳා බැලීමෙන් ඒ බව පැහැදිලි කරගත හැකි ය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලට අනුකූල ව මෙත්තෙය්‍ය බුදුරදුන්ගේ උස මහත දැක්වීමේ දී සිරස් හා තිරස් පළල ද පයේ සිට දණ මඬලට, දණ මඬලේ සිට නාභියට, නාභියේ සිට හකුවට, හකුවේ සිට උණ්හීසයට ඇති දුර ප්‍රමාණය ද රියන්වලින් දක්වා ඇතත් ඉතිරි බුදුවරුන් නව දෙනාගේ උස පමණක් දක්වා තිබේ.

අනාගත බුදුවරුන්ගේ චරිත විස්තර කිරීමේ දී දසබෝධිසත්තුප්පත්ති කථාව සමාන මාතෘකා කිහිපයක් ආශ්‍රයෙන් එම විස්තර ඉදිරිපත් කරන්නට පෙළැඹී තිබේ. අනාගත බුදුවරයාගේ නාමය හා උන්වහන්සේගේ බෝසත් නාමය ද දක්වා ඇති අතර එම බුදුවරයාගේ ආයු ප්‍රමාණය හා උස ද නිශ්චිත ව දක්වා තිබේ. ඒ අතර බුද්ධත්වයට පත්වීමේ දී ඇසුරු කරන බෝධිය පිළිබඳ තොරතුරු ද එහි සඳහන් ය. එමෙන් ම ඒ ඒ බුදුවරුන් පහළ වන කල්ප පිළිබඳ විස්තරය ද වඩා පැහැදිලි ව දක්වා ඇත. එහි ලා බුද්ධශූන්‍ය කල්ප දැක්වීම වඩා සුවිශේෂී ය. පහත දැක්වෙන්නේ දසබෝධිසත්තුප්පත්ති කථාවෙන් හෙළිවන අනාගතයේ ලොව පහළ වන බුදුවරුන් පිළිබඳ උක්ත විස්තරයන්හි සන්දර්ශකයකි.

අනු අංකය 01
බුදුරදුන්ගේ නම : මෙත්තෙය්‍ය
පහළ වන කල්පය : මහාභද්‍ර
ආයුෂ (වර්ෂ) : 82,000
උස (රියන්) : 88
බෝධිය : නාග
බෝසත් අවධිය : සංඛ සක්විති රජ

(මෙත්තෙය්‍ය බුදුරදුන්ගේ බෝධිය කුමක් දැ යි දසබෝධිසත්තුප්පත්ති කථාවේ නො දැක්වේ. සම්පිණ්ඩිත මහානිදානය අනුව නාග වෘක්ෂය උන්වහන්සේගේ බෝධිය වේ.)

අනු අංකය 02
බුදුරදුන්ගේ නම : රාම
පහළ වන කල්පය : මණ්ඩ
ආයුෂ (වර්ෂ) : 90,000
උස (රියන්) : 80
බෝධිය : චන්දනසාර
බෝසත් අවධිය : රාම රජ

අනු අංකය 03
බුදුරදුන්ගේ නම : ධම්මරාජ
පහළ වන කල්පය : මණ්ඩ
ආයුෂ (වර්ෂ) : 50,000
උස (රියන්) : 60
බෝධිය : නාග
බෝසත් අවධිය : පසේනදී කොසොල් රජ

අනු අංකය 04
බුදුරදුන්ගේ නම : ධම්මස්සාමි
පහළ වන කල්පය : සාර
ආයුෂ (වර්ෂ) : 1,000
උස (රියන්) : 80
බෝධිය : සාල
බෝසත් අවධිය : අභිභු දේවරාජ

අනු අංකය 05
බුදුරදුන්ගේ නම : නාරද
පහළ වන කල්පය : මණ්ඩ
ආයුෂ (වර්ෂ) : 10,000
උස (රියන්) : 27
බෝධිය : චන්දන
බෝසත් අවධිය : දීඝසොණ රාහු අසුරින්ද

අනු අංකය 06
බුදුරදුන්ගේ නම : රංසිමුනි
පහළ වන කල්පය : මණ්ඩ
ආයුෂ (වර්ෂ) : 5,000
උස (රියන්) : 60
බෝධිය : පිප්ඵලී
බෝසත් අවධිය : චංකී බ්‍රාහ්මණ

අනු අංකය 07
බුදුරදුන්ගේ නම : දෙවදෙව
පහළ වන කල්පය : මණ්ඩ
ආයුෂ (වර්ෂ) : 80,000
උස (රියන්) : 80
බෝධිය : චම්පක
බෝසත් අවධිය : ශුභ බ්‍රාහ්මණ

