Jun 8, 2016

බෞද්ධ දේව සංකල්පය (පස්වැනි කොටස) - දෙවිවරු සහ දේව ලෝක



දේව යන නමින් හඳුන්වන ජීව කොට්ඨාසයක් ඇති බව බුදු සමය පිළිගන්නා බව ඉහත පරිච්ඡේදයෙන් දැක්විණ. ඔවුන් වසන ස්ථාන සහ ඔවුන් පිළිබඳ තවත් විස්තර ස්වල්පයක් දීම මේ පරිච්ඡේදයෙහි අරමුණ වේ. පළමු ව ම දෙවිවරු : 01.සම්මුති දේව 02.විසුද්ධි දේව හා 03.උප්පත්ති දේව යනුවෙන් තුන් ආකාරයකට බෙදනු ලැබේ. විභංග නම් අභිධර්ම කෘතියට අනුව (පිට 422) රජවරු, රජකුමාරවරු, දේවීන් යනාදීන් සම්මුතියෙන් දේව තත්ත්වයෙහි ලා සලකනු ලැබේ. බුදුවරු, පසේබුදුවරු සහ රහතන් වහන්සේලා වැනි විසුද්ධිය ලබාගත් උත්තමයන් විසුද්ධිය නිසා දේවත්වයෙහි ලා සලකනු ලැබේ. පූර්වයෙහි කරන ලද පින් බෙලෙන් ඕපපාතික ව දේව ගණයෙහි උපත ලබන පිරිස උප්පත්ති දෙවියන් ලෙස සලකනු ලැබේ. මේ තුන් පිරිසෙන් පළමු දෙපිරිස මිනිස්සු වෙති. අනිත් මිනිස්සුන්ට සාධාරණ නැති යස ඉසුරෙන් හා බලයෙන් යුක්ත නිසා රජවරුන් වැනි සාමාන්‍ය ජනයා ඔවුන් දේවත්වයෙහි ලා සලකති. සාමාන්‍ය මිනිසුන්ට නොමැති ගුණවත්කමින් හා ඥානයෙන් යුක්ත වන නිසා බුදුවරුන් වැනි අය විසුද්ධි දේව ගණයට අයත් වෙති. නමුත් මිනිසුන්ගෙන් වෙනස් වෙන ම ම ජීව කොට්ඨාසයක් වශයෙන් සැලකෙනුයේ උප්පත්ති දෙවියන් ය.

සත්ත්වයන්ගේ උපත සිදුවන විධි සතරක් බෞද්ධ පොත්වල සඳහන් වෙයි. (මනි 1, පිට 73; දීනි.3, පිට 230) 01.අණ්ඩජ 02.ජලාබුජ 03.සංසේදර හා 04.ඕපපාතික යනු ඒ සතර යි. මේ සිව් වැදෑරුම් ක්‍රමයන් අතුරෙන් අවසානයෙහි සඳහන් ඕපපාතික ක්‍රමයට උපත ලබන නිසා දෙවිවරුන්ට ඕපපාතික යන නම ව්‍යවහාර කරනු ලැබේ. එහි අදහස ‘ඉබේ පහළ වන යනු යි. ඕපපාතික දෙවිවරු දෙමාපිය සම්බන්ධතාවක් ආදි කිසිදු විද්‍යමාන හේතුවක් නොමැති ව ඉබේ පහළ වන පිරිසකි. මිනිසුන් වශයෙන් මිනිස් ලොව මරණය සිදුවීමත් සමඟ ම සර්වාංග සම්පූර්ණ දෙවිවරුන් වශයෙන් ඔවුන් පහළ වන බව කියනු ලැබේ. (දීනි.3, පිට 132)

පොළොවෙහි වසන දෙවිවරු සහ අහසෙහි වසන දෙවිවරු යනුවෙන් දෙවිවරු දෙකොටසකට බෙදනු ලැබේ. 01.ආකාසට්ඨා දේවා 02.භුම්මට්ඨ දේවා යනුවෙන් පොත්වල සඳහන් වෙතත් මේ දෙකොටසකට වැටෙනුයේ කුමන දෙවිවරුන් දැ යි පැහැදිලි විග්‍රහයක් පොත්වල දක්නට නොමැත. චාතුර්මහාරාජිකාදී දෙවිවරුන් භුම්මට්ඨ දෙවිවරුන් නො වන බව පැහැදිලි ය. මීට අමතර ව තවත් දෙවිවරුන් සහ දේවතාවන් ගැන බෞද්ධ පොත්වල සඳහන් වේ. ගස්, ගල්වලට අධිගෘහිත ව වසන දෙවිවරුන් ගැනත් (මනි 1, පිට 306; ජා.1, පිට 221), වන දේවතාවන් ගැනත් (ජා 2, පිට 112) බෞද්ධ පොත්වල සඳහන් වේ. මේ හැර නොයෙකුත් විමානයන්හි වසන දෙවිවරුන් ගැන පුවත් රාශියක් විමානවත්ථුවෙහි ඇතුළත් වේ. විමානවත්ථුවෙහි සඳහන් දෙවිවරුන් නිශ්චිත වශයෙන් අහසෙහි වසන දෙවිවරු ද කීම තරමක් අපහසු දෙයකි. බොහෝ සෙයින් නොයෙකුත් විමන්හි වසන දෙවිවරුන් අවකාශයෙහි වසන දෙවිවරුන් වෙතත් නැව් විමන්වල වසන දෙවිවරුන් ගැන ද එහි සඳහන් වේ. ඔවුන් අයත් විය යුත්තේ පොළොවෙහි දෙවි ගණයට ය.

01.කාමධාතුවට අයත් දෙවිවරු ය, 02.රූපධාතුවට අයත් දෙවිවරු ය, 03.අරූප ධාතුවට අයත් දෙවිවරු ය ආදි වශයෙන් ද දෙවිවරු කොටස් තුනකට බෙදෙති.

සච්ච සංයුක්තයෙහි ධම්මචක්කපවත්තන වග්ගයෙහි (සනි 5, පිට 423) දෙවියන් සහ දේව ලෝක පිළිබඳ ව සඳහන් වෙයි. මෙහි එන විස්තරයට අනුව බුදුන් විසින් දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරනු ලැබූ විට පළමු ව මේ පිළිබඳ ව ඝෝෂාව, පොළොවෙහි වසන (භුම්මා දේවා) දෙවිවරුන් කළ බවත්, පොළොවෙහි වසන දෙවිවරුන්ගේ ඝෝෂාව අසන චාතුර්මහාරාජික දෙවිවරු, ඉන්පසු ඝෝෂාව පැවැත්වූ බවත්, අනතුරු ව පිළිවෙලින් තාවතිංස, යාම, තුසිත, නිම්මාණරතී, පරනිම්මිත වසවත්ති සහ බ්‍රහ්මකායික ආදි දෙවිවරුන් එසේ ම ඝෝෂා පැවැත්වූ බවත් සඳහන් වෙයි. මේ අනුව දෙවිවරු කොටස් අටක් වෙති.


චාතුර්මහාරාජිකය

චාතුර්මහාරාජිකාදී දෙවිවරු දේවලෝකවල වසන දෙවිවරුන් ලෙස ගණන් ගනු ලැබේ. මෙම දේව ලෝකයන්ගෙන් මිනිස් ලොවට කිට්ටුවෙන් ම පිහිටා ඇත්තේ චාතුර්මහාරාජිකය යි. එම දෙව්ලොවට අධිපති දෙවිවරු සතර දෙනෙකුන් වන නිසා මෙම දෙව්ලොව ඒ නමින් හුන්වනු ලැබේ. මොව්හු සතර දෙනා ප්‍රධාන දිසා සතරට අධිපති වෙති. මහාසමය සූත්‍රයේ දැක්වෙන පරිදි (දීනි 2, පිට 257) නැගෙනහිර දිසාවට අධිපති ‘ධ්‍රැතරාෂ්ට්‍ර ය; ඔහුගේපිරිවර ගාන්ධර්වයන්ගෙන් සමන්විත වේ. දකුණු දිසාවට අධිපති ‘විරූඪක ය; ඔහුගේ පිරිවර කුම්භාණ්ඩයන්ගෙන් සමන්විත වේ. බස්නාහිරට අධිපති ‘විරූපාක්ෂ ය; ඔහුගේ පිරිස නාගයන්ගෙන් සමන්විත වේ. උතුරට අධිපති ‘වෛශ්‍රවණ ය. ඔහුගේ පිරිස යක්ෂයන්ගෙන් සමන්විත වේ.

සතරවරම් දෙවිවරුන් ලෝකපාලක දෙවිවරුන් ලෙස සලකනු ලැබේ. බුදුසමය කෙරෙහි අතිශයින් පැහැදුණු ඔව්හු බුදුහිමියන්ගේ ද, ලෝකයෙහි යහපත් ලෙස ජීවත් වන සියල්ලන්ගේ ද ආරක්ෂකයෝ ය. (මලල.) තව්තිසා දේවසභාවට ලෝකයෙහි හොඳ නරක පිළිබඳ ව වාර්තා සැපැයීම මෙම දෙවිවරුන්ගේ ප්‍රධානත ම කර්තව්‍යයකි. (දීනි 2, පිට 225) මාසයෙහි අටවක් පෝ දින සතරවරම් දෙවිවරුන්ගේ ඇමතියන් මිනිස් ලොවට පැමිණ, මිනිස්සු ගුණධර්ම රකිමින් ජීවත් වෙත් ද, නැත්නම් අධාර්මික ව ජීවත් වෙත් දැ යි සොයා බලති. ඔවුන් සාමාන්‍යෙයන් සොයා බලනුයේ මිනිසුන් කොතෙක් දුරට කරුණා මෛත්‍රිෙයන් යුක්ත ව, මව්පිය උපස්ථාන කරමින් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ගරුසරු සහිත ව, වැඩිහිටියන්ට පූජා උපහාර පවත්වමින්, උපොසථ කර්මයන් කරමින් ජීවත් වන්නේ ද යන වගයි. පසළොස්වක දිනට පෙරදින සතරවරම් දෙවියන්ගේ පුත්‍රයෝ පැමිණ මෙකී කරුණු ගැන සොයා බලති. පසළොස්වක දින සතරවරම් දෙවිවරු ම පැමිණෙති. මෙසේ පැමිණ දැනගන්නා කරුණු ඔව්හු තව්තිසාවෙහි ‘සුධම්මා නම් දේව සභාවට වාර්තා කරති. එසේ වාර්තා කළ පසු මිනිසුන් වැඩිපුර පින්කම් කරන බව පැහැදිලි වූ විට රැස් ව සිටින දෙවිවරු බහුල ව ප්‍රීතිය පළ කරති. එසේ කරනුයේ මිනිසුන් වැඩිපුර පින්කමෙහි යෙදී සිට මරණයට පත් වූ පසු ඔවුන් දෙවියන් වශයෙන් ඉපදී, දේව සමූහයා වර්ධනය වන නිසා ය. (අංනි. 1, පි. 143)

