Aug 8, 2016

බුද්ධ දේශනාව විකෘති කොට බුද්ධත්වයට නිගා දුන් “හෝ ගානා පොකුණ” ළමා චිත්‍රපටය


හෝ ගානා පොකුණ අපගේ දෝෂ දර්ශනයට ලක්වන්නේ ඉහත අපහාසාත්මක දෙබස් භාවිතය නිසා ම නො වේ. උතුම් බුද්ධභාෂිතය සම්බන්ධයෙන් කර තිබෙන බලවත් විකෘතිය ද හේතුවෙනි. බුදු හාමුදුරුවෝ කිව්වලු.... බුදු හාමුදුරුවොත් කිව්වලු.... ආදි වශයෙන් ජනවහරේවත් නැති කාරණයක් ඇත්තක් කොට හඟවා ශ්‍රැතිසූචනාර්ථයෙන් කියාපාන්නේ සූත්‍රාන්ත පිටකයෙහි සංයුත්තනිකාය මහාවග්ගයේ සච්චසංයුත්තයේ සිංසපාවග්ගයේ එන සිංසපා සූත්‍රයත්, සච්චසංයුත්තයේ ම අභිසමය වග්ගයේ නඛසිඛා සූත්‍රයත් එකට ඈඳා කරුණු වශයෙන් මුල-මැද-අග පටලවා ගෙන ය. මෙසේ උතුම් බුද්ධ භාෂිතයේ අර්ථය ද ව්‍යඤ්ජනය ද නසාලමින් බුදු දහම සම්බන්ධයෙන් සාවද්‍ය අර්ථකථන සපයන හෝ ගානා පොකුණ තම නිෂ්පාදන කාර්යයෙහි බොළඳ බව හා නිපැයුම්කරුවන්ගේ ලාමක අවබෝධය මොනොවට කියාපායි.  SEE PDF






බුදුන්ට නිගා දී බුද්ධත්වයත්, මහාප්‍රඥාවත් අවතක්සේරුවට දමා බෞද්ධ දරුවන් මෝඩයන් සේ හංවඩු ගසන
හෝ ගානා පොකුණ ළමා චිත්‍රපටය

සැ.යු. මෙම ලිපිය හුදෙක් උක්ත චිත්‍රපටය පිළිබඳ ඉදිරිපත් කරනු ලබන සිනමා විචාරයක් නො වේ. මේ වන විට සමාජයේ ආන්දෝලනයට තුඩු දී ඇති අදාළ චිත්‍රපටයේ ඇතුළත් එක්තරා දෙබස් කාණ්ඩයක් සම්බන්ධයෙන් වූ ධර්මමය විග්‍රහයකි.

සම්පාදනය -
දිලාන් පංචන ජයසිංහ
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

උධෘත දෙබස් කාණ්ඩය

පියා : උඹ මොනව ද දන්නේ හිච්චියේ?

මව : අපි දන්නේ නැති දේ කොච්චර නම් තියෙනවද? එක දවසක් බුදුන් වහන්සේගෙන් කවුද මේ බමුණෙක්ද කොහේද ඇහුව්වලු, උන්වහන්සේ දන්නැත්තේ මොනවද කියලා. උන්වහන්සේ බිමට නැමිලා නියපිටට පස් ඩිංගිත්තක් අරං කිව්වලු මම මේ ලෝකේ ගැන දන්නේ මේං මෙච්චරයි කියලා...

පියා : හැබැයි අලුත් ටීචර් නං දන්නෙ නැති කෙංගෙඩියක් නෑ මයෙ හිතේ... අද හවස කඩමංඩියෙදි දාං අතක් සෙල්ලම් කරල අපේ ග්‍රාමසේවකයවත් පැරැද්දුවනේ...

පුතා : (පසුදා පාසල් විදුහල්පතිතුමා, ගුරුතුමා හා ළමුන් ඉදිරියට පැමිණ)

මම අද මෙතනට පැමිණියේ මම දන්නේ නැති දේවල් ගැන කතා කරන්න. ඇත්තට ම කිව්වොත් මම දන්නේ නැති දේවල් ගොඩක් තියෙනවා. ඒවා මොනවද කියලා කියන්නවත් මම දන්නේ නැහැ. බුදු හාමුදුරුවෝ කිව්වලු... බුදුහාමුදුරුවොත් කියලා තියෙනවලු, උන්වහන්සේ දන්නෙ හරි ම ඇබිත්ත යි කියලා. ඊයෙ හවස අපේ අම්මා කිව්වෙ. ඉතිං මම වගේ පොඩි ළමයෙක් මොනවත් ම දන්නෙ නැති වුණත් කමක් නෑ...

(කතාව අවසානයේ දී විදුහල්පතිතුමාත්, ගුරුතුමියත් අත්පොළසන් මැද කතාවට ප්‍රශංසා කරති.)

උක්ත සංවාදය හරහා හෝ ගානා පොකුණ 
සමාජයට දානය කළ පණිවිඩය :

ඉහත දෙබස් සංවාදය හරහා චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂකයා වෙතින් බලාපොරොත්තුවන ආකල්පමය වෙනස පහත පරිදි ය.

01) ලෝකය සම්බන්ධයෙන් බුදුන් වහන්සේ තුළ පවතිනුයේ ඉතා ස්වල්ප වූ අවබෝධයක් බව

02) ග්‍රාමසේවකයා දාං ක්‍රීඩාවෙන් පරදවාලීමට සමත් අලුත් ටීචර් බුදුන් වහන්සේට වඩා ලෝකය පිළිබඳ අවබෝධයක් හා දැනුමක් ඇති එකියක් බව

03) ලොව්තුරා සම්මා සම්බුද්ධත්වය දාං ක්‍රීඩාවෙන් ලබන ජයග්‍රහණය තරම්වත් නො වටිනා බව

04) බුදුරජාණන් වහන්සේ ශාස්තෘත්වයෙන් අදහා ගන්නා බෞද්ධ දරුවන් ඒකාන්තයෙන් මෝඩයන් බව සහ මෝඩයන් විය යුතු බව

යන මේ කාරණොවෝ ය. අශ්‍රද්ධාවත් ලාමක අදහස් ඇත්තවුන්ට මෙය හුදෙක් චිත්‍රපටයක තවත් එක් දෙබසක් පමණක් ම වුව ද, බහුශ්‍රැත ශ්‍රද්ධාවත් කුලපුත්‍රයන්ට එය බරපතල ආර්යෝපවාදයකි. එය හුදෙක් ලොව්තුරා බුද්ධත්වය හා අසමසම මහාප්‍රඥාව අභියෝගයට ලක්කරන්නක් වශයෙන් නො ව, පැහැදිලි ව ම ලොව්තුරා බුද්ධත්වයත්, අසමසම ප්‍රඥා බල මහිමයත්, බෞද්ධත්වයත් ඉලක්ක කොට ඉතා සියුම් ව එල්ල කළ දරුණු ගණයේ අපහාසයක් වශයෙන් ම අපි දකිමු. මේ ආකාරයෙන් බුදුන්ට නිගා දී බුද්ධත්වයත්, මහා ප්‍රඥාවත් අවතක්සේරුවට දමා බෞද්ධ දරුවන් මෝඩයන් සේ හංවඩු ගසන හෝ ගානා පොකුණ ළමා චිත්‍රපටය, සැබැවින් ම ප්‍රෙක්ෂක ළමා මනස බෞද්ධත්වයෙන් මුදවාලීමට දැරූ කූට ප්‍රයෝගයකි.

හෝ ගානා පොකුණ අපගේ දෝෂ දර්ශනයට ලක්වන්නේ ඉහත අපහාසාත්මක දෙබස් භාවිතය නිසා ම නො වේ. උතුම් බුද්ධභාෂිතය සම්බන්ධයෙන් කර තිබෙන බලවත් විකෘතිය ද හේතුවෙනි. බුදු හාමුදුරුවෝ කිව්වලු... බුදු හාමුදුරුවොත් කිව්වලු.. ආදී වශයෙන් ජනවහරේවත් නැති කාරණයක් ඇත්තක් කොට හඟවා ශ්‍රැතිසූචනාර්ථයෙන් කියාපාන්නේ සූත්‍රාන්ත පිටකයෙහි සංයුත්ත නිකාය මහාවග්ගයේ සච්ච සංයුත්තයේ සිංසපා වග්ගයේ එන සිංසපා සූත්‍රයත්, සච්ච සංයුත්තයේ ම අභිසමය වග්ගයේ නඛසිඛා සූත්‍රයත් එකට ඈඳා කරුණු වශයෙන් මුල-මැද-අග පටලවා ගෙන ය. මෙසේ උතුම් බුද්ධ භාෂිතයේ අර්ථය ද ව්‍යඤ්ජනය ද නසාලමින් බුදු දහම සම්බන්ධයෙන් සාවද්‍ය අර්ථකථන සපයන හෝ ගානා පොකුණ තම නිෂ්පාදන කාර්යයෙහි බොළඳ බන හා නිපැයුම්කරුවන්ගේ ලාමක අවබෝධය මොනොවට කියාපායි.

සිංසපා සූත්‍රය හා හෝ ගානා පොකුණ

එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර සමීපයෙහි සිංසපාවනයෙහි වැඩවාසය කරන සේක. සිංසපා වනය යනු ඇට්ටේරිය වනාන්තරය යි. එකල්හි දී භාග්‍යවතුන් වහන්සේ ඇට්ටේරිය පත්‍ර ස්වල්පයක් අතින් ගෙන භික්ෂූන් වහන්සේ ආමන්ත්‍රණය කොට මෙසේ විමසයි. තං කිං මඤ්ඤථ භික්ඛවෙ, කතමං නු ඛො බහුතරං යානි වා මයා පරිත්තානි සිංසපාපණ්ණානි පාණිනා ගහිතානි යානි උපරි සිංසපායෙති? මහණෙනි, ඔබ සිතන්නේ කුමක් ද? මා අතෙහි ඇති ඇට්ටේරිය පත් ද වඩා වැඩි, නැතහොත් මේ ඇට්ටේරිය වනයෙහි ඉතිරි ඇට්ටේරිය පත් ද? බුදුරදුන් විමැසූ ඒ පැනයට භික්ෂූන් වහන්සේගේ පිළිතුර වූයේ ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ අතින් ගන්නා ලද ඇට්ටේරිය පත්‍ර ම ඉතා ස්වල්ප ය; වනයෙහි ගස්වල වූ සෙසු ඇට්ටේරියා පත්‍ර ප්‍රමාණය ම ඉතා බොහෝ ය. ඒ භික්ෂූන් විසින් මෙබඳු පිළිතුරක් සැපැයුණු කල්හි යළි බුදුහු මෙසේ වදාළහ.
එවමෙව ඛො භික්ඛවෙ, එතදෙව බහුතරංත යං වො මයා අභිඤ්ඤා අනක්ඛාතං. අප්පමත්තකං අක්ඛාතං. එසෙයින් ම මහණෙනි, මා විසින් විශේෂයෙන් දැන අවබෝධ කොට ගෙන දේශනා නො කරන ලද්ද ම ඉතා බොහෝ ය.

නැවත චිත්‍රපට දෙබස කෙරෙහියොමුවන්න.

එක දවසක් බුදුන් වහන්සේගෙන් කවුද මේ බමුණෙක් දකොහේද ඇහැව්වලු, උන්වහන්සේ දන්නැත්තේ මොනවද කියලා. උන්වහන්සේ බිමට නැමිලා නියපිටට පස් ඩිංගිත්තක් අරං කිව්වලු මම මේ ලෝකේ ගැන දන්නේ මේං මෙච්චරයි කියලා...

බුදු හාමුදුරුවෝ කිව්වලු... බුදුහාමුදුරුවොත් කියලා තියෙනවලු, උන්වහන්සේ දන්නෙ හරි ම ඇබිත්ත යි කියලා.

බලන්න; මෙය කෙතරම් විකෘතියක් ද? බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අවබෝධයේ තරම හා දේශනා කළ ප්‍රමාණයේ තරම පැහැදිලි ව ම වෙන් වෙන් ව ම කියා තිබියදීත් මේ කුප්ප කතාකරුවා ඇද බා ඇති කෙප්පයේ තරම වැටහේ ද? මවගේ එකී පිළිතුර හමුවේ පියා විසින් තෙපලන දෙබස නො කියා කියන්නේ ග්‍රාමසේවකයා දාං ක්‍රීඩාවෙන් පරදවාලීමට සමත් අලුත් ටීචර් බුදුන් වහන්සේට වඩා ලෝකය පිළිබඳ අවබෝධයක් හා දැනුමක් ඇති එකියක බවකි. ලොව්තුරා සම්මා සම්බුද්ධත්වය දාං ක්‍රීඩාවෙන් ලබන ජයග්‍රහණය තරම්වත් නො වටිනා බවකි.

හැබැයි අලුත් ටීචර් නං දන්නෙ නැති කෙංගෙඩියක් නෑ මයෙ හිතේ.. අද හවස කඩමංඩයෙදි දාං අතක් සෙල්ලම් කරල අපෙ ග්‍රාමසේවකයවත් පැරැද්දුවනෙ..

මහඑවුන්ගේ වචන අසන පොඩි එකාගේ හිතට නැගෙන අදහස බුදුහාමුදුරුවොත් කිසිවක් දන්නේ නැත්නම් නැතහොත් දන්නේ ඩිංගිත්තක් නම් පුංචි මං මොනවා දන්නවා ද? යන්න යි. එසේ සිතා පසු දා පාසලේ උදෑසන රැස්වීමේ දී තම නොදැනීම සාධාරණීකරණය කරයි. බුදුහාමුදුරුවෝ කිව්වලු... බුදුහාමුදුරුවෙත් කියලා තියෙනවලු, උන්වහන්සේ දන්නෙ හරි ම ඇබිත්ත යි කියලා. ඊයේ හවස අපේ අම්මා කිව්වේ. ඉතිං මම වගේ පොඩි ළමයෙක් මොනවත් ම දන්නේ නැති වුණත් කමක් නෑ... දරුවා සිය කතාව අවසන් කරන්නේ බුදුහාමුදුරුවො මෙන් ඩිංගිත්තක් දන්නා අයෙක් වීමට තමන් අකමැති නිසා යමක් කමක් දැන ගැනීමට දිනපතා ඉස්කෝලෙට එන බව ප්‍රකාශ කරමිනු යි. ඒත් මොනවත් ම දන්නැතුව මේ ලෝකෙ ඉන්න බෑ යි කියල මං දන්නවා. ඒක හින්ද මං හැමදාම ඉස්කෝලෙ එනව. පොඩි එකාගේ තොදොල් වදනින් මුසපත් වන සභාව මහහඬින් අත්පොළසන් දෙයි. සිද්ධිය අවසන් වන්නේ දැනුම් මහත්වය කරපින්නා ගත් අලුත් ටීචර්ගේ තක්කඩි සිනාවෙන් හා කොල්ලාට දෙන වෙරිගුඩ් ඇගැයුමිනි. එය හුදෙක් බුදුන් වහන්සේ ශාස්තෘත්වයෙන් අදහා ගැනීම කිසිවක් නො දන්නා මෝඩයෙකු වීමට මග ය කියා නොකියා දෙනු ලබන සහතිකයක් වැන්න.

හාංකවිසියක් නො දන්නා අහිංසක පොඩිඑකාගේ කතාවට සමාව දෙමු. අශ්‍රැතවත් දිළිඳු මාපියන්ගේ දන්නා තරම ගැනත් කමක් නෑ යි කියමු. හැබැයි ටීචර්...? ප්‍රින්සිපල්..? දරුවන්ගේ නො දන්නාකම් පිළිබඳ ව වගකිව යුතු පාර්ශවයන් වශයෙන් ඔවුනොවුන් මුහුණ බලාගෙන ලැජ්ජාවිය යුතු අවස්ථාවක දී ජයග්‍රාහී විලාසයෙන් හැසිරෙන මොවුන්ගේ අසත්පුරුෂ වින්දනය බලන්න.

සබකෝලයෙන් තොර වන ඉදිරිපත් වූ දරුවාගේ කතාවිලාසසය ඇගැයිය යුත්තකි.

උගතෙකු වීමට දරුවා තුළ ඇති වූ ආශාව ප්‍රශංසා කළ යුත්තකි.

කම්මැලියන් ව කට්ටි නො පැන දිනපතා පාසල් ඒමට සිත් පහළ වීම තෑගි දිය යුත්තකි.

එසේ වුවත්...

දරුවාගේ කතාවේ කිසියම් අඩුලුහුඬුකමක් ඇත්නම් එය එමොහොතේ ම පෙන්වාදීම යුතුකමකි.

කතා වස්තුවේ වෙනත් තැනක දී හෝ දරුවාට අදාළ වරද නිවැරදි කිරීමට කිසි පියවරක් නො ගනියි.

එය හුදෙක් ගුරුභවතුන්ගේ නො දන්නාකම ම නම් අදාළ ගුරුවරියගේ චරිතයේ සුන්දර හරය හා විරෝධය පාන්නකි. එය එසේ නම් චිත්‍රපටයේ මුළු දිග හැරුම ම අසාරත්වයට හැරේ.

අනෙක් අතට පෙරළා වටහා ගත යුත්තක් නම් මෙය හෝ ගානා පොකුණට ම සීමා වූ හුදෙකලා දෙබසක් නො වන බව යි. චිත්‍රපටය නරඹන දහස් සංඛ්‍යාත දරුවන්ගේ චරිත පිළිබඳ සජීවී නිරූපණයක් එහි වෙයි. සිනමා විචාරකයින්ට මේ සිද්ධිය හරහා සමාජ දේශපානික හා අධ්‍යාපන අර්බුදවල යථාස්වභාවය පිළිබඳ දහසකුත් විචාර ගොඩනැගිය හැකි වුව ද අදාළ සිද්ධිදාමය නරඹන දරුවන්ගේ හදවත්වලට කා වදින්නේ සුගම අර්ථයකි. ඒ එක ම අර්ථය නම් බුදු හාමුදුරුවෝ කිව්වලු... බුදුහාමුදුරුවොත් කියලා තියෙනවලු, උන්වහන්සේ ද්නනෙ හරි ම ඇබිත්ත යි කියලා. ඉතිං මම වගේ පොඩි ළමයෙක් මොනවත් ම දන්නේ නැති වුණත් කමක් නෑ... යන්න යි. බුදුරජාණන් වහන්සේ පිළිබඳ ව, බුද්ධත්වය පිළිබඳ ව, තමාගේ බෞද්ධත්වය පිළිබඳ ව හයක් හතරක් නො තේරෙන ළමා මනසෙහි සිතුවම් කරන්නේ අඳුරු චිත්‍රයකි. ඇත්ත බරපතලකම ඇත්තේ එතැන ය. අන්තිමේ දී මුළු රටේ ම දරුවෝ මෙසේ කියන්ට ගත්තොත්? එබඳු මතයක් ජනගත කරවීමේ උවමනාව නිසා ම එකී දෙබස් මෙහි බහාලූයේ ය යන්න අපගේ නිගමනය ය.

අභිවිසිට්ඨපඤ්ඤා

තවදුරටත් ඉහත සිංසපා සූත්‍ර පාඨයේ අභිඤ්ඤා අනක්ඛාතං යන කොටස කෙරෙහි අවධානය යොමු කිරීම වටී. අනක්ඛාතං යනු නො කියන ලද යන අර්ථ යි. අභිඤ්ඤා යන පදය වෙසෙසින් දැන අවබෝධ කොට ගෙන ඇති යන අර්ථ දෙයි. ඥානය යන්නට අභි යන උපසර්ගය යෙදුණු කල්හි එය විවිධාර්ථයෙහි - විශේෂාර්ථයෙහි - අධිකාර්ථයෙහි - අතිරේකාර්ථයෙහි යෙදේ. ඒ සඳහා ඉංගිරීසි භාෂාවෙන් සෘජු ව යෝජනා කළ හැකි පදය Higher knowledge යන්න යි. ඊට අමතර ව පරමෝත්කෘෂ්ට හා අතක්කාවචර ආදි අර්ථවලින් transcendent යන්න ද, අධිස්වාභාවික හෙවත් සෘද්ධිමය හැකියාවන් සහිත ඤාණය (Supernatural knowledge) යන්න ද, ඥානාධිකාරය හෝ බුද්ධිමහිමය යන අරුත් දෙන faculty යන පදය ද භාවිතාව අනුව යෙදිය හැකි ය. අට්ඨකථා විවරණවල දී අභිවිසිට්ඨපඤ්ඤා හෙවත් අතිවිශිෂ්ට වූ ප්‍රඥාව යනුවෙන් අභිඤ්ඤා යන පදය විවරණය කර ඇත.

බලන්න; සාමඤ්ඤඵල සූත්‍රාන්තයෙහි දී බුදුරදුන් අජාතසත්ත රජ හට වදාරන මේ දේශනා පාඨය : 

ඉධ මහාරාජ තථාගතො ලොකො උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නෙ සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දේවමනුස්සානං බුද්ධො භගවා. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්‍රහ්මකං සස්සමණබ්‍රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති ආදිකල්‍යාණං මජ්ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්ථං සබ්‍යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසෙති.

මහරජාණෙනි, මෙහි අර්හත් වූ සම්මාසම්බුද්ධ වූ විජ්ජාචරණසම්පන්න වූ සුගත වූ ලෝකවිදූ වූ අනුත්තරපුරිසදම්මසාරථී වූ සියලු දෙව්මිනිසුන් හට ශාස්තෘ වූ බුද්ධ වූ භාග්‍යවත් වූ තථාගතයන් වහන්සේ ලෝකයෙහි පහළ වෙයි. උන්වහන්සේ දෙවියන් සහිත වූ මාරයනි සහිත වූ බ්‍රහ්මයන් සහිත වූ මේ ලෝකය ද, මහණ බමුණන් සහිත, රජුන් හා සෙසු මිනිසුන් සහිත සත්ව ප්‍රජාව ද තමා ම විශිෂ්ට ඤාණයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ඔවුන්ට අවබෝධ කරවයි. හෙතෙමේ ධර්මය දේශනා කෙරෙනුයේ මුල යහපත් කොට, මැද යහපත් කොට, අවසානය ද යහපත් කොට ම දේශනා කරයි. ඒ ධර්මය වනාහි අර්ථ සහිත ය. ව්‍යඤ්ජන සහිත ය. සර්වාකාරයෙන් පරිපූර්ණ ය. සුපරිශුද්ධ ය. මෙසේ සීල-සමාධි-පඤ්ඤා යන ත්‍රිවිධ ශාසන බ්‍රහ්මචර්යය ම ප්‍රකාශ කරයි.

කිම? බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ ස්වභාවය වටහා ගැනීමට මෙය ම ප්‍රමාණවත් නො වෙයි ද? එහි දැක්වෙන සයං අභිඤ්ඤා සච්ඡිකත්වා යන කොටසෙහි අරුත් විමසන්න. එහි ලා සුමංගලවිලාසිනිය මෙසේ සඳහන් කරයි. එත්ථ පන සයන්ති, සාමං, අපරනෙය්‍යො හුත්වා අභිඤ්ඤාති, අභිඤ්ඤාය; අධිකෙන ඤාණෙන ඤත්වාති අත්ථො. සච්ඡිකත්වාති: පච්චක්ඛං කත්වා. එතෙන අනුමානාදි පටික්ඛේපො කතො හොති. එහි සයං යනු තමා ම යන්න යි. මත්තෙහි අවබෝධ කළ යුතු හෙවත් තවත් ගත යුත්තක් නැති ව (අපරනෙය්‍යො) දැනගැනීම අභිඤ්ඤා යි. එම අභිඤ්ඤා පදය අධික ඤාණයෙන් දැන යන අර්ථය දනවයි. සච්ඡිකත්වා යනු ප්‍රත්‍යක්ෂ කොට යනු යි. බුදුහු අනුමාන කිරීමෙන් දම් නො දෙසෙන සේක් ම ය. එහෙයින් මෙහි ලා අනුමානය ප්‍රතික්ෂේප කොට ප්‍රත්‍යක්ෂය දක්වන ලද්දේ යි. සත්ථාදෙවමනුස්සානං යන බුදුගුණයෙන් කියැවෙන්නේ ද උන්වහන්සේ සියලු මනුෂ්‍ය-දිව්‍ය-බ්‍රහ්මාදීන්ට එක ම ශාස්තෘ වූ බව යි. එයින් ම උන්වහන්සේගේ අවබෝධයේ පරිමාව නො වැටහේ ද?
පටිසම්භිදාමග්ගප්‍රකරණ මාතිකාහි දී බුද්ධඤාණය තෙසැත්තෑ සංඛ්‍යාත ව ප්‍රභේද කොට දැක්වෙයි. ඒ තෙසැත්තෑ ඤාණයන් කෙරෙහි ඤාණ සත්සැටක් (67ක්) ශ්‍රාවකයන් හා සාධාරණ යි. එනම්, ශ්‍රාවකයන් විසිනුදු අවබෝධ කළ හැකි ඤාණ විශේෂ බව යි. ඥාන හයක් ශ්‍රාවකයන් හා අසාධාරණ වූ බුදුරදුන් වෙත පමණක් ම සාධාරණ වූ ඤාණ විශේෂ වෙයි. බුදුරජාණන් වහන්සේගේ ඒ ඤාණ විශේෂයන්ට මෙලොව්හි හෝ පරිබාහිර ලොව්හි හෝ ගෝචර නොවන ප්‍රස්තුතයක් නැත. එහයින් උන්වහන්සේ සර්වඥ නම් වෙයි. සබ්බඤ්ඤුත ඤාණ නම් බුදුන්වහන්සේගේ එකී සර්වඥතා ස්වභාවය එළිදරව් කරන ඤාණය යි. එසේ ම සුගතයන් වහන්සේ ආවරණයකින් හෙවත් වැසීමකින් තොර ව සියල්ල ම විනිවිද තතු සේ දැකීමෙහි සමත් වන සේක. එය අනාවරණ ඤාණ නම් වෙයි. අනාවරණ ඤාණය, සබ්බඤ්ඤුත ඤාණය හා ම සම ස්වභාව ඇතියහ. ඒ දෙක ස්වභාව වශයෙන් වෙන් වෙන් ව නැත. එහෙයින් පටිසම්භිදාමග්ගයෙහි එක ම ඤාණය ආකාරභේදයෙන් සබ්බඤ්ඤුත අනාවරණ ඤාණ යයි දක්වා ඇත. සර්වඥතා ඤාණයට ආවරණයක් නැති හෙයිනුත්, සර්වඥතා ඤාණය ආවරණය කිරීමෙහි සමත් කිසි ස්වභාවයක් හෝ පුද්ගලයෙකු නැති හෙයිනුත් එසේ දක්වා ඇතැයි දත යුතු යි.
  • සංඛතය අසංඛතය නිරවශේෂ කොට දනී නු යි,
  • අතීත-අනාගත-පච්චුප්පන්න සියල්ල දනී නු යි,
  • චක්ඛු-රූපාදි සියලු වස්තු අරමුණු භේදයෙන් ශේෂ රහිත ව දනීනු යි,
  • අනිත්‍යාදි ත්‍රිලක්ෂණ ධර්මතා සියල්ල දනීනු යි,
  • අභිඤ්ඤායෙහි අභිඤ්ඤාස්වභාව ද, පරිඤ්ඤාවගේ පරිඤ්ඤා ස්වභාව ද, ප්‍රහාණයාගේ ප්‍රහාණ ස්වභාව ද, භාවනාවගේ භාවනා ස්වභාව ද, සාක්ෂාත්කරණයේ සාක්ෂාත් කරන ස්වභාව ද, ස්කන්ධයන්ගේ ස්කන්ධ ස්වභාව ද, ධාතූන්ගේ ධාතු ස්වභාව ද, ආයතනයන්ගේ ආයතන ස්වභාව ද, සංඛතාසංඛතාදීන්ගේ තත් ස්වභාව ද අවශේෂයෙන් දනීනු යි,
  • යම් තාක් කුශලාකුශල අව්‍යාකෘත ධර්මයෝ ද, කාමාවචර - රූපාවචර - අරූපාවචර - අපර්යාපන්න හැම ධර්මයෝ ම දනීනු යි,
  • දුක්ඛ - සමුදය - නිරෝධ - මග්ග යන චතුසත්‍යයාගේ තත්වාවබෝධයෙන් යුත්තේනු යි,
  • අත්ථ ධම්ම - නිරුක්ති - පටිභාන යන චතුර් පටිසම්භිදා ඥානයන්ගේ ස්වභාව දනීනු යි,
  • ඉන්ද්‍රියපරොපරියත්ත - ආසයානුසය - යමකපාටිහාරී - මහාකරුණාසමාපත්ති යන මේ හැම ඤාණ විශේෂ දනීනු යි...
  • යන මේ සියල්ලෙහි ම විශිෂ්ට වූ ප්‍රත්‍යක්ෂ වූ දැනීම් විශේෂය සර්වඥතා ඥාන නම් වෙයි. ඒ කිසිවක ආවරණයක් නැති හෙයින් අනාවරණඥාන යි.


බුදුන්වහන්සේගේ ප්‍රඥා බල මහිමය තවදුරටත් පටිසම්භිදාමග්ගයෙහි ම ප්‍රඥාවග්ගයේ ප්‍රඥාකථා අතර එන පහත විස්තරයෙන් දැනගන්න.

සො හි භගවා ජානං ජානාති, පස්සං පස්සති, චක්ඛුභූතොඤාණභූතො ධම්මභූතො බ්‍රහ්මභූතො, වත්තා පවත්තා අත්ථස්ස නින්නෙතා අමතස්ස දාතා ධම්මස්සාමි තථාගතො. නත්ථි තස්ස භගවතො අඤ්ඤාතං අදිට්ඨං අවිදිතං අසච්ඡිකතං අඵස්සිතං පඤ්ඤාය. අතීතං අනාගතං පච්චුප්පන්නං උපාදාය සබ්බේ ධම්මා සබ්බාකාරෙන බුද්ධස්ස භගවතො ඤාණමුඛෙ ආපාථං ආගච්ඡන්ති. යං කිඤ්චි ඤෙය්‍යං නාම අත්ථී ධම්මං ජානිතබ්බං. අත්තත්ථො වා පරත්ථො වා උභයත්ථො වා දිට්ඨධම්මිකො වා අත්ථො සම්පරායිකො වා අත්ථො උත්තානො අත්ථො ගම්භීරො වා අත්ථො ගූළ්හො වා අත්ථො පටිච්ඡන්නො වා අත්ථො නෙය්‍යා වා අත්ථො නීතො වා අත්ථො අනවජ්ජො වා අත්ථො නික්කිලෙසො වා අත්ථො වොදානො වා අත්ථො පරමත්ථො වා අත්ථො. සබ්බං තං අන්තො බුද්ධඤාණෙ පරිවත්තති. සබ්බං කායකම්මිං බුද්ධස්ස භගවතො ඤාණානුපරිවත්තති, සබ්බං වචීකම්මං බුද්ධස්ස භගවතො ඤාණානුපරිවත්ති, සබ්බං මනොකම්මං බුද්ධස්ස භගවතො ඤාණානුපරිවත්ති.

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දත යුත්ත මනා කොට ම දනිති. දැකිය යුත්ත මනා කොට ම දකිති. ඇසක් මෙන් වූයේනුයි දර්ශනයෙහි අධිපති අර්ථයෙන් චක්ඛුභූතය හ; ඤාණය මෙන් වූයේනුයි දැනගත් ආදි අර්ථයෙන් ඤාණභූතය හ; ධර්මය පවත්වන හෙයිනුත්, හෘදයෙන් සිතා වචනයෙන් පිට කරන ධර්මමය කරුණුවලින් වලින් යුක්ත වන හෙයිනුත් ධර්මය මෙන් වූයේනු යි අවිපරීතස්වභාවාර්ථයෙන් ධම්මභූතය හ; බ්‍රහ්මයා මෙන් වූයේනුයි ශ්‍රේෂ්ඨාර්ථයෙන් බ්‍රහ්මභූතය හ. ධර්මය ප්‍රකාශ කිරීමෙන් පවත්වන හෙයින් වක්තෘහ. නොයෙක් ආකාරයන්ගෙන් දේශනා කොට ප්‍රවර්තනය කරන හෙයින් ප්‍රවක්තෘහ. අර්ථය පිටතට ගෙන දක්වති. නිර්වාණාධිගමය සඳහා ප්‍රතිපත්තිය දේශනා කරනු හෙයිනුත්, නිවන ප්‍රකට කරවන ධර්ම දේශනයෙන් නිවනට පමුණුවන හෙයිනුත් අමෘතය දෙන්නාහ. ලෝකෝත්තර ධර්මය උපදවා හික්මවිය යුත්තන්ට සුදුසු පරිද්දෙන් ලෝකෝත්තර ධර්මය දානය කළ හෙයින් ධර්මයෙහි ඓශ්වර්යයට පත්වූයේනු යි ධර්මස්වාමීහ. එහෙයින් ම තථාගත වෙති. මෙසේ වූ භාග්‍යවතුන් වහන්සේ පාරමිතා පුණ්‍ය බල ප්‍රභාවයෙන්ම නිපන් අර්හත් මාර්ග ඤාණයෙන් නො දන්නා ලද්දක්, නො දක්නා ලද්දක්, සාක්ෂාත් නො කරන ලද්දක්, ප්‍රඥාවෙන් ස්පර්ශ නො කරන ලද්දක් නැත. අතීත අනාගත වර්තමාන යන කාලත්‍රයට ම ඇතුළත් වූ සියලු ධර්මයෝ සර්වාකාරයෙන් බුදුන්ගේ නුවණ අබිමුවෙහි එළැඹෙති. තමාගේ අර්ථසිද්ධිය ද, අනෙකාගේ අර්ථසිද්ධිය ද, තමාගේ හා අනෙකාගේ යන උභයාර්ථසිද්ධිය ද, මේ ජීවිතය සඳහා ප්‍රයෝජනවත් වන දෙය ද, මරණින් මත්තෙහි පරලොව ජීවිතය සඳහා ප්‍ර යෝජනවත් වන දෙය ද, උත්තානාර්ථය ද, ගම්භීරාර්ථය ද, ගූඨාර්ථය ද, ප්‍රතිච්ඡන්නාර්ථය ද, නෙය්‍යාර්ථය ද, නීතාර්ථය ද, අනවද්‍යාර්ථය ද, නික්ලේශාර්ථය ද, පරිශුද්ධාර්ථය ද, පරමාර්ථය ද යන මේ සියල්ල බුද්ධඤාණය තුළ පවතී. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සියලු කායකර්ම ද, සියලු වාක්කර්මය ද, සියලු මනෝකර්ම ද ඥානය අනුව ම පවතී. සියල්ල ඤාණය අනුව ම පෙරැළේ. ඤාණයෙන් විරහිත ව නො පෙරැළේ.

එබඳු බුද්ධඤාණය සුබසින් වර්ණනා කිරීම ම මෙලොව වශයෙනුත් පරලොව වශයෙනුත් සාංසාරික වශයෙනුත් පරමාර්ථසිද්ධි වශයෙනුත් ඉතා වැඩදායක ය. අර්ථ සහිත ය. කිසිවිටෙක අවැඩ අනර්ථය පිණිස නො පවතී. එබැවින් බුදු හාමුදුරුවො කිව්වලු... බුදුහාමුදුරුවොත් කියලා තියෙනවලු, උන්වහන්සේ දන්නෙ හරි ම ඇබිත්ත යි කියලා. ඉතිං මම වගේ පොඩි ළමයෙක් මොනවත් ම දන්නේ නැති වුණත් කමක් නෑ... යන මේ ප්‍රකාශය යෙදීම කිසිසේත් සාධාරණ නො වේ.

එහෙත් පස් ඩිංගිත්තක් හා බුද්ධ ඤාණය සම කොට දක්වන හෝ ගාන පොකුණේ කතාකරුවන්ගේ ඒකායන උත්සාහය අනෙකක් නො ව, බුද්ධ ඥාණයත් ඩිංගිත්තක් ය කියා බුද්ධ ශ්‍රාවක මනස් තුළ කෝටියක් අර්බුද මැවීම ය. බුදු නුවණ නිෂ්ඵල හෙවත් ඵලරහිත වඳ බැහැපු එකක් බව ඒත්තු ගැන්වීම ය. බුද්ධ ඥාණයට උපහාර පිදීම වශයෙන් බෞද්ධ සංස්කෘතික සන්දර්භය තුළ ගොඩනැගී ඇති සියලු හරයාත්මක අගයන් දුෂ්කෘතයන් සේ හුවා දැක්වීම ය.

නැවතත් බලන්න : උන්වහන්සේ බිමට නැමිලා නියපිටට පස් ඩිංගිත්තක් අරං කිව්වලු මම මේ ලෝකේ ගැන දන්නේ මේං මෙච්චරයි කියලා..

බුදුන්වහන්සේ එසේ පස්පිඩක් නියපිටට ගෙන උපමා වශයෙන් දක්වා ධර්මය දේශනා කළ අවස්ථාවක් නඛසිඛා සූත්‍රාන්තයෙහි හමුවේ. එහෙත් එහි දැක්වෙන්නේ චිත්‍රපටයේ දක්වන කාරණය නො වේ.

නඛසිඛා සූත්‍රය

එකල්හි භාග්‍යවතුන් වහන්සේ නියපිටට පස්ටිකක් ගෙන භික්ෂූන් විමැසූ සේක. මහණෙනි, සිතන්නේ කුමක් ද? වඩා වැඩි මා විසින් නිය පිටට ගන්නා ලද මේ පස් ස්වල්පය ද, නැතහොත් මේ මහපොළොවෙහි තිබෙන පස් ප්‍රමාණය ද? එවිට භික්ෂූහු : 

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, පොළොවෙහි වූ පස් ම ඉතා බොහෝ වෙයි. නියපිට ඇත්තේ ඉතා ස්වල්පක් පමණි. ඒ දෙක අතර වෙනස ගණනින්වත්, සැසඳීම් වශයෙන්වත් නො ගැළපේ. කලාවෙන් කලාවකට ද නො පැමිණේ. යනුවෙන් පිළිතුරු දුන්හ.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන් හට නැවත මෙසේ වදාළ සේක. 

එසේ ම මහණෙනි, දුක්ඛ-සමුදය-නිරෝධ-මග්ග යන මේ චතුසත්‍ය තතු සේ දැන ගෙන සෝවාන් ඵලයට පැමිණි ආර්ය පුද්ගලයා විසින් ක්ෂය කරන ලද යම් දුකක් වේ ද, එසේ ක්ෂය කරන ලද දුක්ඛස්කන්ධය ම ඉතා වැඩි ය. භව සතකට සීමා වූ ඔහුගේ ඉතිරි දුක ඉතා ස්වල්පයක් ම වෙයි. පළමු ව ක්ෂය කරන ලද දුක හා සම කරන කල ඒ භව හතකට සීමා වූ දුක ගණනින්වත්, සැසඳීමෙන්වත් සම නොවේ. කලාවෙන් කලාවකට ද නොපැමිණේ.

නැවතත් බලන්න : උන්වහන්සේ බිමට නැමිලා නියපිටට පස් ඩිංගිත්තක් අරං කිව්වලු මම මේ ලෝකේ ගැන දන්නේ මේං මෙච්චරයි කියලා...

පෙනේ ද, විකෘතියක මහත?

තවත් උපමා

මෙබඳු සරල උදාහරණ මඟින් කිසියම් ගැඹුරු සංකීර්ණ කාරණයක් ශ්‍රාවකයන්ට වටහා දීම බුදුරජාණන් වහන්සේ ක්‍රියා කළ අවස්ථා පෙළ දහමෙහි විරල නො වේ.

මජ්ඣිම නිකායේ බලපණ්ඩිත සූත්‍රයෙහි ගල් කැටයක් අතට ගෙන බුදුන්වහන්සේ එය ප්‍රමාණ වශයෙන් හිමාලය පර්වතය හා සසඳාලමින් දේශනා කොට වදාළේ රජු විසින් දඬුවමට නියම කරන ලදුව දිනකට තුන්සියය වරක් අඩයටියෙන් තැලුම් කන සොරෙකු විඳින වේදනාව අතෙහි තිබෙන කුඩා ගල් කැටයට සමාන බවත්, සොරකම හේතුයෙන් අපාගත වී විඳින නිරාදුක හිමාලය පර්වතයටත් වඩා මහත් වචනයෙන් විස්තර කළ නො හැකි දුක්වේදනාවක් බවත් ය. මෙසේ පුද්ගලයා තමාගේ පාපකාරී අකුසල කර්මසමාදානය හේතුවෙන් මෙලොව දී විඳින දුකට වඩා පරලොව දී විඳින දුක්රැසෙහි මහත්වය උපමා වශයෙන් පෙන්වා දී තිබේ.

නඛසිඛා සූත්‍රය ද සංගෘහිත සංයුත් සඟියේ සච්චසංයුක්තයේ අභිසමය සංයුත්තය ම මෙබඳු උපමාවලින් ගහණ ය. පොක්ඛරණී සූත්‍රයේ දී දිගින් පණස් යොදුනක් වූ එපමණ ම පළල ද ඇති එමෙන් ම ගැඹුරු වූ කපුටෙකු විසින් පැන් බිය හැකි තරමට දිය පිරුණු පොකුණක ජලය කුස තණ අගින් ගන්නා පුරුෂයෙකු උපමාවට ගෙන කුසතණ අගින් ගත් යම් ජලයක් වේ නම් එයත්, පොකුණෙහි තිබෙන යම් ජලයක් වේ නම් එයත් යන මේ දෙකින් කුමක් නම් අතිශයින් බොහෝ වේ දැයි විමසයි.

පඨම සම්භෙජ්ජ සූත්‍රයෙහි දී ගංගා-යමුනා-අචිරවතී-සරභූ-මහී යන මේ පඤ්ච මහා ගංඟාවන්හි ම ජලය එකට එක්වන තැන සිටින පුරුෂයෙක් ජල බින්දු දෙක තුනක් ගත් කල්හි වඩා වැඩි ඒ ගත් ජලය ස්වල්පය ද, නැතහොත් පඤ්චමහා ගංගාවන්ගේ ජලය දැයි විමසයි. නැවත දුතිය සම්භෙජ්ජ සූත්‍රයෙහි දී එම උපමාව ම දක්වමින් යම් සේ එසේ බිඳෙන් බිඳ දිය ගැනීමෙන් පඤ්ච මහා ගංඟාවන්ගේ ම ජලය දෙතුන් බිඳක් හැර ඉතිරි සිඳී යාමට පැමිණියේ නම් වඩා වැඩි ඒ සිඳී ගිය ජලකඳ ද, නැතහොත් අවසානයේ ඉතිරි වූ දිය දෙතුන් බිඳ දැයි විමසයි.

යළි මේ ක්‍රමයෙන් ම පඨම හා දුතිය පඨවි සූත්‍රවල දී මහපොළොවෙන් බැහූ ඩෙබර ඇට පමණ වූ මැටි ගුලි සතක් මහපොළොව හා සසඳාලමින් ද, පඨම හා දුතිය සමුද්ද සූත්‍රවල දී මහසයුරෙන් ගත් දිය බිඳක් මහසමුදුරෙහි ජලකඳ හා සසඳාලමින් ද, පඨම හා දුතිය පබ්බතූපම සූත්‍රවල දී හිමවත් පර්වත රාජයා අබ ඇට තරම් ගල්කැට සතක් හා සසඳාලමින් ද දේශනාව ඉදිරිපත් කරයි. ඒ සූත්‍රාන්ත සියල්ලෙහි ම අභිප්‍රාය වූයේ සෝවාන් මාර්ග ඥානයෙන් ප්‍රහාණය කරන දුක්ඛස්කන්ධය ම විපුල බවත්, ඉතිරි වන දුක ම ඉතා ස්වල්පයක් බවත් ය. සෝවාන් වීමේ දී දස සංයෝජනයන් අතර පළමු සංයෝජනත්‍රය ප්‍රහාණයට පැමිණෙයි. එබඳු උත්තමයෙකුගේ සසර ගමන සීමා වන්නේ තවත් භව සතකට පමණි. භවය කොහොමත් දුක් සහිත ය. නමුත්, හත්වැනි භවයෙන් ඉනිබ්බෙහි අටවැනි භවයක් නැති හෙයින් භවගාමී සත්ත්වයාගේ සකල සසර දුක හා සසඳන කල භව සතක දුක ඉතා මඳක් ම පමණි.

සකල අවබෝධය ම දේශනාවෙන් ප්‍රකට නො කිරීමට හේතු

බුදුරජාණන් වහන්සේ මෙබඳු අසහාය ප්‍රඥාවකින් යුතු වූයේ නම් උන්වහන්සේගේ අවබෝධ කොට ගෙන ප්‍රකාශ නො කරන ලද්ද ම අධික වූයේ ඇයි? ඒ සඳහා පිළිතුර සිංසපා සූත්‍රයෙහි ම ඉක්බිති ව දැක්වේ.

කස්මා චේතං භික්ඛවේ, මහා අනක්ඛාතං? න හෙතං භික්ඛවේ අත්ථසංහිතං නාදිබ්‍රහ්මචරියකං න නිබ්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය නාභිඤ්ඤාය න සම්බොධාය න නිබ්බානාය සංවත්තති, තස්මා තං මයා අනක්ඛාතං.

මහණෙනි, කුමක් නිසා මා විසින් මෙය දේශනා නො කරන ලද්දේ ද යත්? මහණෙනි, මෙය අර්ථය සහිත වැඩ සහිත නො වේ. මාර්ගබ්‍රහ්මචර්යාව පිණිස මුල් නො වේ. නිර්වේදය පිණිස නො පවතී. විරාගය පිණිස නො පවතී. නිරෝධය පිණිස නො පවතී. කෙලෙසුන්ගේ ව්‍යුපශමය පිණිස නො පවතී. අභිඥානය පිණිස නො පවතී. සම්බෝධිය පිණිස නො පවතී. නිවන් පිණිස නො පවතී. එහෙයින් මා විසින් එය නො කියන ලදී.

බුදුරජාණන් වහන්සේගේ ධර්මදේශනයෙහි අරමුණුවල ස්වභාවය පිළිබඳ මෙයින් අපට වැටහීමක් ලැබිය හැකි ය. ලෝකයෙහි සම්මුතිය හා පරමාර්ථය යයි සත්‍ය දෙකකි. සම්මුතිය ද සත්‍ය්‍යකි. එහෙති එහි දු අර්ථ සත්‍ය්‍යක් බුදුහු නො වදාරත් ම ය. සැමවිට පරිපූර්ණ වූ සත්‍යය ම බුදුහු දේශනා කරති. සත්‍ය එකක් මිස දෙකක් නොමැත. ඨපනීය වශයෙන් ගැණෙන දශ අව්‍යාකෘත ප්‍රශ්නවලට ද බුදුහු පිළිතුරු සැපැයීමෙන් වැළැකී සිටියේ ඒවායින් ප්‍රකාශ වන්නේ ලොව අර්ධ සත්‍යයක් ම වන නිසා ය. ඇතාගේ හැඩරුව කී ජාත්‍යන්ධයින් මෙන් තමා ගත් දෘෂ්ටිය ගෙන එය ම සත්‍යය යි අනෙක්වා අසත්‍යය යි කියා වාදාභිමුඛ වීම බුද්ධස්වභාවය නො වේ. උන්වහන්සේ විසින් සුදේශිත පරම සත්‍ය්‍ය ආර්ය යයි කියන ලද කුශල ගවේෂණයෙන් ලත් සාරඵලයකි.

එසේ නම් උන්වහන්සේ විසින් දේශනා කරන ලද්දේ කුමක් ද?

කුමක් දෙසන ලද ද? දේශනාවට හේතු කවරේ ද?

කිඤ්ච භික්ඛවෙ, මයා අක්ඛාතං: ඉදං දුක්ඛන්ති භික්ඛවෙ, මයා අක්ඛාතං, අයං දුක්ඛසමුදයොති මයා අක්ඛාතං, අයං දුක්ඛනිරොධොති මයා අක්ඛාතං, අයං දුක්ඛනිරොධගාමිණීපටිපදාති මයා අක්ඛාතං.

මහණෙනි, මා විසින් කුමක් කියන ලද ද? මේ දුක යයි මා විසින් කියන ලදී. මේ දුකට හේතුව යයි මා විසින් කියන ලදී. මේ දුකෙහි නැති කිරීම වේ යයි මා විසින් කියන ලදී. මේ දුක නැති කිරීමෙහි මාර්ගය යයි මා විසින් කියන ලදී.

කස්මා චේතං භික්ඛවෙ මයා අක්ඛාතං? එතං හි භික්ඛවෙ, අත්ථසංහිතං, එතං ආදිබ්‍රහ්මචරියකං, එතං නිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති, තස්මා තං මයා අක්ඛාතං.

මහණෙනි, කුමක් හෙයින් මා විසින් මෙසේ කියන ලද ද? මෙය වැඩ පිණිස ම ය. මාර්ග බ්‍රහ්මචර්යාවට මුල ය. නිර්වේදය පිණිස විරාගාය පිණිස නිරෝධය පිණිස ක්ලේශයන්ගේ සන්සිඳීම පිණිස විශිෂ්ට වූ දැන ගැනීම පිණිස සම්බෝධිය පිණිස නිවන් පිණිස පවතින හෙයිනි.

එබැවින් බුදුරජාණන් වහන්සේ ස්වකීය ශ්‍රාවකයන් හට කළ අවවාදය නම්: දුකෙහි පිරිසිඳ දැනීම පිණිසත් (දුක්ඛං අරියසච්චං පරිඤ්ඤෙය්‍යං), දුක්ඛසමුදයෙහි ප්‍රහාණය පිණිසත් (දුක්ඛසමුදයො අරියසච්චං පහාතබ්බං), දුක්ඛනිරෝධයෙහි සාක්ෂාත්කරණය පිණිසත් (දුක්ඛනිරොධො අරියසච්චං සච්ඡිකාතබ්බං), දුක්ඛනිරොධගාමිණීපටිපදාමග්ගය වැඩීම පිණිසත් (දුක්ඛනිරොධගාමිනීපටිපදා අරියසච්චං භාවෙතබ්බං) වීර්යයෙන් උත්සාහවත් ව ක්‍රියා කළ යුතු බව යි. (තස්මාතිහ භික්ඛවෙ, ඉදං දුක්ඛන්ති යොගො කරණීයො -පෙ- දුක්ඛනිරොධගාමිනී පටිපදාති යොගො කරණීයොති)

කදෝපැණියන්ට හිරු එළිය පැරදවිය නො හැකි ය

අපදානපාළියේ සඳහන් සැරියුත් තෙරුන්ගේ පහත ප්‍රකාශය බලන්න.

මේ ලෝකයෙහි බොහෝ අනුගාමිකයන් පිරිවරා ගත් ශාස්තෘවරුන් යයි කියනු ලබනුවන් වේ ද ඔවුහු ස්වකීය පිරිසට පරම්පරාගත වූ ධර්මය ම දේශනා කරති. එහෙත් සර්වඥයන් වහන්සේ සත්ත්වයන්ට එසේ පරම්පරාගත ධර්මය දේශනා නො කරන සේක. උන්වහන්සේ බෝධිපාක්ෂික සත්‍යයන් තමන් වහන්සේ ම අවබෝධ කොට ගෙන, සත්ත්වයන්ගේ චර්යාවන් ද, සන්තානගත කෙලෙස් ද, ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන්ගේ බල-දුබල බව ද දැන, ධර්මාවබෝධයට සමත්-අසමත්කම් දැන සිව් දිගට ම වසින්නා වූ මහා වැසි වලාවක් මෙන් ධර්මදේශනා නමැති සිංහනාදයෙන් ගර්ජනා කරන සේක. නොයෙක් නොයෙක් ලබ්ධීන්ට ගැති වූ සත්ත්වයෝ සක්වළ ගල කෙළවර දක්වා ම සිටිති. බුදුහු එක පැන විසඳීමකින් ම ඒ සියලු ප්‍රාණීන්ගේ සැක දුරු කරති.

බුදුරජාණන් වහන්සේ ද නොයෙක් සූත්‍රාන්තවල දී දේශනා කොට ඇත්තේ තමන්වහන්සේ කිසිවෙකුගෙන් අසා දැනගත් ධර්මයක් දේශනා නො කරන බවත්, තමන් වහන්සේ විසින් ම විශිෂ්ට ඤාණයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ගෙන ම ධර්මය දේශනා කරනු ලබන බවත් ය.

පෙනේ ද, බුද්ධඤාණයේ අසහායත්වය? පෙනේ ද, ධර්මයාගේ විපුලත්වය? ඉදින් -

ආහනන්තං ධම්මභෙරිං මද්දන්තං තිත්ථියෙ ගණෙ,
සීහනාදං විනදන්තං කො දිස්වා නප්පසීදති.

දහම් බෙරය ගසන්නා වූ, තීර්ථක සමූහයා මඬින්නා වූ, සිංහනාද කරන්නා වූ බුදුරජුන් දැක කවරෙක් නො පහදී ද?

ඉදින් කදෝපැණිය්නට හිරුඑළිය හා නො ගැටිය හැක්කාක් මෙන් ලාමක ලබ්ධිගතුවන්ට අසහාය බුද්ධඤාණය හා ගැටිය හැකි ද? සිනමා දෙබසකින් බුද්ධඤාණය පැරදවිය හැකි ද? නැත.

එසේ වුවත්...

බුදුන්ට විරුද්ධකම් නො කරව්! සසුන හා විරුද්ධ නො වව්!

ක්ෂාන්තියෙන් ද අවිහිංසාවෙන් ද මෛත්‍රී සිතින් ද යුතු ඒ බුදුරජාණන් වහන්සේ දෙවියන් සහිත ලෝකයා සසර සයුරින් එතෙර කරවන සේක. එහෙයින් උන්වහන්සේ වෙත තොප විරුද්ධකම් නො කළ යුත්තෝ ය. බුදුවරයෝ මහපොළොව වැනියහ. ලාභයෙහි ද අලාභයෙහි ද, සම්මානයෙහි ද අවමානයෙහි ද නො ලැගෙන්නෝ ය. එහෙයින් උන්වහන්සේලා කෙරෙහි තොප විරුද්ධකම් නො කළ යුත්තෝ ය. සසුන හා විරුද්ධකම් නො කරව්. සසුන හා විරුද්ධ වීමෙන් පවිටු මිනිසා කල්ප කෝටි ගණන් අපායෙහි දැවේ.


(විනයධාරීන් අතර අග්‍රස්ථානලාභී 
උපාලි මහරතන් වහන්සේගේ ප්‍රකාශයකි)

පංචන ජයසිංහ
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

පසු සටහන



ඉන්දික ෆර්නැන්ඩු විසින් අධ්‍යක්ෂණය කරන ලද, කුසුම්සිරි ලියනආරච්චි - යශෝධරා සරච්චන්ද්‍ර - සුනිල් ටී ප්‍රනාන්දු ආදින් විසින් නිෂ්පාදනය කරන ලද හෝ ගානා පොකුණ චිත්‍රපටය විශේෂයෙන් ළමා චිත්‍රපටයක් වශයෙන් සමාජයේ මහත් අවධානයට ප්‍රසිද්ධියට පාත්‍ර වූ චිත්‍රපටයක්... ඉතා කෙටි කලක් තුළ වැඩි ම ප්‍රේක්ෂක ප්‍රසාදයක් සහ ඉහළ ආදායම් වාර්තා තබන්නත් අදාළ චිත්‍රපටය සමත් වුණා.

මෙහි දී පළමු කොට අගය කරන්න ඕනි සිනමා කෘතියක් වශයෙන් හෝ ගානා පොකුණ සංස්පර්ශ කරන්න උත්සාහ ගෙන තිබෙන සමාජ පැතිකඩ සහ දේශපාලන රාමුව පිළිබඳ ව. නමුත්, අපි ඉතාමත් කණගාටුවට පත්වෙනවා ඒ සමස්ත සන්දර්භය තුළ පළ වන එක්තරා සංවාදයක් ආශ්‍රිත දෙබස් කාණ්ඩයක් මුළු චිත්‍රපටයේ ම හරයාත්මක වටිනාකම් කණපිට පෙරැළීමට ඉදිරිපත් වීම ගැන. ළමා චිත්‍රපටයක් හැටියට ප්‍රකට වූ නිසාවෙන් වැඩිදෙනෙකුගේ අවධානයක් ඊට යොමු වූයේ නෑ. නමුත්, දැන් දැන් ඒ සම්බන්ධයෙන් කිසියම් කතාබහක් නිර්මාණය වී තිබෙනවා. කාටහරි හිතෙන්න පුළුවන් මේ පුංචි දෙබසක් නිසා රසවත් නිර්මාණයකට ගර්හා කිරීම නො කළ යුතු දෙයක් ය කියල. නමුත්, පැහැදිලි ව කියන්න ඕනි එම දෙබස් මාලාවේ අන්තර්ගතය හා එමඟින් සමාජයට, විශේෂයෙන් ළමා මනසට දානය කරන පණිවිඩය එසේ ආවාට ගියාට සුළු කොට තකා බැහැර කළ යුත්තක් නො වෙයි. බුදු දහම සම්බන්ධයෙන් ඉතා බරපතල විකෘතියක් එහි ගැබ් වෙනවා පමණක් නො වෙයි, ඒ හරහා බුදුරජාණන් වහන්සේට සහ උන්වහන්සේගේ බුද්ධත්වයටත් ඉතා දරුණු අපහාසයක් ඍජු ව එල්ල කරනවා. මේ සිදු කර ඇති හෝ සිදු වී ඇති වරද සම්බන්ධයෙන් කරුණු විග්‍රහයක් ම විසින් ඉදිරිපත් කරනු ලැබුවා. එය කියැවූ පසු ව යි බොහෝ දෙනෙකුට වැටහී ගියේ අදාළ සිද්ධිදාමයේ බරපතලකම මොකක් ද කියන කාරණාව. ඒ නිසා ඒ සම්බන්ධයෙන් මෙහි දී මම තවදුරටත් ධර්මමය විග්‍රහයන් ගෙන හැර දක්වන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ.

මීට පෙර මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමියන් විසිනුත් අදාළ විකෘතිය පිළිබඳ පුවත්පත් ලිපියක් මඟින් සමාජය දැනුම්වත් කර තිබුණා. ඊට පසු ව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් ප්‍රධාන අදාළ සංවිධානය විසින් ජාතික චිත්‍රපට සංස්ථාවට පැමිණිලි කොට ඒ ගැන සාධාරණ විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා සිටියා. ඇත්තෙන් ම මේ පැමිණිල්ලත් සමඟ යි හෝ ගානා පොකුණේ අදාළ විකෘතිය කෙරෙහි සමාජය තුළ ආන්දෝලනයක් නිර්මාණය වුණේ. එයත් එක්ක ම අපි දුටුවා විශේෂයෙන් අන්තර්ජාලය තුළ සිටින විවිධ ඊනියා සමාජවාදී නිරාගමික කල්ලිකණ්ඩායම් හිටි අඩියේ කුලප්පු වී ඇති ආකාරයක්. ඒ අය ජාතිවාදී ආගම්වාදී බෝඩ් ලෑලි උස්සා ගෙන ඤාණසාර හිමියන්ගේ ක්‍රියාකලාපය විහිලුවට ලක්කිරීමට දරන අසාර්ථක මෝඩ ප්‍රයත්නයත් අපිට දැකගන්න ලැබුණා. ඔය අතරේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන ඉන්දික ෆර්නැන්ඩු ඇතුළු ඊනියා ධවලචින්තකයින් පිරිසකගේ බෞද්ධ විරෝධී අරමුණු එළිදරව් වන ප්‍රකාශ, සඳහන් කීපයකුත් අපට දැකගන්න ලැබුණා. 




ඒ අයගේ අවශ්‍යතාව වුණේ ඤාණසාර හිමියන්ට ඉදිරිපත් කරන චෝදනා පත්‍රයක් තුළින් චිත්‍රපටය ඔස්සේ තමන් සිදු කරගත් වරද වසන් කොට ඊට සියතින් ම සුදු හුණු ගා ගැනීම යි. නමුත් ඒ ඇත්තන්ට ඉතා කණගාටුවෙන් වුණත් කියන්න ඕනි ඔබතුමන්ලාගේ ඔය ස්වයං වින්දනය හැමදාම ලබන්න පුළුවන් එකක් නෙවෙයි කියන කාරණය.

පැහැදිලි ව අපි වටහා ගන්ඩ ඕනි එබඳු බොළඳ සුරතල් කතා මඟින් මෙය යටපත් කළ හැකි සහ වසන් කිරීමට ඉඩ දිය යුතු කාරණයක් නො වෙයි. බුදුරජාණන් වහන්සේ කොතැනක දී ව ත් දේශනා කර නො මැති ප්‍රකාශයක් එහි ඇත්තක් කොට හුවා දක්වනවා පමණක් නො වෙයි, බුදු දහමේ තිබෙන දේශනාවනුත් ඉතා බරපතල විකෘතියකට ලක් කොට තිබෙනවා. එතුළින් මනුෂ්‍යයන් පමණක් නො ව, දිව්‍ය-බ්‍රහ්මාදීන් පවා ශාස්තෘත්වයෙන් ගරු කළ බුදුරජාණන් වහන්සේට දරුණු අපහාසයක් සිද්ධ කර තිබෙනවා. අනෙක් අතට කිසිවෙකුට සම නො වන උන්වහන්සේගේ අසමසම අසහාය මහාප්‍රඥාව ඉතා නින්දා සහගත ලෙස හෑල්ලුවට ලක් කොට තිබෙනවා. එපමණක් නො වෙයි බුදුරජාණන් වහන්සේ ශාස්තෘත්වයෙන් පිළිගැනීම කිසිවක් නො දන්නා මෝඩයෙකු වීමට මාර්ගය ය වැනි අදහසකුත් ව්‍යංගයෙන් කියා පානවා. චිත්‍රපටයක් වැනි ප්‍රබල ප්‍රකාශන මාධ්‍යයක් යොදා ගෙන සිද්ධ කර තිබෙන මේ අකටයුත්ත ඉතා ම බරපතල යි. එය ධර්මකාමී ධම්මචාරී ශාස්තෘගරුත්වය ඇති බෞද්ධ ප්‍රජාව තුළ අමන්දානන්දය නොව සංවේගය දනවන මුග්ධ ක්‍රියාවක්.

අදාළ විකෘතිය හා වරද සම්බන්ධයෙන් සංඝරත්නය විසින් සහේතුක ව කරුණු පෙන්වා දෙද්දී ඉන්දික ෆර්නැන්ඩුලා වැනි චිත්‍රපටයේ වගකිවයුත්තන් විසින් කළ යුතු වන්නේ තමන්ගේ වරද පිළිගෙන, ඊට සමාව භජනය කොට, නිවැරදි කිරීමක් කොට හෝ යළි මෙවැනි වැරදි සිද්ධ නො වන තැනට වගබලා ගැනීම යි. නමුත් එවැනි ඥානාන්විත ප්‍රසාදජනක සාධනීය වැඩපිළිවෙලකට අවතීර්ණ නො වී නූගත් අඳබාලයන් සේ හැසිරෙමින් පූජනීය සඞ්ඝරත්නයට ගර්හා කරද්දී අපට පෙනී යන්නේ ඔවුන් කලාව නමැති වස්ත්‍රයෙන් වසා ගෙන සිටින බෞද්ධ විරෝධී හෙළුබැල්ල ප්‍රදර්ශනය කරන බව යි. බුදුරජාණන් වහන්සේට අපහාස කරද්දී ඊට එරෙහි ව නැගී සිටිය යුතු වන්නේ සංඝරත්නය මිස පාදිලිතැනවත්, ලෙබ්බෙවත් නෙවෙයි. ඒක උන්වහන්සේලාගේ ශුද්ධ අයිතියක්.

කණගාටුවට කාරණය තමයි මේ කලාකරුවන් සමාජවාදීන් යැයි කියා ගන්නා අද සමාජයේ ජීවත් වන රටත් සමාජයත් ඉදිරියේ ධවල ජවනිකා රඟදක්වන ඇතැම් පිරිස් බෞද්ධ සන්දර්භය ම තමතමන්ට රිසි සේ හැසිරවිය හැකි අතකොළුවක් කරගෙන තිබීම. ඊට ප්‍රධාන හේතුව තමයි බෞද්ධ භික්ෂූන්වහන්සේලාගේ ඉවසීම සහ උපේක්ෂාසහගතභාවය. එය මේ උදවිය නිවටකමක් කරගෙන. අපි පහුගිය කාලෙ නත්තල් සමයෙ රූපවාහිනියෙන් දැකපු එක්තරා ආයතනයක් මඟින් පළ කළ වෙළඳ දැන්වීමක් තිබුණා.... එහි නත්තල් සීයා එනව නිල් පාට වෙලා. බටහිර ක්‍රිස්තියානි රටවල්වල නත්තල් සීයල විතරක් නෙවෙයි නත්තල් ආච්චිලත් ඉන්නව.... ඒ මදිවට ක්‍රිස්මස් පාටියට වගේ සැරසිල හෙළුවෙනුත් නටවනව. හැබැයි අපේ රටේ කතෝලික සභාවේ උග්‍ර විරෝධය මත අදාළ වෙළඳ දැන්වීම වහාම ඉවත් කරගෙන රතුපාට නත්තල් සීයෙක් යොදල වරද නිවැරදි කරන්න අදාළ ආයතනයට සිද්ධ වුණා. ඒ තත්ත්වය සහ පල්ලියට තියෙන බිය බුද්ධසාසනය සම්බන්ධයෙන් රටේ පාලක පක්ෂය තුළවත් නෑ. ඒකට එක ම හේතුව බෞද්ධ භික්ෂු සංස්ථාව ඝාතක කල්ලියක් නො වන බව ඔවුන් ප්‍රත්‍යක්ෂ වශයෙන් දන්න නිසා. තමන්ගේ සිනමා කලාවේ සහ සිනමා දැක්මේ අසීමාන්තික බව මොකක් වුණත් ඒකට බුදු දහම අතකොළුවක් කරගන්න ඉන්දික ෆර්නැන්ඩුලාට ඉඩ දෙන්න අපට පුළුවන්කමක් නැහැ.

හෝ ගාන චිත්‍රපටයේ බුදු දහමට ඈඳා දක්වන එම දෙබස අපි පොඩ්ඩක් ක්‍රිස්තු ලබ්ධියටවත්, ඉස්ලාමයටත් ඈඳලා බලමු.



"ඔන්න එක දවසක් ජේසුස් වහන්සේගෙන් එඬේරෙක් ඇහැව්වලු.. උන්වහන්සේ දන්නැත්තේ මොනව ද කියලා... උන්වහන්සේ බිමට නැමිලා නියපිටට පස් ඩිංගිත්තක් අරං කිව්වලු මම මේ ලෝකෙ ගැන දන්නේ මේං මෙච්චර යි කියල. මේ කතාව අහගෙන හිටපු පොඩි එකා පහුවදා ඉස්කෝලේ උදෑසන රැස්වීම අමතමින් කතා කරනවලු ජේසුස් වහන්සේ කිව්වලු... ජේසුස් වහන්සේත් කියලා තියෙනවලු... උන්වහන්සේ දන්නෙ හරි ම ඇබිත්ත යි කියල... ඉතිං... මං වගේ පොඩි ළමයෙක් මොනවත් ම දන්නේ නැති වුණත් කමක් නෑ.... "

ඔය කතාව ම ඉස්ලාමයටත් ඈඳලා බලන්න.

