Nov 25, 2016

නො පෙනෙන ලොව සැබෑ තතු (02 කොටස) "පින හා කුසලය"




ප්‍රශ්නය : අවසර යි ගරු කටයුතු ස්වාමීන් වහන්ස, පින සහ කුසලය කියන වචන දෙක අප නිතරම අසා පුරුදු වචන දෙකක්. අප මේ වචන දෙක පිළිබඳ ඇතැම් ස්වාමීන් වහන්සේලාගෙන් විමසුවාම පින යනු ලෞකික සැප සම්පත් උදෙසා කරන යහපත් දේ වශයෙන් සහ කුසලය යනු ලෝකෝත්තර සැප පිණිස කරන යහපත් දේ වශයෙන් තෝරා දෙනු ලැබුවා. එසේ අප එය පිළිගැනීමේ වරදක් තිබෙනවාද?

පිළිතුර : බොහෝ දෙනෙක් මගෙන් ඔය ප්‍රශ්නය අහනවා. ඔය ප්‍රශ්නය ආරම්භ වුණ තැනත් මා දන්නවා. දකුණු පළාතේ ප්‍රසිද්ධ විහාරස්ථානයක බොහොම දැන උගත් නායක ස්වාමීන් වහන්සේ නමක් මුල්වරට ඔය අදහස බෞද්ධ ජනතාවට දුන්නෙ. අපි මේ ගැටලුව විසඳා ගත යුත්තේ අභිධර්ම පිටකයේ සහ සූත්‍ර පිටකයේ මෙන් ම ත්‍රිපිටකය පුරා දක්නට ලැබෙන හේතු නිරුක්ති සහ උදාහරණ කෙරෙහි අවධානය යොමු කිරීමෙනුයි.

අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් හත්වැනි වර්ෂයේදී තව්තිසා භවනට වැඩ අභිධර්ම දේශනාව පැවැත්වූවා. ඒ දේශනාවේ දී ලෝකයේ තියෙන ධර්මතාවන් ඉතුරුවක් නැතිව දේශනා කළා. සිත පිළිබඳවත් සියල්ල ම එතනදී දේශනා වුණා. සිත පිළිබඳ සියලු ම දේශනා තියෙන්නේ ධම්මසංගණී ප්‍රකරණයෙ චිත්තෝත්පාද කාණ්ඩයේ. ලෝකයේ සිටින සියලු ම සතුන්ගේ කුසල් සිත් එක්කාසු කළොත් චිත්තෝත්පාද විසි එකකට එකතු වෙනවා. සම්පිණ්ඩනය වෙනවා. ඒ කියන්නේ කාමාවචර මහා චිත්තෝත්පාද අටයි. රූපාවචර චිත්තෝත්පාද පහයි. අරූපාවචර මහා චිත්තෝත්පාද හතරයි. ලෝකෝත්තර චිත්තෝත්පාද හතරයි. ඒ හැම තැනක ම කියවෙන්නෙ කුසලා ධම්මා ධම්මා කුසලා කියලමයි. චක්ඛුද්වාර සොතද්වාරාදී දොරටු හයෙන් ම මේවා සිද්ධවෙන ආකාරය දේශනා කරල තියෙනවා. රූපාරම්මණය සද්දාරම්මණය ආදී සියල්ලෙන් ම කුසල් සිත් පහළ වෙන ආකාරය දක්වල තියෙනවා.  ඒ හැර මොනම තැනකවත් ධර්මයේ පුඤ්ඤා ධම්මා කියලා අමුතු සිත් කොටසක් තියෙන වග මම නම් දන්නේ නැහැ.

පුඤ්ඤ (පින) සහ කුසල් කියන වචන දෙක ම ධර්මයේ සඳහන් වෙනවා. එහෙත් ඔය වචන දෙක ධර්මතා දෙකක් හැටියට තේරුම් ගැනීම මිත්‍යාවක්. අපි නිදසුනක් වශයෙන් මෙසේ සිතමු. අපි හැන්දෑවෙ අඳුර වැටීගෙන එන විට පහන් දැල්වීමේදී පෙර පසු නොවී ක්‍රියාකා‍රී දෙකක් සිදුවෙනවා. එකක් අඳුර නැසීම, අනික එළිය පැතිරීම. එකම පහනේ ක්‍රියාකාරී දෙකයි. මේක පෙර පසු නො වීම සිදු වෙනවා. ඉර පායන විටත් එසේමයි. ඒ වාගේ එක ම වස්තුවේ එකම සිතේ ක්‍රියාකාරිත්වයන් විවිධාකාරයෙන් සිදු වෙනවා.

අපි පහනට නම් දෙකක් කියනවා. එළිය පතුරුවන අර්ථයෙන් පදීපෝ, පජ්ජෝතෝ කියනවා. අඳුර නසන අර්ථයෙන් තමෝනුදෝ, තමධංසි කියා කියනවා. පහන් පිදීමේ ගාථාවෙන් කියවෙන්නෙ දීපේන තමධංසිනා (අඳුර නසන මේ පහනින්) කියල. එවිට එකම පහනට ඇයි මේ නම් දෙකක් කියන්නෙ. ඒකෙ ක්‍රියාකාරි දෙකක් තියෙන නිසා. ඒකට අට්ඨකථාවල කියනේ යථාවසරස ලක්ෂණ කියලා.  යථාවසරස ලක්ෂණ කියන්නේ හිත ඇති හිත නැති සෑම දෙයක ම තියෙනව ස්වභාව ලක්ෂණ. පඨවි ධාතුවේ තද ලක්ෂණය, තේජෝ ධාතුවේ සීතල උෂ්ණ ලක්ෂණ, වායෝ ධතුවේ සෙලවෙන පිම්බෙන ලක්ෂණ තියෙනවා. යථාවසරස ලක්ෂණය කියන එකේ කෙටිම තේරුම එහි ස්වභාවය අනුව නම් තැබීම කියන එකයි. එබඳු ස්වභාව අනුව සිතට යෙදෙන නම් දහයක් තිබෙනවා. චින්තනාර්ථයෙන් චිත්තං කියනවා. අරමුණු මැනගන්නා අර්ථයෙන් මනො කියනවා. මනසං කියන්නෙත් ඒ අර්ථය ම යි. අදහස් දරන අර්ථයෙන් හදයං, පිරිසිදු අර්ථයෙන් පණ්ඩරං, ආයතනාර්ථයෙන් මනායතන, අරමුණු ගැනීමේ ප්‍රධාන අර්ථයෙන් මනින්ද්‍රියං, අරමුණු විශේෂයෙන් දන්නා අර්ථයෙන් විඤ්ඤාණං, අරමුණු විශේෂයෙන් දැනගන්නා රැසක් නිසා විඤ්ඤානක්ඛන්ධො, අරමුණු ආදී ප්‍රත්‍යයන්ට සාධාරණ නිසා තජ්ජාමනො විඤ්ඤාණ ධාතු කියා, මෙසේ සිත හඳුන්වන නම් දහයක් තියෙනවා. චිත්තං, මනො, මනසං, හදයං, පණ්ඩරං, මනො මනායතනං, මනින්ද්‍රියං, විඤ්ඤාණං, විඤ්ඤානක්ඛන්ධො, තජ්ජාමනො විඤ්ඤාණ ධාතු කියන කොයි නම කීවත් සිත සිත ම යි. මෙසේ මේ එක ම සිතට නම් දහයක් ම ලැබුණෙ යථාවසරස ලක්ෂණය නිසා. ප්‍රඥාවට එසේ ලැබෙන නම් තිහක් තිබෙනවා. ඒ වාගෙ කුසලය හා පින කියන වචන දෙකින් එකම සිතේ ක්‍රීයාකාරී අර්ථ දෙකක් හඳුන්වනු ලබනවා.

"කුස සංඛතේ පාපකේ අකුසලේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්ති විද්ධංසෙන්තීති කුසලං" පාප ධර්මයන්ට කියනවා කුස කියලා නින්දිතාර්ථයෙන්. අනික සැපය කපා දමන අර්ථයෙන් ද කුස කියා කියනවා. සියලු සම්පත් විනාශ කරන අර්ථයෙන් ද පාපයන්ට කුස කියනවා. කුස නම් වූ අකුසල කර්ම කපා දමන්නේ, සොලවා දමන්නේ, කම්පා කරන්නේ, සුනුවිසුනු කරන්නේ යම් ධර්මතාවක් ද එය කුසල කියා හඳුන්වනවා. සිතේ පහළ  වීමට තියෙන අකුසල් නසන අර්ථයෙන් ද කුසල් නම් වෙනවා.

එතකොට පුඤ්ඤ හෙවත් පින් කියන එකේ තේරුම මෙහෙමයි. හදයං පුනාතීති පුඤ්ඤං චිත්ත සන්තානය පිරිසුදු කරන අර්ථයෙන් පින කියල කියනවා. සමහරු මේක තෝරනවා සිත පිනවීම පින ය කියලා. එසේ තේරීම වැරදියි. හදයං පුනාතීති පුඤ්ඤං කියන්නෙ පිනවීමක් ගැන නෙමෙයි. සිත පිරිසිදු කරන අර්ථයෙනුයි පින කියන්නෙ. පිනවන අර්ථයක් මෙහි තියෙනවා නම් පීනේතීති පුඤ්ඤං වෙන්න ඕනනෙ. සිතේ හටගන්න තියෙන ලෝභ, ද්වේෂ, මෝහාදී ක්ලේශ ගති දුරුවීම කුසල නම් වන අතර සිත පිරිසිදුවීම පින් නමින් හඳුන්වනු ලබනවා. එක ම වෙලාවෙ එක ම සිතින් මේ දෙකම කෙරෙනවා. අර එළිය වැටීම යි අඳුර නැසීම යි වගේ. සිතේ පහළවීමට තිබෙන ලෝභාදී උපක්ලේශයෝ පහළ නොවෙන කොට සිත පිරිසිදු වෙනවා. මළ බැඳෙන අපිරිසිදු පිත්තල භාජනයක් යම් කිසි දෙයකින් පිරිසිදු කරනවා. එවිට මොකද වෙන්නෙ කහට දූවිලි පැල්ලම් ඔක්කොම ඉවත් වෙලා පිරිසිදු වෙනව දීප්තිමත් වෙනව. ඒ වගේ එක ම කුසල් සිතෙන් ඔය ක්‍රීකාකාරී දෙක ම සිදුවන බැවින් ඒකට කියනවා පින ය, කුසල ය කියලා . ඒක නම් දෙකක් මිසක් ධර්මතා දෙකක් නෙමෙයි.

දැන් සමහර කෙනෙක් ලෞකික සම්පත් උදෙසා කරන යහපත් දේ පින යි, දස කුසලධර්ම කුසල යි කියල ඔහොම තෝරන්න යනව. දාන, සීල, භාවනා, අපචායන, චෙය්‍යාවච්ච ඔය ඔක්කොම සම්මුති නාම පමණ යි. ඒවට දස පුණ්‍ය ක්‍රියා කීවට එතැන කුසල අර්ථය තියෙනවා. දානෙ දෙන විට සිත පිරිසිදු වෙනව. එනිසා පින. දානය දෙනවිට සිතේ කෙලෙස් නැති වෙනවා. ඒක කුසලය. භාවනාව උනත් එහෙමයි. භාවනා කරන්න කරන්න සිත පිරිසිදු වෙනවා. කෙලෙස් නැති වෙනවා. එවිට එතැන කුසල අර්ථය සහ පින් අර්ථය තියෙනව. අනිත් ඒවත් එහෙමයි. පාණාතිපාතා වේරමණී කියන විට දස කුසල ධර්මයෙන් එකක්. සතුන් මැරීමෙන් වළකින්නෙමි යි කියන විට සිත පිරිසිදු වෙනවා. කෙලෙස් නැති වෙනවා. ඒක පිනක් කියන්නත් පුළුවන්. කුසලයක් කියා කියන්නත් පුළුවන්. ඉතිං ඔය අර්ථ විග්‍රහය කරනවා විනා මේක දෙකක් හැටියට ගන්න ගියොත් එය මිත්‍යාවක් වැරදීමක් බව අප තේරුම් ගන්න ඕන. එසේ ම මෙය අන් අයට නිවැරදි ව ප්‍රකාශ කරන්නත් ඕන. සිත පිරිසිදු කරන අර්ථයෙන් පින කියනවා. කෙලෙස් නැති කරන අර්ථයෙන් කුසල කියනවා. පින කීවත් කුසලය කීවත් ධර්මතා වශයෙන් එකක් මිස දෙකක් නෙමෙයි.

ප්‍රශ්න ය : කෙනෙකු රැස් කළ පින් අන් අයට අනුමෝදන් කිරීම අප අසා පුරුදු දෙයකි. දස පින් කිරියවත් පිළිබඳ කතා කිරීමේ දී පත්තිදාන යනුවෙන් එය හඳුන්වනවා.  පින් අනුමෝදන් කිරීමට අනුමෝදන් වීමට පිළිවන්නා සේම පාපයන් අනුමෝදන් කිරීමට සහ අනුමෝදන් වීමට හැකි ද?

පිළිතුර : පින් අනුමෝදන් කරන්න පුළුවන් වගේ ම පාපයත් අනුමෝදන් කරන්න පුළුවන්. දැන් බලන්න අපේ සමහර පැරණි අය කියනවා "මං ඉසේ කෙස් ගානට ගෝන්නු මරල තියෙනවා." "මම ඉසේ කෙස් ගානට රා බීල තියෙනවා." ඒක අහන තවත් වෙන මනුස්සයෙක් "හරි මිනිහෙක් තමයි" කියල බොහොම සතුටු වෙනව. අන්න අකුසල් අනුමෝදන් වුණා. ගාථාවකුත් ඕන නම් හදාගන්න පුළුවන්. කෙනෙක් කියනව "මම අර මිනිහට හොඳ පාඩමක් අද ඉගැන්නුවා." "ගහලා ඇට කටු කුඩුවෙන්න තරම් දඬුවම් දුන්න කියලා."  ඒක අහන කෙනා කියනව "බොහොම හොඳයි  එයාට ඔහොම කරල මදි; මරන්නයි වටින්නෙ... මමත් හිටියනම් දෙකක් අනිනව" කියල.  අන්න පව අනුමෝදන් වුණා.  ත්‍රස්තවාදියෙක්  වෙඩි තියල මරල දැම්ම කිව්වම අපේ සිංහලයො බොහොම සතුටු වෙලා අර පාපය අනුමෝදන් වෙනව. අනවබෝධය නිසා අද බොහෝ දෙනෙක් පින් අනුමෝදන් වීමට වඩා කරන්නෙ අනුන්ගෙ පව් අනුමෝදන් වීම.

බෝසතාණන් වහන්සේ පෙර ජාතියක මාළු මරන කුලයක උපන්නා ගඟක් අයිනෙ. එක දවසක් තවත් ළමයි සමග මාළු මරණව බලන්න ගියා. ගිහින් බැලුවා ම එදා ඒ ගමේ නෑයෝ පෙර දවසෙ ගඟට වස වගයක් දාල විශාල ප්‍රමාණයක් මාළු ගොඩදාල. ඒ දැකල මේ බෝසත් දරුව කියනව අද නම් හරිම හොඳයි ලොකු මාළු ගොඩක් ගොඩදාල කියල. අන්න පාපය අනුමෝදන් වුණා. ඒ පාපය අනුමෝදන් වීම නිසා බුදු බවට පත්වීමෙන් පසුවත් හිස රදයක් පැවති බව ධර්මයේ සඳහන් වෙනව. මෙසේ අකුසලය අනුමෝදන් වෙන්න ඕන තරම් පුළුවන්.

කුසලය නිසා කුසල් සිද්ධ වෙනව. කුසලය නිසා අකුසල් සිද්ධ වෙනව. ඒ වගේම අකුසලය නිසා කුසල් සිද්ධ වෙනව. අකුසලය නිසා අකුසල් සිද්ධ වෙනව. ඔය ක්‍රම හතරම ලෝකෙ පවතිනව. යම්කිසි පුද්ගලයෙක් දානයක් දෙනවයි කියල හිතමුකො. තවත් කෙනෙක් එය බලා අනේ සාදු සාදු තොච්චර වටිනා පිනක්ද කළේ කියල සතුටු වෙනව. අන්න කුසලයෙන් කුසලය සිද්ධ වුණා. එබඳු පින්කමක් දැකල තව කෙනෙක් අපොයි ඔය උපාසකයගෙ හැටි මම දන්නව දැන් ඔය පන්සල් ගියාට එයා මහ කපටියෙක්, පව්කාරයෙක්, මහා බොරුකාරයෙක්.  සල්ලිකාරකමට මාන්නෙට කරන වැඩ කියලා හිත නරක් කරගන්නවා. අනුන් කරන කුසලය නිසා තමන් අකුසලයක් කර ගන්නවා.

තව කෙනෙක් අපි හිතමු යම් අකුසලයක් කරනව. එය අහන්න දකින්න ලැබුනම අනේ ඒ මනුස්සය මොනතරම් අපරාධයක් ද කළේ. මේ උදවියට කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබී ධර්මය අවබෝධ වී මේ අකුසල් වලින් මිදේවා. සුගති මඟ නිවන් මඟ ලැබේවා වශයෙන් ඒ උදවියට මෛත්‍රී කරල මම නම් කවමදාවත් මෙබඳු පාපයක් සිදු නොවේවා කියල අනුන්ගේ අකුසලයෙන් තමා කුසලයක් සිදු කරගන්නවා. අකුසල් කරන දුසිරිතේ හැසිරෙන කෙනෙක් පිළිබඳ අහන්න දකින්න ලැබුණම අර මුලින් කීව වගේ හරිම වටිනව බොහොම හොඳයි එහෙම කරපු එක මමත් හිටියනම් ඒක ම යි කරන්නෙ කියල අනුන් කළ නරක දේ අනුමත කරනව. එයින් අනුන්ගෙ පාපයට තමනුත් සම්බන්ධ වෙනවා. පාපයෙන් පාපයක් සිදු කර ගන්නවා.

තමන් ගැනත් එහෙමයි. තමන් කුසලයක් කරල, දානයක් දීල, ශීලයක් රැකල, භාවනා වඩල හිතනව අනේ සාදු සාදු ගත වූ කාලය තුළ දී මම මේ වගේ බොහෝ කුසල් රැස් කළා. එහෙත් මම කියා කෙනෙක් නෑ. නාම රූප දෙකක් පමණයි. ඒ නාම රූප ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිව නැතිව යන නිසා අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියල හිතනව. අන්න කුසලයෙන් කුසලය රැස් කළා. සමහරු කියනව මම තමයි ඒ පින්කම කළේ. මේ පළාතෙ වෙන කවුද එවැනි විශාල පින්කම් කරන්නෙ කියල මාන්නයට බර සිතුවිලි සිතනව. එහෙම නැත්නම් මට මේ කුසලයෙන් මේ විදියට ලොතරැයියක් ඇදෙන්න ඕන. යාන වාහන ලැබෙන්න ඕන කියල ලෝභයට බර සිතිවිලි සිතනව. මෙසේ තණ්හා දිට්ඨි මානාදී කෙලෙස් උපදවා ගන්නවා. එයින් තමාගේ ම කුසලය නිසා අකුසල් රැස්කරනවා. තමාගෙන් අකුසලයක් සිදුවුණා ම කුමක් හෝ වැරැද්දක් සිදුවුණාම ඒ ගැන සංවේගය උපදවා ගන්නවා. නැවත එබඳු වැරදි නො කරන්න අධිෂ්ඨාන කරගන්නවා. එවිට අකුසලය නිසා කුසලයක් වැඩෙනවා. හැබැයි තමාගෙන් සිදු වූ පාපය පිළිබඳ පසුතැවිලිවීම පිනක් වන්නේ නැහැ.  එසේ පසුව පාපය ගැන සිතා කණගාටු වීම, දුක්වීම පාපයක්, නීවරණයක්.

ඒ වගේ ම යමෙක් තමාගෙන් සිදුවන අකුසලයක් ගැන සිතා සතුටු වෙනවා. මම එදා මෙහෙම බොරුවක් කීව ඒකට එයා රැවටුණානෙ කියලා හිතනව. බොහොම සතුටින් තමාගෙ පාපය නැවත නැවත සිහිකරනව. එවිට පාපය නිසා අලුතින් පව් උපදිනවා. මේ නිසා පාපය පිළිබඳ නිසි අවබෝධයක් නො වීම නිසා තව තව පව් එකතු කරගෙන සසර දුකට පත්වෙනවා. එනිසා අපි අනුන් කරන හොඳ දේ අනුමත කළාට නරක දේ අනුමත කිරීමට එයට අනුබල දීමට හොඳ නැහැ.

ත්‍රිපිටක විශාරද අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේ විසින් පහදා දෙන ලදුව පූජ්‍ය වේදෙණියේ නන්දසීල හිමියන් විසින් සම්පාදනය කරන ලද "නො පෙනෙන ලොව සැබෑ තතු" කෘතියෙනි. මෙම ධර්මදානය සඳහා පරිගණක අක්ෂර සැකසුම : ස්ටැන්ලි අර්නස්ට් මහත්මා විසිනි.


1 comment: