Jan 18, 2017

නො පෙනෙන ලොව සැබෑ තතු (04 කොටස) "දිව්‍ය ලෝක ඇත්තක් ද?"




ප්‍රශ්නය: ධර්මය නොදන්නා සමහර අය දෙව්ලොව පිළිබඳ විස්තර කිරීමේදී විමාන වස්තු ප්‍රකරණයේ සඳහන් වෙන දිව්‍ය විමාන සහ සමහර දෙවිවරු සියගණන් දහස්ගණන් දිව්‍ය පිරිස පිරිවරාගෙන සිටීම යනු සත්‍ය වශයෙන් පවතින දේවල් නොව තම මනසට අරමුණු වන දේවල් වශයෙන් පත්තරවලත් කියා තිබුණා. ඒ පිළිබඳව අප නාහිමිපාණන් වහන්සේගෙන් විමසූ පසු මෙසේ පිළිතුරු ලැබුණා.

පිළිතුර: දිව්‍ය කියා හඳුන්වන්නේ සත්ත්ව පුද්ගල වශයෙන් හඳුන්වනු ලබන ආත්මභාව. දිව්‍ය විමාන කියන්නෙ ඒ ඇත්තන්ගෙ නැවතුම් පළවල්. සමහර විමාන අහසෙ ගමන් කරන්න පුළුවන්. ඒ නිසා ඒවා සත්‍ය වශයෙන් තියෙන දේවල්. ඒ දෙවිවරු චුත වීමේදී විමානය ද නිරුද්ධ වෙනවා. සුබ්‍රහ්ම කියන දිව්‍ය රාජයා දිව්‍යාංගනාවන් දහසක් පිරිවරාගෙන නන්දන වනයට ගියා. දිව්‍යංගනාවෝ පන්සීයක් මල් නෙළනව. අනිත් පන්සීය නෙළන මල් ගොතල දිව්‍ය රාජයා සරසනව. මේ අතර මල් නෙළමින් සිටිය පන්සියය නොපෙනී ගියා. දිවැසින් බැලුව කොහෙද මේ ඇත්තො ගියේ කියල. බැලුවම පෙනුන චුතවෙලා අවීචියේ ඉපදිලා අකුසල කර්ම විපාකයක් නිසා. දිව්‍ය පිරිසක් තමා පිරිවරාගෙන සිටීම යනු මනසට අරමුණු වීමක් පමණක් නම් මේ පන්සීය අවීචියට යයිද? ඊළඟට බැලුවම තේරුණා අනිත් පන්සිය දෙනා සමග තමන් ද අපාගත වෙන බව. ඊට පස්සෙ බොහොම කණගාටුවෙන් බුදුරජාණන් වහන්සේ ලඟට ගියා. ගිහිල්ල ප්‍රශ්නයක් විමසුවා ස්වාමීනි අපේ සිත මෙහෙම චංචල වෙලා තියෙනවා. මේකෙන් අපට නිදහසක් නැද්ද කියා. එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට සිත යොමු කිරීමෙන් සෝවාන් වුණා. එයින් අපායට යන ගමන නැවතුණා. දිව්‍ය ලෝකය කියන්නෙ දිව්‍ය විමාන, දිව්‍ය පිරිවර කියන්නෙ සිතට අරමුණුවීම් මාත්‍රයක් පමණක් නම් අර අය අවීචියට යයිද? අනිත් අය සෝවාන් වෙයිද? ඕව ඉතිං ධර්ම නොදන්නා අන්ධ බාල පෘථග්ජන උදවියගේ ප්‍රලාප, මනස්කෘත. ශ්‍රද්ධාවන්ත බුද්ධිමත් ජනතාව බොහෝ සෙයින් සත්‍ය ධර්මයට රුචි කරන නිසා ඕවට රැවටිය යුතු නැහැ.

ප්‍රශ්නය: චාතුර්මහා රාජික තාවතිංස ආදී දෙව් ලොව හයක් පිළිබඳ ධර්මයේ සඳහන් වෙන බව අප අසා තිබෙනව. මේවත් මනසට අරමුණු වන අවස්ථා බව සහ සත්‍ය වශයෙන් පවතින දේවල් නොවන බවත් ඇතැමුන්ගේ මතයක්. ඒ පිළිබඳවත් අනුකම්පා කොට පහදා දුන්නොත්?

පිළිතුර: බුදුරජාණන් වහන්සේ විසාඛොපෝසථ සූත්‍රයේ ඒ වගේම අභිධර්ම පිටකයේ විභඞ්ග ප්‍රකරණයේ ධම්මපදය විභඞ්ග දේශනාවේ ඔය දිව්‍ය ලෝකවල පිහිටීම, දිව්‍ය ලෝකවල ආයුෂ ප්‍රමාණය දිව්‍ය සම්පත් තිබෙන බව දේශනා කරල තියෙනව. අරමුණු කිරීම් පමණක් නම් එහෙම ආයුෂ ප්‍රමාණ කොහොමද කියන්නේ. දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ ආයුෂ ප්‍රමාණය, සැප සම්පත් ගැන කියන්නට බැහැ. මේවා මනසින් අරමුණු කිරීම් පමණක් නම් බුදුරජාණන් වහන්සේ මේව දේශනා කළේ අනුමාන බුද්ධියෙන් නොව ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගෙනයි. එහෙම සියල්ල ප්‍රත්‍යක්ෂ නුවණින් අවබෝධ කර දේශනා කළ දේ සත්‍ය වශයෙන් පවතින දේ නොව සිතින් අරමුණු කිරීම් පමණක් යැයි නැතහොත් ඒව ඔක්කොම තියෙන්නෙ සිත තුළ යැයි කියනවා නම් එය ධර්මය නොදන්නාකමෙන් ඇතිකර ගත් අත්තනොමතයක්. සත්‍ය දැකීමට නොහැකිව සිටින එබඳු උදවියට අප අනුකම්පා කළ යුතුයි.

ත්‍රිපිටක විශාරද අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේ විසින් පහදා දෙන ලදුව පූජ්‍ය වේදෙණියේ නන්දසීල හිමියන් විසින් සම්පාදිත නො පෙනෙන ලොව සැබෑ තතු කෘතිය ඇසුරිනි. මෙම ධර්මදානය සඳහා පරිගණක අක්ෂර සැකසුම :ස්ටැන්ලි අර්නස්ට් මහත්මා විසිනි.


No comments:

Post a Comment