Nov 21, 2016

පාලි භාෂාව හා වාග්විද්‍යාව (හතර වැනි කොටස) ලෝක භාෂා වර්ගීකරණය




ලෝක භාෂාවෝ ගණනින් අතිවිශාල ය. ඉන් බොහොමයක තතු දැනට සාමාන්‍යය මට්ටමින් හෙළි කර ගෙන තිබේ. එහෙත්, ඒ අතරිනුත් තවමත් විද්‍යනුකූල පරීක්ෂණවලට භාජනය වී ඇත්තේ ස්වල්පයකි. එසේ ම, නම් පවා හරි හැටි හෙළි නො වූ භාෂා ද බොහෝ ය. අපට පෙනි පෙනී ම ලොවින් තුරන් වන භාෂා ද වේ. තව ද, හුදු වාචික ව්‍යවහාරයට පමණක් සීමා වූ භාෂා දියුණු සංවර්ධිත භාෂා ඉදිරියේ අවසන් හුස්ම හෙළමින් සිටී. අදට වඩා මේ තත්ත්වය ඉදිරියට උග්‍ර විය හැකි ය. එසේ ම, බාගවිට විවිධ උපභාෂාවෝ සම්මිශ්‍රණයෙන් නව ප්‍රධාන භාෂා ද බිහි විය හැකි අතර, මෙතෙක් ලොව නො පැවැති අන්දමේ අමුතු භාෂා ද බිහි විය හැකි ය. මෙය තත්කාලයට අනන්‍යසාධාරණ වූ නො වැළැක්විය හැකි ක්‍රියාදාමයකි. මේ තත්ත්වය කරණ කොට ගෙන භාෂා සම්බන්ධයෙන් නිරවුල් බෙදීමක් ඇති කර ගැනීම උගහට ය. භාෂා පිළිබඳ සම්පූර්ණ දැනීමක්, අවබෝධයක් කිසිවෙකුටත් නො මැති වීම නිසා ඒ කාර්යය වඩාත් දුෂ්කර අතට හැරී ඇත.

මේ නිසා :

01. බෙදූ භාෂා (විද්‍යනුකූල පරීක්ෂණවලට භාජනය කළ භාෂා) හා
02. නො බෙදූ භාෂා (විද්‍යනුකූල පරීක්ෂණවලට භාජනය නො කළ භාෂා)

වශයෙන් ලොව සියලු භාෂාවෝ මූලික කාණ්ඩ දෙකකට වෙන් කළ හැකි ය. මෙයින් බෙදූ භාෂා හෙවත් විද්‍යනුකූල ව පිරියෙසුම් කළ භාෂා තවදුරටත් භාෂා පවුල් හා භාෂා පන්තිවලට බෙදා දක්වනු ලැබේ. මේ බෙදීමේ දී වාග් විද්‍යාව විසින් ප්‍රධාන නිර්ණායක හතරක් අධාර කර ගනු ලබයි. එනම්,

01. ඓතිහාසික හෙවත් පාරම්පරික සම්බන්ධය අනුව භාෂා බෙදීම.
02. වාක්‍ය නිර්මාණයට හා පද සිද්ධියට අනුව භාෂා බෙදීම.
03. ජාති ගෝත්‍රවලට අනුව භාෂා බෙදීම හා,
04. භූගෝල ශාස්ත්‍රීය කරුණු අනුව භාෂා බෙදීම.

ආදී වශයෙනි.

01. ඓතිහාසික හෙවත් පාරම්පරික සම්බන්ධතාවයට අනුව භාෂා වර්ග කිරීම.

වර්ණමාලාව, පද සිද්ධිය, වාක්‍ය නිර්මාණය හා වාග් විද්‍යාත්මක පරිණාමය සලකා බලමින්, ඒවායෙහි ඇති පොදු සමානකම් හඳුනා ගෙන ඒ අනුව භාෂා වර්ග කිරීම මේ යටතේ සිදු වේ. එබඳු සමානකමකට හේතු පරීක්ෂා කිරීමේ දී ඒ භාෂා සියල්ල ම එක, පොදු මූල භාෂාවකින් බිඳී වෙන් වී ගිය ශාඛා බවත්, එසේ වෙන් වී ඇත්තේ පරිසරයේ, කාලයේ සහ පරිණාමීය ගති ලක්ෂණවල බලපෑම නිසා බවත් පැහැදිලි වේ. ඉන්දු යුරෝපීය භාෂා පවුල ඊට කදිම නිදර්ශනයකි. නූතන ඉන්දු ආර්ය භාෂා ලෙස සැලකෙන හින්දි - සිංහල - මරාටි - ගුජරාටි - නේපාලි - පඤ්ජාබි ආදී භාෂාවල ඉතිහාසය පරීක්ෂා කිරීමේ දී ඒවා මධ්‍යතන යුගයේ දී ප්‍රාකෘත නම් භාෂා කිහිපයකට සම්බන්ධ වන බැව් අනාවරණය වෙයි. ඊළඟට එම භාෂා පුරාතන යුගයේ දී වෛදික නම් ආර්ය භාෂාවකට සීමා වී ඇති බව පැහැදිලි කර ගත හැකිය.

නූතන ඉරානීය භාෂා ලෙස සැලකෙන ඉරානය සහ තදාසන්න ප්‍රදේශවල ව්‍යවහාරිත පාර්සි / බැලෝකී / මැසන්ද්‍රානි / තාලි වැනි භාෂා පුරාතන අවස්ථාවේ දී පර්සියානු සහ අවේස්තා භාෂාවලටත්, ඉන් ඉහත දී පැරණි ඉරානීය භාෂාවටත් සම්බන්ධ වී පැවැති බව වාග් විද්‍යාඥයෝ අන්වේෂණය කළ හ. ඉන් අනතුරු ව වෛදික නමින් පැවැතුණු ඉන්දීය භාෂාවත්, පැරණි ඉරානීය භාෂාවත් එක ම මූලයකින්, නැතහොත් පොදු මව් බසකින් බිඳී ආ බව නිශ්චය කර ගත් හ. එය ඉන්දු ඉරානීය මූල භාෂාව ලෙස සැලකෙන අතර, ඊට පෙර එහි මූලය ඉන්දු යුරෝපීය නමින් පැවැතී ඇති බවත්, ඊටත් පෙර එය හිටෛට් නම් මූල භාෂාව සේ පැවැතී ඇති බවත් සොයා ගැනිණ. මෙසේ ලෝකයේ භූගෝලීය පසුබිම් දෙකක භාෂා පරීක්ෂා කොට ඒවා එක ම මූලයකින් බිඳී ආ බව සොයා ගත් ක්‍රමය ලෝක භාෂා වර්ගීකරණයේ මුල් ක්‍රමය වේ.

02. වාක්‍ය නිර්මාණයට හා පද සිද්ධියට අනුව භාෂා වර්ග කිරීම.

භාෂාවල බාහිර ලක්ෂණ පමණක් සලකා ලෝකය භාෂා වර්ග කිරීම යි. වර්ණ මාලාව, අක්ෂර වින්‍යාසය, පද සිද්ධිය, වාක්‍ය නිර්මාණය වෙන් වෙන් ව සලකා බලමින් මේ වර්ගීකරණය සිදු කරනු ලබයි. මේ ක්‍රමය යටතේ භාෂා වර්ග කිරීමේ දී ලෝක භාෂා සියල්ල ම ප්‍රධාන කොටස් දෙකකට බෙදා දක්වයි. එනම්,

01. ඓන්ද්‍රීය භාෂා හා
02. අනින්ද්‍රීය භාෂා වශයෙනි.

