Jun 30, 2016

සංයුක්ත නිකායේ කස්සප සංයුක්තයේ සද්ධම්මපතිරූපක සූත්‍රය


එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනාථපිණ්ඩික සිටාණන් විසින් කරවන ලද ආරාමයෙහි වැඩ වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් මහාකාශ්‍යප තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියාහ. එළැඹ වැඳ එක්පසෙක හුන්හ. එකත්පසෙක හුන්නා වූ ආයුෂ්මත් මහාකාශ්‍යප තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.

භාග්‍යවතුන් වහන්ස, පූර්වයෙහි ශික්ෂාපද වූයේ ඉතා මඳ අල්ප වශයෙනි. එනමුත්, බොහෝ භික්ෂූහු රහත් බැව්හි පිහිටියාහු ය. දැන් ශික්ෂාපදයෝ ඉතා බොහෝ වෙත්. ඉතා මඳ වූ ම භික්ෂූහු රහත් බැව්හි පිහිටත්. ස්වාමීනි, යම් හෙයකින් පෙර ශික්ෂාපදයෝ ඉතා මඳ වූහු නම්, බොහෝ භික්ෂූහු රහත් බැව්හි පිහිටියාහු නම් ඊට හේතු කවරේ ද? ප්‍රත්‍යය කවරේ ද? වහන්ස, දැන් යම් හෙයකින් ශික්ෂාපදයෝ ඉබොහෝ වෙත් නම් ඉතා මඳ වූ භික්ෂූහුත් රහත්බැව්හි පිහිටත් නම් ඊටත් හේතු කවරේ ද? ප්‍රත්‍යය කවරේ ද? “කො නු ඛො භන්තෙ, හේතු කො පච්චයො යේන පුබ්බේ අප්පතරානි චෙව සික්ඛාපදානි අහේසුං, බහුතරා ච භික්ඛූ අඤ්ඤාය සණ්ඨහිංසු? කො පන භන්තෙ, හේතු කො පච්චයො යෙනෙතරහි බහුතරානි චෙව සික්ඛාපදානි අප්පතරාච භික්ඛූ අඤ්ඤාය සණ්ඨහන්ති?

කස්සපය, මෙය මෙසේ ම වෙයි. සත්ත්වයන් පිරිහෙන කල්හි, සද්ධර්මය අතුරුදන් වන කල්හි ශික්ෂාපදයෝත් ඉතා බොහෝ වෙති. භික්ෂූහුත් අල්ප දෙනෙක් ම රහත් ඵලයෙහි පිහිටත්. “ඒවං හේතං කස්සප, හොති. සත්තේසු හායමානේසු, සද්ධම්මේ අන්තරධායමානෙ, බහුතරානි චෙව සික්ඛාපදානි හොන්ති. අප්පතරා ච භික්ඛූ අඤ්ඤාය සණ්ඨහන්ති

කාශ්‍යපය, ලොව යම් තාක් සද්ධර්මප්‍රතිරූපයක් (=සදහම්පිළිරූ, =සදහම් වැනි වූවෙක් හෙවත් ධර්මයේ නාමයෙන් පවතින අධර්මවාද, =භාෂිතය යයි පවසන අභාෂිතය, =ලපිතය යයි පවසන අලපිතය) නූපදී ද, ඒ තාක් සද්ධර්මයාගේ අතුරුදන් වීමෙක් නො වේ. යම් කලෙක ලොව සද්ධර්මප්‍රතිරූපයක් උපදී ද, එකල්හි ම සද්ධර්මයාගේ අතුරුදන් වීම වේ. “න තාව කස්සප, සද්ධම්මස්ස අන්තරධානං හොති, යාව න සද්ධම්මපතිරූපකං ලොකෙ උප්පජ්ජති. යතො ච ඛො කස්සප සද්ධම්මපතිරූපකං ලොකෙ උප්පජ්ජති, අථ සද්ධම්මස්ස අන්තරධානං හොති.

කස්සපය, යම් සේ ලොව යම් තාක් රන් බඳු දෙයක් හට නො ගනී නම් ඒ තාක් රන් අතුරුදන් වීමෙක් නො වන්නේ ය. එපරිද්දෙන් යම් තාක් කල් සද්ධර්මප්‍රතිරූපයක් නූපදී ද, ඒ තාක් සද්ධර්මයාගේ අතුරුදන් වීම නො වෙයි. යම් කලෙක ලොව සද්ධර්මප්‍රතිරූපයක් උපදී ද, එකල්හි ම සද්ධර්මයාගේ අතුරුදන් වීම වෙයි. “සෙය්‍යථාපි කස්සප, න තාව ජාතරූපස්ස අන්තරධානං හොති යාව න ජාතරූපපතිරූපකං ලොකෙ උප්පජ්ජති. යතො ච ඛො කස්සප ජාතරූපපතිරූපකං ලොකෙ උප්පජ්ජති, අථ ජාතරූපස්ස අන්තරධානං හොති. එවමෙව ඛො කස්සප න තාව සද්ධම්මස්ස අන්තරධානං හොති, යාව න සද්ධම්මපතිරූපකං ලොකෙ උප්පජ්ජති. යතො ච ඛො කස්සප සද්ධම්මපතිරූපකං ලොකෙ උප්පජ්ජති, අථ සද්ධම්මස්ස අන්තරධානං හොති.

පඨවීධාතුව සද්ධර්මය අතුරුදන් නො කෙරෙයි.
(න පඨවිධාතු සද්ධම්මං අන්තරධාපෙති)

ආපොධාතුව සද්ධර්මය අතුරුදන් නො කෙරෙයි.
(න ආපොධාතු සද්ධම්මං අන්තරධාපෙති)

තේජොධාතුව සද්ධර්මය අතුරුදන් නො කෙරෙයි.
(න තෙජොධාතු සද්ධම්මං අන්තරධාපෙති)

වායොධාතුව සද්ධර්මය අතුරුදන් නො කෙරෙයි.
(න වායොධාතු සද්ධම්මං අන්තරධාපෙති)

යම් කෙනෙකු විසින් මේ සද්ධර්මය අතුරුදන් කරවනු ලැබෙත් ද, ඒ මෝඝපුරුෂයෝ මේ ශාසනාභ්‍යන්තරයෙහි ම පහළ වන්නාහ. “අථ ඛො ඉධෙව තෙ උප්පජ්ජන්ති මොඝපුරිසා යෙ ඉමං සද්ධම්මං අන්තරධාපෙන්ති

යම් සේ නැව, වඩාලා බඩු ගැනීමෙන් ම ගිලේ ද, එසෙයින් පරියත්ති ආදින් පිරීමෙන් සදහම් අතුරුදන් නො වේ ය යනු නියමය යි. “සෙය්‍යථාපි කස්සප, නාවා ආදිකෙනෙව ඔපිලවති, න ඛො කස්සප, එවං සද්ධම්මස්ස අන්තරධානං හොති සපුරාලිය යුතු පරියත්ති ආදින් නො පුරාලීමෙන් ම සදහම්හුගේ අතුරුදන් වීම වේ යයි දත යුතු යි.

සද්ධර්මයාගේ අන්තර්ධානය පිණිස වන (අන්තරධානාය), නැසීම පිණිස වන (සම්මොසාය), පිරිහීමට හේතු වන්නා වූ කාරණා (ඔක්කමණීයා ධම්මා) පසෙකි. කවර පසෙක් ද යත්?

භික්ෂූහු ද භික්ෂුණීහු ද උපාසකයෝ ද උපාසිකාවෝ ද :

01. ශාස්තෘෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තාහු යටත් පැවතුම් නැත්තාහු වෙසෙත්.
(සත්ථරි අගාරවා විහරන්ති අප්පතිස්සා)

02. ධර්මය කෙරෙහි ගෞරව නැත්තාහු යටත් පැවතුම් නැත්තාහු වෙසෙත්.
(ධම්මේ අගාරවා විහරන්ති අප්පතිස්සා)

03. සඞ්ඝයා කෙරෙහි ගෞරව නැත්තාහු යටත් පැවතුම් නැත්තාහු වෙසෙත්.
(සඞ්ඝෙ අගාරවා විහරන්ති අප්පතිස්සා)

04. ශික්ෂාව කෙරෙහි ගෞරව නැත්තාහු යටත් පැවතුම් නැත්තාහු වෙසෙත්.
(සික්ඛාය අගාරවා විහරන්ති අප්පතිස්සා)

05. සමාධිය කෙරෙහි ගෞරව නැත්තාහු යටත් පැවතුම් නැත්තාහු වෙසෙත්.
(සමාධිස්මිං අගාරවා විහරන්ති අප්පතිස්සා)

පිරිහීමට හේතු වන්නා වූ මේ දහම් පස සදහම්හුගේ නැසීම පිණිස, අන්තර්ධානය පිණිස පවතිත්.

සද්ධර්මයාගේ පැවැත්ම පිණිස (සද්ධම්මස්ස ඨිතියා), නො නැසීම පිණිස (අසම්මොසාය), අතුරුදන් නො වීම පිණිස (අනන්තරධානාය) පවතින ධර්ම පසෙකි. කවර පසෙක් ද යත් :

මෙසස්නෙහි භික්ෂූහු ද භික්ෂුණීහු ද උපාසකයෝ ද උපාසිකාවෝ ද :

01. ශාස්තෘෘන් වහන්සේ කෙරෙහි ගෞරව ඇත්තාහු යටත් පැවතුම් ඇත්තාහු වෙසෙත්.
(සත්ථරි සගාරවා විහරන්ති සප්පතිස්සා)

02. ධර්මය කෙරෙහි ගෞරව ඇත්තාහු යටත් පැවතුම් ඇත්තාහු වෙසෙත්.
(ධම්මේ සගාරවා විහරන්ති සප්පතිස්සා)

03. සඞ්ඝයා කෙරෙහි ගෞරව ඇත්තාහු යටත් පැවතුම් ඇත්තාහු වෙසෙත්.
(සඞ්ඝෙ සගාරවා විහරන්ති සප්පතිස්සා)

04. ශික්ෂාව කෙරෙහි ගෞරව ඇත්තාහු යටත් පැවතුම් ඇත්තාහු වෙසෙත්.
(සික්ඛාය සගාරවා විහරන්ති සප්පතිස්සා)

05. සමාධිය කෙරෙහි ගෞරව ඇත්තාහු යටත් පැවතුම් ඇත්තාහු වෙසෙත්.
(සමාධිස්මිං සගාරවා විහරන්ති සප්පතිස්සා)

මේ කරුණු පස සද්ධර්මයාගේ පැවැත්ම පිණිස, නො නැසීම පිණිස, අතුරුදන් නො වීම පිණිස පවතී.

යොමුව :
සද්ධම්මපතිරූපකසූත්‍රය, සංයුක්ත නිකාය 2 (නිදාන වග්ගය), කස්සප සංයුක්තය : කස්සප වග්ගය, බුද්ධ ජයන්ති ත්‍රිපිටක පුනර් මුද්‍රණය, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය දෙහිවල, 2006, පි.338-342.

සම්පාදනය :

දිලාන් පංචන ජයසිංහ
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.

No comments:

Post a Comment