Nov 16, 2016

පාලි භාෂාව හා වාග්විද්‍යාව (දෙවැනි කොටස) භාෂාව හා එහි ප්‍රභවය




ගෙවී ගිය ඉතිහාසය හා ගොඩනැගුණු ශිෂ්ටාචාරය තුළ මානවයා විසින් නිපදවා ගත් අන් සියලු නිෂ්පාදනයන්ට වඩා වැදගත් ම මෙවලම, උපකරණය, භාෂාව යි. මූලික වූ ත්, ද්විතීයික වූ ත් සියලු අවශ්‍යයතා සපුරා ගැනීමේ දී භාෂාව තරම් මිනිසාට උපකාරවත් වන අන් කෘත්‍රිම භාවිතාවක් නො මැති තරම් ය. ඒ තරමට ම භාෂාව ස්වභාවයෙන් ඉන්ද්‍රිය බද්ධ මනුෂ්‍යය ක්‍රියාකාරීත්වය හා තදනුබද්ධ ය. ඇතැම් විට ස්වශක්තියෙන් ක්‍රියාත්මක කළ නො හැක්කා වූ කාර්යයන් පවා ඉෂ්ටාර්ථසිද්ධිය කරා පමුණුවා ගනු වස් මිනිසාට ඇති එක ම පිළිසරණ භාෂාව ය. එය සකලවිධ ප්‍රයත්නයන්හි දී අන්තර් පුද්ගල සබඳතාව මනා ව රකිමින්, ඒ ඒ කාර්යයෙහි සාඵල්‍යයතාව උදෙසා මිනිසා යුහුසුළු කරවයි. එහෙයින්, දෙවියනුත්, කර්මයත් හැරුණු කොට මානව සමාජයේ ප්‍රගමනයත්, ශුභසිද්ධියත් උදා කරන්නා වූ දෛව බලවේගයට බවට භාෂාව ශික්ෂිත ලෝකයෙහි පූජාර්හ ය.


වීලේම් වෙන්හුම්ට අනුව මිනිසා මිනිසෙකු බවට පත් වූයේ භාෂාවේ ආධාරයෙනි. මනුෂ්‍යත්වය පිළිබඳ සියලු දැනවීම්, සියලු කියැවීම් භාෂාවෙහි සංගෘහිත ය. එනයින් බලන විට මිනිසාගේ මානසික ක්‍රියාකාරීත්වයට පර්යාප්ත වන ප්‍රකාශනශීලී ගතියෙහි ආකෘතිය භාෂාව බවට කළ ලෙනාඩ් බ්ලූම්ෆීල්ඩ්ගේ ප්‍රකාශය නිවැරදි ය. බර්නාඩ් බ්ලොක් භාෂාව හඳුනා ගත්තේ, සමාජයීය සමූහයක සාමාජිකයන් වශයෙන් හා සංස්කෘතියක කොටස්කරුවන් වශයෙන් මිනිසුන් අන්‍යොන්‍යය ක්‍රියාකාරිතා හා සන්නිවේදනය සඳහා යොදා ගනු ලබන්නා වූ සම්මුතික වාග් සංකේත පද්ධතියක් වශයෙනි. මේ ප්‍රකාශයන්හි කිසියම් ආත්මීය ලක්ෂණයක් ප්‍රකට ව පැනෙයි. එහෙත්, භාෂා තත්ත්ව විද්‍යාව ආධාරයෙන් භාෂාව දෙස වාග්විද්‍යාත්මක දෘෂ්ටියක් හෙළූ සොසුය්‍යෝ, 1. ලංගාඡ් 2. ලොං සහ 3. පරොල් යනුවෙන් භාෂාවෙහි මූලික ලක්ෂණත්‍රයක් හඳුනා ගත්තේ ය. මෙහි ලංගාඡ් නම් සකල මානව වර්ගයාගේ ම පොදු උරුමයක් වශයෙන් භාෂාවේ සාධාරණත්වයට පත් වීම යි. ලොං යනු, භාෂාවෙහි පද්ධතික ස්වරූපය හා සංවිධානාත්මක ස්වරූපය යි. එසේ ම, පර භාෂාවකින් වෙන් කොට හඳුනා ගැනීම පිණිස ප්‍රකට කරන ඒ ඒ භාෂාවෙහි අනන්‍යසාධාරණත්වය පරොල් වශයෙන් නම් කරන ලදි. එකී පරිවිදිතයෙහි පිහිටා අර්ථමය වෙනස්කම් මාලාවක් සමඟ බැඳුණු ශබ්දමය වෙනස්කම් මාලාවක් භාෂාමය පද්ධතියක් සොසුය්‍යෝ හඳුනා ගත්තේ ය.

මෙලෙස නොයෙක් දාර්ශනිකයන්, වාග්විද්‍යාඥයන්, ශාස්ත්‍රඥයින්, මනෝවිද්‍යාඥයින්, වෛය්‍යාකරණඥයින් හා සාහිත්‍යධරයන් විවිධ දෘෂ්ටි කෝණ හා පැතිකඩ ඔස්සේ භාෂාත්මක ජීවයත්, සන්දර්භයත් උරගා බැලීමට දැරූ වෑයම වෙසෙසා කැපී පෙනෙයි. එහෙත්, ඍජු නිර්වචනයකට පැමිණීමට තරම් භාෂාව පිළිබඳ දැනීම තවමත් ඇත්තේ අවුල් තත්ත්වයක ය.

කෙසේ වෙතත්, පඬුවන් අතර ප්‍රකාශිත මතවාද සියල්ල කැටි කොට ගත් විට භාෂාව සම්බන්ධයෙන් පහත පොදු නිගමනයන්ට එළැඹිය හැකි ය.

භාෂාව :-
1. සාකල්‍යයෙන් ම මනුෂ්‍යයාට පමණක් සීමා වූවකි.
2. මුළුමනින් ම සංකේත සමූහයකි.
3. හුදෙකලා බවින් වියුක්ත සමාජ ජීවිතයක් ගොඩනැඟීමට භාෂාව උපකාරවත් වෙයි.
4. ශබ්ද උච්චාරණය හා ශ්‍රවණය මඟින් මිනිසුන් අතර හැඟීම් හා අදහස් හුවමාරු කර ගන්නා මාර්ගය නොහොත් මාධ්‍යය යි.

වාග් විද්‍යාවේ දී භාෂාවක් වශයෙන් වැඩිමනක් බර තැබෙන්නේ ඉහත අවසන දක්වන්නට යෙදුණු කාරණයෙහි එන උච්චාරණයෙහි හා ශ්‍රවණයෙහි ද්විප්‍රකාර ක්‍රියාකාරීත්වය වෙත යි. ඊට අනුයුක්ත ව භාෂාවක ඇති වීමට නොහොත්, භාෂාව සම්පූර්ණ වීමට බලපාන්නා වූ ඉන්ද්‍රියයන් හතරක අනුක්‍රමික ක්‍රියාකාරීත්ව සතරක් හඳුනා ගැනෙයි. එනම්,

01. භාෂකයාගේ මොළය මඟින් අදහස් නිපදවීම හා එසේ නිපදවනු ලබන්නා වූ අදහස් ක්‍රමවත් ව ගැළපීම.
02. ශබ්දෝත්පාදක ඉන්ද්‍රියය මඟින් අදහස් ශබ්දවලට හරවා පිට කිරීම.
03. එසේ පිට කෙරෙන්නා වූ ශබ්ද ශ්‍රවණය මඟින් ශ්‍රාවකයාගේ මොළය වෙත ගෙන යෑම.
04. තමා වෙත ගෙන එනු ලැබූ ශබ්ද මොළය විසින් යළි අදහස් බවට පෙරැළීම හා ශ්‍රාවකයා විසින් එය තේරුම් ගැනීම.

මෙහි දී වඩා වැදගත් පළමු වැනි කාරණයත්, සිව් වැනි කාරණයත් ය. ඒ ඒවායින් පිළිවෙලින් අදහස් නිපදවීමත්, අදහස් ලබා ගැනීමත් සිදු කරන හෙයිනි. දෙ වැනි හා තෙ වැනි අවස්ථාවල දී කෙරෙනුයේ අදහස් සංසරණය පමණි. කෙසේ වෙතත්, මේ ක්‍රියාකාරීත්ව සතරින් තොර ව භාෂාවක් ප්‍රභවය වන්නේ හෝ භාෂාවක් පවත්වන්නේ හෝ නො වෙයි.

එය කරණ කොට ගෙන වාග් විද්‍යාව විසින් භාෂාවේ අංග මූලික කාණ්ඩ දෙකකට කොටස් කරයි. එනම්,

01. අභ්‍යන්තර අංශය :- අදහස් නිෂ්පාදනයෙහි මෙන් ම ග්‍රහණයෙහි ලා බලපවත්නා වූ මානසික ක්‍රියාකාරීත්වය යි.

02. බාහිර අංශය :- ශබ්ද උච්චාරණයට හා ශ්‍රවණයට මුල් වූ කායික ක්‍රියාකාරීත්වය යි.

මේ දෙයාංශය ම පිළිබඳ හරි හැටි අවබෝධයකින් තොර ව, භාෂාව පිළිබඳ නිරවුල් දැනීමක් ඇති කර ගැනීම උගහට ය. නමුත්, අද බොහෝ කොට ව්‍යාකරණාදියෙහි ම ගැලී භාෂාවක් වශයෙන් අප උගන්නේ බාහිර අංශයෙනුත් මාත්‍රයක් පමණි. භාෂාව පිළිබඳ අපගේ සාම්ප්‍රදායික ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තවමත් වාග්විද්‍යනුකූල පරිණතියකට උචිත අයුරින් විස්තාරණය වී නැත. දේශීය වශයෙන් භාෂාව පිළිබඳ වාග්විද්‍යාත්මක අධ්‍යයනයන් පුළුල් කිරීමේ වැදගත්කම ඇත්තේ එතැන ය.

වස්කඩුවේ සුභූති තෙරුන්නාන්සේගේ නාමමාලාවේ දක්වන අන්දමට ව්‍යාකරණයක් නම්, යම් භාෂාවක වචනවල සියලු විභාග හා සම්බන්ධාදිය දැන ඒ භාෂාවෙන් නිවැරදි ලෙස පොත් පත් ලිවීමෙහි සහ කථා කිරීමෙහි ද, එසේ වූ පොත් පත් ආදියෙහි හරි අදහස් තේරුම් ගැනීමෙහි ද ශාස්ත්‍රය යි. මේ අනුව ව්‍යාකරණයෙන් අදහස් කෙරෙන්නේ භාෂාවක් හරිහැටි ලියන්නටත්, කියවන්ටත් ඉගැන්වීම පමණි. අදහස් නිපදවීම භාෂාවේ ප්‍රධාන ම අංගයක් වන නමුත්, ව්‍යාකරණයට එය ඇතුළත් නො වීම බලවත් අඩුවකි. නමුත්, වාග්විද්‍යාත්මක අධ්‍යයනය විසින් භාෂාව පිළිබඳ හැම අංගයක් ම උකහා ගෙන තිබීම සතුටට කරුණකි. වර්තමානය වන විට පෙරට වඩා භාෂා අධ්‍යයනය කෙරෙහි වැඩි දෙනෙකුගේ නැඹුරුවක් දක්නට හැකි වෙයි. මානව ශාස්ත්‍ර විෂයෙහි වැඩි කේන්ද්‍රීය බලයක් භාෂාව සතු වීම ඊට හේතු වූවා විය හැකි ය. ඒ නව ප්‍රවණතාවට මුල් වූයේ ව්‍යාකරණය නො ව, වාග්විද්‍යාව බව පිළිගැනීම යුක්ති යුක්ත ය. මෙහි උපයුක්තතාව පැහැදිලි කරන ආචාර්ය ඇස්.ජී.ඇම්.වීරසිංහ :-

"අපරදිග විසූ ශ්‍රේෂ්ඨ පඬිවරුන් වන සර් ග්‍රියර්සන්, අන්ත්වන් මෙය්යේ, බෘග්මාන් වැන්නවුන් නිසා ඉන්දු යුරෝපීය වාග් විද්‍යාවට මහත් ආලෝකයක් ලැබුණු බව ප්‍රකට ය. හුදෙක් ග්‍රීක, ලතින් වචන මාර්ගයෙන් සොයා ගැනීමට නො හැකි ව තුබූ ඉන්දු - යුරෝපීය වචන රාශියක් සංස්කෘත භාෂාවේ නවීන සොයා ගැන්මෙන් අනාවරණය විය. මෙසේ සංස්කෘත, ග්‍රීක්, ලතින් යන භාෂාවල ආධාරයෙන් ඒවායේ ප්‍රභවයට මුල් වූ ඉන්දු - යුරෝපීය භාෂාව සොයා ගැනීමෙන් පසු ඊළඟට ඉන්දු - යුරෝපීය ජාතීන්ගේ ප්‍රාග් ඓතිහාසික සමය පිළිබඳ ව අගනා විස්තර අනාවරණය කර ගත හැකි විය. ඉන්දු - යුරෝපීය භාෂාව විග්‍රහ කර බැලූ මහාචාර්ය අන්ත්වන් මෙය්යේ විසින් ඉන්දු - යුරෝපීය සමයෙහි පැවැති උප භාෂා (Dialects) පවා අනාවරණය කෙළේ ය. ක්‍රිස්තු වර්ෂයෙන් යට අවුරුදු දහස් ගණනක තොරතුරු වාග් විද්‍යාව මඟින් විස්තර වෙද්දී සංස්කෘත භාෂාවේ පැරණි ස්වරූපය වූ වේද භාෂාව ශාස්ත්‍රීය ලෙස හැදෑරීම සඳහා වාග් විද්‍යාවෙන් මහත් උපකාර ලැබිණ. සායණ වැනි භාරතීය භාෂ්‍යකරුවනට පවා හරි හැටි තේරුම් ගැන්මට නො හැකි වූ ඍග් වේදයේ බොහෝ ස්ථාන අර්ථාන්විත ව විස්තර කිරීමට හැකි වූයේ වාග් විද්‍යාවේ ආධාරයෙනි. ග්‍රාස්මන් පඬිතුමාගේ Worter buch zum Rig Veda වැනි ශ්‍රේෂ්ඨ කෘතීන් බිහි වූයේ ද වාග් විද්‍යාව නිසා යැයි පැවැසිය හැක.

අද භාෂා විද්‍යාත්මක ලෙස හැදෑරීමේ කාලය පැමිණ තිබේ. අපරදිග ශ්‍රේණීය භාෂාවන් වන ලතින්, ග්‍රීක භාෂා වාග් විද්‍යාව සහ භාෂා තත්ත්ව විද්‍යාව මුල් කර ගෙන ඉතා සූක්ෂ්ම ලෙස අධ්‍යයනය කොට ඇති බව භාෂා සම්බන්ධයෙන් ප්‍රංශ, ජර්මන් වැනි භාෂාවලින් ලියා ඇති ග්‍රන්ථ සම්භාරයෙන් මොනවට පැහැදිලි වේ. වෛදික සහ සංස්කෘත භාෂා සම්බන්ධයෙන් කෙරී ඇති වාග් විද්‍යාත්මක පර්යේෂණ මහත් වූවත්, පාලි භාෂාව පිළිබඳ ව කෙරී ඇති වාග් විද්‍යාත්මක කටයුතු ප්‍රමාණවත් නො වන බව පෙනේ. වාග් විද්‍යාවටත් වඩා නූතන ඉගෙනීමක් වූ භාෂා තත්ත්ව විද්‍යාව මුල් කර ගෙන පාලි භාෂාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට තව බොහෝ කලක් ගත විය හැකි ය."

වචන මාලාව දියුණු කිරීමෙන් සම්පූර්ණ අදහසක් ප්‍රකාශ කළ හැකි වන පරිදි සිදු වූ භාෂාවේ අනුක්‍රමික සංවර්ධනය, භාෂා තත්ත්ව විද්‍යාඥයෝ ක්‍රමයෙන් වැඩෙන ළදරුවෙකුට සමාන කර දක්වති. ඒ අනුව පිළිවෙලින්,

01. හැඟීම් හා හැඟීම්වලට වඩා තරමක් දියුණු මූලික අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාව. (මේ සඳහා අංග චලනය හෝ හඬ නැගීම හෝ ඒ දෙක ම හෝ යොදා ගනී.)

02. ශබ්ද උච්චාරණය මඟින් අදහස් ප්‍රකාශ කිරීම.

03. නොයෙක් තාක්ෂණික ක්‍රම ශිල්ප මඟින් (ලිවීම, ඇඳීම, මුද්‍රා.... ආදී) අදහස් ප්‍රකාශ කිරීම.

යන අවස්ථා ත්‍රිත්ත්වය පසු කරයි. මානව සමාජය නමැති ළදරුවා ද, භාෂාව නමැති සංවර්ධිතය කරා පැමිණියේ ඉහත අනුක්‍රමික අවස්ථා ත්‍රිත්ත්වය පසු කර ගෙන ය යන්න මානව විද්‍යාඥයන්ගේ අදහස යි. පරිණාමවාදීහු, මිනිසාගේ විකාසනයේ පියවර දෙකක් ගෙන හැර පාති. ඒ වූ කලි මිනිසා තිරිසනාගෙන් වෙන් ව, මනුෂ්‍ය තත්ත්වයට උසස් කරවීමේ ස්ථර දෙකකි. ඉන් පළමු ස්ථරය, දෙපාවකු වශයෙන් හිස කෙළින් තබා ගෙන ඇවිදීමට මිනිසා හුරු වූ කායික විකාසනය යි. දෙවැන්න, අදහස් නිපදවීමටත්, ප්‍රකාශ කිරීමටත් ශක්‍යතාව ලබා ගත් මානසික විකාසනය යි. මින් ද්විධවිකාසනයේ පළමු අවස්ථාවට පෙරාතුව මිනිසා ද තිරිසනුන් හා සමාන ව හැඟීම් උත්පාදනයේ පමණක් වෙහෙස වූ බව පරිණාමවාදීහු පිළිගත් හ. ශිෂ්ටත්වයට පා තැබීම යනු, මේ තිරශ්චීනභාවයෙන් මිදුණු මිනිසා මානසික පරිණතිය ඔස්සේ මනුෂ්‍යත්වයට ප්‍රවිෂ්ට වීම යි. එයත් සමඟින් ප්‍රභාවිත වූ භාෂාවේ උපකාරයෙන් මානව සමාජයේ ප්‍රගමනය ඉක්මන් කෙරිණ.

මනුෂ්‍යය භාෂාවේ උත්පත්තිය සම්බන්ධයෙන් මේ දක්වා ඉදිරිපත් කෙරුණු සියලු මතවාද පහත පරිදි ද්විඛණ්ඩනය කළ හැක.

භාෂාවේ ප්‍රභවය පිළිබඳ නිර්මාණවාදී මත සහ පරිණාමවාදී මත වශයෙනි.

ඉන්ද්‍රිය ගෝචර වූ නමුත්, මනසට අවිෂයීය වූ දෑ නො පෙනෙන බලවේග නොහොත් දෙවියන්ගේ කරමත පැටවීම චිරන්තතනයේ පටන් සිදු වූවකි. අද්‍යතනයේත් සිදු වන්නකි. භාෂාව පිළිබඳ පැරැන්නෝ එළැඹි නිර්ණය ද එතැන ය. ඒ අනුව, ස්වකීය හැඟීම් හා අදහස් භාෂාව මඟින් පරිපූර්ණිත ව, අලංකෘත ව ඉදිරිපත් කළ හැකි වීමේ විලාසය වටහා ගත නො හී එහි නිර්මාපකත්වය දෙවියන්ට භාර කළ හ. සර්වබලධාරී, සර්වව්‍යාපී, සර්වදර්ශී, සර්වනෝභද්‍ර, සර්වඥ මහා බ්‍රහ්මයා විසින් දෛවී භාෂාව (එනම්, සංස්කෘත ය; දෙවියන් විසින් දුන් භාෂාව නොහොත් දේව භාෂාව) "සංස්කෘතං නාම දෛවි වාග්", "ප්‍රකෘති සංස්කෘතම්" මනුෂ්‍යයාට ප්‍රදානය කළ බව හින්දු ඇදහිල්ල යි. ක්‍රිස්තු භක්තිකයෝ හීබෲ බස පිළිබඳ ව ද දැරුවේ එවන් අදහසකි. මහමදිකයන් අරාබි බස ද තෝරා ගැනුණේ ද මේ කියන කාරණයෙහි වෙනසක් නො කොට ය. හෛම ව්‍යාකරණයේ දී ජෛනාචාර්ය හේමචන්ද්‍රයෝ : අර්ධ මාගධිය මූල භාෂාව බවත්, අන් සියලු භාෂාවෝ එයින් භින්න වූ බවත් ප්‍රකාශ කළ හ. මෙසේ ආගමික ඵලයන් විසින් ස්වකීය ලබ්ධියට අනන්‍යසාධාරණ වූ නිර්මාණවාදීත්වයක් භාෂාවට ආරෝපණය කෙරිණ. කෙසේ වෙතත්, මෙසේ ආගමික භාසිත මත ප්‍රතිෂ්ඨිත ව මූල භාෂා සංකල්පයේ ඇති වූ සංවර්ධනයත්, එය ඇතැම් විටෙක භාෂා අධිපතීත්වය කරා ගමන් කළ අන්දමත් භාෂා ඉතිහාසය තුළ කැපී පෙනෙයි. ලොව පළමු ව උපන්නවුන් අතර අදහස් දැක්වීම සඳහා යම් ශබ්ද සමුදායයක් වූයේ නම් එම ශබ්ද සමූහය මූල භාෂා නමින් හඳුන්වනු ලබයි.

පුරාතනයෙහි විසූ ඇතැම් රජවරු ද භාෂා ප්‍රභව ගැටලුව විසඳාලීම පිණිස දැරූ විවිධ ප්‍රයත්නයන් පිළිබඳ සාක්ෂ්‍යය ඇත. ක්‍රි.පූ.හත්වන සියවස තරම් කාලයේ දී පුරාණ ඊජීප්තුවෙහි විසූ සැම්මෙටිකොස් රජු එවැන්නෙකි. ඉතිහාසයේ පියා ලෙස හඳුන්වන ග්‍රීසියේ හෙරඩෝටස්ගේ වාර්තාවන්ට අනුව, සැම්මෙටිකොස් රජ උපන්දා පටන් මිනිස් කට හඬක් කණ වැකීමට අවකාශ නො දී ළදරුවෙකු වැඩීමට සැළැස්වුවහොත් ඔහු කථා කරන්නේ ආදි ම මිනිසාගේ බස ය හෙවත්, මූල භාෂාව ය යන නිගමනෙයහි හේ එල්බ සිටියේ ය.

එකී පරිවිදිතයෙහි පිහිටා හෙතෙම එක්තරා පර්යේෂණයක නිමග්න විය. ඒ අනුව බිළිඳු දරුවන් දෙ දෙනෙකු යහපත් එඬේරෙකුට භාර කොට, ස්වකීය අභිලාෂය පවසා, එම දරුවන් මුලින් ම වහරන වචනය වහා ම දන්වන්නැයි නියෝග කළේ ය. රාජ නියෝගය පරිදි එඬේරා ද, ඒ දරු දෙ දෙදෙනා ගෙන ගොස් එළු ගාලක දමා එළු කිරි බොමින්, මිනිස් කටහඬක් නෑසෙන සේ එළු ගාලෙහි ම වැඩෙන්නට සලැස්වී ය.

මෙසේ දෙ වසරක් පමණ ඉක්ම යන කල ඉන් එකෙකු බේකොස් යන වචනය උච්චාරණය කළේ ය. එඬේරා ද ඒ බව වහා රජුට සැළ කළේ ය. ඉන් සතුටට පත් සැම්මෙටිකොස් රජු, ඉක්බිති පණ්ඩිත සභාව රුස් කරවා බේකොස් යනු කිනම් අරුතක් ඇත්තේ දැයි විමසී ය. ප්‍රීජියන් බසින් පාන් හැඳින්වීමට බේකොස් යන්න යෙදෙතැයි පණ්ඩිතයෝ රජුට කී හ. ඒ අනුව ප්‍රීජියන් බස ලොව පැරණිත ම භාෂාව හෙවත්, මූල භාෂාව ය යන නිගමනයට රජු එළැඹියේ ය.

දහ තුන් වැනි සියවසේ විසූ දෙ වැනි ෆ්‍රෙඩ්රික් අධිරාජයා ද, පහළොස් වැනි සියවසේ විසූ ස්කොට්ලන්තයේ හතර වැනි ජේම්ස් රජු ද, දහසය වැනි සියවසේ ඉන්දියාවේ විසූ මෝගල් වංශික මහා අක්බාර් රජු ද සැම්මෙටිකොස් රජු අනුව යෙමින් පිරියෙසුම් කළ මුත්, ඒවා සාර්ථක වූ බවක් නො පෙනේ. එහෙත්, ඇරිස්ටෝටල්, ප්ලේටෝ හා එපික්‍යුරස් වැනි දාර්ශනිකයින් භාෂාව පිළිබඳ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට දැක් වූ උනන්දුව ඔවුන්ගේ ග්‍රන්ථවලින් පෙනේ.

භාෂාව වූ කලි මිනිසා විසින් ස්වකීය බුද්ධි බලය මෙහෙයවා ආයාසයෙන් නිපදවා ගන්නා ලද්දකැයි ඇතැමෙක් කී හ. භාෂාවකින් තොර ව ජීවත් වීමේ දුෂ්කරතාව අවබෝධ කර ගත් ආදි මිනිසා එක් රැස් ව, පොදු එකඟත්වය මත මහත් ආයාසයක් දරා භාෂාව පිළියෙල කර ගත්තේ ය යන ජේ.ජේ.රූසෝගේ මතය ද එවැන්නකි. මේ මතය ද නිර්මාණවාදී ගණයෙහි ලා නූතන වාග් විද්‍යාඥයෝ සලකති.

කෙසේ වෙතත්, දහ අට හා දහ නව වැනි සියවස්වල දී පැරණි ආගමික මතිභ්‍රමණයන්ගෙන් මිදෙමින් භාෂාව පිළිබඳ වාග්විද්‍යාත්මක අධ්‍යයන කටයුතු පුළුල් වූ බව පෙනේ. මේ සඳහා මූලික වූවෝ තරපොරවාලා වැනි නවක ව්‍යාකරණිකයෝ ය. පැරණි ව්‍යාකරණිකයන් භාෂාවේ සම්භවය සොයන්නට ගොස් නිකරුණේ කාලයත්, ශ්‍රමයත් කා දැමුවා විනා ඒ සම්බන්ධයෙන් ස්ථිර නිගමනයකට පවා එළැඹීමට අපොහාසත් වූ බවට මොවුහු චෝදනා කළ හ. මෙසේ භාෂාවේ අගමුල සෙවීම නිෂ්ඵල කටයුත්තක් බැවින් එය මුළුමනින් ම අතැර දා, භාෂා ඉතිහාසයේ මැද කොටස පමණක් ගෙන පර්යේෂණ පැවැත්වීම වඩා ප්‍රයෝජනවත් වනු ඇතැයි ඔවුහු විශ්වාස කළ හ. කිරිවත්තුඩුවේ ප්‍රඥාසාර හිමියෝ ද, භාෂාවෙහි අග මුල සෙවීම ඨපනීය ගණයෙහි ලා සලකති. නමුත්, මෑත භාගයේ පුළුල් වූ විද්‍යාත්මක තාක්ෂණික පර්යේෂණ සමඟ භාෂාවේ සම්භවය පිළිබඳ තරමක හෝ සතුටුදායක නිගමන කිහිපයකට එළැඹීමට නූතන වාග්විද්‍යාඥයන් සමත් ව ඇත. එහි ප්‍රතිඵලය වූයේ භාෂාව සම්බන්ධයෙන් මෙතෙක් පැවැති නිර්මාණවාදී අදහස් ඛණ්ඩනය වීම යි. ඒ වෙනුවට පරිණාමවාදී මත ඉදිරියට ආ හ. මෙසේ ඉදිරිපත් වූ පරිණාමවාද සලකා බැලූ මැක්ස් මුලර් පඬිවරයා ඒ සියල්ල කාණ්ඩ සතරකට බෙදා විග්‍රහ කළ හ.

01. Bow – Wow Theory (බව් - වව් න්‍යාය)
02. Ding – Dong Theory (ඩිං - ඩොං න්‍යාය)
03. Pooh – Pooh Theory (පුහ් - පුහ් න්‍යාය)
04. Yo – He – Ho Theory (යෝ - හේ - හෝ න්‍යාය)

තිරිසනුන්ගේ හඬ අනුකරණයෙන් මිනිසා භාෂාවට හුරු වූ බව ඉහත පළමු න්‍යායයෙන් පැහැදිලි කෙරේ. මේ වනාහි අසම්පූර්ණ නිගමනයකි. එහෙයින්, මෙම මතය පිළිගත හොත් භාෂාව කුරුළු කැදැල්ලෙන් ඔබ්බට නො යන බව මැක්ස්මුලර්ගේ අදහස යි. ස්වභාවික හා කෘත්‍රිම ලෝකයේ විවිධ ශබ්ද අනුකරණය කරන්නට යාමත්, ඒ ශබ්ද සමඟ අදහස් සංකලනය කරන්නට යාමත් නිසා භාෂාවේ ප්‍රභවය ඇති වූ බව දෙ වැනි ඩිං - ඩොං න්‍යායෙන් කියැවේ. එහෙත්, අකුණු පිපිරීම, වර්ෂාව ඇති වීම හා ද්‍රව්‍යය ගැටීම ආදියෙන් ඇති වන ශබ්ද අනුකරණයෙන් භාෂාවක් ඇති වේ ය යන්න සිතීම උගහට ය. කායික - මානසික වේදනාවන් කරණ කොට ගෙන මිනිස් මුවින් ඉබේ පිට වූ පුහ් - පුහ්, චිහ් - චිහ් වැනි ශබ්ද අනුකරණයෙන් බසෙහි හට ගැන්ම සිදු වූ බව තෙ වැනි න්‍යායෙන් විස්තර වේ. එහෙත්, ඒ.ඇස්.ඩයමන්ඩ්, මැක්ස්මුලර් ආදීහු සනාථ කළ නො හැකි මතයකැයි මෙය ඉවතලති. මනසට කිසිඳු ආකාරයක සම්බන්ධයක් නැති ඉබේ පිටවන ශබ්දවලින් භාෂාවක උත්පත්තිය සිදු විය නො හැකි හෙයිනි. අනෙක් අතට අඃ! ආහ්! උඃ! ඌයි! වැනි ශබ්දවලින් හැඟීම් විනා බුද්ධි ගෝචර අදහස් කිසිවක් පිට නො වන හෙයිනි. සිව්වැනි යෝ - හේ - හෝ න්‍යායයෙන් අර්ථවත් කෙරෙන්නේ සාමූහික ප්‍රයත්නයන්හි දී ඇති වන කායික වෙහෙස දුරු කර ගනු වස් මුවින් නැඟූ හේ - හෝ - යෝ වැනි ශබ්ද කරණ කොට ගෙන භාෂාවේ ප්‍රභවය සිදු වූ බව යි. එහෙත්, ශබ්ද දියුණු වූ තරමින් භාෂාවක් ඇති වේ ය යන්න පිළිගැනීම අපහසු ය. ශබ්ද සිය දහස් ගණනක් නිපදවූවත් ඉන් භාෂාවක් ඇති නො වන හෙයිනි. කෙසේ වෙතත්, මේ න්‍යායන් හතරට අනුගත ව නිපැයුණු ඇතැම් වචන භාෂාවේ දක්නට ලැබෙන හෙයින් ඒවා සම්පූර්ණයෙන් ම ඉවතලිය නො හැක. විශේෂයෙන් මැක්ස්මුලර් සිව්වැනි ව ඉදිරිපත් කළ නුවාරේගේ මතය අන් මතවලට වඩා සතුටුදායක ය. හුදෙකලා බවින් තොර සාමූහිකත්වයත්, අදහස් - ශබ්ද හා සංකේත අතර සම්බන්ධතාවයත් භාෂාවක ප්‍රභවයට අවශ්‍යය බව ඉන් අවධාරණය කෙරෙන හෙයිනි. එහෙත්, මේ න්‍යාය සතරින් ම උත්සාහ ගෙන ඇත්තේ ශබ්ද හා වචන සකස් වූ ආකාරය සෙවීමට ය. අදහස් නිපදවීම හා ඒවා ප්‍රකාශ කිරීම පිළිබඳ ස්ථාවරයක් එහි ගැබ් ව නැත. මේ නිසා භාෂාවේ ප්‍රභවය සම්බන්ධයෙන් නව්‍ය න්‍යාය දෙකක් ජෙස්චර් හා පේජට් විසින් ඉදිරිපත් කෙරිණ. ඒවා පිළිවෙලින්, අංග වික්ෂේප න්‍යාය හා මුඛ වික්ෂේප න්‍යාය වශයෙන් හඳුන්වනු ලැබේ. ස්වකීය හැඟීම් හා අදහස් අන්‍යයන්ට ප්‍රකාශ කරනු පිණිස ආදි ම මිනිසා භාවිතයට ගත් ආංගික අභිනයන් හා ඉඟි අංග වික්ෂේප න්‍යායට අයත් වේ. අභිමත හැඟීම් අංග චලනයට නැංවීමත් සමඟ නිරායාසයෙන් ම මුඛයෙන් නිර්ගත ශබ්ද අදහස් හා සංයුක්ත ව ක්‍රමයෙන් දියුණු වී භාෂාවේ ප්‍රභවය බව මින් කියැවේ. මුඛ වික්ෂේප න්‍යායෙහි දී, අදහස් අනුව ශබ්දෝත්පාදන ඉන්ද්‍රිය පන්තිය ක්‍රියා කිරීම හා ඒ අනුව කථාවේ ශබ්ද නිපදවූ බව දැක්වේ. මුල දී හස්ත වික්ෂේපයත්, මුඛ වික්ෂේපයත් නිතර ම එකවර සිදු වූවත්, කල් යාමේ දී මුඛ වික්ෂේපය පමණක් අදහස් ප්‍රකාශ කිරීමේ මාර්ගය බවට පත් ව, හස්ත වික්ෂේපය වෙනයම් කාර්යයන් වෙත යොමු වූ අන්දම ඉන් විස්තර කෙරේ. කෙසේ වෙතත්, මේ සියල්ල වාදාන්තරයන් තුළින් උත්පන්න මතාන්තර පමණි. යම් සත්‍යයක් ගැබ් ව ඇතත්, අංග සම්පූර්ණ බවක් එහි නැත. මේ නිසා ඔටෝ ජෙස්පර්සන් විසින් ඩාර්වින්ගේ ජීව විද්‍යාත්මක හා මානව විද්‍යාත්මක සත්‍යයන් ආශ්‍රයෙන් ඉදිරිපත් කළ නව මතයක් කෙරෙහි නූතන වාග් විද්‍යාඥයින්ගේ විශේෂ සැලකිල්ල යොමු ව තිබේ. ඔහුට අනුව භාෂාවෙ ප්‍රභවය ඇති වී තිබෙන්නේ මානව සමාජයේ මුල් යුගයේ සාමාජිකයන් තුළ වූ ලිංගික ආශයන් හා ස්නේහය කරණ කොට ගෙන ය. ඒ හුවමාරුව ගීතවත් ශබ්ද මාලාවන්ගෙන් යුක්ත වූ බව හේ විශ්වාස කරයි. ඒ ගීත කථා හෙවත් ලයාන්විත ශබ්ද මාලා, පසු ව පරිණාමය වෙමින් ලිහිල්, සරල කථා ව්‍යවහාරයට හැරුණු හැටි පෙන්වා දෙයි. එසේ ම, එය තිරිසනා හා මිනිසා අතර ඇති පාරම්පරික සම්බන්ධය ද ඉස්මතු කරන්නකි. පරිණාමවාදය පිළිගත් මානව විද්‍යාඥයන්ට අනුව මුල දී ස්වයං සිද්ධ බුද්ධිය හෙවත් ඉව සහ හැඟීම්වලින් පමණක් සමන්විත වූ මිනිසාගේ මොළයේ ක්‍රමික සංවර්ධනයත් සමඟ ස්වං සිද්ධ බුද්ධිය තර්කන බුද්ධිය බවටත්, හුදු හැඟීම් සමුදාය සිතිවිලි හා අදහස් බවටත් පරිවර්තනය වීමෙන් තිරිසන් සමාජයෙන් මිනිසා වෙන් ව ගොස් තිබේ. නමුත්, ගැටලුව ඇත්තේ මේ පරිණාමවාද පදනම් කර ගෙන වෙන් වෙන් වශයෙන් හැඩ ගැසුණු විවිධ ශබ්ද හා විවිධ අදහස් නිපදවීමේ ශක්ති එකට සම්බන්ධ කර භාෂාව සකස් කර ගත්තේ කෙසේ ද යන්න යි. එය විසඳාලීමට උපයුක්ත කොට ගත හැකි නිර්ණායක තුනක් ජෙස්පර්සන් ඉදිරිපත් කරයි. එනම්,

1. ළදරුවෙකු භාෂාව ලබා ගන්නා ක්‍රම පරීක්ෂා කිරීම.
2. අද ජීවත් වන නො දියුණු ගෝත්‍රවලට අයත් භාෂා පරීක්ෂා කිරීම.
3. දියුණු වූ භාෂාවන්ගේ ඉතිහාසය පරීක්ෂා කිරීම.

ආදී වශයෙනි. මේ ක්‍රම තුන වෙන් වෙන් වශයෙන් පරීක්ෂා කර ලබා ගන්නා නිගමන තුලනාත්මක ව සසඳා බැලීමෙන් භාෂාවේ ප්‍රභවය හා පරිණාමය පිළිබඳ බොහෝ ගැටලු නිරාකරණය කර ගත හැකි බව ජෙස්පර්සන්ගේ අදහස යි. එහෙත්, එම අදහස් ප්‍රංශයේ වෙන්ද්‍රේස් වැනි නූතන විචාරකයින්ගේ තියුණු විවේචනයට භාජනය වී තිබේ. භාෂාවේ සම්භවය සම්බන්ධයෙන් වැදගත් සාධක ඉහත ක්‍රම ත්‍රිත්ත්වයෙන් ම හෙළි නො වන්නේ ය යන්න වෙන්ද්‍රේස්ගේ මතය යි. භාෂාවේ ප්‍රභවය සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රකාශ කර ඇති මත සියල්ල ම විවේචනය කරමින් ඒ.ඇස්.ඩයමන්ඩ් විසින් රචිත "භාෂාවේ ප්‍රභවය හා ඉතිහාසය" (1959) යන ග්‍රන්ථය භාෂාවේ උපත සම්බන්ධයෙන් වන ගැටලු නිරාකරණය උදෙසා විශාල කැප කිරීමක් කරයි.  විශේෂයෙන් ජෙස්පර්සන්ගේ නිර්ණායක දැඩි විවේචනයට ලක් කරන ඩයමන්ඩ් භාෂාවේ වැඩීමත් සමඟ එහි වචන හැඩ ගැසෙන ක්‍රම දෙකක් පෙන්වා දෙයි. මුලින් තිබූ කෙටි වචන දීර්ඝ වීමත්, දීර්ඝ වචන කෙටි වීමත් එම ක්‍රම දෙක යි.



2 comments: