Jan 24, 2017

නො පෙනෙන ලොව සැබෑ තතු (05 කොටස) "කය මිස සිත නැති බඹලොව"




ප්‍රශ්නය : සිත නැති බඹලොව පිළිබඳ අප අසා තිබෙනවා. අපේ ජීවිතය පවතින්නෙ සිතත් කයත් නිසා. මේ කියන බඹලොව බ්‍රහ්මයෝ සිතක් නැතිව පවතින්නේ කොහොමද?

පිළිතුර : අබුද්ධෝත්පාද කාලවල දිවැස් නුවණ පාවිච්චි කරන ධ්‍යානලාභී තාපසවරු දෙව්ලොව බඹලොව පිළිබඳ සොයල බලන කොට අසඤ්ඤ තලය බොහොම දීර්ඝායුෂ බැවින් ඒ ඇත්තෝ හිතනව ඒක සදාකාලික සුවයක් කියල. ඒ වගේම එම ධ්‍යානලාභී තාපසවරු කල්පනා කරනව මේ දුක් සියල්ල ම ඇති වෙන්නෙ සිතටයි... ඒ නිසා සිත නිරුද්ධ කරල සදාකාලික සුවයක් විඳින්න පුළුවන් අසඤ්ඤ තලයට ගිහිං කියල. වායෝ කසිණ සමාපත්තිය වඩල චතුර්ථ ධ්‍යානය උපදවල එය වශී කරගෙන සංඥා විරාග භාවනාවක් වඩනවා. සිතට නිග්‍රහ කරමින් සිත නිරුද්ධ කරන්න අධිෂ්ඨාන කරනවා. මේ චතුර්ථ ධ්‍යානය කියන එක මහා බලගතු ධ්‍යානයක්. ඒකට කියන්නෙ අධි චිත්තය කියලනෙ. ඒ චතුර්ථ ධ්‍යානයට සමවැදිල එයින් නැගිටල සිත නිරුද්ධ කරන්න අධිෂ්ඨාන කරනවා. නැවත චතුර්ථ ධ්‍යානයට සමවදින්න ඒ අය සමර්ථ වෙනවා. අභිඥා බලයකින් යම් යම් දේ මවාපාන්න වගේ මේ සිත නිරුද්ධ කරල ඒ අයට පැය ගණන්, වරු ගණන් ඉන්න පුළුවන් වෙනවා.



ප්‍රශ්නය : නාම රූප දෙකින් තොරව සත්ත්වයෙකු පවතින්නේ නැහැ කියා අපි අසා තියෙනවා. එසේ නම් නාමස්කන්ධය නොමැතිව රූපකාය පවතින අයුරු තව ටිකක් පැහැදිලි කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

පිළිතුර: කාම ලෝක වගේ නෙවෙයි රූප ලොකයේ, රූප ස්කන්ධය ඇතිවෙන්නෙ මෙහෙමයි. දැන් මනුලොවදි සංඥාවිරාග භාවනා කළ කෙනෙක් වාඩිවෙලා මරණයට පත්වුණානම් අසඤ්ඤ තලයෙ ඉපදෙන විට වාඩි වුණු රූපයක් පහළ වෙනව. එම ජීවිත නවක රූපයන්ගෙන් පිරුණු කර්ම සමුට්ඨාන රූපස්කන්ධයක්. එතැන චිත්තජ රූප නෑ. සෘතුජ රූප තියෙනව. අහාරජ රූප නෑ. මනුලොවදි සැතපිලා නිරුද්ධ වූවා නම් එහි දී සැතපුණු රූපයක් පහළ වෙනව. ඒ අය මනුස්ස ලෝකෙ පැය ගණන් සිත නිරුද්ධ කරල හිටිය වගේ චතුර්ථ ධ්‍යානයේ තියෙන ආනුභාව නිසා කල්ප 500 ක් සිත නිරුද්ධ කරල සිත නැතිව ජීවිත නවක රූප පරම්පරාව පමණක් කල්ප 500 ක් පවතිනව.

යම් දවසක කල්ප 500 අවසාන වන විට අර මුලින් නිරුද්ධ වුණා වූ චුති චිත්තයට අනතුරුව අනන්තර සමනන්තර, අනන්තර උපනිශ්‍රය, නත්ථි විගත කියන ශක්ති විශේෂය ඇතිව කාම භවයෙහි ත්‍රිහේතුක උත්පත්තියකින් පටිසන්ධිය ලබනවා. ඒකයි පිළිවෙල. එතැන තියෙන්නෙ නාම ධර්මයන් සියල්ලම නිරුද්ධ කරල රූපකාය පමණක් පැවතීමේ අධිෂ්ඨාන බලය නිසා සිතෙන් තොර රූපකායක් පමණයි.

ප්‍රශ්න ය: මෙහෙම සිත නිරුද්ධ කරල එහෙ ඉපදෙනව නම් සිත නැතිව එතැන ඉපදෙන්නෙ කොහොමද?

පිළිතුර : අසඤ්ඤ තලයෙ ඉපදෙන පුද්ගලයා සිත නිරුද්ධ කරන්නෙ එහෙ ඉපදීමට පෙර මේ මනුලොව දී ම යි. ඒ නිරුද්ධ කිරීමේ ශක්ති විශේෂය තමයි එතැන ඵල දුන්නෙ. රූපය පමණක් සිත නැතිව. ඒක කර්මයක ඵලයක්.

ප්‍රශ්නය: එතැන ප්‍රතිසන්ධි පිහිටන්නෙ කොහොමද?

පිළිතුර : ප්‍රතිසන්ධි සිතක් ඇත්තෙම නෑ. ප්‍රතිසන්ධි සිත, භවාංග සිත, චුති සිත මේ කිසිවක් එතැන නෑ. මේ මනුස්ස ලෝකෙ චුතියයි ඊලඟ කල්ප 500 කින් පසු නැවත මේ කාම භවයෙ පටිසන්ධියයි පිහිටන්නෙ. ඒ අතරතුර සිතත් නැතිව කල්ප 500 ක් පවතින්නෙ. ධ්‍යාන සිතේ පවතින ශක්තිය නිසා.

ප්‍රශ්නය : අසඤ්ඤ තලයෙ බ්‍රහ්මයෙක් ඒ බඹලොවින් චුතවෙන්නෙ කොහොමද?

පිළිතුර : චුතවෙන්නෙ එයාට ගති නිමිති පහළ වීමක් නෑ. බඹලොව යෑමට හේතු වූ ධ්‍යානය වඩන විට ඊට මුලින් ඇති වුණ උපචාර කුසල්. ඒ උපචාර කුසල්වල ශක්තිය තමයි ඊළඟ කල්ප 500 කින් පස්සෙ කාම සුගති භවයක පටිසන්ධි ලබන්නෙ. ඒ හැරුණ විට කර්ම නිමිති, ගති නිමිති පහළ වීමක් නෑ.

ත්‍රිපිටක විශාරද අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේ විසින් පහදා දෙන ලදුව පූජ්‍ය වේදෙණියේ නන්දසීල හිමියන් විසින් සම්පාදිත නො පෙනෙන ලොව සැබෑ තතු කෘතිය ඇසුරිනි. මෙම ධර්මදානය සඳහා පරිගණක අක්ෂර සැකසුම : ස්ටැන්ලි අර්නස්ට් මහත්මා විසිනි.








1 comment: