Sep 6, 2016

චූළකම්මවිභඞ්ග සූත්‍රයෙන් ප්‍රකට වන බෞද්ධ කර්ම සංකල්පය




භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු මහාසිටාණන් විසින් කරවන ලද දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන කල්හි තෝදෙය්‍ය බ්‍රාහ්මණයාගේ පුත්‍රයා වූ සුභ නම් මාණවකයා දහම් කරුණක් විමැසීම සඳහා උන්වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ බුදුරජාණන් වහන්සේ වෙත මේ පැනය ඉදිරිපත් කළේ ය.

"භාග්‍යවත් ශ්‍රමණ ගෞතම බුදුරජාණන් වහන්ස, කිසියම් කරුණක් නිසා මනුෂ්‍යාත්මභාවය ලත් මිනිසුන්ගේ හීන-ප්‍රණීතභාවය (උස් පහත් බව) දක්නා ලැබෙයි. ස්වාමීනි, එයට හේතුව කුමක් ද? ප්‍රත්‍ය කුමක් ද? භවත් ගෞතමයන් වහන්ස, අල්පායුෂ්ක මනුෂ්‍යයෝ දක්නා ලැබෙති. දීර්ඝායුෂ්කයෝ දක්නා ලැබෙති. බොහෝ ආබාධ ඇත්තෝ දක්නා ලැබෙති. අල්පාබාධයෝ දක්නා ලැබෙති. දුර්වර්ණයෝ දක්නා ලැබෙති. වර්ණවත් වූවෝ දක්නා ලැබෙති. අල්පේශාක්‍යෙයෝ දක්නා ලැබෙති. මහේශාක්‍යයෝ දක්නා ලැබෙති. අල්පභෝග ඇත්තෝ දක්නා ලැබෙති. මහාභෝග ඇත්තෝ දක්නා ලැබෙති. නීචකුලීනයෝ දක්නා ලැබෙති. උච්චාකුලීනයෝ දක්නා ලැබෙති. දුෂ්ප්‍රාඥයෝ දක්නා ලැබෙති. ප්‍රඥාවන්තයෝ දක්නා ලැබෙති. භවත් ගෞතමයන් වහන්ස, යම් කරුණෙකින් මිනිසන් බවට පැමිණි මිනිසුන්ගේ ම හීන ප්‍රණීත බව දක්නා ලබෙත් ද, ඊට හේතු කවරේ ද? ප්‍රත්‍ය කවරේ ද?"


බුදුන් වහන්සේ විසින් ඒ සඳහා  සැපැයුණු පිළිතුර වන්නේ : "කම්මස්සකා මාණව, සත්තා කම්මදායාදා කම්මයොනි කම්මබන්ධු කම්මපටිසරණා. කම්මං සත්තෙ විභජති යදිදං හීනප්පණීතතායාති." මාණවකය, සත්ත්වයෝ කර්මය ස්වකීය කොට ඇත්තාහ; කර්මය දායාදය කොට ඇත්තාහ; කර්මය කාරණ කොට ඇත්තාහ; කර්මය ඤාති කොට ඇත්තාහ; කර්මය පිළිසරණ කොට, පිහිට කොට ඇත්තාහ. මේ හීන-ප්‍රණීතභාවය පිණිස කර්මය සත්ත්වයන් විභාග කරයි යන්න යි. (හෙවත් උසස් බව පහත් බව අල්පායුෂ්ක බව දීර්ඝායුෂ්ක බව දුෂ්ප්‍රාඥ බව ප්‍රඥාවන්ත බව යනාදි වශයෙන් කර්මය ම සත්ත්වයන් බෙදයි; අනෙකෙකු විසින් නො බෙදයි යන අර්ථය යි.)

බුදුරජාණන් වහන්සේ විසින් සැකෙවින් ප්‍රකාශ කරන ලද්දා වූ, විස්තර වශයෙන් අර්ථය විභාග නො කළ (බෙදා නො දක්වන ලද) මේ භාෂිතයේ විස්තරාර්ථ නො වැටහුණු සුභ මාණවකයා එය තමාට වැටහෙන අයුරින් විස්තර කරමින් දේශනා කරන ලෙස අයැද සිටියේ ය. එවිට බුදුරජාණන් වහන්සේ ඒ තෝදෙය්‍යපුත් සුභ මාණවකයා හට මේ චූලකම්මවිභඞ්ගය වදාළ සේක.

ඒ චූලකම්මවිභඞ්ග සූත්‍රාන්ත දේශනාවෙන් කුමක් ප්‍රකට කෙරේ ද? කර්මය විසින් සත්ත්වයන් හීන ප්‍රණීත වශයෙන් විභාග කරන අයුරු යි. එනම්,

අල්පායුෂ්ක බව පිණිස පවත්නා ප්‍රතිපදාව අල්පායුෂ්ක බවට පමුණුවයි.
දීර්ඝායුෂ්ක බව පිණිස පවත්නා ප්‍රතිපදාව දීර්ඝායුෂ්ක බවට පමුණුවයි.
බොහෝ ආබාධ ඇති බව පිණිස පවත්නා ප්‍රතිපදාව බොහෝ ආබාධ ඇති බවට පමුණුවයි.
අල්පාබාධ බව පිණිස පවත්නා ප්‍රතිපදාව අල්පාබාධ ඇති බවට පමුණුවයි.
දුර්වර්ණ බව පිණිස පවත්නා ප්‍රතිපදාව දුර්වර්ණ බවට පමුණුවයි.
ප්‍රසාද එළවන බව පිණිස පවත්නා ප්‍රතිපදාව ප්‍රසාද එළවන බවට පමුණුවයි.
අල්පේශාක්‍ය බව පිණිස පවත්නා ප්‍රතිපදාව අල්පේශාක්‍ය බවට පමුණුවයි.
මහේශාක්‍ය බව පිණිස පවත්නා ප්‍රතිපදාව මහේශාක්‍ය බවට පමුණුවයි.
අල්පභෝග බව පිණිස පවත්නා ප්‍රතිපදාව අල්පභෝග ඇති බවට පමුණුවයි.
මහාභෝග බව පිණිස පවත්නා ප්‍රතිපදාව මහාභෝග ඇති බවට පමුණුවයි.
නීචකුල පිණිස පවත්නා ප්‍රතිපදාව නීචකුල ඇති බවට පමුණුවයි.
උච්චකුලීන බව පිණිස පවත්නා ප්‍රතිපදාව උසස් කුල ඇති බවට පමුණුවයි.
දුෂ්ප්‍රාඥ බව පිණිස පවත්නා ප්‍රතිපදාව දුෂ්ප්‍රාඥ බවට පමුණුවයි.
මහාප්‍රාඥ බව පිණිස පවත්නා ප්‍රතිපදාව මහාප්‍රාඥ බවට පමුණුවයි.

ලෝකනිර්මාපක සර්වබලධාරී දෙවියෙකු විසින් සත්ත්වයන්ගේ මොහු මෙසේ විය යුතු ය, මොහු මෙසේ විය යුතු යයි පනවන ලද්දේ නො වේ. දෙවියෙකු විසින් එසේ පූර්ව විනිශ්චිත සත්ත්වයන් මවන ලද්දේ ය යන ඊෂ්වරනිර්මාණවාදී මතිභ්‍රම බුදුසමය බැහැර කරයි. එසේ ම, කිසිඳු හේතුවක් හෝ ප්‍රත්‍යයක් නැති ව, එනම් අහේතුඅප්‍රත්‍යවාදී ව සත්ත්වයන්ගේ හීන-ප්‍රණීත භාවය ඇති වූවා නො වේ. අධිච්චසමුප්පන්න ව හෙවත් ඉබේ හට ගැනුණක් ද නො වේ.

තමා ම සපුරාලන, තමා ම සමාදන් කොට ගන්නා ලද කුසලාකුසල කර්ම ඊට අනුරූප විපාකය පිණිස එළැඹෙයි. බීජයට අනුරූප ව ඇස්වැන්න ලැබෙන්නාක් මෙනි. වී වැපිරීමෙන් වී ද, අඹ නො ලැබෙන්නාක් මෙන් ද, අඹ සිටුවීමෙන් අඹ ද, කොස් නො ලැබෙන්නාක් මෙන් ද තමා ම සපුරන ලද තමා ම සමාදන් වූ කර්මය ඊට අනුරූප වූ යහපත් හෝ දරුණු විපාක එළවයි. තමාගේ කර්මය මව්පිය සහෝදර ගුරුවර ඤාති හිතමිත්‍රාදී අන් කිසිවෙකු විසින් කරන ලද්දේ නො වේ. තමා ම කරන ලද්දකි. එබැවින් තමා ම එහි විපාක විඳිය යුතු ය. එම විපාක දිට්ඨධම්මවේදනීය හෙවත් මේ භවය තුළ දී ම හෝ උපපජ්ජවේදනීය හෙවත් මතු භවයෙහි දී හෝ අපරාපරියවේදනීය හෙවත් මතු සසර ගමනේ කවර භවයක දී හෝ විපාක දීමට පැමිණේ. සකල භව සංයෝජන සිඳ හැර කර්ම ක්ෂය කරන තුරු, මත්තෙහි විපාක වාරය අහෝසි කරන තුරු සත්ත්වයෝ කර්මානුරූප ව ම සසර ගමනෙහි බැඳෙති. එබැවින්, සත්ත්වයෝ කර්මය ස්වකීය කොට ඇත්තාහ. කර්මය දායාදාය කොට ඇත්තාහ. කර්මය යෝනි කොට ඇත්තාහ. කර්මය බන්ධු කොට ඇත්තාහ. කර්මය ම එක ම පිළිසරණ කොට ඇත්තාහ. කර්මය ම සත්ත්වයන් හීන ප්‍රණීත බව පිණිස විභාග කෙරේ.

අල්පායුෂ්ක බවටත්, දීර්ඝායුෂ්ක බවටත් පමුණුවන ප්‍රතිපදාව

මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් රුදුරු ව ලේ වැකුණු අත්වලින් යුතු ව සතුන් වැනසීමෙහි යෙදෙමින්, සියලු සත්ත්වයන් කෙරෙහි අකාරුණික වූයේ ප්‍රාණවධ කරන සුලු වෙයි ද, ඒ පුද්ගලයා (තමා විසින් ම) රැස් කළ, සමාදන් වූ ඒ කර්මය හේතු කොට ගෙන ශරීරය බිඳී මරණින් මත්තෙහි සැපයෙන් පහ වූ දුග්ගති වූ විනිපාත වූ නිරයට ප්‍රතිසන්ධි වශයෙන් පැමිණෙයි. ඉදින් කය බිඳී මරණින් මත්තෙහි නිරයට නො පැමිණ මිනිසත් බවට පැමිණ යම් තැනෙක උපත ලබයි ද, හෙතෙම අල්පායුෂ්කයෙක් හෙවත් බොහෝ අඩු ආයුෂය ඇත්තෙක් වෙයි. සත්ත්වයන් ප්‍රාණවධයට පැමිණවීම, ප්‍රාණඝාතය කිරීම, රුදුරු ලෙහෙ වැකුණු ඇත් ඇති බව, සත්ත්වයන් කෙරෙහි අකාරුණික බව යන මේ ප්‍රතිපදාව අල්පායුෂ්කභාවය පිණිස පවත්නේ ය. හෙවත් ආයුෂය අඩු වීමට හේතු වන්නේ ය.

මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ප්‍රාණවධ හැරපියා ප්‍රාණඝාතයෙන් වැළකුණේ වෙයි. දඬු මුගුරු සැත් බැහැර කළේ අකුසලයෙහි ලජ්ජා වනුයේ, දයා ගුණැති වූයේ සියලු සත්ත්වයන් කෙරෙහි මෙහෙයූ අනුකම්පා සහගත සිතින් වාසය කෙරේ. හෙතෙම මෙසේ සපුරාලන ලද මෙසේ සමාදන් කොට ගන්නා ලද ඒ කර්මයෙන් මරණින් මත්තෙහි සුගති සඞ්ඛ්‍යාත ස්වර්ග ලෝකයට ප්‍රතිසන්ධි වශයෙන් පැමිණෙති. හෙවත් උපදිති. ඉදින් මරණින් මත්තෙහි සුගතියෙහි උපත නො ලබා මිනිසත් බවට පැමිණ යම් තැනක උපදින්නේ නම් බොහෝ ආයුෂ ඇත්තෙක් වෙයි. ප්‍රාණවධයෙන් වෙන් වීම ය, ප්‍රාණඝාතයෙන් වැළකීම ය, බැහැර කළ දඬු මුගුරු සැත් ඇති බව ය, පාපයෙහි ලැජ්ජා වීම ය, දයාවෙන් යුතු වීම ය, සියලු ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පී වීම ය යන මේ ප්‍රතිපදාව දීර්ඝායුෂ්කභාවය පිණිස පවතී.

බොහෝ ආබාධ ඇති බවටත්, අල්පාබාධ ඇති බවටත් පමුණුවන ප්‍රතිපදාව

යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් අතින් හෝ ගල් කැටයෙන් හෝ දණ්ඩෙන් හෝ ආයුධයෙන් හෝ සත්ත්වයන් වෙහෙස කරවන පෙළන ස්වභාව ඇත්තේ වේ ද, හෙතෙම මෙසේ සපුරාලන ලද මෙසේ සමාදන් කොට ගන්නා ලද ඒ කර්මය හේතුයෙන් කය බිඳී මරණින් මත්තෙහි අපාය වූ දුග්ගති වූ විනිපාත වූ නිරයට පැමි‍ණෙයි. ඉදින් මරණින් මත්තෙහි දුගතියෙහි උපත නො ලබා මිනිසත් බවට පැමිණ යම් යම් තැනෙක උපත ලබා ද, හේ බොහෝ ආබාධ ඇත්තෙක් වේ. මෙසේ අතින් පයින් තලා පෙළා හෝ ගල්කැටවලින් දමා ගසා හෝ දඬුමුගුරුවලින් පහර දී හෝ ආයුධයෙන් හානි පමුණුවා හෝ සත්ත්වයන් වෙහෙසවයි ද, ඒ ප්‍රතිපදාව බොහෝ ආබාධ පිණිස කර්මානුරූප ව විපාක දීමට පැමිණේ.

යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් එසේ අතින් හෝ ගල් කැටයෙන් හෝ දණ්ඩෙන් හෝ සැතින් හෝ සත්ත්වයන්ට හිංසා නො කරන්නේ වේ ද, මෙසේ සපුරාලන ලද සමාදන් වූ ඒ කුසල කර්මය හේතු කොට ගෙන මේ ශරිරයාගේ බිඳී යාමෙන් මරණින් මත්තෙහි සුගති සඞ්ඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපදින්නේ වෙයි. ඉදින් එසේ සුගතියෙහි උපත නො ලබා මනුෂ්‍යාත්මභාවය ලබමින් යම් තැනක උපදී ද ආබාධවලින් තොර වූවෙක් වෙයි. මෙසේ සත්ත්වයන්ට හිංසා නො කරන බව ය යන මේ ප්‍රතිපදාව අල්පාබාධ බව පිණිස පවතියි.

දුර්වර්ණ බවටත්, ප්‍රසාද එළවන බවටත් පමුණුවන ප්‍රතිපදාව

මෙලොව යම් හෝ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් මහත් වූ ක්‍රෝධයෙන් යුතු වේ ද, උපායාස බහුල වෙත් ද, කියන ලද ඉතා සුළු වචනයෙන් මුත් බෙහෙවින් ගැටීමට, කිපීමට, විරෝධය පෑමට හා තද බවට පැමිණේ ද, කෝපයත් ද්වේෂයත් නො සතුටත් පළ කෙරේ ද, ඒ පුද්ගලයා මෙසේ පුරන ලද, මෙසේ සමාදන් කොට ගන්නා ලද ඒ කර්මයෙන් ශරීරයාගේ බිඳී යාමෙන් මරණින් මත්තෙහි අපාය වූ දුග්ගති වූ විනිපාත වූ නිරයෙහි උපදනාහ. ඉදින් මරණින් මත්තෙහි නිරයෙහි උපත නො ලබා යම් හෙයකින් මිනිසත් බවට පැමිණ යම් යම් තැනෙක උපත ලබා ද, දුර්වර්ණ වෙයි. අවලස්සන වෙයි. විරූපී වෙයි. එබැවින් ක්‍රෝධයෙන් යුතු වීම ය, උපායාස බහුල වීම ය, ඉතා සුළු වදනින් වුව බොහෝ සෙයින් ගැටීමට, කිපීමට, විරෝධය පෑමට හා තද බවට පැමිණීම ය, නිතර නිතර කෝපයත් ද්වේෂයත් නො සතුටත් පළ කිරීම ය යන මේ ප්‍රතිපදාව දුර්වර්ණ බවට වැටීමට හේතු වෙයි.

මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ක්‍රෝධ නො කරන සුල්ලෙක් වූයේ, දැඩි ආයාස බහුල කොට නැත්තේ, බොහෝ කොට කී නමුත් එයින් කෝපයට, ගැටීමට, කිපීමට, ව්‍යාපාදයට, තද බවට නො පැමිණෙයි ද හෙතෙම මෙසේ පුරන ලද සමාදන් කොට ගන්නා ලද ඒ කර්මයෙන් කය බිඳී මරණින් මත්තෙහි සුගති වූ ස්වර්ගලෝකයට පැමිණෙයි. ඉදින් මරණින් මත්තෙහි සුගතියෙහි උපත නො ලබා මිනිසත් බවට පැමිණ යම් තැනෙක උපත ලබා ද මනා රූප සෞන්දර්යයෙන් යුතු ප්‍රසාදය පිණිස පවතී. එබැවින් ක්‍රෝධ නො කරන සුළු බව, උපායාස බහුලත්වයෙන් තොර බව, කෝප නො වීම, නො ගැටීම, නො කිපීම, ව්‍යාපාද සිත් පහළ කර නො ගැනීම, අක්‍රෝධය - අව්‍යාපාදය හා සන්තුට්ඨිය යන කුසල සිතිවිලි සන්තානය තුළ ගොඩනඟා ගැනීම යන මේ ප්‍රතිපදාව ප්‍රසාද එළවන බව පිණිස රූපවත් බව පිණිස වැටෙයි.

අල්පේශාක්‍ය බවටත්, මහේශාක්‍ය බවටත් පමුණුවන ප්‍රතිපදාව

මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ කිසිවෙක් ඊර්ෂ්‍යා සහගත සිතින් යුතු වෙයි. අනුන්ගේ ලාභසත්කාර ගරුකාර මානන වන්දනා පූජනාදිය කෙරෙහි ඊර්ෂ්‍යා කරයි; තමා නො ලබන හෙයින් ඊට ද්වේෂ කරයි. ඒ කෙරෙහි ඊර්ෂ්‍යාව බඳියි. හෙතෙම මෙසේ රැක් කරන ලද, මෙසේ සමාදන් කොට ගත් ඒ කර්මය හේතු කොට ගෙන කය බිඳී මරණින් මත්තෙහි දුග්ගති සඞ්ඛ්‍යාත අපාය වූ විනිපාත වූ නිරයෙහි උපදියි. ඉදින් නිරයෙහි උපත නො ලබා මිනිසත් බවට පැමිණ යම් තැනෙක උපත ලබයි ද, අල්පේශාක්‍ය වෙයි. එබැවින් ඊර්ෂ්‍යා සහගත සිත් ඇති බව, අනුන්ගේ ලාභ සත්කාර ගරුබුහුමනෙහි වැඳුම් පිදුමෙහි ඊර්ෂ්‍යා කෙරෙමින්, ද්වේෂ කෙරෙමින්, ඊර්ෂ්‍යාව බඳිමින් කටයුතු කිරීම ය යන මේ ප්‍රතිපදාව අල්පේශාක්‍ය බව පිණිස වැටෙයි.

මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ කිසිවෙක් ඊර්ෂ්‍යා සහගත සිත් නැති වේ ද, අනුන්ගේ ලාභසත්කාර ගරුකාර මානන වන්දනා පූජනාදිය කෙරෙහි ඊර්ෂ්‍යයා නො කරයි; තමා නො ලැබුව ද ඊට ද්වේෂ නො කරයි. ඊර්ෂ්‍යාව නො බඳියි. හෙතෙම මෙසේ රැස් කරන ලද, මෙසේ සමාදන් කොට ගන්නා ලද ඒ කුසල කර්මය හේතු කොට ගෙන කය බිඳී මරණින් මත්තෙහි සුගති සඞ්ඛ්‍යාත ස්වර්ග ලෝකයට පැමිණෙයි. ඉදින් සුගතියෙහි උපත නො ලබා මිනිසත් බවට පැමිණෙන්නේ යම් තැනෙක උපදනේ, එකල්හි මහේශාක්‍ය වෙයි. එබැවින් ඊර්ෂ්‍යා සහගත සිතින් තොර වීම, අනුන්ගේ ලාබ සත්කාර ආදියෙහි ඊර්ෂ්‍යයා නො කොට, ද්වේෂ නො කොට, ඊර්ෂ්‍යාව නො බැඳ කටයුතු කෙරේ ද ඒ ප්‍රතිපදාව මහේශාක්‍ය බව පිණිස පවතී.

අල්පභෝග බවටත් මහාභෝග ඇති බවටත් පමුණුවන ප්‍රතිපදාව

මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ කිසිවෙක් ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට ආහාර පාන වස්ත්‍ර යාන මල් ගඳ විලෙවුන් සයන ආවාස පහන්-තෙල් දන් නො දෙයි. මෙසේ පුරන ලද මෙසේ සමාදන් කොට ගන්නා ලද ඒ කර්මයෙන් කය බිඳී මරණින් මත්තෙහි අපාය දුග්ගති විනිපාත සඞ්ඛ්‍යාත නිරයට පැමිණෙයි. ඉදින් දුගතියෙහි නො ඉපිද මිනිසත් බවට පැමිණ යම් යම් තැනෙක උපදින්නේ ද එතැන්හි අල්පභෝගී වෙයි. එබැවින් මහණ බමුණන් විෂයෙහි ආහාර, පාන, වස්ත්‍ර, යාන, මල්, ගඳ, විලෙවුන්, සයන, ආවාස, පහන්, තෙල් ආදි ආමිස ප්‍රත්‍යය දන් නො දීම යන මේ ප්‍රතිපදාව අල්පභෝගස්කන්ධයක් ලැබීම පිණිස, දිළිඳු බව පිණිස වැටෙයි.

මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ කිසිවෙක් ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට ආහාර පාන වස්ත්‍ර යාන මල් ගඳ විලෙවුන් සයන ආවාස පහන් තෙල් දන් දෙයි. හෙතෙම මෙසේ පුරන ලද මෙසේ සමාදන් කොට ගන්නා ලද ඒ කර්මය හේතු කොට ගෙන ශරීරය බිඳී මරණින් මත්තෙහි සුගති සඞ්ඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපදී. ඉදින් දිව්‍යාත්මභාවයක් නො ලබා මිනිසත් බවට ම පැමිණ යම් තැනෙක උපත ලබයි ද මහා භෝගස්කන්ධයකට උරුමකරුවෙක් වේ. එබැවින් සීලාදී ගුණධර්ම පූරණය කරන මහණ බමුණන් විෂයෙහි ආහාර පානාදී ආමිස ප්‍රත්‍යය දන් දීම යන මේ ප්‍රතිපදාව මහත් භෝගස්කන්ධයක් ලැබීමට හේතු වෙයි.

නීචකුලවල ඇති බවටත්, උසස් කුල ඇති බවටත් පමුණුවන ප්‍රතිපදාව

මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ කිසිවෙක් තද වූයේ අධිකමාන ඇත්තේ වෙයි. එහෙයින් වැඳිය යුත්තාට නො වඳියි; දැක හුනස්නෙන් නැඟී නො සිටියි. ආසනය දිය යුත්තාට ආසනය නො දෙයි. මාර්ගය ඉඩ දිය යුත්තාට මාර්ගය ඉඩ නො දෙයි. සත්කාර කළ යුත්තාට සත්කාර නො කරයි. ගරු කළ යුත්තාට ගරු නො කරයි. බුහුමන් දැක්විය යුත්තාට බුහුමන් නො දක්වයි. පිදිය යුත්තා නො පුදයි. හෙතෙම මෙසේ රැස් කරන ලද මෙසේ සමාදන් කොට ගන්නා ලද ඒ කර්මය හේතු කොට ගෙන කය බිඳී මරණින් මත්තෙහි අපාය දුග්ගති විනිපාත වූ නිරයෙහි උපත ලබයි. ඉදින් නිරයෙහි ප්‍රතිසන්ධි නො ගෙන මිනිසත් බවට පැමිණ යම් තැනෙක උපත ලබද්ද, එකල්හි නීච යයි පහත් යයි සම්මත හීන කුලවල උපත ලබයි. එබැවින් තද බව ය, අතිමානය ය, වැඳිය යුත්තාට නො වැඳීම ය, දැක හුනස්නෙන් නැඟී සිටිය යුත්තාට එබඳු ගෞරව නො දැක්වීම ය, ආසනය දිය යුත්තාට ආසනය නො දීම ය, මාර්ගය ඉඩ දිය යුත්තාට මාර්ගය ඉඩ නො දීම ය, සත්කාර කළ යුත්තාට සත්කාර නො කිරීම ය, ගරු කළ යුත්තාට ගරු නො කිරීම ය, බුහුමන් දැක්විය යුත්තාට බුහුමන් නො දැක්වීම ය, පිදිය යුත්තා නො පිදීම ය යන මේ ප්‍රතිපදාව නීචකුලයන්හි උපත ලැබීමට හේතු වේ.

මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ කිසිවෙක් තද නො වූයේ අධිකමාන නැත්තේ වෙයි. වැඳිය යුත්තාට වඳියි; දැක හුනස්නෙන් නැඟී සිටියි. ආසනය දිය යුත්තාට ආසනය දෙයි. මාර්ගය ඉඩ දිය යුත්තාට මාර්ගය ඉඩ දෙයි. සත්කාර කළ යුත්තාට සත්කාර කරයි. ගරු කළ යුත්තාට ගරු කරයි. බුහුමන් දැක්විය යුත්තාට බුහුමන් දක්වයි. පිදිය යුත්තා පුදයි. හෙතෙම මෙසේ රැස් කරන ලද මෙසේ සමාදන් කොට ගන්නා ලද ඒ කර්මය හේතු කොට ගෙන කය බිඳී මරණින් මත්තෙහි යහපත් ගති ඇති හෙයින් සුගති නම් වූ ස්වර්ගලෝකයෙහි උපත ලබයි. ඉදින් සුගතියෙහි ප්‍රතිසන්ධි නො ගෙන මිනිසත් බවට පැමිණ යම් තැනෙක උපත ලබද්ද, එකල්හි උසස් යයි ශ්‍රේෂ්ඨ යයි සම්මත යහපත් කුලවල උපත ලබයි. එබැවින් තද නැති බව ය, අතිමානය පළ නො කිරීම ය, වැඳිය යුත්තාට වැඳීම ය, දැක හුනස්නෙන් නැඟී සිටිය යුත්තාට එබඳු ගෞරව දැක්වීම ය, ආසනය දිය යුත්තාට ආසනය දීම ය, මාර්ගය ඉඩ දිය යුත්තාට මාර්ගය ඉඩ දීම ය, සත්කාර කළ යුත්තාට සත්කාර කිරීම ය, ගරු කළ යුත්තාට ගරු කිරීම ය, බුහුමන් දැක්විය යුත්තාට බුහුමන් දැක්වීම ය, පිදිය යුත්තා පිදීම ය යන මේ ප්‍රතිපදාව උසස්කුලයන්හි උපත ලැබීමට හේතු වේ.

දුෂ්ප්‍රාඥ බව හා මහාප්‍රාඥ බව පිණිස පමුණුවන ප්‍රතිපදාව

මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ කිසිවෙක් ශ්‍රමණ බ්‍රාහ්මණයන් වෙත එළැඹ, "වහන්ස, කුසල් මොනවා ද? අකුසල් මොනවා ද? වැරදි දේ කුමක් ද? නිවැරදි දේ කුමක් ද? කුමක් සෙවිය යුතු ද? නො සෙවිය යුත්තේ මොනවා ද? මා විසින් කරනු ලබන කවර ක්‍රියාවක් මා හට බොහෝ කල් අහිත පිණිස දුක පිණිස පවතී ද? මා විසින් කරනු ලබන කවර ක්‍රියාවක් හිත සුව පිණිස පවත්නේ ද?" යනාදී වශයෙන් නො විමසයි. හෙතෙම මෙසේ සපුරාලන ලද, මෙසේ සමාදන් කොට ගන්නා ලද කර්මය හේතු කොට ගෙන මරණින් මත්තෙහි අපාය වූ දුගති වූ විනිපාත වූ නිරයෙහි උපදනාහ. ඉදින් අපායෙහි නො ඉපිද මිනිසත් බවට පැමිණ යම් යම් තැනෙක උපත ලබා ද, දුෂ්ප්‍රාඥයෙක් වේ. නුවණ නැත්තෙක් වේ. අඥාන මෝඩයෙක් බවට පත් වේ. ධාරණ ශක්තිය හීන දුර්වල වේ. ස්මෘති ප්‍රඥාව සිහිය නො පිහිටුනෙක් බවට පත් වේ. එබැවින් මහණ බමුණන් කරා එළැඹ කුසලය අකුසලය, වැරැද්ද නිවැරැද්ද, සෙවිය යුත්ත හා නො සෙවිය යුත්ත, දිගු කලක් අහිත හා දුක පිණිස පවතින ක්‍රියා මොනවා ද? දිගු කලක් හිත සුව පිණිස පවතින ක්‍රියා මොනවා ද? යන මේ කරුණු නො විචාරීම යන මේ ප්‍රතිපදාව දුෂ්ප්‍රාඥ බව පිණිස පවතී. කුසලය නො විමසන්නා කුසලය නො දනී. එබැවින් කුසල් නො වඩයි. කුසලය නො හැඳින අකුසලය ම වඩයි. එහෙයින් ප්‍රඥාවෙන් තොර වූවෙක් වෙයි. සෙසු කරුණුවල ද එසේ ම ය.

මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ කිසිවෙක් ශ්‍රමණ බ්‍රාහ්මණයන් වෙත එළැඹ, "වහන්ස, කුසල් මොනවා ද? අකුසල් මොනවා ද? වැරදි දේ කුමක් ද? නිවැරදි දේ කුමක් ද? කුමක් සෙවිය යුතු ද? නො සෙවිය යුත්තේ මොනවා ද? මා විසින් කරනු ලබන කවර ක්‍රියාවක් මා හට බොහෝ කල් අහිත පිණිස දුක පිණිස පවතී ද? මා විසින් කරනු ලබන කවර ක්‍රියාවක් හිත සුව පිණිස පවත්නේ ද?" යනාදී වශයෙන් විමසයි. හෙතෙම මෙසේ සපුරාලන ලද, මෙසේ සමාදන් කොට ගන්නා ලද කර්මය හේතු කොට ගෙන මරණින් මත්තෙහි යහපත් ගති ඇති හෙයින් සුගති නම් වූ ස්වර්ග ලෝකයෙහි උපදනාහ. ඉදින් ස්වර්ගයෙහි නො ඉපිද මිනිසත් බවට පැමිණ යම් යම් තැනෙක උපත ලබා ද, මහා ප්‍රඥා ඇත්තෙක් වේ. පිරිපුන් නුවණැත්තෙක් වේ. අඥාන මෝඩයෙක් නො වේ. ධාරණ ශක්තිය බලවත් වේ. ස්මෘති ප්‍රඥාව සිහිය මනා කොට පිහිටටි. එබැවින් මහණ බමුණන් කරා එළැඹ කුසලය අකුසලය, වැරැද්ද නිවැරැද්ද, සෙවිය යුත්ත හා නො සෙවිය යුත්ත, දිගු කලක් අහිත හා දුක පිණිස පවතින ක්‍රියා මොනවා ද? දිගු කලක් හිත සුව පිණිස පවතින ක්‍රියා මොනවා ද? යන මේ කරුණු විචාරීම යන මේ ප්‍රතිපදාව මහාප්‍රාඥ බව පිණිස පවතී. කුසලය විමසන්නා කුසලය දනී. එබැවින් කුසල් වඩයි. කුසල් දහම් සමාදන් කොට ගෙන වසයි. කුසල් දහම්හි හැසිරෙයි. අකුසල් බැහැර කරයි. එහෙයින් ප්‍රඥාවන්තයෙක් වේ. සෙසු කරුණුවල ද එසේ ම ය.

මෙසේ සත්ත්වයෝ කර්මය ස්වකීය කොට ඇත්තාහ. කර්මය දායාදාය කොට ඇත්තාහ. කර්මය යෝනි කොට ඇත්තාහ. කර්මය බන්ධු කොට ඇත්තාහ. කර්මය ම එක ම පිළිසරණ කොට ඇත්තාහ. කර්මය ම සත්ත්වයන් හීන ප්‍රණීත බව පිණිස විභාග කෙරේ. තමා ම සපුරාලන ලද, තමා විසින් ම සමාදන් කොට ගන්නා ලද කුසලාකුසල කර්මයන් හේතුයෙන් දුගතියෙහි හෝ සුගතියෙහි උපත ලබයි. ඉදින් මිනිස් බවට පැමිණ යම් යම් තැනෙක උපත ලබා ද, කර්මානුරූප ව සැප හෝ දුක් විපාක ලබයි.

මේ චූලකම්මවිභඞ්ග දේශනාව කෙළවර තෝදෙය්‍ය පුත් සුභ මාණවක සැක දුරු වූවෙක් වූයේ ය. බෙහෙවින් සතුටට පැමිණියේ ය. භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි මෙසේ සිය ප්‍රසාදය පළ කළේ ය. "භාග්‍යවත් ගෞතම බුදුරජාණන් වහන්ස, ඉතා කාන්ත ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්ත ය. (ඉතා මැනවි යන තේරුම යි) යම් සේ යටිකුරු කොට තබන ලද්දක් උඩුකුරු කරනු ලැබුවාක් මෙන්, වැසූවක් විවර කළාක් මෙන්, මාර්ගය සොයා ගත නො හැකි ව මංමුළා වූ එකෙකුට මාර්ගය ප්‍රකාශ කළාක් මෙන්, අන්ධකාරයෙහි සිටින්නහුට රූප දකීවා යි තෙල් පහනක් දැල්වූවාක් මෙන් භාග්‍යවත් ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් මා හට ධර්මය දේශනා කරන ලද ලදි. ඒ මම් භවත් ගෞතමයන් වහන්සේ සරණ යමි. ධර්මය සරණ යමි. සඞ්ඝයා සරණ යමි. මගේ දිවි තොර කරනු ලැබූවත් උතුම් තිසරණය අත් නො හරිමි. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් මා දිවි හිම් කොට සරණ ගිය උපාසකයෙකු කොට දරන සේක්වා."

චූළකම්මවිභඞ්ග සූත්‍රය, මජ්ඣිමනිකාය උපරිපණ්ණාසකයේ විභඞ්ගවග්ගය, පාඨශෝධනය : ලබුගම ලඞ්කානන්ද ස්ථවිර, සිංහලානුවාදය හා සංස්කරණය : කරහම්පිටිගොඩ සුමනසාර ස්ථවිර ආදීහු, බුද්ධ ජයන්ති ත්‍රිපිටක පුනර් මුද්‍රණය, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, දෙහිවල-නැදිමාල, 2005.

දිලාන් පංචන ජයසිංහ
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

1 comment:

  1. මේ විග්‍රහය තුළ ඔබ වටහා ගත යුතු දෙයක් තිබෙනවා. එනම්, ඔබ පෙර සසර දී සමාදන් වූ පිළිවෙත් අනුව කර්මානුරූප ව මේ භවය සකස් වී ඇති බව. එසේ ම, මේ භවයේ දී ඔබ සමාදන් වන පිළිවෙත් අනුව කර්මානුරූප ව ඔබගේ මතු භවය, සසර ගමන සකස් වන බව. එබැවින් මේ සූත්‍ර දේශනාව වැදගත් වන්නේ ඔබගේ මේ භවය පිළිබඳ කිසියම් කර්ම විනිශ්චයකට බැස ගැනීමෙහි පමණක් නො වෙයි. මේ භවය තුළ ඔබ ජීවත් විය යුත්තේ කෙසේ ද? කිනම් කර්ම සමාදන් විය යුතු ද? කිනම් කර්මවලින් වැළකිය යුතු ද? යන මේ කාරණා පිළිබඳ ව ඉතා පුළුල් අවබෝධයක් ලබා දෙනවා. මේ භවය තුළ ඒ සද්ක්‍රියාවන්හි නිරත වීම තුළින් ඔබට හැකියාව තිබෙනවා නිවන් දක්නා ජාති දක්වා තමන්ගේ සංසාර ගමන යහපත් අන්දමින් පවත්වා ගන්න. එය අතිශය වැදගත්.

    ReplyDelete