Sep 12, 2016

අසත්පුරුෂයා හා සත්පුරුෂයා අතර වෙනස හඳුනා ගනිමු




"අසප්පුරිසොති ලාමකපුරිසො" අසත්පුරුෂයා නම් ලාමක පුරුෂයා යි; "සප්පුරිසොති උත්තමපුරිසො" සත්පුරුෂයා නම් උත්තම පුරුෂයා යි පඤ්චප්පකරණට්ඨකථාවේ පුග්ගලපඤ්ඤත්තිවර්ණනාවේ චතුක්කනිද්දේසයෙහි දැක්වේ. තමා කරන ලද්දෙහි ද දුසිල් බවින් යුතු ලාමක පුරුෂයා සෙස්සන් ද ඒ අසත්පුරුෂ ධර්මයෙහි සමාදන් කරවයි. තමා විසින් කරන ලද්දෙහි සුසීල්‍ය ගුණයෙන් හෙබි උත්තමපුරුෂයා සෙස්සන් ද ඒ සත්පුරුෂ ධර්මයෙහි සමාදන් කරවයි. සත්පුරුෂයන් නො දක්නා සුලු, සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂ, සත්පුරුෂ ධර්මයෙහි නො හික්මුණු පුද්ගලයා අශ්‍රැතවත් පෘථග්ජනයෙකු ලෙසත්, සත්පුරුෂයන් දක්නා සුලු, සත්පුරුෂ ධර්මයෙහි දක්ෂ, සත්පුරුෂ ධර්මයෙහි මොනොවට හික්මෙන පුද්ගලයා ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයෙකු ලෙසත් මජ්ඣිමනිකායේ සබ්බාසව සූත්‍රයෙහි දැක්වේ. එබඳු අසත්පුරුෂයාට විඝාත පරිළාහ යයි කියන ලද (විනාශක පරිදහන හෙවත් වෙහෙසකර හා දැවිලි සහිත) නූපන් ආශ්‍රවයෝ ද උපදිති; උපන් ආශ්‍රවයෝ ද වැඩෙති. සත්පුරුෂයාට නූපන් ආශ්‍රවයෝ නූපදිති; උපන් ආශ්‍රවයෝ ද ප්‍රහීණ වෙති. එබැවින් මේ සත්පුරුෂ සංසේවය ප්‍රඥාව වැඩි දියුණු කරන අංගයක් වශයෙන්, මනුෂ්‍ය ප්‍රතිලාභය ලැබූවන්ට බොහෝ උපකාර පිණිස පවතින්නක් වශයෙන් අඞ්ගුත්තරනිකායේ චතුක්කනිපාතයේ ආපත්තිභයවග්ගයේ විස්තර වේ. මෙහි දැක්වෙන්නේ අසත්පුරුෂයා හා අසත්පුරුෂ ධර්මය පිළිබඳවත්, සත්පුරුෂයා හා සත්පුරුෂ ධර්මය පිළිබඳවත් මජ්ඣිමනිකායේ උපරිපණ්ණාසකයේ දේවදහවග්ගයේ චූළපුණ්ණම සූත්‍රාන්තය ආශ්‍රයෙන් කෙරෙන විග්‍රහයකි.


අසත්පුරුෂයා හා අසත්පුරුෂ ධර්මය

අසත්පුරුෂයාට "මේ තෙමේ අසත්පුරුෂයෙකැ" යි අසත්පුරුෂයා පිළිබඳ දත නො හැක්කේ ය. "මේ තෙමේ සත්පුරුෂයෙකැ යි" අසත්පුරුෂයාට සත්පුරුෂයා ද දත නො හැක්කේ ය. මෙසේ අසත්පුරුෂයා සත්පුරුෂ-අසත්පුරුෂ භේදය නො දන්නේ අසත්පුරුෂ ධර්මයන් ම පූරණය කෙරේ. අසත්පුරුෂයාගේ අසත්පුරුෂ ධර්ම කවරේ ද? අසත්පුරුෂ ස්වභාවය කෙබඳු ද? කොපමණකින් අසත්පුරුෂ වේ ද?

අසද්ධර්මයෙන් යුතු වූයේ වෙයි. (අසද්ධම්මසමන්නාගතො හොති)
අසත්පුරුෂයන් ම සෙවුනේ වෙයි. (අසප්පුරිසභත්තී හොති)
අසත්පුරුෂ සිතින් සිතන්නේ වෙයි. (අසප්පුරිසචින්තී හොති)
අසත්පුරුෂ මන්ත්‍රණයෙන් මන්ත්‍රණය කරන්නේ වෙයි. (අසප්පුරිසමන්තී හොති)
අසත්පුරුෂ වචන බණන්නේ වෙයි. (අසප්පුරිසවාචො හොති)
අසත්පුරුෂ කර්මාන්ත කටයුතු ඇත්තේ වෙයි. (අසප්පුරිසකම්මන්තො හොති)
අසත්පුරුෂ දෘෂ්ටියෙන් යුතු වූයේ වෙයි. (අසප්පුරිසදිට්ඨී හොති)
අසත්පුරුෂයන් විසින් දෙනු ලබන දානයෙන් යුතු වූයේ වෙයි. (අසප්පුරිසදානං දෙති)


කෙසේ නම් අසත්පුරුෂයා අසද්ධර්මයෙන් සමන්වාගත වේ ද යත් :

ශ්‍රද්ධා නැති වෙයි. (අස්සද්ධො හොති)
පාපයෙහි ලජ්ජා නැති වෙයි. (අහිරිකො හොති)
පාපයට භය නැති වෙයි. (අනොත්තප්පී හොති)
අල්පශ්‍රැතයෙක් වෙයි. (අප්පස්සුතො හොති)
කුසීත වෙයි. (කුසීතො හොති)
මුළා වූ සිහි ඇත්තෙක් වෙයි. (මුට්ඨස්සති හොති)
දුෂ්ප්‍රාඥයෙක් වෙයි. (දුප්පඤ්ඤො හොති)

මේ අසත්පුරුෂයාගේ අසද්ධර්මය යි. මෙසේ අසත්පුරුෂයා අසද්ධර්මයෙන් සමන්වාගත වූයේ යයි කියනු ලැබේ.

කෙසේ අසත්පුරුෂයා අසත්පුරුෂයන් සේවනය කෙරේ ද යත් :

ඉහත අසද්ධර්මයෙන් සමන්වාගත පවිටුන් ම අසත්පුරුෂයා භජනය කෙරේ. හෙවත් ඔහුට සහායයෝ වෙති. එනම්, ශ්‍රද්ධා නැති, පාපයෙහි ලජ්ජා බිය නැති, අල්පශ්‍රැත, කුසීත, මුළා වූ සිහි ඇති දුෂ්ප්‍රාඥයෝ ම අසත්පුරුෂයාගේ සහායයෝ වෙති. පවිටා පවිටුන් හා ම ප්‍රියශීලී මිත්‍ර සභාග පවත්වති. සත්පුරුෂ ධර්මය රකින සත්පුරුෂ ධර්මයෙහි හැසිරෙන සත්පුරුෂ ධර්මයෙන් සමන්වාගත සත්පුරුෂයන් පිළිකෙව් කෙරෙති. හෙවත් මිත්‍රත්වයෙන් නො ගනිති.

කෙසේ අසත්පුරුෂයා අසත්පුරුෂ සිතින් සිතන්නේ ද යත් :

තමා හට දුක් පිණිස සිතයි. (අත්තව්‍යාබාධායපි චෙතෙති)
අනුන්ට දුක් පිණිස සිතයි. (පරව්‍යාබාධායපි චෙතෙති)
තමාටත් අනුන්ටත් දුක් පිණිස සිතයි. (උභයව්‍යාබාධායපි චෙතෙති)

මෙසේ අසත්පුරුෂයා අසත්පුරුෂ සිතුවිලි සිතනුයේ වෙයි.

කෙසේ නම් අසත්පුරුෂයා අසත්පුරුෂ මන්ත්‍රණ ඇත්තේ වේ ද යත් :
ආත්මපීඩා පිණිස (තමා හට පීඩා ගෙන දෙන) මන්ත්‍රණය කෙරෙයි. (අත්තව්‍යාබාධායපි මන්තෙති)
පරපීඩා පිණිස (අනුන්ට පීඩා ගෙන දෙන) මන්ත්‍රණ කෙරෙයි. (පරව්‍යාබාධායපි මන්තෙති)
උභයපීඩා පිණිස (තමාටත් අනුන්ටත් යන දෙපාර්ශ්වයට ම පීඩා ගෙන දෙන) මන්ත්‍රණ කෙරෙයි. (උභයව්‍යාබාධායපි මන්තෙති)

මෙසේ අසත්පුරුෂයා අසත්පුරුෂ මන්ත්‍රණ ඇත්තේ වෙයි.

