Nov 16, 2016

පාලි භාෂාව හා වාග්විද්‍යාව (පළමුවැනි කොටස) වාග්විද්‍යාව හඳුනා ගැනීම හා එහි ඉතිහාසය




විද්‍යනුකූල පර්යේෂණයන්ගෙන් තොර හුදු විශ්වාස මත පමණක් ගොඩනැගුණු පුරාතන වාග්විද්‍යාවේ බීජාවස්ථාවට විද්‍යාවක් වශයෙන් එතරම් වැදගත් ස්ථානයක් හිමි නො වේ. ඒ තත්ත්වයෙහි යම් වෙනසක් සිදු වූයේ වෛදික සංස්කෘත හා ග්‍රීක් වැනි පුරාතන භාෂා කිහිපයක ව්‍යාකරණ බිහි වීමත් සමඟ ය. මේවායේ ආදි කර්තෘන් පුරාතන භාරතීය ආර්යයන් හා පැරණි ග්‍රීකයන් ය. භාෂා තත්ත්ව ගවේෂණයන් හෝ වාග්විද්‍යාත්මක ප්‍රවේශයන් වැනි උසස් ගණයේ භාෂා ඉගෙනුම් ක්‍රමවේද නො මැති යුගයක, භාෂාවේ නිවැරදි ව්‍යවහාරය කෙරෙහි ම යොමු වූ මේ පැරණි වෛය්‍යාකරණිකයෝ, අදහස් ප්‍රකාශ කිරීම හා එහි දී ඇතිවන කායික - මානසික සම්බන්ධතාව, ශබ්දෝත්පාදක ඉන්ද්‍රිය පද්ධතිය හා එහි ක්‍රියාකාරීත්වය, උත්පත්ති ස්ථානය අනුව ශබ්ද වර්ගීකරණය, අක්ෂර වින්‍යාසය, පද සිද්ධිය හා වාක්‍ය නිර්මාණය ආදී භාෂාමය මූලධර්ම කෙරෙහි අවධානය යොමු කළ හ. වාග්විද්‍යා ඉතිහාසය තුළ ව්‍යාකරණයේ බිහි වීම අතිශයින් වැදගත් කොට සැලකෙන්නේ මේ නිසා ය. කෙසේ වෙතත් මුල් යුගය තුළ පෙරදිග හා අපරදිග තුළ ව්‍යාකරණය යන්නෙන් අදහස් කළේ එකිනෙකට වෙනස් භාෂාමය ප්‍රවේශයන් දෙකකි. යාස්ක - පාණිනී - පතංජලී වැනි භාරතීය පඬිවරු පෙරදිග ව්‍යාකරණය බිහි කරමින් උත්සාහ කළේ ආගමික සාහිත්‍යය විෂයෙහි උපකාරවත් වන පරිදි භාෂාව විග්‍රහ කිරීමට යි. එහෙත්, අපරදිග ව්‍යාකරණය (Grammar =  මෙය ග්‍රීක ග්රැමටික් Grammatike යන වචනයෙන් සකස් වූවකි. ලිවීමට සම්බන්ධ හෝ ලිවීමේ කලාවට අයත් යන අර්ථය එහි ගැබ් වී ය) තුළ ඇරිස්ටෝටල් හා ප්ලේටෝ වැන්නවුන් භාෂාව විග්‍රහ කිරීමෙන් මතු නො ව, භාෂාවේ උත්පත්තිය, පරිණාමය වැනි ගැඹුරු මත නිරාකරණය පිණිසත් වෙහෙසුණහ.


පෙරදිග වාග්විද්‍යා ඉතිහාසය

පුරාතන යුගයේ භාරතීය වාග් විද්‍යා ඉතිහාසය

පුරාතන ඉන්දීය ව්‍යාකරණ ඉතිහාසයෙහි මුනිත්‍රය නමින් හැඳින්වෙන මහා ඍෂිවරුන් තිදෙනෙක් පිළිබඳ එයි. ඒ පාණිනී, කාත්‍යායන හා පතංජලී ය. (මොවුන් අයත් වන්නේ මධ්‍යතන ඉන්දු ආර්ය භාෂා යුගයේ, එනම් ප්‍රකෘත යුගයේ මුල් භාගයට යි. එහෙත් ඔවුන්ගේ පරීක්ෂණවලට භාජනය වූයේ ක්‍රි.පූ.පහළොස් වන සියවසේ සිට ක්‍රි.පූ.හය වැනි සියවස දක්වා වූ පුරාතන ඉන්දු ආර්ය යුගයට අයත් වෛදික, බ්‍රාහ්මණික හා ලෞකික සංස්කෘත භාෂා ය. එහෙයින් ව්‍යාකරණ කාර්යය කරණ කොට ගෙන පුරාතන යුගයේ වාග් විද්‍යා ඉතිහාසයෙහි ලා මොවුන් පිළිබඳ සාකච්ඡා කෙරෙයි) මුනිත්‍රයේ පහළ වීමට පෙරාතුව යාස්ක වෛදික සංස්කෘතයට නිරුක්ති සපයන ලදි. සංස්කෘත වාක්මාලාවට අයත් වචන සියල්ල ම සීමා සහිත ධාතු - ප්‍රකෘති ගණනකින් බිඳී ආ බැව් නිරුක්ති හරහා පෙන්වීමට යාස්ක මහත් උත්සාහයක් ගෙන තිබේ. කෙසේ වෙතත්, ක්‍රි.පූ.හතර වැනි සියවස දක්වා ක්‍රමයෙන් වැඩෙමින් ආ සංස්කෘත ව්‍යාකරණය වඩවඩා සංවිධිත කොට අෂ්ටාධ්‍යාය බිහි කිරීමට පාණිනී සමත් විය. ප්‍රත්‍යහාර ක්‍රමය මත ගොඩනැගුණු ශිව සූත්‍ර නමින් හැඳින්වෙන සංක්ෂිප්ත ව්‍යාකරණ සූත්‍ර හාරදහසකින් සමන්විත මෙය සංස්කෘතයට ලියැවුණු පළමු ව්‍යාකරණ ග්‍රන්ථය පමණක් නො ව, ලෝකයේ ශ්‍රේෂ්ඨත ම හා ආදි ම ව්‍යාකරණ ග්‍රන්ථය වශයෙන් ද සැලකේ. මුළු සංස්කෘත භාෂාව ම ගොඩනැගී ඇත්තේ අටසියයක් තරම් වූ ඒකස්වර ධාතු - ප්‍රකෘති මත බැව් අෂ්ටාධ්‍යායී දී පෙන්වා දීමට පාණිනී සමත් විය. ලොව මේ දක්වා නොයෙක් ව්‍යාකරණකාරයින් පාණිනී අනුව යමින් ව්‍යාකරණයෙහි විස්කම් පෑමට උත්සාහ දැරූවත් ඒ කිසිවෙක් පාණිනී තරම් ව්‍යාකරණයෙහි පරිව්‍යක්ත වූයේ යැයි කිව නො හැක. සංස්කෘතයෙහි ලා පාණිනීගේ දැනුමේ ගැඹුර හා පිරිසිඳු බව එපමණට ය. මේ නිසා ම සමකාලීන මෙන් ම, පසු කාලීන පඬුවවන් විසින් ද අවිවාදයෙන් තොර ව පාණිනී මතය පිළිගැනිණ. එසේ ම, සාමාන්‍යය ජනයා විසින් පාණිනී ව්‍යාකරණය ආගමික ග්‍රන්ථ සමූහයෙහි ම ලා ගෞරවයට පාත්‍ර විණ. අෂ්ටාධ්‍යායී සූත්‍ර පාඨය වියත් - අවියත් දෙ පිරිස අතර ම ජනප්‍රිය වීමට එය හේතු වන්නට ඇත.

භාරතීය ඉතිහාසයේ පාණිනීට ලැබෙන්නේ හුදු ව්‍යාකරණකාරයෙකුට හිමි තැනක් නො වේ. ඊට වඩා උසස් තැනකි. වේද මන්ත්‍ර නිපද වූ මහර්ෂීන්ගේ ගණයෙහි ලා භාරතීයයෝ පාණිනී සලකති. එහෙත්, කණගාටුවට කරුණ නම් එතරම් භාෂා ඥානයකින් හෙබියා වූ පාණිනී වැන්නෙක් අවේස්තා - පැරණි පර්සියන් හා ග්‍රීක් වැනි තත්ත්කාලීන භාෂාවන් තුලනාත්මක ව විමසා නො බැලීම යි. පාණිනී උපන්නේ නන්ද රජවරුන් මගධය පාලනය කරන කාලයේ වයඹ දිග ඉන්දියාවේ ශාලාතුරයේ ය. එබැවින් ඊට තදාසන්න බටහිර රටවල ඉරාණීය - ග්‍රීක භාෂා පාණිනී දැන නො සිටියා යැයි කියන්නට ඇති ඉඩත් අඩු ය. තව ද, කලක් භාරතය ග්‍රීකයනට නතු ව තිබූ අතර, ඉන් යම් භාෂාමය බලපෑමක් සිදු නො වුණා යැයි සිතීමත් උගහට ය. තත්ත්වය මෙය නම් පාණිනී තුලනාත්මක භාෂා අධ්‍යයනයට යොමු නො වුණේ ඇයි? ඊට හේතුව වශයෙන් ග්‍රීකයන් විසින් ඉන්දියානුවන් මිලේච්ඡ ගණයෙහි ලා සැලකීම පෙන්වා දිය හැකි යි. මේ නිසා පාණිනී ඕනෑකමින් ම බටහිර භාෂාවන් ගැන සැලකීමට සුළු යම් හෝ තැකීමක් නො කළ බව පිළිගැනීම යුක්ති සහගත යි. කෙසේ වෙතත්, යම් හෙයකින් පාණිනී තුළ එබඳු පෙළැඹවීමක් වූයේ නම් නූතන වාග්විද්‍යාවට වඩා පාණිනී නියෝජනය කළ පුරාතන වාග්විද්‍යාව පෙරමුණට එන්නට තිබුණා ඒකාන්ත යි.

පාණිනී කෙරේ තුබූ අධික ගෞරවයත්, භක්තියත් නිසා ම ඔහුගේ වාග් රීති වෙනස් කිරීමට පසු කාලීන ව පවා කිසිවෙක් කැමති නො වූ හ. පසුකාලීන ව්‍යාකරණඥයින් විසින් බිහි කළ ව්‍යාකරණ කෘති පවා අෂ්ටාධ්‍යායට ලියැවුණු අටුවා හෝ ටීකා විය. මේ දෘඪතර ව්‍යාකරණමය ස්ථාවරය සංස්කෘතයේ වැඩීමට බලවත් පහරක් වූවා පමණක් නො ව, සංස්කෘතය මළ භාෂාවක් බවට පෙරැළීමටත් හේතු විය. භාෂාවක ජීව ගුණය චිරස්ථායී වීමට නම් එය වහරනු ලබන ජනතාවගේ සිතුම් පැතුම්වලට සරිලන පරිදි නම්‍යශීලී විය යුතු ය. නීති රීති රාමුවක් තුළ භාෂාව රඳවනු ලබන තරමට එහි ජීව ශක්තිය පිරිහේ. අෂ්ටාධ්‍යායයෙන් සැලසුණු වැදගත් ම සේවය නම් පසුකාලීන ව එය නොයෙක් ප්‍රාකෘත භාෂාවන්ගේ හා අනාර්ය භාෂාවන්ගේ ව්‍යාකරණයන්ට පාදක මූලාශ්‍රයක් වීම යි.

ඓන්ද්‍රීය කාත්‍යායන අෂ්ටාධ්‍යායී සූත්‍රයට විවේචන ඉදිරිපත් කිරීම නිසා භාරතීය ව්‍යාකරණකරුවන් අතර උසස් තැනක් ලැබූවෙකි. පාණිනීගෙන් සියවසකට පමණ පසු භාරතයෙහි පහළ වූ හෙතෙම පාණිනීගේ ව්‍යාකරණය යාවත්කාලීන කරමින් කලට ගැළපෙන පරිදි වාර්තිකා නමින් හැඳින්වෙන අතුරු සූත්‍ර කිහිපයක් ද එකතු කළේ ය. පාණිනීගේ ව්‍යාකරණ සූත්‍ර බොහොමයක් මොහුගේ විවේචනයට ලක් වූ අතර, ඊට හේතු සාධක ද ගෙන හැර පෑවේ ය.

මහාභාෂ්‍යය රචිත පතංජලී, පාණිනීගෙන් පසු ව භාරතයෙහි පහළ වූ විශිෂ්ටතම සංස්කෘත වෛය්‍යාකරණඥයා වෙයි. භාෂා මූලධර්ම හා ඒවාට කරන ලද සවිස්තරාත්මක විවරණ කරණ කොට ගෙන පාණිනීවාදීන්ට මහාභාෂ්‍යය අතිශය වැදගත් කෘතියක් වූයේ ය. කාත්‍යායනගේ නිර්දය විවේචනයට ලක් වීමෙන් හානි වූ අෂ්ටාධ්‍යායී සූත්‍රපාඨය යළි ප්‍රතිගාමීත්වය කරා රුගෙන යාම, එනම් පාණිනී මතය ආරක්ෂා කිරීම මොහු හරහා සිදු විය. කාත්‍යායන, පාණිනී මත විවේචනය කළේ ඒ අදහස් හරි හැටි තේරුම් නො ගැනීමෙන් වන බව පතංජලී හෙළි කළේ ය. එහෙයින්, ක්‍රි.පූ.දෙ වැනි සියවසේ දී පමණ මහාභාෂ්‍යය රචනා කරමින් කාත්‍යායන අෂ්ටාධ්‍යායී සූත්‍රවල සාධාරණත්වය සනාථ කරමින් පුළුල් විවරණයක් කළේ ය. එමඟින් කාත්‍යායනගේ විවේචනවලට එල්ල වූයේ බලවත් පහරකි. එසේ ම, පාණිනී මතයට අලුතින් ඇතුළත් කළ යුතු යමක් වෙයි නම් එය ද එකතු කිරීමට පතංජලී අමතක නො කළේ ය.

කෙසේ වෙතත්, බෙංගාලයේ ඛෝපදේව විසින් මුග්ධබෝධය රචනා කෙරෙමින් පසු කාලීන ව පාණිනී ව්‍යාකරණයේ ලිහිල් භාවිතය ගැන අදහස් ඉදිරිපත් කර ඇත. මීළඟට සාකච්ඡා කරන ප්‍රාකෘත භාෂාවන්ගේ නැඟී ඒම හමුවේ ජෛන - බෞද්ධ සමයන්ට එරෙහි ව බ්‍රාහ්මණ සම්ප්‍රදාය රැකීම ඛෝපදේවගේ මේ ප්‍රයත්නයේ මූලික අරමුණ වී තිබේ.

මධ්‍යතන යුගයේ භාරතීය වාග්විද්‍යා ඉතිහාසය

පතංජලීගේ විවරණ හේතුවෙන් පාණිනීකරුවන් ලැබුවේ නව පණකි. සංස්කෘතය මළ බසක් බවට පත් ව තිබුණ ද, උගත් පණ්ඩිතයන් අතරේ එය දෛව ග්‍රන්ථයක් බවට පත් ව තිබුණේ ය. සංස්කෘතයෙන් තොර පාණ්ඩිත්‍යයක් ද මෙකල නො වී ය. නමුත්, මධ්‍යතන යුගය වන විට ප්‍රාකෘතය නමින් හැඳින්වුණ ප්‍රාදේශීය ව්‍යවහාර කීපයක් ම සාහිත්යික භාෂා බවට පෙරැළීම හේතු කොට ගෙන භාරතීය වාග් විද්‍යා ඉතිහාසයේ මහත් පෙරුළියක් සිද්ධ විය. මේ ප්‍රාකෘත භාෂාවෝ පුරාතන ඉන්දු - ආර්ය යුගයේ මූලාරම්භයේ පටන් ම පොදු ජනයා අතර වාචික ව්‍යවහාරයට පමණක් සීමා වූ භාෂාවෝ ය. මහාවීරගේ ජෛන සමයත්, ගෞතම සම්බුද්ධයන්ගේ බුදු සමයත් ආශ්‍රය කොට ගෙන මේ ප්‍රාකෘත භාෂාවෝ භාරතය තුළ අස්ථිත්වයට පත්විණ. ජෛන සමයත්, බුදු සමයත් ඉස්සරනිම්මාණවාදී බ්‍රාහ්මණික මතයන්ට එරෙහි ව ගොඩනැගුණු ශ්‍රමණ සම්ප්‍රදාය ම නියෝජනය කළ ආගමික සංස්ථාවන් වූයෙන් බ්‍රාහ්මණික සංස්කෘතයේ භාෂා අධිපතීත්වය ක්‍රමයෙන් දියාරු වී ගියේ ය. පොදු ජනයා අතර බහුල ව භාවිත ප්‍රකෘත භාෂා විශේෂයන් තම දේශනා මාධ්‍යය බවට පත් කර ගත් මේ ශාස්තෘන් හරහා භාෂා ප්‍රජාතන්ත්‍රවාදය කරලියට පැමිණියේ ය. මේ නව දාර්ශනික ප්‍රභවයන්ට සාර්ථක ලෙස මුහුණ දීමට තරම් බ්‍රාහ්මණවාදය ප්‍රබල නුවූයෙන් ජාතිගෝත්‍රවාදය සමඟ සංස්කෘතය ද යටපත් ව ගියේ ය. මේ නිසා ප්‍රාකෘතයට ලැබුණු තැන මධ්‍යතන යුගයේ මුල් භාගයේ දී ම රාජ්‍ය භාෂා තත්ත්වයට පත් වීමෙන් ම පැහැදිලි වේ. මෞර්ය යුගයේ සෙල් ලිපි ඊට කදිම නිදර්ශනයකි. සියවස් කීපයක් ඇතුළත ශෞරසේනි, මහාරාෂ්ට්‍රි, පෛශාචී වැනි දේශීය ප්‍රාකෘත භාෂාවන් ද සාහිත්යික භාෂාවන් බවට පරිවර්තනය වීම නිසා මුළු මහත් උත්තර භාරතය පුරා ම ප්‍රාකෘතයට හිමි වූයේ ඉතා උසස් තත්ත්වයකි.

ප්‍රාකෘත ව්‍යාකරණයන්ට අෂ්ටාධ්‍යායී සූත්‍රපාඨය බොහෝ උපකාරවත් වූ පාදක මූලාශ්‍රයක් වූ බව යට දක්වන ලදි. එහෙත්, මෙතෙක් කථා ව්‍යවහාරයට පමණක් සීමා වී තිබූ ප්‍රාකෘත භාෂා සාහිත්යික භාෂා බවට සංවර්ධනය වීමේ දී සංස්කෘතයට ව්‍යාකරණ න්‍යායන්ට වඩා විශාල වෙනස්කම් රාශියකින් යුක්ත විය. විශේෂයෙන් සංස්කෘත වාක් මාලාවේ යෙදෙන උච්චාරණයට හා අර්ථාවබෝධයට අපහසු වචන රාශියක් නො සලකා හරිමින් නව්‍ය වචන එකතු කිරීම ඇතුළු ව අක්ෂර වින්‍යාසයෙහි, පද සිද්ධියෙහි, වාක්‍ය නිර්මාණයෙහි සිදු නන් වැදෑරුම් වෙනස්කම් ප්‍රාකෘත සාහිත්‍යය තුළ දිස් වී ය. සාහිත්යික භාෂාවන් වශයෙන් ප්‍රාකෘතය ගොඩනැංවීමේ දී වරින්වර ඉදිරිපත් වූ භාෂා තත්ත්වඥයින් කිහිප දෙනෙකුගේ සේවය කැපී පෙනෙයි. වරරුචි හා හේමචන්ද්‍ර මේ අතර ප්‍රධාන ය. මොවුන්ට පෙර සිටි සෑම සංස්කෘත වෛය්‍යාකරණකාරයෙකු ම කළේ සංස්කෘත භාෂාව පමණක් පරීක්ෂා කොට ඊට ව්‍යාකරණ සැපැයීම ය. ඒ හැර පොදු ජනයා අතර ව්‍යවහාරිත ප්‍රාථමික ප්‍රාකෘත භාෂා ගැන අවධානයක් දක්වන්නට උවමනාවක් ඔවුනට නො වී ය. නමුත්, ප්‍රාකෘත භාෂා තත්ත්වඥයින් මධ්‍යතන ඉන්දු - ආර්ය යුගයෙහි භාවිත සියලු ම ප්‍රාකෘත භාෂා හා උපභාෂා සේ ම, සංස්කෘතයත් තුලනාත්මක ව පරීක්ෂා කර භාෂාවන්ගේ නියම තත්ත්වය හෙළි කර ගැනීමට සමත් විය. ප්‍රාකෘතයට ව්‍යාකරණ සැපැයීමේ දී සංස්කෘතය ආදර්ශයට ගැනෙන්නට ඇත්තේත් මේ අනුව විය යුතු යි.

ක්‍රි.පූ.පළමු වැනි සියවසේ පමණ ජීවත් වූ වරරුචිගේ ප්‍රාකෘත ප්‍රකාශය ප්‍රාකෘත භාෂාවන් පිළිබඳ ලියැවුණු ආදි ම හා අංග සම්පූර්ණ ශාස්ත්‍රීය ග්‍රන්ථයක් වශයෙන් පිළිගැනීමට ලක්වෙයි. පරිච්ඡේද ගණනින් දොළහක් හා සූත්‍ර ගණනින් 487 ක් වන සිය කෘතියේ දී වරරුචි මහාරාෂ්ට්‍රි ප්‍රාකෘතය සඳහා වැඩි බර තැබීමක් කළ ද, ශෞරසේනි, මාගධි හා පෛශාචි ප්‍රාකෘතයන් සඳහා ද යම් ඉඩක් වෙන් කරැ තිබේ. මහාරාෂ්ට්‍රියට සම්පූර්ණ ව්‍යාකරණයක් සපයා ඉතිරි භාෂාවන් මහාරාෂ්ට්‍රියෙන් වෙනස් වන තැන් පමණක් පෙන්වා දීමට හෙතෙම පෙළැඹී තිබේ. ඒ අනුව පළමු පරිච්ඡේද නවය මහාරාෂ්ට්‍රිය සඳහා වෙන් කොට ඉතිරි පරිච්ඡේද තුන සෙසු ප්‍රාකෘත භාෂා තුන සඳහා වෙන් කොට තිබේ. සූත්‍ර සංඛ්‍යාව අතින් ගත් විට මහාරාෂ්ට්‍රිය සඳහා සූත්‍ර 424 ක් ද, ශෞරසේනියට සූත්‍ර 32 ක් ද, මාගධියට සූත්‍ර 17 ක් ද, පෛශාචියට 14 ක් ද වශයෙන් වෙන් කොට තිබේ. මේ බෙදුම්කරණයේ අසාධාරණත්වයක් ද නොමැත. මුල් පරිච්ඡේද නවය මඟින් ඉදිරිපත් කැරෙන සූත්‍ර 424 ම දක්වන ලද සෙසු ප්‍රාකෘත භාෂාවන්ට ද අනන්‍යසාධාරණ හෙයිනි. මේ නිසා සෙසු ප්‍රාකෘතයන් පිළිබඳ හැඳින්වීමේ දී ඒවා මහාරාෂ්ට්‍රියෙන් වෙනස් වන්නේ කෙසේ ද යන්න පමණක් දැක්වීම ප්‍රමාණවත් බව වරරුචි නිගමනය කරන්නට ඇත.

වරරුචිගෙන් පසු ව ගුජරාටියේ විසූ ජෛන පූජකයෙකු වන හේමචන්ද්‍රගේ හෛම ව්‍යාකරණය ද ප්‍රාකෘත ව්‍යාකරණයෙහි ලා ප්‍රමුඛත්වයෙන් සලකනු ලැබේ. ඊට වරරුචිගේ ප්‍රාකෘත ප්‍රකාශය ද මූලාශ්‍රය වී තිබේ. එහෙත්, ප්‍රාකෘත ප්‍රකාශයේ දී වරරුචි දැක්වූ අදහස්වලට වඩා හෛම ව්‍යාකරණයේ දී හේමචන්ද්‍ර ඉදිරිපත් කරන මත පර්යේෂණාත්මක වශයෙන් පරිපූර්ණ ය. සමකාලීන සියලු ප්‍රාකෘතයනට අයත් සාමාන්‍යය සාහිත්‍යය සේ ම, ආගමික සාහිත්‍යයන් පිළිබඳවත් හේමචන්ද්‍ර තුළ වූ පුළුල් හා ගැඹුරු අවබෝධය ඊට හේතු වූවා විය හැක. කොටින්ම සංස්කෘත ව්‍යාකරණකාරයින් අතරින් හේමචන්ද්‍ර දෙවැනි වන්නේ පාණිනීට පමණක් ය යන මතයෙන් ද ඔහුගේ භාෂා ඥානයේ තරම පැහැදිලි වෙයි. අධ්‍යාය අටකින් යුත් හේමචන්ද්‍රගේ හෛම ව්‍යාකරණය සම්පූර්ණ සූත්‍ර 1119 කින් යුක්ත ය. වරරුචි ප්‍රාකෘත ප්‍රකාශයේ දී මහාරාෂ්ට්‍රියට වැඩි ඉඩක් වෙන් කළාක් මෙන් හේමචන්ද්‍ර ද ස්වකීය කෘතියේ දී මහාරාෂ්ට්‍රියට සූත්‍ර 1119 න් 904 ක් ම වෙන් කළේ ය. එක් අතකින් ප්‍රාකෘත ප්‍රකාශය හෛම ව්‍යාකරණයට පාදක මූලාශ්‍රයක් වීමත්, මහාරාෂ්ට්‍රිය සෙසු ප්‍රාකෘතයන්ට දක්වන ප්‍රබල සබඳතාවත් මෙසේ වැඩි සූත්‍ර ගණනක් මහාරාෂ්ට්‍රිය කෙරෙහි වෙන් කිරීමට හේතු වන්නට ඇත. කෙසේ වෙතත් තවත් ප්‍රාකෘත විශේෂයක් වන අපභ්‍රංශය ගැන හේමචන්ද්‍රගේ ව්‍යාකරණයේ තරම් විවරණයක් හමු වන වෙනත් ග්‍රන්ථයක් නැත. අපභ්‍රංශය වෙනුවෙන් හේමචන්ද්‍ර ඉදිරිපත් කරන ව්‍යාකරණ සූත්‍ර ප්‍රමාණය ගණනින් 117 කි. මීට අමතර ව පෛශාචිය වෙනුවෙන් සූත්‍ර 52 ක් ද, ශෞරසේනිය වෙනුවෙන් සූත්‍ර 27 ක් ද, මාගධිය වෙනුවෙන් සූත්‍ර 15 ක් ද, චූල පෛශාචිය වෙනුවෙන් සූත්‍ර 04 ක් ද වෙන් කොට තිබේ. හෛම ව්‍යාකරණයට අමතර ව හේමචන්ද්‍ර විසින් ලියැවුණු තවත් කෘතියක් වශයෙන් දේශීය නාම මාලාව සඳහන් කළ හැක. මෙය අමිශ්‍ර ප්‍රාකෘත වචන ඒකරාශී කොට පිළියෙල කර ඇත.

වරරුචි හා හේමචන්ද්‍රට අමතර ව ප්‍රාකෘතයට ව්‍යාකරණ සැපැයූ තවත ව්‍යාකරණඥයින් විසි නව දෙනෙකු පමණ විසූ බැව් තොරතුරු හමු වේ. එහෙත්, එම ව්‍යාකරණ කෘති අතරින් දැනට ඉතිරි ව ඇත්තේ ලක්ෂ්මිධරගේ ෂඩ්භාෂා චන්ද්‍රිකා, මාර්කණ්ඩේය කවීන්ද්‍රගේ ප්‍රාකෘත සර්වස්ව, සිංහරාජගේ ප්‍රාකෘතරූපාවතාර හා චණ්ඩගේ ප්‍රාකෘත ලක්ෂණ යන මේවා පමණි. කෙසේ වෙතත්, මේ කාලය වන විට සිංහලයන් අතර ද බුදු සමය පැතිරී තිබුණෙන් ථෙරවාදී සාහිත්‍යාගත ප්‍රාකෘත භාෂාවේ බලපෑම ද ලංකාව තුළ ප්‍රබල ව දක්නට ලැබිණි. ඒ අනුව අද පාලි නමින් හඳුන්වන ප්‍රාකෘත භාෂා විශේෂය සඳහා අනුරාධපුර යුගය වන විට කාත්‍යායන හා මොග්ගල්ලාන පණ්ඩිත යතිවරුන් විසින් ව්‍යාකරණ රීති ග්‍රන්ථ සම්පාදනය කෙරිණ. ඒ කරණ කොට ගෙන කච්චායන හා මොග්ගල්ලාන යනුවෙන් ගුරු කුල දෙකක් ද ලංකාව තුළ බිහි වූ අතර, ඒ ව්‍යාකරණ ග්‍රන්ථයෝ ද මධ්‍යතන යුගයේ භාරතීය වාග්විද්‍යා ඉතිහාසයෙහි ලා ගැනෙති.

බටහිර වාග්විද්‍යා ඉතිහාසය

දර්ශනය, මනෝවිද්‍යාව ආදී කොට ඇති බටහිර සියලු විෂය ක්ෂේත්‍රයන්ට ග්‍රීසිය ප්‍රාරම්භක වූවාක් මෙන්, බටහිර වාග්විද්‍යාවේ මූල බීජ ද ග්‍රීසිය තුළ රෝපණය වූ බව පිළිගන්නට සිදු වෙයි. එහෙත්, භාරතීය වෛය්‍යාකරණඥයින් මෙන් ග්‍රීකයන් භාෂාව විග්‍රහ කරමින් වර්ණනාත්මක හා විවේචනාත්මක ව්‍යාකරණ සැපැයීමට උත්සුක වූ බවක් නො පෙනේ. ඒ වෙනුවට ඔවුන් භාෂාවේ ප්‍රභවය, පරිණාමය ආදි භාෂාව සම්බන්ධයෙන් පැන නැගුණු ගැඹුරු දාර්ශනික ගැටලු නිරාකරණය කිරීම පිණිස වෙහෙසුණහ. ක්‍රි.පූ.හය වැනි සියවසේ පමණ විසූ පයිතගරස් හා හෙරක්ලිටස් මේ සඳහා පෙරමුණ ගත්හ.

ව්‍යාකරණයක් ඇති වීමට තරම් තුඩු දෙන අදහස් ග්‍රීකයන් තුළ ඇති වූයේ ප්ලේටෝගේ පටන් ය. ව්‍යාකරණය අරමුණු කොට නො ලියැවුණත් ක්‍රතිලෝස් ග්‍රන්ථය මඟින් ග්‍රීක ශබ්ද මාලාව ඝෝෂ - අඝෝෂ යනුවෙන් කොටස් දෙකකට බෙදූ ප්ලේටෝ, ගැඹුරු ග්‍රීක් වචන සඳහා නිරුක්ති සැපැයීමට ද යම් උත්සාහයක් ගෙන තිබේ. ශාස්ත්‍රීය හා ව්‍යාකරණාත්මක අතින් මේවා එතරම් වැදගත් නුවූව ද, ඔහුගේ පරිශ්‍රමය ම වැදගත් ය. ප්ලේටෝගේ ම අන් කෘතියක් වන සොෆිස්ට් නම් ග්‍රන්ථය හරහා භාෂාව යනු කුමක් දැයි හඳුනා ගනු පිණිස ඔහු තුළ වූ කුතුහලය මොනවට පහදයි.

"අදහස් හා භාෂාව යන දෙක ම එකකි. ආත්මය ආත්මය සමඟ ම ශබ්ද නූපදින ලෙස කථා කරන්නේ අදහස්වලිනි. එම අදහස් ම ශබ්දවලට හරවා තොල අතරින් පිට කිරීම කථාව යි. එම නිසා අදහසුත්, භාෂාවත් අතර වෙනසක් නැත."

මතවාදමය වශයෙන් නොයෙක් වෙනස්කම් පැවැතියත් ප්ලේටෝගේ ප්‍රයත්නයේ ඵල නෙලා ගනු ලැබූයේ ඇරිස්ටෝටල් ය. නාම - ක්‍රියා - නිපාත යනුවෙන් ග්‍රීක් වාක් මාලාව ප්‍රධාන කොටස් තුනකට බෙදා, ලිංග - විභක්ති හා සමාස වෙන් වෙන් වශයෙන් හඳුන්වා දීමට හෙතෙම උත්සුක වී ය. මේ නිසා වාග්විද්‍යාව යන වචනය පවා නො බිහි ව තිබූ යුගයක, ඇරිස්ටෝටල් නියම භාෂා තත්ත්වඥයෙකු සේ ක්‍රියා කර ඇති බව නූතන වාග්විද්‍යාඥයින්ගේ අදහසයි. පසු කලෙක දියෝනිසියස් හරහා නූතන යුරෝපීය භාෂාවන්ගේ ව්‍යාකරණයන්ට පසුබිම සැකසුණේ ද ඇරිස්ටෝටල් ක්‍රමයේ පිහිටාධාරයෙනි. භාරතයේ පාණිනී තරම් ව්‍යාකරණයෙහි දක්ෂ විශාරදයෙකු නුවූව ද, පණ්ඩිතමානී බහුශ්‍රැතයෙකු හා දාර්ශනිකයෙකු වශයෙන් ඇරිස්ටෝටල් තුළ වූ පරිකල්පන මහිමය ඔහුගේ භාෂාත්මය විග්‍රහයන්ට හේතුභූත වන්නට ඇත.

මෙසේ භාෂාවට ව්‍යාකරණ සැපැයීම සම්බන්ධයෙන් ඇති ව තිබූ මේ උද්වේකර පසුබිම කරණ කොට ගෙන ක්‍රි.පූ.දෙ වැනි සියවසේ දී පමණ මුල් වරට ව්‍යාකරණ ග්‍රන්ථයක් බිහි කිරීමට දියෝනිසියස් ත්‍රැක්ස් සමත් විය. යට දක්වන ලද පරිදි හේ ඇරිස්ටෝටල්ගේ අනුගාමිකයෙකු වූයේ ය. ග්‍රීක භාෂා ගුරුවරයෙකු වූ හෙතෙම රෝම ශිෂ්‍යයනට ග්‍රීක් බස ඉගැන්වීමේ දී ආධාර කර ගනු පිණිස පේළි හාරසියයක් තරම් වන පරිදි සංක්ෂිප්ත ව්‍යාකරණ ග්‍රන්ථයක් සම්පාදනය කළේ ය. මේ නිසා එක්තරා මට්ටමකට භාරතයේ පාණිනීගේ කාර්යයට හා සේවයට සමාන තත්ත්වයක් බටහිර ව්‍යාකරණය තුළ දියෝනිසියස් උසුලයි. ප්‍රමාණයෙන් ලඝු වුවත් ග්‍රීක බස සැලකිය යුතු මට්ටමින් හැදෑරිය හැකි තරම් පරිපූර්ණ ව්‍යාකරණමය මූලධර්ම එහි රුස් කරන ලදි. පසු ව දියෝනිසියස්ගේ ම අනුගාමිකයෙකු වූ ඇපලෝනියස් වාක්‍ය රීති සංග්‍රහයක් කරමින් දියෝනිසියස්ගේ ව්‍යාකරණයට ඌන පූරක සපයන ලදි. ග්‍රීක ව්‍යාකරණය පරිසමාප්තියට පත් වූයේ ඉන් අනතුරු ව ය. දියෝනිසියස්ගෙන් සියවස් හයකට පමණ පසු ව ඔහුගේ ව්‍යාකරණ ග්‍රන්ථය ආර්මේනියන්, සිරියැක් හා ලතින් භාෂාවලට ද පරිවර්තනය වූයේ ය. මේ නිසා පසු කලෙක නූතන යුරෝපීය භාෂාවන් සඳහා ව්‍යාකරණ සැපැයීමට දියෝනිසියස්ගේ ව්‍යාකරණය පාදක මූලාශ්‍රයක් වූයේ ය. ඒ අනුව ක්‍රි.පූ.පළමු වැනි සියවසේ දී විසූ වරෝ නමැති රෝමන් පඬිවරයා දි ලිංග්වා ලැටිනා නමින් ග්‍රන්ථ විසි හතරකින් පමණ සමන්විත ලතින් ව්‍යාකරණය කළේ ය. පහළොස්වන සියවස දක්වා විවිධ ම්මටමින් සංවර්ධනය වූ මෙම ලතින් ව්‍යාකරණ ග්‍රන්ථ සමූහයෙන් දැනට ඉතිරි ව ඇත්තේ ග්‍රන්ථ හයක් පමණි. පහළොස්වන සියවසේ මැද භාගයේ දී පමණ ලොරොන්ටියස්ගේ ලතින් ව්‍යාකරණය දහඅට වැනි සියවස වන විටත් ඉතා උසස් කොට සැලකිණ.

මධ්‍යතන යුගය වන විට යුරෝපය තුළ භාෂා ක්ෂේත්‍රයේ සැලකිය යුතු වර්ධනයක් විද්‍යමාන නො වී ය. මේ තත්ත්වයේ වෙනසක් සිදු වූයේ ක්‍රි.ව.1453 දී පමණ ඔටෝමන් තුර්කිවරුන් කොන්ස්තන්තිනෝපලය ආක්‍රමණය කිරීමත් සමඟ ය. පැරණි භාෂා සාහිත්‍යය ඉතාලිය කේන්ද්‍ර කර ගනිමින් යුරෝපය පුරා පැතිරෙන්නට විය. පුනරුදයේ උදාව, ජාතික රාජ්‍යය බිහි වීම, දේශගවේෂණ ව්‍යාපාර පුළුල් වීම, මිෂනාරී බලවේගවල ක්‍රියාකාරීත්වය කරණ කොට ගෙන භාෂා අධ්‍යාපනයට වැදගත් තැනක් හිමි විය. විශේෂයෙන් ක්‍රිස්තු ධර්මය හා කතෝලික - ක්‍රිස්තියානි පූජකවරු ඊට මහගු පිටුබලයක් සැපැයීය. උගත් - නූගත් - දුප්පත් - පොහොසත් සෑම කෙනෙකුට ම සාධාරණ ආගමක් වශයෙන් ක්‍රිස්තු ධර්මය සංවර්ධනය කිරීමේ දී හා ව්‍යාප්ත කිරීමේ දී පොදු ජනතාවට විෂය වන දේශීය ව්‍යවහාරයන් භාවිත කිරීම අත්‍යවශ්‍යය විය. මේ නිසා ග්‍රීක් - ලතින් වැනි සාහිත්යික භාෂා උගත් මිෂනාරීවරු ධර්මප්‍රචාරක මාධ්‍යය වශයෙන් දේශීය ව්‍යවහාරයන් යොදා ගත්හ. දේශගවේෂණ ව්‍යාපාර හරහා මිෂනාරී ප්‍රතිපත්තිය ද මූලික අරමුණක් වූයෙන් යුරෝපයෙන් පරිබාහිර දේශවල ස්වදේශික භාෂාවන් ඉගෙනීමට ද ක්‍රිස්තියානි පූජකවරුන්ට සිදු විය. බෞද්ධ පාලි ග්‍රන්ථ ටෝඛාරියන්, ටිබැට්, බුරුම ආදී භාෂාවලට පරිවර්තනය වූවාක් මෙන් බයිබලය ද යුරෝපා රටවල දේශීය භාෂාවන්ට පරිවර්තනය කෙරිණ. වුල්ෆිලා බිෂොප්තැන විසින් බයිබලය ගොතික් බසට පෙරුළුණේ හතර වැනි සියවසේ දී පමණ ය. යළි පස් වැනි සියවසේ දී පමණ පරණ තෙස්තමේන්තුව ග්‍රීක් බසින් ආර්මේනියන් බසට පෙරැළිණ. සාන්ත සිරිල් ස්ලේවියන් බසින් බයිබලය ලියූවේ නව වැනි සියවසේ දී පමණ ය. හීබෲ බස පිළිබඳ පැවැති මූල භාෂා ආකල්පය කරණ කොට ගෙන ඒ භාෂාව කෙරෙහි ද වැඩි නැඹුරුවක් ඇති වූ හ. හීබ_ බසින් ම බිඳී ගිය භාෂාවක් වූ අරාබි බස ඉගෙනීමට ද බොහෝ දෙනෙකු තුළ විශාල පෙළැඹීමක් වූයේ ය. ආගමික සාහිත්‍යය ම නියෝජනය කළ සිරියැක් හා පාතියන් භාෂාවන්ට ද සැලකිය යුතු තැනක් හිමි විය.

මුල්වරට ජර්මන් බසට ව්‍යාකරණ ලිවීම ජර්මානුවන් විසින් අරඹන ලදි. ඉක්බිති නූතන ග්‍රීසිය, ස්පාඤ්ඤය, හංගේරියාව හා ප්‍රංසය ඇතුළු සෙසු යුරෝපා රටවලට ද එය ව්‍යාප්ත වූයේ ය. දේශගවේෂණ ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් වශයෙන් තුලනාත්මක භාෂා ගවේෂණයට ද මඟ පෑදිණ. නොයෙක් භාෂාවන් සංසන්දනාත්මක ව විමසා බලමින් ඒවායේ සමානතා අසමානතා මෙන් ම භාෂාමය අනන්‍යතා ලක්ෂණ මැන බැලීමට ඒ නිසා හැකි විය. ජී පෝස්ටල් නම් නෝරමන් ජාතිකයා මෙහි මූලාරම්භකයා ය. පෝස්ටල් දැමූ පදනම දහ අට වැනි සියවස වන විට භාෂා වර්ගීකරණය කිරීමට තරම් දියුණු මට්ටමක පත් විය. බිබ්ලියැන්ඩර් හා ගෙන්සර් වැනි වාග්විද්‍යාඥයෝ ඊට දායකත්වය සැපැයූහ. එමතු ද නො ව, ප්ලෝටෝගෙන් පසු නිරුක්ති ශාස්ත්‍රයේ පිබිදීමක් ද මෙකල යළි ඇති විය. කිලියනුස් විසින් 1588 දී පමණ ටියුටොනික් භාෂාවේ වචන සඳහා නිරුක්ති සැපැයීම කෙරිණ.

දහ නව වැනි සියවසේ අගභාගය පමණ වන විට නැගී ආ තරුණ ව්‍යාකරණකාරයින්ගේ උද්යෝගය හේතු කොට ගෙන නූතන වාග්විද්‍යාවට නව මුහුණවරක් නිර්මාණය විය. 1855 දී ස්ටේන්තල් විසින් මානසික විද්‍යාව, තර්ක ශාස්ත්‍රය හා ව්‍යාකරණය අතර ඇති සම්බන්ධතාව අනාවරණය කිරීම මේ පිබිදීමට හේතු විය. කාල් බ්‍රැග්මන්, හර්මන් ඔස්තෝප්, හර්මන් පෝල් වැන්නවුන් මේ පරපුරේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළෝ ය. සාහිත්යික භාෂා මෙන් ම ජීව භාෂා ද පරීක්ෂණයට භාජනය කිරීම, භාෂාවේ ප්‍රභවය පිළිබඳ ඓතිහාසික ගවේෂණ, කථාවේ දී ඇති වන කායික - මානසික ක්‍රියාකාරීත්වයන්ගේ සම්බන්ධතාව, භාෂා පරිණාමයට හේතු වූ සාදෘශ්‍යය හා ජාතීන්ගේ සුවීකරණය භාෂාව කෙරෙහි බලපවත්වා ඇති අන්දම ආදී වැදගත් අංශ රාශියක් කෙරෙහි මේ නවක ව්‍යාකරණකරුවන්ගේ අවධානය යොමු වූ බව පෙනෙන්නට තිබේ. ශ්‍රාදේර්, ඇස්කෝලි, මෙය්යේ, ජැස්පර්සන් හා ඩැනියෙල් ජෝන්ස් වැනි වාග්විද්‍යාඥයන් විසින් අද පවත්නා මුහුණුවරට නූතන වාග්විද්‍යාව තවදුරටත් සංවර්ධනය කෙරිණ.


No comments:

Post a Comment