අනු අංකය 08
බුදුරදුන්ගේ නම : නරසීහ
පහළ වන කල්පය : මණ්ඩ
ආයුෂ (වර්ෂ) : 80,000
උස (රියන්) : 60
බෝධිය : පාටලී
බෝසත් අවධිය : තෝදෙය්‍ය බ්‍රාහ්මණ

අනු අංකය 09
බුදුරදුන්ගේ නම : තිස්ස
පහළ වන කල්පය : මණ්ඩ
ආයුෂ (වර්ෂ) : 80,000
උස (රියන්) : 80
බෝධිය : නිග්‍රෝධ
බෝසත් අවධිය : ධනපාලක හස්ති

අනු අංකය 10
බුදුරදුන්ගේ නම : සුමංගල
පහළ වන කල්පය : මණ්ඩ
ආයුෂ (වර්ෂ) : 1,000
උස (රියන්) : 80
බෝධිය : නාග
බෝසත් අවධිය : පාරිලෙය්‍යක හස්ති

දස බෝසතුන්ගේ විස්තර

අනාගත බුදුවරුන්ගේ බෝසත් චරිත දහයක් ඉහත දී නම් වශයෙන් දක්වන ලදි. එම බෝසත්වරුන්ගෙන් සත් දෙනෙකුගේ නම් ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි ජීවත් වූ පුද්ගලයන්ගේ නම්වලින් පාලි සූත්‍රයන්හි දක්නට ලැබෙන අතර තිදෙනෙකුගේ නම් දක්නට නැත. මෙම දස බෝසත්වරුන් සම්මා සම්බුද්ධත්වය සඳහා පූර්ව බුදුවරුන්ගෙන් විවරණ ලද ආකාරය ඔවුන් විසින් සම්පූර්ණ කරන ලද පාරමිතා අතරින් වඩා වැදගත් වූ පාරමිතාව ආශ්‍රයෙන් විවරණය කරන්නට දසබෝධිසත්තුප්පත්තිකථාව උත්සාහ දරා තිබේ. එම විස්තර විවරණය මෙසේ දැක්විය හැකි ය.

අනු අංකය 01
බෝසතුන්ගේ නම (ගෞතම බුද්ධ කාලයේ දී) නම : පසේනදී කෝසල රජ
විවරණය දුන් බුදුරදුන් : කෝණාගමන
බුදු වීමේ දී ගන්නා නාමය : ධම්මරාජ (තෙවැනි)

අනු අංකය 02
බෝසතුන්ගේ නම (ගෞතම බුද්ධ කාලයේ දී) නම : දීඝසෝණ රාහු අසුරින්ද
විවරණය දුන් බුදුරදුන් : කස්සප
බුදු වීමේ දී ගන්නා නාමය : නාරද (පස්වැනි)

අනු අංකය 03
බෝසතුන්ගේ නම (ගෞතම බුද්ධ කාලයේ දී) නම : චංකී බ්‍රාහ්මණ
විවරණය දුන් බුදුරදුන් : කකුසන්ධ
බුදු වීමේ දී ගන්නා නාමය : රංසිමුනි (සවැනි)

අනු අංකය 04
බෝසතුන්ගේ නම (ගෞතම බුද්ධ කාලයේ දී) නම : ශුභ බ්‍රාහ්මණ
විවරණය දුන් බුදුරදුන් : කෝණාගමන
බුදු වීමේ දී ගන්නා නාමය : දෙවදෙව (සත්වැනි)

අනු අංකය 05
බෝසතුන්ගේ නම (ගෞතම බුද්ධ කාලයේ දී) නම : තෝදෙය්‍ය බ්‍රාහ්මණ
විවරණය දුන් බුදුරදුන් : කස්සප බුදු සසුන අතුරුදන් වූ කල එක් පසේබුදුවරයෙක්
බුදු වීමේ දී ගන්නා නාමය : නරසීහ (අටවැනි)

අනු අංකය 06
බෝසතුන්ගේ නම (ගෞතම බුද්ධ කාලයේ දී) නම : ධනපාලක (නාලාගිරි) ඇතා
විවරණය දුන් බුදුරදුන් : කෝණාගමන
බුදු වීමේ දී ගන්නා නාමය : තිස්ස (නවවැනි)

අනු අංකය 07
බෝසතුන්ගේ නම (ගෞතම බුද්ධ කාලයේ දී) නම : පාරිලෙය්‍ය හස්තියා
විවරණය දුන් බුදුරදුන් : කකුසන්ධ
බුදු වීමේ දී ගන්නා නාමය : සුමංගල (දසවැනි)


සැ.යු. මොවුන් අනාගතයේ බුදුවන බෝසත්වරුන් සේ පාලි ත්‍රිපිටකයේ කිසිදු ස්ථානයක සඳහන් ව නැත. දසබෝධිසත්තුප්පත්ති කථාවේ බෝසත්වරුන් සේ විස්තර වන ඔවුන් ගෞතම බුද්ධ කාලයේ ජීවත් වූ සාමාන්‍ය පුද්ගලයන් ය. පාලි සාහිත්‍යයෙන් පිළිබිඹු වන ඔවුන්ගේ චරිත පිළිබඳ කෙටි විස්තරයක් පහත දැක්වේ.

පසේනදි කොසොල් රජු

කෝසල රාජ්‍යයේ බුද්ධකාලීන පාලකයා වූ මොහුගේ පියා මහාකෝසල රජු ය. කෝසල රාජ්‍යයේ පාලකයා යන අර්ථයෙන් කෝසල යන නමින් හැඳින්වෙන මෙම රජුට ප්‍රත්‍යන්තයන් හා පරසේනාවන් දිනන ලද යන යන අර්ථයෙන් භාවිත විරුද නාමයක් ද වේ. එහෙයින් පාලි සූත්‍රවල පසේනදි කෝසල යන නාමයෙන් මොහු හඳුන්වා ඇත. කොසොල් රජු සිය රටේ උක්කට්ඨා, ඕපසාද වැනි ඇතැම් ජනපද රාජ දායාද සේ පොක්ඛරසාති, චංකී, පායාසිරාජඤ්ඤ ආදි පුද්ගලයන්ට ප්‍රදානය කර තිබිණ. එය ඔහුගේ පරිත්‍යාග මහාත්ම්‍යය ප්‍රකට කරන සාධකයකි. රටෙහි තැන තැන දන්හල් සැකසීමට මෙම රජු ක්‍රියා කළේ ය. බෞද්ධයෙකු වූ පසු ද බෞද්ධ නො වන ආගමිකයින් කෙරෙහි ද එම දන්හල් විවෘත ව තැබීමට තරම් මොහු පරිත්‍යාගශීලී විය. සංයුක්ත නිකායේ තෙවැනි සංයුත්තය මෙම රජුගේ නමින් ම කෝසල සංයුත්ත සේ නම් වී ඇත. කොසොල් රජු බුදුරජුන් හමු වූ මුල් ම අවස්ථාවඑහි දහර සූත්‍රයේ දැක්වේ. එවැනි ප්‍රවෘත්තීන් විසි පහක් පමණ කෝසල සංයුත්තයේ ඇතුළත් ව තිබේ. මහාසුපින, ලෝහකුම්භි යන ජාතක දෙකෙහි ද, සංයුත්ත නිකාය අටුවාවෙහි ද කොසොල් රජු විසින් දක්නා ලද සිහින පිළිබඳ දීර්ඝ විස්තරයක් දක්නට තිබේ. බුදුරදුන් හා කොසොල් රජු වයසින් සම තත්ත්වයෙහි වූ බව ධම්මචේතිය සූත්‍රයේ දැක්වේ. එමෙන් ම එතුමා බුදුරදුන්ගේ පා සිඹිමින් ඉතා ලෙන්ගතුව උන්වහන්සේ ව ආශ්‍රය කළ බව ද එහි දැක්වේ. මොහුගේ අග්‍ර මහේෂිකාව වූයේ මල්ලිකා දේවිය යි. කොසොල් රජු අසදිස මහා දානය පිරිනමන ලද්දේ ඇයගේ උපදෙස් අනුව ය.