බුදුහිමියන්ගේ ජීවිතයෙහි නොයෙකුත් අවස්ථාවන්හි දී සතරවරම් දෙවිවරු නොයෙකුත් මෙහෙයන් සඳහා ඉදිරිපත් වූ හ. බුදුවීමට පෙරාතුව බෝසතුන් තුසිත දෙව්ලොව සිට මෙලොව ඉපදීමට පස්මහ බැලුම් බලන අවස්ථාවෙහි මිනිස් ලොව ඉපිද බුදුබව ලබා සත්ත්වයනට අමාමග පෙන්වා දෙන ලෙස බෝසතුන්ගෙන් අයැද සිටි පිරිස අතර සතරවරම් දෙවිවරු ද වූ හ. (ජා. 1, පිට 48) බෝසතුන් මායාදේවියගේ කුස පිළිසිඳ ගැනීමට තීරණය කළ විට මායාදේවිය යහනත් සමඟ ඔසවා ගෙන ගොස් හිමාලය අඩවියේ තබා වෙනත් දේවතාවුන්ගේ පූජෝපහාරයන් ලැබීමට සැලැස්වූයේ ද සතරවරම් දෙවිවරුන් ය. මව්කුස ඔත් බෝසත් හට කිසිදු හානියක් නො වන පිණිස නිති රැක බලා ගත්තේ ද සතරවරම් දෙවිවරුන් ම ය. බෝසතුන්ට පූජා කිරීම පිණිස සුජාතාවන් කිරිපිඬු සකස් කරන විට උදුන රැක බලා ගැනීමට ඉදිරිපත් වූයේ ද සතරවරම් දෙවිවරුන් ය. තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් බුදුහිමියන් පිදීම පිණිස මී වදයක් රැගෙන පැමිණි විට එම දානය පිළිගැනීම පිණිස බුදුහිමියන්ට ගල් පාත්‍රා සතරක් පිළිගැන්වූයේ ද සතරවරම් දෙවිවරුන් ම ය. (විනය 1, පිට 3) මේ ආදි වශයෙන් බුදුහිමියන්ගේ ජීවිතයෙහි නොයෙකුත් අවස්ථාවන්හි සතරවරම් දෙවිවරු සේවයට ඉදිරිපත් වූ හ. ඔවුන් ඉදිරිපත් වූයේ බුදුහිමියන්ගේ ආරක්ෂාවට පමණක් නො වේ. බෞද්ධ ශ්‍රාවකයන්ගේ ආරක්ෂාව පිණිස ඔවුන් ඉදිරිපත් වූ අවස්ථාවන් කීපයක් ධම්මපදට්ඨකථාවෙහි දැක්වේ. (ධම්අ. 3, පිට 5; ධම්අ. 2, පිට 143)

චාතුර්මහාරාජිකයෙහි සතරවරම් දෙවිවරුන් සහ ඔවුන්ගේ පිරිවර ජනයාට අමතර ව ජීවත්වන තවත් දෙවිවරුන් ගැන විභංග අටුවාවෙහි ද (විභංඅ. පිට 519) මහානිද්දේස අටුවාවෙහි ද (මහානිඅ. පිට 108) සඳහන් වේ. මෙම දෙවිවරු නම් වශයෙන් ‘ඛිඩ්ඩාපදොසිකා, ‘මනොපදොසිකා’, ‘සීතවලාහකා’, ‘උණ්හවලාහකා’ යන දෙවිවරු ද, ‘චන්ද්‍ර’ සහ ‘සූර්ය’ යන දෙවිවරු ද වෙති.

දෙවිවරුන් ලෙස උපත ලැබීමට හේතුවනුයේ මිනිසුන් වශයෙන් කරන ලද පින්කම් වුවත් චාතුර්මහාරාජිකයෙහි උපත ලැබීමට හේතු වනුයේ උදාර ම පින්කම් නො වේ. අංගුත්තර නිකායෙහි සත්තක නිපාතයෙහි එන සූත්‍රයකට අනුව (අංනි 4, පිට 60-1) බලාපොරොත්තු සහිත ව බැඳුණු සිතින් යුතු ව එක්රැස් කිරීමේ අදහසින් (එනම්, දන් දී පසු ව එහි ප්‍රතිඵල විඳිමි යි යන අදහසින්) දන්දීම හේතුවෙන් මිනිස්සු මරණින් මතු චාතුර්මහාරාජිකයෙහි උපත ලබා එම දුර්වල පින ගෙවී ගිය පසු ආපසු මිනිස් ලොව ම උපදිති. චාතුර්මහාරාජික දෙව්ලොව වසන අනික් අයට වඩා සතරවරම් දෙවිවරු දිව්‍යමය වූ ආයුෂය, වර්ණය, යසය, අධිපති බව, රූපය, ශබ්දය, ගන්ධය, රසය, ඵොට්ටබ්බය යන කරුණු අතින් අතිරේක තත්ත්වයක් උසුලති. ඊට හේතුව මෙම දෙව්ලොව උපත ලබා ඇති අන් දෙවියන්ට වඩා වැඩි පින්කොට ඔවුන් දෙව්ලොව උපත ලබා ඇති හෙයිනි. (අංනි 4, පිට 242)

දීඝනිකාය අටුවාවට අනුව (දීනිඅ. 2, පිට 472, 647) චාතුර්මහාරාජිකයෙහි දෙවිවරුන්ගේ ආයුෂය මිනිස් වර්ෂයෙන් අවුරුදු අනූ දහසකි. නමුත්, කථාවත්ථුවට අනුව (කථාව. පිට 207) එය අවුරුදු පන්සියයක් පමණි.
චාතුර්මහාරාජිකය වෙන ම ම දෙව් ලොවක් වුව ද, තව්තිසාවෙහි ශක්‍රදේවේන්ද්‍රයාගේ ආධිපත්‍යයට යටත් ව පවතින එකක් වශයෙන් පෙනේ. තව්තිසාවෙහි දෙවිවරුන්ගේ සභාවෙහි මොවුනුත් රැස්වන අතර, එහි දී සතරවරම් දෙවිවරුන්ට නියමිත වැඩ කොටසක් ඇති බව ඉහතින් දැක්වුණි.

තව්තිසා දෙව්ලොව

චාතුර්මහාරාජිකයට ඉහළින් ඇති දෙව්ලොව තව්තිසා දෙව්ලොව ය. බෞද්ධයන් අතර ඉතා ම ජනප්‍රිය දෙව්ලොව ද මේ දෙව්ලොව යි. බෞද්ධ සාහිත්‍යයෙහි වැඩිපුර ම විස්තර සඳහන් වන්නේ තව්තිසා දෙව්ලොව ගැන යි. තව්තිසා යන්නෙහි අරුත තිස්තුන යනු යි. තිස්තුන් දෙනාගේ දෙව්ලොව යන්න යි. තාවතිංස දෙව්ලොව තිස්තුන් දෙනාගේ දෙව්ලොව වූ අයුරු පාලි සාහිත්‍යයෙහි කීප පොළක විස්තර වේ. ශක්‍රදේව පදවිය සදාකාලික ව ම උසුලන එක් අයෙක් නැත. දීර්ඝායුෂයක් භුක්ති විඳීමේ භාග්‍යය මේ දෙව්ලොව උපන් අයට ඇතත්, එම ආයුෂය ක්ෂය වීමෙන් හෝ ඊට පෙර පින් ගෙවී යාමෙන් එම පදවියට පත් වූ අය එම පදවියෙන් චුත වී යති. සක්දෙවි පදවියට පත්වන අයගේ පුණ්‍යානුභාවයට අනුව ශක්‍රපුරයෙහි විසිතුරු මැවේ. ශක්‍රදේව පදවිය උසුලන තැනැත්තාගේ පින් බලය අනුව ය දැනට එහි ඇති බොහෝ දේ නිර්මාණය වී ඇත්තේ. එම තැනැත්තා එම තත්ත්වයට පත්වීමට පූර්වයෙහි දී කරන ලද පින්කම් පිළිබඳ විස්තර ධම්මපදට්ඨකථාවෙහිත් (ධම්අ. 1, පිට 263) ජාතක පොතෙහිත් (ජා. 1, පිට 198-206) සඳහන් වේ. එම විස්තරය මෙසේ ය. පෙර මගධ රට මචල නම් ගම ‘මඝනම් මානවකයෙක් එම ගම වැඩ කරන තැනට ගොස් තමා හුන් පෙදෙස පාදයෙන් පස් තුනීකර සකසා ගෙන සිටියේ ය. තව එකෙක් එතැනට පැමිණ ඔහු එතැනින් ඇද දමා එම තැන අත්පත් කර ගති. මඝ මානවකයා තවත් තැනක් එලෙස ම ශුද්ධ පවිත්‍ර කොට ඉන්නා විට තවත් එකෙක් පෙර පරිදි ම ඔහුගේ තැන අත්පත් කර ගති. මඝ මානවකයා ඔහු කෙරෙහිත් කිසිදු කෝපයක් නොමැති ව වෙනත් තැනක් ශුද්ධ පවිත්‍ර කරගති. එතැනට ද වෙන එකෙක් බලයෙන් ම වැදුනි. මඝ මානවක තෙමේ මෙසේ බොහෝ තැන් ශුද්ධ පවිත්‍ර කළ අතර එම තැන් සියල්ල වෙනත් අය අත්පත් කරගත්හ. එම තැන් අත්පත් කරගත් අය සතුටින් එම තැන්හි වසන අයුරු දුටු මඝ මානවකයා තමාගේ ව්‍යායාමය නිසා වෙනත් අයට ප්‍රීතියක් ඇතිවන අයුරු වටහා ගෙන තව තවත් උද්යෝගයෙන් නොයෙක් තැන් ශුද්ධ පවිත්‍ර කොට වෙනත් අයට අත්පත් කර දුනි. පසු ව ඔහු තව තවත් අන් අයගේ සුව පහසුව පිණිස ශ්‍රමදානයෙහි යෙදීමට අදිටන් කරගෙන මංමාවත් ශුද්ධ කිරීමට පටන් ගත්තේ ය. මෙසේ ඔහු පරෝපකාරී ලෙස කටයුතු කරනු දුටු තව එකෙක් ඔහු කුමක් සඳහා එසේ කරන්නේ දැ යි ඇසූ විට ස්වර්ගයට යනු පිණිස එලෙස හැසිරෙන බව ඔහු කී ය. මේ ඇසූ අනිකා ද මඝ මානවකයාගේ සහායට ඉදිරිපත් විය. මේ අයුරින් මඝ මානවකයාගේ සහායට තිස් දෙනෙකු ඉදිරිපත් වූ හ. තිස් තුන් දෙනා ම එකතු ව මාර්ග සකස් කරමින් යොදුන් දුර ගණන් ගියහ. මේ දකින ගම් දෙටුවා මෙම ක්‍රියාව නිසා තමාගේ ලාභය පිරිහෙනු දැක ඔවුන් එම සමාජ සේවයෙන් වැළැක්වීමට නොයෙකුත් දේ කළේ ය. එසේ නොයෙක් දේ කර කිසිදු අයුරකින් ඒ තිස්තුන්දෙනාගේ ව්‍යාපාරය නතර කළ නො හැකි ව රජු කරා ගොස් “ස්වාමීනි, හොරුන් තිස් තුන් දෙනෙක් මං පැහැරීම් ආදියෙන් ජනයාට හිරිහැර කරති” යි කියා, රජු පොළඹවාගෙන මඝ මානවකයා ප්‍රමුඛ පිරිස අල්වා රජුට ඉදිරිපත් කළේ ය. ග්‍රාමභෝජකයාගේ කියමන පිළිගත් රජු කිසිවක් නො විමසා ම ඇතා ලවා පාගවා ඔවුන් මරණයට පත් කරන ලෙස අණ කළේ ය. මෙවිට මඝ මානවකයා තම සඟයන්ට මෙසේ අවවාද කළේ ය. “මිත්‍රවරුනි, කිසිවෙකුට වෛර නො කරන්න. අප පෑගීමට එන ඇතාටත්, රජුටත්, ග්‍රාමභෝජකයාටත් එක හා සමාන ව මෛත්‍රී කරන්න.” ඇතා මඝ මානවකයා සහිත පිරිස පාගා මැරීමට එවන ලද මුත් ඔවුන්ගේ මෙත් බෙලෙන් ඔවුන් අහලකටවත් එනු නො හැකි ව හඬ නඟමින් ඉවතට දුව ගියේ ය. මේ ඇසූ රජ පිරිස වැඩි නිසා බියෙන් ඇතා ඉවත දිව ගියේ යයි සිතා ඔවුන් නොයෙක් දෙයින් වසා පාගා දැමීමට අණ කළේ ය. ඒ අයුරින් ද ඇතු ලවා ඔවුන් පාගා දැම්මවීම කළ නො හැකි වූයේ ය. මෙහි යම්කිසි රහසක් ඇතැ යි සිතූ රජු ඔවුන් කරා එළැඹ ඔවුන්ගෙන් තොරතුරු අසා විමසා ඇති තතු දැනගෙන පැහැදී ග්‍රාමභෝජකයා සහිත ඔහුගේ ඥාතීන් මඝ මානවකයාට දාසයන් වශයෙන් පාවා දී, එම ඇතා ද මුළු ගම්වරය ද තෑගි කොට දී ඔවුන්ගේ සද්ව්‍යාපාරය දිගට ම කරගෙන යන ලෙස ද ඉල්වා සියල්ලන් ම නිදහස් කර හැරියේ ය. ඔවුහු ද කළ පිනෙහි ඵල මෙලොව දී ම දුටිමු යි සතුටු ව ඇතා පිට මාරුවෙන් මාරුව යමින් තවතවත් පින්කම් කරන්නට අදිටන් කළහ. ඔවුහු ඊළඟ වැඩය වශයෙන් සතරමං සන්ධියක මහජන විශ්‍රාම ශාලාවක් තැනීම ඇරඹූහ වඩුවෙකු ද කැඳවා ගෙන ඔව්හු එම ශාලාව කළහ. මඝ මානවකයාගේ ගෙහි ‘නන්දා’, ‘චිත්තා’, ‘සුධම්මා’, ‘සුජාතා’ නම් භාර්යාවෝ සතර දෙනෙක් වූ හ. මොවුන්ගෙන් සුජාතා වඩුවාට තුටු පඬුරක් දී තමාගේ නමින් විශ්‍රාම ශාලාවෙහි මුදුනෙහි කොතක් පිහිටු වූවා ය. එම ශාලාව ‘සුධම්මා ශාලාව’ යයි ද එම කොතෙහි අක්ෂර පිහිටෙව්වා ය. ශාලාවෙහි ලැගුම් ගත් සියල්ලන්ට ම ආහාර පානාදියෙන් සංග්‍රහ කිරීම ද ඔව්හු ම කළහ. මඝ මානවකයා ශාලාවට නුදුරු ව කෝවිලාර ගසක් රෝපණය කොට එය යට ගල් තලාවක් සකස් කළේ ය. ශාලාවට යන එන අයගේ පැන් පහසුව පිණිස නන්දා නම් බිරිය ශාලාව අසල වැවක් තැනවූවා ය. ශාලාවට යන එන අය නාගෙන යන අතර පැළඳ ගෙන යාමට මල් ආදිය අවශ්‍යය යයි සිතූ චිත්තා නම් බිරිය වැව අසල මල් උයනක් ඇති කළා ය. මඝ මානවක තෙම මෙසේ සමාජ සේවායෙහි නිරත වෙමින් ම මව්පිය උවටැන, වැඩිමහලු අයට ගරු සත්කාර කිරීම, සත්‍යවාදීකම, ප්‍රිය වචන කථා කිරීම, අර්ථ සහිත දේ කීම, මසුරු බව නැතිකම, මෛත්‍රීය වැඩීම යන ගුණදම් පුරමින් ම ජීවත් විය. එසේ සිට මිය ගොස් තව්තිසා භවනෙහි ‘සක්දෙවි’ ව උපන්නේ ය. ඔහුගේ සහායකයෝ ද එලෙස ම තව්තිසාවෙහි උපන්හ. වඩුවා ‘විශ්වකර්ම’ දිව්‍යපුත්‍ර ව ඉපදුණේ ය. මඝ මානවකයා මිය ගොස් ශක්‍ර භවනයෙහි උපදින විට එහි විසූවෝ අසුරයෝ ය. අලුතින් දේව පුත්‍රයන් ඉපදුණ ප්‍රීතිය සඳහා අසුරයෝ ප්‍රීති උත්සවයක් සූදානම් කළහ. අසුරයන් සමඟ එක් ව තව්තිසා භවනය පාලනය කිරීමට නො කැමති වූ සක්‍රයා මෙම අවස්ථාව අසුරයන් පිටු දැකීමට සුදුසු එකක් යයි සිතා, සම සඟයන්ට උත්සවයේ දී මත්පැන් නො ගන්නා ලෙසට කලින් ම උපදෙස් දුන්නේ ය. අසුරයන් මත්පැන් බී හොඳට ම මත් වූ බව දුටු සක්‍රයා ඔවුන් පාදවලින් ගෙන තව්තිසා භවනයේ ‘සිනෙරු’ කඳු පාමුලට හෙළීය. දේව අසුර සංග්‍රාමයේ දී අසුරයන් පරාජය වූ විට තව්තිසා දේව පුරය මැවුනි. එහි එක් කෙළවරක සිට අනික් කෙළවරට දිග යොදුන් දස දහසෙකි. නගරයට පිවිසෙන දොරටු දහසක් විය. මල් උයන්, පොකුණු යනාදියෙන් ඉතා අලංකාරවත් විය. පෙර ශාලාවක් කළ පිනෙන් නගරය මැද අත්‍යලංකාර ‘වෛජයන්ත’ නම් ශාලාව ඇතිවිය. පෙර කෝවිලාර ගසක් රෝපණය කළ පිනෙන් ‘පරසතු වෘක්ෂය’ ඇතිවිය. පෙර කෝවිලාර ගස මුල ගල් තලාවක් පිහිට වූ පිනෙන් පරසතු වෘක්ෂ මූලයෙහි ‘පඬුපුල් අසුන’ ඇති විය. පෙර ඇතා ‘ඓරාවණ’ දේව පුත්‍රයා ව උපන්නේ ය. දිව්‍යලෝකයෙහි තිරිසනුන් ඇති නො වෙතත් මෙකී ඓරාවණ දේවපුත්‍රයා නිතර කුම්භයන් තිස් තුනක් සහිත ඇතෙකුගේ වෙසින් පෙනී සිටියි. මඝ මානවකයාගේ ගෙයි වූ සුධම්මා කළුරිය කොට තව්තිසාවෙහි ම උපන්නා ය. පෙර ශාලාවෙහි කොතක් පිහිට වූ පිනින් ඇය දෙව්ලොව උපන් පසු ‘සුධම්මා’ නම් දේව සභා ශාලාව එහි පහළ විය. නන්දා ද කළුරිය කොට තව්තිසාවෙහි ම උපන්නා ය. ඇය තව්තිසාවෙහි උපන් පසු ‘නන්දා’ නම් අලංකාර පොකුණ එහි ඇති විය. චිත්‍රාව ද මිය ගොස් තව්තිසාවෙහි ම උපන්නා ය. ඇය උපන් පසු ‘චිත්තලතා වනය’ එහි ඇති විය.

නැවත අසුරයන්ගෙන් තර්ජනයක් නො වන පිණිස අවස්ථා පහකින් යුත් ආරක්ෂා සංවිධානයක් තව්තිසාවට සක්‍ර දෙවියා විසින් තබන ලදි. පළමුවැනි අවස්ථාවේ දී නාගයන් ද, දෙවැනි අවස්ථාවෙහි දී සුපර්ණයන් ද, තුන්වැනි අවස්ථාවෙහි කුම්භාණ්ඩයන් ද, සතරවැනි අවස්ථාවෙහි යක්ෂයන් ද, පස්වැනි අවස්ථාවෙහි සතරවරම් දෙවිවරු ද, ආරක්ෂා සංවිධානයට ඇතුළත් කරන ලදි. මේ නිසා සක්‍ර පුරයට අසුරයන්ගෙන් එතරම් ම තර්ජනයක් නොමැත. (ජා. 1, පිට 204) මේ සියල්ලන් ම ජයගෙන අසුරයන් සක්‍රභවනයට ඒමට උත්සාහ ගත්තත් එය ද කළ නො හැකි වන පරිදි තව්තිසා නගරයට පිවිසෙන දොරටු අසල වජ්‍රයක් අතේ ඇති ව ඉන්ද්‍ර (සක්‍ර) ප්‍රතිමා පිහිටුවා ඇත. මේ දකින අසුරයෝ සෑම දොරටුවක් ම සක්‍රයා පාලනය කරතැ යි බියෙන් පලා යෙති. (ධම්අ. 1, පිට 280)

තව්තිසාවෙහි ඇති අනිත් විසිතුරු දේ අතර ‘කෝවිලාර’ මලත්, ‘ආසවතී’ නම් වැලත් වැදගත් ය. බොහෝ කලකින් මල් හට ගන්නා කෝවිලාර ගස මලින් පිරී ගිය විට එහි සුවඳත් ආලෝකයත් බොහෝ දුර විහිදී යයි. මේ දෙවියන්ට ඉතා ම ප්‍රීතිමත් අවස්ථාවෙකි. එබඳු ම වර්ණයෙන් හා සුවඳින් යුත් පුෂ්පයෙකි ‘කක්කරු’ නම් මල. (ජා.3, පිට 88) චිත්තලතාවනයෙහි වැවී ඇති ආසවතී නම් වැලෙහි ද අවුරුදු දහසකට වරක් මල් පිපේ. (ජා.3, පිට 251) මෙය ද තව්තිසා දෙවියන්ට උත්සව සමයෙකි.

මඝ මානවකයා ප්‍රමුඛ මානවකයන් තිස් තුන් දෙනාගෙන් තව්තිසාව ඇරඹුණත් එහි දෙවියන්ගේ ප්‍රමාණයෙහි සීමාවක් නැත. මඝ මානවක කථාවට අනුව ම මේ තිස් තුන් දෙනාට අමතර ව මඝ මානවකයාගේ පෙර භාර්යාවෝ ද, රජු විසින් ඔවුන් පාගා මැරීමට යෙද වූ හස්තියා ද, මඝ මානවකයාගේ වැඩවලට උපකාරී වූ වඩුවා ද දේවපුත්‍රයන් ලෙස තව්තිසාවෙහි උපන්හ. මිනිස් ලොව යහපත් ලෙස ජීවත් වන අය මරණින් මතු තව්තිසාවෙහි ම උපදිති. එසේ කෙනෙකු උපදින විට ඔහු සඳහා වෙන ම ම මැදුරක් එහි මැවෙයි. (ධම්අ. 3, පිට 290-3) තව්තිසා දෙවිවරු සෑම මසක ම පසළොස්වක දා සුධම්මා නම් දේව සභා ශාලාවෙහි රැස්වෙති. එසේ රැස් වී මිනිස් ලොව ජනයාගේ හැසිරීම් පිළිබඳ ව සාකච්ඡා කරති. මිනිස් ලොව වාර්තා සපයන්ගේ සතරවරම් දෙවිවරු ය. එම වාර්තාවන්ට අනුව මිනිසුන් පින්දහම් කරමින් යහපත් ජීවිත ගත කරන බව හෙළි වුවහොත් දෙවිවරු මහත් ලෙස ප්‍රීති වෙති. එසේ ප්‍රීතිවීමට එක් හේතුවක් ඒ මිනිසුන් මැරුණ විට දේවලෝකයෙහි දෙවියන්ගේ ගණන වැඩිවන හෙයිනි. අසුරයන් ගැන නිතර බියෙන් පසු වන තව්තිසා දෙවිවරු තමන්ගේ ගණන වැඩිවන තරමට සතුටු වෙති. මිනිසුන් පව්කම් කොට මරණින් මතු අසුරයන් වී ඉපදීම සිදුවිය හැකි නිසා මිනිසුන් පව් කිරීම ගැන තව්තිසා දෙවිවරු කැමති නො වෙති.

තව්තිසා දෙවිවරු දෙවිවරුන් අතර ඉතාමත් රූපසම්පන්න අය ලෙස ගණන් ගැනේ. පැරණි දඹදිව ඉතාමත් ම සොභාසම්පන්න පිරිස ලෙස සැලකුණ ලිච්ඡවීන්ට මොවුන් සම කෙරේ. (ධම්අ. පිට 280) තව්තිසා දෙවිවරුන්ගේ ආයුෂය වර්ෂ තිස් ලක්ෂයෙකි.

බුදු සමයත් තව්තිසාවත් අතර සම්බන්ධතාව ඉතා කිට්ටු ය. තව්තිසාවෙහි දෙවිවරු බුදු දහම කෙරෙහි අති ප්‍රසන්න වූ හ. නේරංජා නදී තීරයෙහි දී බෝසතුන් තම හිසකේ සිඳ අහසට දැමූ විට සක්දෙවිඳු එම කේශධාතූන් රැගෙන ගොස් ඒවා නිධන් කොට තැනූ ‘සිළුමිණ සෑය’ ද තව්තිසාවෙහි ම ඇත. (ජා. 1, පිට 65) බුදුහිමියන් විසින් පළමු වරට අභිධර්මය දේශනා කරන ලද්දේ තව්තිසාවෙහි දී බව අත්ථසාලිනියෙහි හැඳින්වීමේ පරිච්ඡේදයෙහිත් ධම්මපද අටුවාවෙහිත් (3, පිට 26) සඳහන් වෙයි. බුද්ධත්වයෙන් සත්වෙනි වස තුන් මසක් තව්තිසාවෙහි වසමින් මාතෘ දිව්‍යපුත්‍රයා ද ඇතුළත් තව්තිසාවෙහි රැස් වූ අපරිමිත දේව සමූහයාට සක්දෙව් රජුගේ අසුනෙහි හිඳගෙන බුදුන් අභිධර්මය දේශනා කළ බව ඉහත සඳහන් කෘතීන්හි පැවසේ. අභිධර්ම දේශනාවසානයේ දී අසූ කෙළක් දෙවිවරුන්ට ධර්ම චක්ෂුසය පහළ වූ බවත් පැවසේ. නිතර තව්තිසා දෙව්ලොවට ආගිය කෙනෙකි, මොග්ගල්ලාන හිමි. ඉර්ධි බලයෙන් අපායවලටත්, දේවලෝකවලටත් නිතර ගොස් එම තැන්වල උපන් අයගේ පෙර පව්පින් පිළිබඳ විස්තර දැන ගෙන අවුත් මිනිසුන්ට කියා දීම එම හිමියන්ගේ සිරිතක් විය. (විමානවත්ථු අටුවාව) තව්තිසාවෙහි ඉපදීම පින් කරන අයට මරණින් මතු සිදුවන දෙයක් වුවත් ජීවත් ව සිටිනා අතර ම සක්දෙව්ලොවට ගොසින් ආ කීපදෙනෙකුන් ගැන කථා පුවත් රැසක් වෙයි. බුදුහිමියන්ගේ සුළු පියාගේ පුත් නන්දයනුත් ඉන් කෙනෙකි. ජනපද කල්‍යාණි නන්දාවන් කෙරෙහි බැඳුණු සිතින් මහණදම් පිරීමට උකටලී වූ නන්දයන් ලවා මහණදම් පිරවීමට බුදුහිමියන් නන්දයන් තව්තිසාවට කැඳවා ගෙන ගොස් එහි සිටි කුක්කුටපාදිනියන් වූ අප්සරාවන් පෙන්වා ඔවුන් ලබා දීමේ පොරොන්දුවෙන් නන්දයන් ලවා මහණදම් පිරවූ බව ජාතක පොතෙහි සඳහන් වෙයි. (2, පිට 92) ඉතාමත් ම ගුණයහපත් රජෙකු වූ නිමි රජතුමන් දකින්නට තව්තිසා දෙවිවරු කැමැත්ත දැක්වූ විට මාතලී නම් දිව්‍ය රථාචාරියා යවා නිමි රජුන් තව්තිසාවට කැඳවා ගත් අයුරුත්, තව්තිසාවෙහි සුධම්මා සභාවේ දී දෙවියන්ට බණ දේශනා කළ සැටිත් නිමි ජාතකයෙහි සඳහන් වේ. (ජා. 6, පිට 95-129) ගුත්තිල ඇදුරත් (ජා. 2, පිට 248) සීලවතී බිසවත් (ජා. 5, පිට 280) එසේ ගිය තවත් දෙදෙනෙකි. ආදි කල්පික ගුණයහපත් රජකෙනෙකු වූ මන්ධාතු රජ තව්තිසාවට කැඳවා ගත් දෙවිවරු තව්තිසාවෙහි රජකමින් අඩක් ඔහුට පවරා දුන් බවත්, ඔහු ශක්‍ර දෙවියන් තිස්හය දෙනෙකුගේ කාල සීමාව තුළ රජකම බෙදාගෙන එහි විසූ බවත් මන්ධාතු ජාතකයෙහි සඳහන් වේ.

තව්තිසාවෙහි අධිපත් ‘සක් දෙවිඳු’ ය. ‘මඝ’ නම් මානවක ව සිට කළ පිනින් ඔහු සක්දෙව් පදවියට පත් වූ අයුරු ඉහතින් දැක්විණ. සක්දෙවිඳුට නම් කීපයක් ම ඇත. ‘මඝවා’, ‘පුරින්දද’, ‘සක්ක’, ‘වාසව’, ‘සහස්සක්ඛ’, ‘සුජම්පති’, ‘ඉන්ද’, ‘වජිරපානියක්ඛ’ යනු එම නම් ය. මෙම නම් විග්‍රහ කරන ධම්මපද අටුවාව (ජා. 1, පිට 264) ඒ නම් ගැන මෙසේ කියයි. පෙර ජාතියෙහි දී මඝ නම් මානවකයෙකු ව සිටි නිසා ඔහුට ‘මඝවා’ යයි කියති; නගරයෙන් නගරයට යමින් පූර්වයෙහි දී දන් දුන් නිසා ඔහුට ‘පුරින්දද’ යයි කියති; පෙර මනා සේ දන් දුන් නිසා ඔහුට ‘සක්ක’ යයි කියති; පෙර ආවාස දුන් නිසා ඔහුට ‘වාසව’ යයි කියති; එක්වර දහසක් දේ දකින්ට දක්ෂ නිසා ඔහුට ‘සහස්සක්ඛ’ යයි කියති; ඔහුට ‘සුජා’ නම් අසුරකන්‍යාවක් බිරිඳ වශයෙන් වූ නිසා ‘සුජම්පතී’ යයි කියති; දෙවියන්ට ඉසුරු බැවින් දේවානම් ‘ඉන්ද’ යයි කියති. ඔහුට ‘වජිරපානියක්ඛ’ යන නම ව්‍යවහාර කරනුයේ අම්බට්ඨ සූත්‍රයෙහි සහ මහාසච්චක සූත්‍රයෙහි ය. ‘වජ්‍රයක් අතින් ගත් යක්ෂයා’ යනු එහි අරුත යි. පාලි සාහිත්‍යයේ සමහර තැනක මහේශාඛ්‍ය දෙවිවරුනට යක්ෂ යන නම ව්‍යවහාර වේ. සක්දෙවිඳු සියලු දෙවියන්ට අධිපති යයි සාමාන්‍ය මතයක් ඇත. දේවානම් ඉන්දො යනුවෙන් ඔහු හඳුන්වන්නේ එ’නිසා ය. තව්තිසාවට පහළින් ඇති චාතුම්මහාරාජිකය සක්දෙවිඳුගේ අණසකට යටත් දෙව්ලොවකි. ශක්‍ර පුරයෙහි ආරක්ෂාවට එම දෙව්ලොව වැසියන් යොදවා ඇත. තව්තිසාවට ඉහළින් දෙව්ලෝ කීපයක් ඇතත්, ශක්‍ර දෙවිඳුට තරම් බලතල ඇති දෙවියන් ඒ දෙව්ලොව සම්බන්ධයෙන් සඳහන් නො වේ. සියලු ම දෙව්ලෝවල දෙවිවරු රැස්වීම් පවත්වනුයේ සක්දෙවිඳුගේ නායකත්වයෙන් තව්තිසාවෙහි ය. මේ අනුව දෙවියන් පිළිබඳ කුදු මහත් කටයුතුවල අධිපතිභාවය සක්දෙවිඳු දරන බව පෙනේ.

මිනිස් ලොව කටයුතු සම්බන්ධයෙන් සක්දෙවිඳු විශාල උනන්දුවක් දක්වයි. ලෝකයෙහි ධර්මිෂ්ටකම රජ කරවා අධර්මිෂ්ටකම පලවා හැරීම තමාගේ යුතුකම යයි ඔහු සලකන බව පෙනේ. මේ අනුව ගුණ ධර්ම රකිමින් ධාර්මික ජීවිත ගෙවන අයගේ ආරක්ෂාව සැලසීමත්, එබඳු අයට කරදර හිරිහැර කරන්නවුන් මර්දනය කිරීමත් ඔහුගේ වගකීම් භාරයෙන් කොටසකි. මිනිසුන් අතර ගුණයහපත්කම් අතින් අග්‍රගණ්‍ය වූ බුදුහිමියන් සමඟ ඉතා කිට්ටුවෙන් ආශ්‍රය කරමින් උන්වහන්සේට නොයෙක් අයුරින් සංග්‍රහ කිරීමෙන් ද උන්වහන්සේගෙන් දතයුතු නොයෙක් දේ ගැන ප්‍රශ්න විචාරා තම දැනුම වර්ධනය කර ගැනීමෙන් ද සක්දෙවිඳු ප්‍රමෝදයට පත් වූ අයුරු දීඝ නිකායෙහි සක්කපඤ්හ සූත්‍රයෙන් ද (දීනි. 2, පිට 263) සංයුක්ත නිකායෙහි සක්ක සංයුක්තයෙන් ද (සංනි. 1, පිට 216) පැහැදිලි වේ. බුදුහිමියන් අසන පැනයට පිළිතුරු නො දී මගහරිමින් බුදුහිමියන් වෙහෙසට පත් කළ අම්බට්ඨ මානවකයාටත්, සච්චකයාටත් වජ්‍රය ඔසවා භය වද්දා ප්‍රශ්නයට උත්තර දීමට සැලැස්වූ අයුරු අම්බට්ඨ සූත්‍රයෙන් ද (දීනි. 1, පිට 95) මහාසච්චක සූත්‍රයෙන් ද (මනි. 1, පිට 213) පැහැදිලි වේ.

බුදුහිමියන්ගේ ජීවිතයෙහි නොයෙකුත් වැදගත් අවස්ථාවන්හි සක්දෙවිඳු ද පෙනී සිටියේ ය. බුද්ධත්වයට පත්වීමට පෙර කේසධාතූන් කපා අහසට දැමූ විට සාධුකාර පවත්වා එම ධාතූන් රැගෙන ගොස් තව්තිසාවෙහි නිධන් කළේ ඔහු ය. (ජා. 1, පිට 65) බෝධිවෘක්ෂය අබියස බුද්ධත්වයට පත්වීමට බෝධිසත්ත්වයන් අදිටන් කරගෙන සිටිනා විට මාරයා එය වැළැක්වීමට ඉදිරිපත් විය. බෝධිසත්ත්වයන් හා මාරයා අතර සටන දැකීමට සියලු සක්වල දෙවියෝ රැස් වූ හ. සක්දෙවිඳු ද තමාගේ හක්ගෙඩිය රැගෙන සිදුවන්නේ කුමක් දැ යි බලා සිට මාරයාගේ බිහිසුණු බව ඉවසනු බැරි ව පලාගිය බව ජාතක පොතෙහි සඳහන් වේ. (ජා. 1, පිට 72) බුද්ධත්වයට පත්වී බිම්බිසාර රජුගේ ගෙහි දී දන් වැළඳීම පිණිස බුදුහිමියන් රජගහනුවර බලා යාමට පිටත් වූ කල්හි සක්දෙවිඳු කුමාර වේශයක් මවා ගෙන බුදුන්ගේ ගුණ ගයමින් ඉදිරියෙන් ගමන් ගති. (විනය. 1, පිට 38) බුදුන් තව්තිසාවට ගොස් අභිධර්මය දේශනා කොට ආපසු මිනිස් ලොවට බසිනා විට ඒ සඳහා හිනිමං තුනක් ඔහු සකස් කොට දුනි. (ධම්අ. 3, පිට 225) බුදුන් විශාලා මහනුවරට ගොස් එහි රෝග බිය මැඩීමට ඉදිරිපත් වූ විට, එහි වූ යක්ෂ ප්‍රේතාදීන් පළවා හැර, බුදුන්ගේ කාර්යය පහසු කරවූයේ ද සක්දෙවිඳු ය. (ධම්අ. 3, පිට 441) මේ අයුරින් බුදුහිමියන්ට නොයෙක් ආකාරයෙන් ඔහු සේවය කළේ ය.

ඔහු සේවය පිණිස ඉදිරිපත් වූයේ බුදුහිමියන්ට පමණක් ම නො වේ. සැරියුත් හිමි, මහාකස්සප හිමි වැනි ශ්‍රාවකයන්ටත් ඉතා ම ශ්‍රද්ධාවෙන් යුක්ත ව ඔහු උවටැන් කළ අයුරු ධම්මපදට්ඨකථාවෙහි සඳහන් වේ. (1, පිට 424; 4, පිට 262) ධාර්මික දිවිපෙවතක් ගත කරන දුගියන්ට ධාර්මික ව පින් රැස් කර ගැනීමට ඔහු උපකාරී විය. ධම්මපදට්ඨකථාවෙහි (2, පිට 135) දැක්වෙන පණ්ඩිත සාමණේර වස්තුව ඊට නිදසුනකි. බුදුහිමියන්ට දානයක් දීමට වරයක් ලබා ගත් අන්ත දුගී මිනිසෙකුට ඔහුගේ සිත් පරිදි බුදුහිමියන්ට දානය දීමට අවශ්‍යය කළමනා සියල්ල සක්දෙවිඳු සපයා දුන්නේ ය.

කරදරයට පත් ධාර්මික ජනයාගේ කන්නලව්වට සාවධාන ව ඇහුම්කන් දී ඔවුනට එම කරදරවලින් ගොඩ ඒමට ඔහු උපකාර කරයි. දරුවන් නැති දුකින් කනස්සල්ලට පත් වූ සීලවතී නම් ධාර්මික බිසවට දරුවන් දෙදෙනෙකු ලැබීමේ වරය ඔහු සලසා දුන්නේ ය. (ජා. 6, පිට 340) මූසිල නම් තම ගෝලයා සමඟ වීණා වාදනය කොට ජය ගැනීම නො කළ හැකි යයි මන්දෝත්සාහී ව වල් වැදී සිත් පීඩාවෙන් පසු වූ ගුත්තිල නම් ධාර්මික ගුරුවරයාට මූසිල සමඟ තරඟ කොට ජය ගැනීමට පහසුවන පරිදි සියලු දේ සංවිධානය කළේ ද සක්දෙවිඳුන් ය. (ජා. 2, පිට 248) යම්කිසි ධාර්මික තැනැත්තෙකු කරදරයට පත් වී සිත් පීඩාවෙන් පෙළෙන විට සක්දෙවිඳුගේ ශෛලාසනය උණුසුම් බවට පත්වන බවත්, එම සංඥාවෙන් ඔහු ලොව දෙස බලා උපකාර අවශ්‍යය අයට උපකාරය පිණිස වහා ඉදිරිපත් වන බවත්, ඉහත සඳහන් කථා පුවත්වල සඳහන් වෙයි.

ගුණධර්ම පුරමින් ජීවත්වන අයගේ ගුණධර්ම පරීක්ෂා කරනු පිණිස ඔහු මිනිස් ලොවට වෙස්වලාගෙන පැමිණේ. බොහෝ විට ඔහු එන්නේ මහලු බමුණෙකුගේ විලාසයෙනි. සස ජාතකයෙහි පෙනෙන අයුරු බෝධිසත්ත්ව ගුණ දහම් පුරන හාවාගේ ගුණය පරීක්ෂා කරනු පිණිස ඔහු පැමිණියේ බඩසයින් පීඩිත මහලු බමුණෙකුගේ විලාසයෙනි. (ජා. 3, පිට 51-6) වෙස්සන්තර ජාතකයෙහි ද, වෙස්සන්තර රජුගේ දාන පාරමිතාව පරීක්ෂා කරනු පිණිස මද්‍රී දේවිය ඉල්වා ගෙන මහලු බමුණෙකුගේ විලාසයෙන් පැමිණියේ ද සක්දෙවිඳු ය. සක්කපඤ්හ සූත්‍රයෙහි දැක්වෙන පරිදි ඉතා උනන්දුවෙන් බුදුහිමියන් හමුවීමට ශක්‍රයා පඤ්චසික ලවා අවස්ථාවක් සලස්වා ගැනීමට තුඩුදුන් හේතුව සුමංගල විලාසිනී නම් දීඝනිකාය අටුවාවෙහි (දීනිඅ. 3,  පිට 698) මෙසේ සඳහන් වේ. සක්දෙවිඳු වශයෙන් තමාගේ ආයුෂය කෙළවර වීගෙන යන බවට සක්දෙවිඳු පස් නිමිත්තක් දැක්කේ ය. මේ පස් නිමිති දුටු හෙතෙම සක්දෙවිඳු වශයෙන් තමා භුක්ති විඳි සියලු සම්පත් අත්හැර දැමීමට සිදුවීම ගන ඉතා කනස්සල්ලට පත් විය. එසේ කනස්සල්ලට පත් ව තමාගේ සක්දෙවිඳු පදවිය තවදුරටත් තමාට ම අත්පත් කර දීමට සමත් ශ්‍රමණ බ්‍රාහ්මණයෙකු ඇති දැ යි ලොව බැලූ ඔහුට බුදුහිමියන් ඒ සඳහා සමත් බව පෙනුයේ ය. ඉතා උද්යෝගයෙන් බුදුහිමියන් දැකිමට ඔහු මඟ සලස්වා ගත්තේ එහෙයිනි.

බුදුහිමියන් හමු වී දහම් ඇසූ සක්‍රයා සෝතාපත්ති ඵලයට පත් වී බුදුහිමියන් අබියස දී ම චුත වී ඊළඟ මොහොතේ දී ම අළුත් තරුණ සක්‍ර ආත්මභාවයකට පත්විය. (දීනිඅ. 3, පිට 732) සක්දෙවිඳුගේ අනාගතය පිළිබඳ ව අදහස් දක්වන දීඝනිකාය අටුවාව (3, පිට 740) අභිනවයෙන් තරුණ ආත්මභාවයකට පත් සක් දෙවිඳු එම ආයුෂය අවසානයේ දී අනාගාමී ඵලයට පත් ව අකනිට්ඨ දේවලෝකය කරා ම ඉහළ යන බවත්, අවිහ ආදි දේවලෝකවල ඉපදෙමින් අවසානයේ දී අකනිට්ඨ දේවලෝකයේ දී නිවන් දකින බවත් පවසයි. සක්‍රදේව තත්ත්වයෙන් චුතවන ඔහු අවිහ දේවලෝකයෙහි කල්ප දහසක් ද, අතප්ප දේවලෝකයෙහි කල්ප දෙදහසක් ද, සුදස්සන දේවලෝකයෙහි කල්ප හාරදහසක් ද, සුදස්සී දේවලෝකයෙහි කල්ප අටදහසක් ද, අකනිට්ඨ දේවලෝකයෙහි කල්ප දහසය දහසක් ද ආයුෂ ගෙවන බවත්, ඉහත සඳහන් අටුවාවෙහි සඳහන් වෙයි.

සක්‍ර දෙවියන් පිළිබඳ ව පාලි සාහිත්‍යයෙහි දැක්වෙන විස්තරවල යම් යම් පරස්පර විරෝධී භාවයක් ද පෙනෙන්නට ඇත. ධම්මපද අටුවාවෙහි සහ කුලාවක ජාතකයෙහි දැක්වෙන පරිදි මඝ මානවකයා මිය ගොස් තව්තිසා භවනයෙහි ඉපදීමට පළමු ව එහි විසුවේ අසුරයෝ ය. මේ අනුව නිගමනය කළ යුතු ව ඇත්තේ මුල් ම සක්‍රයා ‘මඝවා’ නමින් හඳුන්වන මඝ මානවකයාගේ අනතුරු ජන්මය බව ය. බෞද්ධ කථා පුවත්වලට අනුව බුදුහිමියන්ගේ කාලයේ දී ත්, දැනටත් සක් දෙවිඳු මේ මඝවා නමින් හඳුන්වන තැනැත්තා ම ය. ජාතක පොතෙහි දැක්වෙන මන්ධාතු ජාතකයට අනුව (ජා. 2, පිට 310) ආදි ම යුගයෙහි රජකු වන මන්ධාතු රජතුමා සක්‍රපුරයට ගොස් එහි සක්‍රයන් තිස් හය දෙනෙකුගේ කාලය තුළ සක්‍ර පුරයේ රජකම බෙදා ගෙන කළ බව සඳහන් වේ. තව ද, කුලාවක ජාතකයෙහි සමෝදානයෙහි සඳහන් වන පරිදි මඝ මානවක ව උපන්නේ පෙරුම් පුරන බෝධිසත්ත්වයෝ ය. ඒ එසේ නම් බෝසතුන් බුද්ධත්වයට පත් වූ පසු ව ඔහු හමුවට යන එන සක්‍රයා මඝ මානවකයාගේ අනතුරු ජන්මය විය නො හැකි ය. නමුත්, කථා පුවත්වලට අනුව බුදුහිමියන්ට ඇප උපස්ථාන කරන, ඔහු හමුව බණ අසන සක්‍රයා මඝ මානවකයාගේ අනතුරු ජන්මය යි.

යාම දෙව්ලොව

තව්තිසාවටත් තුසිතයටත් අතර ඇති මෙම දෙව්ලොව පිළිබඳ ව එතරම් විස්තර කථා පුවත් බෞද්ධ සාහිත්‍යයෙහි දක්නට නො ලැබේ. මෙම දෙව්ලොව හඳුන්වන ‘යාම’ නම් නම විග්‍රහ කරන විභංග අටුවාව (පිට 519) දිව්‍යමය වූ සැපතට පත් වූ නිසා මෙම දෙව්ලොව ජනයා එසේ හඳුන්වනු ලබන බව සඳහන් කරයි. අභිධම්මත්ථ සංග්‍රහයට පාලි ග්‍රන්ථ සභාවෙන් කරන ලද පරිවර්තනයෙහි (පිට 138) සඳහන් කර ඇති ආකාරයට යාම යනුවෙහි ‘දුකින් මිදුණු’ යන අරුත ඇත්තේ ය.

යාමයෙහි රජ ‘සුයාම’ නම් දෙවි කෙනෙකි. මේ දෙවියන්ගේ නම කීප තැනක ම සඳහන් වෙතත් ඔහු ගැන විස්තර ඇත්තේ ඉතා අල්ප වශයෙනි. ජීවකගේ සොහොයුරියක් වූ ‘සිරිමා’ නම් නගර ශෝභනිය මිය ගොස් සුයාම නම් මෙම දෙවිඳුගේ භාර්යා තනතුරට පත් වූ බවත්, එසේ ඉපදී සිරිමා නම් නගර ශෝභනියගේ ශරීරය ආදාහනය කරද්දී එහි රැස් වූ ජනයාට බුදුහිමියන් දහම් දෙසන විට එම දෙව්ලොව තවත් පන්සියයක් දෙනා සමඟ එතැනට ආ බවත් සුත්තනිපාත අටුවාවේ සඳහන් වේ. (සුනිඅ. 1, පිට 244) යාම දෙව්ලොව විසූ දෙවිවරු සතර දෙනෙක් සක්දෙවිඳුගේ ඉල්ලීම පරිදි මිනිස් ලොව ඉපදී කුඩා කල ම මහණදම් පිරීම සඳහා සසුන්ගත වීමට කැමැත්ත දක්වා මිනිස් ලොව උපන් අයුරු හත්ථිපාල ජාතකයෙහි සඳහන් වේ. (ජා. 4, පිට 473) යාමයෙහි දෙවියන්ගේ ආයුෂය ගැන සඳහන් කරන අංගුත්තර නිකාය (1, පිට 113) මිනිස් වර්ෂ දෙසියයක් යාමයෙහි එක් දිනක් බවත්, එබඳු දිනවලින් යුත් වර්ෂ දෙදහසක් යාමයෙහි දෙවියන්ගේ ආයුෂය වන බවත් පවසයි.


තුසිත දෙව්ලොව

යාම දෙව්ලොවට ඉහළින් පිහිටා ඇති දෙව්ලොව තුසිතය යි. මෙම දෙව්ලොව තුසිත දෙව්ලොව යනුවෙන් හඳුන්වනුයේ එම දෙව්ලොව වැසියන් නිතර තුටු පහටු ව සිටින නිසා යයි විභංග අටුවාවේ සඳහන් වේ. (පිට 518) බුදුවීමට පළමු දසපැරුම් පුරන සෑම බෝධිසත්ත්ව කෙනෙක් ම එම පෙරුම් පිරීම අවසානයේ දී තුසිත දෙව්ලොව ඉපදී බුදුවීමට මිනිස් ලොව ඉපදීමට සුදුසු කාලය එනතුරු එම දෙව්ලොව සිටිනා බව බෞද්ධ පොත්වල සඳහන් වෙයි. මේ අනුව ගෞතම නමින් බුද්ධත්වයට පත්වීමට පෙර පාරමිතා පූරණය කළ බෝසතුන් වෙස්සන්තර ආත්මභාවයෙන් පෙරුම් පිරීම අවසන් කොට තුසිත දෙව්ලොව උපන් බව ජාතකපොතෙහි සඳහන් වේ. (ජා. 1, පිට 47) තුසිත දෙව්ලොව උපන් බෝධිසත්ත්ව දෙවියන්ගේ නම සේතකේතු විය. බුදුවීමට නියමිත කාලය එනතුරු ඔහු දෙව්ලොව කල් ගෙවී ය. නියමිත කාලය ආ විට සියලු දෙව්ලෝ වැසි දෙවිවරු තුසිත පුරයට රැස් ව මිනිස් ලොව ඉපදී බුද්ධත්වයට පත්වන ලෙස සේතකේතු දෙවියන්ගේ අයැද සිටියහ. මෙසේ දෙවියන් ආරාධනා කළ විට පස්මහ බැලුම් බලා මනුලොව ඉපදීමට නියම කාලය පැමිණි බව දැන තුසිතයෙන් චුත ව මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගති.

අනාගතයේ දී බුද්ධත්වයට පත්වන ‘මෛත්‍රී’ බෝසතුන් ද පෙරුම් පුරා අවසාන වී දැනට ‘නාථ’ නමින් තුසීපුර වෙසෙන බව මහාවංශයෙහි සහ චූලවංශයෙහි ද, ථූපවංශයෙහි ද සඳහන් වේ.

දිව්‍ය ලෝක අතුරින් ඉතා සිත්කලු දෙව්ලොව තුසිතය වන අතර අනාගත බුදුන් බෝධිසත්ත්ව රූපයෙන් මෙහි වසන නිසා සිල්වත් ජනයා මරණින් මතු මෙහි ඉපදීමට කැමති බව ද මහාවංශ විස්තරයෙන් කියවේ. (මහා. 32, පරිච්ඡේදය 72,73 ගී) සියලු බෝධිසත්ත්වයන් සහ බුදුවරුන්ගේ දෙමාපියන් තුසිත පුරයෙහි ඉපදෙන නිසා දිව්‍ය ලෝක සයෙන් තුසිත පුරයෙහි ඉපදීමට ධම්මික උපාසක තෙම තෝරා ගත් බව ධම්මපදට්ඨකථාවෙහි සඳහන් වේ. (ධම්අ. 1, පිට 110)

ධාර්මික ජීවිත ගත කොට මරණින් මතු තුසිතපරයෙහි උපත ලද අය අතර, අනාථපිණ්ඩික සිටුතුමා ද, පසේනදී රජුගේ මෙහෙසිය වූ මල්ලිකා ද, බරණැස් නුවර වෙළෙන්දෙකු වූ මහාධන ද, සැවැත් නුවර විසූ තිස්ස නම් මහා ස්ථවිරනම ද, දුටුගැමුණු මහරජ ද සඳහන් වේ. (ධම්අ. 3, පිට 341, 429) තුසිතයෙහි ප්‍රධාන දෙවි ‘සන්තුසිත’ නම් වේ. තුසිතපුර අනික් දෙවිවරුන්ට වඩා මොහු කරුණු කීපයකින් ම කැපී පෙනෙන තත්ත්වයක සිටින බව අංගුත්තර නිකායෙහි සඳහන් වේ. (4, පිට 243) මෙම දෙව්ලොව එක් දිනක් මිනිස් වර්ෂ හාරසියයකි. එබඳු දිනවලින් යුත් වර්ෂ හාරදහසක් තුසිත පුර දෙවියන්ගේ ආයුෂය වේ. (අනි. 1, පිට 214)


නිම්මානරති දෙව්ලොව

තුසිතයට ඉහළින් වසන නිම්මානරතී දෙවිවරුන් ගැන බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වනුයේ ඉතා ම අල්ප වශයෙනි. තමන්ගේ ම නිර්මාණයන් ගැන ඔකඳ වන බැවින් මෙම දෙවිවරුන් නිම්මානරතී නමින් හැඳින්වෙන බවත්, ඕනෑ ම ස්වරූපයක ඕනෑ ම වර්ණයක මැවීමක් මොවුන්ට කළ හැකි බවත්, විභංග අටුවාවෙහි සඳහන් වේ. (පිට 519) අභිධම්මත්ථ සංග්‍රහයෙහි දැක්වෙන පරිදි මෙම දෙවිවරුන්ගේ ආයුෂය තුසිතපුර දෙවිවරුන්ගේ ආයුෂය මෙන් සතර ගුණයකි.


පරමිනිම්මිත වසවත්ති දෙව්ලොව

නිම්මානරතී දේව ලෝකයට ඉහළින් ඇත්තේ පරනිම්මිත වසවත්ති දෙව්ලොව යි. පරනිම්මිත වසවත්ති යන නාමය විග්‍රහ කරන විභංග අටුවාව (පිට 519) වෙනත් අය (දෙවිවරු) මවන දෙයෙහි ගිලී භුක්ති විඳීම යන අරුතෙන් මෙම දෙවිවරුන්ට එම නම භාවිත කරන බව පවසයි. මෙම දෙවිවරුන් ගැන සඳහන් කරන සුමංගලවිලාසිනිය (දීනිඅ. 3, පිට 1001) රජ කෙනෙකුගේ රසය හඳුනන දක්ෂ අරක්කැමියෙක් රජුට ප්‍රිය මනාප පරිදි කෑම සූදානම් කළ විට රජු එම කෑම ප්‍රීතියෙන් භුක්ති විඳින්නාක් මෙන් මෙම දෙවියන්ගේ සිත් දන්නා වෙනත් දෙවිවරු අවශ්‍යය පරිදි මවන දේවල් මෙම දෙවිවරු වසඟයට ගෙන ප්‍රීතිවන බව පවසයි. නිම්මානරතී දෙවියන් මෙන් සතර ගුණයක් ආයු මෙම දෙවිවරු වළඳති.


බ්‍රහ්මකායික දෙවිවරු

මෙතෙක් විස්තර කරන ලද චාතුම්මහාරාජිකයෙන් පටන් ගෙන පරනිම්මිත වසවත්ති දෙව්ලොවත් ඇතුළු ව ඒ අතරතුර ඇති දෙව් ලෝ සියල්ල කාමධාතුවට අයත් වේ. පරමිනිම්මිත වසවත්ති දෙව්ලොව සිට අකනිට්ඨ දෙව්ලොවත් ඇතුළත් ව ඒ අතරතුර දෙව්ලෝ දහසය රූපධාතුවටත්, අකනිට්ඨ දෙව්ලොවට ඉහළින් ඇති දෙව් ලෝ සතර අරූපධාතුවටත් අයත් වේ. පරනිම්මිත වසවත්තියට ඉහළින් ඇති දෙව්ලෝ විස්සෙහි නම් මෙසේ ය. 1.බ්‍රහ්මපාරිසජ්ජ, 2.බ්‍රහ්මපුරෝහිත, 3.මහාබ්‍රහ්ම, 4.පරිත්තාභ, 5.අප්පමානාභ, 6.ආභස්සර, 7.පරිත්තසුභ, 8.අප්පමාණසුභ, 9.සුභකිණ්ණක, 10.වේහප්ඵල, 11.අසඤ්ඤසත්ත, 12.අවිහ, 13.අතප්ප, 14.සුදස්ස, 15.සුදස්සී, 16.අකනිට්ඨ, 17.ආකාසානඤ්චායතන, 18.විඤ්ඤානඤ්චායතන, 19.ආකිඤ්චඤ්ඤායතන, 20.නේවසඤ්ඤානාසඤ්ඤායතන. මෙම දෙව්ලෝ විස්ස ම හඳුන්වනු ලබන පොදු නම ‘බ්‍රහ්මකායික දේව’ යන්න යි. (අංනි. 1, පිට 210, සංනි. 5, පිට 423)

බ්‍රහ්මකායික දෙවිවරු කාමාශාවන්ගෙන් මිදුණු අය වෙති. බ්‍රහ්මකායික දෙවිකෙනෙකු වීමට අවශ්‍යය වන්නේ චිත්තභාවනාව ය. ධ්‍යාන වඩා ධ්‍යාන ඵල භුක්ති විඳිනා අතර එසේ ඇති කර ගත් ධ්‍යාන ඵලය පිරිහෙන්නට පෙර මරුමුවට පත්වන අය මෙකී බ්‍රහ්මකායික දෙවිවරුන් ව උපදිති. බ්‍රහ්මකායික දෙවිකනෙකු ව උපතක් ලැබීමට බෞද්ධයෙකු වීම අවශ්‍යය ම කරුණක් නො වේ. චිත්ත භාවනා දියුණු කළ වෙනත් ආගමික ශාස්තෘවරුනුත් ඔවුන්ගේ අනුගාමිකයනුත් බ්‍රහ්මකායික දේව තත්ත්වයට පත් වූ තැන් කීපයක් ම පොත්වල සඳහන් වේ. බුදුහිමියන්ගේ කාලයෙහි ප්‍රසිද්ධ ගුරුවරයෙකු වූ ආලාරකාලාම නේවසඤ්ඤානාසඤ්ඤායතන තත්ත්වය දක්වා ධ්‍යාන උපදවන ක්‍රමය ඉගැන්වූ කෙනෙකි. එම ධ්‍යානය උපදවා මරණයට පත්වන යෝගාවචරයෝ බ්‍රහ්මකායික දෙවියන් අතර උසස් ම තත්ත්වයෙහි ලා සැලකෙන නේවසඤ්ඤානාසඤ්ඤායතන නමින් හැඳින්වෙන බ්‍රහ්මකායික දේවත්වයට පත්වෙති.

රූපධාතුවට අයත් දෙව්ලෝ දහසය ප්‍රථම ධ්‍යානය, දුතිය ධ්‍යානය, තතිය ධ්‍යානය, චතුත්ථ ධ්‍යානය යන ධ්‍යාන සතරට සම්බන්ධ වන පරිදි කොටස් කර ඇත. බ්‍රහ්මපාරිසජ්ජය, බ්‍රහ්මපුරෝහිතය, මහාබ්‍රහ්මය යන තුන ප්‍රථම ධ්‍යානයට සම්බන්ධ වේ. ඒ අනුව ප්‍රථම ධ්‍යානයට සමවැද, එම ධ්‍යානය පිරිහීමට පෙරාතු ව මියයන තැනැත්තා මෙම දෙව්ලොව තුනෙන් එකක උපදී. පරිත්තාභ, අප්පමානාභ සහ ආභස්සර යන දෙව්ලෝ තුන දෙවැනි ධ්‍යානයට සම්බන්ධ වේ. දෙවැනි ධ්‍යානය උපදවා එම ධ්‍යාන සුවයෙන් ම මරුමුවට පත්වන අය මේ දෙව්ලෝ තුනෙහි උපදිති. පරිත්තසුභ, අප්පමාණසුභ සහ සුභකිණ්ණක යන දෙව්ලෝ සම්බන්ධ වනුයේ තුන්වැනි ධ්‍යානයට ය. තුන්වැනි ධ්‍යානය උපදවා ගෙන එම තත්ත්වයෙන් ම මැරෙන තැනැත්තා උපදින්නේ මේ දෙව්ලෝවල ය. රූප ධ්‍යානයන් අතුරෙන් උසස් ම ධ්‍යානය වන සිව්වැනි ධ්‍යානය උපදවා ගෙන එම ධ්‍යාන තත්ත්වයෙන් ම මිය යන තැනැත්තා අසඤ්ඤසත්ත, වේහප්ඵල සහ සුද්ධාවාස දෙව්ලෝවල උපදිති. සුද්ධාවාස දෙව්ලොව වශයෙන් හඳුන්වනුයේ අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී සහ අකනිට්ඨ යන බ්‍රහ්මකායික දෙව්ලෝ පහ යි. අරූපධාතුවට අයත් ආකාසානඤ්චායතන, විඤ්ඤාණඤ්චායතන, ආකිඤ්චඤ්ඤායතන, නේවසඤ්ඤානාසඤ්ඤායතන යන දෙව්ලෝවල උපත ලබන්නේ ද ඒ ඒ අරූප ධ්‍යානය උපදවා ගෙන එම ධ්‍යානයන් පිරිහෙන්නට පෙර මිය පරලොව යන අයයි. (Compendium of Philosophy, p.138.)

කාමධාතු, රූපධාතු, අරූපධාතු යන නම්වලින් හැඳින්වෙන සංසාරයෙහි අවස්ථා තුනෙහි සත්ත්වයන් බැඳ තබන බැමි දහයක් වෙයි. දස සංයෝජන වශයෙන් මේවා හැඳින්වෙයි. සක්කායදිට්ඨි, විචිකිච්චා, සීලබ්බතපරාමාස, කාමච්ඡන්ද, ව්‍යාපාද, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච සහ අවිද්‍යා යනු එම දහය යි. මෙම බැමි පහතට හෙළන (ඕරම්භාගීය) සහ ඉහළට බැඳ තබන (උද්ධම්භාගීය) වශයෙන් දෙකකට බෙදනු ලැබේ. මේ අනුව දිව්‍ය ලෝක අතර චාතුම්මහාරාජිකයෙන් පටන් ගෙන පරනිම්මිත වසවත්තිය දක්වා ඇති දිව්‍ය ලෝක සියල්ලෙහි ම උපදනා දෙවිවරුන් කෙරෙහි සත්ත්වයන් සසරට බැඳ තබන සංයෝජන දහය ම විද්‍යමාන වේ. බ්‍රහ්මකායික දෙවිවරුන්ගෙන් ආකාසානඤ්චායතන ආදි අරූප දේව ලෝකවල දෙවියන් හැර අනිත් දෙවිවරුන් කෙරෙහි රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා යන සංයෝජන පහ විද්‍යමාන වේ. අරූපලෝකවල දෙවියන් කෙරෙහි අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා යන සතර පමණක් විද්‍යමාන වේ.

රූපධාතුවට අයත් දේවලෝක දහයෙන් අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී සහ අකනිට්ඨ යන දේවලෝක පහ පිළිබඳ ව විශේෂයක් තිබේ. බෞද්ධ පොත්වල මේ පහ හැඳින්වෙන්නේ ‘සුද්ධාවාස’ දේවලෝක යනුවෙනි. ඒවා එසේ හඳුන්වන්නේ අනාගාමි තත්ත්වයට පත්වන අය එම තත්ත්වයෙන් මරුමුවට පත්වුවහොත් මෙම දේවලෝක පහෙන් එකක උපත ලබා නැවත කාමලෝකයෙහි උපතක් නො ලබා ම එම දේවලෝකයන්හි දී රහත් තත්ත්වයට පත්වී සසර කෙළවර කරගන්නා හෙයිනි. නමුත්, අනාගාමී තත්ත්වයට පත් වී මැරෙන සියල්ලෝ ම මෙම දේවලෝක පහේ පමණක් පමණක් ම උපදිනවා යන අදහස විද්‍යමාන වෙනත් කරුණු නිසා පිළිගත නො හැක. උදාහරණයක් වශයෙන් මිනිස් ලොව දී අනාගාමී තත්ත්වයට පත් කෙනෙකු ආකාසානඤ්චායතන ධ්‍යානට සමවැදී සිටින විටක මිය ගියහොත් උපත ලැබිය යුත්තේ ආකාසානඤ්චායතන දේවලෝකයෙහි ය. ඔහු රහත් තත්ත්වයට පත්විය යුත්තේ අරූපලෝකයෙහි ය.

අනාගාමී තත්ත්වයට පත් ව සුද්ධාවාසාදී දේවලෝකවල උපත ලබන අය හැර, බ්‍රහ්මලෝකවල උපත ලබන අන් අය එම උපත් ලබා දීමට තුඩුදුන් ධ්‍යාන බලයෙන් ලත් දිව්‍ය ආයුෂය අවසාන ව ගිය විට නැවත කාමලෝකයෙහි උපත ලැබිය හැක. එසේ වනුවේ කාමලෝකයට සත්ත්වයන් බැඳ තබන සංයෝජන ධ්‍යාන උපදවන යෝගාවචරයෝ සම්පූර්ණයෙන් ම සමුච්ඡේද ප්‍රහාණයෙන් විනාශ නො කොට යම්තම් සොළවා දමා යටපත් කොට වික්කම්භනප්‍රහාණ ක්‍රමයට පමණක් යටපත් කොට දමා ධ්‍යාන බලයෙන් පමණක් දෙව්ලෝවල උපත ලබන හෙයිනි. සුද්ධාවාසාදී දෙව්ලෝවල උපත ලබන අනාගාමී පුද්ගලයා එම සංයෝජන සම්පූර්ණයෙන් ම නසාලන නිසා ඔහු නැවත කාමලෝකයෙහි නො උපදී.

සම්මෝහවිනෝදනී නම් විභංග අටුවාවේ (පිට 219-21) මෙම බ්‍රහ්මකායික දේවලෝකවල නම් විග්‍රහ කර තිබෙන්නේ මෙසේ ය : මහාබ්‍රහ්මයාගේ පිරිවර ජනයා වසන තැන යන අරුතෙන් එම දෙව්ලොව ‘බ්‍රහ්මපාරිසජ්ජ’ නම් වේ. බ්‍රහ්මපාරිසජ්ජයට ඉහළින් ඇති දෙව්ලොව මහාබ්‍රහ්මයන්ගේ පුරෝහිතයන්ගේ වාසභූමිය නිසා එය ‘බ්‍රහ්මපුරෝහිත’ යනුවෙන් හැඳින්වේ. බ්‍රහ්මපුරෝහිතයට ඉහළින් ඇත්තේ ‘මහාබ්‍රහ්ම’ දෙව්ලොව යි. සියලු ම බ්‍රහ්මයන් අතරින් මේ දෙව්ලොව වසන අය වර්ණයෙන් හා දීර්ඝායුෂ්කභාවයෙන් ප්‍රධාන තැන ගන්නා මේ දෙව්ලොව ‘මහාබ්‍රහ්ම’ නමින් හැඳින්වේ. මහාබ්‍රහ්මයට ඉහළින් ඇත්තේ ‘පරිත්තාභ’ දෙව්ලොව යි. මෙහි වසන්නවුන්ට ස්වල්ප වූ (පරිත්ත) ආලෝකයකින් (ආභ) යුත් නිසා මෙම දෙව්ලොව එම නමින් හඳුන්වනු ලැබේ. පරිත්තාභයට ඉහළින් ඇති දෙව්ලොව ‘අප්පමාණාභ’ යනුවෙන් හැඳින්වෙනුයේ එහි වසන්නවුන් ප්‍රමාණ කළ නො හැකි (අප්පමාණ) ආලෝකයින් (ආභ) යුත් බැවිනි. අප්පමාණාභයට ඉහළින් ඇත්තේ ‘ආභස්සරය’ යි. මෙහි වසන්නවුන් ගිනි පෙනෙල්ලකින් ගිනි පුපුරු ගිලිහී ගිලිහී වැටෙන්නාක් මෙන් ඔබමොබ හැසිරෙන නිසා එම නමින් හඳුන්වනු ලැබේ. ආභස්සරයට ඉහළින් ඇති ‘පරිත්තසුභ’ දෙව්ලොවට එම නම ව්‍යවහාර වනුයේ එහි වැස්සන් ස්වල්ප වූ ශෝභාවකින් යුත් බැවිනි. පරිත්තසුභයට ඉහළින් ඇති ‘අප්පමාණසුභ’ දෙව්ලොවට එම නම භාවිත වනුයේ එහි වැස්සන් ප්‍රමාණ නො කළ හැකි ශෝභාවකින් යුත් බැවිනි. රනින් කළ මඤ්ජුසාවක බහාලන ලද ගිනි ගෙන දැවෙන දඹරන් පිඬක් බඳු ශරීර ශෝභාවෙන් යුක්ත ව වසන්නවුන්ගෙන් පිරී පවතින නිසා අප්පමාණසුභ දෙව්ලොවට ඉහළින් ඇති ‘සුභකිණ්හ’ දෙව්ලොවට එම නම ලැබි ඇත. බොහෝ වූ ඵල ඇති යන අරුතෙන් සුභකිණ්හයට ඉහළින් ඇති දෙව්ලොව ‘වේහප්ඵල’ යන නම ව්‍යවහාර වේ. වේහප්ඵල දෙව්ලොවට ඉහළින් ඇත්තේ ‘අසඤ්ඤසත්ත’ දෙව්ලොව යි. සඤ්ඤාවෙන් තොර වූ සත්ත්වයන්ගේ වාසභවනය යන අරුතෙන් ඊට අසඤ්ඤසත්ත යන නම ව්‍යවහාර වේ. සමහර තීර්ථකයන් වෙත පැවිදි වී, සිත නිසා සියලු ඇලීම් දූෂ්‍යවීම් සහ මුලාවීම් ඇතිවන්නේ යයි සිතෙහි දොස් දැක, සිත් නැති බව ම යහපත් වන්නේ යයි තීරණය කොට සිත බැහැර කිරීමට ධ්‍යාන උපදවා එම තත්ත්වයෙන් මිය යන්නෝ එහි උපදිත්. ඔවුනට එහි දී රූපය ම පමණක්, රූපක්ඛන්ධය ම පමණක් ඇති වේ. සිටගෙන ඉපදුණු අය එම අයුරෙන් ම සිටිත්. හිඳගෙන ඉපදුණු අය එම අයුරෙන් ම සිටිත්. ඇලවී ඉපදුණ අය එම අයුරෙන් ම සිටිත්. අඳින ලද රූප විලාසයෙන් කල්ප දහසක් ම එසේ සිටිති. ආයුෂය ගෙවී ගිය විට එම රූපකාය අන්තර්ධාන වී කාමාවචර සඤ්ඤාව ඇති වෙයි. එවිට එම දෙව්ලොවින් ඔහු චුත වී යති. අසඤ්ඤසත්ත දෙව්ලොවට ඉහළින් ඇත්තේ ‘අවිහ’ දෙව්ලොව යි. මෙහි වසන්නවුන්ගේ සම්පත නො පිරිහෙන නිසා එම දෙව්ලොව අවිහ යනුවෙන් හඳුන්වනු ලැබේ. අවිහයට ඉහළින් ඇත්තේ ‘අතප්ප’ දෙව්ලොව යි. එහි වසන කිසිවෙකුට තාපයක්, තැවීමක් නොමැති නිසා එම දෙව්ලොවට අතප්පය යි ව්‍යවහාර වෙයි. අතප්පයට ඉහළින් ඇති දෙව්ලොව ‘සුදස්ස’ දෙව්ලොව යි. අභිරූප වූ, සුන්දර වූ දර්ශනයකින් යුත් නිසා මීට සුදස්ස යයි කියනු ලැබේ. සුදස්සයට ඉහළින් ඇත්තේ ‘සුදස්සී’ දෙව්ලොව යි. මෙහි වසන්නවුන්ගේ දර්ශනය සුන්දර යයි යන අරුතින් එම දෙව්ලොවට සුදස්සී යන නම ව්‍යවහාර වෙයි. සුදස්සී දෙව්ලොවට ඉහළින් ඇත්තේ ‘අකනිට්ඨ’ දෙව්ලොව යි. සියලු ගුණයන්ටත් භවසම්පත්තීන්ටත් අග්‍ර යයි ද, මෙහි කණිෂ්ඨ භාවයක් නැතැ යි ද යන අරුතින් මෙම දෙව්ලොව අකණිට්ඨ යන නමින් හැඳින්වෙයි.

සාමාන්‍ය බෞද්ධ සාහිත්‍යයෙහි මෙම බ්‍රහ්මකායික දේවලෝකවලින් වැඩිපුර ම සඳහන් වන්නේ ‘මහාබ්‍රහ්මය’ යි. මෙම දෙව්ලෝ වැසි මහාබ්‍රහ්මයන් කීපදෙනෙක් ගැන ම විස්තර කථා බෞද්ධ සාහිත්‍යයෙහි විද්‍යමාන වේ. ඉන් සමහරක් නම් ‘සහම්පතී’, ‘සනංකුමාර’, ‘බක’, ‘ඝටීකාර’, ‘නාරද’ සහ ‘කුදු’ යි. මෙයින් ‘සහම්පතී බ්‍රහ්මයා’ ගැන බහුල වශයෙන් බෞද්ධ පොත්වල සඳහන් වෙයි. දීඝනිකාය අටුවාවට අනුව (2, පිට 467) එවකට මෙම බ්‍රහ්මයා, ප්‍රධාන බ්‍රහ්මයා ලෙස සැලකුණු බව පෙනේ. බුදු හිමියන්ගේ ජීවිතයෙහි අවස්ථා කීපයක දී ම මේ බ්‍රහ්මයා පැමිණ බුදුන් හමු වූ අයුරු කීප තැනක ම පෙනේ. බුදුන් ඉපදුණු අවස්ථාවෙහි මෙම බ්‍රහ්මයා සිනේරු පර්වතය තරම් විශාල රන්දමකින් ඔහු පිදූ බව ඛුද්දකනිකාය අටුවාවෙහි සඳහන් වෙයි. (ඛුනිඅ. 1, පිට 171) බුදු හිමියන් බුද්ධත්වයට පත් වූ විට බුදුහිමියන්ගේ හිසට තුන් ගව් පමණ වටයක් ඇති සුදු සේසතක් මොහු ඉසුලූ බව බුද්ධවංස අටුවාවෙහි සඳහන් වෙයි. (බුවඅ. 239) බුදු හිමියන් බුද්ධත්වයට පත් වී ලොවට දහම් දෙසම් ද නො දෙසම් දැ යි සිත් දෙගිඩියාවෙන් පසුවන විට, ලොවට අනුකම්පාවෙන් දහම් දෙසන ලද බැගෑපත් ව ඉල්ලා සිටියේ ද සහම්පතී බ්‍රහ්මයා ය. (සංනි. 1, පිට 137) මේ හැර තවත් අවස්ථා කීපයක ම මොහු බුදුන් හමුවට ආවේ ය. සැරියුත් මුගලන් අගසව්වන් කෙරෙහි දූෂ්‍ය වූ සිතකින් කෝකාලිය භික්ෂුව මරණයට පත් ව පදුම නිරයෙහි ඉපදුණු බව බුදුහිමියන්ට දැනුම් දුන්නේ මොහු ය. (සංනි. 1, පිට 151) බුදු හිමියන් වරක් මගධ රට අන්ධකවින්දයෙහි කළුවර රැයක අභ්‍යවකාසයෙහි පින්නෙන් වැඩ හිඳින විට එතැනට පැමිණි මොහු භික්ෂූන් වහන්සේලාගේ පැවැත්ම පිළිබඳ ව ප්‍රශංසාත්මක කව් කීපයක් ම කීවේ ය. (සංනි. 1, පිට 154) බුදුහිමියන් පිරිනිවන් පෑ විට සංවේගාත්මක ගයකින් මොහු තම ශෝකය පළ කළ අයුරු කීප තැනක ම සඳහන් වෙයි. (සංනි. 1, පිට 158; දීනි. 2, පිට 157) තමා උසස් තත්ත්වයට පත්වූයේ කස්සප සම්මා සම්බුද්ධ කාලයේ දී භික්ෂුවක් ව සද්ධා - වීරිය - සති - සමාධි සහ පඤ්ඤා යන ඉන්ද්‍රියයන් භාවනා කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් බව බුදුහිමිහියන් අබියස දී වරක් ඔහු ම පැවසුවේ ය. (සංනි. 5, පිට 232)

මීළඟට ප්‍රබල තැනක් දරනුයේ ‘සනංකුමාර බ්‍රහ්මයා’ ය. මොහුට මෙම නම ව්‍යවහාර වනුයේ මොහු වයසට නො පත් ව කුමාර ලීලාවෙන් ම සිටින නිසා බව මජ්ඣිම නිකාය අටුවාවෙහි (2, පිට 584) සඳහන් වෙයි. එම අටුවාවට අනුව ඔහු පූර්ව ජන්මයෙහි දී කුමාරයෙක් ව සිටිමින් ධ්‍යාන වඩා එම ධ්‍යානයෙන් මිය පරලොව ගොස් එකී කුමාර ලීලාවෙන් ම බ්‍රහ්මලෝකයෙහි උපන් බව සඳහන් වෙයි. සහම්පතී බ්‍රහ්මයා මෙන් ම මොහු ද කීපවිටක ම බුදුන් හමුවිය. බුදුන් වරක් රජගහනුවර ‘සප්පිනී’ නම් නදී තීරයෙහි වසන සමයෙහි මැදියම් රැය පැමිණ බුදුන් හමු වූ මොහු උපත අනුව බලතහොත් ක්ෂත්‍රියයන් ම උසස් වූ නමුත්, දෙවියන් අතර ශ්‍රේෂ්ඨත්වයට පත්වනුයේ උසස් දැනීමත් ඊට අනුකූල හැසිරීමත් ඇති අය ම බවත් පැවසී ය. (සංනි. 1, පිට 153) එමෙන් ම බුදුහිමියන් ‘මහාසමය සූත්‍රය’ දේශනා කරන විට එක් රැස් වූ දේව සමූහයා අතර මොහු ද විය. (දීනි 2, පිට 261) දෙවියන් අතර සම්භාවනීයත්වයට පත් වී ඇති මොහු පිළිබඳ ව දීර්ඝ විස්තරයක් ‘ජනවසභ සූත්‍රයෙහි’ දක්නට තිබේ. මොහු වරක් තව්තිසාවෙහි දේව සභාවට පැමිණ බුදුන් දහම් සඟුන් සරණ යෑමෙහි ඇති වැදගත්කම ගැනත්, ඉද්ධිය වැඩීම සතිපට්ඨානභාවනාව යනාදියෙහි ඇති ප්‍රයෝජනත් පිළිබඳ ව දීර්ඝ වශයෙන් දෙවියන්ට අනුශාසනා කළ අයුරු එම සූත්‍රයෙහි සඳහන් වෙයි. (දීනි. 2, පිට 210) මෙම බ්‍රහ්මයා පිළිබඳ සඳහන් වන දේ අනුව පෙනෙනුයේ මොහු ඉතා ප්‍රබල බෞද්ධ උපාසකයෙකු බව යි.

‘බක බ්‍රහ්මයා’ ගැන ද සඳහන් කීපයක් බෞද්ධ සාහිත්‍යයෙහි පෙනේ. ‘බ්‍රහ්මනිමන්තන සූත්‍රයෙහි’ත් (මනි. 1, පිට 326) සංයුක්ත නිකායෙහි බ්‍රහ්ම සංයුක්තයෙහිත් (සංනි. 1, පිට 142) මොහු පිළිබඳ ව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ. ලෝකය සහ ආත්මය සදාකාලික ය. නො වෙනස් වන සුළු ය යනාදී වශයෙන් බක බ්‍රහ්මයා වැරදි අදහසක් දැරූ බවත්, මේ දැනගත් බුදුහිමියන් බ්‍රහ්ම ලෝකයට ගොස් බක බ්‍රහ්මයාගේ වැරදි අදහස් බිඳ දමා ඔහු පහදවා ගත් අයුරුත් එම සූත්‍රයන්හි විස්තර වේ. බක බ්‍රහ්මයාට දහම් දෙසන බුදු රජ බක බ්‍රහ්මයාගේපූර්ව ජන්ම හතරක් පිළිබඳ තොරතුරු ඔහුට හෙළිකළ බව ද එම සූත්‍රවල සඳහන් වෙයි.

‘ඝටීකාර බ්‍රහ්මයා’ ද ප්‍රධාන බෞද්ධෝපාසකයෙකි. කස්සප බුදුන්ගේ කාලයේ දී ඝටීකාර නමින් කුඹල්කරුවෙක් විය. කස්සප බුදුන් කෙරෙහි අතිශයින් පැහැදුනු ඔහු දානමානාදියෙන් එම බුදුන් පුදා සිල් රැක ධ්‍යාන උපදවා ගෙන මිය පරලොව ගොස් අවිහ බ්‍රහ්මලෝකයෙහි අනාගාමීත්වයට පත් ව උපන්නේ ය. ගෞතම බෝසතුන් ගිහි ගෙය අතහැර පැවිදි ජීවිතයක් ගත කිරීමට නික්මුණ විට අටපිරිකර සපයා දුන්නේ මොහු ය. (ජා.1, පිට 65) බුදුන් බුද්ධත්වයට පත් ව ටික කලකට පසු දිනක් ඝටීකාර බ්‍රහ්මයා බුදුන් හමුවිය. බුදුරජහු තමාත් ඝටීකාරත් පෙර ආත්මයක දී ඉතා කුළුපග මිතුරන් ව ජීවත් වූ අයුරු මෙහි දී සඳහන් කළ හ. (සංනි. 1, පිට 35, 60)

‘නාරද’ නමින් හඳුන්වන බ්‍රහ්මයා අන් කිසිවෙකු නො ව අප බෝසතුන්ගේ ම පූර්ව ජන්මයකි. අපදානපාළියෙහිත් (අප. 2, පිට 483) ජාතක පොතෙහිත් (ජා. 6, පිට 220-45) මොහු ගැන සඳහන් වෙයි. එම කෘතීන්හි සඳහන් වනුයේ අංගති රජුන් තුළ වූ මිථ්‍යා මත ඛණ්ඩනය කිරීම පිණිස මේ බ්‍රහ්මයා මනු ලොවට ආ පුවතකි.

‘කුදු බ්‍රහ්මයා’ ද බෞද්ධ භික්ෂුවක් ව සිට ගුණධර්ම වඩා අනාගාමී තත්ත්වයට පත් ව මරණින් මතු බ්‍රහ්මලෝකයෙහි බ්‍රහ්මයෙකු ව උපන් අයෙකි. කෝකාලික භික්ෂුව ගිලන් ව මරණාසන්න ව සිටිත් දී මේ බ්‍රහ්මයා ඔහු හමුවට විත් සැරියුත් මුගලන් අගසව්වන් කෙරෙහි සිත් පහදවා ගන්නා ලෙස ඉල්ලා සිටි මුත් කෝකාලික භික්ෂුව එය නො තැකූ බව සඳහන් වෙයි. (සංනි.1, පිට 149)

ඉහතින් සඳහන් කර ඇති බ්‍රහ්මයන් හැර ගුණදහම් පුරා බ්‍රහ්මලෝකවල බ්‍රහ්මයන් ව උපත ලද පුද්ගලයන් තවත් රැසකගේ නම් බෞද්ධ පොත්වල සඳහන් වෙයි. ඉන් සමහරක් නම් උපත, ඵලගණ්ඩු, පුක්කුසාති, භද්දිය, ඛණ්ඩදේව, බාහුරග්ගි සහ පිංගිය යි. (සංනි. 1, පිට 35, 60)

බ්‍රහ්මලෝක පිළිබඳ විස්තරය අවසන් කිරීමට පළමු ව තවත් කරුණක් සඳහන් කරනු වටී. ලෝකය බොහෝ කාලයකට පසු ව හැකිලී යන කල සියලු ලෝකවාසී සත්ත්වයන් ආභස්සර දේව තත්ත්වයට පත් ව එම දේවලෝකයෙහි උපදින බවත්, නැවත ලෝකය විනාශ වීමේ දී ලොවට බිහි වනුයේ ආභස්සර දේව ලෝකවාසී සත්ත්වයන් බවත් දීඝ නිකායෙහි ‘අග්ගඤ්ඤ සූත්‍රයෙහි’ සඳහන් වෙයි.

“බෞද්ධ දේව සංකල්පය
බෞද්ධ විශ්ව කෝෂයේ ප්‍රධාන සංස්කාරක
ඩබ්ලිව්.ජී.වීරරත්න (ඇම්.ඒ; පී.එච්.ඩී.) විසිනි.

No comments:

Post a Comment