මූලික ව්‍යාකරණයක් ඇති සියලු ම භාෂා ඓන්ද්‍රීය ගණයට වැටේ. නමුත්, එහි ද වාක්‍ය නිර්මාණය හා පද සිද්ධිය ඒකාකාරී නො වේ. ඒවායේ විවිධත්වය අනුව ඓන්ද්‍රිය භාෂා සියල්ල 01. අන්තර්යෝගී භාෂා 02. සංශ්ලිෂ්ට භාෂා හා 03. සවිභක්තික හෙවත් වර නැගෙන භාෂා යැයි තවත් අතුරු කොටස් තුනකට බෙදේ. දියුණු භාෂාවල මෙන් වාක්‍ය නිර්මාණයට උවමනා කරන කර්තෘ, කර්ම, ක්‍රියා වශයෙන් ගැනෙන වචන වෙන් වෙන් වශයෙන් ගත නො හැකි බැවින් ලොව නො දියුණු භාෂා බොහොමයක් අනින්ද්‍රීය ගණයට වැටේ. මේවායෙහි මූලික ව්‍යාකරණයක් නො මැත. එහෙත් එක වචනයකින් විවිධ අදහස් කිහිපයක් දීම, එක ම වචනය තාල කීපයකට අනුව ශබ්ද කිරීමෙන් අමුතු වචන සාදා ගැනීම, එක ම වචනය වාක්‍යයේ යෙදෙන ස්ථානයට අනුව තත්ත්වයෙන් වෙනස් වීම, අදහස් පැහැදිලි කිරීම සඳහා යුගල පද යෙදීම, එක වචනයක් හැඳින්වීමට එක සංකේතය බැඟින් ඇති විශේෂ ලිවීමේ ක්‍රමයක් භාවිත කිරීම ආදී උපාය මාර්ග ඔස්සේ එම අඩුව පිරිමසා ගනී.

01. ජාති ගෝත්‍රවලට අනුව භාෂා වර්ග කිරීම.

ඒ ඒ ජාතීන්ට සහ ගෝත්‍රවලට (උදා:-සිංහල ජන වර්ගය, දෙමළ ජන වර්ගය) ආදී ජනවර්ග අනුව ඔවුන් කථා කරන භාෂා වර්ග කිරීම මේ යටතේ සිදු වේ. මෙයත් එතරම් පිළිගත් ශාස්ත්‍රීය ක්‍රමයක් නො වන්නේ භාෂාවේ තත්ත්ව එම වර්ගීකරණයේ දී සලකා නො බැලෙන හෙයිනි.

03. භූගෝලීය, ශාස්ත්‍රීය කරුණු අනුව භාෂා වර්ග කිරීම.

පළමු ක්‍රමවේදයට අනුව වර්ග කළ ලෝක භාෂා භූගෝලීය - ශාස්ත්‍රීය කලාපවලට ඇතුළත් කෙරේ. එබඳු භාෂා කලාප 04 ක් වාග් වේදීන් පෙන්වා දී තිබේ. එනම්,

01. ඇමෙරිකානු භාෂා කලාපය:-

කැනඩාව
එක්සත් ජනපදය
මෙක්සිකෝව
මධ්‍යම ඇමෙරිකාව
දකුණු ඇමෙරිකාව

02. ශාන්තිකර සාගරික භාෂා කලාපය:-

ඉන්දුනීසියානු
සාගරික
ඕස්ට්‍රේලියන්
පැපුවන්
ටැස්මේනියන්

03. අප්‍රිකානු භාෂා කලාපය:-

බුෂ්මන්
ඛන්ටු
සුඩාන්
හැමටික්
සෙමිටික්

04. යුරේෂියානු භාෂා කලාපය:-

උත්තරධ්‍රැවාසන්න භාෂා
ඌරල් අල්තායි භාෂා
කොකේෂියානු භාෂා
චීන - තිබ්බතීය භාෂා
සෙමිටික් භාෂා
ඉන්දු - යුරෝපීය භාෂා
ද්‍රවිඩ භාෂා
ඔස්ට්‍රික් භාෂා
වර්ග නො කළ භාෂා


No comments:

Post a Comment