Nov 25, 2016

නො පෙනෙන ලොව සැබෑ තතු (01 කොටස) "කර්මය"




ජීවිතයට සැපදුක් වේදනා ලබාදෙමින් පුද්ගලයා අනුව ලුහුබඳින එකම ශක්තිය කර්මයයි.  කර්මයට යටත් නොවන අයෙකු විශ්වයේ කොතනකවත් නැත.  ජාති, කුල, ආගම්, පක්ෂ භේදයකින් තොරව කුමන තරාතිරමක අයෙකුට වුවත් කර්මයට මුහුණ දෙන්න වෙනවා.  දුගී පැල්පතේ සිට මහා මන්දිරවල සැප විදින රජතුමා දක්වා සහ අන්ධ බාල පෘථජ්ජනයාගේ සිට සිත දියුණු කිරීමෙන් සියල්ල අවබෝධ කළ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දක්වා මේ සියල්ලන්ගේම පසුපස සෙවනැල්ල සේ පැමිණ විපාක දෙන කුසල් අකුසල් කර්ම පිළිබඳ සමාජයේ බොහෝ අයට අවබෝධය අඩුයි.  දුකේ දී කනස්සලු වී පිහිට ඉල්ලා යදිමින් නොපෙනෙන බලවේග පසුපස හඹා ගොස් දේවාල ගානේ රස්තියාදු වී අමනුස්සයින් සරණ යන්නේ කාලය, ශ්‍රමය ධනය නැති නාස්ති ගර ගනිමින් පශ්චාත්තාප වන්නේ කර්ම නියාමය ටිකක් හෝ තේරුම් නොගත් නිසයි.  කර්මයේ තතු ජන සමාජය වෙත සමීප කරන්නට කර්මය යනු කුමක්දැයි අප නාඋයනේ අරියධම්ම නාහිමියන්ගෙන් විමසූ විට ඊට ලැබුණු පිළිතුර මෙසේය.

බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා සර්වඥයන් වහන්සේ කෙනෙක් හැර අන් කිසිම කෙනෙකුට සිතා මතා තීරණය කළ නොහැකි කාරණා හතරක් සිතා නිම කිරීමට නොහැකි නිසා ඒවාට කියනවා "අචින්තනීය" ධර්ම කියලා.  ලෝක විෂය, සත්ත්ව විෂය, බුදු රජාණන් වහන්සේගේ සෘද්ධි විෂය සහ කර්ම විෂය මේවා සිතා නිමකරන්නට බැහැ.  නමුත් සර්වඥයන් වහන්සේ දෙසූ ආකාරයෙන් අපට තේරුම් ගන්නට පුළුවන්. ත්‍රිපිටක ධර්මයෙහි මේ කර්මය පිළිබඳව විස්තර රාශියක් තියෙනවා.  අපි එය කෙටියෙන් විමසා බලමු.  කර්මය කියන්නේ අපේ සිතේ පහළවෙන චේතනාවයි. "චේතනා'හං භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරොති කායේන වාචාය මනසා" කියලා බුද්ධ වචනයක් තියෙනවා.  මහණෙනි, කර්මය කියන්නේ චේතනාවට කියා මම කියමි.  යන්න එහි තේරුමයි.  අපි චේතනාව කියන්නේ කමක්ද? කියා පැහැදිලි කර ගනිමු.

චේතනාව කියන්නේ අපේ සිතේ පහළවෙන චෛතසික ධර්ම පනස් දෙකෙන් එකක්.  අපේ සිතේ පහළ වෙනවා චෛතසික ධර්ම පනස් දෙකක්.  ඒවා, සර්ව චිත්ත සාධාරණ, ප්‍රකීර්ණක, අකුසල, සෝභන, විරති, අප්පමඤ්ඤා, ප්‍රඥා යනුවෙන් කොටස් කරන්නට පුළුවන්.  මේ පනස් දෙකෙන් සර්ව චිත්ත සාධාරණ හත සෑම සිතක් පාසා ම යෙදෙනවා.  කුසල්, අකුසල්, විපාක ක්‍රීයා හැම සිතක ම පහළ වෙනවා.  අපි ඇස්පිය හෙළනවා කියලා හිතමු.  ඒක කායික ක්‍රියාවක්.  එතැනින් චේතනාව තියෙනවා.  ඇසින් රූපයක් බලන විට කනින් ශබ්දයක් අසන විට එතැනත් චේතනාව තියෙනවා.  ගඳක් සුවඳක් විඳින කොට ස්පර්ශයක් ලබන විට මේ සෑම විටම චේතනාව තිබෙනවා.  පියවර තබන කොට ඇවිදින විට මේ සියලු කායික ක්‍රියාවක් පාසා සෑම වචනයක් පාසා සෑම සිතිවිල්ලක් පාසා චේතනාව තිබෙනවා.  ඒ චේතනාව කොටස් දෙකකට බෙදෙනවා.

01. සහජාත චේතනා
02. නානාත්ථක චේතනා

සහජාත චේතනා සෑම සිතක ම යෙදෙනවා. සහජාත කියන්නේ එකට උපදින කියන එකයි. සිතත් එක්ක එකට ඉපදෙන්නෙ සහජාත චේතනාවයි. මතු විපාක ගෙන දෙන සුගති දුගතිවල දුක් සැප ලබාදෙන චේතනා විසිනවයක් තියෙනවා. අන්න ඒකට කියනවා නානත්ථක චේතනා කියල.  විපාක සිත් පනස් දෙකේ චේතනා මතු විපාක දෙන්නෑ.  සිත සමග එක් වී ක්‍රියාකාරිත්වයක් සිදුකරනවා පමණයි. මේ චිත්ත චෛතසික ධර්ම ක්‍රියාකාරිත්වයට පමුණුවන්නේ චේතනාව විසිනුයි. මතු විපාක දෙන චේතනා විසිනවය මෙසේ බෙදා ගනිමු.

අකුසල් සිත් දොළහයි (12)
ලෞකික කුසල සිත් දාහතයි (17)
(කාමාවචර 3, රූපාවචර 5 යි, අරූපාවචර 4 යි)

මේ සිත් 29 හි චේතනාව මතු විපාක ගෙන දීමට සමත් වෙනවා.  මේ චේතනාව බෙදන හැටි.

දැන් අපි ඇහෙන් යමක් දකින අවස්ථාවක් බලමු. ඒ දැකීම සිද්ධ වෙන්නෙ විපාක සිතෙන්. එයට කියන්නේ චක්ඛු විඥාන සිත කියලා. ඉස්සරලම අපි දැක්ක රූපය අරමුණු කර චක්ඛුද්වාරික චිත්ත වීථියක් පැවැත්තුවා.  ඊලඟට මනොද්වාරයෙන් ඒ සිතින් ගත්ත අරමුණු නැවත නැවත වී මනෝද්වාරික චිත්තවීථියක් පහළ වෙනවා. සතර වෙනුව ඒ දැක්ක දේ පිළිබඳව අරමුණු වැටහෙන චිත්ත වීථියක් පහළ වෙනවා. අනතුරුව තමයි දැක්ක දේ ලස්සන නම් හරි ලස්සනයි, හරි වටිනවා, මේක මට ගන්න ඕන, අයිති කරගන්න ඕන යනාදි වශයෙන් ලෝභ සිතක් පහළ වෙන්නේ. අන්න දුටුව දෙයින් ඇලීම් ඇතිවුණා. එවිට අකුසල චේතනාවක් සම්පූර්ණ වුණා. අවලස්සන දෙයක් නම් අප්‍රිය අමනාප අ‍යෙක් නම් අහක බලාගන්ඩ ඕන වෙනවා. නපුරු සිත් පහළ වෙනවා, ඊර්ෂ්‍යාව පහළ වෙනවා. එවිට ද්වේෂ සහගත අතුසල චේතනා සම්පූර්ණ වෙනවා. මුලින් ම රූපය දකින විට පහළ වුණේ තදබල අතුසල සිතක් නොවේ. තදින් ම අකුසල සිත පහළ වුණේ ඇලීම හෝ ගැටීම ඇතිවීම නිසයි. එවිට අකුසල කර්මය සම්පූර්ණ වෙනවා. කුසල පැත්තෙනුත් එහෙමයි. දැන් අප දකිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නැතිනම් භික්ෂුන් වහන්සේ නමක් එහෙමත් නැත්නම් චෛත්‍ය බෝමළු වැනි පූජනීය ස්ථානයක්.  එවිට ශ්‍රද්ධාවන්ත කෙනෙකුට නම් ඉස්සර වෙලා ම ඇහින් දකින චිත්ත වීථිය පහළ වෙනවා. ඊලඟට මනෝද්වාරයෙන් චිත්ත වීථිය පහළ වෙනවා. ශෝභන සහගත චිත්ත වීථියක් සතර වෙනුවට පහළ වෙනවා. පස්වෙනුව පහළ වූ චිත්ත වීථියයි බලවත් වෙන්නේ. මේ අනුව ජවන් සිත්වල දී තමාගේ සිතේ පහළ වන චේතනා කුසල් කර්ම බවට පත්වෙන බව අප තේරුම් ගත යුතුයි.

බුදු රජාණන් වහන්සේ කර්මය පිළිබඳව සූත්‍රාන්ත පිටකයේ දොළොස් ආකාරයකට දේශනා කරලා තියෙනවා.  ඒවා කෙටියෙන් අපි මෙසේ සලකමු.

සූත්‍ර පිටකයේ ආකාර දොළහ මෙහෙමයි.

ගරුක, ආචීර්ණ, ආසන්න, කටත්තා කියලා විපාක දීමේ අනුපිළිවෙළ අනුව කොටස් හතරයි.  දිට්ඨ ධම්ම වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරිය වේදනීය සහ අහෝසි යනුවෙන් විපාක දෙන කාල අනුව හතරයි. ජනක, උපත්ථම්භක, උපපීළක, උපඝාතක කියලා විපාක දෙන ආකාර අනුව හතරයි.

ගරුක කර්මය කියන්නේ අකුසල පැත්තෙන් පඤ්ච ආනන්තරීය කර්ම සහ නියත මිත්‍යාදෘෂ්ටියයි. ආනන්තරීය කර්මයෙන්  හෝ නියත මිත්‍යාදෘෂ්ටියෙන් යුක්ත නම් මරණාසන්න මොහොතේ දී අනිවාර්යයෙන් ඒ කර්මය ඉස්සරහට පැමිණ අවීචියටම ගෙනියනවා. අවීචියට යෑමට ගමන් බලපත්‍රය ලබන්නේ මේ පඤ්ච ආනන්තරීය කර්ම නිසා. සිත රූපාවචර, අරූපාවචර ධ්‍යාන බවට පත්වූවා නම් එය ගරුක කුසල කර්මයයි. අනිවාර්යයෙන් ඒවා සිහි වී සුගතිගාමී වෙනවා.  මෙසේ බලවත් ම කුසලාකුසල කර්ම ගරුක කර්ම ලෙස හඳුන්වනවා.

ආසන්න කර්මය කියන්නේ යමෙක් මරණාසන්න මොහොතට පත් වී ඉන්න වෙලාවේ නුවණැති කල්‍යාණ මිත්‍රයෙක් ඔහුට කුසල් සිත් පහළ කර ගැනීමට උදව් වෙනවා. සංඝරත්නය වැඩම කරවා බණ කියනවා. පිරිත් දේශනා පවත්වනවා. එම කුසල් අරමුණු වීමෙන් මරණාසන්න අවස්ථාවේ පින් සිතුවිලි වැඩී සුගතිගාමි වෙනවා. අකුසල් පැත්තත් එහෙමයි. තමන් පාපයක් කරගෙන තිබුණා නම් එය මරණාසන්න මොහොතේ සිහි වී ආසන්න කර්මය බවට පත්වෙනවා. ඉන් දුගතිගාමී වෙනවා.

ආචීර්ණ කර්මය කියන්නේ තමා ජීවිතයේ දී වැඩිපුර ම පුරුදු පුහුණු කළ දේවල්.  යමෙක් දිනපතා ම බුදුබණ වඩල තියෙනවා නම් ඔහුට මරණාසන්න මොහොතේ බුදුගුණ සිහිවෙනවා. යමෙක් දිනපතාම මෛත්‍රී වඩල තියෙනවා නම් මරණාසන්න මොහොතේ ඔහුට අරමුණ වන්නේ මෛත්‍රී.  යමෙක් නිතර පිළිකුල් භාවනාව වඩල තියෙනවා නම්, විපස්සනා භාවනා වඩල තියෙනවා නම්, බුද්ධ පූජා පවත්වල තියෙනවා නම් මේ විදියට තමා වැඩිපුර පුරුදු පුහුණු කළ දේ මරණාසන්න මොහොතේ දී සිහිපත්වෙලා සුගතියට යනවා. අකුසල පැත්තෙන් යමෙක් වැඩිදුර සතුන් මරල තියෙනව, වඩාත් බොරු කියල තියෙනව, වඩාත් සුරා පානය කරල තියෙනව, වඩාත් පස්පව් දස අකුසල් හි යෙදී තියෙනව නම් මේවා අවසන් මොහොතේ සිහි වී අපායට යනව. මේවට කියන්නේ ආචීර්ණ කර්මය කියලා.

කටත්තා කර්මය කියන්නේ ගරුක කර්මයකුත් නැතිනම් ආචීර්ණ කර්මයකුත් නැතිනම් මේ ජීවිතයේ දී සිදු වී අමතක වූ කර්ම තියෙනවා. පෙර ජාතිවල අපරාපරිය වශයෙන් පැමිණෙන කර්ම තිබෙනවා. එබඳු කර්මයක් පැමිණ පටිසන්ධි ගෙන දෙනවා. ඒවාට කියනවා කටත්තා කර්ම කියලා. මේ විපාක දීමේ අනුපිළිවෙළ අනුව කර්මය සතරාකාර වන අයුරු විපාක දෙන ආකාර වශයෙන් ද සතරාකාර වෙනවා. (ජනක, උපත්ථම්භක, උපපීළක, උපඝාතක) ඉන් කෙනෙකුගේ පටිසන්ධිය ගෙනදීමට සමත් කර්මය ජනක කර්මයයි. පටිසන්ධි කර්මය උපත්ථම්භක කර්මයයි. මේ දෙක හරියට මවයි කිරි මවයි වගේ. මව තමා දරුවෙකු කුසේ දරාගෙන බිහි කරන්නේ, කිරි මව තමා ඒ දරුව හදා වඩාගන්නේ.  ඒ වගේ ජනක කර්මයෙන් උප්පත්තිය ලබනවා. උපත්ථම්භක කර්මයෙන් සැපවත් බවට පත්වෙනවා.

උපපීළක කියන්නේ විරුද්ධ කර්ම කුසල විපාකයෙන් උපන් මනුස්සයාට අකුසල විපාක එනවා. රෝගාබාධ, සතුරු කරදර, ධන හානි මෙසේ නොයෙක් විදියට කරදර ජීවිතයට පැමිණෙනවා. මේවා තමා උපපීළක කර්ම කියන්නේ.

උපඝාතක කියන්නේ උත්පත්තිය ලබාදුන් ජනක කර්මයේ ශක්තිය තිබියදී මේ ජීවිතයේ දී හෝ සසර දී කරගත් භයානක කර්මයක විපාකයක් ඇවිල්ල ජීවිතක්ෂයට පත් කරනවා. පහනක තෙලුයි වැටියයි දෙකම තිබියදී සුළඟක් ඇවිත් පහන නිවී යන්නා වගේ එබඳු කර්මවලට කියන්නේ උපච්ඡේදක හෙවත් උපඝාතක කර්ම කියලා. මෙසේ විපාක දෙන ආකාර අනුව කර්මය සතර ආකාර වෙනවා.

මීළඟට විපාක දෙන කාල වශයෙන් ද මෙසේ සතර ආකාරයට බෙදෙනව. දිට්ඨ ධම්ම වේදනීය කර්ම, උපපජ්ජවේදනීය කර්ම, අපරාපරිය වේදනීය කර්ම සහ අහෝසි කර්ම වශයෙන්.

මේ ජීවිතයේ දී රැස් කරන කර්මයන්ගේ කොටසක් මේ ජීවිතයේ දී ලැබෙනවා ම යි. එයට දිට්ඨධම්මවේදනීය කියා හඳුන්වනවා. එය ද විපාක නො දුනහොත් අහෝසි වෙනවා. උපපජ්ජවේදනීය කර්ම කියන්නේ දෙවෙනි ආත්මයේ නියත වශයෙන් ම විපාකයට පැමිණෙන කර්ම. අපරාපරිය වේදනීය කියන්නේ තුන්වෙනි ආත්මයේ විපාකයට පැමිණෙන කර්ම කොටස.

යම් කර්මයක් විපාක දීමෙන් අවසන් වූවා නම් සහ විපාක දීමට අවස්ථාව නො ලැබුණා නම් එබඳු කර්ම සහ රහත්වීමෙන් අවසන් වන කර්ම අහෝසි කර්ම නමින් හඳුන්වනවා. අපි මුලින් කීවනෙ ජවන් සිතේ කර්මයයි විපාක දෙන්නෙ කියල.  ජවන් සිතේ පේළියට තියෙනවා ජවන් වාර 7 ක්. එයින් පළමු ජවන් හිතේ කර්ම විපාකය මෙලොව දී ලැබෙනවා. අවසාන ජවන් සිතේ විපාකය ඊළඟ භවයේ දී ලැබෙන්නේ. (උපපජ්ජ වේදනීය) මැද තිබෙන ජවන් පහේ මතු භවයන්හි පටිසන්ධි වාර ලැබෙන්න පුළුවන්. ප්‍රවෘත්ති විපාක නම් අප්‍රමාණ ජාතිවල දී ලැබෙන්න පුළුවන්.

අභිධර්ම පිටකයේ කර්මය 16 ආකාරයකට බෙදෙන අයුරු එය බෙදාගන්න හරිම පහසුයි.

ගති සම්පත්ති
උපධි සම්පත්ති
කාල සම්පත්ති
ප්‍රයෝග සම්පත්ති යනුවෙන් සම්පත්ති 4 යි.

ගති විපත්ති
උපධි විපත්ති
කාල විපත්ති
ප්‍රයෝග විපත්ති යනුවෙන් විපත්ති 4 යි

(කුසල පැත්තෙන් 8 යි අකුසල් පැත්තෙන් 8 යි සියල්ල 16 යි)

ගති සම්පත්ති කියන්නේ මනුලොව, දෙව්ලොව සහ බඹලොවයි. මනුලොව දෙව්ලොව උපන්නම බොහෝවිට විපාක දෙන්නේ කුසල විපාකයි. ගති සම්පත්තියේ දී කුසල විපාක මතු වෙනවා. අකුසල විපාක යටපත් වෙනවා.

කාල සම්පත්ති යනුවෙන් හඳුන්වන්නේ ධාර්මික රජවරු රාජ්‍ය පාලනය කරන කාල, සක්විති රජවරු ඉන්න කාල, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙන කාල, කාල සම්පත්තියයි. එබඳු අවස්ථාවල දී අකුසල විපාක යටපත් වී කුසල් විපාක මතු වෙනවා.

මීළඟට විපත්ති 4 විමසා බලමු.

ගති විපත්ති කියන්නේ සතර අපායේ යම් තැනක ඉපදීම. එබඳු අයෙකුට අකුසල කර්ම ඉදිරියට එනවා. කුසල විපාක යටපත් වෙනවා. උපධි විපත්තිය කියන්නේ මනුලොව යමෙක් ඇහැක් අන්ධව ගොළුවෙලා විරූපී ව ඉපදීමයි. එබඳු ඇත්තන්ට කොච්චර පින් තිබුණත් ඒ කුසල විපාක යට වී අකුසල් විපාක මතුවෙනවා. රාජ්‍ය ලබන්නට සිටියත් එබඳු උපධි විපත්තියේ දී රාජ්‍ය පවා අහිමි වෙනවා.

කාල විපත්තිය අධාර්මික රජවරුන්ගේ රාජ්‍ය පාලන අවස්ථාවල සහ දුර්භික්ෂ වැනි කර්කශ කාලවල උප්පත්තිය ලැබුවම එය යි කාල විපත්තිය කියන්නේ.  එබඳු අවස්ථාවල දී කොච්චර පින් ඇති කෙනෙකු වුවත් එම කුසල විපාක යට වී අකුසල විපාක මතුවෙනවා.

ප්‍රයෝග විපත්තිය පාපමිත්‍ර ආශ්‍රය නිසා අයහපත්     උපදේශ නිසා තුන්දොරින් ම පව් කරනවා. පස්පව් දස අකුසල්හි ම ඇලී ගැලී ජීවත් වෙනවා නම් එයයි ප්‍රයෝග විපත්තිය. ප්‍රයෝග විපත්තිතියේ දී පින් ඇති කෙනෙකුට වුවත් කුසල විපාක යට යනවා. අකුසල විපාක මතුවෙනවා. මේ අභිධර්ම පිටකයේ කර්මය 16 ආකාරයකට දේශනා වී තිබෙනවා.

ප්‍රශ්නය: කර්මය හටගන්නේ කෙසේද?

පිළිතුර: කර්මය කියන එක සෑම චිත්තක්ෂණයක ම තියෙනවා. විපාක දීමේ කර්මය තමයි කුසල් අකුසල් චිත්ත වීථිවල පහළ වෙන්නේ. මුළු ජීවිතයේ ම සැම චිත්තක්ෂණයක් පාසා කර්මය පවතිනව. එහි දී කර්මයක් කුසල හෝ අකුසල බවට පත්වන්න මනෝද්වාරයට හෝ චක්ඛුද්වාරයට අරමුණක් සම්මුඛ වන්නට ඕනෑ. ඒ සම්මුඛවීමේ දී දැන් අපි හිතමු චක්ඛුද්වාරයට රූප අරමුණක් සම්මුඛ වෙනව. සම්මුඛ වූ පමණින් කුසලයක් හෝ අකුසලයක් සම්පූර්ණ වෙන්නේ නෑ.  එතනදී මුලින් ම සිද්ධවෙන්නෙ භවංගයෙන් සිත අවදිවීමයි. නිදාගත්තාක් මෙන් පවතින අක්‍රීය සිත අවදිවෙනවා. ඒකට කියනව භවංග චලන, භවංග උපච්ඡේද කියල. ඒ දෙක ම විපාක සිත් දෙකක්. ඊළඟට චක්ඛුද්වාරයට අරමුණු වූ බැවින් කොයි දොරටුවට ද මේ අරමුණ ඇති වුණේ කියල විමසීමේ ක්‍රීයා සිතක් ඇති වෙනව. එයට කියන්නෙ පඤ්චද්වාරාවජ්ජන සිත කියල. ඒ සිතින් හරියට දැනගන්නව අසවල් දොරටුවටයි මේ අරමුණ සම්මුඛ වුණේ කියලා. එතැන දී චක්ඛු විඤ්ඤාණ සිත පහළ වෙනව. එයත් විපාක සිතක්. ඒ අරමුණු වූයේ අනිෂ්ට අශුභ අරමුණක් නම් අකුසල විපාක සිතක් ඒ චක්ඛු විඥාන සිත. ඉෂ්ට වූයේ නම් කුසල විපාක සිතක් ඒ චක්ඛු විඤ්ඤාණ සිත. ඒ චක්ඛු විඤ්ඤාණ සිතෙන් කෙරෙන්නෙ ඊළඟට ඒ චක්ඛු විඤ්ඤාණයෙන් ගත් අරමුණු පිළිගන්න ආකාරයෙන් තව විපාක සිතක් පහළ වෙනවා. ඒකට කියන්නේ සම්පටිච්ඡන සිත කියලා.  ඊළඟට පහළ වෙනව සන්තීරණ කියල සිතක්. අරමුණ ඉෂ්ටාරම්මණයක් නම් සෝමනස්ස සහගත සන්තීරණ සිතක් පහළ වෙනවා. එසේ නැතිනම් උපේක්ෂා සහගත සන්තීරණ සිතක් පහළ වෙනවා. ඒ අවස්ථාවේදීත් කුසල් හෝ අකුසල් නෑ.  මීළඟට ඇතිවෙනව වීථියට හරවන වොත්ථපන කියන සිත. වොත්ථපන සිතෙන් තමා කුසල් පැත්තට හෝ අකුසල් පැත්තට හරවන්නෙ. සිත පුරුදු කරලා යෝනිසෝමනසිකාරයට නම් යෝනිසෝමනසිකාරය නිසා වොත්ථපන සිතේ කුසල චිත්ත වීථියක් පහළ වෙනව. දුටු අරමුණු ශුභ හෝ වේවා අශුභ හෝ වේවා ඒකෙන් කුසල චිත්ත වීථියක් පහළ වෙනවා. ඒ කුසල චිත්ත වීථියට කියනව වර්තමාන රූපාරම්මණ චිත්ත වීථිය කියල. ඒකෙ කුසල සිත බලගතු නැහැ.  ඊළඟට ඇති වෙනව මනෝද්වාරික චිත්ත වීථියක්. ඒකට කියනව අතීතාරම්මණ මනෝද්වාරික චිත්ත වීථිය කියල. එතැනත් කුසල් චේතනා හතක් ඇති වෙනව.  ඒකත් බලගතු නෑ. ඊළඟට ඇතිවෙනව මේ දෙකෙහි නම තේරුම් ගැනීමේ චිත්ත වීථියක්. ඒකත් මනෝද්වාරිකයි. ඒකත් අර වගේ ජවන් සිත් බලගතු නෑ. ඊළඟට ඇතිවන්නේ ඒ ගත්ත අරමුණේ ප්‍රයෝජනය සලකන සිත  ඒ සිතෙන් මනෝද්වාරික ජවන් වීථියක් ඇති වෙනව. එයත් බලගතු නෑ. ඊළඟට යෝනිසෝ මනසිකාරය පුරුදු පුහුණු කළ සිතක් නිසා කුසල වීථියක් පහළ වෙනව. ඒ කුසල ජවන් වීථිය තමයි බලගතු කුසලයක් බවට පත්වෙන්නෙ. ඒ බලගතු සිත්වල මතු පටිසන්ධිවාර ලබාදීමේ ශක්තියක් තිබෙනව. ඉන් එහාට තව ඕන තරම් ඒ අරමුණු කරගෙන ජවන් වීථි ඇතිවෙන් පුළුවන්. ගරු කටයුතු කුසල කර්මයක් නම් නැවත නැවත බොහෝ කුසල් අරමුණු රාශියක් පහළ වෙනව. නිදසුනක් කියනව නම් මේ දේශනාවෙත් සඳහන් වෙලා ඇති එක මලක් පූජා කරල ආත්මභාව අසූකෝටියක් සුගතියේ උපන්න චරිතයක් ගැන. එවිට එතැනදී සිදුවුණේ එය ගරු කටයුතු කුසලයක් නිසා නැවත නැවත කුසලය අරමුණු කරගෙන චිත්ත වීථි ඇති වීමයි.

ප්‍රශ්නය : කර්මය පවතින්නේ කොහේද?

පිළිතුර : කර්මය පවතින ආකාරය මෙහෙමයි. එහිදී කර්මය නවතින තැනක් නැහැ.  චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට කර්ම ප්‍රත්‍ය උපනිශ්‍රය ප්‍රත්‍ය යන දෙක මුල්කොට ඇති අනත්තර, සමනත්තර, අනත්තර උපනිශ්‍රය නන්ථි, විගත කියන සෑම සිතකම තියෙන ශක්ති විශේෂ සිතක් නිරුද්ධ වීමේදී අනිත් සිතට භාරදීලයි නිරුද්ධ වෙන්නෙ. සිතට රැඳෙන්න තැනක් නෑ. සිතෙන් සිතට මාරු වෙමින් ප්‍රත්‍ය‍වෙවී තමා කල්ප ගණන් මේ කර්ම ශක්ති විශේෂ පවතින්නෙ. යම්කිසි ආරක්ෂක නිලධාරියෙකු තමාගේ දවසේ සේවා කාලයෙන් සමුගන්නෙ ඒ වෙනුවට තවත් අයෙකු සේවයට වාර්තා කිරීමෙන් පසුව ඒ කටයුතු ඔහුට පැවරීමෙන් අනතුරුවනෙ. ඒ වගේ එක සිතක් නිරුද්ධ වෙන්නෙ ඒ සිතේ පවතින කර්ම ශක්ති අනිත් සිතට භාරදීමෙන් පසුවයි. මේ ජීවිතයේ සිතෙන් සිතට සම්බන්ධ වූ කර්ම ශක්ති අනතුරු ව පටිසන්ධි සිතට ලැබීමෙනුයි ඊළඟ භවයට කර්ම ශක්ති ගමන් කරන්නෙ. මරණයට පත්වීමේ දී රූපකාය මෙහි රැඳුණට නාමකාය රැඳෙන්නෙ නෑ. නාමකාය අවසන් වෙන්නෙ රහත් වෙලා පිරිණිවන් පෑමෙන් පස්සෙ. ඒ තාක් චිත්ත චෛතසික පරම්පරා නො සිඳී පවතිනව. එසේ හෙයින් අහසේ හෝ වෙනත් තැනක මේ කර්මය රැස් වී  පවතිනව නො ව තම තමන්ගේ චිත්ත සන්තානය තුළමයි කර්මය රැස්වෙන්නෙ.  සිතෙන් සිතට ප්‍රත්‍යවී පැවතීම නිසයි කර්ම ශක්ති ඉදිරියට ගොස් සසරට ගමන් කරන්නෙ.

ප්‍රශ්නය : වඩා ප්‍රබල වෙන්නෙ දැන දැන කරන කර්මය ද නොදැන කරන කර්මය ද?

පිළිතුර : මෙය කුසල් ද අකුසල් ද කියා නො දැන කරන කර්මයේ බරපතලකම වැඩියි. මේකෙන් පාපයක් නෑ කියල හිතල පාපයක් කිරීමේ දී එතැන දිට්ඨිය නිසා පාපයේ බරපතළකම වැඩියි. වරදක් වෙනව කියල දැන දැන කරන කොට කර්මය ටිකක් දුබලයි. අනික කර්මය සඳහා යෙදෙන චේතනා මහන්තතාවය අනුව කර්මය බරපතළ වෙනව. මැස්සෙක් මදුරුවෙක් මරණ විට ඇතිවෙන අකුසල චේතනා බොහොම කෙටි වෙලාවයි. අලියෙක් ඇතෙක් මිනිසෙක් මරණකොට චේතනා ගොඩක් ඇති වෙනව. එතකොට පාපය මහාසාවද්‍ය වෙනව. පිනක් වුණත් එහෙමයි.  අපි මලක් පූජාකරනව.  කෙටි වෙලාවනෙ ගත වෙන්නෙ. ඊට වඩා දීර්ඝ වේලාවක් භාවනා කිරීමේදී පෙරට වඩා මහා සාවද්‍ය කුසලයක් වැඩෙනවා. වැඩි චිත්ත ‍චෛතසික පරම්පරාවක් ඇතිවුවා නම් ඒක තමා බරපතළ වෙන්නෙ.

කුසල පක්ෂයෙ දැන දැන කිරීමේදී ආනිශංස වැඩියි.  අකුසල පැත්තෙ නො දැන කරන කොට අකුසලය වැඩියි. දැන් අන්‍යාගමික කෙනෙක් කර්මඵලය පිළිගන්නෙ නැහැනෙ. එය නියත මිත්‍යා දෘෂ්ටියක්. ඒ නියත මිත්‍යා දෘෂ්ටියේ සිට කරන පාපය බරපතලයි. කර්මය කර්මඵලය පිළිගන්න කෙනෙක් අත් වැරැද්දකින් නැත්නම් හදිසි කෝපයකින් ප්‍රාණඝාතයක් කරනව. නමුත් ඔහු මිත්‍යා දෘෂ්ටියෙ පිහිටල නැහැ. එනිසා ඔහුගේ කර්මය අච්චර පරපතළ නැහැ. රත් වූ යකඩයක් කෙනෙක් දැන දැන අල්ලනව. රත් වූ බව දැන දැන ඇල්ලීම නිසා එතරම් ම හානියක් වන්නේ නෑ. තව කෙනෙක් රත් වූ වග නොදැන අල්ලනව. එවිට බොහෝ සෙයින් අත දැවෙනවා. එපරිද්දෙන් දැන දැන පාපයක් කිරීමේදී පහළ වන චේතනාවලට වඩා කර්මය කර්ම ඵලය නොපිළිගන්නා කෙනෙක් පාපයක් බව නොදැන කිරීමෙන් බරපතල පාපයක් කරගන්නවා.

ප්‍රශ්නය : අපි යමෙක් සිතින් සිතා ඉන්නවා කයින් ක්‍රියාත්මක වීමක් නෑ. එතැනත් චේතනාවක් තියෙනවනෙ. ඒ චේතනාව සහ කයින් ක්‍රියාත්මක වීමේදී ඇතිවන චේතනාව අතර වෙනස කුමක්ද?

පිළිතුර : කයයි වචනයයි දෙක සිත නැතිව ක්‍රියාකරන්නේ නෑ. කායික වාචසික හැම ක්‍රියාවක් ම සිතින් තමයි නිපදෙන්නෙ. සිත ප්‍රධාන ව මනෝද්වාරයෙනුයි පඤ්චද්වාරයට අයිති කුසල් අකුසල් පහළ වෙන්නෙ. කයින් සිදුවන අකුසල කර්ම හෝ කුසල කර්ම තියෙනවා නම් එය කායද්වාරික කීවාට කයින් ක්‍රියා කරමින් මනෝද්වාරයෙන් තමයි කර්මය රැස් වුණේ. දැන් අපි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස වචනයෙන් කියනවා. එවිට වාග්ද්වාරික කුසලයක් නමුත් කුසල සිත පහළ  වුණේ මනොද්වාරය ආශ්‍රය කරගෙන හෘද වස්තුව ආශ්‍රය කරගෙන. දැන් අපි වන්දනා කරන අවස්ථාවක් සලකා බලමු. එය කායද්වාරයෙන් ක්‍රියා කිරීමක්නේ. නමුත් සිතින් තමයි එතන කුසලය සිද්ධ වෙන්නෙ. හැම වෙලාවෙම කායද්වාරය උනාට එතැන ක්‍රියාකාරී වෙන්නෙ මනසයි. එනිසා හැම වෙලාවෙම සිතේ තමයි කුසල් අකුසල් පහළ වෙන්නෙ.

ප්‍රශ්නය : අපි දන් දීමට කලින් දන්දීම් පිළිබඳව සිතනව.  සිල් රැකීමට කලින් ඒ ශීලය පිළිබඳව සිතනව.  මෙසේ පිනක් කිරීමට කලින් ඇතිවන කුසල් සිත් සහ එය ක්‍රියාවට නැගීමේදී ඇතිවෙන කුසල් සිත්වල විපාක ඇති වෙන්නෙ කොහොමද?

පිළිතුර : එතනදී පූර්වභාග චේතනා තමයි ක්‍රීයාකරන්නෙ. ඉස්සර මුලින් පහළ වුණ ඒවත් කුසල් තමයි. කුසලයකට මුලින් පූර්වභාග වශයෙන් පහළ වෙන කුසල් චේතනා කර්ම නමින් හඳුන්වනවා. එම සිතින් සිතූ දෙය ක්‍රියාත්මක වීමේදී කර්ම පථ බවට පත් වෙනවා. එය පටිසන්ධි ගෙන දීමට සමත් ප්‍රබල කුසලයක් වෙනවා. කර්ම පථ බවට පත් වූ ප්‍රබල කුසලයෙන් භවයක පටිසන්ධි විපාක ලබාදෙන අතර පළමු පූර්වභාග චේතනා සමූහයේ විපාක මතු භවයන්හි ප්‍රවෘත්ති විපාක ගෙන දෙනවා.

ත්‍රිපිටක විශාරද අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේ විසින් පහදා දෙන ලදුව පූජ්‍ය වේදෙණියේ නන්දසීල හිමියන් විසින් සම්පාදිත නො පෙනෙන ලොව සැබෑ තතු කෘතිය ඇසුරිනි. මෙම ධර්මදානය සඳහා පරිගණක අක්ෂර සැකසුම : ස්ටැන්ලි අර්නස්ට් මහත්මා විසිනි.




1 comment:

  1. 🙏🙏🙏 බොහොම වටිනවා. තෙරුවන් සරණයි !

    ReplyDelete