Nov 21, 2016

පාලි භාෂාව හා වාග්විද්‍යාව (පස්වැනි කොටස) ඉන්දු - යුරෝපීය මූල භාෂාව හඳුනා ගැනීම




ලෝක භාෂා අතර ඉන්දු - යුරෝපීය භාෂා පවුල තරම් ඓතිහාසික, තුලනාත්මක, වර්ණනාත්මක හා විද්‍යනුකූල පර්යේෂණවලට භාජනය වූ වෙනත් භාෂා පවුලක් නො මැති තරම් ය. මීට අයත් භාෂා සියල්ල ම පාහේ විද්‍යාත්මක පිරියෙසුම්වලට භාජනය වී ඇති හෙයින් මෙහි හැම අංශයකට ම අයත් වැදගත් කරුණු බොහොමයක් මේ වන විට අනාවරණය කර ගෙන හමාර ය. ඒවාට අනුව මෙහි ප්‍රභවය, ව්‍යාප්තිය හා ශාඛා ප්‍රශාඛා ආදිය පිළිබඳ වුව එතරම් විවාදාපන්නභාවයක් පැන නැඟී ඇති බවක් නො පෙනේ. එහෙත්, ඇතැම් ශාඛාවල භාෂාන්තර සබඳතාවන් පිළිබඳ පැහැදිලි ස්ථාවරයක් මේ තාක් ගොඩනගා ගෙන නො මැති අතර, නූතන විද්‍යාත්මක ක්‍රමෝපායන්ගේ පිහිටාධාරයෙන් එම අවුල් තැන් ද, ඉතා ඉක්මනින් නිරවුල් කර ගත හැකි වනු ඇතැයි විශ්වාස කෙරේ. භාෂා සමාජයේ විශාලත්වය, ඊට හිමි සමාජ තත්ත්වය, භාෂා තත්ත්වය, සාහිත්යික වටිනාකම, ලෝක ව්‍යාප්තිය හා ප්‍රකට භාවය ආදී සාධක මත මේ භාෂා පවුල කෙරෙහි වැඩිමනක් අවධානය යොමු වූ බව කිව හැක.

ඉන්දු යුරෝපීය භාෂා පවුල පිළිබඳ බොහොමයක් දෙනා සතු දැනු ම ඉතා අල්ප ය. ඒ නිසා ඇතැම් තැන් වරදවා වටහා ගත් අවස්ථා ද විරල නැත. මෑතක් වන තුරු ම මීට "ආර්ය භාෂා" යන නාමය ව්‍යවහාර කළේ ද එකී වැරදි වැටහීමේ ප්‍රතිඵලයක් වශයෙනි. "ආර්ය" යනු ඉරානය හා ඊට තදාසන්න ප්‍රදේශවල වාසය කළ ඉන්දු - ඉරානීය භාෂා ව්‍යවහාර කළ ජනයා හැඳින්වීම පිණිස භාවිත කළ නාමය යි. විශේෂයෙන් ඉරානයටත්, උතුරු ඉන්දියාවටත් සීමා වූ භාෂා "ආර්ය" නාමයෙන් හඳුන්වන ලදී. එහෙත්, ඉන්දු ඉරානීය භාෂාවන්ට ජර්මන් හා ග්‍රීක භාෂාවන්ගෙන් ඇති සම්බන්ධය හෙළි වීමෙන් පසු, ජර්මන් පඬිවරු ඉන්දු - ඉරානීය නාමය වෙනුවට "ඉන්දු - ජර්මානු" යන්න යෙදීමට උත්සුක වූ හ. ග්‍රීක - ජර්මන් භාෂා ද ආර්ය භාෂා පවුලෙන් බිඳී යුරෝපය දක්වා පැතිර ගිය බව පෙන්වීය එහි අරමුණ විය. එහෙයින්, ආර්ය භාෂා වහරන ඉන්දියාවත් - ජර්මනියත් අතර භූගෝලීය කලාපය සලකා ගෙන ගෙන ඉන්දු - ජර්මානු නාමය යොදන ලදි. එහෙත්, එංගලන්තය හා අයර්ලන්තය ආදී බටහිර යුරෝපා රටවල ව්‍යවහාරිත කෙල්ටික් ගණයේ භාෂාත්, ප්‍රංශ හා ස්පාඤ්ඤ රටවල ව්‍යවහාරිත ඉතාලි (ලතින්) ගණයේ භාෂාත් ආර්ය භාෂා ගණයට ම අයත් බව අනාවරණය වීමෙන් පසු ඉන්දු - ජර්මානු යන යෙදුම තවදුරටත් උචිත නො වුණි. එහෙයින්, භූගෝලීය වශයෙන් ගත් කල ඉන්දියාවේ සිට මැද පෙරදිග හරහා මුළු මහත් යුරෝපය පුරා ම පුළුල් ලෙස පැතිර ඇති ආර්ය භාෂා සියල්ල එක ම මූල භාෂාවකින් බිඳී ගිය, එක ම භාෂා පවුලක සාමාජිකයන් බව සනාථ කරමින් ඉන්දු - යුරෝපා යන නාමය වඩාත් සුදුසු බව සියල්ලන් විසින් ම අවිවාදයෙන් පිළිගැනිණ. ඊට මෙම භාෂාව කථා කළ ජනයාගේ මුල් වාස භූමිය පිළිබඳ අදහස් ද එකතු විය.

පැරණි ඉන්දු යුරෝපීය භාෂාව කථා කළ මිනිසුන්ගේ මුල් වාස භූමිය කොතැනක පිහිටියේ දැ යි යන්න පිළිබඳ ව විවිධ මතවාද ඇත. එබඳු මතවාද කිහිපයක් පහත වේ.

1. ඉන්දීය සංස්කෘත උගත්තු එය ඉන්දියාවේ යැ යි කී හ.

2. මැක්ස් මුලර් පාමීර් උස් තැන්න හා ඒ අවට ප්‍රදේශය නම් කර ඇත.

3. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වන ස්කැන්ඩිනේවියන් ජාතික ආචාර්ය ලැතන් ස්කැන්ඩිනේරියාව නම් කර ඇත.

4. එම විශ්වවිද්‍යාලයේ ම කථිකාචාර්යවරයෙකු වන ආචාර්ය ගයිල්ස් මේ සඳහා නම් කරන්නේ හංගේරියාව ය.

5. මේ අතර ජර්මානුවන් උතුරු ජර්මනිය ඉන්දු යුරෝපීය මුල් ජනාවාස භූමිය සේ නම් කර ඇත.

6. තවත් සමහරු යුප්‍රටීස් ටයිග්‍රීස් ගංඟා නිම්න ඒ සඳහා නම් කර ඇත. මෑතක දී අනාවරණය වූ පැරණි හිටයිට් ලේඛනවල ඇතැම් වෛදික දෙවිවරුන්ගේ නම් සඳහන් වීම ගැන සලකා ඉදිරිපත් කළ මේ මතය බොහෝ දෙනෙකු පිළිගත් හ.

7. එහෙත්, ජර්මන් ජාතික මහාචාර්යවරයෙක් වන ෂාදේර් අදහස් කරන්නේ වොල්ගා ගඟේ මුව දොර අවට ප්‍රදේශය හා කැස්පියන් මුහුදේ උතුරු වෙරළබඩ ප්‍රදේශය ඉන්දු - යුරෝපීය භාෂාවේ මුල් වාසභූමිය බව යි. මෙය අන් සියලු මතවාදවලට වඩා පිළිගත් නවීන මතවාදය වේ.

මෙම ඉන්දු යුරෝපීය භාෂා පවුලට අයත් උප භාෂා ගණන 10 කි. ඒවා කෙන්තුම් හා සතම් භාෂා ගණ ලෙස ද්විවිධ ව දැක්වේ.


කෙන්තුම්


         සතම්

කෙල්ටික්


ඇල්බේනියානු

ජර්මන් හෙවත් ටියුටොනික්


ලෙටෝ ස්ලාවික්

ඉතාලි


ආර්මේනියන්

ග්‍රීක්


ආර්ය හෙවත් ඉන්දු ඉරානීය


හිටයිට්


    
ටෝඛාරියන්


1870 දී ඇස්කෝලි නම් වාග්වේදියා ඉන්දු යුරෝපීය භාෂා සියල්ල කෙරෙහි බලපාන විශේෂ ලක්ෂණයක් විමසා බලා මෙම බෙදීම සිදු කොට ඇත. ඔහුට අනුව ඉන්දු - යුරෝපීය භාෂාවේ නූතන භාෂාවල නැති අමුතු කණ්ඨජ අක්ෂර ශ්‍රේණියක් දක්නට ලැබිණ. එනම්, අමුතු ක-වර්ගයක අකුරු එම භාෂාවේ දක්නට ලැබේ. ඒවා අද ඇති භාෂාවල කණ්ඨජ අක්ෂරවලට සමාන නො වේ. මූල භාෂාව ශාඛාවලට බෙදී යාමේ දී එම කණ්ඨජ අකුරුවලට අයත් ශබ්දය සමහර ශාඛාවල දී "ස" බවටත්, සමහර ශාඛාවල දී "ක" බවටත් වෙනස් වී ඇත. මේ අනුව ක-ශබ්දය ස බවට පත් වූ භාෂා සතම් භාෂා ගණය ලෙසත්, ක-ශබ්දය ක ලෙස ම පැවැති භාෂා කෙන්තුම් භාෂා ගණය ලෙසත් බෙදා දැක්විණ.

ඇස්කෝලි මෙම බෙදීම් දෙකට කෙන්තුම් - සතම් යන නම් දෙක තබා ඇත්තේ සියය (100) හැඳින්වීමට ලතින් සහ අවේස්තා භාෂාවල යොදන නම් දෙක මුල් කර ගෙන යි. සියය හැඳින්වීමට ඉන්දු - යුරෝපීය මූල භාෂාවේ යෙදෙන වචනය "ක්ම්තෝම්" යන්න යි. එය ලතින් භාෂාවෙන් "කෙන්තුම්" ලෙසින් ව්‍යවහාර වේ. ග්‍රීක් භාෂාවෙන්  "හෙ - කතොන්" යනුවෙන් යෙදේ. පැරණි අයිරිෂ් භාෂාවෙන් "කේත්" යනුවෙන් වේ. හිටයිට් භාෂාවේ දී "ක්‍යුන්ට්" යනුවෙන් ද ව්‍යවහාර වේ. ඊට අමතර ව ගොතික් ටෝඛාරියන් වැනි භාෂාවල ද ක-ශබ්දයට අනුරූප ශබ්ද ඒ සඳහා භාවිත වේ. ඒ අනුව ටෝඛාරියන් බසින් "කන්ධ්" යනුවෙනුත්, ගොතික් බසින් "හුන්ඩ්" යනුවෙනුත් යෙදේ. මෙසේ ලතින් - ග්‍රීක් - අයිරිෂ් - ගොතික් - ටෝඛාරියන් - හිටයිට් භාෂාවල සියය සඳහා යෙදෙන නාමය ක-ශබ්දය ප්‍රමුඛ කොට ඇති හෙයින් කෙන්තුම් නමින් හැඳින්වේ. මේ අතර, අවේස්තා භාෂාවේ "සතම්" යන්න ද, සංස්කෘතයේ "ශතම්" යන්න ද, රුසියන් භාෂාවේ "ස්තෝ" යන්න ද, ලිතුවේනියන් බසේ "සිම්තාෂ්" යන්න ද සියය හැඳින්වීමට යෙදේ. ඒවා ස-හඬින් ආරම්භ වන බව පැහැදිලි ය. ඒ නිසා එබඳු භාෂා "සතම්" ගණයේ භාෂා ලෙස සැලකේ. මේ සඳහා නිදසුන් ලෙස "ක" සහ "ස" ශබ්දයෙන් පටන් ගන්නා වෙනත් වචන ද දක්වා ඇත. මෙම ප්‍රභේද දෙකේ "සතම්" ගණයේ භාෂා ආසියාවටත්, "කෙන්තුම්" ගණයේ භාෂා යුරෝපයටත් සීමා වී ඇත.


No comments:

Post a Comment