Jun 8, 2016

බෞද්ධ දේව සංකල්පය (තෙවැනි කොටස) - ලෝකයෙහි මුල-අග සෙවීමේ ව්‍යාපාරය



මූලික වශයෙන් ම බුදුරජුන් උත්සුක වූයේ එක්තරා ගැටලුවක් නිරාකරණය කර ගැනීමට ය. එනම්, ලෝකයෙහි විද්‍යමාන වූ දුකෙන් සදහට ම මිදෙන ක්‍රමය වටහා ගැනීමට ය. එක්තරා අවස්ථාවක දී ශ්‍රාවකයන් පිරිසක් ඇමතූ බුදු රජහු තමා උගන්වනුයේ කරුණු දෙකක් පමණක් බව ද, එම කරුණු දෙක නම් දුකත්, දුකින් මිදීමේ මගත් යයි ද (දුක්ඛං චෙව පඤ්ඤපෙමි, දුක්ඛස්සච නිරොධං) පැහැදිලි කරදුන්හ. සත්‍යය හතරක් වශයෙන් දක්වා ඇත්තේ ද මේ කරුණු දෙක ම ය. අවුරුදු හතළින් පහක දීර්ඝ ධර්මප්‍රචාරක ව්‍යාපාරය තුළ ම බුදුහිමියන් වෙහෙසුණේ මෙම කරුණු දෙක ගැන මිනිසුන්ගේ අවධානය යොමු කරවීමට ය. මේ නිසා දීර්ඝ කාලයක් තුළ දේශනා කරන ලද සියලු ම දේශනාවන්ගේ හරය ලෙස සැලකිය යුත්තේ ද දුක සහ ඉන් මිදීමේ මග පැහැදිලි කරදීම ය.

ලෝකයෙහි අග-මුල සෙවීමේ ව්‍යාපාරය ඉතා ඈත කාලයක සිට ම මිනිසුන් කරගෙන ආ දෙයකි. අනාදිමත් කාලයෙක සිට ම ඉන්දියාවෙහි මිනිස්සු ද මේ ගැන අවධානය යොමු කළහ. ලෝකය යනු කුමක් ද? එය ඇතිවූයේ කෙසේ ද? එහි ආරම්භයක් සහ අවසානයක් තිබේ ද? යනාදි ප්‍රශ්න ගැන නොයෙකුත් චින්තකයෝ විවිධ මත ප්‍රකාශ කළහ. බුදු සමය පහළ වුණ වකවානුවේ දී මේ පිළිබඳ ව ප්‍රචලිත ව තිබූ මත රාශියක් ම දීඝ නිකායෙහි බ්‍රහ්මජාල සූත්‍රයෙහි සඳහන් වෙයි. එකී අදහස් එකින් එක ගෙන එහි ඇති සාවද්‍යතාව පෙන්නුම් කළ බුදුරජහු ඉන් එක ද මතයකින්වත් ලෝකය පිළිබඳ සත්‍යතාව හෙළි නො වන බව පැවසූහ. එසේ එම අදහස්වලින් ලෝකය පිළිබඳ ව ඇති ගැටලුව නො විසඳෙනවා පමණක් නො ව, සසර දුක නැති කිරීමේ කර්තව්‍යයට ඉන් ලැබෙන කිසිඳු ආලෝකයක් නොමැති බව ද ප්‍රකාශ කළහ.

බුදුහිමියන්ගේ අදහසට අනුව ලෝකයෙහි මුල-අග සෙවීමේ ව්‍යාපාරය නිරර්ථක ව්‍යායාමයෙකි. බුදුරජුන් විසින් පිළිතුරක් නො දී පසෙකට ලූ ප්‍රශ්න දහයක් පාලි පොත්වල සඳහන් වෙයි. මේවා අව්‍යාකත නොහොත් පැහැදිලි නො කරන ලද ප්‍රශ්න නමින් හඳුන්වනු ලැබේ. එම ප්‍රශ්න දහය ගැන ‘පොට්ඨපාද සූත්‍රයෙහි’ (දීනි. 1, පිට 187-9) මෙසේ සඳහන් වෙයි: “පොට්ඨපාදය, ලෝකය සදාකාලික ය යන මේ කීම ම සත්‍යය, සදාකාලික නො වේ යයි යන අනෙක් කීම අසත්‍යය යි ම’විසින් ප්‍රකාශ නො කරන ලද්දේ ය. ලෝකය සදාකාලික නො වේ යයි යන කීම ම සත්‍යය, සදාකාලික ය යන අනිත් කීම අසත්‍යය යන මෙය ද ම’විසින් ප්‍රකාශ නො කරන ලද්දේ ය. ලෝකය කෙළවරක් ඇත්තේ ය යන කීම සත්‍යය, කෙළවරක් නැත්තේ ය යන අනිත් කීම අසත්‍යය යි මා විසින් ප්‍රකාශ නො කරන ලද්දේ ය. ලෝකය කෙළවරක් නැත්තේ ය යන මේ කීම සත්‍යය, කෙළවරක් ඇත්තේ ය යන අනිත් කීම අසත්‍යය යයි මා විසින් ප්‍රකාශ නො කරන ලද්දේ ය. ජීවය හා ශරීරය එක ම වෙයි, ජීවය අනිකක් ශරීරය අනිකක් වෙයි, සතත්ත්වයා මරණින් මතු උපදින්නේ ය, සත්ත්වයා මරණින් මතු උපදින්නේ නැත, සත්ත්වයා මරණින් මතු උපදින්නේත් නො වෙයි, නූපදින්නේත් නො වෙයි යන මේ ද මා විසින් ප්‍රකාශ නො කරන ලද්දේ ය.” මෙකී ප්‍රශ්න පිළිබඳ ව කිසි ම විධියක පිළිතුරක් දීමට උන්වහන්සේ ඉදිරිපත් නො වූයේ එකී ප්‍රශ්න ඇසීම හෝ ඒවාට පිළිතුරු දීම ප්‍රශ්නය අසන්නාටවත් පිළිතුරු දෙන්නාටවත් කිසි ම යහපතක් පිණිස නො වන නිසා බවත්, ධර්මයට එකඟ නැති නිසා බවත්, බ්‍රහ්මචරියාවට උපකාරී නො වන නිසා බවත්, සංසාරයෙහි කලකිරීම පිණිස, නො ඇලීම පිණිස, නිදහස්වීම (විමුක්තිය) පිණිස, සංසිඳීම පිණිස, අවබෝධය පිණිස, නිවන පසක් කර ගැනීම පිණිස හේතු නො වන නිසා බවත් සඳහන් වේ. මේ පිළිබඳ ව තවදුරටත් පැහැදිලි කිරීමක් බුදුරජහු ‘චූලමාලුංක්‍ය සූත්‍රයෙහි’ (මනි. 1, පිට 427) කරත්. බුදු සසුනෙහි පැවිදි බව ලැබූ මාලුංක්‍යපුත්ත භික්ඛු තෙමේ ඉහත සඳහන් අව්‍යාකෘත ප්‍රශ්න පිළිබඳ ව උද්යෝගයක් දැක්වීය. බුදුරජුන් හමුවට ගොස් මෙකී ප්‍රශ්න ඇසීමට තීරණය කළ ඔහු බුදුරජුන් එම ප්‍රශ්නවලට පැහැදිලි උත්තර නො දුනහොත් බුදුරජුන් වෙතින් වෙන් ව යෑමට ද තීරණය කරගෙන බුදුරජුන් හමුවීමට යයි. එසේ ගොස් එම ප්‍රශ්න බුදුරජුන්ට ඉදිරිපත් කොට ඒවාට පැහැදිලි උත්තර නො දුනහොත් තමා උපැවිදි වන බවට ද තර්ජනය කරයි. එවිට බුදුරජහු මාලුංක්‍යපුත්ත භික්ෂුවගෙන් මෙසේ ප්‍රශ්න කරති. “මාලුංක්‍යපුත්තය, මා නුඹට පොරොන්දුවක් දුන්නෙහි ද තොප පැවිදි වතොත් මේ ප්‍රශ්නවලට මම උත්තර දෙමි ය කියා? එසේ මා කිසි ම පොරොන්දුවක් නො දී සිටිය දී නුඹගේ තර්ජනයෙහි කිසි ම තේරුමක් ඇද්ද? මෙකි ප්‍රශ්නවලට උත්තර ලැබෙන තෙක් බ්‍රහ්මචරියාවෙහි නො හැසිරෙන්නෙමි’යි තොප අදහස් කරතොත් එකී ප්‍රශ්නවලට කිසිදු පිළිතුරක් මා ගෙන් නො ලබා ම තොප මිය යාම සිදුවන්නේ ය” යි පවසන බුදුරජහු එය පැහැදිලි කිරීමට උපමාවක් ද ගෙනහැර පායි. එනම්, විෂ ඊයකින් විදිනු ලැබූ කෙනෙකු එම ඊය ඇද දමා විස වෙදෙකු වෙත ගෙන යාමට ඔහුගේ නෑ මිතුරෝ ඉදිරිපත් වෙති. ඊට ඉඩ නො දෙන විදිනු ලැබූ තැනැත්තා, එම ඊය කිනම් ලෝහයකින් සාදන ලද ද? එය සාදන ලද්දේ කුමන කම්හලේ කවුරුන් විසින් ද? එය සෑදූ පුද්ගලයා උස මහත කෙනෙක් ද? ඊය විදිනු ලැබූයේ කුමන දිසාවක සිට ද? යනාදි විස්තර දැන ගන්නා තෙක් ඊය ඉවත් කිරීමටවත්, විසවෙදුන් කරා ගෙන යෑමටවත් ඉඩ නො දීමට තීරණය කරයි. මේ නිසා වනුයේ කිසි ම දිනෙක ඔහුට එම ප්‍රශ්නවලට පිළිතුරක් ලබා ගැනීමට ඉඩක් නො ලබා ම මිය පරලොව යෑම යි. මාලුංක්‍යපුත්ත භික්ෂුවට තවදුරටත් කරුණු පහදා දෙන බුදුරජහු සසරදුක තේරුම් ගෙන එයින් මිදීමට බඹසර හැසිරෙනු විනා කිසිම දිනෙක අවසාන නිගමනයකට බැසීමට නො හැකි ඉහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සොයන තැනැත්තාට ද සිදු වනුයේ විසහීයෙන් විදිනු ලැබූ තැනැත්තාට වූ දේ ම බව පවසත්.

ලෝකයෙහි අග-මුල සහ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයන් කෙරෙහි මුල් බුදු සමයෙහි දැක්වූ චිත්තාකල්පය ඉහත සඳහන් අවස්ථාවන්ගෙන් පැහැදිලි වූවත්, ලෝකය කලින් කල විකාසනය වන අයුරු සූත්‍ර කීපයකින් ම දැක්වෙයි. මෙම අදහස් බෞද්ධයන් ම ඇති කරගත් අදහස් නො ව, එදා සමාජයෙහි ප්‍රචලිත ව තිබුනු අදහස් වන්නට පුළුවනි. එසේ නමුත් පාලි සූත්‍රයන්හි එම අදහස් ඇතුළත් කර ඇති අන්දමින් වැටහෙනුයේ එකී අදහස් බෞද්ධයන් ස්මෘති වශයෙන් පිළිගත් බව යි. පාඨික සූත්‍රයෙහිත්, බ්‍රහ්මජාල සූත්‍රයෙහිත් මෙම අදහස් සාකච්ඡා කෙරෙයි. මෙයින් පාඨික සහ බ්‍රහ්මජාල යන සූත්‍රයන්හි දැක්වෙන විග්‍රහයන් මූලික වශයෙන් බලාපොරොත්තු වන්නේ ඊශ්වරනිර්මාණවාදී අදහස බිඳ හෙලීම ය. අග්ගඤ්ඤ සූත්‍රයෙහි එන විස්තරයෙන් කෙරෙනුයේ මහාබ්‍රහ්මයාගේ මැවීමකට අනුව වර්ණ භේදය ඇති වූ බව පවසන බ්‍රාහ්මණ ඉගැන්වීම ඉවතලෑමකි. අග්ගඤ්ඤ සූත්‍රය (දීනි. 3, පිට 84-98) ලෝක විනාශය මෙසේ දක්වයි: යම් හේතුවකින් කිසි කලෙක්හි දීර්ඝකාලයක්හුගේ ඇවෑමෙන් මේ ලෝකය වැනසේ ද එබඳු කාලයක මේ ලෝකය වැනසෙන කල්හි බොහෝ සෙයින් සත්ත්වයෝ ආභස්සර බ්‍රහ්මලෝකයෙහි උපදින්නාහු වෙති. ඔහු තුමූ එහි ඕපපාතික ව මනසින් උපන්නාහු ප්‍රීතිය ම ආහාර කොට ඇත්තාහු ස්වකීය ශරීරාලෝකයෙන් ම බබළන්නාහු අහස්හි හැසිරෙන්නාහු මනොඥ ස්වභාව ඇත්තාහු ඉතා දීර්ඝ කාලයක් සිටිත්. යම් හෙයකින් කිසි කලෙක්හි දීර්ඝ කාලයක්හුගේ ඇවෑමෙන් මේ ලෝකය හට ගනී ද, එබඳු කාලයක් වේ. ලෝකය හටගන්නා කල්හි බොහෝ සෙයින් සත්ත්වයෝ ආභස්සර බ්‍රහ්මලෝකයෙන් චුත ව මේ මනුෂ්‍ය ලෝකයට පැමිණෙති. ඔහු තුමූ සිතින් ම උපන්නාහු, ප්‍රීතිය ම ආහාර කොට ඇත්තාහු ස්වකීය ශරීරාලෝකයෙන් ම බබළන්නාහු අහස්හි හැසිරෙන්නාහු මනොඥ ස්වභාව ඇත්තාහු ඉතා දීර්ඝ කාලයක් සිටිත්.

එකල සියලු සක්වල ම ජලයක් ව අඳුරු ව පවත්නේ ය. තද කළුවර වෙයි. සඳ-හිරු දෙදෙන නො පෙනෙති. ග්‍රහතාරකාවෝ නො පෙනෙති. රෑ දාවල් නො පෙනෙති. මාස අර්ධමාසයෝ නො පෙනෙති. ඍතු භේද හා අවුරුදු භේද සහ ස්ත්‍රී පුරුෂ භේදයක් නො පෙනෙයි. සත්ත්වයෝ ය, සත්ත්වයෝ ය යන කොටසට ම ඇතුළත් වෙති.

ඉක්බිත්තෙන් කිසි කලෙක්හි දීර්ඝ කාලයෙක්හුගේ ඇවෑමෙන් ඒ සත්ත්වයන්ට ජලයෙහි රස පොළොව පිහිටන්නී ය. යම් සේ උණු කරන ලද කිරි, නිවෙන කල්හි මතුයෙහි යොදයක් වේ ද, එ’පරිද්දෙන් ම රසපොළොව පහළ විය. ඒ රස පොළොව වර්ණ සම්පන්න විය. සුවඳින් යුක්ත විය. රසයෙන් යුක්ත විය. යහපත් ගිතෙල් හෝ යහපත් වෙඬරු හෝ යම් සේ ද එසේ වර්ණ සම්පන්න විය. පිළව් නැති දඬුවැල් බෑ මියක් යම් සේ ද එබඳු රස ඇත්තී ද විය.

එවිට අධික ආශා ඇති එක්තරා සත්ත්වයෙක් “පින්වත්නි, මේ කුමක් වන්නේ දැ’යි රස පොළොව ඇඟිල්ලෙන් ගෙන රස බැලූයේ ය. රස පොළොව ඇඟිල්ලෙන් ගෙන රස බැලූ ඔහුගේ ආශාව වැඩි විය. ඔහුට එහි තද ආශාව ද පහළ විය. අන්‍ය සත්ත්වයෝ ද ඔහුගේ ක්‍රියාවට අනුව යාමෙන් රස පොළොව ඇඟිල්ලෙන් ගෙන රස බැලුවාහු ය. රස පොළොව ඇඟිල්ලෙන් ගෙන රස බලන්නා වූ ඔවුන්ගේ රස නහර පිනා ගියේ ය. ඔවුන්ට එහි තද ආශාව ද පහළ විය. එවිට ඒ සත්ත්වයෝ රස පොළොව අතින් ගුලි කොට පිඬු පිඬු වශයෙන් කඩා අනුභව කරන්නට පටන් ගත්හ. යම් කලෙක්හි සත්ත්වයෝ රස පොළොව ගුලි කොට පිඬු පිඬු වශයෙන් කඩා අනුභව කරන්නට පටන් ගත්තාහු ද, එකල්හි ඒ සත්ත්වයන්ගේ ශරිරාලෝකය නැති වී ගියේ ය. ශරීරාලෝකය නැති වී ගිය කල්හි සඳ-හිරු දෙදෙන පහළ වූ හ. සඳ-හිරු පහළ වූ කල්හි ග්‍රහ-තාරකා ද සෙසු තාරකා රූපයෝ ද පහළ වූ හ. අනතුරු ව රෑ දාවල් පෙනිණ. රෑ දාවල් ප්‍රකට වූ කල්හි මාස අර්ධ මාසයෝ ප්‍රකට වූ හ. ඍතු-අවුරුදු ප්‍රකට වූ හ. මෙපමණෙකින් මේ ලෝකය නැවත හට ගත්තේ වෙයි.”

ඉක්බිත්තෙන් ඒ සත්ත්වයෝ රස පොළොව අනුභව කරමින් එය ම කමින් එය ම ආහාර කොට ඇති ව බොහෝ දීර්ඝ කාලයක් සිටියාහු ය. යම් යම් පරිද්දෙකින් ඒ සත්ත්වයෝ රස පොළොව අනුභව කරමින්, එය ම කමින් එය ම ආහාර කොට ඇති ව දීර්ඝ කාලයක් සිටියාහු ද ඒ ඒ පරිද්දෙන් ඒ සත්ත්වයන්ගේ ශරීරයෙහි රළු ගතිය ද ඇති විය. වර්ණයාගේ වෙනස් වීම ද පෙනුනේ ය. සමහර සත්ත්ව කෙනෙක් වර්ණවත් වෙති. සමහර සත්ත්ව කෙනෙක් දුර්වර්ණ වෙති. ඔවුන් අතුරෙහි යම් ඒ සත්ත්ව කෙනෙක් වර්ණවත් වෙද්ද, ඔහු තුමූ ‘අපි ඔවුන්ට වඩා අතිශයින් වර්ණවත් වෙමු. අපට වඩා මොහු අතිශයින් දුර්වර්ණය හ’ යි දුර්වර්ණ සත්ත්වයන්ට අවමන් කෙරෙත්. වර්ණය නිසා උපන් අධික මානය හේතුවෙන් ඔවුන්ගේ රස පොළොව නැති වී ගියේ ය.

ඉක්බිති ඒ රස පොළොව නැති වී ගිය කල ඕජා සහිත බිම් හතු පහළ වූයේ ය. යම් සේ නයිහතු පහළ වන්නේ ද එමෙනි. එය වර්ණසම්පන්න විය. සුවඳින් යුක්ත විය. රසයෙන් යුක්ත විය. ඔව්හු ඒ බිම්හතු අනුභව කරමින් එය ම ආහාර කොට ඇති ව බොහෝ දීර්ඝ කාලයක් සිටියාහු ය. එසේ බොහෝ කාලයක් සිටිනා අතර සත්ත්වයන්ගේ ශරීරයන්හි රළු බව ද වැඩි විය. එසේ වඩවඩා ශරීරයන් රළු වීමත් සමඟ ඔවුන්ගේ මානය ද වැඩි විය. මේ නිසා බිම් හතු නැති වී ගොස් ‘බදාලතා’ නම් වූ වැල් ජාතියක් පහළ විය. එම බදාලතා වැල් වර්ණවත් විය. සුවඳින් යුක්ත විය. රසවත් විය. සත්ත්වයෝ ඒ බදාලතා වැල් ජාතිය අනුභව කරමින් බොහෝ කාලයක් සිටියාහු ය. මෙසේ ඉන්නා අතර ඔවුන්ගේ ශරීරයෙහි රළුගතිය තවතවත් වැඩි විය. බදාලතා වැල් ජාතිය නැති වී ගිය විට හැල්හාල් පහළ විය. සවස් වේලෙහි බතට හාල් ගත් ගැන පසු දින වනවිට නැවතත් පිරී තිබිණ. මෙසේ ස්වයංජාත හැල්හාල් අනුභව කරමින් බොහෝ කල් ජීවත් වන විට ඔවුන්ගේ ශරීර රළුගතිය තවතවත් වැඩිවිය. දුර්වර්ණවත් බව තවතවත් වැඩි විය. පූර්වයෙහි දී ස්ත්‍රීන් ව සිටි අයට නැවතත් ස්ත්‍රී ලක්ෂණ පහළ විය. පුරුෂයන් ව සිටි අයට පුරුෂ ලක්ෂණ පහළ විය. ස්ත්‍රීහු පුරුෂයන් දෙස බොහෝ වේලා බලා සිටීමත්, පුරුෂයන් ස්ත්‍රීන් දෙස බොහෝ වේලා බලා සිටීමත් නිසා රාගය ඇති විය. ඒ හේතුවෙන් මෙවුන්දම් ඇති විය. මෙවුන්දමට පුරුදු වූ අය අන් අයගෙන් බේරීම සඳහා සැඟවී මෙවුන්දම් සේවනය කිරීම පිණිස ගෙවල් සාදා ගත්හ.

ඒ කල්හි එක්තරා අලස පුද්ගලයෙක් ඒ ඒ වේලට සරිලන අයුරු හැල් හාල් ගෙන යෑම කරදරයක් කොට සිතා වේල් දෙකකට සරිලන පරිදි හැල්හාල් එකතු කර ගත්තේ ය. අන් අය ද මේ අයුරින් කරන්නට පටන් ගත්හ. මේ අයුරින් සියල්ලෝ ම දින කීපයකට සරිලන පරිදි එක්විට හැල් ගෙන යෑමට පුරුදු වූ හ. මෙසේ හැල් එකතු කරන්නට වීම නිසා ඒවාහි කුඩු ද පොතු ද හටගති. කැපූ තැන්වල නැවත හැල් හට නො ගත්තේ ය. මෙසේ වූ විට සියල්ලෝ ම එකතු ව එකිනෙකාගේ හැල්හේන් මායිම් කරගත්හ.

මෙසේ වෙන් කර ගත් පසු එක්තරා ලෝභ සහගත පුද්ගලයෙක් අනිකාගේ කොටසින් හැල් හොරකම් කළේ ය. ඔහු අල්වාගත් ඒ පුද්ගලයා මතුවට එසේ නො කළ යුතු යයි කියා ඔහු මුදා හැරියේ ය. නමුත්, නැවත නැවතත් ඔහු එලෙස ම කරන්නට වීම නිසා අනික් අය ඔහුට දඬු මුගුරුවලින් බැටදුන්හ. එතැන් පටන් අන්සතු නුදුන් දෙය ගැනීම පහළ විය. අපහාස කිරීම පහළ විය. බොරු කීම පහළ විය. හිංසාව පහළ විය.

එවිට සියල්ලෝ ම එක් වී මෙබඳු වැරදිවල දී තීරණයන් දීම පිණිස එක් අයෙකු සම්මත කරගත්හ. ‘මහාසම්මත’ නමින් ඔහු හඳුන්වනු ලදි. මුල් රජු ඔහු විය. සියලු කෙත්වතුවලට ඔහු අධිපති කොට එම අර්ථයෙන් ඔහු ‘ක්ෂත්‍රිය’ යන නමින් හඳුන්වන ලදි. ක්ෂත්‍රිය සමූහයාගේ පහළ වීම සිදු වූයේ එලෙසිනි. මිනිසුන් අතර ඇති වූ නරක ගති පිළිකුල් කළ සමහරු එකී නරක ගති නැසීමෙහි නිරත වූ හ. ලාමක අකුසල් දුරු කරන යන අරුතින් ඔවුහු ‘බ්‍රාහ්මණ’ යන නමින් හඳුන්වනු ලැබූහ. ඔවුහු පන්සල් තනා ගෙන ධ්‍යාන වැඩූහ. වනගත වී ධ්‍යාන වැඩීම කළ නො හැකි වූ ඉන් සමහරෙක් ගම් වෙතට පැමිණ ත්‍රි-වේදය සකස් කර උගන්වමින් විසූහ.

සත්ත්වයන්ගෙන් සමහරු මෙවුන්දම් සේවනය කරමින්, ගව පාලනය, වෙළඳාම් ආදි ප්‍රසිද්ධ කර්මාන්තයන්හි යෙදුණාහ. ඔවුන්ට ‘වෛශ්‍ය’ යන නම ව්‍යවහාර විය.

එම සත්ත්වයන් අතුරින් යම් සත්ත්ව කෙනෙක් ඉතිරි වූවාහු ද ඔහු නපුරු පැවතුම් ඇත්තෝ වූ හ. නපුරු ගති ඇත්තෝ ය, නින්දිත ක්‍රියා ඇත්තෝ ය යන අරුතින් ඔවුනට ‘ශුද්‍ර’ යන නම ව්‍යවහාර විය.


මෙම විග්‍රහය තුළින් පෙන්නුම් කරනුයේ ලෝකය කලින් කල හැකිළෙමින්, නැවත විකාශනය වන බවත්, ලෝකයෙහි සියලු ම සත්ත්වයෝ ලෝකය හැකිළීයාමේ දී ආභස්සර දේව ලෝකයෙහි උපදින බවත්, නැවත ලෝකය විකාශනය වීමේ දී ආභස්සර දේව තත්ත්වයෙහි සිට ක්‍රමානුකූල ව මිනිස් සමාජයට පරිවර්තනය වන බවත් ය. එමෙන් ම, මිනිසුන් නොයෙකුත් කොටස්වලට බෙදීම සිදුවනුයේ සමාජයෙහි එක්තරා අවශ්‍යතාවක් පිරිමසා ගැනීම පිණිස බවත් ය.

“බෞද්ධ දේව සංකල්පය
බෞද්ධ විශ්ව කෝෂයේ ප්‍රධාන සංස්කාරක
ඩබ්ලිව්.ජී.වීරරත්න (ඇම්.ඒ; පී.එච්.ඩී.) විසිනි.

No comments:

Post a Comment