Nov 21, 2016

පාලි භාෂාව හා වාග්විද්‍යාව (හත්වැනි කොටස) ඉන්දු ආර්ය භාෂා ඉතිහාසය හා එහි බෙදීම්




ඉන්දු යුරෝපීය මූල භාෂා යුගය තුළ සංචාරක එඬේර ජීවිතයක් ගත කළ ආර්යයන්ගේ ඉන්දියාවට පැමිණීම පිළිබඳ ප්‍රවෘත්තිය ඉහත සඳහන් කරන ලදි. දැනට හෙළිදරව් කර ගෙන ඇති කරුණු අනුව මේ පැමිණීම ක්‍රි.පූ.15 වැනි සියවසේ දී හෝ ඊට ආසන්න කාලයේ දී සිද්ධ වන්නට ඇතැයි වාග්විද්‍යාඥයන්ගේ හා මානව විද්‍යාඥයන්ගේ අදහස යි. ඒ සඳහා ජනගහණය අධික වීම වැනි ස්වභාවික හේතු බලපාන්නට ඇති බවත්, පරම්පරාවෙන් පරම්පරාවට ජනපද විශාල කරමින් ක්‍රමානුකූල ව ඉන්දියාව තුළට කා වැදෙන්නට ඇති බවත් විශ්වාස කෙරේ. ඒ හැරුණු කොට ජාතියක් වශයෙන් සංවිධානාත්මක ව දිග්විජය කරමින් ප්‍රදේශ අල්ලා ගැනීමේ අපේක්ෂාවක් මොවුන් තුළ වූ බවට සාක්ෂි වෛදික සාහිත්‍යයෙන් පිළිබිඹු නො වේ.

කුභා (කාබුල්), කෘමු (කුරම්) හා ගෝමාතා (ගෝලේ) ආදී ගංඟා මිටියාවත් පසු කරමින් වයඹදිග ඛයිබර් වැනි කඳු කපොලු අතරින් ඉන්දියාවට සංක්‍රමණය වූ ආර්යයෝ පළමු කොට සින්ධු නදී නිම්නය ආශ්‍රිත සප්ත සින්ධු (වර්තමාන පංජාබය) ප්‍රදේශයේ පදිංචි වූ හ. ඔවුන් විවිධ උපභාෂා කථා කළ ගෝත්‍ර කිහිපයකින් සමන්විත විය. එසේ ම, දේව පූජා හා යඥ සඳහා යොදා ගත් විශේෂයෙන් සකස් කළ රසවත්, කලාත්මක භාෂාවක් ද ඔවුන් සතු වූයේ ය. එහි ආධාරයෙන් භක්ති ගීත හා සූක්ත ඇතුළත් කොට ප්‍රබන්ධිත ඍග් වේදය (වෛදික සාහිත්‍යය) පුරාතන ඉන්දු - ආර්ය සමාජය හා බැඳි තොරතුරු රාශියක් ඉදිරිපත් කරයි. නමුත්, සිනිති කුමාර් චැටර්ජි විසින් පෙන්වා දුන් පරිදි අවේස්තා ගාථා සාහිත්‍යයෙහි පොදු පුරාවෘත්තවලින් බඳනා ලද ගීත ඍග් වේදයෙහි දක්නා ලැබේ. මේ නිසා ඍග්වේදයෙහි සඳහන් වෛදික සූක්තවලින් සමහරක් ඉන්දියාවට පැමිණීමටත් පෙරාතු ව සිට ම ආර්යයන් විසින් භාවිත කළ බවත්, පංජාබයේ දී එය සංවර්ධනය කරමින් වැඩි සූක්ත ප්‍රමාණයක් ඍග් වේදයට ඇතුළත් කරන ලද බවත් පිළිගැනීම යුක්තියුක්ත ය.

මෙසේ ඇරැඹි ඍග් වේද ශිෂ්ටාචාරය ක්‍රමයෙන් දියුණු වෙමින් නැඟෙනහිර ගංඟා නදී මිටියාවත දක්වා පැතිර ගියේ ය. පෙෂවොර් හා රාවල්පිණ්ඩ් ආශ්‍රිත ගන්ධාර දේශයත්, සරස්වතී ගංඟා මිටියාවතේ පතියාලා, අම්බුලා හා කමල් යන ප්‍රදේශවලින් සමන්විත බ්‍රහ්මාවර්තයත් මේ ආර්යයන්ගේ ප්‍රධාන මධ්‍යස්ථාන දෙකක් බවට පත් ව සිටියේ ය. පූර්ව වෛදික ඇදහිලි හා විශ්වාස ක්‍රම නව මුහුණුවරක් යටතේ ඉන්දීය සභ්‍යත්වයක් වශයෙන් ශීඝ්‍ර පරිණතියකට පත් වූයේ මෙම නැගෙනහිර බ්‍රහ්මාවර්තයේ දී ය. විශේෂයෙන් අග්නි - ඉන්ද්‍ර ආදී වෛදික ඇදහිලි සඳහා නව පූජා ක්‍රම දියුණු වීම, බ්‍රාහ්මණයන් අතර පසු කලෙක ප්‍රචලිත වූ බිලි පූජාවන්ගේ ආරම්භය, පූජකාරාම හා දේවාල ගොඩනැඟීම වැනි සංස්කෘතික අභිවර්ධනයන් මෙකල සිදු විය. පශ්චාත් වෛදික සභ්‍යත්වයට හෙවත් බ්‍රාහ්මණ සංස්කෘතියට මූලික පදනම දැමුනේ මේ කාලවකවානුවේ දී ය.

මධ්‍ය ප්‍රදේශය නමින් හඳුන්වනු ලැබූ ගංඟා නදී මිටියාවතේ උත්තර භාගය ස්වකීය මාතෘභූමිය වශයෙන් වෙන් කර ගනිමින් ජාතියක් වශයෙන් සංවිධානාත්මක වූ ආර්යයෝ පූර්ව වෛදික යුගය තුළ පැවැති බහු දේව විශ්වාසයන් ඒකදේවවාදයක් දක්වා අස්ථිත්වයට පමුණුවාලමින්, බ්‍රහ්මමුඛ සංකල්පය පදනම් කොට ගත් නව සමාජ සංස්ථා පිහිටුවනු ලැබී ය. උසස් මානසික තත්ත්වයන් සහ සංස්කෘතික වටිනාකම් සහිත ව සාරවත් මුළු මහත් උත්තර භාරතයේ ම භෞමික ආධිපත්‍යය නතු කර ගැනීමට මොවුහු සමත් වූ හ.

කෙසේ වෙතත්, ආර්ය භාෂා කථා කළ පමණින් යමෙක් ආර්ය ගණයෙහි ලා සැලකුණු බවක් නො පෙනේ. යමෙකු ආර්යයෙකු යැයි සැලකීමට යොදා ගත් ප්‍රධාන ම නිර්ණායකය වූයේ ඔහුගේ ලබ්ධිය හෙවත් ඇදහිල්ල යි. වෛදික ආර්යයෝ උසස් සංස්කෘතියක් ඇත්තෝ වූ හ. එහෙයින්, ඔවුහු තමන් අනාර්යයන්ට වඩා ශ්‍රේෂ්ඨ බව කියා සිටියහ. ඒ හේතුවෙන් අනාර්යයන් සමඟ ගැටුම් පවා ඇති කර ගත්තේ යැයි වේදයෙහි දැක්වේ. මේ අනාර්යයෝ යනු ආර්යාගමනයට පෙර උතුරු ඉන්දියානු ප්‍රදේශවල පදිංචි ව දියුණු සභ්‍යත්වයක් ගොඩ නගා ගෙන සිටි ද්‍රවිඩයන් සහ ඕස්ට්‍රික් භාෂාව කථා කළ ඔස්ට්‍රේලියානු පවුලට අයත් කෝල් ජනයා ය. මොවුන් නැගෙනහිර හා ඊසාන දිග ඉන්දියානු ප්‍රදේශවල විශාල වශයෙන් පැතිර සිටියේ ය. ශුද්‍ර, දස්‍යු යන නම්වලින් ආර්යයෝ අනාර්යයන් හැඳින්වූ හ. දීර්ඝ කාලයක් යන තුරුත් අනාර්යයෝ ආර්යය සභ්‍යත්වයේ හෝ භාෂාවේ බලපෑම්වලට හසු නො වී ස්වාධීන ව සිටියෝ ය. මේ නිසා ඇදහිලි විශ්වාස ක්‍රමය මත ඇති වූ ඝට්ටනය ආර්ය - අනාර්ය ගැටුම්වලට මූලික ම හේතුවක් වන්නට ඇත. ආර්යයන් විසින් යටත් කර ගත් අනාර්යයෝ, ඉක්බිති වහලුන්, කුලීකරුවන්, දාසයින්, කම්කරුවන් හා ගොවීන් ලෙස සමාජයේ පහත් තැනක් ලබමින් ආර්යයන්ට බැල මෙහෙවර කළ හ.

මේ අතර ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශය මාතෘභූමිය කර ගනිමින් වෛදික ආර්ය සභ්‍යත්වය ශීඝ්‍රයෙන් වැඩෙද්දී ඊට අනුරූප ව හැඩ නො ගැසුණු, එහෙත් ආර්ය බස වැහැරූ වෛදික නො වන තවත් අවෛදික ආර්ය සමූහයකින් කොටසක් බටහිර දේශ සීමා ආශ්‍රිත ව විසී ය. මේ ප්‍රදේශවල අනාර්ය බලපෑම මඳ වූයෙන් භාෂාදියෙහි පවා ආර්ය ලක්ෂණ සම්පූර්ණයෙන් ම ආරක්ෂා විය. බටහිර දිග ඉන්දු - ආර්ය උපභාෂා, ඉරාණීය උපභාෂාවන් සමඟ මොනවට සැසඳෙන්නේ මේ කරුණ නිසා ය. කෙසේ වෙතත්, මොවුන්ගෙන් කොටසක් ගංඟා මිටියාවතේ පහළට ගමන් කරමින් නැගෙනහිර ඉන්දීය ප්‍රදේශවල ජනපද පිහිටුවා ගත් හ. පසු කලෙක මධ්‍ය ප්‍රදේශයේ සිටි වෛදික ආර්යයෝ ද ඔවුන් අනුගමනය කරමින් තවදුරටත් පෙරදිගට සංක්‍රමණය වූ බව පෙනේ. මේ ආර්ය පිරිස වෛදික ආර්යයන්ට වඩා ඇදහිලි - විශ්වාස - චාරිත්‍රවාරිත්‍රවලින් මතු නො ව, ගති ගුණ අතින් ද විශාල වෙනස්කම් සහිත වූ හ. ඔවුන්ගේ භාෂාව ද විශේෂ උපභාෂා ලක්ෂණවලින් ගහණ විය. මේ වෙනස්කම් කිහිපය පසු කාලීන ව තවතවත් දියුණු වෙමින්, දේශීය ඌරුවට හැඩ ගැසෙමින් අනාර්යය සංස්කෘතිය සමඟ ද මිශ්‍ර වූයේ ය. මේ නිසා වෛදික ආර්යයෝ අනාර්යයන් සමඟ පමණක් නො ව මේ අවෛදික ආර්ය කණ්ඩායම් සමඟ ද ගැටුම් ඇති කර ගත් හ.
වෛදික හා අවෛදික ආර්යයන් සම්බන්ධයෙන් හොඑර්න්ලේ නමැති වාග් විද්‍යාඥයා විසින් ඉදිරිපත් කරන්නේ මීට තරමක් වෙනස් මතයකි. ඔහුට අනුව ආර්යයන් ඉන්දියාවට පැමිණියේ කණ්ඩායම් දෙකක් වශයෙනි. පළමු ව පැමිණි කණ්ඩායම ගංඟා යමුනා නදී දෙක අතර පිහිටි සාරවත් මිටියාවත වූ මධ්‍ය ප්‍රදේශයහි (ආර්යාවර්තය) පදිංචි වූ හ. ඉන්දියාව තුළ වෛදික සභ්‍යත්වයේ ආරම්භකයෝ මොවුහු ය. අභ්‍යන්තර ආර්යයන් වශයෙන් හොඑර්න්ලේ මොවුන් ව හඳුන්වා දෙති. දෙ වනු ව පැමිණි ආර්ය කණ්ඩායම පළමු කණ්ඩායමට වඩා ඇදහිලි, විශ්වාස ක්‍රම හා භාෂා අතින් ද වෙනස් වූ හ. අභ්‍යන්තර ආර්යයෝ මධ්‍ය ප්‍රදේශය අල්ලා ගෙන සිටි හෙයින් මොවුහු උතුරු දෙසින් හැර මධ්‍ය ප්‍රදේශය අවට සියලු ප්‍රදේශවල ජනාවාස පිහිටුවා ගත් හ. හොඑර්න්ලේ මේ දෙවැනි ආර්ය කණ්ඩායම හඳුන්වා දුන්නේ බාහිර ආර්යයන් වශයෙනි. ආර්ය සභ්‍යත්වයෙහි මූල බීජ භාරතය තුළ මුල් වරට වැපුරුවෝ පළමු ව පැමිණි අභ්‍යන්තර ආර්යයන් වන හෙයින් ඔවුන්ට "වෛදික ආර්ය" නම ව්‍යවහාර විය. පසු ව පැමිණි බාහිර ආර්යයෝ වෛදික සංස්කෘතියෙන් වියුක්ත වූ හෙයින් ඔවුන් "අවෛදික ආර්ය" නම් විය. හොඑර්න්ලේට අනුව වෛදික - අවෛදික ආර්ය භේදය ඇති වූයේ මේ අනුව ය. ගියර්සන් හා චැටර්ජි ද, හොඑර්න්ලේගේ මේ බෙදීම අනුමත කරති. එහෙත්, ආර්යයන් ඉන්දියාවට පැමිණියේ කණ්ඩායම් දෙකක් වශයෙන් ය යන්න හා එකඟ නො වෙති. ඔවුන්ගේ ස්ථාවරය වූයේ කණ්ඩායම් හෝ ගෝත්‍ර වශයෙන් කීප වතාවකට  ආර්යයන් ඉන්දියාවට ඇතුළු වන්නට ඇති බව යි.

ක්‍රමානුකූල ව අභ්‍යන්තර ආර්යයන්ට බාහිර ආර්යයන්ගෙන් එල්ල වූ බලපෑම් වැඩි විය. ජනගහණය ප්‍රමාණයෙන් වැඩිවත් ම නව වාස භූමි සෙවීමට ඔවුන්ට සිදු විය. නමුත්, මධ්‍ය ප්‍රදේශය අවට සියලු දෙසින් බාහිර ආර්යයෝ වට කර ගෙන සිටියෝ ය. අභ්‍යන්තර ආර්යයන්ට තිබූ එක ම විකල්පය උතුරට පැන ගැනීම පමණි. ඒ අනුව එල්ල විය හැකි පරසතුරු උවදුරු වළකා ගෙන උතුරට සංක්‍රමණය වූ අභ්‍යන්තර ආර්යයන්ගෙන් පිරිසක් හිමාල අඩවියේ නේපාලයේ පටන් කාශ්මීරය දක්වා ඇති උස් තැනිතලාවල ජනපද පිහිටුවා ගත් හ. තවත් පිරිසක් බාහිර ආර්යයන් හා සටන් වදිමින් හා ඔවුන් පළවා හරිමින් දකුණට ව්‍යාප්ත වූයේ ය.

එහෙත්, දීර්ඝ කාල පරාසයකින් අනතුරු ව සතුරුකම් අමතක කර දමා ගැටුම් නිමා කරමින් කරමින් වෛදික ආර්ය -  අවෛදික ආර්ය - අනාර්ය සියලු ජන කණ්ඩායම් සාමූහික ව පෙළගැසෙන්නට විය. ගංඟා මිටියාවත එහි සන්ධිස්ථානය විය. මේ හේතුවෙන් එතෙක් ආර්ය සභ්‍යත්වය හා මුහු නො වෙමින් ස්වාධීන ව විසූ අනාර්යයන් වෙත ද ආර්ය ගති සිරිත් ආරෝපණය වන්නට විය. ආර්ය භාෂාව ද්‍රවිඩයන් අතර ද ප්‍රචලිත වී ගියේ ය. එසේ ම, අනාර්ය ද්‍රවිඩ භාෂාවල බලපෑම ආර්ය භාෂාව කෙරෙහි ද සැලකිය යුතු බලපෑමක් කළේ ය.

බටහිරින් බැහැර නො ගිය ආර්ය කණ්ඩායම්වල ආර්ය ලක්ෂණ ආරක්ෂා වූවත් තවදුරටත් නැගෙනහිරට සංක්‍රමණය ආර්ය කණ්ඩායම්වලට එසේ ස්ථාවර ව සිටීමට නො හැකි විය. විශේෂයෙන් රට අභ්‍යන්තරයට සේන්දු වීමේ දී අනාර්ය භාෂා සමඟ නිරන්තරයෙන් ගැටෙන්නට ආර්ය උපභාෂාවන්ට සිදු විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ආර්ය උපභාෂාවන් කෙරෙහි අනාර්ය බලපෑමත්, අනාර්ය භාෂා යටපත් කරමින් ආර්ය භාෂා ප්‍රචලිත වීමත් ගැන යට දක්වන ලදි. ස්වකීය මව් බස වෙනුවට ආර්ය බස වහරන්නට ගත් අනාර්යයෝ ආර්ය බස කටට හුරු කර ගැනීම සඳහා එහි ශබ්ද උච්චාරණයේ, වාග් මාලාවේ, පද සිද්ධියේ මෙන් ම වාක්‍ය නිර්මාණයේ ද නොයෙක් වෙනස්කම් රාශියක් ඇති කළ හ. මේ වූ කලි නො වැළැක්විය හැකි ස්වභාවික තත්ත්වයකි. එහි ප්‍රතිඵලය වූයේ ක්‍රි.පූ.1000 පමණ වන විට පංජාබයේ පටන් බිහාරය දක්වා මුළු උතුරු ඉන්දියා ව ම මුළුමනින් ම ආර්ය ප්‍රදේශයක් බවට හැරීම යි. මෙය "ආර්යාවර්තය" නමින් හඳුන්වනු ලබන අතර, එහි ආර්ය භාෂාවලට ස්ථිර තත්ත්වයක් ලැබුණේ ය. බ්‍රාහ්මණ සාහිත්‍යයට අනුව මේ කාලය වන විටත් සමහර ආර්ය කණ්ඩායම් සංචාරක එඬේර ජීවිත ගත කළ බවට සාධක අනාවරණය වෙයි. පංජාබයේ නැගෙනහිර කොටස්වලත්, බටහිර දෝආබ් ප්‍රදේශයේත් ජීවත් වූ ඍග්වේද ආර්යයෝ තවදුරටත් නැගෙනහිර දෙසට සංක්‍රමණය වෙමින් සිටියහ.

මුල දී ගෝත්‍ර ක්‍රමයට සරිලන ගණ තන්ත්‍ර පාලන ක්‍රම පැවැතියත්, පසු ව රාජාණ්ඩු පාලන ක්‍රමයන් දක්වා රාෂ්ට්‍ර පාලනය දියුණු කර ගැනීමට ආර්යයෝ සමත් වූ හ. කල් යත් යත් මධ්‍ය ප්‍රදේශයෙන් නැගෙනහිරටත්, නිරත දිගටත් ව්‍යාප්ත වෙමින් බරණැස හා මිථිලාව පාලන මධ්‍යස්ථාන බවට පත් කර ගත්තේ ය. ගංඟා මිටියාවතට පැමිණෙන විට අනාර්යයන් සමඟ මුසු වෙමින් භාෂා මෙන් ම ජීවන රටා ද මුළුමනින් ම වෙනස් ව පැවැතියේ ය. පඤ්චාල, කුරු, සූරසේන, වත්ස, මත්ස්‍ය, සාල්ව, කාසි, කෝසල හා විදේහ වැනි පොහොසත්, බලවත් රාජ්‍යය කිහිපයක් ද ගොඩනැගුණේ ය. විශේෂයෙන් කාසියත්, කෝසලයත්, විදේහයත් ආර්ය - වෛදික ආර්යය හා අනාර්ය යන තුන් කොට්ඨාසයට ම නිදහස් වාසය සහිත වූයේ ය.

මේ මිශ්‍රණයේ ප්‍රතිඵලය වූයේ නැගෙනහිර ගංඟා මිටියාවතේ භාෂා මිශ්‍ර ලක්ෂණ බහුල ව, වඩ වඩා ප්‍රාකෘත ලක්ෂණ දෙසට නැඹුරු වීම යි. කොටින් ම බටහිර සුරක්ෂා වූ ආර්ය භාෂා වටහා ගැනීමට නො හැකි තරම් නැගෙනහිර කෙළවරේ භාෂා විශාල විපර්යාසයන්ට ලක් ව තිබුණේ ය. මධ්‍ය කොටසේ භාෂා පෙරදිගටත්, බටහිරටත් පොදු ලක්ෂණවලින් යුක්ත විය. පසු ව, මේ භාෂා කලාප තුන අතරෙහි ම සම්බන්ධීකරණය ඇති කිරීමට සමත් සම්මත භාෂාව බවට පත් වූයේ බ්‍රාහ්මණ සාහිත්‍යය ලියා ඇති භාෂාව යි. එනම්, බ්‍රාහ්මණ හෙවත් වෛදික සංස්කෘතය යි. ක්‍රි.පූ.1000 600 ත් අතර කාලය තුළ උතුරු ඉන්දියාවේ සාහිත්යික භාෂාව වශයෙන් ප්‍රකට වූ මෙම වෛදික සංස්කෘතය භාෂා ලක්ෂණ අතින් පමණක් නො ව, ස්වරූපයෙන් හා අදහස්වලින් ද බටහිර දේශ සීමාවේ පඤ්චාල - කුරු භාෂාවන්ට වැඩි සමීපත්වයක් දක්වයි. එසේ ම, එය ඍග් වේද භාෂාව හා සසඳන විට සැලකිය යුතු වෙනස්කම් රාශියක් ද යුක්ත වූ බැව් පෙනේ. ආර්ය ව්‍යාප්තියේ ස්වරූපය සලකන විට එය විසඳා ගැනීමට තරම් අපහසු ගැඹුරු ප්‍රශ්නයකැයි නො පෙනේ. වෛදික ආර්යයෝ මුල දී ඍග් වේදයේ භාෂාවට සමාන පැරණි උපභාෂාවකට උරුමකම් කියූ හ. එහෙත්, නැගෙනහිරට ගමන් කිරීමේ දී එම භාෂාව නොයෙක් විපර්යාසයන්ට ලක්විය. ඊට සාපේක්ෂ ව සාහිත්යික භාෂාව වූ ඍග් වේද භාෂාව ද වෙනස් වෙමින් බ්‍රාහ්මණ සංස්කෘත හෙවත් වෛදික සංස්කෘතය නමින් වෙන් කොට හඳුනා ගත හැකි යුගකාරක ලක්ෂණ පෙන්නුම් කරන්නට විය. බ්‍රාහ්මණ සංස්කෘත යුගය උදා වන විට මුල් යුගයේ වහරිත ඍග් වේද භාෂාව බොහෝ දුර පැමිණ සිටියේ ය. මුළු මහත් උතුරු ඉන්දියාව ම එක ම ආර්යාවර්තයක් වූව ද, එම පරිසමාප්තිය තුළ පවා නැගෙනහිර කොටසේ ආර්යයන්ට බටහිර කොටසේ ආර්යයන්ගේ බස තේරුම් ගැනීමට නො හැකි වූයේ එහෙයිනි. බටහිර කොටසේ මූලික ඉන්දු ආර්ය ලක්ෂණ සුරැකි හෙයිනි. කෙසේ වෙතත්, බුද්ධ කාලයට සියවස් හතරකට පමණ පෙරාතු යුගය වන විට උත්තර භාරතය තුළ විද්‍යමාන වූයේ පොදු බවටත්, සාමාන්‍යය බවටත් පත් "ආර්ය" නමින් හැඳින්වූ එක ම සභ්‍යත්වයකි; භාෂාවකි.

ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තියට පෙර වසර 3000ක් හෝ 3500ක් හෝ බාගවිට ඊට වැඩි තරම් කාලයක් ඈත අතීයට දිව යන ආර්ය භාෂා ඉතිහාසය ඉන්දු - යුරෝපීය, ඉන්දු - ඉරාණීය හා ඉන්දු - ආර්ය වශයෙන් අනුක්‍රමික ව වර්ධනය වෙමින් ආයේ ය. මෙයින් අවසාන යුගය වන ඉන්දු - ආර්ය භාෂා යුගය ආරම්භ වන්නේ හොඳින් වර්ධනය වූ සාහිත්යික භාෂා පන්තියක් වශයෙනි. වෛදික සාහිත්‍යයේ පටන් කොට මේ දක්වා නො කඩවා වර්ධනය වෙමින් ආ ලිපිබද්ධ සටහන් මගින් ඔප්පු කළ හැකි වෙනයම් භාෂාවක්, භාෂා පවුලක් හෝ භාෂා පන්තියක් වාග් විද්‍යා ඉතිහාසය තුළ හමු නො වේ. එනයින් බලන විට මේ භාෂා පවුලට අයත් භාෂා සියල්ල ම පාහේ වාග්විද්‍යනුකූල පර්යේෂණයන්ට භාජනය වී තිබීම ගැන විමතියක් නැත. ඉන්දු - ආර්ය භාෂා පවුල පිළිබඳ යුගකරණ ක්‍රියාවලිය තුළ නිශ්චිත කාල පරිච්ඡේද බෙදා දැක්වීම සම්බන්ධයෙන් ස්ථිර නිගමනයක් ඉදිරිපත් ව නැත. භාෂාවක ඇති වන විපර්යාසයන්හි සංකීර්ණත්වය පිළිබඳ සැලකීමේ දී මේ මේ වෙනස මෙකල ඇති වූයේ යැයි නිශ්චය කොට කිව නො හැකි හෙයිනි. බාගවිට ඇතිවන විපර්යාසයක් ස්ථිර තත්ත්වයට පත් ව භාෂාව තුළ මුල් බැස ගැනීම සඳහා සියවස් ගණනක් ගත විය හැකි ය. එසේ ම වෙනස්කම් සියල්ල එක ම වකවානුවක දී සිදු වේ යැයි සිතීමත් උගහට ය. සමාජ විපර්යාසය හා භාෂාන්තර ඝට්ටන වැනි බලවත් හේතූන් මත එක් කාලසීමාවක් තුළ සැලකිය යුතු විපර්යාස කීපයක් මුත් ඇති විය හැක. කෙසේ වෙතත්, මේ ආදී වශයෙන් කැපී පෙනෙන විපර්යාසයන් හෙවත් ශබ්ද තත්ත්ව, රූප තත්ත්ව, වාක්‍ය රීති, වාග් මාලාව හා අර්ථ විචාරය වැනි භාෂාංගවල ඇති වූ වෙනස්කම් සලකා ගෙන භාෂා තත්ත්ව විද්‍යාඥයෝ ඉන්දු - ආර්ය භාෂා ඉතිහාසය සම්බන්ධයෙන් මෙබඳු යුගකරණයක් ඉදිරිපත් කරති.

01. ප්‍රාථමික ප්‍රාකෘත යුගය හෙවත් පුරාතන ඉන්දු - ආර්ය යුගය (ක්‍රි.පූ.1500 සිට ක්‍රි.පූ.600 දක්වා කාල වකවානුව මීට අයත් ය.)
02. ද්විතීය ප්‍රාකෘත යුගය හෙවත් මධ්‍යතන ඉන්දු - ආර්ය යුගය (ක්‍රි.පූ.600 සිට ක්‍රි.ව.1000 දක්වා කල වකවානුව මීට අයත් ය.)
03. තෘතීය ප්‍රාකෘත යුගය හෙවත් නූතන ඉන්දු ආර්ය යුගය (ක්‍රි.ව.1000 පමණ සිට මේ දක්වා කාල පරාසය යි)

පුරාතන ඉන්දු ආර්ය යුගය

මෙම භාෂා යුගය සම්බන්ධයෙන් මේ දක්වා ඉදිරිපත් ව ඇති සියලු මතවාද පරීක්ෂා කර බලා පහත පරිදි භාෂා කාණ්ඩ දෙකක් වාග් විද්‍යාඥයන් විසින් හඳුනා ගනු ලැබේ. එනම්,

01. කථා ව්‍යවහාරයෙහි පැවැති භාෂා හා
02. සම්මත භාෂා හෙවත් සාහිත්යික භාෂා

යනුවෙනි. මින් කථා ව්‍යවහාරයෙහි පැවැති උපභාෂා සියල්ල භූගෝලීය ශාස්ත්‍රීය හා භාෂා තත්ත්වමය සාධක පදනම් කර ගෙන පන්ති පහකට බෙදනු ලැබේ.

01. උදීච්‍ය (උතුරු)
02. ප්‍රතීච්‍ය (බටහිර)
03. දාක්ෂිණාත්‍ය (දකුණු)
04. මධ්‍යදේශීය ( මැද)
05. ප්‍රාච්‍ය (නැගෙනහිර)

එහෙත්, චැටර්ජි ඇතුළු ඇතැම් විද්වත්හු කොටස් පහක් වෙනුවට, උදීච්‍ය - මධ්‍යදේශීය හා ප්‍රාච්‍ය යන කොටස් තුන පමණක් දක්වති. කෙසේ වෙතත්, කථා ව්‍යවහාරයේ පැවැති මේ උපභාෂා කිසිවක් අද විද්‍යමාන නො වේ. ඉතිරි ව ඇත්තේ සාහිත්යික භාෂා පමණි. පුරාතන ඉන්දු - ආර්ය සාහිත්‍යයට මූලාරම්භය සැපැයූයේ ඉන්දු - ඉරානීය ආගමික සාහිත්‍යය යි. එම ලක්ෂණ කැටි කොට ගෙන සකස් වූ සාහිත්යික භාෂාව පුරාතන ඉන්දු ආර්ය යුගයට අයත් වේ. මෙම සාහිත්යික භාෂාවේ වැඩීම සලකා බලා පහළ වූ විශේෂ භාෂා ලක්ෂණ අනුව මූලික අවස්ථා තුනක් හඳුනා ගැනේ.

01. වෛදික භාෂා අවස්ථාව
02. බ්‍රාහ්මණික භාෂා අවස්ථාව හා
03. සංස්කෘතය හෙවත් ලෞකික සංස්කෘත භාෂා අවස්ථාව

යනුවෙනි. නමුත්, මින් පුරාතන ඉන්දු - ආර්ය යුගයට අයත් වන්නේ වෛදික භාෂාවත්, බ්‍රාහ්මණික භාෂාවත් පමණි. ලෞකික සංස්කෘතය මධ්‍යතන යුගයට අයත් වේ.

මධ්‍යතන ඉන්දු - ආර්ය යුගය

වෛදික හා බ්‍රාහ්මණික භාෂා හුදෙක් ආගමික සාහිත්‍යයට සීමා වෙමින් හුදෙක් උගතුන් අතර පමණක් ව්‍යවහාර වූ ඒවා විය. එබැවින් ඒවායෙහි වෙනස්කම් සිදු වීමට තිබූ අවකාශ ඉතා අල්ප විය. එහෙත්, සාහිත්‍යයක් වශයෙන් පරිණතියට නො පත්, ව්‍යවහාරයට පමණක් සීමා වී තිබූ භාෂා (ප්‍රාථමික ප්‍රාකෘත) ක්‍රමයෙන් දියුණු වෙමින් ආයේ ය. ක්‍රි.පූ.හය වැනි සියවස තරම් කාලය වන විට මේ ප්‍රාකෘත භාෂාවන්ගේ ස්වරූපය වෛදික හා බ්‍රාහ්මණික භාෂා ස්වරූපයට ඉඳුරා ම වෙනස් විය. ඒ වෙනස කෙතරම් ද යත් වෙනම ම භාෂා යුගයක් වශයෙන් වෙන් කොට හඳුනා ගත හැකි ලක්ෂණවලින් එය සමන්විත විය. පුරාතන ඉන්දු - ආර්ය යුගයේ භාෂා ලක්ෂණවලින් වෙනස් වන මේ යුගය මධ්‍යතන ඉන්දු - ආර්ය භාෂා යුගය වශයෙන් හඳුනා ගැනෙයි. ප්‍රධාන වශයෙන් බුද්ධාගමේත්, ජෛනාගමේත් පහළ වීම කරණ කොට ගෙන ව්‍යවහාරයට පමණක් සීමා වී පැවැති ප්‍රාකෘත භාෂා කීපයක් සාහිත්යික තත්ත්වයට පත් වීම විශේෂයෙන් කැපී පෙනෙයි. මාගධිය හා අර්ධමාගධිය ඒ අතර ප්‍රමුඛ වෙයි. මේ හේතුවෙන් උසස් කුලවතුනට පමණක් සීමා වූ සාහිත්යික ලෞකික සංස්කෘතයට එල්ල වූයේ බලවත් පහරකි. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ධර්ම දේශනා මාධ්‍යය වශයෙන් මාගධිය තෝරා ගත් බවත්, ජෛන මහාවීරතුමා අර්ධ මාගධිය තෝරා ගත් බවත් උගතුන්ගේ සාමාන්‍යය පිළිගැනීම යි. ඒ අනුව ලෞකික සංස්කෘතයත්, ප්‍රාකෘත භාෂා දෙකක් වූ මාගධියත්, අර්ධ මාගධියත් සාහිත්යික භාෂා වශයෙන් මෙකල රජයන්නට විය. මධ්‍යතන ඉන්දු - ආර්ය භාෂා යුගයේ ආරම්භක අවස්ථාව ලෙස සැලකෙන්නේ ඉහත කී ප්‍රාකෘත භාෂා දෙක සාහිත්යික භාෂා බවට පරිවර්තනය වීම යි. මුල් අවදිය තුළ මේ ප්‍රාකෘත ද්වයත්, ලෞකික සංස්කෘතයත් අතර පැවැතියේ ඉතා තියුණු තරඟයකි. විශේෂයෙන් බුද්ධාගමත්, ජෛනාගමත් කුලවාදී බ්‍රාහ්මණ ක්‍රමයට විරුද්ධ ව පැනනැඟුණු ශ්‍රමණ සංස්ථා විය. ඒවායින් බිහි කළ දර්ශනය මුළු මහත් උත්තර භාරතය පුරා ම ශිඝ්‍රයෙන් පැතිරෙන්නට විය. එහි ප්‍රතිඵලය ලෙස ලෞකික සංස්කෘතය ඉතා නො වැදගත් තත්ත්වයකට පත් වූ බවට අනුමාන කෙරේ. ක්‍රි.පූ. තුන් වැනි සියවසේ අශෝක අධිරාජ සමය වන විට සංස්කෘත භාෂාව මුළුමනින් ම පාහේ නො සලකා හැර තිබෙන බව පෙනෙන්නට තිබේ. අශෝකගේ සෙල්ලිපි සඳහා භාවිත වූයේ දේශීය ප්‍රාකෘත උපභාෂා පමණි. රාජ්‍ය භාෂාව ද ඒ අනුව හැඩ ගැසිණ. ලෞකික සංස්කෘතයේ යළි නැඟී ඒම ඇරැඹෙන්නේ මෞර්ය යුගයේ පරිහානියත් සමඟ යි. ඒ ක්‍රි.ව. දෙවැනි සියවස්වල දී පමණ ය. එතැන් පටන් මධ්‍යතන ඉන්දු - ආර්ය යුගයේ අවසාන දක්වා ම ලෞකික සංස්කෘතය උගතුන්ගේ භාෂාවක් වශයෙන් ප්‍රාකෘතය සමඟ ව්‍යවහාරයට පැමිණි බව පෙනේ. ඒ කෙසේ වෙතත්, මාගධී විශේෂයන් ලෙස ම සැලකෙන පාලියත්, අර්ධ මාගධියත් සාහිත්යික භාෂා බවට පෙරැළී සියවස් කීපයක් ගෙවුණු තැන සෙසු ප්‍රාකෘත සේ සැලකෙන පෛශාචියත්, ශෞරසේනියත්, මහාරාෂ්ට්‍රියත් මෙන් ම, යුගයේ අවසාන භාගයේ ප්‍රචලිත ව ගිය අපභ්‍රංශයත්, සාහිත්‍යය බිහි කිරිමට සමත් වීම නිසා උත්තර භාරතය තුළ ප්‍රාකෘතයට හිමි වූ තත්ත්වය අඩු නො වූ බවට ද නිගමනය කෙරේ.

නූතන ඉන්දු - ආර්ය යුගය

මධ්‍යතන ඉන්දු - ආර්ය යුගයේ ආරම්භයේ පටන් අවසානය දක්වා ම ඉන්දියාව නොයෙක් අභ්‍යන්තර හා බාහිර බලපෑම්වලට ලක්වූවත් ඒ කිසිවක් නව භාෂා යුගයක් උදා කිරීමට තරම් බලවත් නො වූ හ. එහෙයින්, සංස්කෘත හා පාලි ඇතුළු සෙසු ප්‍රාකෘත භාෂාවන් සුදීප්තිමත් ව පැවැතුණු මෙකල අන් කවර කලෙක හෝ නුවූ විරූ තරම් භාෂාමය විප්ලවයක් ඇති කරලීමට සමත් විය. මේ තත්ත්වයේ වෙනසක් ඇති වන්නේ ක්‍රි.ව.1000 දී පමණ ය. ඒ තුර්කිවරුන් ප්‍රධාන මහමදික බලපෑම ඉන්දියාවට දැනෙන්නට පටන් ගැනීමත් සමඟ ය. සියවස් ගණනාවක් මහත් පරිශ්‍රමයෙන් ගොඩ නගා ගනු ලැබූ ආර්ය සභ්‍යත්වය ඉස්ලාම්කරණයට නතු කිරීමට මොවුහු උත්සාහ ගත් හ. භාෂා සම්බන්ධයෙන් ද ඒ බලපෑම තදින් බලපෑවේ ය. දේශීය අපභ්‍රංශය හරහා ප්‍රාකෘත භාෂා බොහොමයක් නූතන ඉන්දු - ආර්ය භාෂා බවට පරිවර්තනය වූයේ ය. සංස්කෘතය ද මුළුමනින් ම වාගේ මළ භාෂාවක් බවට පත් විය. එහෙත්, මානව ශාස්ත්‍ර ක්ෂේත්‍රයෙහි ලා අන් හැම භාෂාවකට ම වඩා ප්‍රමුඛ වූයේ සංස්කෘතය යි. සංස්කෘත භාෂා ඤාණයෙන් තොර පාණ්ඩිත්‍යයක් නො වී ය. නූගත් පොදු අතර මළ බසක් වුවත්, උගතුනට එය ශාස්ත්‍ර නමැති සාගරයෙහි උල්පත බඳු විය. සාමාන්‍යය ජනයා විසින් සංස්කෘතය අතීත ශ්‍රී විභූතියේ ආශිර්වාදයක් හා සංකේතයක් බවට පත් කර ගත් අතර, දෛනික ජීවිතයේ උවමනාවන් පිරිමසා ගැනීමට කථා ව්‍යවහාරය ම යොදා ගැනිණ.

මේ අතර මාගධී අපභ්‍රංශ භාෂාව බෙංගාලි භාෂාවට හැරීමෙන් වංග පද්‍ය සාහිත්‍යය බිහි විය. ඒ අනුව දේශීය ව්‍යවහාර භාෂා නූතන යුගයේ ආරම්භයත් සමඟින් ග්‍රන්ථකරණය සඳහා යොමු වූ බව පිළිගැනීම සාධාරණ ය. එහෙත්, දහවැනි සියවසින් පසුත්, ජීව භාෂාවක් වශයෙන් දේශීය අපභ්‍රංශ බොහොමයක් භාවිත වූ බවට සාධක තිබේ. පහළොස්වන සියවසේ අග භාගයේ දී පමණ ලියැවුණු "ප්‍රාකෘත පෛංගලය" ඊට හොඳ නිදර්ශනයකි.

තුර්කීන්ට පෙර අරාබීන් ඇතුළු මහමදික ආක්‍රමණ ඉන්දියාවට එල්ල වූවත්, ඒවායින් ආර්ය සභ්‍යත්වය බලවත් විපර්යාසයන්ට ලක් වීමට තරම් බලපෑමක් එල්ල වූ බව නො පෙනේ. නමුත්, ඉස්ලාමීය සංස්කෘතිය ආර්ය - ඉන්දු සභ්‍යත්වය මත කරපිට බලහත්කාරයෙන් පැටවීමට තුර්කීහු උත්සාහ කළ හ. ඒ සඳහා දැඩි ඉස්ලාමීය නීති රීති හා ක්‍රමවේද ද ක්‍රියාත්මක කළ හ. නමුත්, මෙහි දී තුර්කීන් කිසි සේත් අපේක්ෂා නො කළ අන්දමේ ප්‍රතිඵල රාශියක් ද උදා විය. මුස්ලිම්වරු ස්වකීය පොදු සතුරා වශයෙන් හඳුනා ගත් ඉන්දීයයෝ ඔවුනොවුන් අතර තිබූ අමනාපකම් සියල්ල බැහැර කොට එක්සත් ජාතියක් වශයෙන් සන්නද්ධ වූවෝ ය. මුස්ලිම්වරු අතින් සිය ආගමත්, සභ්‍යත්වයත්, සංස්කෘතියත් විනාශ වනු දැකීමට ඔවුහු අකමැති වූවෝ ය. මේ නිසා තම පැරණි සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමටත්, ඊට යළි ප්‍රාණ වායුව එක් කිරීමටත් වෙසෙසා යුහුසුළු වූ හ. ඒ සඳහා මාධ්‍ය බවට පත් කර ගත්තේ සාමාන්‍යය පොදු ජන ව්‍යවහාරය යි. උගත් හින්දු පූජකවරු රට පුරා යමින් දේශීය භාෂාවෙන් හින්දු ධර්මය ප්‍රචාරය කරන්නට වූ හ. බ්‍රාහ්මණ පණ්ඩිතවරු පරණි වීර කාව්‍ය හා පුරාණාදිය උගන්වන්ටත්, ඒවා දේශීය භාෂාවන්ට පරිවර්තනය කොට පොදු ජනයාට කියා දෙන්නටත් වන. රාමායණය, මහාභාරතය වැනි පරණි වීර කාව්‍යය මූලාශ්‍ර කර ගත් නව සාහිත්‍යය කෘති රැසක් ද බිහි විය. මේ භාෂා ශාස්ත්‍ර ප්‍රබෝධය මහමදික බලපෑමට එරෙහි ව නැඟී සිටීමට ශක්තිය ද, ධෛර්යය ද සපයාලූයේ ය. අසිපත් බලය යොදවනු විනා මේ නැඟී ආ පුනරුදයට මුහුණ දීමට තරම් ශක්තියක් මහමදිකයන්ට නො වී ය. එහෙයින්, ඔවුහු ද ආර්ය භාෂාවන් හා මුහු වෙමින් ආගමික හා සාහිත්යික කාර්යයන්හි නිමග්න වූ හ. ව්‍යවහාරයේ පැවැති හින්දි බස පාලන භාෂාව වශයෙන් යොදා ගත් හ. 17, 18 සියවස්වල බිහි වූ "උර්දු" බස මහමදිකයන් ආර්ය භාෂා හා මුහු වීමේ ප්‍රතිඵලයකි. "මුස්ලිම් හින්දි" හෙවත් "හින්දුස්ථානි" නමින් ද හැඳින්වෙන්නේ මේ උර්දු බස යි. "කඳවුරු" යන්න උර්දු යන්නෙහි අර්ථය යි. කඳවුරුවල වාසය කළ මුස්ලිම් ප්‍රධානීන් හා සෙබළුන් විසින් භාවිත නිසා ඊට ඒ නම යෙදිණ. මහමදිකයන්ගෙන් පසු ව ඉන්දු - ආර්ය භාෂා කෙරෙහි ඍජු හා දැඩි බලපෑම් ඇති කළෝ බටහිර යුරෝපා ජාතීහු ය. විශේෂයෙන් ඉංගිරීසි ආධිපත්‍යය යටතේ ය.

නූතන ඉන්දු - ආර්ය භාෂා සියල්ල අභ්‍යන්තර - බාහිර හා මධ්‍ය නූතන වශයෙන් ප්‍රධාන කොටස් තුනකට බෙදා දක්වන්නේ ය. හිමාලයේ පහාඩි හෙවත් පහාරී හා නේපාලි භාෂාත්, බටහිරට අයත් හින්දි - රාජස්ථානි - ගුජරාටි - පංජාබ් හා කැලෑ භාෂාත් අභ්‍යන්තර ආර්ය භාෂා ගණයට වැටේ. බාහිර ආර්ය භාෂා ගණයට ලහ්න්දා, සින්ධි, මරාඨි, සිංහල, බිහාරි, ඔරියා, බෙංගාලි හා ඇසෑම් යන භාෂා අයත් වේ. නැගෙනහිර හින්දි භාෂාව මධ්‍ය නූතන ගණයෙහි ලා සැලකේ.

මේ හැරුණු කොට ඩාර්ඩික් නම් ආර්ය භාෂා කීපයක් ද, ඉරානීය ගණයට අයත් තවත් ආර්ය භාෂා කීපයක් ද ඉන්දියාවේ ව්‍යවහාර කරන නමුත්, ඒවා ඉන්දු - ආර්ය ගණයට නො වැටේ. මේ හැර අනාර්ය භාෂා සියල්ල ඔස්ට්‍රික්, චීන - තිබ්බතීය හා ද්‍රවිඩ යන භාෂා පවුල් තුනකට බෙදා සාකච්ඡා කෙරේ.


3 comments: