Dec 13, 2016

නො පෙනෙන ලොව සැබෑ තතු (03 කොටස) "අපාය තියෙන්නේ කොහෙද?"




ප්‍රශ්නය : අවසර යි ගරු කටයුතු ස්වාමීන් වහන්ස, මා මීළඟට බලාපොරොත්තු වෙන්නෙ මේ වර්තමාන සමාජයේ බහුතරයක් බෞද්ධයෝ නඟන ප්‍රශ්නයක් විමසීමටයි. එනම් කර්ම විපාක පිළිබඳ කථා කිරීමේදී සමහරු සතර අපාය, දෙව්ලොව, බඹලොව ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් කියන්නෙ අපාය, දෙව්ලොව තියෙන්නෙ මේ මනුස්ස ලෝකෙ කියලයි. බටහිර තාලයට ම හිතන නවීන විද්‍යාව කරපින්නාගෙන භෞතිකවාදීව සියල්ල බලන විට එබඳු පුද්ගලයින්ට දෙන පිළිතුර පැහැදිලි කළොත්?

පිළිතුර : ඒක ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. බොහෝ දෙනා ඇහැට පේන දේ ගැන විතරයිනෙ පිළිගන්නෙ. ඒ ඇත්තො මේ ඇහැට පේන දේ ගැන විතරයිනෙ හිතන්නෙ. පැරණි උපමාවක් තියෙනව "කුපමණ්ඩුකො" කියලා. කුපමණ්ඩුක කියන්නෙ ළිඳේ ඉන්න මැඩිය. ඌ හිතනව මම තමයි මුළු සාගරයටම නායකයා කියල. මේක තමයි විශාලම ජලාශය කියල. එහෙම හිතල හයියෙන් නාද කරනව. ඒ වගේ සාමාන්‍ය පෘථජ්ජන ජනතාව බුදු බණ ගැන විශ්වාස නැති අය දෙව්ලොව, බඹලොව, අපාය සතර තියෙනව කියල විශ්වාස කරන්නෙ නෑ. නමුත් අපේ බුදුරජාණන් වහන්සේ සර්වඥයි. සර්වඥ බැවින් අපි අපේ බුදුරජාණන් වහන්සේ දෙසූ දේශනාව ගෞරවයෙන් පිළිගන්නවා. සැදැහෙන් විශ්වාස කරනව. ශ්‍රද්ධාව කියන්නෙ එයයි. විශ්වාසය පිළිගැනීම ශ්‍රද්ධාවයි. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙනව දෙව්ලොව, බඹලොව, සතර අපායට යන පාර හදාගන්නෙ මනුලොව දි බව. මනු ලොවට යන පාර හදාගන්නෙත් මනුලොවදිමයි. අපායට යෑමට හේතුවන අකුසල් රැස්කරන්නෙත් මනුලොවදී. අපාය තියෙන්නෙ මනුස්ස ලෝකෙ කීවොත් මනුස්ස ලෝකෙ සිට කරන අකුසල් විපාක දීමට තැනක් නැතිව යනව. ඒ නිසා අපි පිළිගන්නවා කරන අකුසල් ලබමින් අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් දුක් විඳින වෙනම ස්ථාන තිබෙනව කියල. ඒවා තමයි අපාය කියන්නේ. ආයුෂ තිබෙන නමුත් සැපය නෑ. සැපයෙන් තොර බැවින් අපාය නමින් හඳුන්වනවා. ඒවා තියෙනවා ඔක්කොම හතරක්. නරක, ප්‍රේත, තිරිසන්, අසුර වශයෙන්. එයින් තිරිසන් අපායෙන් කොටසක් අපට පේන්න තියෙනවා. ප්‍රේත අපාය අපට පේන්නෙ නෑ අපි පින් ඇති අය නිසා. එතරම්ම ප්‍රේත අපාය දුක්ඛිතයි. තිරිසන් අපායෙත් අපිට නොපෙනෙන අය වැඩියි. අසුර අපායත් ප්‍රේත අපායෙම කොටසක්. ඊළඟට නරකාදියෙ තියෙනවා කොටස් 136 ක්.

සංජීව, කාලසූත්‍ර, රෞරව, මහා රෞරව, සංඝාත, තාප, ප්‍රතාප, අවීචි යනුවෙන් මහා නරක අටක් තියෙනවා. ඒ මහා නරක අටේ හතර පැත්තෙ හතර බැගින් එකක දහසයක් තියෙනවා. ඒවට කියන්නෙ ඔසුපත් නරකවල් කියලා. ඔසුපත් නරක 128 ක් තියෙනවා. මහා නරක 8 සමඟයි සියල්ලම 136 ක් වෙන්නෙ. ඒවා මහා පෘථිවිය මැද්දෙ එකින් එකට පහළින් පිහිටා තිබෙන්නෙ. මේ මිහිතලයේ සිට යොදුන් සියයක් යට පිහිටා තියෙනවා සංජීවය. ඒකේ දිග පළල යොදුන් සියයයි. තව යොදුන් සීයකට යටින් ඊළඟ කාලසූත්‍රය නරකය පිහිටා තියෙනවා.

මෙසේ යොදුන් සියය සියය යට මහා නරක අට පිහිටා තියෙනවා. ඒ හැම එකකම දිග පළල උස යොදුන් සියය බැගින් වෙනවා. දැන් ඉතින් ඒක අපට අමුතු දෙයක් නුහුරු දෙයක් නෙමෙයි. අපි සංසාරෙ යම්තාක් උප්පත්තිය ලැබුවා නම් වැඩිම වාර ඉපදිලා තියෙන්නෙ නරකාදියෙ. අට්ඨකථා දේශනාවක තියෙනව "පමත්තස්සහි නාම චත්තාරෝ අපායා සකගේහ සදිසා" කියලා. මේ පමාවූ පෘථග්ජන ජනතාවගේ ස්වකීය ගෙය සතර අපායයි යනු එහි අදහසයි. එතරම්ම කාලයක් අපි හිටියෙ සතර අපායෙ. දැන් අපි භාවනා වඩල දිවැස් නුවණත්, පෙර විසූ ආත්ම බැලීමේ නුවණත් ලැබුවොත් අපට මේව බලන්න පුළුවන්. ඒකෙන් අප බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන්, ගෞරවයෙන්, ශ්‍රද්ධාවෙන් පිළිගන්නවා සතර අපාය තිබෙන බව.

ප්‍රශ්නය : අපායෙ යම රජ්ජරුවො කියන්නෙ මොන වගේ කෙනෙක්ද?

පිළිතුර : යමදෙව් රජ්ජුරුවො කියන්නෙ වේමානික අසුරයෙක්. වේමානික කියන එකේ තේරුම අඩමසක් දෙවි සැප අඩමසක් ප්‍රේත දුක. අට මහා නරකයෙ දොරටු හතරක් තියෙනවනෙ.දොරටු හතරෙ හතරදෙනා බැගින් රජවරු තිස් දෙදෙනෙක් ඉන්නවා. අඩමසක් අඩමසක් පාසා ඒ අය දෙව් සැප සහ ප්‍රේත දුක විඳිනවා. එම යම රජවරු තිස් දෙදෙන දෙව් සැප අවස්ථාවෙ තමා අපායෙ ඉන්නෙ. අඩමසකින් පසු ප්‍රේත දුක විඳින විට වෙනත් පිරිසක් එතැනට එකතු වෙනවා. ඒ යමරජවරු ද නැවත අඩමසකින් ප්‍රේත දුකින් මිදී දෙව් සැප විඳිනවා. ඔහොම යම රජවරු එක් කෙනෙක් නෙමෙයි හැට හතර දෙනෙක් ඉන්නවා.

ප්‍රශ්නය : යම රජවරු වෙන්නෙ ප්‍රේත කොට්ඨාශයක් නම් ඒ අය කොහොමද අනිත් අයට දඬුවම් නියම කරන්නෙ?

පිළිතුර : ඒ අය දඬුවම් නියම කරනව නෙමෙයි. ඒ ඇත්තො ධාර්මික සේවයක් කරන්නෙ. මොකක්ද? ධාර්මික සේවය. බලවත් පව්කම් කර මරණින් මතු කෙළින්ම අටමහා නරකයට යන අයට නඩු ඇසීමක් නෑ. ඒ හැර ඔසුපත් නරකවල උපන්නහම යමපල්ලො ඒ පුද්ගලයව යම රජු ලඟට එක්ක යනව. යමපල්ලො කියන්නෙ යම ලෝකෙ දුක් විඳින සත්වයෝමයි. එහෙම එක්ක යන්නෙ යම රජතුමාගෙ විධානයක් තියෙනව කවුරුහරි ඇවිත් අපායෙ උපන්නම මට මුණගස්සන්න කියල. ඒ සම්මුඛ කිරීමෙන් පස්සෙ ප්‍රශ්න පහක් අහනව. දේව දූතයෝ පස් දෙනෙක් පිළිබඳවයි ප්‍රශ්න කරන්නෙ. පිංවත ඔබ මනුස්ස ලෝකෙ කුඩා දරුවෙක් දැකල නැද්ද? කතා කරන්න බැරිව තමාගේම මල මුත්‍ර ගොඩේ ඉන්න කුඩා දරුවෙකු වගේ මමත් සිටිය. තවත් මට එසේ ඉන්න සිදුවෙනව.  මම මේ දුකින් මිදීමට පින් දහම්වල යෙදෙන්න ඕන කියල ඔබට හිතුනෙ නැද්ද? මෙසේ ප්‍රශ්න කිරීමේදී ඒ පුද්ගලයාට සිහිවුණා නම් තමා කළ යම්කිසි කුසලයක් ඒක නැවත නැවත ආවර්ජනය කරන්න කියනවා. එතකොට අපායෙන් නිදහස් වී සුගතියට යනවා. එහෙම නැත්නම් ජරාජීර්ණ වූ පුද්ගලයෙක් ගැන අහනවා. ඔබ මහලු කෙනෙක් දැකල නැද්ද? පිළිතුරු දෙනව දැක්ක කියල. දැක්ක නම් මමත් මෙසේ මහලු බවට පත්වෙනව. ඊට කලින් අප්‍රමාදව කුසල් දහම් දියුණු කරන්න ඕන කියල ඔබට හිතුනෙ නැද්ද? මෙසේම ලෙඩෙක් දුටුවාද? රාජ දඬුවම් ලද පුද්ගලයෙක් දුටුවාද? මරණයට පත් වූ පුද්ගලයෙක් දුටුවාද? යනාදී වශයෙන් මේ කරුණු පහ එකක් ගානෙ විමසනව. එසේ ප්‍රශ්න කිරීමේ බලාපොරොත්තුව දඬුවම් නියම කිරීම නෙමෙයි. මෙසේ ප්‍රශ්න කිරීමේදී යම් අමතක වූ කුසලයක් තිබුණොත් එය මතක් වෙනව. ඒ මතක්වීම නිසා අපායෙන් මිදී සුගතියට යනවා. එනිසා යම රජතුමා කරන්නෙ ධර්මික සේවයක්.

එක තැනක සඳහන් වෙනව එක්තරා පුද්ගලයෙක් අපායෙ ඉපදිලා යමරජු වෙත ගෙනාවම ඔය මුලින් කී දේවදූතයො පස්දෙනා පිළිබඳව විමසුවා. නමුත් ඔහුට පිනක් මතු වුණේම නැහැ. නමුත් ඒ පුද්ගලයා මනුස්ස ලෝකෙ සිටිය කාලෙ චෛත්‍යයකට කොඩියක් පූජාකරල යමරජ්ජුරුවන්ටත් පින්දීල තිබුණා. ඒක යමරජ්ජුරුවො දන්නව. ඉන්පසු එතුමා කියනව ඔබ අහවල් දවසෙ අහවල් තැනදි චෛත්‍යයට කොඩියක් පූජා කරල මටත් පින් දුන්න මතක නැද්ද? ඉන් පසු ඔහුට එම පින මතක් වුණා. ඒක නැවත නැවත සිහිකරන්න කියා යම රජතුමා උපදෙස් දුන්නා. එය සිහිපත් කරන විට ඔහු අපා දුකෙන් මිදී දෙව්ලොව ඉපදුණා. මේ විදියට අපා දුකෙන් නිදහස් වීමට කෙනෙකුට උපකාර කිරීමක් යම රජ්ජුරුවො කරන්නෙ එහෙම නැතිව කාටවත් දඬුවම් දීමක් නෙමෙයි.

ප්‍රශ්නය : ඔය කියන කරුණු පහ හෙවත් දේවදූතයෝ පිළිබඳ විමසීමේ දී ඔහුට කුසලයක් මතුකර ගන්න බැරිවුණා නම් වෙනත් කුසලයක් ද සිහියට ආවේ නැත්නම් ඊට පස්සෙ මොකද වෙන්නෙ?

පිළිතුර : දැන් මේ කරුණු පහෙන් ම මේ පුද්ගලයාට පිනක් මතුකර ගන්න බැරිවුණා නම් එවිට යම රජ්ජුරුවො කියනව පින්වත, මේ කර්මය ඔබේ මව් පිය දෙදෙනා කළ දෙයක් නෙමෙයි. සහෝදර සහෝදරියන් සහ ලේ නෑයින් හිතමිතුරන් කළ දෙයක් නෙමෙයි. නුඹ ම කළ දෙයක්. මෙහි විපාකය නුඹ ම විඳිය යුතුයි කියලා කියනවා මිසක් අසවල් අසවල් වද දෙන්න කියල නියම කිරීමක් නෑ. ඒ යමපල්ලන්ට වධ දෙන්න හිතෙන්නෙ එක එක ආකාරවලට ඔහුගෙ කර්මය අනුවයි. පෙර ආත්මෙ කරගත් අකුසල කර්මවල ආකාරයට විවිධාකාර දුක් විඳිමින් සිටිනවා.

ප්‍රශ්නය : යමපල්ලො කියන්නේ කවුද? ඒ අය අනිත් අයට දඬුවම් දෙන විට පව් සිදුවන්නේ නැද්ද?

පිළිතුර : යමපල්ලො කියන්නෙ අපායෙ දුක්විඳින සත්ත්ව කොට්ඨාසයක්. ඒ අයත් අපායෙ කාලයක් දුක් විඳිනවා. තවත් කාලයක් දඬුවම් දෙනවා. ඒ දඬුවම් කිරීම නිසා ඒ අයට අකුසල් රැස්වෙනවා. දැන් මනුස්සයෙක් තවත් මනුස්සයෙකුට දඬුවම් දෙන විට අකුසල් වෙනව වගේ තමයි. බන්ධනාගාරවල අලුගෝසුවො කියල වධයට නියම වූ අයට දඬුවම් දෙන අය සිටියනෙ. ඒ අය නීතියෙන් එල්ලා මැරීමට නියම වූ පුද්ගලයින්ට දඬුවම් ලබාදීල තමන් බොහෝ අකුසල කර්ම රැස්කරගන්නවා. ඒ වගේ තමයි අපායෙ ඉන්න යමපල්ලො අනුන්ට වධ දී තමන් පව් රැස්කර ගන්නවා.

ප්‍රශ්නය : අපායෙ ආයුෂ ප්‍රමාණය කොපමණද?

පිළිතුර : මනුෂ්‍ය ප්‍රමාණයෙන් අනූ ලක්ෂයක් අවුරුදු චාතුර්මහාරාජික දිව්‍ය ලෝකයට පරමායුෂ වෙනව. එම අවුරුදු අනූ ලක්ෂය සඤ්ජීව කියන මහා නරකයට එක දවසක්. අපායෙ වැඩිම ආයුෂ තිබෙන්නෙ අවීචියට. කල්පයක් ම එහි දුක් විඳින්න වෙනවා. මෙසේ දිව්‍ය ආයුෂ අනුවයි අපායෙ ආයුකාලය දක්වල තියෙන්නෙ. දිව්‍යලෝක හය අතරෙන් වැඩිම ආයුෂ තියෙන්නෙ පරනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකයේ. මිනිස් වර්ෂ ප්‍රමාණයෙන් අවුරුදු නවසිය විසිඑක්කෝටි හැටලක්ෂයක්. එපමණ දීර්ඝ කාලය තාප නම් අපායට එක දවසක්. මෙසේ අති දීර්ඝ කාලයක් දුක් විඳින ස්ථානයක් නරකාදිය කියන්නෙ.

ප්‍රශ්නය : නිතර ආමිස ප්‍රතිපත්ති පූජා සිදුකරන ශ්‍රද්ධාවන්ත බෞද්ධයො පවා අපාය විශ්වාස නො කරන්නෙ අපාය අපේ පියවි දෑසට නොපෙනෙන නිසා. එය නො පිළිගත යුතු බව ඇතැම් දේශකයො ජනමාධ්‍ය තුළින් පවා ප්‍රකාශ කරන නිසා. ඒ මිත්‍යා මතය පතුරුවා හරින අය ප්‍රසිද්ධියේ ම කියනව යමක් පොතේ තිබූ පමණින් පිළිගන්න බැහැ කියල. මේ මතය පිළිබඳ ඔබ වහන්සේගේ අදහස?

පිළිතුර : ඒක හරි පුදුම කීමක්. එසේ නම් අපට අපාය පිළිබඳ බුද්ධ දේශනා පමණක් නෙමෙයි මුළු ත්‍රිපිටක ධර්මය ම ප්‍රතික්ෂේප කරන්න සිදු වෙනවා. මහරහතන් වහන්සේලා වාචෝද්ගත ව පරම්පරා වශයෙන් මහත් ගෞරවයෙන් ආරක්ෂා කරගෙන ආ බුද්ධ දේශනාව මාතලේ අළුලෙනේ දී ග්‍රන්ථාරූඪ කළේ බොහෝ කලක් ධර්මය නො නැසී පැවතීම සඳහායි. එසේ පොත්වලට නඟන ලද ධර්මය පිළිගන්න බැහැයි කියා යමෙක් කියනව නම් එය මෝඩකමක්. අපට නො පෙනෙන දේවල් ලෝකයේ කොච්චර තියෙනවද? නිවන අප විශ්වාස කරන්නෙ අපි හැමෝම නිවන් දැකලා නො වෙයි නෙ. අපේ බුදුරජාණන් වහන්සේ එය අවබෝධ කරගෙන අපට දේශනා කළ නිසානෙ. බුද්ධ දේශනාවෙ තියෙනවා සිද්ධියක්. බුදුරජාණන් වහන්සේ ලඟට පැමිණියා මිත්‍රයෝ දෙන්නෙක්. එක් අයෙක් බුද්ධාගම පිළිගන්නවා. අනෙක් කෙනා පිළිගන්නෙ නැහැ. එක් අයෙක් නො පිළිගන්නෙ එයාගෙ දෘෂ්ටිය වෙනස්. චතුරාර්ය සත්‍යය, ධ්‍යාන, අභිඥා, විදර්ශනා මාර්ගඵල පිළිබඳ ඔහුගේ පිළිගැනීමක් නෑ.

බුදුරජාණන් වහන්සේ මේ දෙන්නට හොඳ නිදර්ශනයක් වදාළා. යාළුවො දෙන්නෙක් යනව ඇවිදගෙන. යනවිට බොහොම ලස්සන කඳු මුදුනක් තියෙනව. ඒ කන්දට හැමෝටම නඟින්නත් බැහැ. එක් කෙනෙක් බොහොම දක්ෂයි. එයා නැග්ගා ඒ කඳු මුදුනට. බිම ඉන්න කෙනා අහනව මොනවද පේන්නෙ කියලා. එවිට පිළිතුරු දෙනව මට පේනව හරි ලස්සන ආරාම, පොකුණු, මාළිගා ආදී චමත්කාරජනක දර්ශන කීවම බිම සිට නෙකා කියන්නෙ ඕව බොරු මට ඕව පිළිගන්න බැහැ කියල. ඉතිං අර උඩ ඉන්න කෙනා කියන දේ පහළ ඉන්න එක්කෙනා බාරගන්නෙ නෑ. මොකද හේතුව එයාට ඒ කිසි දෙයක් නොපෙනෙන නිසා. පස්සෙ උඩ ඉන්න එක්කෙනා බැහැල කොහොම හරි මේ පුද්ගලයා එක්කගෙන යනව කඳු මුදුනට. ගියාම පෙන්නුව බලන්න මම කිව්වෙ ඇත්තද බොරුද කියල. ආන්න එවිටයි එයා පිළිගන්නෙ.

ඒ වගේ මේ කාලෙ බොහෝ මනුස්සයො බුද්ධාගමේ තියෙන ඇතැම් කරුණු සත්‍ය වශයෙන් පිළිගන්න අකමැතියි. ඒ මොකද? ඒ ඇත්තන්ට මේක අවබෝධ කරගන්න තරම් නුවණ මෙහෙයවන්න බෑ. කුපමණ්ඩුක උපමාව එබඳු ඇත්තන් විසින් සලකා බැලීම වටිනවා. ඒ නිසා මේව නොපිළිගන්නා උදවිය පිළිබඳ අපට අමුතුවෙන් මහන්සි ගන්න අවශ්‍ය නෑ. ඒ ඇත්තන්ට නුවණ ලැබේවා කියා අපි මෛත්‍රී කරමු.

ප්‍රශ්නය : අපායට දෙව්ලොව යන සත්වයො දැකගන්නා බුදුරජාණන් වහන්සේගේ දිවැස් නුවණ පිළිබඳව ස්වාමීන් වහන්ස පැහැදිලි කිරීමක් කළොත්?

පිළිතුර : ඍද්ධිවිධ ඥානය, දිව්‍යශ්‍රෝත ඥනය, පරචිත්තවිජානන ඥානය, පූර්වේනිවාසානුස්මෘති ඥානය, දිබ්බචක්ඛු ඥානය මේ පහට කියනව පඤ්ච අභිඥා කියල. එයින් එකක් තමයි මේ දිබ්බචක්ඛු ඥානය. දෙවියන්ටත් බ්‍රහ්මයින්ටත් ඕනතරම් ඈත තියෙන දෙයක් ළඟ තියෙන දෙයක් වාගෙ දකින්න පුළුවන් ප්‍රසන්න ඇස් දෙකක් තියෙනව. ඒ දෙවියන්ගෙ, බ්‍රහ්මයින්ගෙ ඇස් අපේ වගේ කෙස්, ලොම් ආදී කුණප කොට්ඨාසවලින් හැදුන ඇස් නෙමෙයි. ඇස් බොහොම ප්‍රසන්නයි. වාත පිත සෙම ආදියෙන් පලිබෝධයක් නෑ. ඒ ඇත්තන්ට ඇස් රෝග නෑ. බොහොම සියුම් දේවල් දකින්න පුළුවන්. ගස් ගල් පර්වත විනිවිද දකින්න පුළුවන්. ඒව කර්ම විපාකයෙන් හටගන්න ඇස්. යොදුනක් තරම් දුරට පෙනෙන එවන් ප්‍රසන්න නේත්‍ර යුගලක් අපේ සර්වඥයන් වහන්සේටත් තිබුණ බව අහල ඇති. ඇස් දන්දුන් පසුව සිව් මහරජතුමාට ලැබුණු ඇස් දෙක යොදුන් සියයක් දුර පෙනුන බව දැක්වෙනව. සියල්ල විනිවිද දකින්න පුළුවන්. ඒකට කියනව ප්‍රසාද චක්ඛු කියල. සසර ඇස් දන්දීම නිසා සහ අනුන් දෙස මෛත්‍රී සහගත දෑසින් බලා දන්දීමෙන් අපේ බුදුරජාණන් වහන්සේට ඉතා ප්‍රසන්න නේත්‍ර යුග්මයක් ලැබුණා. ඒ ප්‍රසාද නේත්‍ර ඇති අය අතරත් සර්වඥයන් වහන්සේට තියෙනවා දිබ්බචක්ඛු කියල ඥානයක්. බ්‍රහ්මයන්ගෙ ඇස හා සමානව දකින්න පුළුවන් අභිඥාවක්. මේ දිබ්බචක්ඛු ඥානයේ තවත් අවස්ථා කීපයක් තියෙනව. යථාකම්මූපගඥානය කියන එකත් දිබ්බචක්ඛුවේ ම අවස්ථාවක්. අනුගතංස ඥානය කියන්නෙත් දිබ්බචක්ඛුවේම අවස්ථාවක්.

මේ දිබ්බචක්ඛුව ලැබෙන්න විශාල වැඩ කොටසක් තියෙනව. බුද්ධ ශාසනයේ තියෙනව දසකසිණ කියල භාවනා දහයක්. මේ දසකසිණයෙන් වඩන්න ඕන රූපාවචර ධ්‍යාන. ඊළඟට ආකාස කසිණය හැර ඉතිරි නවයෙන් අරූප ධ්‍යාන වඩන්න තියෙනව. එවිට අෂ්ට සමාපත්තිලාභී. මේ අෂ්ටසමාපත්තිලාභී තැනැත්තා ඒ සමාපත්ති සියල්ල වශී බවට පමුණුවා ගෙන එයින් නොනැවතී අභිඥා ලැබීම සඳහා තියෙනව වැඩකටයුතු රාශියක්. ඒ කියන්නෙ දාහතර ආකාරයකින් කසිණ අටක්ම ප්‍රගුණ කරන්න තියෙනව. ඒකට කියනව "චුද්දසාකාර චිත්තපරිදමනය" කියල. ඒ මක්නිසාද මේ දාහතර ආකාරයට සිත වශීතාවයට පමුණුවන්නේ තත්පරයෙන් තත්පරයට කසිණයෙන් කසිණයට ධ්‍යානයෙන් ධ්‍යානයට මාරුවෙන්න තරම් ශීඝ්‍ර ව සමවදින්න නැගිටින්න සමත් බවක් ඇතිකරගනු පිණිසයි. ඒ කියන්නෙ එක එක දේ නිර්මාණය කරන්න එක එක දේ සඳහා නුවණ මෙහෙයවන්නට ඒ කසිණ එක එක ජාතියකින් පමණයි පුළුවන් වෙන්නෙ. එනිසා තමයි ක්ෂණික ව ඒ කසිනයන්ට ඒ ඒ ධ්‍යානයන්ට සමවදින්න ප්‍රගුණ කරගන්න ඕන. එසේ ප්‍රගුණ කරගත්තම ලැබෙන ඛිප්ප නිසන්තිතාව කියන අවස්ථාවේ ක්ෂණිකව අභිඥාව ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඊලඟට දිබ්බචක්ඛු අභිඥාවෙන් ළඟ තියෙන දුර තියෙන දේ දකින්න කැමතිනම් ඒකට තියෙනවා කසිණ ධ්‍යාන තුනක්, ආලෝක කසිණ, තේජෝ කසිණ, ඕදාත කසිණ කියලා. ඔය කසිණ එකකින් රූපාවචර චතුර්ථ ධ්‍යානයට සමවදින්න ඕන. සමවැදිල ඒකෙ ආලෝකය උඩ යට සිරස අනන්ත ලෝක ධාතුවට විහිදුවන්න ඕන. ඊළඟට ආයෙමත් ඒ මැද්දෙ හිත තියාගෙන ධ්‍යාන සතරට සමවදින්න ඕන. එහි ධ්‍යානාංග බලා ආයෙමත් ධ්‍යානයෙන් අවදිවෙලා අධිෂ්ඨාන කරන්නට ඕන මට අසවල් දේ පෙනේව කියල. ඒ පෙනෙන දේ මෙපමණ වේලාවක් පෙනේවා කියලත් අධිෂ්ඨානය කරන්නට ඕන. එසේ අධිෂිඨාන කරලා නැවත රූපාවචර චතුර්ථධ්‍යානයට සමවදින විට එක චිත්තක්ෂණයකින් ඒ අවශ්‍ය දේ හරියටම විනිවිද දකින්න පුළුවන් නුවණ පහළ වෙනවා. ඉන් පස්සෙ උපචාර සමාධි සිතින් ඒක දකිනව.

මේක බොහොම තීක්ෂ්ණ ව කළ යුතු දෙයක්. ඒක අපේ සර්වඥයන් වහන්සේට තරම් වෙන කාටවත් නෑ. අන් අයට සමීප කිරීමට බැරි අසාමාන්‍ය ශක්ති විශේෂයක් බුදුරජාණන් වහන්සේගේ අභිඥා බලයෙ තියෙනවා. එයින් මේ දිබ්බචක්ඛු ඥානයෙන් අරවාගේ කුසල් කරන සුගති දුගති යන සත්ත්වයන් චුතවෙන උපදින සත්වයන්ට ඒ වගේම ශෝභන අශෝභන සත්ත්වයන් දකිනව. ඊලඟට යථාකම්මුපග ඥානය. ඊට සම්බන්ධ බැවින් මේ සත්ත්වයෝ කයින් වචනයෙන් සිතින් පින්කළා. ආර්යයන් වහන්සේලාට ගෞරව කළා. ආර්ය මාර්ගය අනුගමනය කළා. සම්මාදිට්ඨියේ පිහිටා සිටියා. බොහෝ කුසල් රැස් කළා. දන් දුන්නා. සිල් රැක්කා. සමථ විදර්ශනා භාවනා වැඩුවා. මෙබඳු සත්ත්වයෝ චාතුර්මහාරාජිකයෙ තාවතිංසයෙ උපන්නා. ධ්‍යානලාභී අයෙ කුනම් බඹලොව උපන්නා. සංඥා විරාග භාවනා වඩල අසඤ්ඤ තලයෙ උපන්න පින් කළ නිසා සුගතියෙ උපන්න කියල පරලොව උපදින සත්ත්වයෝ සර්වඥයන් වහන්සෙ දකිනව. කයින් සිතින් වචනයෙන් බොහෝ නානාප්‍රකාර අකුසල් නිසා ප්‍රේත අපායෙ, තිරිසන් අපායෙ, අසුර අපායෙ, නරකාදියෙ උපදින සත්ත්වයෝ දකින්නෙත් මේ ආකාරයට ම යි.

ප්‍රශ්නය : බුදුරජාණන් වහන්සේ දිවැස් නුවණින් සුගතියට දුගතියට යන සත්ත්වයන් දැකගන්නා අයුරු බොහෝ සූත්‍ර දේශනාවල අප අසා තිබෙනවා. එතැන් සඳහන් වෙන විසුද්ධෙන අතික්කන්තේන මානුසකේන සත්තේ පජානාතී යන කරුණ පැහැදිලි කළොත්?

පිළිතුර : විසුද්ධෙන කියන්නේ නීවරණයන්ගෙන් තොර වූ චතුර්ථ ධ්‍යානයට කියන නමක්. අතික්කන්න මානුසකේන කියන්නෙ මිනිස් ඇසට නොපෙනෙන සාමාන්‍ය පියවි ඇස ඉක්මවා සිටින කියන තේරුමයි. මිනිස් ඇස ඉක්මවා සිටි අවබෝධය දිබ්බචක්ඛු ඥානයයි. බුදුරජාණන් වහන්සේ මෙලොවින් චුතවන පරලොව උපදින සුගතියට දුගතියට යන කර්මානුරූපව ඒ ඒ තැන ප්‍රතිසන්ධිය ලබන සත්ත්වයන් දැකගන්න ආකාර කිහිපයක් ම තියෙනවා. එකක් සර්වඥතා ඥානයෙන් ආවර්ජනා කළ මාත්‍රෙයන් දකිනවා. දෙවන ක්‍රමය දිබ්බචක්ඛු ඥානයෙන් දැකීම. බුදුරජාණන් වහන්සේ තේජෝ කසිණයෙන් ආලෝක කසිණයෙන් හෝ ඕදාත කසිණයෙන් චතුර්ථ ධ්‍යානයට සමවදිනවා. සමවැදී එයින් නැගිට ධ්‍යානාංග සිත බලනවා. ඒ ධ්‍යානයෙන් නැගිටලා ආවර්ජනා කරනවා. මම අසවල් පුද්ගලයා දකින්න ඕන කියල. අපාය දකින්නෙත් මේ චතුර්ථ ධ්‍යාන සමාධි සිත නිසා. දිව්‍ය ලෝක පිළිබඳවත් එහෙම තමයි. මනුලොව තමයි දෙව්ලොව යන කුසල් තියෙන්නෙ. දෙව්ලොව ඉපදීමට සුදුසු කුසල් කළා ම මරණාසන්න අවස්ථාවේ එම කුසල් සිහි වී දෙව්ලොව යනවා. දිව්‍ය ලෝක හයක් තියෙනවා. චාතුර්මහාරාජික, තාවතිංස, යාම, තුසිත, නිම්මාණරති, පරනිම්මිත වසවර්ති වශයෙන් එම දිව්‍ය ලෝක හඳුන්වනු ලබන්නෙ. මනුලොව සිට යොදුන් හතළිස් දෙදාහක් දුරින් පළමුවෙනි චාතුර්මහාරාජික දිව්‍ය ලෝකය පිහිටා තිබෙනවා. එය යොදුන් දසදහසක් දිග පළලින් යුක්තයි. එයට හතළිස් දෙදාහක් ඉහළින් තව්තිසා දිව්‍ය ලෝකය පිහිටා තියෙනවා. ඉහළට යන්න යන්න ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥා සම්පත් වැඩියි. අපේ මනුලොව අවුරුදු පනහක් චාතුර්මහාරාජික දෙව්ලොවට එක දවසයි. අපේ අවුරුදු වලින් අනූලක්ෂයක් අවුරුදු එහෙට ආයුෂ තියෙනවා. ඉහළට යන්න යන්න සතර ගුණයෙන් ආයුෂ වැඩිවෙනවා. ඉහළ ම දෙව්ලොව සිට යොදුන් පනස්පන්ලක්ෂ අටදාහකට ඉහළින් පළමු බ්‍රහ්ම තලය පිහිටා තිබෙන්නේ. ප්‍රථම ධ්‍යාන තලය එතැන් සිට තව පනස්පන් ලක්ෂ අටදාහකට ඉහළින් දෙවැනි බ්‍රහ්ම තලය පිහිටා තිබෙනවා. ඔහොම යොදුන් පණස්පන්ලක්ෂ අටදාහ බැගින් ඉහළින් සියලුම බ්‍රහ්ම ලෝක පිහිටා තියෙනවා භවාග්‍රය දක්වා ම.

දැන් භවාග්‍රයේ සිට (ඉහළම බඹලොව) යොදුනක් උස පළල ඇති ගල්පර්වතයක් පහළට එව්වොත් විනාඩියකට යොදුන් දහතුනකුත් තුනෙන් එකක් පාත්වෙනවා. පැයකට යොදුන් අටදාහක් පාත්වෙනවා. එය පොළවට පාත් වෙන්න අවුරුදු හතරකුත් මාසයකුත් දින විසිහතකුත් ගතවෙනවා. එච්චර දුර තියෙනවා මනු ලොව සිට බඹලොවට. නමුත් යමෙක් බඹලොවින් චුත වෙලා මනුලොව උපදින්න ඉන්නවා නම් එහෙන් චුත වීමත් සමගම යි අතරක් නෑර මනුලොව උපදින්නේ. තත්පරයක්වත් පමාවෙන්නෙ නෑ. චිත්තක්ෂණයක් පමණයි ගතවෙන්නෙ. මේවා අපගේ බුදුරජාණන් වහන්සේ දෙසූ බුද්ධ වචනය අනුව ම අපි තේරුම් ගන්නට ඕනෑ. අපි විශ්වාස කරනවා දෙව්ලොව හයක් තිබෙන බව. රූපාවචර බ්‍රහ්මලෝක දහයක් තිබෙන බව. අරූපාවචර බ්‍රහ්මලෝක හතරක් තිබෙන බව. අවීචියේ පටන් භවාග්‍රය දක්වා භූමි තිස්එකක් තිබෙන බව අපි පිළිගන්නවා. කාම භව එකොළහයි. රූප භව දහසයයි. අරූප භව හතරයි. සංඥා භව විසිනවයයි. අසඤ්ඤ භව එකයි. නේවසංඥා නා සචඤ්ඤා භව එකයි. ඒකවෝකාර භව එකයි. චතුවෝකාර භව හතරයි. පංචවෝකාර භව විසිහයයි. මෙන්න මෙහෙම නව මහා භවයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරල තිබෙනවා. මේවා තමන්ට බලාගන්න පුළුවන්. ශීලයක පිහිටා සමථ භාවනා වඩා අට්ඨසමාපත්ති උපදවා චුද්දස ආකාරයට සිත දමනය කරගෙන අභිඥාබල පහ ඉපදෙව්වා නම් එවිට සිය නුවණින් මේවා දකින්න පුළුවන්. සිය කයින් මේ තැන්වලට ගිහිල්ල කතා බහ කරල එන්නත් පුළුවන්. අපි නොබියව ප්‍රකාශ කරනවා බෞද්ධ මහජනයාට මේවා සර්වඥයන් වහන්සේ දෙසූ බැවින් අපි පිළිගන්නා බවත් අපට යම්කිසි දවසක සමථ විදර්ශනා වඩලා අභිඥාබල උපදවා ගත්තොත් මේ ජීවිතයේදී ම සර්වඥයන් වහන්සේගේ දේශනාව අනුව මේවා දැක ගන්න හැකිවන බවත් සියල්ලෝ ම ඒ සඳහා උත්සාහ වෙත්වා කියා අපි ප්‍රාර්ථනා කරනවා.

ප්‍රශ්නය : අපි අතින් අතපසුවීමකින් යම් පාපයක් සිදු වුණා නම් එය නැවත නැවත සිහිවීමේදී අපට ඇතිවන පසුතැවිල්ල නැති කරගන්නේ කොහොමද?

පිළිතුර : බොහෝ සෙයින් මිනිසුන් අතර ඉන්නව නො දන්නාකමින් පව්කරගෙන පසුව පසුතැවෙන අය. ඒ අය බයෙන් තැති ගන්නවා මේ අපාය පිළිබඳ දේශනා දැනගෙන. එහෙම අවස්ථාවල අප හිතන්න ඕන ලෑල්ලකට ඇණයක් ගැසුවා ම ඒක වැරදුණා නම් අනෙක් පැත්තෙන් ඇණයක් ගහලා ඒක ගලවනවනෙ. ඒ වගේ අපේ සිතට දරන්නට බැරි පසුතැවෙන සුළු අකුසලයක් සිදුවුණා නම් ඒක නැවත නැවත සිතා පසු තැවෙන්නේ නැතිව හිත හදාගන්න යෝනිසෝමනසිකාරය හුරු කිරීම වැදගත් වෙනවා. අපි හිතමු කෙනෙක් අතින් සතෙක් මැරුණා කියලා. ඒ ගැන පසුතැවී සිටියානම් අපාගාමී වෙන්න පුළුවන්. සතා මැරෙන වෙලාවෙ අපේ සිතේ යම් චිත්ත චෛතසික ධර්ම පහළ වුණානෙ. අකුසල චිත්ත පරම්පරාව. ඒවා දැන් නැහැනෙ. ඒව ඒ වෙලාවෙම ඇති වී නැති වී ගියා. ඒ සතා මරණ අවස්ථාවේ මගේ සිතේ පහළ වූ චිත්ත චෛතසික ධර්ම රූප ධර්ම ඇතිව නැතිව ගියා අනිත්‍යයි, දුක්ඛයි, අනත්තයි කියා ත්‍රිලක්ෂණයට හරවනවා. ඒ වගේම මරණයට පත් වූ සතා පෙර ජාතිවල මගේ මව, මගේ පියා, මගේ දුව, මගේ පුතා, සහෝදරයා වී සිටින්නට ඇති අනන්ත ජාතිවල. මතුවටත් මුණ ගැසෙන්න පුළුවන්. ඒ සත්ත්වයා උප නූපන් තැන නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා මගෙන් සිදුවූ වරදට සමාව ලැබේවා ආදී වශයෙන් මෙත් සිත් පවත්වන්නට පුළුවන්. එයිනුත් විශේෂත්වය ලැබෙනවා මේ ත්‍රිලක්ෂණ විපස්සනාවට. ඊලඟට සිතනවා දැන් මේ සිතන පසුතැවෙන සිතත් අනිත්‍යයි දුක්ඛයි අනත්තයි අශුභයි කියලා ත්‍රිලක්ෂණයට හරවනවා. මේ අයුරින් තමාගෙන් සිදුවුණා වූ කුඩා හෝ ලොකු හෝ කුසලයක් සිහිවෙලා පසුතැවෙන්නෙ නැතිව ඒක විපස්සනාවට හරවලා නුවණට හුරුව කල්පනා කිරීමට සෑමවිටම උත්සාහ වන්නට ඕන. ඒ තරමට ප්‍රයෝග සම්පත්තිය හෙවත් නිතරම තිදොරින් කුසල් රැස්කරන්නට අධිෂ්ඨාන කරගැනීම ඉතා වැදගත් වෙනවා.

ප්‍රශ්නය : දෙව්ලොව බඹලොව ඉපදීමට හේතුවන කුසල් දහම් තිබෙන්නා සේ ඒ ඒ අපා භූමිවල ඉපදීමට මොනවගේ අකුසල් බලපානවද කියා පහදා දුන්නොත්?

පිළිතුර : දේවදූත සූත්‍රයේ දී වගේ ම බොහෝ දේශනාවල දැක්වෙනව "කාය දුච්චරිතේවා වචී දුච්චරිතේවා මනෝ දුච්චරිතේවා" කියා අකුසල් පැවතුම් තුනක් පිළිබඳ ව. සියලුම අකුසල් මෙයට ඇතුළත් වෙනවා. ඒ ඒ අකුසල් ශක්ති නිසා ඒ ඒ අපායභූමිවලට වැටෙන්නට සිදුවෙනවා. මරණාසන්න අවස්ථාවේ දරු මුනුපුරන් එසේත් නැතිනම් ගෙවල් දොරවල් වස්තුව මතක් වී ඒ ලෝභ සහගත සිතින් නම් මරණයට පත්වුණේ ඔහු බොහෝ සෙයින් ම වැටෙන්නේ ප්‍රේත අපායට. බොහෝවිට මෝහ සහගත අකුසල උත්සන්න නිසා වැටෙන්නෙ තිරිසන් අපායට.

පඤ්ච ආනන්තර්ය කර්මය සහ නියත මිත්‍යා දෘෂ්ටිය කියන මේ බරපතළ කර්ම හයක් තියෙනව. මේ පව්කරගත්ත අය මනුලොවින් චුතවෙන කොට චුතියට අනතුරුව අවීචි මහා නරකයටම යනව. අවීචිමහ නරකය කියන්නෙ අතිශයින් ම අකුසල් උත්සන්න තැන. ගින්නේවත්, දුකෙන්වත්, සත්ත්වයන්ගෙන්වත් අතරක් නැත කියන එකයි අවීචිය කියන්නෙ. හැබැයි සත්ත්වයන් බොහෝ පිරී සිටියත් ඔවුනොවුන් පේන්නෙ නැහැ. එක එක්කෙනා ගැටෙන්නෙ නෑ. මොකද භූත කොට්ඨාසවල තියෙනවනෙ විනිවිද යන ස්වභාවයක්. එනිසා ඔවුනොවුන් පේන්නෙ නෑ. පඤ්ච ආනන්තර්ය කර්මය සහ නියත මිත්‍යාදෘෂ්ටිය ගත් අය මේ බිහිසුණු අවීචියේ දුක් විඳිනව. දෙසැටක් මිත්‍යාදෘෂ්ටීන් අතරෙන් යමක් අල්වා ගත්තා නම් අනිවාර්යයෙන් ඔහුට මේ අවීචි ආදී අටමහා නරකයේ දීර්ඝ කාලයක් දුක්විඳීමට සිදුවෙනව. සක්වල විනාශවන කාලයේදීවත් ඔහුට ගොඩඑන්න බැහැ. අල්ලස් ගත්ත අය, බොරු සාක්ෂි දුන් අය, චුන්ද සූකරික වගේ ප්‍රාණඝාත කළ අය මෙවැනි අපමණ අකුසල් කළ අය පරදාර කර්මයේ යෙදුන අය මෙසේ බරපතල පාපකර්මවලින් මුළු ජීවිතය ම ගතකළ අය කිසි ම පිනක් දහමක් නො කළ අය තමා අටමහා නරකයට කෙළින් ම යන්නෙ. බඩුත් සමඟ සොරෙක් අසුවූවානම් කෙළින්ම දඬුවම් ලැබෙනව වගේ තමයි කෙළින් ම සංජීව, කාලසූත්‍ර, සංඝාත, රෞරව, මහා රෞරව, තාප, ප්‍රතාප, අවීචි යන අටමහා නරකයෙ ඉපදෙන බලවත් පව්කම් කළ අය යි.

ඇත්ත වශයෙස් ම දිවැස් නුවණ පාවිචච්චි කරන කෙනෙකුට මිසක් සාමාන්‍ය කෙනෙකුට මේ පිළිගන්න බැරි තරම් දෙයක්. විද්‍යාවට අනුව උනත් යම්කිසි මට්ටමකට නරකාදිය ඇතෙයි කියන මට්ටමට පිළිගැනීමක් ඇතිවෙලා තියෙනවා. දිග පළල ආදිය පමණක් වෙනස්කම් තියෙනව. ඒ අනුව සලකා බැලීමේදී තිදොරින් සිදුකරගන්නා ලද බරපතළ අකුසල නිසා අටමහා නරකයට කෙළින් ම යනව. කුසල්, අතුසල් දෙක ම කරගත් යමෙක් මරණාසන්න අවස්ථාවෙ අකුසලයක් සිහිවීම නිසා, ඒ නිසා ඔසුපත් නරකයක ඉපිද කර්මය ක්ෂය වනතුරු දුක් විඳිනවා. ජාතක පොතේ නිමි ජාතකයේ දැක්වෙනව මොන මොන කර්මවලින් මොන මොන අපායවලට වැටෙනවද කියන කාරණය.

ත්‍රිපිටක විශාරද අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේ විසින් පහදා දෙන ලදුව පූජ්‍ය වේදෙණියේ නන්දසීල හිමියන් විසින් සම්පාදිත නො පෙනෙන ලොව සැබෑ තතු කෘතිය ඇසුරිනි. මෙම ධර්මදානය සඳහා පරිගණක අක්ෂර සැකසුම : ස්ටැන්ලි අර්නස්ට් මහත්මා විසිනි.





1 comment:

  1. ඔබ තුමාට ගොඩාක් පින්

    ReplyDelete