දීඝසොණ රාහු අසුරින්ද

දසබෝධිසත්තුප්පත්ති කථාව අනාගතයෙහි පහළ වන පස්වැනි බුදුරදුන් ලෙස දක්වා ඇත්තේ දීඝසොණ රාහු අසුරින්දයන් ය. එහෙත් පාලි සාහිත්‍යයේ වෙනත් තැනක දීඝසොණ යන නාමය දක්නට නැත. රාහු යනු අසුරේන්ද්‍රයෙකි. අංගුතර නිකාය අටුවාවට අනුව වේපචිත්ති, රාහු හා පහාරාද යන තිදෙනා අසුරයින් අතර ප්‍රධාන වේ. රාහු ලෝකයේ විශාලතම ශරීර ඇති පුද්ගලයන් අතර අග්‍රස්ථානයට වැටෙන බව අංගුත්තර නිකායේ චතුක්කනිපාතයේ දැක්වෙයි. මජ්ඣිම නිකාය අට්ඨකථාවට අනුව ඔහුගේ උස යොදුන් 4800 කි. බාහු අතර දුර යොදුන් 112 කි. අත් පාවල පෘථුලත්වය යොදුන් 300 කි. ඇඟිලි පුරුකක ප්‍රමාණය යොදුන් 50 කි. දෙබැම අතර දුර යොදුන් 50 කි. නළලෙහි පළල යොදුන් 300 කි. හිස යොදුන් 900 ක් විශාල ය. අටුවාවේ සඳහන් පරිදි මෙපමණ උස ඔහු තමා උස නිසා නැමී භාග්‍යවතුන් වහන්සේ දෙස බලන්නට නො හැකි යැයි සිතා උන්වහන්සේ බලන්නට නො යයි. හෙතෙම එක් දිනක් භාග්‍යවතුන් වහන්සේගේ ගුණ අසා කෙසේ හෝ උන්වහන්සේ බලන්නෙමි යි සිතා බුදුරදුන් හමුවට පැමිණියේ ය. බුදුරදුන් ඔහුගේ පැමිණීම දැනගෙන ඉරියව් සතරින් කවර ඉරියව්වකින් තමන් ව දක්වන්නෙම් දැ යි සිතා මිටි පුද්ගලයා සිට ගෙන සිටින විට උසට පෙනෙන නිසා සැතපී තමන් ව දක්වනු පිණිස අනඳ හිමියන් ලවා ගඳකිළියෙන් පිටතට ඇඳක් ගෙන්වා ගෙන එහි සිංහසෙය්‍යාවෙන් සැතපී සිටියේ ය. රාහු අසුරයා පැමිණ සැතපී සිටි බුදුරදුන් දෙස ගෙළ නමා අහස මැද ඇති පූර්ණ චන්ද්‍රයා දෙස බලන්නාක් මෙන් බලා සිටියේ ය. එවිට බුදුරජාණන් වහන්සේ කරුණු විචාරා තමන් යට බැලූ මුහුණින් පාරමිතා නො පුරන ලද බවත් උඩ අග් ඇති ව දන් දුන් බවත් පෙන්වා දුන්හ. එම මොහොතෙහි රාහු අසුරේන්ද්‍රයා සරණයට එළැඹි බව ද මැදුම් සඟි අටුවාවේ දැක්වේ. රාහු අසුර සඳ හිරු දෙදෙනාටත් වැස්සටත් අනතුරු පමුණුවන්නෙකි. සංයුත්ත නිකායේ දේවපුත්ත සංයුත්තයේ චන්දිම, සුරිය සූත්‍ර දෙකෙහි සඳ-හිරු දෙදෙනාට මොහුගෙන් එල්ල වන බාධා ප්‍රකාශ වේ. අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ වර්ෂාවට එල්ල වන පඤ්චවිධ අනතුරු අතර තෙවැන්න සේ දැක්වෙන්නේ රාහු අසුරයා අතින් දිය ගෙන මහමුහුදෙහි හෙලීමෙන් වර්ෂාවට බාධා පැමිණෙන බව යි.

චංකී බ්‍රාහ්මණයා

චංකී යනු බුදුරජාණන් වහන්සේගේ සමකාලීන මහාසාල බ්‍රාහ්මණයෙකි. සමකාලීන බමුණන් අතර උගත්කමින් අතිසම්භාවිත ව ජීවත් වූවෙකි. මජ්ඣිම නිකායෙහි මොහුගේ නාමය තාරුක්ඛ, පොක්ඛරසාති, ජාණුස්සෝණි, තෝදෙය්‍ය වැනි කීර්තිමත් මහාසාල බ්‍රාහ්මණයන්ගේ නම් සමඟ යෙදී තිබේ. චංකී බ්‍රාහ්මණගේ වාසය පසේනදී කෝසල රජු විසින් ප්‍රදානය කරන ලද ඕපසාද ග්‍රාමයෙහි විය. එම තොරතුරු ඇතුළත් සූත්‍රය ඔහුගේ නමින් ම චංකී සුත්ත නමින් මජ්ඣිම නිකායෙහි ඇතුළත් ව ඇත. එහි සඳහන් පරිදි ඔහු බුදුරදුන්ගෙන් සච්චානුරක්ඛණ, සච්චානුබොධ, සච්චානුපත්ති යන කරුණු තුනත්, සච්චානුපත්තිය සඳහා බොහෝ සෙයින් උපකාරවත් වන ධර්මත් විමසන ලදුව බුදුරදුන් වෙතින් ඒවාට ප්‍රශස්ත පිළිතුරු ලබන ලදි. එහෙයින් ම හෙතෙම තිසරණ සරණ ගිය උපාසකයෙකු බවට ද පත්විය.

