Jun 8, 2016

බෞද්ධ දේව සංකල්පය (හතරවැනි කොටස) - ‘දේව’ යන නමින් හඳුන්වන ජීව කොට්ඨාසයක් ඇද්ද?


ලෝකමාපක (ලෝකය මවන) දෙවි කෙනෙකු ගැන ඇති විශ්වාසයට තදින් පහර දී ඉවත ලන ලද නමුත් ‘දේව යන නමින් හඳුන්වන ජීව කොට්ඨාසයක් ඇති බව බුදු සමය පිළිගනී. ලෝකයෙහි ඕපපාතික ව උපදින සත්ත්වයන් (දෙවිවරුන්) නැතැ යි යන අදහස දැරීම මිථ්‍යාදෘෂ්ටි ගණයෙහි ලා සැලකුණ අතර, එබඳු සත්ත්වයන් ඇතැ යි යන මතය දැරීම සම්මාදිට්ඨි ගණයෙහි ලා සැලකිණ.
මිථ්‍යාදෘෂ්ටියක් වශයෙන් ඉවත ලන ලද අජිත කේසකම්බලගේ ඉගැන්වීමෙහි එක් අංගයකි, ඕපපාතික ව පහළ වන සත්ත්වයන් නැතැ යි යන්න. (දීනි. 1, පිට 55) බුදුරජහු සියල්ලන්ට ම එක ම බුද්ධි මට්ටමේ ධර්ම දේශනා නො කළ බවත්, ඒ ඒ පුද්ගලයාගේ බුද්ධියට සරිලන පරිදි අනුපිළිවෙලින් දියුණු වන දේශනා ක්‍රමයක් අනුගමනය කළ බවත් බෞද්ධ සාහිත්‍යයෙහි පෙනේ. එම අනුපිළිවෙල කථාව මෙසේ දැක්වෙයි : “දාන කථාව ය, සීල කථාව ය, ස්වර්ග කථාව ය, කාමයන්ගේ වැරැද්ද හා කෙලෙසන බව ය, පහත් බව ය, නෛශ්ක්‍රම්‍යයේ මහණ වීමේ උතුම්කම ය, සාමුක්කංසික ධම්ම දේසනා හෙවත් බුදුවරයන් විසින් ම හෙළිකරනු ලබන සිවුසස් දහම් ය, මෙම දේශනාලීලාව” මෙහිදු ස්වර්ගය පිළිබඳ කථාව ඇතුළත් කර තිබීමෙන් දෙවියන්ට දී ඇති තැන හෙළි වේ.

සංසාරයෙහි සැරිසරන සත්ත්වයෝ කර්මානුකූල ව ගති පහක උපත ලබන බව සංගීති සූත්‍රයෙහි ද (දීනි. 3, පිට 234) මහාසීහනාද සූත්‍රයෙහි ද (මනි. 1, පිට 73) තවත් සූත්‍රයන් කිහිපයක ද සඳහන් වෙයි. මෙම ගති පහ නම් 1.දේව, 2.මනුෂ්‍ය, 3.තිරිසන්, 4.ප්‍රේත සහ 5.නිරය යි. මින්පළමු දෙක සුගති වශයෙන් ද, අනික් තුන දුගති වශයෙන් ද ගැනේ. පින්කම්වල ඉෂ්ට විපාක වශයෙන් උපත ලබා දෙන තැන් යන අරුතිනි දේව-මනුෂ්‍ය දෙකට ‘සුගති’ යන නම ව්‍යවහාර වන්නේ. ‘පඤ්චගතිදීපනී’ නම් පාලි කෘතියට අනුව මව්පිය වැඩිහිටියන්ට පූජා උපහාර පවත්වමින් යුතුකම් ඉටු කිරීම, දන්දීම, සිල් රැකීම, සමාජ සේවයෙහි යෙදීම, කලහකාරී නො වීම යනාදි ගුණධර්මයන් වැඩීමේ ප්‍රතිඵලයන් වශයෙන් මරණින් මතු මිනිස්සු දේවත්වයට පත්වෙති. ගුණධර්ම පූරණය කොට මරණින් මතු දේවත්වයට පත් අය ගැන කථා පුවත් ඉතා බහුල වශයෙන් බෞද්ධ සාහිත්‍යයෙහි පෙනේ. ‘මඝ’ නම් මානවකයෙක් තවත් කෙළෙඹියන් තිස්තුන් දෙනෙක් සමඟ දඹදිව සමාජ සේවා කටයුතුවල නිරත ව සිට මරණින් මතු ශක්‍ර දේව තත්ත්වයට පත් අයුරු ‘කුලාවක’ ජාතකයෙන් පෙනේ. (ජා. 1, පිට 198) පසේ බුදුවරයෙකු කෙරෙහි ප්‍රසාදයෙන් තුන්වරක් බිරීමේ කුසලින් බලු පැටවකු මරණින් මතු ‘ඝෝෂක’ නමින් දෙවියෙක් වූ අයුරු ධම්මපදට්ඨකථාවෙහි ‘ඝෝෂක වස්තුවෙහි’ විස්තර වේ. (ධම්අ. 1, පිට 169) මහා දානපතිනියක් වූ විශාඛා මහෝපාසිකාව මරණින් මතු නිම්මාණරතී දේවතත්ත්වයට පත්වූවා ය. (විවඅ.189) අනාථපිණ්ඩික සිටු තුසිත දෙව් ලොව උපත ලැබුවේ ය. (සංනි. 1, පිට 51) බිම්බිසාර මහරජු චාතුර්මහාරාජිකයෙහි උපත ලැබුවේ ය. (දීනි. 3, පිට 200)

මිනිසුන් වශයෙන් ජීවත් වූ කාලවල දී කරන ලද නොයෙකුත් පින්කම්වල ඉෂ්ට විපාක වශයෙන් යස ඉසුරෙන් ආඪ්‍ය දෙවිවරුන් වශයෙන් උපත ලැබූ අයගේ කථාපුවත්වලින් ‘විමානවත්ථු’ නම් ග්‍රන්ථය පිරී තිබේ. ඍද්ධි බලයෙන් දේව ලෝකවල නිතර සැරිසැරූ මහාමොග්ගල්ලාන රහත් තෙරණුවෝ එසේ හමුවුණ දෙවිදේවතාවුන්ගෙන් තමන්ගේ යසඉසුරු ලැබීමට හේතු වූ පුණ්‍යකර්ම කවරේ දැ යි ප්‍රශ්න කළ විට ඔවුන් දුන් පිළිතුරු මෙම විමානවත්ථු කථාවල ඇතුළත් වේ. සියලු ම දෙවිවරු එක් කාලයක දී මිනිසුන් ව සිටි බවත්, නැවතත් එම දෙවිවරු පින් ගෙවී යාමෙන් හෝ ආයුෂ ගෙවී යාමෙන් මිනිසත් බවට පත්විය හැකි බවත්, බ්‍රහ්මජාල සූත්‍රයෙහිත් (දීනි. 1, පිට 17) අග්ගඤ්ඤ සූත්‍රයෙහිත් (දීනි. 3, පිට 84) සඳහන් වේ. ලෝක විනාශයක දී සියලු ම සත්ත්වයෝ ආභස්සර දේව තත්ත්වයට පත් වී පසු ව ලෝකය නැවත විකාශයට පත්වන විට ආභස්සර දේව තත්ත්වයෙන් චුත ව මිනිස් තත්ත්වයට පත්වන හැටිත් මේ සූත්‍රයෙහි විස්තර වේ.

දෙවිවරුන් පිළිබඳ ව ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලබා ගැනීම නුවණ දියුණු කරගෙන ධ්‍යාන වඩා අභිඥාවන් ලබන හැම කෙනෙකුට ම හැකි බව සූත්‍ර කීපයක ම සඳහන් වේ. (දීනි. 1, පිට 82) නුවණ දියුණු කර ගෙන ප්‍රඥාව ලබාගත් බුදුහිමියන් විසින් දෙවියන් සමඟ ඉතා කිට්ටු සබඳතාවන් පවත්වන ලදි. මහාමංගල සූත්‍රය දේශනා කරන ලද්දේ බුදුරජුන් හමුවට මැදියම් රැයෙහි පැමිණි දේව සමූහයකට ම බව එම සූත්‍රයෙහි ම කියැවේ. සක්කපඤ්හ සූත්‍රය (දීනි. 2, පිට 263) දේශනා කරන ලද්දේ බුදුරජුන් හමුවට ආ සක් දෙවිඳු ප්‍රධාන දෙවි පිරිසකට යි. මීට අමතර ව බුදුරජුන් හමුවට මැදියම් රැයෙහි පැමිණ නොයෙකුත් ගැටලු ප්‍රශ්න නිරාකරණය කරගෙන යන විවිධ දෙවිවරුන් පිළිබඳ ව අංගුත්තර නිකායෙහි ඡක්ක නිපාතයෙහි දේවතාවග්ගයෙහිත් (අංනි. 3, පිට 421) සත්තක නිපාතයෙහි දේවතාවග්ගයෙහිත් (අංනි. 4, පිට 27) සංයුක්ත නිකායෙහි දේවතා සංයුක්තයෙහිත් (සංනි. 1, පිට 46) විස්තර සඳහන් වෙයි. තව ද, බුදුහිමියන් බුද්ධත්වයට පත් වී ධර්මය දේශනා කිරීම පිළිබඳ ව මන්දෝත්සාහී වූ විට ධර්මය දේශනා කරන ලෙස ආයාචනා කර සිටියේ ‘සහම්පතී’ මහාබ්‍රහ්මයා ය. (විනය. 1, පිට 5) මේ හැර බුදුරජුන් නොයෙකුත් අවස්ථාවල දී බැහැ දකින්නට පැමිණි බ්‍රහ්මයන් ගැන ද නොයෙකුත් විස්තර බෞද්ධ සාහිත්‍යයෙහි පෙනෙන්නට තිබේ. (දීනි. 2, පිට 37; සංනි. 1, පිට 142)

බුදුරජුන් තුන් මසක් ම තව්තිසා දෙව්ලොව ජීවත් වෙමින් මාතෘ දිව්‍ය පුත්‍රයා ප්‍රමුඛ දිව්‍ය සමූහයාට අභිධර්මය දේශනා කළ බව ‘අත්ථසාලිනී’ නම් අභිධර්ම අට්ඨකථාවෙහි පූර්විකාවෙහි සඳහන් වේ. බුදුරජුන් පමණක් ම නො ව, උසස් දැනීම් ලබා ගත් ප්‍රධාන පෙළේ ශ්‍රාවකයෝ ද දෙවියන් සමඟ සම්බන්ධතාවන් පැවැත්වූහ. මහාමොග්ගල්ලාන හිමි මොවුන් අතර ප්‍රධාන තැනක් ගනී.

පසේනදී කෝසල රජු සමඟ බුදුහිමියන් කළ සාකච්ඡාවක දී දෙවියන් පිළිබඳ ප්‍රශ්නය උද්ගත වුණි. මෙහි දී කරුණු පැහැදිලි කරන බුදුහිමියෝ පහතට හෙළන සංයෝජනයන් නො නසා දේව තත්ත්වයට පත් දෙවිවරුන් නැවත නැවතත් කාමලෝකයෙහි සැරිසරන බවත්, එම සංයෝජනයන් නසා එම තත්ත්වයට පත්වූවන් නැවත කාම ලෝකයෙහි සැරිසැරීමට පත් නො වන බවත් පැහැදිලි කර දුන්හ. (මනි. 2, පිට 130) සංගාරව සූත්‍රයෙහි ද (මනි. 2, පිට 213) සංගාරව බමුණාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙන බුදුහු දෙවියන් ඇති බව පොදුවේ පිළිගත් උසස් සම්මතයක් බව සඳහන් කරති.

මේ අනුව නිගමනය කළ හැක්කේ සංසාරයෙහි සැරිසරන සත්ත්වයෝ පින්කම්වල ප්‍රතිඵලයක් වශයෙන් දිව්‍ය තත්ත්වයට පත්වන බවත්, උසස් දැනීම් ඇතිකර ගන්නා වූ යෝගාවචරයාට එකී දෙවිවරුන් පිළිබඳ ව නියම අවබෝධයක් ඇතිකර ගන්නට හැකි බවත් ය. දෙවිවරුන් ලෙස දිව්‍යලෝකවල උපත ලබන අය ද සංසාරයෙහි සැරිසරන සත්ත්වයෝ ම ය. ඔව්හු ද අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන තිලකුනුවලින් මිදුණු අය නොවෙති. පින්කම්වල ප්‍රතිඵල වශයෙන් දීර්ඝ ආයුෂයක් ලැබූවත්, නොයෙකුත් යස ඉසුරට පත් වූවත්, ආයුෂයාගේ කෙළවර දී හෝ පින් ගෙවී යාමෙන් හෝ ඔවුහු දේව තත්ත්වයෙන් චුත වී යන්නාහ. තථාගතයන් වහන්සේ කෙනෙකු ලොව පහළ වී ධර්මය දේශනා කරන විට ඒ අසන දීර්ඝායුෂ්ක දෙවිවරු බියට පත්වන බවත්, එසේ ඔවුන් භීතියට පත්වනුයේ දීර්ඝායුෂ භුක්ති විඳින හේතුව නිසා ඔවුන් සදාකාලික ව ම ජීවත්වන බව සිතා සිටියත් තථාගත දේශනාව ශ්‍රවණයට පසු ව තමනුත් අනිච්ච - දුක්ඛ - අනාත්ම යන තත්ත්වයන් නො ඉක්මවූවන් බව සිත්තුළට වැදීම නිසා බවත් සීහ සූත්‍රයෙහි සඳහන් වේ. (අංනි. 2, පිට 34)

තව ද, දෙවිවරුන් සියල්ල දත් අය නො වන බව නොයෙකුත් දෙවිවරුන් බුදුහිමියන් වෙතටත්, ප්‍රධාන ශ්‍රාවකයන් වෙතටත් පැමිණ සාමාන්‍ය දේ ගැන පවා ප්‍රශ්න අසා සැක දුරුකර ගැනීමෙන් පෙනේ. දෙවිවරු ඉතා නිර්භීත පිරිසක් නො වන බවට ද බෞද්ධ පොත්වල ඉඟි කීපයක් තිබේ. ඉන් ඉතා ම ප්‍රකට අවස්ථාවට ජාතක නිදාන කථාවෙහි (ජා. 1, පිට 74) සිදුහත් කුමරුන් බුද්ධත්වයට පත්වන අවස්ථාව දැක්විය හැක. සිදුහත් කුමරු බුද්ධත්වයට පත්වනු දැකීමට දේව ලෝකවල සියලු දෙවිවරු රැස්වෙති. මේ අතර සිදුහත් කුමරුන් බුදුවීම වළක්වනු පිණිස මාරයා ද තම සෙනඟ ගෙන යුද්ධයට සැරසී සිටී. මරුගේ සේනාවෙහි භයංකාර බව ඉවසනු බැරි මහේශාක්‍ය දෙවිවරු පසු ව තම තමන්ගේ දෙව්ලොව කරා පලායති. මෙසේ පලායන මහේශාක්‍ය දෙවිවරුන් අතර ශක්‍රයා ද, මහාබ්‍රහ්මයා ද වෙති. සියලු දෙවිවරු පලා ගියත් සිදුහත්හු තනි ව ම සිට මාර පරාජය කර ජය ලබති.


බෞද්ධ සාහිත්‍යයෙහි එන දෙවිවරු මිනිසුන් විසින් භයින් යුක්ත ව වැඳුම් පිදුම් කළ යුතු අය නො වෙති. මිනිසුන්ගේ යාග හෝමවලින්, පුද පූජාවලින් හෝ ජීවත් වන පිරිසක් ද නො වේ ඔව්හු. පූර්වයෙහි කරන ලද පින් බෙලෙන් ලද යස ඉසුරු භුක්ති විඳිමින් සුව සේ වසන පිරිසකි, දෙවිවරු. එමෙන් ම, ඔව්හු සාමාන්‍යයෙන් ලෝකයෙහි අයහපතට අකමැති, යහපතට කැමති පිරිසකි. යහපත් ලෙස ජීවත්වන අයගේ ආරක්ෂාව සැලසිමටත්, ඔවුන්ට සේවය පිණිසත් සෑම විට ම කැප වී සිටිති. ගුණධර්ම වඩන මිනිසුන්ගේ මෙහෙකාර තත්ත්වයට පත්වීමට පවා සමහර දෙවිවරු පොරකමින් ඉදිරිපත් වූ අවස්ථා බෞද්ධ පොත්වල විද්‍යමාන වේ.

“බෞද්ධ දේව සංකල්පය
බෞද්ධ විශ්ව කෝෂයේ ප්‍රධාන සංස්කාරක
ඩබ්ලිව්.ජී.වීරරත්න (ඇම්.ඒ; පී.එච්.ඩී.) විසිනි.

No comments:

Post a Comment