"එක දවසක් අල්ලාහ් දෙවියන්ගෙන් නබිතුමා ඇහැව්වලු, අහෝ දෙවියනි, ඔබ දන්නැත්තේ මොනව ද කියලා. එතකොට අල්ලාහ් දෙවියන් බිමට නැමිලා නියපිටට පස් ඩිංගිත්තක් අරං කිව්වලු මම මේ ලෝකේ ගැන දන්නේ මේං මෙච්චර යි කියලා... මේ කතාව අහගෙන හිටපු පොඩි එකා පහුවදා ඉස්කෝලේ උදෑසන රැස්වීම අමතමින් කතා කරනවලු අල්ලාහ් දෙවියො කිව්වලු... අල්ලාහ් දෙවියොත්ත් කියලා තියෙනවලු... උන්වහන්සේ දන්නෙ හරි ම ඇබිත්ත යි කියල... ඉතිං... මං වගේ පොඩි ළමයෙක් මොනවත් ම දන්නේ නැති වුණත් කමක් නෑ.... "

මෙහෙම කියන්න පුළුවන් ද? බෑ... හේතුව? එහෙම සඳහනක් ක්‍රිස්තියානියේවත්, ඉස්ලාමයේවත් නෑ. බැරි වෙලාවත් එහෙම ප්‍රකාශයක් චිත්‍රපටයේ ඇතුළත් වුණා නම් අපට හොඳ හැටි බලාගන්න පුළුවන් මේ රටේ කතෝලික-මුස්ලිම් ප්‍රජාව සහ ඔවුන්ගේ පූජක පක්ෂය හැසිරෙන විදිහ. ඒවා ඉදිරියේ ඉන්දික ෆර්නැන්ඩුලා කටයුතු කරන විදිහ.

බුදු දහමෙත් එහෙම සඳහනක් නෑ... තියෙනවා නම් හොඳ වුණත් නරක වුණත් එහෙම එකක් තියෙනවා ය කියල කියන්න අපි පැකිළෙන්නෙත් නෑ. ඉතිං... අපි අහන්නෙ? එහෙම නැති දෙයක් ඇති ලෙස බොරු මවා පෑම් කළේ ඇයි? ඒ මදිවට තියෙන දේශනාවනුත් විකෘති කළේ ඇයි? බුද්ධරත්නයට නිගා දෙන ආකාරයේ, බෞද්ධත්වය වැළඳ ගැනීම ගැන පිළිකුල් සහගත හැඟීමක් දනවන ආකාරයේ ප්‍රකාශ ඇතුළත් කළේ ඇයි? මොන පදනමක් උඩ ද? කාගෙන් ලැබුණු අවසරයකට ද? කාගේ කොන්තරාත්තුවක් ඉටු කරන්න ද? මේ බරපතල වරදේ වගකීම පැහැදිලි ව ජාතික චිත්‍රපට සංස්ථාවත්‍, රැඟුම් පාලක මණ්ඩලයත්, සෙසු වගකිව යුතු බලධාරීනුත් පැහැදිලි ව භාර ගත යුතු යි. මොකද ඔවුන් තමයි මේ චිත්‍රපටයට අමුඅමුවේ ම අවසරය දුන්නෙ. අද තත්ත්වය මෙය නම් හෙට මීට වඩා බරපතල හානියක් කරන චිත්‍රපට එළිදක්වන්න පුළුවන්. ඒ නිසා මෙය ඉතා ම නරක පූර්වාදර්ශයක්. ඉන්දික ෆර්නැන්ඩුලා සකල බෞද්ධ ප්‍රජාවගෙනුත්, මහා සංඝරත්නයෙනුත් සමාව අයැදිය යුතු යි. මින් මත්තට මෙවැනි වැරදි සිද්ධ නො කිරීමට තරයේ සිතට ගත යුතු යි. ඒ වගේ ම මෙවැනි සිද්ධි හරහා තවත් වැදගත් අවශ්‍යතාවක් මතු වෙනවා. චිත්‍රපටවල හා ටෙලිනාට්‍යවල ඇතුළත් ආගමික කාරණා නියාමනය කරන්න විධිමත් වැඩපිළිවෙලක් අවශ්‍යය යි. ඒ සඳහා ගිහි-පැවිදි වියත් මඬුල්ලකගේ සහාය ලබා ගැනීම අවශ්‍යය යි. එවිට මින් මත්තටවත් මෙවැනි අපහාසාත්මක ක්‍රියාකාරකම් දකින්න නො ලැබේවි. ඇත්තක් තියෙනවා නම් චිත්‍රපට එකක් නෙවෙයි දාහක් පෙන්වලා හරි ඒ ඇත්ත කියන්න පුළුවන්. හැබැයි නැත්ත ඇත්ත කොට බොරු මවා පෑම සිනමා කර්මාන්තයටත්, ප්‍රේක්ෂකයාටත් කරන බලවත් අසාධාරණයක්.


"මට ගැටලුව තියෙන්නෙ රැඟුම් පාලක මණ්ඩලේ එක්ක" -  ඤාණසාර හිමි



අගනුවරින් ඈත දුෂ්කර ගම්මානයක ජීවත් වූ පුංචි පැටවුන්ගේ හිතේ හිරකරගත් හීන රාශියකි. එහෙත් ඒ එකදු හීනයක් හෝ හැබෑ කරගන්නට තරම් තත්ත්වයක් ඔවුන් තුළ නො පැවැතියේ තමන් ගත කරන ජීවිතයේ ඇති දුෂ්කරතාවයන් නිසා ම ය. ගමේ පාසලට අලුත් ගුරුවරියක් පැමිණෙන්නේ මේ අතර ය. මෙතෙක් කල් මුළුගැන්වී තිබූ දරුවන්ගේ සිහිනවලට පියාපත් ලැබෙන්නේ ගුරුතුමියගේ ආගමනයත් සමඟ ය. මේ අතර දරුවන්ගේ හිතට අලුත් ම හීනයක් පැමිණේ. ඒ තමන් කවරදාකවත් දැක නැති හෝ ගානා පොකුණට යන ගමන යි. ඊට විවිධ බාධා පැමිණිය ද අලුත් ගුරුතුමියගේ නො නවතින උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස අවසානයේ දී දරුවන් හට හෝ ගානා පොකුණ සියැසින් ම දැක ගැනීමේ අවස්ථාව උදා වේ.

හෝ ගානා පොකුණ චිත්‍රපටයේ වඩා විචිත්‍රවත් ලෙස දිග හැරෙන්නේ මේ කතාන්දරය යි. චිත්‍රපටයේ කතා තේමාව මෙය වුවත් එහි අන්තර්ගතයේ විවිධ පැතිකඩ ඔස්සේ සාකච්ඡා කෙරෙන මාතෘකා රාශියක් ම තිබීම ද සුවිශේෂත්වයකි.

හෝ ගානා පොකුණ ප්‍රදර්ශනය ආරම්භ වී දින එකසිය විස්ස පසුකර තිබුණ ද නැවතත් එය කරළියට පැමිණෙන්නේ එම චිත්‍රපටයෙන් බුදුරජාණන් වහන්සේගේ දැනුමේ අඩු බව හැඟවීමට උත්සාහ කර තිබෙන බැවින් එය වහා නිවැරදි කරන ලෙස නිර්මාණකරුවාට බල කරමින් බොදු බල සේනා සංවිධානය විසින් චිත්‍රපට සංස්ථාවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමත් සමඟ ය. එම සංවිධානයේ සභාපති ගලගොඩඅත්තේ ඤාණසාර හිමි මෙලෙස පැමිණිල්ල ඉදිරිපත් කරමින් පෙන්වා දෙන්නේ බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනාවක් වැරදි ලෙස සිනමා නිර්මාණය තුළ අර්ථ දක්වා ඇති බව යි. එනම් බුදුරජාණන් වහන්සේ දැනුම පොඩ්ඩ යි; අපි පොඩි නිසා පොඩ්ඩක් දැනගත්තට කමක් නෑ වැනි අදහසක් එන පරිදි ය. මේ ලිපිය සැකසෙන්නේ ගලගොඩඅත්තේ ඤාණසාර හිමි ඉදිරිපත් කළ අදහස් අනුසාරයෙනි.

පළමුවෙන් ම අපි අපේ කණගාටුව පළකරනවා මෙම චිත්‍රපටය මහජන ප්‍රදර්ශනයට කලින් මේ ගැන කතා කරන්න අවස්ථාවක් නො ලැබීම ගැන. ඒකට එක හේතුවක් තමයි අපේ තිබුණ ප්‍රමාදය. චිත්‍රපට සිනමා ශාලාවල දින 120 ගණනක් ප්‍රදර්ශනය කරලා තිබෙනවා. ඇත්තට ම අපි මෙහි දී කියන්නට ඕනෙ දෙයක් තමයි සමස්තයක් ලෙස මෙය සාර්ථක සිනමා පටයක් බව. ඉතා හොඳ සිනමා අධ්‍යක්ෂණයක්. ඒ විතරක් නෙමෙයි රටේ ජනතාව ආදරයෙන් වැළඳගත්ත චිත්‍රපටයක් හා පොඩි දරුවෝ වෙනුවෙන් නිර්මාණය වූ චිත්‍රපටයක්. ඇත්තට ම අධ්‍යක්ෂවරයා හෝ නිෂ්පාදකවරයා සම්බන්ධයෙන් අපට ගැටලුවක් නෑ. මොකද අධ්‍යක්ෂවරයෙකුගේ චින්තන ධාරාව ඉතා පුළුල් එකක්නෙ. ඕන ම කෙනෙකුට නිර්මාණයක් කරන්න පුළුවන්.

යම් සිනමාපටයක් නිර්මාණය වුණා ම එය වැඩිහිටියන්ට පමණ ද, අතිශයින් ම වැඩිහිටියන්ට පමණ ද, මේක ළමයින්ට විතර ද, එහෙම නැත්නම් පොදුවේ හැමෝට ම නරඹන්න පුළුවන් එකක් ද කියන මේ සහතිකය දෙන්නෙ රැඟුම් පාලක මණ්ඩලයෙන්නෙ. අපේ ප්‍රශ්නෙ තියෙන්නෙ චිත්‍රපට සංස්ථාවේ සභාපති හා රැඟුම් පාලක මණ්ඩලයේ බලධරයෝ එක්ක යි.

මෙම චිත්‍රපටයේ රූප රාමුවක සංයුක්ත නිකායේ මහාවග්ගයේ සිංසපා වග්ගයේ සිංසපා සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාරණාවක් සම්පූර්ණයෙන් ම වැරදි විදිහට අර්ථකථනය කරලා ගැමි කාන්තාවක් හරහා තවත් පුංචි දරුවෙක් පාවිච්චි කරලා. බුදුහාමුදුරුවෝ මේ ලෝකෙ ගැන දැනන් ඉඳලා තියෙන්නේ බොහොම පොඩ්ඩ යි කියලා කියන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයිනෙ. තුන් ලෝකෙ ම ශාස්තෘවරයාණෝ.

මේක දැන හෝ නො දැන සිද්ධවෙලා තිබෙනවා. අපේ රට ඇතුළෙ දරුණු ගණයේ ක්‍රිස්තියානි මූලධර්මවාදී බලවේග ගණනක් ක්‍රියාත්මක වෙනවනෙ. ඒක මේ රටේ සාම්ප්‍රදායික කතෝලික පල්ලියටත් අනෙක් ආගමික සහජීවනයට කැමති හැමෝටමත් ලොකු ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. ඒ අන්තවාදී මූලධර්මවාදී කණ්ඩායම්වල උදවිය අද බෞද්ධානුරූපීකරණයෙන් අපේ අක්මුල් සිඳින වැඩපිළිවෙළක් ආරම්භ කරලා තිබෙනවා, අපි ව සංස්කෘතික වශයෙන් ඝාතනය කරන්නට.

තවත් අපි දන්න දෙයක් තමයි සමහර ගම්බිම්වල අගහිඟකම් එක්ක ජීවත්වෙන හුඟක් ප්‍රදේශවලට ගිහිල්ලා ඔය කණ්ඩායම් බුදු හාමුදුරුවන්ගේ බුද්ධ චරිතය, බෝධිසත්ත්ව චරිතය පවා විකෘති කරමින් දරුවන්ට උගන්වන අවස්ථා. ඒ අර්ථයේ ඉඳල යි අපි මේකට විරුද්ධ වුණේ.

පන්සාලිස් වසක් තිස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ උන්වහන්සේ අවබෝධ කරගත් සියලු ධර්මය නො වේ. මේ පිළිබඳ ව සිංසපා සූත්‍රයේ සඳහන් වන්නේ පහත ආකාරයට යි.

බුදුරජාණන් වහන්සේ මහා ඇට්ටේරියා වනාන්තරයකට වැඩම කර එතැන භික්ෂූන් වහන්සේලා රැස්වුණා ම බුදුරජාණන් වහන්සේ ඇට්ටේරියා කොළ මිටක් අතට අරගෙන භික්ෂූන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි, මේ වනාන්තරයේ තිබෙන ඇට්ටේරියා කොළ ද වැඩි, මගේ අතේ තියෙන කොළ ද වැඩි කියලා. එතොකට මේ හාමුදුරුවරු කියනවා ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ අතේ තිබෙන්නේ ඉතා ම ස්වල්පය යි; නමුත් මේ ඇට්ටේරියා වනයේ කොළ විශාල ප්‍රමාණයක් තිබෙනවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මම අවබෝධ කරගත් ධර්මය මෙම ඇට්ටේරියා වනයේ තිබෙන ඇට්ටේරියා කොළවලටත් වඩා වැඩි යි, නමුත් මම නුඹලාට දේශනා කළ ධර්මය මේ අතේ තිබෙන ඇට්ටේරියා කොළ ප්‍රමාණය තරම් කියා.
මේ දේ තමයි දැන් මේ විකෘතියට අරන් තිබෙන්නේ. කුරානයේ හරි බයිබලයේ හරි ඔහොම දෙයක් වුණා නම් මොකක් ද අද වෙද්දී තියෙන තත්ත්වේ.

අපි මේවා කතා කරන්න ගියහම ඔක්කොම හතුරු යි. අපි ජාතිවාදී.... නැති ප්‍රශ්න ඇති කරනවා කියලා අපිට ගහනවා.

ඉතින් රැඟුම් පාලක මණ්ඩලයෙන් අපි ඉල්ලන්නේ මෙවැනි දෙයක් නැවත වතාවක් නො වෙන්න වග බලා ගන්න ඕනෙ කියලයි. වෙන ආගම්වල නම් තමන්ගේ ආගමික නායකයින්ට මෙවැනි අපහාසයක් සිදු වුණොත් කිසි කෙනෙක් බලාගෙන ඉන්නෙ නැහැනෙ. එහෙනම් ඔවුන් පාරට බහිනවා. අපිට ගැටුමක් නිර්මාණය කරන්නට කිසිදු අවශ්‍යතාවයක් නෑ. අපි කියන්නේ මෙතන විශාල වැරැද්දක් සිදුවෙලා තිබෙනවා කියලයි. මේ වැරැද්ද ගැන කොටපොළ අමරකිත්ති හාමුදුරුවොත්, මහාචාර්ය පාතේගම ඤාණිස්සර හාමුදුරුවොත් කතා කරලා තිබුණා. ඉතින් එහෙම තියෙද්දි තමයි මේ ප්‍රශ්නය උඩට ආවෙ.

අපේ සංස්කෘතියේ හැටියට අපේ ගමක ඉන්න ගැමි කාන්තාවක් කොයිතරම් නූගත් වුණත් කවරදාකවත් බුදු හාමුදුරුවන් ව උපමාවකට ගන්නේ නෑ. නමුත් මේ චිත්‍රපටයේ ඒ දේ සිද්ධ වෙලා තිබෙනවා. මින් පසුවවත් ත්‍රිපිටකය, භික්ෂු චරිත, බුදුරජාණන් වහන්සේගේ තුන්රුවනට අදාළ ව යම් දෙයක් නිර්මාණකරණයක යොදා ගන්නවා නම් අඩු ම තරමේ දැන උගත් හාමුදුරුවරු කීප දෙනෙක්වත් පත් කරලා මේ ගැන කටයුතු කරන්නට ඕනෙ. මොකද සමාජයටනේ මේ දේවල් කතා කරන්නේ. වැරදි දෙයක් සමාජගත වුණොත් ඒක වැරදියි.

මේ චිත්‍රපට වෙන.ත් භාෂාවන්වලට උපසිරැසි යොදලා විකාශය වෙන්න පුළුවන්. එතකොට මේකෙන් ලෝකයට යන පණිවිඩය මොකක් ද බුදුරජාණන් වහන්සේ ගැන. බුදුරජාණන් වහන්සේ දන්නෙ පොඩ්ඩයි කියලනෙ මේකෙන් හැඟෙන්නේ. ලෝකෙ කොහෙවත් එහෙම දෙයක් සඳහන් වෙලා නැහැනෙ.

අපිට ඇත්තට ම ගැටලුවක් තිබෙන්නෙ රැඟුම් පාලක මණ්ඩලය ගැන. රැඟුම් පාලක මණ්ඩලයනෙ චිත්‍රපටය නරඹලා තීරණය කරන්නේ මේක ප්‍රදර්ශනයට සුදුසු යි කියලා. මේ රැඟුම් පාලක මණ්ඩලයට දැන උගත්, රට දැය සමය පිළිබඳ ව හැඟීමක් තිබෙන, මේ රටේ සංස්කෘතියට, හර පද්ධතියට විශේෂයෙන් බෞද්ධයන් හට සැලකිල්ල දක්වලා ඒ ඒ නියාමනයන්ට අනුව වැඩ කරන්න පුළුවන් කීප දෙනෙක් හරි පත් කරන්න ඕනෙ කියන එක තමයි අපට ප්‍රකාශ කරන්නට තිබෙන්නේ.


සාකච්ඡාව හා සටහන : හේමමාලා කුමාරි රාජකරුණා
දේශය පුවත්පත : 2016 අගෝස්තු 14 වන ඉරිදා, 20 පිට.




7 comments:

  1. මෙය හුදෙක් ගැමි කම නොදන්නා කමට ගැමි කතක් සහ ගැමි දරුවකු අතින් කියවෙන ප්‍රකාශයක් සේ නොසලකා සිටිය නොහැකිද.. මන්ද මෙලෙසින් මෙය ඉස්මතුකර නොපෙන්වූ තාක් අප සිතටද මෙවනි අදහසක් නොවැටහුනු බැවිනි.. එමෙන්ම බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලය තුලදීද අපවාද අවමාන එල්ල වූ විට කලබලයෙන් ක්‍රියා නොකල බැවිනි... මා විසින් ඉදිරිපත් කල අදහසෙහි වරදක් ඇත්නම් සමාවෙන්න..

    ReplyDelete
  2. මෙය හුදෙක් ගැමි කම නොදන්නා කමට ගැමි කතක් සහ ගැමි දරුවකු අතින් කියවෙන ප්‍රකාශයක් සේ නොසලකා සිටිය නොහැකිද.. මන්ද මෙලෙසින් මෙය ඉස්මතුකර නොපෙන්වූ තාක් අප සිතටද මෙවනි අදහසක් නොවැටහුනු බැවිනි.. එමෙන්ම බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලය තුලදීද අපවාද අවමාන එල්ල වූ විට කලබලයෙන් ක්‍රියා නොකල බැවිනි... මා විසින් ඉදිරිපත් කල අදහසෙහි වරදක් ඇත්නම් සමාවෙන්න..

    ReplyDelete
  3. මට නම් මේ චිත්තර පටියෙ තේමාව එක්ක මුළුමණින් ම ප්‍රතිවිරෝධතාවක් තියෙනවා. ඒ ස්ත්‍රීවාදය අනවශ්‍ය ලෙස උත්කර්ශයට නැංවීමට ගන්නා බොළඳ උත්සාහය පිළිබදව යි. කෙහොමත් අළෙවිකරණය ජීවනාලිය කර ගත්තු මේ උත්තරාරෝපිත (උඩින් පැටවූ)ලිබරල් ආර්ථිකය තුළ ස්ත්‍රීවාදයට අනවශ්‍ය (අස්වාභාවික / ඊනියා)ප්‍රමුඛත්වයක් ලැබෙනව. ආර්ථික කාසියේම අනෙක් පැත්ත වූ දේශපාළනය තුළ දී අනිවාර්‍ය්‍යෙයන්ම එසේ නම් මේ කරුණ විය යුතු ආකාරයෙන්ම විද්‍යමාන වියය යුතු යි;විද්‍යමාන වෙනව. කොහොමත් මේ පඩංගුවට සම්මානත් ලැබිලනෙ. පහුගිය කාලෙ සම්මාන බලාගෙන ආත්මය විකිණූ ගඳහම, අප්‍රසන්න නතාවිගේ, ආදීන් බයිස්කෝප් කැලෑපත්තර වග්‍මෙ මේකත් ඊනියා ජාත්‍යන්තර සම්මාන ජාවාරම හරහා ලබන තුට්ටු දෙකේ ප්‍රචාරය හරහා හදා ගත් නමක් තුළින් චිත්තරපට බිස්නස් එකෙන් ගොඩ යන්න කරපු ආත්මෙ පාවා දීමක් බව හොඳටම පේනව. මේවයෙ ගත යුතුත්තකට තියෙන තාක්ෂණික හා කළා හරඹ හරියට බල්ලගෙ පස්ස පැත්තෙ බැඳපු මී වදේ වාගෙ. මට වැඩියෙම දුක මේකෙ අධ්‍යක්ෂකයාට මගෙ නමෙත් කෑල්ලක් තියෙන එක ගැනයි ආයිබෝං!

    ReplyDelete
    Replies
    1. අම්මප මටත් ඒ ගැන නම් දුකයි.

      Delete
    2. හොඳ වෙලාවට name කැල්ලක් තිබ්බේ නැත්තේ. නැත්නම් දුක වැඩි වෙලා බෙල්ලේ වැල දා ගන්න වෙන්නේ

      Delete
  4. ස්ත්තුතියි. ඔබතුමාගේ දායකත්වය සිංහල බෞධයන් අපේක්ෂා කරයි .මහමෙවුනාව විසින් ධර්මය / සිංහල බෞද්ධ සාසනය විනාශ කිරීම ගැන ලිපි කීපයක් පලකරන්න හැකිනම්.

    ReplyDelete
  5. මට නම් බලද්දි හොඳටම තේරුනා මේ ෆිල්ම් එක බුදු දහමට ගහනවා කියලා

    ReplyDelete