ශුභ බ්‍රාහ්මණයා

ශුභ බ්‍රාහ්මණ නමින් හැඳින්වෙන පුද්ගලයෙක් ත්‍රිපිටක පාලියෙන් සොයාගත නො හැකි වේ. එහෙත් සුභ බ්‍රාහ්මණ සහ චුල්ලකම්මවිභංග සූත්‍රවල ප්‍රශ්නකරු සේ පෙනී සිටින සුභ මානවකයා ත්‍රිපිටකයෙහි ප්‍රකට චරිතයකි. ඔහු ධර්මය පිළිබඳ උනන්දුවකින් හා විමැසීමකින් ක්‍රියා කළ පණ්ඩිතයෙකු බව බුදුරදුන්ගේ අසන ලද ප්‍රශ්නවලින් පැහැදිලි වේ. චුල්ලකම්මවිභංග සූත්‍රයේ දී මිනිසුන්ගේ උස් පහත් බව, දීර්ඝායුෂ්ක හා අල්පායුෂ්ක බව ආදිය කවර හේතුවකින් ඇති වේ ද යන්න සුභ මානවකයා විසින් බුදුරදුන් වෙත ඉදිරිපත් කරන ලදි. මජ්ඣිම නිකාය සුභ සූත්‍රයේ දී ගෘහස්ථ ප්‍රවෘජිතයන්ගේ ආපේක්ෂිත මහත්වය පිළිබඳ ප්‍රශ්න විමසා ඇත. සුභ මානවකයා බුද්ධ පරිනිර්වාණයෙන් පසු බුදුරදුන්ගේ අග්‍ර උපස්ථායක වූ ආනන්ද හිමියන් තම නිවසට වැඩමවා ගෙන බුදුරදුන් විසින් කවර කරුණු වර්ණනා කරන ලද්දේ ද යනුවෙන් අනඳ තෙරුන්ට ඉදිරිපත් කළ ප්‍රශ්නය දීඝ නිකායේ සුභ සූත්‍රයේ ඇතුළත් වෙයි. සුභ මානවක තෙමේ තරුවන් සරණ ගිය උපාසකයෙකු වේ. ඒ බව ඔහු විසින් ම පිළිණ කළ ආකාරය උක්ත සූත්‍රයන්හි අවසාන වැකිවලින් දැකගත හැකි ය.

තොදෙය්‍ය බ්‍රාහ්මණයා

තොදෙය්‍ය බ්‍රාහ්මණ හා තොදෙය්‍ය මානව නමින් දෙදෙනෙකු පිළිබඳ ව සූත්‍රයන්හි සඳහන් වේ. එයින් තොදෙය්‍ය බමුණා බුදුරජාණන් වහන්සේගේ සමකාලීන කෝසල දේශවාසී මහාසාල බ්‍රාහ්මණයෙකි. ඔහු පෙර සඳහන් කළ සුභ මානවකගේ පියා ය. තොදෙය්‍ය බ්‍රාහ්මණයාගේ පුත්‍ර වූ සුභ මානවකයාට දේශනා කරන ලද සූත්‍ර කීපයක් පෙර සඳහන් කෙරිණ. එහෙත් තොදෙය්‍ය බ්‍රාහ්මණයා පිළිබඳ ව ඒවායේ විස්තර වී නොමැත. චුල්ලකම්මවිභංග සූත්‍ර අටුවා වර්ණනාවෙහි තෝදෙය්‍ය බ්‍රාහ්මණයා පසේනදි කෝසොල් රජුගේ පුරෝහිත බමුණා බවත්, සැවැත් නුවරට නුදුරු තුදි ගමෙහි අධිපතියා ව අසූහත් කෝටියක් ධනය තිබූ පරම මසුරෙක් බවත් සඳහන් වේ. පරිත්‍යාග කරන්නහුගේ භෝගයන් ක්ෂය වෙතැ යි සිතා කැඳ හැන්දක් පමණකුදු නො දී මරණයට පත් වූ හෙතෙම තම ගෙදර ම සුනඛයෙකු වී උපන් ආකාරය ද එහි විස්තර වී තිබේ. දීඝනිකායට්ඨකථාව අනුව තුදි යන නම් ඇති ගමෙහි වාසය කළ නිසා මෙම බමුණා තොදෙය්‍ය නමින් හැඳින්වේ. අංගුත්තර නිකායේ චතුත්ක නිපාතයෙහි එන වස්සකාර සූත්‍රයේ මොහු සිය පිරිස හැසිර වූ ආකාරය විස්තර වී ඇත.

ධනපාලක හෙවත් නාලාගිරි හස්තියා

නාලාගිරි හස්ති රාජයා රජගහ නුවර බිම්බිසාර රජුගේ ඇත් සේනාවට අයත් වූ සැඩ පරුෂ සතෙකි. දේවදත්ත හිමියන් අජාතසත් කුමරුන්ගේ සහාය ඇති ව බුදුරදුන් ඝාතනය කිරීමට මෙම හස්තියාට රා පොවා කුලප්පු කරවා බුදුරදුන්ගේ අභිමුඛයට එවන ලද ප්‍රවෘත්තිය බෞද්ධ සාහිත්‍යයෙහි ඉතා ප්‍රකට ය. ජාතකට්ඨකථාවෙහි චුල්ලහංස ජාතකයේ සඳහන් පරිදි බුදුරදුන් ඔහු වෙත ම යොමු කරන ලද මහා මෛත්‍රියෙන් මෙල්ල වූ නාලාගිරි හස්තියා දෙසට දෙව් බඹු මිනිසුන් නොයෙක් රන් රුවන් පුෂ්ප විසි කළහ. ඒවායින් හස්තියාගේ ශරීරය වැසී ගියේ ය. එහෙයින් ම ඔහුට ධනපාලක යන නම ද පටබැඳිණි. තිරිසන්ගත සතෙක් නො වුණේ නම් නාලාගිරි හස්තියාට සෝතාපන්න වීමට අවකාශ තිබිණ. අවසන පඤ්චසීලයේ පමණක් පිහිටීමට හැකිවිය. මෙම ප්‍රවෘත්තිය අපදාන අට්ඨකථාවේ ද මඳක් වෙනස් ව දැක්වේ.

පාරලෙය්‍ය හස්තියා

පාරලෙය්‍ය යනු කොසඹෑ නුවරට සමීප ගමකි. මහාවග්ගපාලියේ කොසම්බක්ඛන්ධකයෙහි එන පරිදි කොසඹෑ නුවර භික්ෂූන්ගේ අසංවරත්වය නිසා බුදුරදුන් බාලලොණකාරකග්‍රාමය හා පාචීනවංස මිගදාය පසුකරමින් පාරලෙය්‍ය ගමට ගොස් එහි රක්ඛිත වන ලැහැබෙහි සොඳුරු සල් සෙවණෙහි නවාතැන් ගත්හ. එම වනයෙහි හුදෙකලාව විසූ එක් හස්ති රාජයෙක් බුදුරදුන්ට උවටැන් කළේය. මෙම හස්තියා පාරලෙය්‍ය හස්ති හෝ පාරලෙය්‍ය ඇතා නමින් ප්‍රකට වුවත් පෙළ අටුවා දෙකෙහි ම ඒ බව සඳහන් ව නැත. ඒවායේ ඇත්තේ හත්ථිනාග යන වචනය යි. (අඤ්ඤතරොපි ඛො හත්ථිනාගො....) ආනන්ද හිමියන් පසු ව පැමිණ බුදුරදුන් වැඩමවා ගෙන සැවැත් නුවරට යාමේ දී මෙම ඇතා වන කෙළවර දී ළය පැලී මරණයට පත් ව තාවතිංස දෙව්ලො පාරලෙය්‍යක දෙව්පුත් ලෙස උපන්නේ ය.

පාලි සූත්‍රවල නම් සඳහන් නො වන බෝසත්වරු තිදෙනා

අනු අංක 01
බෝසතුන්ගේ නම : සංඛ චක්කවත්ති රාජ
විවරණය දුන් බුදුරදුන් : සිරිමත
බුදුවීමේ දී ගන්නා නාමය : මෙත්තෙය්‍ය (පළමුවැනි)

අනු අංක 02
බෝසතුන්ගේ නම : නාරද මානව
විවරණය දුන් බුදුරදුන් : කස්සප
බුදුවීමේ දී ගන්නා නාමය : රාමරාජ (දෙවැනි)

අනු අංක 03
බෝසතුන්ගේ නම : අභිභු දේවරාජ
විවරණය දුන් බුදුරදුන් : කස්සප
බුදුවීමේ දී ගන්නා නාමය : ධම්මස්සාමි (සිව්වැනි)

අනාගතයෙහි බුද්ධත්වයට පත්වන පළමු බුදුරදුන් වන මෙත්තෙය්‍ය බුදුරදුන් සංඛ නම් සක්විති රජ ව සිරිමත නම් බුදුරදුන්ගේ විවරණ ලද බව දසබෝධිසත්තුප්පත්ති කථාවෙහි සඳහන් වුවත් දීඝනිකායාගත චක්කවත්තිසීහනාද සූත්‍රයට අනුව සංඛ නම් සක්විති රජ අනාගතයෙහි මිනිසුන්ගේ වයස අවුරුදු අසූ දහසක් ව පවත්නා විට දඹදිව කේතුමතී නම් රාජධානියෙහි පහල වන සක්විති රජු සංඛ නම් වේ. ඔහු එකල පහළ වන මෙත්තෙය්‍ය බුදුරදුන් හමුවෙහි පැවිදි ව රහත් බවට පත් වන බව ද එහි විස්තර වී තිබේ. අංගුත්තර අටුවාව අනුව ඔහු මෙත්තෙය්‍ය බුදුරදුන්ගේ අග්‍ර උපස්ථායක වෙයි. මෙයින් පැහැදිලි වන්නේ පෙළෙහි එන සංඛ සක්විති රජු පිළිබඳ සංකල්පය දසබෝධිසත්තුප්පත්ති කථාවේ දී තරමක් අවුල් සහගත ව ඉදිරිපත් වන බව යි.

දසබෝධිසත්තුප්පත්තිකථාවෙහි ඇතුළත් බෝධිසත්ත/බුද්ධ සංකල්පයේ විශේෂත්වය

මෙම මහා භද්‍ර කල්පයෙහි ම සම්බුද්ධත්වයට පත්වන මෛත්‍රේය බුදුරදුන් පාලි වංසකථාකරුවන්ගේ මෙන් ම සිංහල සාහිත්‍යකරුවන්ගේ ද උත්කර්ෂ වර්ණනාවලට බඳුන් වී තිබේ. එහෙයින් ම සිංහල බෞද්ධ සමාජය තුළ මෛත්‍රේය බුදුරදුන්ගෙන් පසු බුද්ධත්වයට පත්වන බුදුවරුන් පිළිබඳ ප්‍රබල අදහසක් ව්‍යාප්ත වී නොමැති තරම් ය. ඒ අතින් මහායාන සම්ප්‍රදාය ඉතා පොහොසත් ය. ථෙරවාදී සම්ප්‍රදාය තුළ දක්නට ඇති ඌනතාව මග හරවාලන එක ම පාලි නිර්මාණය මෙම දසබෝධිසත්තුප්පත්තිකථාව යි. මෛත්‍රේය බුදුරදුන්ට පසු ව සම්බුද්ධත්වයට පත්වන තවත් බුදුවරු නව දෙනෙකු පිළිබඳ විස්තර මෙයින් ඉදිරිපත් වන්නේ එහෙයිනි.

ඉහත දක්වන ලද ග්‍රන්ථ සාරාංශයෙන් පැහැදිලි වන වැදගත් ම කරුණ වන්නේ බෝධිසත්ත්ව සංකල්පය දෙව්, මිනිස්, අසුර, තීර්යක් (තිරිසන්) යන සමස්ත සත්ත්ව ප්‍රජාවට ම සාධාරණ වූවක් බව යි. ඒ බව සමාජගත කරන්නට මහායාන සම්ප්‍රදාය අභිබවමින් ථෙරවාදී සම්ප්‍රදාය ක්‍රියා කළ ආකාරයට ඉදිරිපත් කළ හැකි උත්කෘෂ්ට නිදර්ශනය දසබෝධිසත්තුප්පත්තිකථාව යි.

දස බෝසත්වරුන්ගේ ලාංකීය ව්‍යාප්තිය

දස බෝසත් සංකල්පය පෘථුල ලෙස ලංකා සමාජය තුළ ව්‍යාප්තියට පත් ව ඇති සෙයක් නො පෙනේ. මෛත්‍රේය බුද්ධ සංකල්පය ක්‍රි.ව.පස්වන සියවස තරම් ඈත අතීතයේ සිට ම මෙරට ප්‍රචලිත ව තිබිණ. ඒ බව කාවන්තිස්ස රජු හා විහාර මහා දේවිය මෛත්‍රේය බුදුරදුන්ගේ මව්පියන් සේ ද, දුටුගැමුණු හා සද්ධාතිස්ස දෙදෙනා එම බුදුරදුන්ගේ ප්‍රධාන ශ්‍රාවකයින් දෙදෙනා ලෙසත්, සාලිය කුමරු ගිහි කල පුතු ලෙසත් උපදින බව මහාවංශයේ සඳහන් වීමෙන් පැහැදිලි වේ. ධාතුසේන, පළමු දප්පුල, පස්වන කාශ්‍යප, පළමු පරාක්‍රමබාහු, කීර්ති ශ්‍රී රාජසිංහ ආදි රජවරු මෛත්‍රේය ප්‍රතිමා ඉදි කළ බව චූලවංශයේ දැක්වේ.

දසබෝධිසත්තුප්පත්තිකථාව රචනා වීමෙන් පසු මහනුවර යුගයේ දී බෝසත්වරුන් දස දෙනෙකු පිළිබඳ අදහස ශ්‍රී ලංකාව තුළ වඩාත් ජනප්‍රියත්වයට පත් ව තිබූ ආකාරය රංගිරි දඹුලු විහාරයේ ප්‍රධාන ලෙන් විහාරයෙහි හා මහනුවර මල්වතු මහාවිහාරීය උපෝසථාගාර සිවිලිමෙහි බෝසත්වරු දස දෙනා සිතුවම් කර තිබීමෙන් පැහැදිලි වේ. පහත දැක්වෙන්නේ එම සිතුවම් දෙක යි.



දකුණේ සිට වමට පිළිවෙලින් :

1. සංඛ සක්විති රජ
2. රාම රජ
3. පසේනදි කෝසල රාජ
4. අභිභු දේවරාජ
5. දීඝසොණ රාහු අසුරින්ද
6. චංකී බ්‍රාහ්මණ
7. සුභ බ්‍රාහ්මණ
8. තොදෙය්‍ය බ්‍රාහ්මණ
9. ධනපාලක හස්ති
10. පාරලෙය්‍යක හස්ති



නිගමනය

බෞද්ධ සම්ප්‍රදාය තුළ සංවර්ධනයට පත් බෝධිසත්ත හා බුද්ධ සංකල්ප පිළිබඳ ථෙරවාදී ඉගැන්වීමේ නව පැතිකඩක් දසබෝධිසත්තුප්පත්තිකථා නම් පාලි ප්‍රබන්ධයෙන් ඉදිරිපත් වෙයි. අනාගතවංසය හා පාලි, සිංහල භාෂාවලින් රචිත වෙනත් මූලාශ්‍රය හරහා ජන විඥානය තුළ මෛත්‍රේය බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් පසු අක්‍රියත්වයට පත් වූ බුද්ධ සංකල්පයට නව ජීවයක් ලබා දී ඇත්තේ දසබෝධිසත්තුප්පත්තිකථාව යි. එහි ඇති විචිත්‍රත්වය නම් සර්ව සත්ව සාධාරණ බෝධිසත්ත්ව සංකල්පයක් ඉදිරිපත් වීම යි.

මහාචාර්ය පූජ්‍ය මැදගම්පිටියේ විජිතධම්ම හිමි
අංශාධිපති,
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.

ප්‍රමුඛ මූලාශ්‍රය : දසබොධිසත්තුප්පත්තිකථා හෙවත් දස බෝසත් කථා පුවත (මතු බුදුවන දස බුදුවරු), © මහාචාර්ය පූජ්‍ය මැදගම්පිටියේ විජිතධම්ම හිමි, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, නැදිමාල, අජිත් ප්‍රින්ටර්ස් මුද්‍රණ බොරලැස්ගමුව, 2012.


6 comments:

  1. හරිම වටිනවා පංචන

    ReplyDelete
  2. ඉතා වැදගත්.

    ReplyDelete
  3. වටිනා තොරතුරු

    ReplyDelete
  4. mehe sadahanwana Rama Raju kiyanne Rama Buddha Novei. eka weadi adahasak. Rama raju ipadeema billi yagayakin siduvuwak. dasarath rajathumage 63 weni biridata.itin yakshayanta bili karama deela sath purushayo pahala wenne nehe. Rama kiyanne thel walata kiyana namak. mathu budhuwand shri Upuwan Vishnu devio ( Rama Buddha Kiyanne). pera sasara redi kadavali thama sharreraya otha suvanada thel walin nahava gini theyagena suvanda dumin jeewith puja kota ema mohothe thusitha bhawane ipaduna. Thel suvadin puja karamu Nisa rama Buddha yana nama yedenava. mohu pavkara Rama raju novei. karunakara danne nethi eva liayanna epa. mokada ape moda minissu meweni aya adahanna patan gani. weradi adahas ethulath nokaranna. stuthi. Theruwan saranai

    ReplyDelete
    Replies
    1. ou sampurna eththa. math eakagai lasantha kiyu deyata

      Delete
  5. ඇත්තටම දැන නොසිටි බොහෝදේ ඉගෙන ගත්තා . ගොඩාක් පිං අත්වේවි. චතුසත්තය වහා අවබෝධ වේවා .

    ReplyDelete