Nov 21, 2016

පාලි භාෂාව හා වාග්විද්‍යාව (හයවැනි කොටස) ඉන්දු - ඉරානීය භාෂා ශාඛාව




ඉන්දු යුරෝපීය භාෂා පවුලේ දීර්ඝ ඉතිහාසයක් ඇති ශාඛාව ඉන්දු ඉරානීය ශාඛාව යි. මෙය පෙරසාකච්ඡා කළ සතම් ගණයට අයත් භාෂා ශාඛාවකි. එසේ ම, කෙන්තුම් භාෂා අතර ගැනෙන හිටයිට් භාෂා ශාඛාව තරම් ම හෝ ඊටත් පැරණි ඉතිහාසයක් ඇති භාෂාවක් ලෙස ද සැලකේ. අද දක්වා ම පැවැත එන ඉතා දීර්ඝ සාහිත්‍යයක් ඇති භාෂා ශාඛාව ද මෙය යි. පැරණි අවේස්තන් සාහිත්‍යය සේ ම, ඍග් වෛදික සාහිත්‍යය ද අයත් වන්නේ මෙම ඉන්දු - ඉරානීය ශාඛාවට යි. මෙම ඉන්දු ඉරානීය ශාඛාව වර්ණ මාලාව හා පද සිද්ධිය අතින් ඉන්දු යුරෝපීය භාෂා පවුලට වඩාත් සමීප වේ. ඉන්දු යුරෝපීය භාෂා පවුලෙහි වෙනත් ශාඛා ලෙස මූල භාෂාවට වඩා සමීප සබඳතාවක් නො දක්වයි.

මෙම භාෂා ශාඛාවේ ප්‍රධාන කොටස් දෙකකි. 1. ඉන්දු ආර්ය හා 2. ඉරානීය වශයෙනි.

මෙලෙස කොටස් දෙකක් බිහි වී ඇත්තේ පෙර සාකච්ඡා කළ මුල් වාසභූමියේ සිට ඉන්දු - යුරෝපීය මූල භාෂාව කථා කළ ආදි ම මනුෂ්‍යයන්ගේ සංක්‍රමණ රටාව අනුව යි. ජර්මන් ජාතික ෂාදේර් විසින් ඉදිරිපත් කළ පරිදි කැස්පියන් මුහුදේ උතුරු වෙරළ බඩ ප්‍රදේශයෙහි වාසය කළ ජනතාව මුල් වාසභූමියෙන් වෙන් ව අග්නිදිග ආසියාව බලා සංක්‍රමණය වී, ආරම්භයේ දී ඉරානය හා තදාසන්න ප්‍රදේශවල පදිංචි වූ හ. ආර්ය නමින් ඔවුහු විශේෂිත ව හැඳින්වූ හ. පසු කාලයේ දී දියුණු වූ ආර්ය ජන කණ්ඩායම්වලින් කොටසක් නැගෙනහිරට ගමන් කොට, ඇෆ්ගනිස්ථානය හරහා වින්ධ්‍යා කඳුවැටිය තරණය කරමින් ඉන්දියාවට ඇතුළු වූ හ. ඉතිරි කොටස පර්සියන් වරායේ වෙරළ බඩ දක්වා දකුණට හා ඉන්දියාවේ බටහිර දේශ සීමාව දක්වා නැගෙනහිරට පැතිරී ගිය හ. මෙසේ පැතිරී ගිට ජන කණ්ඩායම් අනුව ඉන්දු - ඉරානීය භාෂා ශාඛාවේ උප ප්‍රභේද දෙකක් පහළ විය. ඉන්දියාවට පැමිණ පදිංචි වූ ජනතාව ඉන්දු - ආර්ය නමින් වෙසෙසූ අතර, ඔවුන්ගේ භාෂාව ද එම නමින් ම හැඳින්විණ. ඉරානය හා ඒ අවට ප්‍රදේශවල පදිංචි වූ ජනතාව "ඉරානීය" නමිනුත්, ඔවුන්ගේ භාෂාව "ඓරානීය" හෝ "ඉරානීය" නමිනුත් හැඳින්විණ. මුල දී එක ම භාෂාවක උප භාෂා දෙකක් ලෙස පැවැති මෙම ශාඛා දෙක කල් යාමේ දී සම්පූර්ණ භාෂා පවුල් දෙකක් බවට පරිවර්තනය විය. භාෂා ලක්ෂණ අතින් එම දෙක වඩා කිට්ටු සම්බන්ධයක් දක්වයි. ඉරානීය ශාඛාවේ පැරණිත ම උප භාෂාවන් වන පැරණි පර්සියන් - අවේස්තා භාෂා සහ ඉන්දු ආර්ය ශාඛාවේ පැරණි ආදිතම උප භාෂාවන් වන වෛදික භාෂාවත්, ලෞකික සංස්කෘතයත් අතර සම්බන්ධතාවය සැලකීමේ දී පද සිද්ධියේ සුළු වෙනස්කම් කිහිපයක් සිදු කිරීමෙන් පමණක් එක් භාෂාවක් අනෙක් භාෂාවකට පරිවර්තනය කර ගත හැකි වෙයි. පහත දැක්වෙන සංසන්දනාත්මක පාඨවලින් පැරණි පර්සියන් භාෂාවේත් සංස්කෘත භාෂාවේත් සම්බන්ධතාවය කෙබඳු දැයි වටහා ගත හැකි ය.

පැරණි පර්සියන් හා සංස්කෘත සංසන්දනය

පැරණි පර්සියාවේ ආකිමේනියන් අධිරාජ්‍යයේ අරියරම්න රජුගේ හමදන් ලිපියෙන් උපුටා ගත් කොටසක් පහත දැක්වේ.

"ඉයම් දහ්‍යාඋස් පාර්සා, ත්‍යම් දාරයාමිස්, හ්‍ය හුවස්පා හුමර්තියා මනා බග වජුක අහුරමස්දා ප්‍රාඛර. වස්නා අහුරමස්දා අදම් ක්සායතිය ඉයම් දහ්‍යාඋස් අහ්මය්. තාතිය් අරියාරම්න ක්සායතිය, අහුරමස්දා මනා උපස්තාම් ඛරතුව්. "

මෙම පැරණි පර්සියන් පාඨයේ සංස්කෘත පරිවර්තනය මෙසේ ය.

"ඉයම් දස්‍යුඃ පාර්සඃ ත්‍යම්ධාරයාමි. ස්‍යඃ ස්වශ්වා සුමර්ත්‍යා මම භගඃ ව්‍රජකඃ අසුරමේධඃ ප්‍රාභරත්. වශ්නා අසුර මේධසඃ අහම් ක්ෂායථ්‍යඃ ඉයම් දස්‍යොඃ අස්මි. සම්සති ආර්යාරම්මනඃ ක්ෂායථ්‍යඃ අසුරමේධඃ මම උපස්ථාම් භරතු. "

මෙහි නූතන සිංහල අනුවාදය මෙසේ ය.

"මෙම දේශය පර්සියාව (යි), එය (මම) දරමි. හොඳ අශ්වයින් හා හොඳ මිනිසුන් (ඇති) එය භාග්‍යවත්, බලවත් අසුරමේධ (මට) දුන්නේ ය. අසුරමේධගේ කැමැත්ත පරිදි මම මෙම දේශයෙහි රජ වෙමි. (මෙසේ) කියයි අරියරම්න රජ අසුරමේධ මට උපකාර කරත්වා."

අවේස්තා හා සංස්කෘත සන්සන්දනය

ගාථා යස්න නම් වූ සෝරෝඇස්ත්‍රියන් ධර්ම ග්‍රන්ථයෙහි 09 වැන්නෙහි මෙසේ දැක්වේ.

"හාවනීම් ආ රතුම් ආ
හඔමෝ උපෛයිති සරතුස්ත්‍රම්,
ආත්‍රම් පෛරි - යඕජදදන්තම්
ගාතාස් - ච ස්‍රාවයන් තම්
ආ - දීම් පරසත් (සරතුස්ත්‍රො) කෝ නර අහි?
යිම් අසෙම් වීස්පහේ අඞ්හාඋස්
අස්වතෝ ස්‍රාඵස්තෙම් දා දරස."

එය සංස්කෘතයට පරිවර්තනය කළ විට මෙසේ ය.

"හවනීම් ආ ඍතුම් ආ
සොමෝ උපෛත් සරථුස්ට්‍රම්,
අත්‍රම් පරි - යෝස් - දධන්තම්
ගාථාශ්ව ශ්‍රාවයන්තම්,
ආ තම් පෘච්ඡත් (සරථුෂ්ට්‍රඃ) කෝ නර් අසි?
අස්ථිවතඃ ශ්‍රේෂ්ඨම් දදර්ශඃ"

මෙහි නූතන සිංහල අනුවාදය මෙසේ ය.

"අලුයම් කාලයේ දී සෝම සරථුෂ්ට්‍ර වෙතට ආවේ ය. අග්නි ආසනය පිරිසිඳු කරමින් ද, ගාථා සජ්ඣායනා කරමින් ද සිටි ඔහුගෙන් (සරථුෂ්ට්‍ර) මෙසේ විචාළේ ය. ලෝකයේ මවා ඇති සියලු වස්තූන්ගෙන් ශ්‍රේෂ්ඨයා ලෙස මට පෙනෙන ඔබ කවරෙක් ද?"

මෙසේ පුරාතන යුගවලට අයත් වන පැරණි පර්සියන් සහ අවේස්තා භාෂාත්, වෛදික හා සංස්කෘත භාෂාත් පරීක්ෂා කිරීමේ දී ආදි කාලයෙහි ඒ භාෂා අතර තිබූ සබඳතාව වඩාත් පැහැදිලි කර ගත හැකි ය. එමෙන් ම, එහි දී පැහැදිලි වන තවත් කරුණක් වන්නේ එම භාෂාවලට පමණක් සීමා වී ඇති විශේෂ භාෂා ලක්ෂණ ද ඇති බව යි. වෙනත් ඉන්දු - යුරෝපීය භාෂාවලින් මෙම භාෂා වෙන් කර දක්වන භාෂා ලක්ෂණ කිහිපයක් ම වේ. එයින් තුනක් මෙසේ යි.

01. ඉන්දු - යුරෝපීය මූල භාෂාවට අයත් ස්වර පන්තීහි අ - එ - ඔ යන ස්වර, මෙම භාෂා ගණයේ දී අ බවට පත් වේ.

02. ඉන්දු යුරෝපීය මූල භාෂාවේ ආ - ඒ - ඕ යන දීර්ඝ ස්වර මෙම ආර්ය භාෂා ගණයේ දී  බවට පත් වේ.

ඉන්දු-යුරෝ.
ග්‍රීක්
ලතින්
අවේස්තා
සංස්කෘත
පාලි
සිංහල
අග්රෝ
අග්රොස්
අගෙර්
අජු
අජ්‍ර
අජු
අක්කර
එස්ති
එස්ති
එස්ථි
අස්ති
අස්ති
අත්ථි
ඇත
ඔක්ටො
ඔක්ටො
ඔක්ටො
අස්ට්‍රා
අෂ්ට
අට්ඨි
අට
භ්‍රාත්‍රෝර්
එරාතේර්
ෆ්‍රාතෙර්
බ්‍රාත්‍ර
භ්‍රාතා
භාතා
බෑයා
නෙභොස්
නෙඵොස්
නෙබුස්
නබො
නභඃ
නභ
නුබ
දෝ
දෝ
දෝ
දා
දා
දා
දා

01.        ඉන්දු - යුරෝපීය මූල භාෂාවේ ඍ සහ  අක්ෂර දෙක ඉන්දු ආර්ය භාෂාවල දී  බවට පමණක් පත් ව ඇත. ඉන්දු යුරෝපීය භාෂාවෙහි "ඍක්තො" යන්න සංස්කෘතයෙහි "ඍක්ෂඃ" යනුවෙන් යෙදෙන්නාක් මෙනි. ඉන්දු යුරෝපීය මූල භාෂාවෙහි යෙදෙන "කො" යන්න සංස්කෘතයෙහි දී "වෘකඃ" යනුවෙන් යෙදෙන්නාක් මෙනි.

ඉරානීය භාෂා ශාඛාවෙහි ප්‍රධාන අවස්ථා 03 ක් ඇත. ඒ පුරාතන - මධ්‍යතන හා නූතන වශයෙනි. එහෙත්, එම යුග එකිනෙකට සම්බන්ධ කර පෙන්විය හැකි පැහැදිලි සාක්ෂි නො මැති නිසා වාග් වේදීන් ඉරානීය භාෂා පිළිබඳ ස්ථිර නිගමනවලට එළැඹී නැත.

එහෙත්, පැරණි ඉරානීය භාෂාවලට අයත් දැනට සාධක ඉතිරි ව ඇති ප්‍රධාන උපභාෂා දෙකක් කෙරෙහි වාග් වේදීන්ගේ අවධානය යොමු ව තිබේ. පැරණි පර්සියන් හා අවේස්තා යනු එම උපභාෂාවෝ ය. මෙයින් පැරණි පර්සියන් භාෂාව අයත් වන්නේ පර්සියන් කාන්තාරයෙන් බටහිරට විහිදී ගිය ප්‍රදේශයට යි. එහෙයින් එම ප්‍රදේශය තුළ පැතිරී ගිය උපභාෂාවක් ලෙස මෙම භාෂාව සැලකිය හැකි ය. ක්‍රි.පූ.06 වන සියවස දක්වා අතීතයට ගමන් කරන පැරණි ලිපි ලේඛන මෙම භාෂාවෙන් හමු වී ඇත. පර්සියාව තුළ ආකිමේනියන් අධිරාජ්‍යය ගොඩනැඟූ සයිරස් රජු (ක්‍රි.පූ.558  530) විසින් ලියන ලද සෙල් ලිපිවලින් හා ඔහුට පසු ව රජ වූ ඩේරියස් රජු (ක්‍රි.පූ.522  486) විසින් කරවන ලද බෙහිස්තුන් ලිපි අධ්‍යයනය කිරීමෙන් පැරණි පර්සියන් භාෂාවේ ගති ලක්ෂණ වාග්වේදීන් හඳුනා ගෙන ඇත. ඛීල හැඩයේ අකුරුවලින් ලියන ලද මෙම ලිපිවලට අමතර ව, පර්සි පොලිස් හා සූසා ඇතුළු තවත් ස්ථානවලින් ගොඩගත් ඛීල හැඩැති අකුරු සහිත තහඩු ලිපි රාශියක් ද පැරණි පර්සියන් බසට අයත් යැයි සොයා ගෙන ඇත. ඒ හැරුණු විට මෙම භාෂාව සම්බන්ධයෙන් ලියැවුණු සාහිත්‍යය කෘතීන් අවිද්‍යමාන ය.

අවේස්තා යනු පර්සියන් කාන්තාරයෙන් නැගෙනහිරට විහිදී ගිය ප්‍රධාන උපභාෂාව යි. මෙය මුල දී "සෙණ්ඩ්" හා "බැක්ට්‍රියන්" යන නම්වලින් ද හඳුන්වනු ලැබේ. "සෙණ්ඩ් අවේස්තා" නමින් හඳුන්වනු ලබන පුරාතන ඉරානීය යුගයට අයත් විශාල ම ආගමික ග්‍රන්ථය වන සරතුෂ්ට්‍ර ධර්ම ග්‍රන්ථය ලියැවී ඇත්තේ ද මෙම භාෂාවෙනි. මෙහි අවම වශයෙන් උපභාෂා දෙකක් දක්නට ලැබෙන බව වාග්වේදීන්ගේ මතය යි. ඉන් පළමුවැන්න ක්‍රි.පූ.600 පමණ කාලයට අයත් "ගොතික් අවේස්තා" භාෂාව යි. දෙවැන්න "අවේස්තා" යන සාමාන්‍යය නමින් හඳුන්වයි. අවේස්තා සාහිත්‍යය ආරම්භයේ දී හරක් සම් 1200 ක ලියන ලද ග්‍රන්ථ 20 ට සීමා වී පැවැතිනි. ඒවා ඩේරියස් රජු විසින් ග්‍රන්ථාරූඪ කරවා පර්සි නගරයෙහි රාජකීය පුස්තකාලයේ තැන්පත් කළ බව ද කියැවේ. මහා ඇලෙක්සැන්ඩර් රජු මෙම නගරය ආක්‍රමණය කළ අවස්ථාවේ ගින්නේ එම ග්‍රන්ථ ආරක්ෂා වූවත්, මුඛ පරපුරින් පැවැත ආ එම ධර්මය නැවතත් ක්‍රි.ව.2-3 සියවස්වල දී නැවතත් ග්‍රන්ථාරූඪ කෙරිණ. ඊටත් පසු ව, හත් වැනි සියවසේ දී අරාබිවරුන් අතිනුත්, නවවැනි සියවසේ දී මුස්ලිමවරු අතිනුත් 13 වන සියවසේ දී මෝගල්වරු අතිනුත් මෙම සාහිත්‍යය විනාශ විය. එහෙත්, එහි ලිඛිත සාධක තවමත් රැඳී ඇති නිසා අවේස්තා භාෂාව අධ්‍යයනය කරන්නට තවමත් ඉඩකඩ ඇත. ගාථා අවේස්තා සහ පශ්චාත් අවේස්තා යනුවෙන් අවේස්තා භාෂාවේ අංශ දෙකක් හඳුනා ගැනේ. ගාථා භාෂාව එයින් වඩාත් පැරණි ය. සරතුස්ත්‍රගේ මූල දේශනා සේ සැලැකෙන ගාථාවන්හි භාෂාව වෛදික සංස්කෘතයට වඩාත් සමීප ය. පසු ව දියුණු වූ අවේස්තා භාෂාව, පශ්චාත් අවේස්තා භාෂා සේ හැඳින්වේ. එහෙත්, එම වර්ග දෙකේ ම භාෂා ක්‍රි.පූ.04 වන සියවස වන විටත් අජීව තත්ත්වයට පත් ව තිබිණ.

ඉරානීය ශාඛාවේ මධ්‍යතන යුගයට අයත් ඉරානීය භාෂාවලින් දැනට ඉතිරි ව ඇත්තේ භාෂා කීපයකි. ඒ අතර, "පහ්ලවී" හා "ටූෆාන්" යන භාෂා වැදගත් වේ. මේ අතරින් වඩා ප්‍රමුඛ වන්නේ මධ්‍ය පර්සියන් භාෂාව සේ සම්භාවිත පහ්ලවී භාෂාව යි. "ග්‍රන්ථ පහ්ලවී" යන නමින් හැඳින්වෙන පහ්ලවී සාහිත්‍යය ලියැවී ඇත්තේ මෙම භාෂාවෙනි. එහි අක්ෂර "අරමෙයික්" යන නමින් හඳුන්වන බව වාග්වේදීන්ගේ මතය යි. ඒ නිසා මෙම පහ්ලවී ලේඛන වඩාත් සමාජගත වී නැත.

නූතන ඉරානීය භාෂා අතර ප්‍රධාන තැන ලැබෙන්නේ පර්සියන් හෙවත් ඉරානීය භාෂාවට ය. භාෂා ලක්ෂණ අතින් ඉතා සරල ව්‍යාකරණයක් ඇති, ශීඝ්‍රයෙන් පැතිර යන ඉන්දු - යුරෝපීය භාෂාවක් සේ "ඉරානීය" භාෂාව හැඳින්විය හැකි ය. සියවස් දහයක පටන් දියුණු වෙමින් සංවර්ධනය වී ඇති සාහිත්‍යයක් මෙම භාෂාව සතු වේ. අරාබි භාෂාව ආශ්‍රයෙන් ආරම්භයේ දී පෝෂණය වූ පර්සියන් භාෂාව පසු ව ආර්ය භාෂා සම්මිශ්‍රණයෙන් ද සංවර්ධනය වී ඇත. ඒ නිසා නූතන ඉරානී භාෂාව ප්‍රංශ ඉංගිරීසි රුසියන් වැනි වචනවලින් ද පෝෂණය වී තිබේ.



No comments:

Post a Comment