අසත්පුරුෂයා කෙබඳු අසත්පුරුෂ වචනයෙන් යුතු වූයේ ද යත් :

බොරු කියයි. (මුසාවාදී හොති)
කේලාම් කියයි. (පිසුනාවාචො හොති)
රෞද්‍ර වූ පරුෂ වදන් තෙපළයි. (ඵරුසාවාචො හොති)
අරුත් සුන් හිස් වචන තෙපළයි. (සම්ඵප්පලාපී හොති)

අසත්පුරුෂයා මෙබඳු අසත්පුරුෂ වචනයෙන් යුතු වූයේ වෙයි.

අසත්පුරුෂයාගේ අසත්පුරුෂකම් (අසත්පුරුෂ කර්මාන්ත) කෙබඳු ද යත් :

සත්ත්වයන් ප්‍රාණවධයට පමුණුවනුයේ ප්‍රාණඝාතයෙහි යෙදුණේ වෙයි. (පාණාතිපාතී හොති)
අන් සන්තක දෑ පැහැර ගනුයේ සොරකම් කරන්නෙක් වෙයි. (අදින්නාදායී හොති)
දුරාචාරයෙන් යුතු වූයේ කාමයෙහි මිථ්‍යාචාර ඇත්තේ වෙයි. (කාමෙසුමිච්ඡාචාරී හොති)

මේ අසත්පුරුෂයාගේ අසත්පුරුෂ කර්මාන්තය යි.

අසත්පුරුෂයාගේ අසත්පුරුෂ දෘෂ්ටිය කෙබඳු ද යත් :

හේ දසවස්තුක පාප දෘෂ්ටි සමාදන් ව පවතී. ඒ මොනවා ද?

01. දුන් දානයෙහි ඵලවිපාක නැත. (නත්ථි දින්නං)
02. රකින ලද ශීලයෙහි ඵලවිපාක නැත. (නත්ථි යිට්ඨං)
03. කළ පූජාවෙහි ඵලවිපාක නැත. (නත්ථි හුතං)
04. කරන ලද කුසලාකුසල කර්මයන්ගේ ඵලවිපාක නැත. (නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො)
05. පරලොව සිටින්නහුට මෙලොවක් නැත. (නත්ථි අයං ලොකො)
06. මෙලොව සිටින්නහුට පරලොවක් නැත. (නත්ථි පරො ලොකො)
07. මවට සත්කාර කිරීමෙහි ඵලවිපාක නැත. (නත්ථි මාතා)
08. පියාට සත්කාර කිරීමෙහි ඵලවිපාක නැත. (නත්ථි පිතා)
09. මැරී පරලොව උපදනා ඕපපාතික සත්ත්වයන් නැත. (නත්ථි සත්තා ඕපපාතිකා)
10. මෙලොවත් පරලොවත් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රකාශ කෙරෙන යහපත් බවට පැමිණියා වූ මනා ව පිළිපන්නා වූ මහණ බමුණෝ ලෝකයෙහි නැත. (නත්ථි ලොකෙ සමණබ්‍රාහ්මණා සම්මගතා සම්මා පටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්ති)

යන මේ දසවිධ පාප දෘෂ්ටිය (නියත මිථ්‍යාදෘෂ්ටිය) සමාදන් කොට පවතී. මේ අසත්පුරුෂයාගේ අසත්පුරුෂ දෘෂ්ටිය යි.

අසත්පුරුෂයාගේ අසත්පුරුෂ දානය කෙබඳු ද යත් :

සකස් නො කොට දන් දෙයි. (අසක්කච්චං දානං දෙති)
සියතින් දන් නො දෙයි. (අසහත්ථා දානං දෙති)
දෙනු ලබන දෙය ඒ ප්‍රතිග්‍රාහකයන් කෙරෙහි බුහුමන් නො කොට දන් දෙයි. (අචිත්තීකත්වා දානං දෙති)
බැහැරලන රිසියෙන් (අපවිත්‍ර ව) දන් දෙයි. (අපවිද්ධං දානං දෙති)
දන් දීමෙහි විපාක ලැබේ ය යන කර්මඵල අදහා ගැනීමෙන් තොර ව දන් දෙයි. (අනාගමනදිට්ඨිකො දානං දෙති)

මේ අසත්පුරුෂයාගේ අසත්පුරුෂ දානයෙහි ස්වභාවය යි.

මෙබඳු අසද්ධර්මයෙන් සමන්වාගත, අසත්පුරුෂ සේවනය ඇති, අසත්පුරුෂ චින්තා ඇති, අසත්පුරුෂ මන්ත්‍රණ ඇති, අසත්පුරුෂ වදන් තෙපළන, අසත්පුරුෂ කර්මාන්තයෙන් දිවි ගෙවන, අසත්පුරුෂ දෘෂ්ටි ඇති, අසත්පුරුෂ දන් දෙන අසත්පුරුෂයා යම් දිනෙක මේ ශරීරයාගේ බිඳී යාමෙන් මරණින් මත්තෙහි අසත්පුරුෂයන්ගේ යම් ගතියක් වේ ද, එබඳු ගතියක ම උපත ලබයි. අසත්පුරුෂයාගේ ගති කවරේ ද? නිරය හෝ තිරිසන් යෝනිය යි. (ස ඛො භික්ඛවෙ, අසප්පුරිසො එවං අසද්ධම්මසමන්නාගතො, එවං අසප්පුරිසභත්තී, එවං අසප්පුරිසචින්තී, එවං අසප්පුරිසමන්තී, එවං අසප්පුරිසවාචො, එවං අසප්පුරිසකම්මන්තො, එවං අසප්පුරිසදිට්ඨි, එවං අසප්පුරිසදානං දත්වා කායස්ස භේදා පරම්මරණා යා අසප්පුරිසානං ගති, තත්ථ උප්පජ්ජති. කා ච භික්ඛවෙ, අසප්පුරිසානං ගති, නිරයො වා තිරච්ඡානයොනි වා.)

සත්පුරුෂයා හා සත්පුරුෂ ධර්මය

සත්පුරුෂ තෙමේ "මේ අසත්පුරුෂයෙකැ" යි සත්පුරුෂයා පිළිබඳ දැන ගනී. "මේ තෙමේ සත්පුරුෂයෙකැ යි" සත්පුරුෂයා පිළිබඳ ව ද ප්‍රත්‍යක්ෂ වශයෙන් දැන ගනී. මෙසේ සත්පුරුෂයා සත්පුරුෂ-අසත්පුරුෂ භේදය මනා ව දන්නේ සත්පුරුෂ ධර්මයන් ම පූරණය කෙරේ. සත්පුරුෂයාගේ සත්පුරුෂ ධර්ම කවරේ ද? සත්පුරුෂ ස්වභාවය කෙබඳු ද? කොපමණකින් සත්පුරුෂ වේ ද?

සද්ධර්මයෙන් යුතු වූයේ වෙයි. (සද්ධම්මසමන්නාගතො හොති)
සත්පුරුෂයන් ම සෙවුනේ වෙයි. (සප්පුරිසභත්තී හොති)
සත්පුරුෂ චින්තා ඇත්තේ වෙයි. (සප්පුරිසචින්තී හොති)
සත්පුරුෂ මන්ත්‍රණයෙන් මන්ත්‍රණය කරන්නේ වෙයි. (සප්පුරිසමන්තී හොති)
සත්පුරුෂ වචන බණන්නේ වෙයි. (සප්පුරිසවාචො හොති)
සත්පුරුෂ කර්මාන්ත කටයුතු ඇත්තේ වෙයි. (සප්පුරිසකම්මන්තො හොති)
සත්පුරුෂ දෘෂ්ටියෙන් යුතු වූයේ වෙයි. (සප්පුරිසදිට්ඨී හොති)
සත්පුරුෂයන් විසින් දෙනු ලබන දානයෙන් යුතු වූයේ වෙයි. (සප්පුරිසදානං දෙති)

කෙසේ නම් සත්පුරුෂයා සද්ධර්මයෙන් සමන්වාගත වේ ද යත් :
ශ්‍රද්ධා ඇත්තේ වෙයි. (සද්ධො හොති)
පාපයෙහි ලජ්ජා ඇති වෙයි. (හිරිමා හොති)
පාපයට භය ඇති වෙයි. (ඔත්තප්පී හොති)
බහුශ්‍රැතයෙක් වෙයි. (බහුස්සුතො හොති)
ආරබ්ධ වීර්යය ඇත්තේ වෙයි. (ආරද්ධවිරියො හොති)
එළැඹ සිටි සිහි ඇත්තෙක් වෙයි. (උපට්ඨිතසතී හොති)
ප්‍රඥාවත් වෙයි. (පඤ්ඤවා හොති)

මේ සත්පුරුෂයාගේ සද් (සත්පුරුෂ) ධර්මය යි. මෙසේ සත්පුරුෂයා සද්ධර්මයෙන් සමන්වාගත වූයේ යයි කියනු ලැබේ.

කෙසේ සත්පුරුෂයා සත්පුරුෂයන් සේවනය කෙරේ ද යත් :

ඉහත සත්පුරුෂ (සද්) ධර්මයෙන් සමන්වාගත සත්පුරුෂයන් ම භජනය කෙරේ. හෙවත් ඔහුට සහායයෝ වෙති. එනම්, ශ්‍රද්ධාවත්, පාපයෙහි ලජ්ජා බිය ඇති, බහුශ්‍රැත, අරඹන ලද වීර්යය ඇති, එළැඹ සිටි සිහි ඇති ප්‍රඥාවන්තයෝ ම සත්පුරුෂයාගේ සහායයෝ වෙති. සත්පුරුෂයා සත්පුරුෂයන් හා ම ප්‍රියශීලී මිත්‍ර සභාග පවත්වති. අසත්පුරුෂ ධර්මය රකින අසත්පුරුෂ ධර්මයෙහි හැසිරෙන අසත්පුරුෂ ධර්මයෙන් සමන්වාගත අසත්පුරුෂයන් පිළිකෙව් කෙරෙති. හෙවත් මිත්‍රත්වයෙන් නො ගනිති.

සත්පුරුෂයාගේ සත්පුරුෂ චින්තාව කෙසේ ද යත් :

තමා හට දුක් පිණිස නො සිතයි. (න අත්තව්‍යාබාධායපි චෙතෙති)
අනුන්ට දුක් පිණිස නො සිතයි. (න පරව්‍යාබාධායපි චෙතෙති)
තමාටත් අනුන්ටත් දුක් පිණිස නො සිතයි. (න උභයව්‍යාබාධායපි චෙතෙති)

මෙසේ සත්පුරුෂයා සත්පුරුෂ සිතුවිලි සහිත වෙයි.

කෙසේ නම් සත්පුරුෂයා සත්පුරුෂ මන්ත්‍රණ ඇත්තේ වේ ද යත් :

ආත්මපීඩා පිණිස (තමා හට පීඩා ගෙන දෙන) මන්ත්‍රණය නො කෙරෙයි. (න අත්තව්‍යාබාධායපි මන්තෙති)
පරපීඩා පිණිස (අනුන්ට පීඩා ගෙන දෙන) මන්ත්‍රණ නො කෙරෙයි. (න පරව්‍යාබාධායපි මන්තෙති)
උභයපීඩා පිණිස (තමාටත් අනුන්ටත් යන දෙපාර්ශ්වයට ම පීඩා ගෙන දෙන) මන්ත්‍රණ නො කෙරෙයි. (න උභයව්‍යාබාධායපි මන්තෙති)

මෙසේ සත්පුරුෂයා සත්පුරුෂ මන්ත්‍රණ ඇත්තේ වෙයි.

සත්පුරුෂයා කෙබඳු සත්පුරුෂ වචනයෙන් යුතු වූයේ ද යත් :

බොරු කීමෙන් වැළකුණේ වෙයි. (මුසාවාදා පටිවිරතො හොති)
කේලාම් කීමෙන් වැළකුණේ වෙයි. (පිසුනාය වාචාය පටිවිරතො හොති)
පරොස් බසින් වැළකුණේ වෙයි. (ඵරුසාය වාචාය පටිවිරතො හොති)
හිස් වචනයෙන් වැළකුණේ වෙයි. (සම්ඵප්පලාපා පටිවිරතො හොති)

සත්පුරුෂයා මෙබඳු සත්පුරුෂ වචනයෙන් යුතු වූයේ වෙයි.

සත්පුරුෂයාගේ සත්පුරුෂකම් (සත්පුරුෂ කර්මාන්ත) කෙබඳු ද යත් :

ප්‍රාණඝාතයෙන් වැළකුණේ වෙයි. (පාණාතිපාතා පටිවිරතො හොති)
සොරකමින් වැළකුණේ වෙයි. (අදින්නාදානා පටිවිරතො හොති)
කාමමිථ්‍යාචාරයෙන් වැළකුණේ වෙයි. (කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති)

මේ සත්පුරුෂයාගේ සත්පුරුෂ කර්මාන්තය යි.

සත්පුරුෂයාගේ සත්පුරුෂ දෘෂ්ටිය කෙබඳු ද යත් :

හේ දසවස්තුක සම්‍යග් දෘෂ්ටිය සමාදන් ව පවතී. ඒ මොනවා ද?

01. දුන් දානයෙහි ඵලවිපාක ඇත. (අත්ථි දින්නං)
02. රකින ලද ශීලයෙහි ඵලවිපාක ඇත. (අත්ථි යිට්ඨං)
03. කළ පූජාවෙහි ඵලවිපාක ඇත. (අත්ථි හුතං)
04. කරන ලද කුසලාකුසල කර්මයන්ගේ ඵලවිපාක ඇත. (අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො)
05. පරලොව සිටින්නහුට මෙලොවක් ඇත. (අත්ථි අයං ලොකො)
06. මෙලොව සිටින්නහුට පරලොවක් ඇත. (අත්ථි පරො ලොකො)
07. මවට සත්කාර කිරීමෙහි ඵලවිපාක ඇත. (අත්ථි මාතා)
08. පියාට සත්කාර කිරීමෙහි ඵලවිපාක ඇත. (අත්ථි පිතා)
09. මැරී පරලොව උපදනා ඕපපාතික සත්ත්වයන් ඇත. (අත්ථි සත්තා ඕපපාතිකා)
10. මෙලොවත් පරලොවත් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රකාශ කෙරෙන යහපත් බවට පැමිණියා වූ මනා ව පිළිපන්නා වූ මහණ බමුණන් ලෝකයෙහි ඇත. (අත්ථි ලොකෙ සමණබ්‍රාහ්මණා සම්මගතා සම්මා පටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්ති)

යන මේ දසවිධ සම්‍යග් දෘෂ්ටිසමාදන් කොට පවතී. සත්පුරුෂයාගේ සත්පුරුෂ දෘෂ්ටිය යි.

සත්පුරුෂයාගේ සත්පුරුෂ දානය කෙබඳු ද යත් :

සකසා ම දන් දෙයි. (සක්කච්චං දානං දෙති)
සියතින් ම දන් දෙයි. (සහත්ථා දානං දෙති)
ප්‍රතිග්‍රාහකයන් කෙරෙහි ගෞරව බහුමාන පෙරදැරි ව දිය යුතු දෙය දන් දෙයි. (චිත්තීකත්වා දානං දෙති)
පාරිශුද්ධ ව දන් දෙයි. (පරිසුද්ධං දානං දෙති)
කර්මඵල අදහාගෙන දන් දෙයි. (ආගමනදිට්ඨිකො දානං දෙති)

මේ සත්පුරුෂයාගේ සත්පුරුෂ දානයෙහි ස්වභාවය යි.

මෙබඳු සත්පුරුෂ ධර්මයෙන් සමන්වාගත, සත්පුරුෂ සේවනය ඇති, සත්පුරුෂ චින්තා ඇති, සත්පුරුෂ මන්ත්‍රණ ඇති, සත්පුරුෂ වදන් තෙපළන, සත්පුරුෂ කර්මාන්තයෙන් දිවි ගෙවන, සත්පුරුෂ දෘෂ්ටි ඇති, සත්පුරුෂ දන් දෙන සත්පුරුෂයා යම් දිනෙක මේ ශරීරයාගේ බිඳී යාමෙන් මරඹින් මත්තෙහි සත්පුරුෂයන්ගේ යම් ගතියක් වේ ද, එබඳු ගතියක ම උපත ලබයි. සත්පුරුෂයාගේ ගති කවරේ ද? කාමාවචර දෙවියන්ගේ සදිව්‍යලෝකයෙහි දේවමහත්ත්වය හෝ මනුෂ්‍යමහත්ත්වය යි. (ස ඛො භික්ඛවෙ, සප්පුරිසො එවං සද්ධම්මසමන්නාගතො, එවං සප්පුරිසභත්තී, එවං සප්පුරිසචින්තී, එවං සප්පුරිසමන්තී, එවං සප්පුරිසවාචො, එවං සප්පුරිසකම්මන්තො, එවං සප්පුරිසදිට්ඨි, එවං සප්පුරිසදානං දත්වා කායස්ස භේදා පරම්මරණා යා සප්පුරිසානං ගති, තත්ථ උප්පජ්ජති. කා ච භික්ඛවෙ, සප්පුරිසානං ගති, දේවමහත්තතා වා මනුස්සමහත්තතා වා.)

දිලාන් පංචන ජයසිංහ
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය


No comments:

Post a Comment